2005 ජනාධිපතිවරණය ආසන්නයේ “කතිකා” අධ්‍යයන කවය නිකුත් කළ ප්‍රකාශයක එම මැතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය අතර අධිපතිභාවය සඳහා කෙරෙන තීරණාත්මක සටනක් ලෙස හැඳින්වූ අපි, මෙම සටන හුදු කතිකාවන් දෙකක් අතර පමණක් නොව, ජීවන ආකාරයන් දෙකක් අතරද, ඒනිසා එම කතිකාවන් මත පදනම් වූ විශ්වාස පද්ධතීන් දෙකක් අතර ද සටනක් වන්නේ යැයි කියා සිටියෙමු.
මෙම සටන ලාංකේය සමාජයේ දේශපාලන ධ්‍රැවීකරණයකට හේතුවන බවත්, එනිසා අප සමාජයේ අධිකාරවාදී ප්‍රවණතාවන් ශක්තිමත් කරන්නට තර්ජනය කරන බවත්, නව-ලිබරල්වාදයේ අධිකාරවාදයට දක්වන තම ප්‍රතිරෝධය තුළ ජාතික චින්තනය අධිකාරවාදී ශක්‍යතාවක් ඇති ප්‍රවණතාවක් තමන්ම පෙන්නුම් කරන බවත් සඳහන් කළෙමු. අපගේ අදහස වූයේ මෙම දේශපාලන ධ්‍රැවීකරණය හමුවේ ලාංකේය සමාජය මුහුණ දෙන අභියෝගය නව පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පරිකල්පනය කිරීම බවයි.
ඉංග්‍රීසියෙන් The Island පුවත්පතේ සහ සිංහලෙන් අත්පත්‍රිකාවක් ලෙසත් පළවූ අපගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය නලින් ද සිල්වා The Island පුවත්පතට කොටස් තුනකින් පළවූ දීර්ඝ ලිපියක් ලිවීය. එකළ මහාචාර්ය නලින් ද සිල්වාගේ ලිපියේ එන අදහස් වලට ප්‍රතිචාර දැක්වීමට අපට අවස්ථාවක් නොවීය. එයින් අවුරුදු හතරකට පමණ පසු අප මේ සටහන ලියන්නේ මෙතරම් ප්‍රමාද වී මහාචාර්ය නලින්ද සිල්වාට ප්‍රතිචාර දක්වන්නට නොවේ.
“කතිකා” වෙබ් අඩවිය පළමුවරට වාර සංග්‍රහයක් ලෙස පළකරන මෙම අවස්ථාවේ, අප එකළ පළ කළ අපගේ ප්‍රකාශයේ එන අදහස්, වෙනස් වී ඇති නව සමාජ-දේශපාලන තත්ත්වයන් හමුවේ යළි විමසුමට ලක්කිරීම අවශ්‍ය යැයි අපි විශ්වාස කරමු. නමුත්, ඒ සමගින්ම මහාචාර්ය නලින්ද සිල්වා අපට ප්‍රතිචාර දක්වමින් ලියූ ලිපියේ එන මූලික අදහස්ද යම් තාක් දුරකට සාකච්ඡා කරන්නට අදහස් කරමු.
සම්පූර්ණ ලිපිය සඳහා kathika.lk බලන්න.