‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විවාදය – 4
Globe and Mail ප්‍රකාශයට පත්කළ පොත් නාමාවලියට මේ වනවිට පහත සඳහන් පොත් ද එකතු වී තිබේ.
Kafka ගේ The Complete Stories
The King James Bible
Newton ගේ Principia Mathematica
W.B. Yeats ගේ The Collected Poems (එකතු කළ කවි)
Globe and Mail පුවත්පතේ ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇරඹුණේ 2008 ජනවාරි 05 වැනිදා ය. ඒ පිළිබඳ මුල් ප්‍රකාශයට ලැබුණු පාඨක ප්‍රතිචාර සංඛ්‍යාව 32 ක් වීය. මේ පිළිබඳ දෙවැනි ලිපිය එම පුවත්පතේ පළවන්නේ ජනවාරි 10 වැනිදාය. එතැන් සිට මේ දක්වා අළුතින් ලැබුණු පාඨක ප්‍රතිචාර මුළු සංඛ්‍යාව 500 කට අධිකය. ඒ, එක් එක් පොත පිළිබඳ ලිපිය පළ වූ විට ඊට ලැබෙන සුවිශේෂ පාඨක ප්‍රතිචාර වලට අමතරව ය. මේ සියල්ල අපට එම පුවත්පතේ විද්‍යුත් පිටපත් ගබඩාවෙහි දැකගත හැකිය. මේ වනවිට මෙම විශේෂාංගයේ සංස්කාරක මාටින් ලෙවින් අන්තර්ජාලය තුළ සජීවීව පාඨක ප්‍රශ්න වලට සැපයූ පිළිතුරු ද අපට කියවිය හැකිය.
අප දැනටමත් කියා ඇති පරිදි මෙම ප්‍රතිචාර සංඛ්‍යාව සලකා බලන කළ, එය කැනේඩියානු ජනගහණයට හෝ Globe and Mail පිටපත් අළෙවිය ට සමානුපාතිකව නම් විශාල සංඛ්‍යාවක් නොවේ. නමුත් එබඳු සුළු පිරිසක් හෝ සාහිත්‍යයේ ප්‍රමිතීන් පිළිබඳ සාකච්ඡාවකට ප්‍රතිචාර දැක්වීම අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහමුලින්ම අත්නොහැරීමට හේතුවකි. මෙම පාඨක ප්‍රතිචාර සලකා බලන විට පෙනී යන වැදගත් කරුණක් වන්නේ, ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50 නාමාවලියට තමන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමේදී ප්‍රමිතීන් වශයෙන් පාඨකයන් ඉදිරිපත් කළ කරුණු අප හමුවේ තබන ප්‍රශ්නය යි. සාහිත්‍ය කෘතියක ශ්‍රේෂ්ඨත්වය මනින මිනුම් දණ්ඩ කුමක් ද?
බොහෝ පාඨකයෝ කෘතියක ශ්‍රේෂ්ඨත්වය, එය රසවිඳීමේදී ලද තම පෞද්ගලික අත්දැකීම මත පදනම් කළහ. ඉන් තමන් ගේ භාවයන්ට ඇතිකළ බලපෑම අනුව කෘතියක් විනිශ්චය කළහ. නමුත් ඉන් නොනැවතී, පෞද්ගලික අත්දැකීම, භාව උද්දීපනය ඉක්මවා ගිය, පොදු ආකෘතියක් සහ අන්තර්ගතය පිළිබඳ ගුණාංග දක්වා තම විනිශ්චය ගෙනයාම පිළිබඳ අදහසක් ද පාඨකයෝ ඉදිරිපත් කළහ.
RSS - Posts