Kathika

November 8, 2009

කලාව

සංස්කෘතියේ අර්බුදය:
එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම
-හනා ආරන්ඩ්ට්

අප පහත පළකරන්නේ හනා ආරන්ඩ්ට් ගේ Between Past and Future නමැති කෘතියේ ඇතුලත් “The Crisis in Culture” නමැති ලිපියේ අංග සම්පූර්ණ පරිවර්තනයක පළමු කොටසයි.

සාපේක්ෂ වශයෙන් නව ප‍්‍රපංචයක් වන බහුජන සංස්කෘතිය සම්බන්ධයෙන් බුද්ධිමතුන් අතර තවමත් වර්ධනය වෙමින් පවතින කනස්සල්ලක්, දැනට වසර දහයකට වැඩි කාලයක් තිස්සේ අපට දක්නට ලැබී ඇත. මෙම පදයම, පැහැදිලිව ම මතු වී එනුයේ, [ඊට වඩා] එතරම් ම පැරණි නොවන ”බහුජන සමාජය” යන පදයෙනි. මෙම කරුණ සම්බන්ධ සියලූ සාකච්ඡාාවන්ට පාදක වූ, නිහඬ පිළිගැන්ම වන්නේ, බහුජන සංස්කෘතිය, තර්කානුකූලව හා නොවැළැක්විය හැකි පරිදි, බහුජන සමාජයේ සංස්කෘතිය බවය. මෙම යෙදුම් දෙකේ ම, කෙටි ඉතිහාසය පිළිබඳ ඉතා වැදගත් සාධකය වන්නේ, වසර කිහිපයකට ඉහත දී පවා – බහුජන සමාජය වූ කලි දූෂිත සමාජ ස්වරූපයකැයි හා බහුජන සංස්කෘතිය වූ කලි පදවල ප‍්‍රතිවිරෝධතාවයක් යැයි අඟවමින් – ඒවා භාවිත කෙරුණේ ශාප කිරීමේ ප‍්‍රබල හැඟීමකින් යුතු ව වන අතර, ඒවා දැන් ගරු කටයුතු බවට, එනම් හැරල්ඞ් රොසෙන්බර්ග් පෙන්වා දුන් පරිදි, ‘කිච’ (kitsch) නැතහොත් බාල ව්‍යාපෘතීන්ගේ දේ ට බුද්ධිමය මානයක් එක් කිරීමට ප‍්‍රධාන වශයෙන් බලපෑ වූ අසංඛ්‍ය අධ්‍යයන හා පර්යේෂණ ව්‍යාපෘති බවට, පත්ව ඇත යන්නයි. නොවැදගත් දෙයෙහි බුද්ධීමයකරණය සාධාරණිකරණය කරනු ලබන්නේ අප කැමති වූවත් නැතත්, බහුජන සමාජය පෙනෙන තෙක් මානයේ අනාගතය දක්වා අප සමග පවතිනු ඇත යන පදනම මතය. එහෙයින්, එහි ”සංස්කෘතිය”, ”ජනපි‍්‍රය සංස්කෘතිය බහු ජනතාවටම භාර කළ නොහැකිය.”1 කෙසේ වෙතත්, ප‍්‍රශ්නය වන්නේ බහුජන සමාජය සම්බන්ධයෙන් සත්‍ය වන දේ බහුජන සංස්කෘතිය සම්බන්ධයෙන්ද සත්‍ය වන්නේ ද යන්න හෝ, වෙනත් අයුරකින් කියතොත්, බහුජන සමාජය හා සංස්කෘතිය අතර සම්බන්ධතාව අවශ්‍ය ලෙස වෙනස් කොට කියන්නේ නම් ඊට පෙර පැවති සමාජය සංස්කෘතිය කෙරෙහි දැක්වූ සම්බන්ධතාවට සමානවනු ඇත්ද, යන්න ය. (more…)

October 5, 2009

සංස්කෘතිය

“ජනප්‍රිය සංස්කෘතිය විසින් විදග්ධ සංස්කෘතිය ගිලගෙන යනවා”

“මම මීට වසර ගණනාවක‍ට පෙර කිව්ව ආකාරයටම දැන් ජනප්‍රිය සංස්කෘතිය විසින් විදග්ධ සංස්කෘතිය ගිලගෙන යනවා. මේක මම මුලින් කියපු වෙලාවෙ විදග්ධ සංස්කෘතිය නියෝජනය කළ සියළු දෙනාම පාහේ ඇස් වසාගෙන සිටියා.”

සරත් අමුණුගම, රාවය, 2009 සැප්තැම්බර් 20 වැනි ඉරිදා, සංවාදය – විමලනාත් වීරරත්න

අප පහත පළකරන්නේ ජනප්‍රිය සංස්කෘතියේ ආගමනය පිළිබඳ සරත් අමුණුගම ගේ මුල්ම මුද්‍රිත ප්‍රසිද්ධ ප්‍රකාශය යි.

“සංස්කෘතිය යන්න වැවටත්, දාගැබටත් සීමා වූවක් නොවේ. එය රැකෙන්නේ පන්සලේ හා පාසලේ පමණක් නොවේ. මිනිසුන්ගේ සැබෑ ලොවේ සිතුම්-පැතුම්, රුචි අරුචිකම් සියල්ලම සංස්කෘතියට ගෝචර වෙයි. සිංහල සංස්කෘතිය අද ගොඩනැගෙන්නේ පන්සලේ සහ කුඹුරේ නොව රූපවාහිනී හා ගුවන්විදුලි මධ්‍යස්ථානවලය. කැසට් රෙකෝඩ්බාර් වලය. සිංහල චිත්‍රපට පෙන්වන සිනමාශාලා වලය. වේදිකා නාට්‍ය රඟදැක්වෙන රඟහල් තුළය.” (more…)

September 17, 2009

සාහිත්‍යය


පහත උපුටා ගැනීම්, 2009 සැප්තැම්බර් 16, දිවයින, සරසවි උයන අතිරේකයෙනි.

” ඕනෑම සාහිත්‍යකරුවකු සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ”
මහාචාර්ය සුචරිත ගම්ලත්

සාකච්ඡා කළේ රවීන්ද්‍ර විඡේවර්ධන

  ඡායාරූපය දිවයින, සරසවි උයන අතිරේකයෙනි

ඡායාරූපය දිවයින, සරසවි උයන අතිරේකයෙනි

සාහිත්‍යය කියන එක ක්‍රමයෙන් වර්ධනය වෙමින් යන දෙයක්‌. කිසියම් කාලයක සාහිත්‍යය මූලාරම්භය වුණාද එතැන් සිට විවිධ සාහිත්‍යකරුවන් හා ගුරුකුල එය පෝෂණය කළා. සම්ප්‍රදානයන් කළා. අද සාහිත්‍යය දෙස හොඳට බැලුවාම එහි පුරාණ සාහිත්‍යයක්‌ තිබෙනවා පෙනෙනවා. නමුත් අද එය ක්‍රමයෙන් වෙනස්‌ වී සංවර්ධනය වී තිබෙනවා. මේ සංවර්ධනය, විකාශය දැන ගැනීම තමයි සම්ප්‍රදාය දැන ගැනීම කියන්නෙ. ඕනෑම සාහිත්‍යකරුවකු මේ සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ. අපේ සාහිත්‍ය සම්ප්‍රදාය විතරක්‌ නෙවෙයි. බටහිර නවකතා, රුසියානු නවකතා, භාරතීය නවකතා යන සියලු නවකතා හා ඒ යුගවල ශෛලීන් ආදියත් ඔහු හදාරා තියෙන්න ඕන.

“යමෙක්‌ සාහිත්‍යයේ නිරත වෙන්නට අදහස්‌ කරනවා නම් ඔහු බටහිර නවකතාවේ සිට සහ සිංහල සාහිත්‍යයේ මුල සිට හැදෑරිය යුතුයි “

පැරැණි සංස්‌කෘත විචාරකයනුත් මේ ගැන කියා තිබෙනවා. ඔවුන් කියනවා කලා නිර්මාණයේ නීති තුනක්‌ තිබෙනවා කියල. එකක්‌, සහජයෙන් එන සාහිත්‍ය ලැදියාව. දෙවැන්න සතතාභ්‍යාසය. ඒ කියන්නෙ වෙනත් කලාකරුවන් කළ කලා නිර්මාණ ඇසුරු කරමින් නිරන්තර අභ්‍යාසය. ඊළඟට ව්‍යුත්පත්තිය. එනම් බොහෝ කොට හැදෑරීම, දැන ගැනීම. Education. උදාහරණයකට මම අද උදේ “ශාරංගධර” කියා සංගීතය ගැන මධ්‍යකාලීන යුගයේ ලියෑවුණු පොතක්‌ කියවමින් සිටියා. ඒ පොතේ කියනවා ගේය පද රචකයා දැන ගත යුතු විෂය විසි හතක්‌ ගැන. යමෙක්‌ සාහිත්‍යයේ නිරත වෙන්නට අදහස්‌ කරනවා නම් ඔහු බටහිර නවකතාවේ සිට සහ සිංහල සාහිත්‍යයේ මුල සිට හැදෑරිය යුතුයි. ඒ හැදෑරීම තුළින් අර සම්ප්‍රදාය ඔහුගේ ස්‌නායු පද්ධතියට ආවාමයි කාව්‍යාත්මක විධියට ඔහුට යථාර්ථය ග්‍රහණය කර ගත හැක්‌කේ. දැන් අපේ නවකතාකාරයො මේ සම්ප්‍රදාය දැන ගෙන තිබෙනවාද? බටහිර නවකතා කියවා තිබෙනවාද? සිංහල චිරන්තන සම්භාව්‍ය සාහිත්‍යය කියවා තිබෙනවාද? හැබැයි සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, මාර්ටින් වික්‍රමසිංහ වැන්නන් දෙස බැලුවාම ඔවුන් ඒ සම්ප්‍රදාය හදාරා තිබෙනවා.

අද ඔය සම්මාන දිනා සිටින ලේඛකයන්ගෙන් ඔවුන් කියැවූ බටහිර සාහිත්‍ය කෘති ගැන අහන්න. පැරැණි සිංහල සම්භාව්‍ය සාහිත්‍ය කෘති ගැන අහන්න. කිසි දෙයක්‌ දන්නෙ නැහැනෙ. ඉංග්‍රීසි දන්නෙත් නැතුව පාලි – සංස්‌කෘතික භාෂා දන්නෙත් නැතුව ඒ සියලු දේ අද ඉවරවෙලානෙ. පැරැණි සිංහල සාහිත්‍යය තියා වර්තමාන සිංහල සාහිත්‍යයවත් ඔවුන් දන්නේ නැහැ.

” “ගම් පෙරළියෙන්” ඒ ජීවන ක්‍රමයට පාදක වූ කරුණාව, මෛත්‍රිය, ඥාති මිත්‍ර සබඳතා, උපේක්‍ෂාව ආදී සියලුදේත් විනාශ කර දමා හුදෙක්‌ මුදල් ඉපැයීමේ ධනවාදී ක්‍රමයක්‌ ස්‌ථාපනය කරන අයුරු ඉන් පෙන්වනවා”

“ගම් පෙරළියෙන්” ඇත්තටම කියන්නෙ ශ්‍රී ලංකා ඉතිහාසයේ එක්‌තරා සන්ධිස්‌ථානයේදී ඇති වූ විශාල සමාජ විපර්යාසයක්‌ ගැනයි. ඒ සමාජ විපර්යාසයට “ගම් පෙරළියෙන්” හේතූත් පෙන්වනවා. බටහිර ධනවාදය මෙරට එවකට තිබූ වැඩවසම් සමාජය ඇතුළට කාගෙන ගොස්‌ ඒ ජීවන ක්‍රමය විනාශ කර දැමීම පමණක්‌ නොවෙයි, ඒ ජීවන ක්‍රමයට පාදක වූ කරුණාව, මෛත්‍රිය, ඥාති මිත්‍ර සබඳතා, උපේක්‍ෂාව ආදී සියලුදේත් විනාශ කර දමා හුදෙක්‌ මුදල් ඉපැයීමේ ධනවාදී ක්‍රමයක්‌ ස්‌ථාපනය කරන අයුරු ඉන් පෙන්වනවා.

“පරිවර්තන සාහිත්‍ය කෘතියක්‌ හරියට කරන්න නම් කෙනකුට භාෂා දෙකම ගැන මනා පරිචයක්‌ තියෙන්නෙ ඕන”

පරිවර්තන සාහිත්‍ය කෘතියක්‌ හරියට කරන්න නම් කෙනකුට භාෂා දෙකම ගැන මනා පරිචයක්‌ තියෙන්නෙ ඕන. එපමණක්‌ නොවෙයි. ඔහු කවියෙක්‌, සාහිත්‍යකාරයෙක්‌ වෙන්නත් ඕන. එහෙම මිනිස්‌සු අපට නැහැ. එහෙම හිටපු එක්‌ පරිවර්තකයෙක්‌ මම දන්නවා. ඒ, ඒ. පී. ගුණරත්න.

“මෙවලම් පරිවර්තකයෙක්‌ ……නිර්මාණාත්මක පරිවර්තකයෙක්‌ නෙවෙයි”

මෙවලම් පරිවර්තකයෙක්‌ ……නිර්මාණාත්මක පරිවර්තකයෙක්‌ නෙවෙයි. හුදෙක්‌ කතාව පරිවර්තනය කරන්නෙක්‌.

ඉස්‌සෙල්ලා පරිවර්තකයා සාහිත්‍යකාරයෙක්‌ වෙන්න ඕනෙ.

“අපට කවදාවත් දේශීය චින්තනයක්‌ තිබුණෙ නැහැ”

අපට කවදාවත් දේශීය චින්තනයක්‌ තිබුණෙ නැහැ.. ඉන්දියාවෙන් ආපු චින්තනයක්‌ අපට තිබුණෙ. බුද්ධාගම ආවෙත් අපට ඉන්දියාවෙන්. දැන් සාහිත්‍ය කලා යනාදිය අපට බුද්ධාගමෙන් ආවෙ නැහැනෙ. ආවෙ සංස්‌කෘතවලින්.

“බෞද්ධාගම තුළ බොහෝ කලා ප්‍රතික්‍ෂේප වෙනවා”

බෞද්ධාගම තුළ බොහෝ කලා ප්‍රතික්‍ෂේප වෙනවා. සංගීතය, නැටුම් බෞද්ධාගම තුළ හඳුන්වන්නේ ගර්හිත කලා වශයෙන්. චිත්‍ර කලාවට පමණයි බෞද්ධාගම තුළ ඉඩක්‌ තිබුණේ

“මීට අවුරුදු පණහකට ඉස්‌සෙල්ලා මෙරට සාහිත්‍යයේ ඉහළ මට්‌ටමක්‌ තිබුණා”

මීට අවුරුදු පණහකට ඉස්‌සෙල්ලා මෙරට සාහිත්‍යයේ ඉහළ මට්‌ටමක්‌ තිබුණා. බොහෝවිට සාහිත්‍යය නිර්මාණය කළේ ත්‍රිභාෂික උගත්තු. එකල සාහිත්‍යකරුවන්ගේ භාෂාව පිරිහිලා තිබුණෙ නැහැ. අද තියෙන භාෂාවෙන් එදා ලිව්වා නම් කවුරුවත් ඒ පොත් පිළිගන්නේ නැහැ. ඒ නිසා එදා දුන්නු සම්මානවලත් හොඳ මට්‌ටමක්‌ තිබුණා.

ඉස්‌සෙල්ලාම සාහිත්‍ය මණ්‌ඩලයේ සභාපතිව සිටියේ කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර හාමුදුරුවො. උන්වහන්සේ විද්‍යංලාකාර පිරිවෙනේ නායක හාමුදුරුවෝ. පාලි, සංස්‌කෘත, ප්‍රකෘත දන්නා මහා ඉහළ පණ්‌ඩිත හාමුදුරුවරු නමක්‌. උන්වහන්සේ නවකතා විවේචනය කරන්න ගියේ නැහැ. සාහිත්‍ය මණ්‌ඩල සභාපති පුටුවේ වාඩිවෙලා හිටියා. ඒත් දැන් ඒ පුටුවල ඉන්නේ කවුද?

“ඉංග්‍රීසි භාෂාව නැති කළේ නැද්ද? ප්‍රාචීන භාෂා නැති කළේ නැද්ද? නැති කළාම මොක්‌කුද එන්නෙ? පුස්‌සො’

ඉංග්‍රීසි භාෂාව නැති කළේ නැද්ද? ප්‍රාචීන භාෂා නැති කළේ නැද්ද? නැති කළාම මොක්‌කුද එන්නෙ? පුස්‌සො.

හේතුව පරිහානිය. බලන්න, අපේ පාසල් අධ්‍යාපනයෙන් සම්භාව්‍ය සිංහල සාහිත්‍යය නැති කළේ නැද්ද? ඉංග්‍රීසි භාෂාව නැති කළේ නැද්ද? ප්‍රාචීන භාෂා නැති කළේ නැද්ද? නැති කළාම මොක්‌කුද එන්නෙ? පුස්‌සො. පුස්‌සො තමයි විචාරකයො වෙන්නෙත්, නවකතා ලියන්නෙත්, කෘති විනිශ්චය කරන්නෙත්a.

August 13, 2009

සංස්කෘතිය

ලංකා සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

මේ ලිපිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ අර්ථ ශාස්ත්‍ර සංගමය මඟින් පළකරන ලද ‘සමාජ විග්‍රහය’ නමැති සඟරාවේ පළවූවකි.

සිංහල සංස්කෘතිය භාරතීය සංස්කෘතිය පදනම් කොට ඇතත්, ස්ථවිරවාද බුද්ධාගම නිසා එය භාරතීය හින්දු සංස්කෘතියෙන් වෙන් වූවක් බවට පත්විය. සිංහල සංස්කෘතියට බුද්ධාගමේ ඇති සම්බන්ධයත් භාරතීය සංස්කෘතියට හින්දු සමයෙහි ඇති සම්බන්ධයත් එක හා සමාන නොවේ. අතීතයේ පටන්ම බුද්ධ ධර්මය සාමූහික ලෙස කරන වැඳුම් පිදුම්වලින් තොර වතාවත් අඩු ධර්මයක් විය. අදත් ඒ එසේමය. මේ හැරුණු විට යාඥාවට හෝ උත්තර මානුෂීය බල ඇති අයට කරන ආයාචනයට හෝ තැනක් බුද්ධාගමේ නැත.

එහෙත් ඒ වෙනුවට පෞද්ගලිකව කැරෙන ආත්ම දමනයෙන් ආධ්‍යාත්මික පාරිශුද්ධිය ලැබීමත් සංස්කාරකයන්ගේ අනිත්‍ය මෙනෙහි කිරීමෙන් නෛෂ්ක්‍රම්‍ය පුහුණු කිරීමත් උගන්වනු ලැබේ. මේ අනුව ජීවිතය ගැන බුද්ධ ධර්මය දරන දෘෂ්ටිය පෞද්ගලිකත්වය වටා ගෙතුණු අතරම වඩා ප්‍රඥාගෝචර ද වෙයි. වෙනස් කළ නොහැකි ලෙස ක්‍රියාත්මක වන කර්මඵල නියමයක් ගැන එහි අවධාරණයෙන් කියවේ.

මේ කර්මඵල නියමය කෙරෙහි එකම ස්වාමියා මිනිසාය. ලෝකෝත්තර බලවේගයන් ගෙන් කිසි පිහිටක් නොලැබේ. දේව භක්තිය මත පදනම් වූ ආගමකට වඩා බුද්ධ ධර්මය වෙනස් ය. දේව භක්තිය මත ගොඩනැංවුණු ආගමක දී දෙවියන් හා මිනිසුන් අතර පැවැත්වෙන සම්බන්ධකම් විවිධ ක්‍රම ගන්නා අතර, ඒවා එම සමාජයෙහි සංස්කෘතියේම අංශ බවට පත් වේ. මේ නිසා බුද්ධ ධර්මය ඉහත කී විධියේ ලෞකික සංස්කෘතියකට අවශ්‍ය සම්පූර්ණ අංගෝපාංග එය අනුගමනය කරන සමාජයට නොදෙයි. ගම්බද සිංහල ජනයාගේ අවශ්‍යතාවනට සරිලන ලෙස සකස් වීම සඳහා, බුද්ධ ධර්මයට ජන ඇදහීම් හා හින්දු විශ්වාසයන් සමඟ සංකලනය වීමට සිදු විය. (more…)

January 2, 2009

පුවත්

“ජනප්‍රිය සංස්කෘතිය” නිසා, බැරෑරුම් කලාවන් අගය කිරීමට අවශ්‍ය සංයමය පිරිහෙනවා.
- අදූර් ගෝපාලක්‍රිෂ්ණන්

adoor_c1රූපවාහිනිය සහ ජනප්‍රිය සිනමාව වත්මන් පරපුරේ සංවේදීතාවය බෙහෙවින් වනසා දමා ඇතැයි සුප්‍රකට කේරළ සිනමාකරු අදූර් ගෝපාලක්‍රිෂණන් කොළඔදී පැවැති ජාත්‍යන්තර වාර්තා සහ කෙටි චිත්‍රපට උළෙල සහ තරඟයේ අවස්ථාවකදී ප්‍රකාශ කළ බව කොළඔ පුවත් පත් වාර්තාවල පළ විය.

ජනප්‍රිය සිනමාවට සහ රූපවාහිනියට පුළුල්ව ඇබ්බැහිවීම, සිනමාව ඇතුළු බැරෑරුම් සහ සම්ප්‍රදායික කලාවන් අතිශයින් පිරිහීමට හේතු වී ඇතැයි කී ඔහු මෙම ප්‍රවණතාව කේරළයටත්, ඉන්දියාවටත්, සමස්ථ කලාපයටත් එක සේ පොදු‍යැයි ද කියා සිටියේය.

බැරෑරුම් කලාවන් ආශ්වාදයටත්, අගය කිරීමටත් අවශ්‍ය සංයමය සහ විනය සෙමින් අතුරුදහන් වෙමින් පවතී. මෙය පිරිහීමකැයි අදූර් ගෝපාලක්‍රිෂණන් තව දුරටත් ප්‍රකාශ කොට ඇත.

අදූර් ගෝපාලක්‍රිෂණන් පද්ම විභූෂණ, සහ පද්ම ශ්‍රී යන ඉන්දියානු ජාතික සම්මාන ද්වයෙන්ම පිදුම් ලද, ජාත්‍යන්තර කීර්තියට පත් සිනමා කරුවෙකි.

December 21, 2007

උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍


උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍

– ලියනගේ අමරකීර්ති ගේ ‘සිළුමිණ’ ලිපියේ එන අදහස් වලට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප්‍රතිචාරය


“අප සත්‍යයෙන් ඉවත ඉබාගාතේ ගෙන යාමට ඉඩ ඇති වුවත්, ප්ලේටෝගේ ඇසුර හා ඔහුගේ සිතුවිලිවල ඇසුර තෝරාගැන්ම රසඥතාව පිළිබඳ කරුණකි.”

- සිසෙරෝ

අපගේ සාහිත්‍ය - කලා විචාරයේ වත්මන් අහේනිය පිළිබඳව ‘කතිකා’ අධ්‍යයන කවය මතු කළ ‘අපට උසස් විචාරයක් නැත්තේ මන්ද?’ (බලන්න, පහත ) යන ප්‍රශ්නයට ලියනගේ අමරකීර්ති ප්‍රතිචාරයක් දක්වා ඇත. අමරකීර්තිගේ මෙම ලිපිය (මෙතැන කියවන්න:“සිළුමිණ” ) අප මතුකළ මාතෘකාව සංවර්ධනය කිරීමට කළ සාධනීය මැදිහත්වීමක් ලෙස අප දකිමු.

story.gif පා(ග්)ලියා

අප ඉහත සඳහන් ප්‍රශ්නය මතු කළේ, අමෙරිකාවේ සුප්‍රසිද්ධ සාහිත්‍ය-කලා විචාරිකාවක වන කැමිලා පා(ග්)ලියා එරට සාහිත්‍යය විචාර ක්ෂේත්‍රයේ තතු විමසමින් කළ ප්‍රකාශයක් ඇසුරෙනි. අපගේ මෙම ප්‍රතිචාරයෙහි ලා, මුලින්ම කළයුතු වන්නේ පා(ග්)ලියා ගේ අදහස් ඉදිරිපත් කිරීමේදී අපගේ අරමුණ කුමක්වීද යන්න පැහැදිළි කිරීම ය.

අපට අවශ්‍ය වූයේ, මෙබඳු විවාදාපන්න මාතෘකාවක එක් පාර්ශවයක් නියෝජනය කිරීමට නොව ඒ පිළිබඳ සාකච්ඡාවක් ගොඩනගන්නට මැදිහත්වීමයි. එවිට පාඨකයාට තමන්ගේම විනිශ්චයකට එළඹීමට හැකි වනු ඇත. මෙම ප්‍රතිචාරයෙහි ලා අපේ අරමුණ වන්නේ, තර්ක, විතර්ක හරඹයකට එළඹීම නොව, මාතෘකාව සංවර්ධනයට දායක වීමයි, එසේ කිරීමට ඉඩ ඇති තාක් දුරට සංවාදයට හවුල් වීමයි. (more…)

November 3, 2007

‘ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම’ යනු කුමක් ද?

Socrates Plato  Aristotle
සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්

අප මීට පෙර පළ කළ සාහිත්‍ය-කලා විචාරයේ අහේනිය පිළිබඳ කැමිල පා(ග්)ලියා ගේ අදහස් අඩංගු “අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?” ලිපියෙන් මතුවන ප්‍රශ්නයක් නම් ‘ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම යනු කුමක් ද?’‘’ යන්නයි. මෙම ප්‍රශ්නයට එක්තරා අන්දමකින් පිළිතුරක් සැපයෙන අදහසක් Roy Turner ලියූ Friends and Enemies of the Canon (1988) නමැති ලිපියකින් සකසාගෙන පහත දක්වමු.

මූලකෘති (the Canon) යන්න මෑත කාලීන මහජන කතිතාවේදී අප හමුවට එන්නේ, පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතතවාදය ඇසුරෙන් ගොඩනැගෙන කතාබහේදී නූතනයට සහ පශ්චාත් නූතනයට එරෙහිවය. සම්භාව්‍ය සංස්කෘතිය, සම්භාව්‍ය සම්ප්‍රදාය ප්‍රශ්චාත් නූතනයේදී තවදුරටත් අදාළ නොවේ, ඒවා තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය යන අදහස මෙම කතිකාවෙන් මතු ‍කෙරෙයි.

ස්ටැන්ෆර්ඩ් විහ්ව විද්‍යාලයේ සිසුන් බටහිර සංස්කෘතිය කම්මුතු විය යුතුයැයි (Hey, hey, no, no, Western Culture’s Got to go) ගායනා කළ විට ඔවුන් තරයේ ප්‍රතික්ෂේප කරන්නේ ඔවුන්ව හැඩ ගැස්වුණු සම්ප්‍රදායම යැයි රෝයි ටර්නර් යෝජනා කරයි. ඔහුට අනුව මූලකෘතිභාවය යනු අප විසින් සැළකිල්ලට ගතයුතු, අප පිළිබඳව කියා සිටින කිසියම් අයිතිවාසිකමක් මුතුන්මිත්තන්ගෙන් පැවත එන කෘති අප මත බල පවත්වන්නේය යන සිතුවිල්ලයි. (more…)

Blog at WordPress.com.