Kathika

November 25, 2009

කලාව

” නූතන කලාව ”සංස්කෘතියට” විරුද්ධ ව කැරලි ගැසූයේ මන්ද?” : අවරසිකභාවය පිළිබඳ කරුණ
සංස්කෘතියේ අර්බුදය:එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම – 2 වැනි කොටස

-හනා ආරන්ඩ්ට්

“සංස්කෘතික දෑ විනිශ්චය සඳහා සමාජීය නොවන හා අව්‍යාජ එක ම නිර්ණායකය, ඒවායේ සාපේක්ෂ ස්ථිරත්වය හා අවසන් අමරණීයත්වය පවා වන්නේ ය. සංස්කෘතික වස්තුවකැ යි අවසන් වශයෙන් කියා ගත හැක්කේ සියවස් ගණනාවක් තිස්සේ පවතින්නකට පමණි. මේ පිළිබඳ වැදගත් කාරණය වන්නේ, අතීතයේ අමරණීය කෘති, සමාජීය හා පෞද්ගලික ශිෂ්ටත්වයේ හා ඊට පිරිනැමුණු තත්ත්වයේ අරමුණු වස්තූන් බවට පත් වූ වහා ම, ඒවායේ ඉතා වැදගත් හා මූලාංගික වූ පාඨකයා හෝ පේ‍්‍රක්ෂකයා ග‍්‍රහණයට ගෙන සියවස් ගණන් තිස්සේ සසල කිරීමේ ගුණය ඒවාට අහිමි විය.”

” බිත්තියේ හිලක් වැසීමට චිත‍්‍රයක් යෙදීම ප‍්‍රයෝජනවත් හා සුජාත වන්නා සේම, යම් කිසි කාල පරිච්ඡෙදයක් පිළිබඳ යමෙකුගේ දැනුම පරිපූර්ණ කර ගැන්ම සඳහා චිත‍්‍රයක් දෙස බැලීම ද ප‍්‍රයෝජනවත් හා සුජාත විය හැකිය. අවස්ථා දෙකෙහි දී ම කලා කෘතිය භාවිත කෙරුණේ යටි අරමුණු සඳහා ය. මෙම භාවිත, සුජාත වූයේ හෝ නොවූයේ හෝ, කලාව සමග නියම සංවාසය ඇති කිරීමක් නොවන බව, යමෙකු දැන සිටින තාක් සියල්ල යහපත් ය. උගත් අවරසිකයා සම්භාව්‍ය කෘති කියවන්නේ ය, නමුත් ඔහු එසේ කළේ ඔහුම දැනුවත් කෙරෙන්නේ කෙසේද යන්නට වඩා වැදගත් දේ ෂේක්ස්පියර් හෝ ප්ලේටෝ ඔහුට කීමට ඉඩ තිබුණේය යන කරුණ කොහෙත්ම නොදැන සිටීමෙන් ස්වයං පරිපූර්ණත්වය අත්කර ගැනීමේ යටි අරමුණ මගින් මෙහෙය වනු ලැබීමෙන්ය යන්න උගත් අවරසිකයා හා සම්බන්ධ අර්බූදය නොවේ.”

අප පහත පළකරන්නේ හනා ආරන්ඩ්ට් ගේ Between Past and Future නමැති කෘතියේ ඇතුලත් “The Crisis in Culture” නමැති ලිපියේ අංග සම්පූර්ණ පරිවර්තනයක දෙවැනි කොටසයි.

(more…)

November 8, 2009

කලාව

සංස්කෘතියේ අර්බුදය:
එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම
-හනා ආරන්ඩ්ට්

අප පහත පළකරන්නේ හනා ආරන්ඩ්ට් ගේ Between Past and Future නමැති කෘතියේ ඇතුලත් “The Crisis in Culture” නමැති ලිපියේ අංග සම්පූර්ණ පරිවර්තනයක පළමු කොටසයි.

සාපේක්ෂ වශයෙන් නව ප‍්‍රපංචයක් වන බහුජන සංස්කෘතිය සම්බන්ධයෙන් බුද්ධිමතුන් අතර තවමත් වර්ධනය වෙමින් පවතින කනස්සල්ලක්, දැනට වසර දහයකට වැඩි කාලයක් තිස්සේ අපට දක්නට ලැබී ඇත. මෙම පදයම, පැහැදිලිව ම මතු වී එනුයේ, [ඊට වඩා] එතරම් ම පැරණි නොවන ”බහුජන සමාජය” යන පදයෙනි. මෙම කරුණ සම්බන්ධ සියලූ සාකච්ඡාාවන්ට පාදක වූ, නිහඬ පිළිගැන්ම වන්නේ, බහුජන සංස්කෘතිය, තර්කානුකූලව හා නොවැළැක්විය හැකි පරිදි, බහුජන සමාජයේ සංස්කෘතිය බවය. මෙම යෙදුම් දෙකේ ම, කෙටි ඉතිහාසය පිළිබඳ ඉතා වැදගත් සාධකය වන්නේ, වසර කිහිපයකට ඉහත දී පවා – බහුජන සමාජය වූ කලි දූෂිත සමාජ ස්වරූපයකැයි හා බහුජන සංස්කෘතිය වූ කලි පදවල ප‍්‍රතිවිරෝධතාවයක් යැයි අඟවමින් – ඒවා භාවිත කෙරුණේ ශාප කිරීමේ ප‍්‍රබල හැඟීමකින් යුතු ව වන අතර, ඒවා දැන් ගරු කටයුතු බවට, එනම් හැරල්ඞ් රොසෙන්බර්ග් පෙන්වා දුන් පරිදි, ‘කිච’ (kitsch) නැතහොත් බාල ව්‍යාපෘතීන්ගේ දේ ට බුද්ධිමය මානයක් එක් කිරීමට ප‍්‍රධාන වශයෙන් බලපෑ වූ අසංඛ්‍ය අධ්‍යයන හා පර්යේෂණ ව්‍යාපෘති බවට, පත්ව ඇත යන්නයි. නොවැදගත් දෙයෙහි බුද්ධීමයකරණය සාධාරණිකරණය කරනු ලබන්නේ අප කැමති වූවත් නැතත්, බහුජන සමාජය පෙනෙන තෙක් මානයේ අනාගතය දක්වා අප සමග පවතිනු ඇත යන පදනම මතය. එහෙයින්, එහි ”සංස්කෘතිය”, ”ජනපි‍්‍රය සංස්කෘතිය බහු ජනතාවටම භාර කළ නොහැකිය.”1 කෙසේ වෙතත්, ප‍්‍රශ්නය වන්නේ බහුජන සමාජය සම්බන්ධයෙන් සත්‍ය වන දේ බහුජන සංස්කෘතිය සම්බන්ධයෙන්ද සත්‍ය වන්නේ ද යන්න හෝ, වෙනත් අයුරකින් කියතොත්, බහුජන සමාජය හා සංස්කෘතිය අතර සම්බන්ධතාව අවශ්‍ය ලෙස වෙනස් කොට කියන්නේ නම් ඊට පෙර පැවති සමාජය සංස්කෘතිය කෙරෙහි දැක්වූ සම්බන්ධතාවට සමානවනු ඇත්ද, යන්න ය. (more…)

October 20, 2009

කුමුදු ගේ තීරුව

මහජන ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර පරතරය: නිදහස, ධනවාදය, සහ පුරාතන ග්‍රීක ජනරජය

ධනවාදී සමාජයේ ඇති නිදහස හැමවිටමත් පුරාතන ග්‍රීක ජනරජයන්හි මෙන් වහල් හිමියන් උදෙසා වන නිදහස හා සමව පවතින්නේය.
– ලෙනින්

ඉහත ලෙනින් ගේ ප්‍රකාශය ඉංග්‍රීසියෙන් පළව තිබු‍ණේ බූන්දි වෙබ් අ‍ඩවියේ ය.

“එය ශ්‍රමයේ යදම් වලින් නිදහස් කිරීමට ආසන්න, ශ්‍රමිකයන්ගේ සමාජයකි. මෙම සමාජය, මෙම නිදහස ඒ සඳහා දිනාගනු ලැබීම යෝග්‍ය වන, එම අනෙක් වඩා උසස් සහ වඩා අර්ථවත් ක්‍රියාකාරකම් තවදුරටත් නොදනී. මෙය මිනිසුන්ට එකට ජීවත් විමට සැළැස්වීම ශ්‍රමය විසින් කරනු ලැබෙන ආකාරය වන නිසා සමානාත්මවාදී වන මෙම සමාජය තුළ, එයින් මිනිසාගේ අනෙකුත් හැකියාවන් ප්‍රතිසංස්ථාපනයක් අලුතෙන් පටන් ගත හැකි වනු ඇති එක්කෝ දේශපාලනමය නැතහොත් අධ්‍යාත්මික ස්වභාවයේ කිසිදු ප්‍රභූතන්ත්‍රයක්, කිසිදු පංතියක් ඉතිරි කොට නොමැත.”
- හනා ආරන්ඩ්ට්, ධනවාදී සමාජය පිළිබඳ, The Human Condition, 5 පිටුව

මෙම අදහස තව පියවරක් ඉදිරියට ගෙන ගිය ලංකාවේ පශ්චාත් නූතනවාදීහු සිවිල් සමාජයේ “දෙබිඩි වත” හෙළිදරව් කරන්නේ යැයි කියමින් තමන්ගේ විවේචනයට බඳුන් වන්නවුන්ගේ දේශපාලනිකවන පෞද්ගලික දේයැයි ඔවුන් විශ්වාස කරන දේ “විග්‍රහයට” ලක් කිරීමෙන් මෙම පිරිස් දේශපාලන භූමියෙන් පළවා හැරීමේ ‍උත්සාහයක යෙදුණහ. එයින් සිදුවූයේ අපගේ දේශපාලන සාකච්ඡාව අතිශයින් දිළිඳුබවට පත්වීමයි. තමන් මානව හිතවාදී යැයි විශ්වාස කරන තරුණ තරුණියෝ ද අවිචාරයෙන් යුතුව මෙබඳු දුර්-විචාරයන්ට තවමත් අනුබල දෙති. මෙම තේමාව සාහිත්‍යයට පිවිසීම ඉහත පශ්චාත් නූතනවාදී සමාජ ස්ථරය ප්‍රමාද වී වුව ශිෂ්ට සම්පන්න භාවයක්, සංස්කෘතිකමය සවරූපයක් අත්පත් කරගැනීම ආරම්භ කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය.

(more…)

October 5, 2009

සංස්කෘතිය

“ජනප්‍රිය සංස්කෘතිය විසින් විදග්ධ සංස්කෘතිය ගිලගෙන යනවා”

“මම මීට වසර ගණනාවක‍ට පෙර කිව්ව ආකාරයටම දැන් ජනප්‍රිය සංස්කෘතිය විසින් විදග්ධ සංස්කෘතිය ගිලගෙන යනවා. මේක මම මුලින් කියපු වෙලාවෙ විදග්ධ සංස්කෘතිය නියෝජනය කළ සියළු දෙනාම පාහේ ඇස් වසාගෙන සිටියා.”

සරත් අමුණුගම, රාවය, 2009 සැප්තැම්බර් 20 වැනි ඉරිදා, සංවාදය – විමලනාත් වීරරත්න

අප පහත පළකරන්නේ ජනප්‍රිය සංස්කෘතියේ ආගමනය පිළිබඳ සරත් අමුණුගම ගේ මුල්ම මුද්‍රිත ප්‍රසිද්ධ ප්‍රකාශය යි.

“සංස්කෘතිය යන්න වැවටත්, දාගැබටත් සීමා වූවක් නොවේ. එය රැකෙන්නේ පන්සලේ හා පාසලේ පමණක් නොවේ. මිනිසුන්ගේ සැබෑ ලොවේ සිතුම්-පැතුම්, රුචි අරුචිකම් සියල්ලම සංස්කෘතියට ගෝචර වෙයි. සිංහල සංස්කෘතිය අද ගොඩනැගෙන්නේ පන්සලේ සහ කුඹුරේ නොව රූපවාහිනී හා ගුවන්විදුලි මධ්‍යස්ථානවලය. කැසට් රෙකෝඩ්බාර් වලය. සිංහල චිත්‍රපට පෙන්වන සිනමාශාලා වලය. වේදිකා නාට්‍ය රඟදැක්වෙන රඟහල් තුළය.” (more…)

September 17, 2009

සාහිත්‍යය


පහත උපුටා ගැනීම්, 2009 සැප්තැම්බර් 16, දිවයින, සරසවි උයන අතිරේකයෙනි.

” ඕනෑම සාහිත්‍යකරුවකු සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ”
මහාචාර්ය සුචරිත ගම්ලත්

සාකච්ඡා කළේ රවීන්ද්‍ර විඡේවර්ධන

  ඡායාරූපය දිවයින, සරසවි උයන අතිරේකයෙනි

ඡායාරූපය දිවයින, සරසවි උයන අතිරේකයෙනි

සාහිත්‍යය කියන එක ක්‍රමයෙන් වර්ධනය වෙමින් යන දෙයක්‌. කිසියම් කාලයක සාහිත්‍යය මූලාරම්භය වුණාද එතැන් සිට විවිධ සාහිත්‍යකරුවන් හා ගුරුකුල එය පෝෂණය කළා. සම්ප්‍රදානයන් කළා. අද සාහිත්‍යය දෙස හොඳට බැලුවාම එහි පුරාණ සාහිත්‍යයක්‌ තිබෙනවා පෙනෙනවා. නමුත් අද එය ක්‍රමයෙන් වෙනස්‌ වී සංවර්ධනය වී තිබෙනවා. මේ සංවර්ධනය, විකාශය දැන ගැනීම තමයි සම්ප්‍රදාය දැන ගැනීම කියන්නෙ. ඕනෑම සාහිත්‍යකරුවකු මේ සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ. අපේ සාහිත්‍ය සම්ප්‍රදාය විතරක්‌ නෙවෙයි. බටහිර නවකතා, රුසියානු නවකතා, භාරතීය නවකතා යන සියලු නවකතා හා ඒ යුගවල ශෛලීන් ආදියත් ඔහු හදාරා තියෙන්න ඕන.

“යමෙක්‌ සාහිත්‍යයේ නිරත වෙන්නට අදහස්‌ කරනවා නම් ඔහු බටහිර නවකතාවේ සිට සහ සිංහල සාහිත්‍යයේ මුල සිට හැදෑරිය යුතුයි “

පැරැණි සංස්‌කෘත විචාරකයනුත් මේ ගැන කියා තිබෙනවා. ඔවුන් කියනවා කලා නිර්මාණයේ නීති තුනක්‌ තිබෙනවා කියල. එකක්‌, සහජයෙන් එන සාහිත්‍ය ලැදියාව. දෙවැන්න සතතාභ්‍යාසය. ඒ කියන්නෙ වෙනත් කලාකරුවන් කළ කලා නිර්මාණ ඇසුරු කරමින් නිරන්තර අභ්‍යාසය. ඊළඟට ව්‍යුත්පත්තිය. එනම් බොහෝ කොට හැදෑරීම, දැන ගැනීම. Education. උදාහරණයකට මම අද උදේ “ශාරංගධර” කියා සංගීතය ගැන මධ්‍යකාලීන යුගයේ ලියෑවුණු පොතක්‌ කියවමින් සිටියා. ඒ පොතේ කියනවා ගේය පද රචකයා දැන ගත යුතු විෂය විසි හතක්‌ ගැන. යමෙක්‌ සාහිත්‍යයේ නිරත වෙන්නට අදහස්‌ කරනවා නම් ඔහු බටහිර නවකතාවේ සිට සහ සිංහල සාහිත්‍යයේ මුල සිට හැදෑරිය යුතුයි. ඒ හැදෑරීම තුළින් අර සම්ප්‍රදාය ඔහුගේ ස්‌නායු පද්ධතියට ආවාමයි කාව්‍යාත්මක විධියට ඔහුට යථාර්ථය ග්‍රහණය කර ගත හැක්‌කේ. දැන් අපේ නවකතාකාරයො මේ සම්ප්‍රදාය දැන ගෙන තිබෙනවාද? බටහිර නවකතා කියවා තිබෙනවාද? සිංහල චිරන්තන සම්භාව්‍ය සාහිත්‍යය කියවා තිබෙනවාද? හැබැයි සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, මාර්ටින් වික්‍රමසිංහ වැන්නන් දෙස බැලුවාම ඔවුන් ඒ සම්ප්‍රදාය හදාරා තිබෙනවා.

අද ඔය සම්මාන දිනා සිටින ලේඛකයන්ගෙන් ඔවුන් කියැවූ බටහිර සාහිත්‍ය කෘති ගැන අහන්න. පැරැණි සිංහල සම්භාව්‍ය සාහිත්‍ය කෘති ගැන අහන්න. කිසි දෙයක්‌ දන්නෙ නැහැනෙ. ඉංග්‍රීසි දන්නෙත් නැතුව පාලි – සංස්‌කෘතික භාෂා දන්නෙත් නැතුව ඒ සියලු දේ අද ඉවරවෙලානෙ. පැරැණි සිංහල සාහිත්‍යය තියා වර්තමාන සිංහල සාහිත්‍යයවත් ඔවුන් දන්නේ නැහැ.

” “ගම් පෙරළියෙන්” ඒ ජීවන ක්‍රමයට පාදක වූ කරුණාව, මෛත්‍රිය, ඥාති මිත්‍ර සබඳතා, උපේක්‍ෂාව ආදී සියලුදේත් විනාශ කර දමා හුදෙක්‌ මුදල් ඉපැයීමේ ධනවාදී ක්‍රමයක්‌ ස්‌ථාපනය කරන අයුරු ඉන් පෙන්වනවා”

“ගම් පෙරළියෙන්” ඇත්තටම කියන්නෙ ශ්‍රී ලංකා ඉතිහාසයේ එක්‌තරා සන්ධිස්‌ථානයේදී ඇති වූ විශාල සමාජ විපර්යාසයක්‌ ගැනයි. ඒ සමාජ විපර්යාසයට “ගම් පෙරළියෙන්” හේතූත් පෙන්වනවා. බටහිර ධනවාදය මෙරට එවකට තිබූ වැඩවසම් සමාජය ඇතුළට කාගෙන ගොස්‌ ඒ ජීවන ක්‍රමය විනාශ කර දැමීම පමණක්‌ නොවෙයි, ඒ ජීවන ක්‍රමයට පාදක වූ කරුණාව, මෛත්‍රිය, ඥාති මිත්‍ර සබඳතා, උපේක්‍ෂාව ආදී සියලුදේත් විනාශ කර දමා හුදෙක්‌ මුදල් ඉපැයීමේ ධනවාදී ක්‍රමයක්‌ ස්‌ථාපනය කරන අයුරු ඉන් පෙන්වනවා.

“පරිවර්තන සාහිත්‍ය කෘතියක්‌ හරියට කරන්න නම් කෙනකුට භාෂා දෙකම ගැන මනා පරිචයක්‌ තියෙන්නෙ ඕන”

පරිවර්තන සාහිත්‍ය කෘතියක්‌ හරියට කරන්න නම් කෙනකුට භාෂා දෙකම ගැන මනා පරිචයක්‌ තියෙන්නෙ ඕන. එපමණක්‌ නොවෙයි. ඔහු කවියෙක්‌, සාහිත්‍යකාරයෙක්‌ වෙන්නත් ඕන. එහෙම මිනිස්‌සු අපට නැහැ. එහෙම හිටපු එක්‌ පරිවර්තකයෙක්‌ මම දන්නවා. ඒ, ඒ. පී. ගුණරත්න.

“මෙවලම් පරිවර්තකයෙක්‌ ……නිර්මාණාත්මක පරිවර්තකයෙක්‌ නෙවෙයි”

මෙවලම් පරිවර්තකයෙක්‌ ……නිර්මාණාත්මක පරිවර්තකයෙක්‌ නෙවෙයි. හුදෙක්‌ කතාව පරිවර්තනය කරන්නෙක්‌.

ඉස්‌සෙල්ලා පරිවර්තකයා සාහිත්‍යකාරයෙක්‌ වෙන්න ඕනෙ.

“අපට කවදාවත් දේශීය චින්තනයක්‌ තිබුණෙ නැහැ”

අපට කවදාවත් දේශීය චින්තනයක්‌ තිබුණෙ නැහැ.. ඉන්දියාවෙන් ආපු චින්තනයක්‌ අපට තිබුණෙ. බුද්ධාගම ආවෙත් අපට ඉන්දියාවෙන්. දැන් සාහිත්‍ය කලා යනාදිය අපට බුද්ධාගමෙන් ආවෙ නැහැනෙ. ආවෙ සංස්‌කෘතවලින්.

“බෞද්ධාගම තුළ බොහෝ කලා ප්‍රතික්‍ෂේප වෙනවා”

බෞද්ධාගම තුළ බොහෝ කලා ප්‍රතික්‍ෂේප වෙනවා. සංගීතය, නැටුම් බෞද්ධාගම තුළ හඳුන්වන්නේ ගර්හිත කලා වශයෙන්. චිත්‍ර කලාවට පමණයි බෞද්ධාගම තුළ ඉඩක්‌ තිබුණේ

“මීට අවුරුදු පණහකට ඉස්‌සෙල්ලා මෙරට සාහිත්‍යයේ ඉහළ මට්‌ටමක්‌ තිබුණා”

මීට අවුරුදු පණහකට ඉස්‌සෙල්ලා මෙරට සාහිත්‍යයේ ඉහළ මට්‌ටමක්‌ තිබුණා. බොහෝවිට සාහිත්‍යය නිර්මාණය කළේ ත්‍රිභාෂික උගත්තු. එකල සාහිත්‍යකරුවන්ගේ භාෂාව පිරිහිලා තිබුණෙ නැහැ. අද තියෙන භාෂාවෙන් එදා ලිව්වා නම් කවුරුවත් ඒ පොත් පිළිගන්නේ නැහැ. ඒ නිසා එදා දුන්නු සම්මානවලත් හොඳ මට්‌ටමක්‌ තිබුණා.

ඉස්‌සෙල්ලාම සාහිත්‍ය මණ්‌ඩලයේ සභාපතිව සිටියේ කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර හාමුදුරුවො. උන්වහන්සේ විද්‍යංලාකාර පිරිවෙනේ නායක හාමුදුරුවෝ. පාලි, සංස්‌කෘත, ප්‍රකෘත දන්නා මහා ඉහළ පණ්‌ඩිත හාමුදුරුවරු නමක්‌. උන්වහන්සේ නවකතා විවේචනය කරන්න ගියේ නැහැ. සාහිත්‍ය මණ්‌ඩල සභාපති පුටුවේ වාඩිවෙලා හිටියා. ඒත් දැන් ඒ පුටුවල ඉන්නේ කවුද?

“ඉංග්‍රීසි භාෂාව නැති කළේ නැද්ද? ප්‍රාචීන භාෂා නැති කළේ නැද්ද? නැති කළාම මොක්‌කුද එන්නෙ? පුස්‌සො’

ඉංග්‍රීසි භාෂාව නැති කළේ නැද්ද? ප්‍රාචීන භාෂා නැති කළේ නැද්ද? නැති කළාම මොක්‌කුද එන්නෙ? පුස්‌සො.

හේතුව පරිහානිය. බලන්න, අපේ පාසල් අධ්‍යාපනයෙන් සම්භාව්‍ය සිංහල සාහිත්‍යය නැති කළේ නැද්ද? ඉංග්‍රීසි භාෂාව නැති කළේ නැද්ද? ප්‍රාචීන භාෂා නැති කළේ නැද්ද? නැති කළාම මොක්‌කුද එන්නෙ? පුස්‌සො. පුස්‌සො තමයි විචාරකයො වෙන්නෙත්, නවකතා ලියන්නෙත්, කෘති විනිශ්චය කරන්නෙත්a.

September 12, 2009

සංගීතය

අව්‍යාජ සිංහල ජනප්‍රිය සංගීතයක් ගොඩනැඟීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් ජනප්‍රිය සංගීතය සහ ශාස්ත්‍රීය සංගීතය අතර සම්බන්ධය මතුකරමින් සංගීතඥ ආනන්ද සමරකෝන් ලියූ පහත ලිපිය 2009 සැප්තැම්බර් 11, සිළුමිණ පුන්කල‍ස අතිරේකයෙන් උපුටා ගෙන ඇති සැටියෙන්ම පළකෙරෙයි. මෙම ලිපියේ මූලාශ්‍රය සිළුමිණ ලිපියේ සඳහන් කොට නැත. මෙම ලිපියේ නිවැරදි මුල් පිටපතක් අපට ලබාදෙන්නට කවරෙකු හෝ ඉදිරිපත් වුවහොත් එය අපට පහත ලිපියේ ඇති දෝෂ වලින් තොරව පළ කළ හැකි වෙතැයි සිතමු.

ජනප්‍රිය සිංහල සංගීතය

ආනන්ද සමරකෝන්

එය හඬකින් බිහිවූවකි. ගලා බසින දොළ පහරකින් හෝ ඇද හැලෙන දිය ඇල්ලකින් නැඟෙන ‘සර සර’ හඬෙන්, ගහකොළ ආදියේ ගැටී පිසයන මාරුතයෙන් නැඟෙන හඬෙන්, ලී කෑලි දෙකක් එකට ගැටීමෙන් නිකුත්වන ශබ්දයෙත්, යම් සංගීතයක් ඇත. මෙසේ කල්පනා කර බලන විට සංගීතයක් ගොඩ නැඟීමට මුල් වූයේ හඬයි.

අද ලෝකයේ භාවිතා කෙරෙන නානාවිධ භාෂා සකස්කර ගැනීමට පෙර ආදී කාලයේ විසූ මනුෂ්‍යයෝ තම හැඟීම් අන්‍යයන්ට ප්‍රකාශ කරන්නට ඇත්තේ සත්වයින් මෙන් කට හඬින් පමණක් විය යුතුයි. නොයෙක් විට ඒ හැඟීම් සංගීතයට නගා කුරුල්ලන් මෙන් ප්‍රකාශ කරන්නට ඇතැයි සිතිය හැකි. සංගීතයේ මුල් ආරම්භය මෙසේ ඇති වී මිනිසා ක්‍රම ක්‍රමයෙන් ආශා ගොඩනගත්ම සංගීතය ද ගොඩ නැඟෙන්නට ඇත.

එකල රාගතාල සොයා ගෙන නොතිබුණේ වී නමුදු ශබ්දය ඇසුරු කොට ඇති වූවක් නිසා මෙය ගණන් ගත්තේ සංගීතයක් හැටියටයි. මෙවැනි සංගීතයක් අද ලෝකයේ සෑම රටකම සෑම ජාතියවකටම හිමිවී ඇත. එය ඒ ඒ මනුෂ්‍ය වර්ගයාගේ සංස්කෘතිය අනුව හැඩ ගැසුණි. භාරතය ආදී සමහර රටවල මේ ජන සංගීතය ක්‍රමයෙන් දියුණුව ඉන් උසස් ශාස්ත්‍රීය සංගීතය පවා ගොඩ නැඟී ඇත. (more…)

August 13, 2009

සංස්කෘතිය

ලංකා සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ ඇතැම් ප්‍රශ්න
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

මේ ලිපිය ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ අර්ථ ශාස්ත්‍ර සංගමය මඟින් පළකරන ලද ‘සමාජ විග්‍රහය’ නමැති සඟරාවේ පළවූවකි.

සිංහල සංස්කෘතිය භාරතීය සංස්කෘතිය පදනම් කොට ඇතත්, ස්ථවිරවාද බුද්ධාගම නිසා එය භාරතීය හින්දු සංස්කෘතියෙන් වෙන් වූවක් බවට පත්විය. සිංහල සංස්කෘතියට බුද්ධාගමේ ඇති සම්බන්ධයත් භාරතීය සංස්කෘතියට හින්දු සමයෙහි ඇති සම්බන්ධයත් එක හා සමාන නොවේ. අතීතයේ පටන්ම බුද්ධ ධර්මය සාමූහික ලෙස කරන වැඳුම් පිදුම්වලින් තොර වතාවත් අඩු ධර්මයක් විය. අදත් ඒ එසේමය. මේ හැරුණු විට යාඥාවට හෝ උත්තර මානුෂීය බල ඇති අයට කරන ආයාචනයට හෝ තැනක් බුද්ධාගමේ නැත.

එහෙත් ඒ වෙනුවට පෞද්ගලිකව කැරෙන ආත්ම දමනයෙන් ආධ්‍යාත්මික පාරිශුද්ධිය ලැබීමත් සංස්කාරකයන්ගේ අනිත්‍ය මෙනෙහි කිරීමෙන් නෛෂ්ක්‍රම්‍ය පුහුණු කිරීමත් උගන්වනු ලැබේ. මේ අනුව ජීවිතය ගැන බුද්ධ ධර්මය දරන දෘෂ්ටිය පෞද්ගලිකත්වය වටා ගෙතුණු අතරම වඩා ප්‍රඥාගෝචර ද වෙයි. වෙනස් කළ නොහැකි ලෙස ක්‍රියාත්මක වන කර්මඵල නියමයක් ගැන එහි අවධාරණයෙන් කියවේ.

මේ කර්මඵල නියමය කෙරෙහි එකම ස්වාමියා මිනිසාය. ලෝකෝත්තර බලවේගයන් ගෙන් කිසි පිහිටක් නොලැබේ. දේව භක්තිය මත පදනම් වූ ආගමකට වඩා බුද්ධ ධර්මය වෙනස් ය. දේව භක්තිය මත ගොඩනැංවුණු ආගමක දී දෙවියන් හා මිනිසුන් අතර පැවැත්වෙන සම්බන්ධකම් විවිධ ක්‍රම ගන්නා අතර, ඒවා එම සමාජයෙහි සංස්කෘතියේම අංශ බවට පත් වේ. මේ නිසා බුද්ධ ධර්මය ඉහත කී විධියේ ලෞකික සංස්කෘතියකට අවශ්‍ය සම්පූර්ණ අංගෝපාංග එය අනුගමනය කරන සමාජයට නොදෙයි. ගම්බද සිංහල ජනයාගේ අවශ්‍යතාවනට සරිලන ලෙස සකස් වීම සඳහා, බුද්ධ ධර්මයට ජන ඇදහීම් හා හින්දු විශ්වාසයන් සමඟ සංකලනය වීමට සිදු විය. (more…)

April 1, 2009

විලාසිතා

“කාන්තාවෙනි, මේ රැල්ලට ඔබත් හසුවුණාද? හසුවෙනවද?”

අපි කලකට පෙර කාන්තා විලාසිතා පිළිබඳ කැළණිය විශ්ව විද්‍යාල භූමියේ ප්‍රදර්ශණය කෙරුණු “ගොන් පාට් දැන් ඇති” යන මැයෙන් යුතූ පෝස්ටරයක් පිළිබඳ විග්‍රහයක් “විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය” යන මාතෘකාව යටතේ පළ කළෙමු.

පහත පළවන්නේ මෑත කාලයේදී කොළඹ විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍ර පීඨ භූමියේ ප්‍රදර්ශණය කෙරුණු පෝස්ටරයකි. අපි මෙය ඔබගේ අවධානය සඳහා සහ වාර්තා කොට තැබීම සඳහා අපගේ අදහස් දැක්වීමකින් තොරව ඉදිරිපත් කරමු.

මේ පිළිබඳ ඔබගේ අදහස් සඳහා ‘කතිකා’ අවකාශය විවෘතව පවතී.

මෙම චිත්‍ර සටහනට ඔබේ මූසිකය දෙවරක් ටික් ගෑමෙන් ඔබට මෙම චිත්‍ර සටහන විශාල කොට බැලීමට හැකිවනු ඇත.

vilasitha2

January 2, 2009

පුවත්

“ජනප්‍රිය සංස්කෘතිය” නිසා, බැරෑරුම් කලාවන් අගය කිරීමට අවශ්‍ය සංයමය පිරිහෙනවා.
- අදූර් ගෝපාලක්‍රිෂ්ණන්

adoor_c1රූපවාහිනිය සහ ජනප්‍රිය සිනමාව වත්මන් පරපුරේ සංවේදීතාවය බෙහෙවින් වනසා දමා ඇතැයි සුප්‍රකට කේරළ සිනමාකරු අදූර් ගෝපාලක්‍රිෂණන් කොළඔදී පැවැති ජාත්‍යන්තර වාර්තා සහ කෙටි චිත්‍රපට උළෙල සහ තරඟයේ අවස්ථාවකදී ප්‍රකාශ කළ බව කොළඔ පුවත් පත් වාර්තාවල පළ විය.

ජනප්‍රිය සිනමාවට සහ රූපවාහිනියට පුළුල්ව ඇබ්බැහිවීම, සිනමාව ඇතුළු බැරෑරුම් සහ සම්ප්‍රදායික කලාවන් අතිශයින් පිරිහීමට හේතු වී ඇතැයි කී ඔහු මෙම ප්‍රවණතාව කේරළයටත්, ඉන්දියාවටත්, සමස්ථ කලාපයටත් එක සේ පොදු‍යැයි ද කියා සිටියේය.

බැරෑරුම් කලාවන් ආශ්වාදයටත්, අගය කිරීමටත් අවශ්‍ය සංයමය සහ විනය සෙමින් අතුරුදහන් වෙමින් පවතී. මෙය පිරිහීමකැයි අදූර් ගෝපාලක්‍රිෂණන් තව දුරටත් ප්‍රකාශ කොට ඇත.

අදූර් ගෝපාලක්‍රිෂණන් පද්ම විභූෂණ, සහ පද්ම ශ්‍රී යන ඉන්දියානු ජාතික සම්මාන ද්වයෙන්ම පිදුම් ලද, ජාත්‍යන්තර කීර්තියට පත් සිනමා කරුවෙකි.

July 16, 2008

“ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50,” කැනේඩියානු පර්යාලෝකයකින්

කැනඩාවේ පැරණිතම සහ වඩාත් පිළිගැනීමක් ඇති ජාතික පුවත්පත වන Globe and Mail බලන්න (කැනඩාවේ ඇත්තේ ජාතික පුවත්පත් දෙකකි) ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50 නම් කරමින්, ඒ පිළිබඳ ලිපි මාලාවක් සතිපතා පළකිරීම 2008 ජනවාරියේදී ආරම්භ කළේය. මේ වනවිට ඉන් පොත් 25 ක් පිළිබඳ ලිපි පළවී තිබේ. මෙය එම පුවත්පතේ කලා (Art) අංශයේ සංස්කාරක මාර්ටින් ලෙවින් (Martin Levin) ගේ සංස්කාරකත්වයෙන් පළකෙරෙන විශේෂාංගයකි.

2008 ජනවාරි 05 වැනිදා මාර්ටින් ලෙවින් මෙම විශේෂාංගය හදුන්වා දෙමින් ඒ පිළිබඳ අදහස් දක්වන්නට පාඨකයන්ට ඇරයුම් කළවිට ඒ කටයුත්තට පාඨකයෝ සිය ගණනින් උත්සුකව දායක වූහ, විවිධ මත පළකළහ. යෝජිත පොත්පත් එම ලැයිස්තුවට ඇතුළත් විය යුතුද? නැත්ද? යන්න පිළිබඳ වාද-විවාද කළහ. එකිනෙකාගේ ආකල්ප විවේචනය කළහ. ඇතැමුන් Globe and Mail පුවත්පත මෙවැනි කටයුත්තකට මුල පිරීමේ අභිප්‍රාය පිළිබඳ සැක පහළ කරමින් එසේ ප්‍රශ්ණ කළහ. සතිපතා එක් එක් පොතක් පිළිබඳ ලිපිය පළවන විට ඒ පිළිබඳ තම අදහස් පළ කරන්නට පාඨකයෝ ඉදිරිපත් වූහ. පොත-පත කියැවීම, සාහිත්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ වෙබ් අඩවි මෙම විශේෂාංගයට විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූහ.

(more…)

Next Page »

Blog at WordPress.com.