Kathika

October 20, 2009

කුමුදු ගේ තීරුව

මහජන ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර පරතරය: නිදහස, ධනවාදය, සහ පුරාතන ග්‍රීක ජනරජය

ධනවාදී සමාජයේ ඇති නිදහස හැමවිටමත් පුරාතන ග්‍රීක ජනරජයන්හි මෙන් වහල් හිමියන් උදෙසා වන නිදහස හා සමව පවතින්නේය.
– ලෙනින්

ඉහත ලෙනින් ගේ ප්‍රකාශය ඉංග්‍රීසියෙන් පළව තිබු‍ණේ බූන්දි වෙබ් අ‍ඩවියේ ය.

“එය ශ්‍රමයේ යදම් වලින් නිදහස් කිරීමට ආසන්න, ශ්‍රමිකයන්ගේ සමාජයකි. මෙම සමාජය, මෙම නිදහස ඒ සඳහා දිනාගනු ලැබීම යෝග්‍ය වන, එම අනෙක් වඩා උසස් සහ වඩා අර්ථවත් ක්‍රියාකාරකම් තවදුරටත් නොදනී. මෙය මිනිසුන්ට එකට ජීවත් විමට සැළැස්වීම ශ්‍රමය විසින් කරනු ලැබෙන ආකාරය වන නිසා සමානාත්මවාදී වන මෙම සමාජය තුළ, එයින් මිනිසාගේ අනෙකුත් හැකියාවන් ප්‍රතිසංස්ථාපනයක් අලුතෙන් පටන් ගත හැකි වනු ඇති එක්කෝ දේශපාලනමය නැතහොත් අධ්‍යාත්මික ස්වභාවයේ කිසිදු ප්‍රභූතන්ත්‍රයක්, කිසිදු පංතියක් ඉතිරි කොට නොමැත.”
- හනා ආරන්ඩ්ට්, ධනවාදී සමාජය පිළිබඳ, The Human Condition, 5 පිටුව

මෙම අදහස තව පියවරක් ඉදිරියට ගෙන ගිය ලංකාවේ පශ්චාත් නූතනවාදීහු සිවිල් සමාජයේ “දෙබිඩි වත” හෙළිදරව් කරන්නේ යැයි කියමින් තමන්ගේ විවේචනයට බඳුන් වන්නවුන්ගේ දේශපාලනිකවන පෞද්ගලික දේයැයි ඔවුන් විශ්වාස කරන දේ “විග්‍රහයට” ලක් කිරීමෙන් මෙම පිරිස් දේශපාලන භූමියෙන් පළවා හැරීමේ ‍උත්සාහයක යෙදුණහ. එයින් සිදුවූයේ අපගේ දේශපාලන සාකච්ඡාව අතිශයින් දිළිඳුබවට පත්වීමයි. තමන් මානව හිතවාදී යැයි විශ්වාස කරන තරුණ තරුණියෝ ද අවිචාරයෙන් යුතුව මෙබඳු දුර්-විචාරයන්ට තවමත් අනුබල දෙති. මෙම තේමාව සාහිත්‍යයට පිවිසීම ඉහත පශ්චාත් නූතනවාදී සමාජ ස්ථරය ප්‍රමාද වී වුව ශිෂ්ට සම්පන්න භාවයක්, සංස්කෘතිකමය සවරූපයක් අත්පත් කරගැනීම ආරම්භ කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය.

(more…)

October 3, 2009

දේශපාලනය

හෘද සාක්‍ෂිය
විදුර මුණසිංහ

ප‍්‍රභාකරන් හුදෙක් අපගේ ප‍්‍රතිවාදියා පමණක් නොව අපගේ පැවැත්මේ, අපගේ සුඛ විහරණයේ, සාමකාමී හිඳීමේ, අපගේ සතුටේ ප‍්‍රතිපක්‍ෂය විය. අපගේ සතුට, දුක, ශෝකය, උන්මාදය, චිත්තපී‍්‍රතියද පැවතුනේ ඔහු සමගිනි (මා මිතුරකුට අනුව ”අපිට රිදව රිදව අපිත් එක්ක අවුරුදු 30 ක් හිටපු මිනිහ”). ආදරය/ වෛරය, හොඳ/ නරක, කලූ/ සුදු ආදී සියලු ප‍්‍රතිපක්‍ෂයන්හි එකකට අනෙක නොමැතිව පැවතිය නොහැකිවාක් මෙන් අපගේ සාමාන්‍ය ජීවිතය සමග ප‍්‍රභාකරන් අවියෝජනීයව බැඳී සිටියේය. අපි ඔහුට අතිශයින් බිය වීමු. ඔහුගේ ලේ පිපාසය ඕනෑම මොහොතක මා ඇතුලු මා ආදරය කරන කවුරුන් හෝ බිලිගත හැකිවිය.

දිනය – 2009. 05.19
වේලාව – රාතී‍්‍ර 11.17

විධිමත්ව යමක් ලිවීමට තරම් නිශ්චිතතාවයකින් තොරව මේ මොහොතේ මා දරා සිටින්නාවූ අවිධිමත් ශෝකය, දුක, සතුට, පී‍්‍රතිය වැනි භාෂාත්මක කියවීමකට රාමුගත කරගත නොහැකි හැඟීම විසින් අපහසුතාවයට, වියවුලට සහ උදාසීනත්වයට ලක්ව සිටින මා එසේ තිබියදීත් මෙම ලිවීම ආරම්භ කරන්නේ භාෂාවට නැංවිය නොහැකි අසීමිතභාවය වචනයට නැංවූවිට සීමාසහිත වීමෙන් බිහිවන ආඛ්‍යානය විසින් ඊට පෙර නොවූ ගල් ගැසුනු අර්ථය ජනනය කරන්නේය යන පදනමේ සිටය. එබැවින් මේ වූකලී මට දැනෙන මේ යැයි කිව නොහැකි හැඟීමක් නිසා දැනෙන අපහසුතාවයට භාෂාව තුල කුමණ හෝ පිලිතුරක් සොයායමින් විසඳුමක්, සහනයක් ලබාගැනීමට දරන උත්සාහයකි. එසේ නොවූවහොත් මේ හැඟීම විසින් ඇතිකර ඇති උදාසීනභාවය මාගේ සාමාන්‍ය එදිනෙදා පැවැත්ම තර්ජනයට ලක්කරයි. එබැවින් මේ සත්‍යය සොයා යාමක් නොව වියුක්ත හැඟීම් සමුදායක් භාෂාත්මක ආඛ්‍යානයක් තුල සීමා සහිත කිරීමට දරන උත්සාහයකි. (භාෂාවට පිටතින් වන සත්‍යයක් නොමැති බැවින් ලිවීමට පෙර තිබූ යම ලිවීමෙන් අනතුරුව තවදුරටත් නොපවතින බව මම දනිමි. නිශ්චිතව කුමක්දැයි නොදන්නා දෙය ආඛ්‍යානගත කිරීමෙන් පෙර පැවති වියවුල නිමවී නව සැනසිලිදායක අර්ථය පමණක් ඉතිරි වනු ඇත.)

අද දිනය තුල මා දන්නා හඳුනන දෙදෙනකු අවස්ථා දෙකකදී පැවසූ වාක්‍ය දෙකක් ඔවුන් තුලද වන මා දරා සිටින වියවුල් සහගත හැඟීමට සමාන දෙයක ප‍්‍රකාශනයන් යැයි මට සිතේ.

1. “ඇයි මිනිස්සු මේ තරම් රතිඤ්ඤා පත්තු කරන්නේ, දෙපැත්තෙම මැරුනෙ අපේ මිනිස්සු නේද ?”
2. “මොනව වූනත් ප‍්‍රභාකරන්ගෙ මිනියෙ මූණ දැක්කම මට හෝස් ගාල ගියා.”

මේ මොහොතේ පවතින සිදුවීම් අනුක‍්‍රමණයන්ද ගල් ගැස්විය යුතු යැයි මට සිතෙන්නේ පසු අවස්ථාවක මෙම සිදුවීම් මීට වඩා වෙනස් ලෙස ආඛ්‍යානගතවී තිබිහැකි (එය අනිවාර්යතාවයකි, අප අතීතය කියවන්නේ වර්තමාන මොහොතේ සිටය) බැවිනි. එවිට මා විසඳුම හොයන මේ හැඟීමට පදනමක් නොමැති වනු ඇත (මා ගැලවීමට උත්සාහ දරන මේ හැඟීම පිලිබඳව ආදරයක්ද මා තුල පවතී, එය ගල්ගැස්විය යුත්තේ මේ ලිවීම අනාගත මොහොතක කියවීමේදී විඳින සෞන්දර්යය (?) වෙනුවෙනි). (more…)

September 29, 2009

ඇදහිලි කල්ලි

final23

අපගේ එදිනෙදා ජීවිතය පිටුපස සැඟවුණු අනතුර
අප අතර සැරි සරන ඇදහිලි කල්ලි

මාග්‍රට් තේලර් සිංගර් – යන්යා ලාලිච්
පෙරවදන රොබට් ජේ ලිෆ්ටන්
පරිවර්තනය ප්‍රභා මනුරත්න, කසුන් සේනානායක, නිශාන්ත කුලරත්න, බුද්ධික බණ්ඩාර
සේතුක ප්‍රකාශකයෝ
2/5 ඒ,
ඩී.‍ජේ. විජේසිරිවර්ධන මාවත, ගල්කිස්ස
sethukapublishers@gmail.com
2009
මිල රුපියල් 795/=
ISBN 978 955 1895 03 7
” මනෝ චිකිත්සක කව, ධනාත්මක චින්තන සමාජ, භාවනා පංති, සටන් කලා පුහුණු කේන්ද්‍ර, විශ්ව විද්‍යාල ක්‍රියාකාරකම් සහ දේශපාලන සංවිධාන ලෙස වෙස් වලාගත්, බැලූ බැල්මට නීත්‍යානුකූල ව්‍යාපාරයන් ලෙස පෙනෙන ඇදහිලි කල්ලි කොපමණ ඇද්දැයි ඔබ දන්නවාද?”
“පිදුම – උත්තරීතර සමාජයක් පිළිබඳ පාර්ථනා හදවතේ පොදි කරගෙන කණ්ඩායම්ගත දේශපාලනයන්ට පිවිස, එහිම අතාර්කික අන්තයන් තුළ ගිලී නොපෙනී ගිය උතුරේද දකුණේද එදා මෙදා තුර සුවහසක් සොයුරු සොයුරි කැල වෙත”
“බොහෝ ඇදහිලි කල්ලි නායකයින් විසින් අත්පත් කර ගන්නා දේ සමාන වන්නේ ක්‍රීඩාවේ යෙදෙන දරුවෙකු සෙල්ලම් බඩු යොදාගෙන පරිකල්පනීය ලෝකයක් නිමවා ගැනීමටය. එම සෙල්ලම් ලෝකය තුළ දරුවා සුළු මෙහොතකට තමන්ගේම වූ රාජධානියක් ගොඩනඟා ගනිමින් සර්වබලධාරීත්වය පිලිබඳ හැඟීමක් ඇති කර ගනියි. ඔහු ‍බෝනික්කන් එහෙ මෙහෙ කරයි. ඔවුහු ඔහුගේ අණ පිළිපදිති. ඔවුහු ඔහුගේම වචන ආපසු ඔහුටම කියති. දරුවා විසින් ක්‍රීඩා භාණ්ඩ එහා මෙහා කරන්නාක් මෙන් ඇදහිලි කල්ලි නායකයා ද තම අණට අකීකරු වන අයව එහා මෙහා කරමින් මෙහෙයවමින්, බනිමින් හෝ ඇතැම් විටක මරා දමමින් සිටියි.”

උපුටා ගැනීම් ඉහත කෘතියෙනි.

September 21, 2009

සමාජ විචාර

රාජ්‍ය නොවන සංවිධාන ජන පැලැන්තිය හා සමාජ ව්‍යාපාර
Colours of Ceylonism
නිදහසින් පසුව යටත්විජිත රටවල් වල උවමනා ආකාරයට ලංකාවේ සියල්ල සකස් කර ඔවුන්ට ගැලපෙන අපට නොගැලපෙන පාලක පන්තියකට රට බාර දී ගියහ. මෙම පාලක පන්තිය පෙර රදල හෙවත් අධිරාජ්‍යවාදීන්ට උදව් කල සිංහල දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයෙන් හෙබි විය. කාලානුරූපව සකස් වූ මෙම මධ්‍යම පන්තිය විසින් රටේ බලතල බාරගන්නා ලදී. මෙම බාරගැනීම සාර්ථකව සිදු වුවද පාලනය කිරීම සිදු කරන ලද්දේ අසාර්ථකවය. එම නිසා අධිරාජ්‍යවාදයට භාවිතා කල නොහැති ආකාරයට ඔුවුන් විසින් සකස් කරන ලද ව්‍යුහයන් ජරාජීර්ණ විය. පාර්ලිමේන්තුව, අධිකරණය, රාජ්‍ය යාන්ත‍්‍රණය මෙම ව්‍යුහ අතර කැපීපෙනෙන අක‍්‍රමිකතාවයන් සිදු කරන ලද ආයතනය බවට පත්විය.

මෙහි අසාර්ථකභාවය නිසාම එය හුදෙක් පවුල්වාදීව රට සූරාකන මාදිලි බවට පත්වන්නට එතරම් කල් ගත වූයේ නැත. අද වන විට එය සම්පූර්ණයෙන්ම පවුල්වාදීව හා පුද්ගලිකව රට සූරාකන මාදිලි බවට පත්ව ඇත. අධිරාජ්‍යවාදීන් හට මෙයින් සිය පල නෙලාගත හැකි නොවූවා යැයි මින් අදහස් වන්නේ නැත. කෙසේ වෙතත් අධිරාජ්‍යවාදය බලාපොරොත්තු වූ ආකාරයට අදාල සේවාවන් සිදු වූයේ නැත. මේ රටේ කුරුඳුකාර මධ්‍යම පන්තිය අහෝසි වෙමින් සිටී. මෙහි අන්තිම පුරුක් මේ වන විට පාර්ලිමේන්තුව,පළාත්සභා සහ එවැනි තත්ව අත් කරගනිමින් සිටිති.

ව්‍යුහයන්හි අසාර්ථකභාවය හා රට තුල ඇති වූ තත්වයන් මත 1971 සහ 1980 ගණන් වල උතුරේ ද යලි 1990 දක්වා දකුණේද වශයෙන් ආයුධ භාවිතයෙන් සමාජය තුළ බලය පැතිරවීමට දරන ලද උත්සාහයන් කි‍්‍රයාත්මක විය. මෙය අද වන විට උතුරේ යුද්ධයක් දක්වා වර්ධනය වී ඇත. රට කිසිවෙකුට පාලනය කල නොහැකි තත්වයන්ට පත් වූ අතර මෙය රට සූරාකන දියුණු රටවල් සඳහා ද පාඩුවක් බවට පත්විය. පොදුවේ ගත්කල අධිරාජ්‍යවාදීන් විසින් භාවිතා කල මෙම පැරණි ව්‍යුහ අසාර්ථකවීම් ලෝකයේ දියුණුවෙමින් පවතින රටවල් බොහොමයක් තුළ සිදු විය. ඔවුන් මෙයට විකල්ප සොයන ලදී.

ලෝක පරිමානව මේ සදහා විකල්ප වශයෙන් සහ සමාජවාදී මතවාදය වෙනුවට මතවාදයන් සමාජගත කිරීම සදහා ඔවුන් විසින් රාජ්‍ය නොවන සංවිධාන ව්‍යුහය රටවල් වලට හඳුන්වා දෙන්නට විය. ලංකාවේ මේ සදහා ගැලපෙන කණ්ඩායම් සොයා එය ව්‍යාප්ත කිරීමක් ද දක්නට විය. මෙහි ප‍්‍රධාන පරමාර්ථය වූයේ අධිරාජ්‍යවාදී රටවලට ගැලපෙන මතවාද ඔවුන්ගේ සූරාකෑම හා සම්පත් මංකොල්ලයට අදාලව සමාජගත කිරීමයි. මේ සදහා රට ගැන වඩාත් දන්නා පිරිස් අවශ්‍ය විය. ලංකාවේ අතීත භාවිතයන් තුළ වාමාංශික කි‍්‍රයාකාරීන් මේ සදහා ඉතා හොඳ ආරම්භයක් ලබා දෙන ලදී. එයට ඓතිහාසික හේතුවක්ද විය.

අධිරාජ්‍යවාදීන් හසු කරගන්නා ලද නව ස්ථරය වූයේ ලංකාවේ වාමාංශික ව්‍යාපාර වල වැඩකරන ද හා වාමංාංශික මතවාද ඇති බුද්ධිමතුන්ය. හේ පිරිස් රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ , දේශපාලනය තුළ ඉඩකඩක් නොලද පිරිසකි. නමුත් රට ගැන ඇති ආදරය හා උවමනාව මේ අයගෙන් පහව ගොස් නොතිබුනි. එසේම වාමාංශික අදහස් වලට ඇති බිය හෝ පරාධීනභාවය නිසා නව මතවාදයන් ද සොයමින් සිටි පිරිසකි. මේ පිරිසට රාජ්‍ය නොවන සංවිධාන බලවත් ආශිර්වාදයක් විය. මෙම පිරිස 70 දශකයෙන් පසු සිය දේශපාලන වේදිකාව බවට පත් කරගන්නට තැත් කරන ලද්දේ මේ රාජ්‍ය නොවන සංවිධානයි. අරමුණුසහගතව කරන ලද විශේෂීකරණ ව්‍යපෘති තුළ ඔවුන්ගේ සමාජීය අරමුණු කිසිවක් ඉටු නොවූව ද ඔවුන්ගේ පදු්ගලික අරමුණු මේ තුළ ඉටු විය.

මෙම පැලැන්තිය විසින් ලංකාව පුරා ම සමාජීයව හිතවත් මිනිසුන් මෙම රෝගයට ගොදුරු කර ගන්නා ලදී. තව දුරටත් රාජ්‍ය නොවන සංවිදාන ඔවුන් විසින් හඳුනා ගන්නා ලද්දේ හුදෙක් මුදල් ලැබීමේ හා යැපීම් ක‍්‍රමෝපායක් ලෙසය. සමාජයේ සිටින සමාජය වෙනුවෙන් වැඩ කල යුතු යැයි සිතන පක්ෂ දේශපාලනයේ සිටි හෝ නොසිටි පිරිස් ක‍්‍රමිකව රාජ්‍ය නොවන සංවිදාන කරා ඇදී එන්නට විය. මේ තුළ මෙම පැලැන්තියේ ජීවනෝපාය මාර්ගය බවට පත් වූයේ රාජ්‍ය නොවන සංවිධානයි.

අද වන විට ඕනෑම ගමක රාජ්‍ය නොවන සංවිධාන තැරව්කරුවෙක් හෝ කිහිප දෙනෙක් සිටී. රාජ්‍ය නොවන සංවිධාන විසින් ගම් වල හා නගර වල මෙන්ම වතුකරයේ සිටින අඩු ආදායම්ලාභී පුද්ගලයින්ගේ මනස් ආධාර මානසිකත්වයට ඇද දමා තිබේ. පොදු සාමූහිකත්වය වෙනුවට පරාධීන පුද්ගලික හා ජාවාරම්කාර පෞරුෂයන් බවට මෙම පෞරුෂයන් පත්ව ඇත.

ප‍්‍රජාවේ නායකත්වයන් සියල්ල හිමිව තිබුනේ මෙම පුද්ගලයින්ටය. නමුත් විවිධාකර අක‍්‍රමිකතා හා පුද්ගලික ලාභ ප‍්‍රයෝජන නිසා වසර සිය ගණනක් ගොඩනැගී තිබූ ග‍්‍රාමීීය නායකත්ව පෞරුෂය මේ තුළ විනාශ වී ඇත. මෙය ප‍්‍රබලව බලපාන්නේ ඔවුනොවුන්ගේ සමාජීය ජීවිතයටය. මේ වන විට ගෝලීයකරණ තත්වයන් තුළ ගම්වල සමාජ ජීවිත වේගයෙන් වෙළඳපලකරනය වෙමින් පවතී. ඒ තුළ තත්වය තවත් භයානකව ඇත.

ප‍්‍රජාවේ රාජ්‍ය නොවන සංවිධාන නායකයන් නිරන්තරව සිතන්නේ තමාගේ පුද්ගලික හා ගමේ විශේෂීකරනය වූ ප‍්‍රශ්න කෙරෙහිය. ගැටළු වලට හේතූන් වශයෙන් සීමාකාරී පටු සාධකයන් හුවා දක්වන ඔවුහු මෙම මතවාදයන් නිරන්තර ගම් පුරා පතුරවමින් සිටිති. මෙය වසංගතයක් පමනට පත්ව ඇත. එම තත්වය පොදුවේ සමාජීය ගොඩනැංවීම් හා පොදු සමාජ තත්වයන් සදහා ප‍්‍රබල බාධාවක් ලෙස පෙනී සිටිති. පොදු ජනතාව මෙම රැවැටීමේ ගොදුරු බවට පත්ව ඇත.

අනෙක් අතට මෙම පිරිස ද මෙම රෝගය බෝවීමට පෙර සමාජීයව බොහෝ දේ ගැන උනන්දු වූ සහ ඓන්දී‍්‍රය බද්ධ වූ පිරිස් ය. රාජ්‍ය නොවන සංවිධාන විසින් බිහි කරන ලද මෙම පිරිස සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීම සදහා වන ප‍්‍රබල බාධකයක් ලෙස හඳුනාගැනීමට පුලූවන. නමුත් මෙම පිරිස් සමාජ ව්‍යාපාර සදහා අවශ්‍ය නොවන බව මින් අදහස් නොකෙරේ. මෙම තත්වය වටහා ගැනීම හා පිලියම් යෙදීමේ භාරධූර ජාතික කාර්යභාරයේ වගකීම ද නැවත වතාවක් හිමි වන්නේ සමාජ ව්‍යාපාර වල කේඩරයන්ටය.


දැන් ඉදිකෙරෙමින් පවතින Colours of Ceylonism අන්තර්ජාල වාර සංග්‍රහයේ මුල් කලාපයෙන් උපුටා ගන්නා ලදී.

September 12, 2009

දේශපාලනය

Filed under: දේශපාලනය — kathika @ 2:37 am
“වතු කම්කරු වැටුප් අඩකින් වැඩි කරන්න”
එක්සත් ලංකා වතු කම්කරු සමිතිය

දැනට දිනකට රු 290/- ලබන එම කම්කරුවන්ට ඊට වඩා වැඩි මුදලක් එකතු වන්නේ නොයෙක් කොන්දේසි මතය. එයින් නිශ්චිත වන්නේ තේ හෝ රබර් මිල අනුව ගෙවන දීමනාවය. පසුගිය 6 මසක පමණ කාලය තුළ තේ මිල අඩුවිම නිසා එම ලැබීමද ඇන හිටියේය. රබර් මිල තවමත් පහල මට්ටමක පවතී.

අඩු මිලට සහල් සලාකයක් බොහෝ වතු කම්කරුවන්ට නොලැබේ. ඔවුන් ජීවත්වන නිවාස වැඩි හරියක් පැරණි දිරාපත් ඒවාය. එම නිවාස අළුත්වැඩියා කිරීමක් ක‍්‍රමානුකූලව සිදු නොකරයි. වතුකම්කරු නිවාස භුමි හෝ පරිශ‍්‍ර නඩත්තුවක්ද නැත. තම අවම ආදායම තරමකින් හෝ වැඩිකර ගැන්ම සඳහා සතුන් හැදීමට දරන උත්සාහයටද වතු පාලකයෝ එරෙහි වෙති. දරට වත්තේ අතු කැබැල්ලක් අහුලා ගැනීමට ද අවසරයක් නැත. මොවුන්ට තම අර්ථ සාධකය උකසට තබා ණය මුදලක් ගෙන නිවසක් හදා ගැනීමට ඉඩම් කැබැල්ලක් ලබා දෙන වැඩසටහනද අතර මග ඇනහිටිමින් සිදුවේ.

දැනට පවතින අත්‍යවශ්‍ය ආහාර හා භාණ්ඩවල මිල ගනන් අනුව වතු කම්කරු වැටුප් 50% වැඩි විය යුතුය. නැතහොත් සලාකයක් පෙරමෙන් අඩු මිලකට සැපයිය යුතුය. වතු කම්කරු දරුවන්ට රැකියා සඳහා පුහුණුවක් නොලැබෙන අතර උගත් අයට පවා අවස්ථාවක් නොලැබේ. තවද මොවුන් අතර බහුතරයක් වන දෙමල කම්කරුවන්ට තම බසින් රාජකාරී කටයුතු සඳහා අයිතිවාසිකමක් නැත. ඔවුන්ගේ පාසැල් සියල්ලම රජයේ අඩු සැලකීම් ලැබෙන දුර්වල පාසැල්ය. එබැවින් වතු කම්කරු වැටුප් 50% වැඩි කරන ලෙසද තම අර්ථ සාධකයෙන් ලබා ගන්නා ණය මුදලින් නිවාස හදා ගැනීමට ඉඩම් ලබා දෙන ලෙසද ඔවුන් බලවත්සේ ඉල්ලා සිටී.

එක්සත් ලංකා වතු කම්කරු සමිතියේ සභාපති වාසුදේව නානායක්කාර ගේ අත්සනින් නිකුත් කොට ඇති පුවත්පත් නිවේදනයකි.

දේශපාලනය

“තිස්සනායගම්ට දේශපාලන සිරකරුවෙක් ලෙස ආරක්ෂාව සළකන්න”
වාසුදේව නානායක්කාර බන්ධනාගාර කොමසාරිස්වරයාට කියයි

15714 “අපගේ පෙර සගයෙකු වූ ජේ.එස්. තිස්සනායගම් ඔහු ලියූ දේවල් නිසා සිර ද‍ඬුවමකට යටත් කළ බව මා දැනගත්තේ කණගාටුවෙනි. ඔහු මේවා ලියා ඇත්තේ 1980 අග සහ 1990 මුල් භාගයන්හිදී අතුරුදහන්වීම් වාර්තා ගත කරන්නට අපට උදවු කළ එකම ලාලසාවෙන් බව මගේ වැටහීම” යැයි සඳහන් කරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙහි නායක වාසුදේව නානායක්කාර, බන්ධනාගාර කොමසාරිස්වරයාට ලියුමක් යවමින්, ඔහුගේ අභියාචනය අසන තෙක්, ඔහු සාපර‍ධී වැරදි වලට දඬුවම් ලබන්නන් අතර නොතබා, ඔහුට දේශපාලන සිරකරුවෙක් ලෙස සළකමින්, සිපිරිගෙය තූළ ඔහුගේ ආරක්ෂාව සළසා දීම වැදගත් වන බව දන්වා සිටියි.

August 24, 2009

ජනවාර්ගික සබඳතා

“ අපිට අවශ්‍ය මේ කඳවුරුවල තත්ත්වය දියුණු කිරීම නෙවෙයි. ඒක මහ පව්කාර අදහසක්.”

රාවය පුවත් පතේ අගෝස්තු 02 වැනිදා කලාපය පළ කළ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වාසුදේව නානායක්කාර සමග විමලනාත් වීරරත්න කළ සම්මුඛ සාකඡචාවෙන් උපුටා ගන්නා ලදී.

ඔබ මීට පෙර අවස්ථා කීපයකදීම උතුරේ අවතැන් කඳවුරුවල තත්ත්වය විවේචනය කළා. දැන් තත්ත්වය යහපත් වී තිබෙනවාද?

ජලය පිළිබඳ දියුණුවක් තිබෙනවා. එතකොට වැසිකිළි පහසුකම් පිළිබඳවත් යම් දියුණුවක් තිබෙනවා. නමුත් කඳවුරුවල තිබෙන ජනාකීර්ණභාවය, අවහිරතා, බැහැර යෑමට ඒමට නිදහසක් නැති සිරකඳවුරක තත්ත්වය, දිගටම අවම ආහාර මට්ටමකින් ජීවත් වන්නට සිදුවීමේ ඉරණම, අධ්‍යාපනය ලබන දරුවන්ට එම නරක වටාපිටාව තුළ ඉඳගෙන ඉගෙන ගන්නට සිදුවීමේ ඇති දුෂ්කර අත්දැකීම තවම අවසන් වෙලා නැහැ. ඒ නිසා කුඩා කඳවුරු කරා මේ අය අරගෙන යෑමේ අවශ්‍යතාව දැන් පිළිගැනෙමින් තිබෙනවා. අපිට අවශ්‍ය මේ කඳවුරුවල තත්ත්වය දියුණු කිරීම නෙවෙයි. ඒක මහ පව්කාර අදහසක්. අපිට අවශ්‍ය කඳවුරු අවසන් කිරීම සහ මිනිසුන් නිදහස් කිරීමයි. කඳවුරු තත්ත්වය අවසන් කෙරෙන තුරු අපි කාගෙවත් තත්ත්වෙ හොඳ වෙන්නෙ නැහැ. පහසුකම්වල, සැපයුම්වල වැඩි දියුණු කිරීමෙන් පවතින ඛේදවාචකය හොඳ අතට හරවන්න බැහැ.

රජය ඉක්මනින් කඳවුරු ඉවත් කිරීමට උනන්දුවක් දක්වන බව පේනවාද?

ඔව්. කඳවුරු ප්‍රදේශ සිවිල් පාලනයකට හරවමින් තිබෙනවා. විශේෂයෙන්ම කාර්ය සාධන බලකායේ එක් වගකීමක් ඒක. මහලු අය නිදහස් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් තිබෙනවා. නමුත් හුඟාක්ම මගේ හිත කකියන කාරණයක් තිබෙනවා. ඒ තමයි අවුරුදු 10ට අඩු ළමයින් 50,000ක් මෙතැන ගාල්වී සිටීම. ඔවුන්ට මොන වගකීමක්ද තියෙන්නෙ මේ කාලකණ්ණි යුද්ධයට. 10ට අඩු ළමයින්ට මේ ගැන කිසිම තේරුමක් නැහැ. නමුත් ඔවුන් මේ නිසා වැඩිපුරම විඳවන පිරිස් බවට පත්ව සිටිනවා. ඔවුන් ජීවත්වන්නෙ හැදෙන්නෙ වැඩෙන්නෙ මොන පරිසරයකද, මොන නරක අත්දැකීම්වලටද ඔවුන් පාත්‍රව සිටින්නෙ. ඒ ළදරු මනස්වලට මොකද වෙන්නෙ. ඒකයි මට වැඩිපුරම හිතේ අමාරු. ඊළඟට ගැබිණි මව්වරුන්, රෝගීන් ගැන හැමදාම එතැන පාලකයන් හා දොස්තරවරුන් එකිනෙකාට චෝදනා කරගන්නවා. ”

ජනවාර්ගික සබඳතා

“ මනුෂ්‍යත්වය, මානුෂික හැඟීම් හා මතවාදය රැක ගනිමුද? විසිකරමුද?”

වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2009 ජූලි කලාපයේ කතුවැකියෙන් උපුටා ගැණුනි.

“ඉතිහාසයේ කරුණු කාරණා පෙළ ගැසුණු ආකාරය අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරන තුරු යුද්ධයක් කරගෙන යාමට රජයට සිදුවීම නොවැලැක්විය හැකි සිද්ධි දාමයක් විය. එය දෙමළ ජනතාවට එරෙහිවූ යුද්ධයක් නොවන බවට රජය සපථ කලේය. එහෙත් යුද්ධය පැවති කාලය මුළුල්ලේම හානියට, විපතට හා ව්‍යසනයට පත්වූ විශාල වැඩි පිරිස සටන්කරුවන් නොවූ සාමාන්‍ය දෙමළ වැසියන්ම විය. අවසානයේ පරාජයට හා විනාශයට පත් කලේ බෙදුම්වාදී හා ත්‍රස්තවාදී නායකත්වය ඇතුළු එල්.ටී.ටී.ඊ. යේ සටන් බල ඇනි වුවද, නොවැලැක්විය හැකි ලෙස ඒ අතරතුර මහල්ලන්, රෝගීන්, ගැබිනියන්, දරුවන් ඇතුළු සාමාන්‍ය දෙමළ පිරිසක්ද මරණයට ගොදුරු විය. මෙම සිද්ධි දාමය විමසා බැලූ විට නිරාවරණය වන්නේ යුද්ධයේ ඇති මිලේච්ඡ ස්වරූපයම පමණි. මුළු මිනිස් ඉතිහාසය පුරා සියළු මහා දාර්ශනිකයන් චින්තකයන්, කළා කරුවන්, සාහිත්‍යධරයන්, ප්‍රාඥයන්, ශාස්තෘවරුන් හා අශෝක මහරජු වැනි යුධ ශූරයන් එරෙහිවුනේ එනිසාම විය යුතුය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයෙන් පරාජයට යමින් පසු බසිද්දී තම ගැලවීමේ හා රජයේ ප්‍රහාර ප්‍රමාද කිරීමේ උපායක් ලෙස යොදා ගත්තේද සාමාන්‍ය අහංසක වැසියන් බව අද අවිවාදිතය. පලා යාමට තැත්කළ වැසියන්ට, දරුවන්ට හා මහල්ලන්ට පවා එල්.ටී.ටී.ඊ. ය වෙඩි තබා මරා දැමුවේ නැවතත් යුද්ධයේ මිලේච්ඡත්වය දක්වමින්ය. මෙයින් පෙනෙන්නේ සාධාරණත්වය හෝ මානව හැඟීම් පිළිබඳව යුද්ධයේ ඇති අන්ධ බවයි. අනික් අතට එල්.ටී.ටී.ඊ. ය මෙසේ අමානුෂික ලෙස අහිංසක මිනිසුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන ඔවුන් අතර සැඟවෙමින් හමුදාවට පහර දෙන විට එල්.ටී.ටී.ඊ. ය අවසන් පරාජයකට ගෙන යාම සඳහා ඔවුන් අතර සිටි වැසියන් ගැන නොතකා වුවද ගුවන් ප්‍රහාර හා බරඅවි ප්‍රහාර එල්ල කිරීමෙහි රජය නිරතවූ කල්හිද නැවත නිරාවරණය වූයේ යුද්ධයේ මිලේච්ඡත්වයමය. යුද්ධයක් තුළ මානව හැඟීම් හා සාධාරණත්වය මිය යන බවය.

දැන් යුද්ධය අවසන් වී ඇතත් සාමාන්‍ය දෙමළ වැසියන් තුන් ලක්ෂයක් පමණ සීමිත භූමි ප්‍රදේශයක් තුළ සිටිති. ලක්ෂ සංඛ්‍යාත ජනයාට තමන් කැමති ස්ථානයකට යාමට ඊමට හෝ කඳවුරට නැවත පැමිණීමට නිදහස නොදෙන්නේ 9000ක් පමණ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් ඔවුන් අතර ඇති නිසා ඔවුන්ව අත්අඩංගුවට ගැනීම පිණිස බව කියැවේ. 9000ක් දෙනා සොයා ගැනීම සඳහා ලක්ෂ ගණනක් රඳවා තැබීම මනුෂ්‍යත්වයට හා නීතියටද පටහැනි වරදකි. ලක්ෂ ගණනක්වූ මොවුන් අතර සිටින අහංසක කුඩා දරුවන්ට, ගැබිනි මාතාවන්ට, දුබල මහලු පුද්ගලයන්ට, නිදහසේ යාමට ඊමට ඇති අයිතිය අහිමි කර තිබෙන්නේ කුමන ලෝක නීතියක් හෝ සාධාරණයක් අනුවද ………..? යුද්ධ සමයේ නොවැලැක්විය හැකි තත්ත්වයක් යටතේ හිංසාවට හා පීඩනයට ලක් වූ අහිංසක පුරවැසියන්, පශ්චාත් යුධ සමයේද සිරකරුවන් බවට පත්වීම දෛවයේ සරදමකි. මෙම යුද්ධය දෙමළ වැසියන්ට එරෙහිව කළ යුද්ධයක් නොවන බවට රජය කළ ප්‍රකාශයේ අවංකභාවය මේ අනුව ප්‍රශ්නයට බඳුන්වී ඇතුවා පමණක් නොව බරපතල ලෙස ජනතාව නොමඟ යැවීමක් බව තහවුරු වී ඇත. ඊට අමතරව මෙම කඳවුරෙන් තැනින් තැනට රැගෙන යන පුද්ගලයන් කොපමණද? ඔවුන් කවුරුන්ද? ඔවුන්ට සිදුවන්නේ කුමක්ද? යනාදී විස්තර නොදන්නා පවුල් හැඬු කඳුලින් හා බියෙන් ද ඒ ගැන කරකියා ගත හැකි දෙයක් නොමැතිව අසරණව සිටිති. යුද්ධයේ ජයග්‍රහණයෙන් අපගේ රජය හා නායකත්වය ලබා ගත් කීර්ති ප්‍රසංශාවන්ට මෙය කැළලකි.”

August 16, 2009

ජනවාර්ගික සබඳතා

page-1

මඩෙහි එරී, කවදා වෙනතෙක්ද?
ඊයේ ගත් මෙම ඡායාරූපය මැණික් ෆාම් කඳවුර වැසි ජලය‍ට ය‍ටවී එහි කූඩාරම් බොහෝ දුරට වාසයට නුසුදුසු බවට පත්කොට ඇති අයුරු පෙන්නුම් කරයි. අභ්‍යන්තරව අවතැන් වූවන් 1000 ක් පමණ “විකල්ප වාසස්ථාන” කරා ගෙන ගිය නමුදු සෙසු ජනයාට වගුරු බිමෙහි මඩ ගොහොරුවෙහි තව දුරටත්රැඳී සිටින්නට සිදුවීය.
2009 අ‌ගෝස්තු මස 16 වැනිදා Lakbima News පුවත් පතේ මුල් පිටුවෙනි.
වැඩි විස්තර සඳහා මෙහි බලන්න.
තවත් ඡායාරූප transcurrents වෙබ් අඩවියෙන්

Image010

Image023

Image056

Image075

Image077

Image083

August 12, 2009

ජනවාර්ගික සබඳතා

“මෙම අවතැන් කඳවුරු වල දොරටු එක දවසකට හෝ විවෘත කළ හොත් එකම පුද්ගලයෙක් හෝ එහි රැඳී නොසිටින බව ඔබට දැක ගත හැක. ”

වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2009 අ‌ගෝස්තු කලාපයෙන් උපුටා ගන්නා ලදී.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපති වී. ආනන්දසංගරී මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද විවෘත සංදේශය.

05.07.09

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි,

අභ්‍යන්තරව අවතැන් වූවන්ගේ ශෝකජනක තත්වය.

මේ රටේ අභිමානය හා ගරුත්වය පවත්වා ගත යුතු නම් මෙම අවස්ථාවේදී ඔබගේ මැදිහත් වීම අවශ්‍ය බව අවබෝධ කරවීම සඳහා මා මෙම ලිපිය ලියන්නේ බලවත් සිත් තැවුලෙනි. රටේ විශ්වසනීයත්වය රඳා පවතින්නේ සමහර කාණ්ඩ වලට අයත් අවතැන් වූවන් වහාම නිදහස් කිරීමටත් ඉතිරි අයගේ ගැටළුව ඉක්මණින් විමර්ශනය කිරීමටත් නියෝග කිරීමට ඔබ ගන්නා තීරණය මතයි. දැනට ඔවුන් රඳවා ගෙන ඇත්තේ කිසිම සාධාරණ හේතුවක් නොමැතිව නොයෙකුත් සීමාවන් යටතේ සුභ සාධන මධ්‍යස්ථානයක නොව එලිමහන් සිරකඳවුරක බලහත්කාරයෙන් මෙනි. මා මෙය ලියන්නේ අවතැන් කඳවුරු වල සිදුවන බොහෝ දේ ඔබට දැන ගැනීමට නොලැඛෙන්නේය යන සිතුවිල්ල අනුවය. ඇසින් දකින දේ අපට විශ්වාස කළ හැක. එමනිසා අවතැන් වූවන්ගේ කඳවුරකට (මැණික් ෆාම් වලට පමණක් නොවේ) යෑම අත්‍යාවශ්‍යය. ඔබ රාජ්‍ය නායකයා වශයෙන් සිටින අපේ රටේ මෙවැනි දේ සිදු විය නොහැක. සිදු විය යුතුද නොවේ. ඔබගේ තීරණය, තමන්ගේ වරදක් නැතිව සරණාගත කඳවුරුවල දුක් විඳින 300,000 ක පමණ ජනතාවගේ ජීවිතත් සමග සෙල්ලම් කළ හැකියැයි සිතන සමහරුන් ගේ ඇස් අරවනු ඇත. අප, තමන්ගේ සාක්කු වල ඇති මුදලින් මරණයට කැප වූ ගවයන් නිදහස් කර ගන්නා කුඩා ළමයින් සිටින ආඩම්බර ජාතියකි. මට අද මෙය ලියන්නට සිත් වූයේ පුල්මුඩෙයි අවතැන් කඳවුරේ සිටින වයස අවුරුදු එකක ළමයෙක් වයස 61 ක් වන තම ආච්චි සමග නිදහස් කිරීමට අධිකාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසාය. තම වම් කකුළ කපා දමනු ලැබු මෙම ළමයාගේ පියා, ආච්චිගේ පුතා, දැන් පුල්මුඩේ හි සිටී. දකුණු පාදය කපා දමා ඇති ඔහුගේ බිරිඳ වම් පාදයේ බරපතළ කැඩුම් බිදුම් සහිතව වවුනියාවේ සිටී. මෙවැනි දේ ලොව අන් කිසි තැනක සිදු වන්නේ නැත. මෙවැනි සිද්ධීන් ගැන ඔබ දන්නේයැයි මොහොතකටවත් මම නොසිතමි. මෙවැනි සිදුවීම් 300,000 ක් පමණ වන අවතැන් වුවන් සිටින ඕනෑම කඳවුරක අපමණ ඇත. (more…)

Next Page »

Blog at WordPress.com.