Kathika

September 21, 2009

සමාජ විචාර

රාජ්‍ය නොවන සංවිධාන ජන පැලැන්තිය හා සමාජ ව්‍යාපාර
Colours of Ceylonism
නිදහසින් පසුව යටත්විජිත රටවල් වල උවමනා ආකාරයට ලංකාවේ සියල්ල සකස් කර ඔවුන්ට ගැලපෙන අපට නොගැලපෙන පාලක පන්තියකට රට බාර දී ගියහ. මෙම පාලක පන්තිය පෙර රදල හෙවත් අධිරාජ්‍යවාදීන්ට උදව් කල සිංහල දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයෙන් හෙබි විය. කාලානුරූපව සකස් වූ මෙම මධ්‍යම පන්තිය විසින් රටේ බලතල බාරගන්නා ලදී. මෙම බාරගැනීම සාර්ථකව සිදු වුවද පාලනය කිරීම සිදු කරන ලද්දේ අසාර්ථකවය. එම නිසා අධිරාජ්‍යවාදයට භාවිතා කල නොහැති ආකාරයට ඔුවුන් විසින් සකස් කරන ලද ව්‍යුහයන් ජරාජීර්ණ විය. පාර්ලිමේන්තුව, අධිකරණය, රාජ්‍ය යාන්ත‍්‍රණය මෙම ව්‍යුහ අතර කැපීපෙනෙන අක‍්‍රමිකතාවයන් සිදු කරන ලද ආයතනය බවට පත්විය.

මෙහි අසාර්ථකභාවය නිසාම එය හුදෙක් පවුල්වාදීව රට සූරාකන මාදිලි බවට පත්වන්නට එතරම් කල් ගත වූයේ නැත. අද වන විට එය සම්පූර්ණයෙන්ම පවුල්වාදීව හා පුද්ගලිකව රට සූරාකන මාදිලි බවට පත්ව ඇත. අධිරාජ්‍යවාදීන් හට මෙයින් සිය පල නෙලාගත හැකි නොවූවා යැයි මින් අදහස් වන්නේ නැත. කෙසේ වෙතත් අධිරාජ්‍යවාදය බලාපොරොත්තු වූ ආකාරයට අදාල සේවාවන් සිදු වූයේ නැත. මේ රටේ කුරුඳුකාර මධ්‍යම පන්තිය අහෝසි වෙමින් සිටී. මෙහි අන්තිම පුරුක් මේ වන විට පාර්ලිමේන්තුව,පළාත්සභා සහ එවැනි තත්ව අත් කරගනිමින් සිටිති.

ව්‍යුහයන්හි අසාර්ථකභාවය හා රට තුල ඇති වූ තත්වයන් මත 1971 සහ 1980 ගණන් වල උතුරේ ද යලි 1990 දක්වා දකුණේද වශයෙන් ආයුධ භාවිතයෙන් සමාජය තුළ බලය පැතිරවීමට දරන ලද උත්සාහයන් කි‍්‍රයාත්මක විය. මෙය අද වන විට උතුරේ යුද්ධයක් දක්වා වර්ධනය වී ඇත. රට කිසිවෙකුට පාලනය කල නොහැකි තත්වයන්ට පත් වූ අතර මෙය රට සූරාකන දියුණු රටවල් සඳහා ද පාඩුවක් බවට පත්විය. පොදුවේ ගත්කල අධිරාජ්‍යවාදීන් විසින් භාවිතා කල මෙම පැරණි ව්‍යුහ අසාර්ථකවීම් ලෝකයේ දියුණුවෙමින් පවතින රටවල් බොහොමයක් තුළ සිදු විය. ඔවුන් මෙයට විකල්ප සොයන ලදී.

ලෝක පරිමානව මේ සදහා විකල්ප වශයෙන් සහ සමාජවාදී මතවාදය වෙනුවට මතවාදයන් සමාජගත කිරීම සදහා ඔවුන් විසින් රාජ්‍ය නොවන සංවිධාන ව්‍යුහය රටවල් වලට හඳුන්වා දෙන්නට විය. ලංකාවේ මේ සදහා ගැලපෙන කණ්ඩායම් සොයා එය ව්‍යාප්ත කිරීමක් ද දක්නට විය. මෙහි ප‍්‍රධාන පරමාර්ථය වූයේ අධිරාජ්‍යවාදී රටවලට ගැලපෙන මතවාද ඔවුන්ගේ සූරාකෑම හා සම්පත් මංකොල්ලයට අදාලව සමාජගත කිරීමයි. මේ සදහා රට ගැන වඩාත් දන්නා පිරිස් අවශ්‍ය විය. ලංකාවේ අතීත භාවිතයන් තුළ වාමාංශික කි‍්‍රයාකාරීන් මේ සදහා ඉතා හොඳ ආරම්භයක් ලබා දෙන ලදී. එයට ඓතිහාසික හේතුවක්ද විය.

අධිරාජ්‍යවාදීන් හසු කරගන්නා ලද නව ස්ථරය වූයේ ලංකාවේ වාමාංශික ව්‍යාපාර වල වැඩකරන ද හා වාමංාංශික මතවාද ඇති බුද්ධිමතුන්ය. හේ පිරිස් රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ , දේශපාලනය තුළ ඉඩකඩක් නොලද පිරිසකි. නමුත් රට ගැන ඇති ආදරය හා උවමනාව මේ අයගෙන් පහව ගොස් නොතිබුනි. එසේම වාමාංශික අදහස් වලට ඇති බිය හෝ පරාධීනභාවය නිසා නව මතවාදයන් ද සොයමින් සිටි පිරිසකි. මේ පිරිසට රාජ්‍ය නොවන සංවිධාන බලවත් ආශිර්වාදයක් විය. මෙම පිරිස 70 දශකයෙන් පසු සිය දේශපාලන වේදිකාව බවට පත් කරගන්නට තැත් කරන ලද්දේ මේ රාජ්‍ය නොවන සංවිධානයි. අරමුණුසහගතව කරන ලද විශේෂීකරණ ව්‍යපෘති තුළ ඔවුන්ගේ සමාජීය අරමුණු කිසිවක් ඉටු නොවූව ද ඔවුන්ගේ පදු්ගලික අරමුණු මේ තුළ ඉටු විය.

මෙම පැලැන්තිය විසින් ලංකාව පුරා ම සමාජීයව හිතවත් මිනිසුන් මෙම රෝගයට ගොදුරු කර ගන්නා ලදී. තව දුරටත් රාජ්‍ය නොවන සංවිදාන ඔවුන් විසින් හඳුනා ගන්නා ලද්දේ හුදෙක් මුදල් ලැබීමේ හා යැපීම් ක‍්‍රමෝපායක් ලෙසය. සමාජයේ සිටින සමාජය වෙනුවෙන් වැඩ කල යුතු යැයි සිතන පක්ෂ දේශපාලනයේ සිටි හෝ නොසිටි පිරිස් ක‍්‍රමිකව රාජ්‍ය නොවන සංවිදාන කරා ඇදී එන්නට විය. මේ තුළ මෙම පැලැන්තියේ ජීවනෝපාය මාර්ගය බවට පත් වූයේ රාජ්‍ය නොවන සංවිධානයි.

අද වන විට ඕනෑම ගමක රාජ්‍ය නොවන සංවිධාන තැරව්කරුවෙක් හෝ කිහිප දෙනෙක් සිටී. රාජ්‍ය නොවන සංවිධාන විසින් ගම් වල හා නගර වල මෙන්ම වතුකරයේ සිටින අඩු ආදායම්ලාභී පුද්ගලයින්ගේ මනස් ආධාර මානසිකත්වයට ඇද දමා තිබේ. පොදු සාමූහිකත්වය වෙනුවට පරාධීන පුද්ගලික හා ජාවාරම්කාර පෞරුෂයන් බවට මෙම පෞරුෂයන් පත්ව ඇත.

ප‍්‍රජාවේ නායකත්වයන් සියල්ල හිමිව තිබුනේ මෙම පුද්ගලයින්ටය. නමුත් විවිධාකර අක‍්‍රමිකතා හා පුද්ගලික ලාභ ප‍්‍රයෝජන නිසා වසර සිය ගණනක් ගොඩනැගී තිබූ ග‍්‍රාමීීය නායකත්ව පෞරුෂය මේ තුළ විනාශ වී ඇත. මෙය ප‍්‍රබලව බලපාන්නේ ඔවුනොවුන්ගේ සමාජීය ජීවිතයටය. මේ වන විට ගෝලීයකරණ තත්වයන් තුළ ගම්වල සමාජ ජීවිත වේගයෙන් වෙළඳපලකරනය වෙමින් පවතී. ඒ තුළ තත්වය තවත් භයානකව ඇත.

ප‍්‍රජාවේ රාජ්‍ය නොවන සංවිධාන නායකයන් නිරන්තරව සිතන්නේ තමාගේ පුද්ගලික හා ගමේ විශේෂීකරනය වූ ප‍්‍රශ්න කෙරෙහිය. ගැටළු වලට හේතූන් වශයෙන් සීමාකාරී පටු සාධකයන් හුවා දක්වන ඔවුහු මෙම මතවාදයන් නිරන්තර ගම් පුරා පතුරවමින් සිටිති. මෙය වසංගතයක් පමනට පත්ව ඇත. එම තත්වය පොදුවේ සමාජීය ගොඩනැංවීම් හා පොදු සමාජ තත්වයන් සදහා ප‍්‍රබල බාධාවක් ලෙස පෙනී සිටිති. පොදු ජනතාව මෙම රැවැටීමේ ගොදුරු බවට පත්ව ඇත.

අනෙක් අතට මෙම පිරිස ද මෙම රෝගය බෝවීමට පෙර සමාජීයව බොහෝ දේ ගැන උනන්දු වූ සහ ඓන්දී‍්‍රය බද්ධ වූ පිරිස් ය. රාජ්‍ය නොවන සංවිධාන විසින් බිහි කරන ලද මෙම පිරිස සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීම සදහා වන ප‍්‍රබල බාධකයක් ලෙස හඳුනාගැනීමට පුලූවන. නමුත් මෙම පිරිස් සමාජ ව්‍යාපාර සදහා අවශ්‍ය නොවන බව මින් අදහස් නොකෙරේ. මෙම තත්වය වටහා ගැනීම හා පිලියම් යෙදීමේ භාරධූර ජාතික කාර්යභාරයේ වගකීම ද නැවත වතාවක් හිමි වන්නේ සමාජ ව්‍යාපාර වල කේඩරයන්ටය.


දැන් ඉදිකෙරෙමින් පවතින Colours of Ceylonism අන්තර්ජාල වාර සංග්‍රහයේ මුල් කලාපයෙන් උපුටා ගන්නා ලදී.

June 30, 2009

ජනවාර්ගික සබඳතා

” ඔබ ඔවුන් ඔබ ට කරනු ඇතැයි අපේක්ෂා කරන පරිද්දෙන්ම, අන් අයට ද කරන්න ”

” මා සිතන්නේ, මෙබඳු කටයුතු වලදී අනුගමනය කළ හැකි, පුරුද්දෙන් ඇතිකර ගත්, ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් නම් “ ඔබ ඔවුන් ඔබ ට කරනු ඇතැයි අපේක්ෂා කරන පරිද්දෙන්ම, අන් අයට ද කරන්න” සහ ඔවුන් ඔබ ට කරනු ඇතැයි ඔබ අපේක්ෂා නොකරනු ඇති යමක් අන් අයට නොකරන්න. බාගවිට, මෙබඳු විවාදාපන්න මාතෘකා පිළිබඳ ලියන කුමන හෝ ලේඛකයෙකු “ මගේ අත්තම්මා ඒ ඇතුළේ සිටියා නම් මොකද වෙන්නේ? එය මගේ පර්යාලෝකය වෙනස් කරනු ඇත්ද?” යන ප්‍රශ්නය ඇසිය යුතුය. “

දයාන් ජයතිලක මෙසේ මතක් කළේ කුමන කරුණක් අරභයා ද? මෙහි බලන්න

October 17, 2008

ජනරජය

සයිමන් බ්ලැක්බර්න් – Globe and Mail පෙබරවාරි 9, 2008
පරිවර්තනය : හේමරත්න ලියනආරච්චි

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විශේෂාංගයේ අප මෙතෙක් පළ කළේ ශ්‍රේෂ්ඨතම කෘතීන් තේරීම පිළිබඳ Globe and Mail පුවත්පතේ පාඨකයන් පළ කළ අදහස් ඇසුරින් සකස් කළ ලිපි කිහිපයකි. එම ග්‍රන්ථ නාමාවලියට අයත් පොතක් පිළිබඳ පළමු ලිපිය ප්ලේටෝ ගේ ජනරජය පිළිබඳ අප පහත පළ කරන්නෙමු. මෙම පළමු ලිපියට ජනරජය තෝරා ගැණුනේ ‘ලොව ශ්‍රේෂ්ඨ පොත් 50’ පිළිබඳ එළඹුණු කිසිදු අනු පිළිවෙළකට අනුව නොව හුදු අහම්බයක් වශයෙනි. Globe and Mail පුවත් පතේ ජනරජය පිළිබඳ ලිපිය පළ වූයේ පස්වැනි ලිපිය වශයෙනි. එම ලිපි පළ කිරීම ද අනුපිළිවෙළකට කළ තේරීමක් නොවන බව Globe and Mail පුවත්පත ද අවධාරණය කර සිටියේය.

බටහිර දර්ශණය වූ කලී ප්ලේටෝට සපයන ලද අධෝලිපි ආවලියකැ යි ප්‍රසිද්ධ ලෙස හඳුන්වනු ලැබ ඇත.* ක්‍රි. පූ. 375 දී පමණ රචිත ප්ලේටෝගේ අත්‍යුත්කෘෂ්ට කෘතිය වන ජනරජය එදාට මෙන් අදට ද අදාළ වෙයි.

අවදානමට ලක් ව පවතින්නේ ‘අපට ජීවත් වීමට සිදු ව ඇත්තේ කෙසේ ද’ යන්න බව සිය ගුරු දෙවි සොක්‍රටීස්ගේ හඩින් ප්ලේටෝ අපට පවසයි. සැබැවින් ම ඔහු දෙ ආකාර ප්‍රතිවාදීන් අභිමුඛස්ථ වීමේ දී මෙම කරුණ ඉස්මතු වෙයි. එකෙක් ආචාරවන්ත වූ ද සම්ප්‍රදායානුකූල වූ ද බුහුටි ලෙස කාර්ය ඉටු කර ගන්නා වූ ද අය විසින් නියෝජනය කෙරෙයි. අනෙක් ප්‍රතිවාදියා වූ කලී ‘ශක්තිය යුක්තිය යි’ යන දහමයි ; ‘ප්‍රඥාව සමන්විත වන්නේ භක්ෂණය කරනු ලබන නොව භක්ෂණය කරන සුනඛයාගෙනි’ යන – නරුමවාදී, ඇනුම්පදකාර ත්‍රැසිමැකස් විසින් නියෝජනය කරනු ලබන – ප්‍රේක්ෂණයයි. (more…)

May 14, 2008

තම දේශයට ආදරය කළ, ඇෆ්ඝනිස්ථානු ජාතියක් වෙනුවෙන් අරගල කළ, විප්ලවවාදිනිය මීනා

මීනා
දිදුලන ඇෆ්ඝන් තරුව
ඇෆ්ඝන් ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පිදූ
වීරවරියකගේ සත්‍ය කථාව

කර්තෘ : මෙලඩි එමර්චයිල්ඩ් චාවිස්
පෙරවදන : ඇලිස් වෝකර්
පරිවර්තනය : ප්‍රභා මනුරත්න
2008 , සේතුක ප්‍රකාශකයෝ, කැළණිය. රු. 395/-

meena31.jpg

මීනා: චරිතාපදානය

මීනා, එනමින් යුතු සුන්දර තරුණ ඇෆ්ඝනු ස්ත්‍රියගේ චරිතාපදානය යි, ජීවන ආඛ්‍යානය යි; අපගේ පරිකල්පනාව අවදි කරන, බහුවිධ අරුත් මතු කරන සාරවත් කෘතියකි. එය මීනා‍ ගේ ජීවිතය පිළිබඳ, ඇය ඇසුරු කළ, ඇසූ-දුටු අයගේ ආඛ්‍යානයන්, අර්ථකථනයන් කර්තෘවරිය වන මෙලඩි එර්මාචයිල්ඩ් චාවිස් (Melody Ermachild Chavis) ගේ දෘෂ්ඨියෙන් කියැවීමක් විශ්වශනීය ලෙස ඉදිරිපත් කරන හෙයින් සත්‍ය කතාවක් වෙයි.

මීනා සිංහල අනුවර්තනය, එහි ඉංග්‍රීසි මුල් කෘතිය මෙන්ම අභිරුචියෙන් කියවා ගෙන යා හැකි, එක පැහැර සිත් ගන්නා සුළු, සරල, සුගම, සුවාවබෝධ වහරින් හා ‍ශෛලියකින් සැකැසී තිබීම අනුවර්තිකාවගේ ඉංග්‍රීසි – සිංහල දෙ-භාෂා ප්‍රාගුණ්‍යයට මෙන්ම ඇයගේ සාහිත්‍යමය ලේඛණ කුසලතාවටත් මනාව දෙස් දෙයි.

හුදු පදානුගත පරිවර්තනයක් නොකොට මෙබඳු දේශපාලන අරමුණකින් යුතු කෘතියකට ගැළපෙන පරිදි අනුවර්තනයේ මඟ ගැනීමෙන් මුල් ඉංග්‍රීසි කෘතියේ රසය එපරිද්දෙන්ම රැක ගැනීමට ප්‍රභා මනුරත්න සමත් වී ඇත. සිංහල අනුවර්තනය සැකසී ඇත්තේ ප්‍රමිතියකට අනුව රචනාවේ යෙදීමේ තෘප්තිය ලබා දෙන උක්ත – ආඛ්‍යාත ගැලපීමේ ව්‍යාකරණානුකූල ලිඛිත රචනා ශෛලිය අගය කිරීමට උගත් පැරණි පරම්පරාවේ පාඨකයන් පිනවන පරිද්දෙනි. මෙම ව්‍යාකරණ ප්‍රමිතිය මඟ හැරුණු ඇතැම් තැන්, කෘතියේ පසු මුද්‍රණයකදී නිවැරදි කර ගත හැකි සුළු දෝෂ ය.

කතුවරිය අප හමුවේ ජීවමාන කරන මීනා ඇෆ්ඝනු සමාජයේ ස්ත්‍රීන් අත්විඳි බරපතල සමාජ අසාධාරණයන්ට එරෙහිව ඔවුන්ගේ යහපැවැත්ම සඳහාත්, ස්ත්‍රීන්ගේ නිදහස සඳහාත්, පොදුවේ තම දේශයේ නිදහස උදෙසාත් කෙරුණු අරගලයක අරමුණ වෙනුවෙන් තම තරුණ ජීවිතය, අප්‍රතිහත ධෛර්යයකින් සහ අධිෂ්ඨාණයකින් කැප කළ, අපේ කාලයේ සැබෑ වීරවරියක් පිළිබඳ ආශ්වාදනීය ප්‍රතිරූපයකි. ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් ඇෆ්ඝන් කාන්තා විප්ලවීය සංවිධානය ඇරඹූ ඇය තමන් තෝරාගත් ඒ අරමුණු වෙනුවෙන්ම තිස් හැවිරිදි තරුණ වියේදීම තම ජීවිතය පිදුවා ය.

මීනා, අතිශයින් අසාමාන්‍ය ලාක්ෂණිකයන්ගෙන් හෙබි, විශද, අද්විතීය තැනැත්තියකි, සමාජීය විචාරිකාවකි, දේශපාලන ක්‍රියාකාරිණියකි. මෙම අසාමාන්‍ය ලෙස දීප්තිමත් සරසවි නීති ශිෂ්‍යාව, මැද පන්තික වෘත්තීයමය ජීවිතයක අනාගත සුව පහසුව සාමුහිකයේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කළාය. මුලින් නීතිඥවරියක වී ඇෆ්ඝනු ස්ත්‍රීන්ට සරණ වනු වස් නීති උපාධිය හැදෑරූ ඈ ඇෆ්ඝනිස්ථානයේ දේශපාලන තත්ත්වය වෙනස් වී රජයම නීතිය උල්ලංඝනය කරන තැනට පත් වූ විට දේශපාලනයෙහි ලා සෘජුවම මැදිහත් වන්නට තීරණය කළාය. දේශපාලනය නිසා ඇයට තම දේශයෙන් පිටුවහල් වන්නට සිදුවී ය, සැමියා අහිමි වීය, ඇගේ දරුවන් අනාථයන් බවට පත්වී ය.

මීනා තම ‍පෞද්ගලික ජීවිතයේ සතුට, සැපත, තම සැමියා සහ දරුවන් සමග ඇසුර, පොදු ජීවිතය වෙනුවෙන් කැප කරමින් තමා තෝරා ගත් අරමුණට සහමුලින්ම ‍සේවය කළාය. ඇය තම පුද්ගල ජීවිතයෙන් පිටස්තර අරමුණක් හා බැඳීමෙන් තම පුද්ගල ජීවිතයට, අරමුණක් අරුතක් සපයා ගත්තාය. ඇගේ දේශපාලන ජීවිතය ඇයට කීර්තිය ගෙන ආවද ආත්ම උන්නතිය හෝ ප්‍රශංසාව අපේක්ෂා නොකළ ඇය ගේ කීර්තිය වඩාත් පැතිරුනේ ඇයගේ මරණින් පසුය.

ඇය තම දේශයට ඇළුම් කළාය, අධිරාජ්‍යවාදයට එරෙහි වූවා ය, ඇෆ්ඝනිස්ථාන ජාතියක් වෙනුවෙන් කැප වී මහන්සියෙන් වැඩ කළා ය. ඇය ඇෆ්ඝනිස්ථානය තුළ සෝවියට් ශෛලියේ මහා පරිමාණ සංවර්ධන කටයුතුවලට එරෙහි වූවා ය. ඇය යුද විරෝධියෙකු වුවද අහිංසාවාදිනියක නොවූවා ය, ඇඳුම් අතර තුවක්කු සඟවා ගෙන නිදහස වෙනුවෙන් සටන් කරන්නන්ට ඒවා ගෙන ගියාය, නමුත්, ත්‍රස්තවාදයට කිසිසේත් පක්ෂ නොවූවාය.

ඇෆ්ඝනු සමාජයේ නිර්ප්‍රභූන් වූ ස්ත්‍රීන්ට මුහුණුවරක් දුන් වීරවරිය මීනා යි. ඇෆ්ඝනු දේශයේ ගැහැණුන් ගේ නිදහස පතා අරගල කළ සිය ගණන් වූ නිර්ප්‍රභූ වීරවරියන්ගේ ප්‍රසිද්ධ මුහුණවර මීනා ය.

සාමුහික අරමුණක් වෙනුවෙන් දිවි පිදූ වීරවරියක් ලෙස මීනා ඇෆ්ඝනු සමාජයේ මතකයට එකතු වී එහි ඉතිහාසය ගොඩ නගන්නට දායක වීමෙන් එම ඉතිහාසයේ ම කොටසක් බවට පත් වූවාය. ඇයගේ මතකය ඇෆ්ඝනු ස්ත්‍රීන් ගේ හදවත් තුළත්, ඇය තම දිවිය ඒ වෙනුවෙන් පිදූ රාවා සංවිධානය මගින් ලොවෙහිත් ජීවත් වෙයි. මීනාගේ කථාව නිම වී එය ඉතිහාසයට එකතු වී ඇති හෙයින් ඇය හරියටම කවුරුන්දැ යි දැන් අපට කතා කළ හැකිය.

(more…)

December 8, 2007

‘සංවර්ධනය’ සහ දේශපාලනය, සහ ‘වත්මන් සමාජ අර්බුදය’: මිථ්‍යාදෘෂ්ඨික විග්‍රහයකට සටහනක්

Filed under: ලිබරල්වාදය, සංවර්ධනය — kathika @ 7:23 am


සංවර්ධනය’ සහ දේශපාලනය, සහ ‘වත්මන් සමාජ අර්බුදය’: මිථ්‍යාදෘෂ්ඨික විග්‍රහයකට සටහනක්


“ශ්‍රී ලංකාවට සංවර්ධනය සදහා අති මහත් ශක්‍යතාවක් තිබේ. නමුත් කුණුවී ගිය දේශපාලන ක්‍රමයක් විසින් රට ඉදිරියට යා නොදී අල්ලා ගෙන සිටිතැ”යි ලංකාවට පැමිණ එක්සත් ජාතීන්ගේ නිලධාරියෙකු කී අදහසක් පදනම් කරගෙන කෙරුණු සාකච්ඡාවක් මෑතදී පුවත් පතක පළවී තිබිණි. ඉහත කී අදහසින් බාරගන්නා දෙයක් වන්නේ ‘සංවර්ධනය’ යනුවෙන් දෙයක් ඇත යන්න සහ අපට ‘නිවැරදි දේශපාලන ක්‍රමය’ තිබේ නම් අපට සංවර්ධනය ලැබෙනු ඇත, යන්නයි. ලෝකය ‘සංවර්ධනය’ කළ හැකිය, සහ අපට අවශ්‍ය නම් ‘නිවැරදි දේශපාලන ක්‍රමය’ අපට ඇතිකර ගත හැකිය යනුවෙන් පළවෙන මේ අදහස් දෙකම බැලූ බැල්මට සත්‍ය සේ පෙනෙයි. මේ අදහස් දෙකම, එබඳු ‘සත්‍යයන්ට’ වඩා සුවිශේෂ නූතන කතිකාවක ප්‍රකාශනයක් යැයි කිව හැකිය. සංවර්ධනය පිළිබඳ නූතන කතිකාව බිහිවන්නේ හේතුවාදය පිළිබඳ ප්‍රබුද්ධත්වයේ විශ්වාසය පදනම් කරගෙනය. සමාජයක පර්යාය ඇති කරන්නට නිවැරදි දේශපාලන ක්‍රමයක් තිබේය, යන්න ද මෙම හේතුවාදය පිළිබඳ විශ්වාසයේම අනුපූරක අදහසකි. නිවැරදි දේශපාලන ක්‍රමය පිළිබඳ අදහසින් කියැවෙන දෙය නම් ‘දේශපාලන ක්‍රමය’ සමාජයේ දේශපාලන යථාවෙන් ස්වාධීනව පැවැතිය හැකි බවකි.

සංවර්ධනය හා දේශපාලනය පිළිබඳ ඉහත අදහස් වලට, ෂේඩියා ඩ්‍රෑරි ගේ පහත සදහන් උද්ධෘතයෙන් යමක් කියැවෙයි.

    “ ‘උත්කෘෂ්ඨම’ දේශපාලන ගැටළුව සංවිධානමය මිස සදාචාරමය නොවන්නේය, යන්න අද දෙන ලද දෙයක් වශයෙන් භාර ගැනෙන බව පෙනෙයි. කාල් පොපර්ගේ විවේචකයන් නිරීක්ෂණය කොට ඇති පරිදි, පොපර් ගේ ‘සමාජීය ඉංජිනේරුවාට’ සමාජය වැඩි දියුණු කිරීම පැවරී ඇති නමුදු, තමන් ගේ නීති ජනයාගේ හදවත මත ලිවීමේ හැකියාව ඇතැයි කියනු ලැබෙන, ශ්‍රේෂ්ඨ ව්‍යවස්ථා සම්පාදකයන්ගේ ලාක්ෂණිකයන්ගෙන් කිසිවක් ඔහු සතුව නැත. . . පුරාතන දෘෂ්ඨියට අනුව, සුදුසු සමාජ සංවිධානය සහ හොඳම නීති මාලාව රාජ්‍යයට එහි මානව ද්‍රව්‍යයන්ගේ සීමාවන් අතික්‍රමණය කරන්නට, ඉඩ සළසනු නොමැත. නමුත් ස්ට්‍රාවුස් වටහාගන්නා අන්දමට, හොබ්ස් ගේ දෘෂ්ටියට අනුව, එහි සදාචාරමය අංශයෙන් දෝෂ සහිත මානව ද්‍රව්‍ය තිබියදීත් නොව, ඒ නිසාම රාජ්‍යය සශ්‍රීකත්වය ලබන යන්ත්‍රයක් මෙන් ඉදිකළ හැකිය. දේශපාලනයේ නූතන අරමුණ, නමින් කියතොත්, ආශාවන් උපරිම ලෙස තෘප්තිමත් කිරීම සාර්ථක කරගැනීමේ සාර්ථක මගක් තාක්ෂණවිද්‍යාත්මක සමාජය සපයනු ඇතැයි යන අදහස (හොබ්ස් අපට උරුම කර දුන්නේය).” (Shadia Drury, The Political Ideas of Leo – Strauss)

(more…)

November 25, 2007

‘ලොව අවුල් සහගත, කුහක, පශ්චාත් නූතන රචනා ලියුවෝ ලංකාවේ පශ්චාත් නූතනවාදීහු ය’ – අමරකීර්ති ලියනගේ

‘අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?’ යන මැයෙන් අප සුප‍්‍රකට ඇමෙරිකානු සාහිත්‍ය – කලා විචාරිකා කැමිල පා(ග්)ලියා ගේ අදහස් සම්පිණ්ඩනය කරමින් පළ කළ ලිපියට පිළිතුරක් අමරකීර්ති ලියනගේ “සිළුමිණ” පුවත් පතට ලියා ඇත. එම ලිපිය මෙතැන කියවන්න:“සිළුමිණ”

November 18, 2007

“සමාජය ශිෂ්ඨ කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය” සහ “දේශපාලනය කිරීම සදහා අධ්‍යයනය කිරීම” – විමසුමක් සඳහා සටහනක්

Filed under: දේශපාලනය, ලිබරල්වාදය — kathika @ 4:05 am


“සමාජය ශිෂ්ඨ කිරීමේ දේශපාලන ව්‍යාපෘතිය” සහ “දේශපාලනය කිරීම සදහා අධ්‍යයනය කිරීම”

- විමසුමක් සඳහා සටහනක්

“පරිණාමීය චින්තනය සහ වහලා සහ ස්වාමියා පිළිබද හේගල්ගේ ද්වන්ධාත්මකය අතර ඔබ අදහස් කළ සම්බන්ධය මතුවන්නේ මාක්ස් මෙම ද්වන්ධාත්මකය වැරදියට වටහා ගැනීම සහ අනිසි භාවිතයට යොදා ගැනීම තුළින් බවයි මම හිතන්නේ. වහලා ස්වාමියා බවට පත් වෙනවා යැයි හේගල් කියන්නේ නැහැ. ඔහු කියන්නේ වහලා දැනටමත් ස්වාමියා බවයි. මක්නිසාද, යථාර්ථයට ස්වාමියාගේ ඇති සම්බන්ධයට මාධ්‍යයක් වන්නේ වහලාගේ සේවය කිරීම වුවත් වහලා යථාර්ථය දනියි. ඒ නිසා විප්ලවය සහ මහා වැඩවර්ජන පිළිබද සංකල්පත් සමගවූ මාක්ස්වාදී ද්වන්ධාත්මකය වනාහී හුදු පාරිභෝගිකයා මත වන කම්කරුවාගේ උසස් බවට හෙලූ හේගල්ගේ අන්තර් දැක්ම මුළුමනින්ම අනිසි ලෙස යොදා ගැනීමක්. බාග විට යම් නිදහසට කරුණක් තියෙන්න පුළුවන්. හේගල්ගේ ද්වන්ධාත්මකය පිළිබඳ මගේ හයවැනි අධ්‍යයනයේ පෙන්වා දීමට උත්සාහ කළ පරිදි හේගල් ඒ වනවිටත් සිටියේ තරමක් වැඩියෙන් ඩෙකාට්වාදයේ බලපෑම යටතේ. සැබැවින්ම හේගල්ගේ ප්‍රතිභානය (genius) ඇත්තේ ඔහුගේ ද්වන්ධාත්මක ක්‍රමය තුළ නොව කාල්පනික ද්වන්ධාත්මක පියවර පිළිබඳ වූ ඔහුගේ සහජ ඥානය (intuition) තුළයි. සැළකිල්ලට ගැනෙන්නේ පද්ධතිය නොව ආතතීන් සහ ප්‍රතිරෝධයන් සඳහා ඇති ඔහුගේ හැඟීමයි. අනන්‍යතාව හා වෙනස, තමා සහ අනෙකා අතර ඇති පරාවර්තිත සබඳතාවයේ පාර්ශවයන් ලෙස සැළකීම හේගල් සදහා ඇති ප්‍රධාන කරුණක්. ප්ලේටෝ ආරම්භයේදී දකින්නේත් හේගල් අවසානයේදී දකින්නේත් මෙයයි.” (ගැඩමර් සමග කළ සම්මුඛ සාකඡචාවකින් - පරිවර්තනය දිමුතු.)

අනූවේ දශකයේ ලාංකීය තරුණ දේශපාලනයහි ලා හවුල් වූවන් ගේ ස්වයං අවබෝධය වූයේ එය සමාජය වෙනස් කරන රැඩිකල් ව්‍යාපෘතියක් බවයි. එම මතවාදය එහි අනුගාමිකයන් වූ තරුණ ජන සමූහයේ මනස සකස් කොට තම ජීවිත අර්ථ විවරණය කරන්නට චිත්තරූප සකස් කොටද දුන්නේ ය. එය වැළඳ ගත් අය මෙම මතවාදය සෙවනේ තමන්වම අර්ථ විවරණය කොට අවබෝධ කර ගත්තෝය. රැඩිකල් දේශපාලන ව්‍යාපෘතියේ දේශපාලනය ශිෂ්ඨත්වය පිළිබඳවයි. ඒ අනුව අපේ සමාජය අශිෂ්ඨ හෙයින් අපේ දේශපාලනය සමාජය ශිෂ්ඨ කිරීම සදහා යි.

තමන් ද හවුල්ව සිටි රැඩිකල් දේශපාලන ව්‍යාපෘතිය පසුකලෙක විවේචන‍ය කළ ඇතැම් තරණයන් ගේ අදහසක් වූයේ නූතනත්වය අපට ලිබරල් පුද්ගලවාදය ලබාදීමේදී, එය කියා සිටින දේට ප්‍රතිපක්ෂව යමින්, අපව ශිෂ්ඨ නොකරන බව යි. දේශපාලනයේ දී අනුගමනය කළයුතු හොඳම මග රැඩිකල් දේශපාලන ව්‍යාපෘතිය ය, යන අදහස අත් නොහරින අතරම එය, මුළුමනින්ම ශිෂ්ඨ මිනිසකු නිර්මාණය කිරීමේ යුතෝපියානු සංකල්පය සදහා යොදා නොගත යුතු බව ත් මෙම විවේචන‍යන් කියැවුණා. (more…)

November 6, 2007

“මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම” – ලිබරල් දේශපාලනයේ ගැටළුව

Filed under: දේශපාලනය, ලිබරල්වාදය — kathika @ 1:24 pm

‘‘මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම’’ යන මැයෙන් 2005 ජූනි 05 දින වික්ටර් අයිවන් විසින් රාවය පුවත් පතට ලියන ලද ලිපිය සහ මීට ප්‍රතිචාර වශයෙන් සුමනසිරි ලියනගේ විසින් ජූනි 12 වෙනිදා රාවය පුවත් පතට සැපයූ ‘‘ෆුකුයාමා සහ ‍‍ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය’’ ලිපිය හා සංවාදයකට හවුල් වනු වස් ලියන ලද ‍මෙම ලිපිය පළ කිරීම සඳහා රාවය පුවත් පතේ අදාල පිටු‍‍‍වේ සංස්කාරක උවිඳු කුරුකුලසූරිය මහතාට ඉදිරිපත් කරන ලදී. ලිපිය ‍‍‍‍පෙරලා බැලූ ඒ මහතා පළමුව “‍මේ මදි” කියා ‍‍දෙවනුව ‍‍‍‍ෙල්ඛකයා‍‍ ‍ ‍පිළිබඳ ‍වතගොත විමසී‍මෙන් පසු ලිපිය “දිග වැඩි” යැයි කියා එය පළ කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. එම ලිපිය මුල් ආකාර‍යෙන් ම පහත පළ ‍වෙයි. (more…)

Blog at WordPress.com.