Kathika

September 17, 2009

සාහිත්‍යය


පහත උපුටා ගැනීම්, 2009 සැප්තැම්බර් 16, දිවයින, සරසවි උයන අතිරේකයෙනි.

” ඕනෑම සාහිත්‍යකරුවකු සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ”
මහාචාර්ය සුචරිත ගම්ලත්

සාකච්ඡා කළේ රවීන්ද්‍ර විඡේවර්ධන

  ඡායාරූපය දිවයින, සරසවි උයන අතිරේකයෙනි

ඡායාරූපය දිවයින, සරසවි උයන අතිරේකයෙනි

සාහිත්‍යය කියන එක ක්‍රමයෙන් වර්ධනය වෙමින් යන දෙයක්‌. කිසියම් කාලයක සාහිත්‍යය මූලාරම්භය වුණාද එතැන් සිට විවිධ සාහිත්‍යකරුවන් හා ගුරුකුල එය පෝෂණය කළා. සම්ප්‍රදානයන් කළා. අද සාහිත්‍යය දෙස හොඳට බැලුවාම එහි පුරාණ සාහිත්‍යයක්‌ තිබෙනවා පෙනෙනවා. නමුත් අද එය ක්‍රමයෙන් වෙනස්‌ වී සංවර්ධනය වී තිබෙනවා. මේ සංවර්ධනය, විකාශය දැන ගැනීම තමයි සම්ප්‍රදාය දැන ගැනීම කියන්නෙ. ඕනෑම සාහිත්‍යකරුවකු මේ සම්ප්‍රදාය දැන ගෙනයි සාහිත්‍යකරණයේ නියෑළිය යුත්තෙ. අපේ සාහිත්‍ය සම්ප්‍රදාය විතරක්‌ නෙවෙයි. බටහිර නවකතා, රුසියානු නවකතා, භාරතීය නවකතා යන සියලු නවකතා හා ඒ යුගවල ශෛලීන් ආදියත් ඔහු හදාරා තියෙන්න ඕන.

“යමෙක්‌ සාහිත්‍යයේ නිරත වෙන්නට අදහස්‌ කරනවා නම් ඔහු බටහිර නවකතාවේ සිට සහ සිංහල සාහිත්‍යයේ මුල සිට හැදෑරිය යුතුයි “

පැරැණි සංස්‌කෘත විචාරකයනුත් මේ ගැන කියා තිබෙනවා. ඔවුන් කියනවා කලා නිර්මාණයේ නීති තුනක්‌ තිබෙනවා කියල. එකක්‌, සහජයෙන් එන සාහිත්‍ය ලැදියාව. දෙවැන්න සතතාභ්‍යාසය. ඒ කියන්නෙ වෙනත් කලාකරුවන් කළ කලා නිර්මාණ ඇසුරු කරමින් නිරන්තර අභ්‍යාසය. ඊළඟට ව්‍යුත්පත්තිය. එනම් බොහෝ කොට හැදෑරීම, දැන ගැනීම. Education. උදාහරණයකට මම අද උදේ “ශාරංගධර” කියා සංගීතය ගැන මධ්‍යකාලීන යුගයේ ලියෑවුණු පොතක්‌ කියවමින් සිටියා. ඒ පොතේ කියනවා ගේය පද රචකයා දැන ගත යුතු විෂය විසි හතක්‌ ගැන. යමෙක්‌ සාහිත්‍යයේ නිරත වෙන්නට අදහස්‌ කරනවා නම් ඔහු බටහිර නවකතාවේ සිට සහ සිංහල සාහිත්‍යයේ මුල සිට හැදෑරිය යුතුයි. ඒ හැදෑරීම තුළින් අර සම්ප්‍රදාය ඔහුගේ ස්‌නායු පද්ධතියට ආවාමයි කාව්‍යාත්මක විධියට ඔහුට යථාර්ථය ග්‍රහණය කර ගත හැක්‌කේ. දැන් අපේ නවකතාකාරයො මේ සම්ප්‍රදාය දැන ගෙන තිබෙනවාද? බටහිර නවකතා කියවා තිබෙනවාද? සිංහල චිරන්තන සම්භාව්‍ය සාහිත්‍යය කියවා තිබෙනවාද? හැබැයි සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, මාර්ටින් වික්‍රමසිංහ වැන්නන් දෙස බැලුවාම ඔවුන් ඒ සම්ප්‍රදාය හදාරා තිබෙනවා.

අද ඔය සම්මාන දිනා සිටින ලේඛකයන්ගෙන් ඔවුන් කියැවූ බටහිර සාහිත්‍ය කෘති ගැන අහන්න. පැරැණි සිංහල සම්භාව්‍ය සාහිත්‍ය කෘති ගැන අහන්න. කිසි දෙයක්‌ දන්නෙ නැහැනෙ. ඉංග්‍රීසි දන්නෙත් නැතුව පාලි – සංස්‌කෘතික භාෂා දන්නෙත් නැතුව ඒ සියලු දේ අද ඉවරවෙලානෙ. පැරැණි සිංහල සාහිත්‍යය තියා වර්තමාන සිංහල සාහිත්‍යයවත් ඔවුන් දන්නේ නැහැ.

” “ගම් පෙරළියෙන්” ඒ ජීවන ක්‍රමයට පාදක වූ කරුණාව, මෛත්‍රිය, ඥාති මිත්‍ර සබඳතා, උපේක්‍ෂාව ආදී සියලුදේත් විනාශ කර දමා හුදෙක්‌ මුදල් ඉපැයීමේ ධනවාදී ක්‍රමයක්‌ ස්‌ථාපනය කරන අයුරු ඉන් පෙන්වනවා”

“ගම් පෙරළියෙන්” ඇත්තටම කියන්නෙ ශ්‍රී ලංකා ඉතිහාසයේ එක්‌තරා සන්ධිස්‌ථානයේදී ඇති වූ විශාල සමාජ විපර්යාසයක්‌ ගැනයි. ඒ සමාජ විපර්යාසයට “ගම් පෙරළියෙන්” හේතූත් පෙන්වනවා. බටහිර ධනවාදය මෙරට එවකට තිබූ වැඩවසම් සමාජය ඇතුළට කාගෙන ගොස්‌ ඒ ජීවන ක්‍රමය විනාශ කර දැමීම පමණක්‌ නොවෙයි, ඒ ජීවන ක්‍රමයට පාදක වූ කරුණාව, මෛත්‍රිය, ඥාති මිත්‍ර සබඳතා, උපේක්‍ෂාව ආදී සියලුදේත් විනාශ කර දමා හුදෙක්‌ මුදල් ඉපැයීමේ ධනවාදී ක්‍රමයක්‌ ස්‌ථාපනය කරන අයුරු ඉන් පෙන්වනවා.

“පරිවර්තන සාහිත්‍ය කෘතියක්‌ හරියට කරන්න නම් කෙනකුට භාෂා දෙකම ගැන මනා පරිචයක්‌ තියෙන්නෙ ඕන”

පරිවර්තන සාහිත්‍ය කෘතියක්‌ හරියට කරන්න නම් කෙනකුට භාෂා දෙකම ගැන මනා පරිචයක්‌ තියෙන්නෙ ඕන. එපමණක්‌ නොවෙයි. ඔහු කවියෙක්‌, සාහිත්‍යකාරයෙක්‌ වෙන්නත් ඕන. එහෙම මිනිස්‌සු අපට නැහැ. එහෙම හිටපු එක්‌ පරිවර්තකයෙක්‌ මම දන්නවා. ඒ, ඒ. පී. ගුණරත්න.

“මෙවලම් පරිවර්තකයෙක්‌ ……නිර්මාණාත්මක පරිවර්තකයෙක්‌ නෙවෙයි”

මෙවලම් පරිවර්තකයෙක්‌ ……නිර්මාණාත්මක පරිවර්තකයෙක්‌ නෙවෙයි. හුදෙක්‌ කතාව පරිවර්තනය කරන්නෙක්‌.

ඉස්‌සෙල්ලා පරිවර්තකයා සාහිත්‍යකාරයෙක්‌ වෙන්න ඕනෙ.

“අපට කවදාවත් දේශීය චින්තනයක්‌ තිබුණෙ නැහැ”

අපට කවදාවත් දේශීය චින්තනයක්‌ තිබුණෙ නැහැ.. ඉන්දියාවෙන් ආපු චින්තනයක්‌ අපට තිබුණෙ. බුද්ධාගම ආවෙත් අපට ඉන්දියාවෙන්. දැන් සාහිත්‍ය කලා යනාදිය අපට බුද්ධාගමෙන් ආවෙ නැහැනෙ. ආවෙ සංස්‌කෘතවලින්.

“බෞද්ධාගම තුළ බොහෝ කලා ප්‍රතික්‍ෂේප වෙනවා”

බෞද්ධාගම තුළ බොහෝ කලා ප්‍රතික්‍ෂේප වෙනවා. සංගීතය, නැටුම් බෞද්ධාගම තුළ හඳුන්වන්නේ ගර්හිත කලා වශයෙන්. චිත්‍ර කලාවට පමණයි බෞද්ධාගම තුළ ඉඩක්‌ තිබුණේ

“මීට අවුරුදු පණහකට ඉස්‌සෙල්ලා මෙරට සාහිත්‍යයේ ඉහළ මට්‌ටමක්‌ තිබුණා”

මීට අවුරුදු පණහකට ඉස්‌සෙල්ලා මෙරට සාහිත්‍යයේ ඉහළ මට්‌ටමක්‌ තිබුණා. බොහෝවිට සාහිත්‍යය නිර්මාණය කළේ ත්‍රිභාෂික උගත්තු. එකල සාහිත්‍යකරුවන්ගේ භාෂාව පිරිහිලා තිබුණෙ නැහැ. අද තියෙන භාෂාවෙන් එදා ලිව්වා නම් කවුරුවත් ඒ පොත් පිළිගන්නේ නැහැ. ඒ නිසා එදා දුන්නු සම්මානවලත් හොඳ මට්‌ටමක්‌ තිබුණා.

ඉස්‌සෙල්ලාම සාහිත්‍ය මණ්‌ඩලයේ සභාපතිව සිටියේ කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර හාමුදුරුවො. උන්වහන්සේ විද්‍යංලාකාර පිරිවෙනේ නායක හාමුදුරුවෝ. පාලි, සංස්‌කෘත, ප්‍රකෘත දන්නා මහා ඉහළ පණ්‌ඩිත හාමුදුරුවරු නමක්‌. උන්වහන්සේ නවකතා විවේචනය කරන්න ගියේ නැහැ. සාහිත්‍ය මණ්‌ඩල සභාපති පුටුවේ වාඩිවෙලා හිටියා. ඒත් දැන් ඒ පුටුවල ඉන්නේ කවුද?

“ඉංග්‍රීසි භාෂාව නැති කළේ නැද්ද? ප්‍රාචීන භාෂා නැති කළේ නැද්ද? නැති කළාම මොක්‌කුද එන්නෙ? පුස්‌සො’

ඉංග්‍රීසි භාෂාව නැති කළේ නැද්ද? ප්‍රාචීන භාෂා නැති කළේ නැද්ද? නැති කළාම මොක්‌කුද එන්නෙ? පුස්‌සො.

හේතුව පරිහානිය. බලන්න, අපේ පාසල් අධ්‍යාපනයෙන් සම්භාව්‍ය සිංහල සාහිත්‍යය නැති කළේ නැද්ද? ඉංග්‍රීසි භාෂාව නැති කළේ නැද්ද? ප්‍රාචීන භාෂා නැති කළේ නැද්ද? නැති කළාම මොක්‌කුද එන්නෙ? පුස්‌සො. පුස්‌සො තමයි විචාරකයො වෙන්නෙත්, නවකතා ලියන්නෙත්, කෘති විනිශ්චය කරන්නෙත්a.

August 17, 2009

භාෂාව

“සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා”
රත්න ශ්‍රී විඡේසිංහ

බෝගහගොඩ ඒ. ඩබ්ලිව්. ඒ. නිමල්

දිවයිනේ දැනට ක්‍රියාත්මක වන සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා. සමහර රූපවාහිනි නාලිකා කේෂ නාලිකා වාගෙයි. සමහර ගුවන් විදුලි නාලිකාවන්ද සිංහල මර මරා කනවා. සමහර සන්නිවේදකයෝ ගිරා පෝතකයන් වගේ. මේ අය කිසිදු චකිතයක්‌ හිරිකිතයක්‌ නොමැතිව මෙම අපේ උතුම් සිංහල කම සිංහල භාෂාව කනවා. මෙම ව්‍යසනය වහාම නතර නොකළහොත් අනාගතයේ දී සිංහල නම් වූ මනෝරම්‍ය භාෂාව විනාශ වෙනවා යෑයි, ප්‍රවීණ කලාකරුවකු වන රත්න ශ්‍රී විඡේසිංහ මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි.

වැඩිදුරටත් අදහස්‌ ප්‍රකාශ කළ රත්න ශ්‍රී විඡේසිංහ මහතා

සාහිත්‍යය යනු කලාවක්‌. මිනිසුන්ගේ හැඟීම් අවදිමත් කිරීම මෙහිදී සිදු කෙරෙනවා. මිනිසුන්ට ලබා දෙන කලා කෘතිය උත්තම හෝ අධම වන්නේ එහි ඇති මානව ගුණ දහම මතයි. යහපත් ගුණ ගරුක මිනිසුන් ජීවත් කරවීම බිහිකිරීම මෙහි අරමුණ වෙනවා. පිරිපුන් මිනිසකු බිහිවීම තුළ රට ලොව ගොඩ නැගිය හැකියි. රටේ සංවර්ධනය සඳහා ද සාහිත්‍ය කලාව ද යොදා ගැනීම කළ යුතුයි. එහිදී මානව සංවර්ධනය රටේ ජනතාව තුළ ඇති කිරීම තුළ අපට එකී බලා පොරොත්තුව ඉටු කළ හැකියි. සිංහල භාෂාව තරම් සුන්දර භාෂාවක්‌ ලෝකයේ නෑ. මේ නිසා අප අපගේ භාෂාව රැක ගැනීම සඳහා පියවර ගත යුතුව ඇතැයි ඒ මහතා කීය.

2009 අගෝස්තු 17, දිවයින පුවත් පතෙනි

January 4, 2009

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – සිවුවැනි ලිපිය

Globe and Mail අප්‍රේල් 25, 2008

සියක් වසක හුදෙකලාව

ඉලන් ස්ටවාන්ස්

පරිවර්තනය පියල් කුමාර ජයරත්න, අනූෂ‍යා කොල්ලුරේ

PDF මාදිලියෙන් කියවන්නGet PDF
Download PDF

solitude_175එවකට එතරම් ජනප්‍රියත්වයක් ලබා නොසිටි කොළොම්බියානු ජාතික ජනමාධ්‍යවේදියෙකු වූ ගාබ්‍රියෙල් ගර්ෂියා මාකේස්, මාස දහ අටක් තිස්සේ මෙක්සිකෝවේ හුදෙකලාවේ වසමින් සියක් වසක හුදෙකලාව ලිවීය. ලතින් අමරිකානු කලාපයෙන් මතුව ආ නව සාහිත්‍ය රැල්ලක පෙරගමන්කරු වෙමින් සහ අත්ලාන්තික් සාගරයෙන් මේ පැත්තේ එදා මෙදා තුර ස්පාඤ්ඤ භාෂාවෙන් පළ කරන ලද වැදගත්ම නවකතාව බවට පත්වෙමින්, මෙම පොත 1967 දී බුවනොස් අයර්ස් හිදී ප්‍රකාශයට පත්කරනු ලැබිණි.

කේන්ද්‍රීය චරිත වන්නේ, නගරයේ පුරාණෝක්තිමය ප්‍රාරම්භයේ පටන් එහි අභාවය දක්වා, (කතාවට යෙදූ නමෙහි සියවසක් යනුවෙන් සඳහන්වී තිබුනද) සියවසකටත් වඩා වැඩි කාලයක් පුරා, කොළොම්බියාවේ කැරිබියානූ වෙරළ තීරයේ අමතක කර දමා තිබුණු නගරයක් වූ මැකොන්ඩෝවේ වාසය කළ, විචිත්‍ර, බුවෙන්ඩියා පවුල යි. කතා වස්තුවේ චක්‍රීය ව්‍යුහයත්, එහි සියල්ල දත් ප්‍රථම පුරුෂ කථනයත්, කාලානුක්‍රමිකව වාර්ථා ගත කළ සිදුවීම්වල ඉන්ද්‍රජාලික ස්වභාවයත්, පොත බයිබලයට අදාළ අනුනාදයන්ගෙන් පුරවා ලයි. (more…)

December 6, 2008

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – තෙවැනි ලිපිය

Globe and Mail ජූනි 14, 2008

ලොලීටා: නොමිහිරියි, මේ බලන්න

ලෝරා පෙනී
පරිවර්තනය: කෙ‍්. කේ. සමන් කුමාර

Get PDF PDF මාදිලියෙන් කියවන්න Download PDF

මේ පෙබරවාරියේ එක්සත් රාජධානියේ වූල්වර්ත් සමාගම “ලොලීටා අතරමැදනිදන බහුකාර්ය නිදන කාමර කට්ටලය (The Lolita Midsleeper Combi)” යනුවෙන් අයෝග්‍ය ලෙස බාලිකා නිදන කාමර කට්ටලයක් නම් කිරීමෙන් මව්පිය කෝපය ඇවිස්සුවා. ප්‍රකාශකයෙකු කීවා: “අපේ කාර්ය මණ්ඩලය කවදාවත් ලොලීටා ගැන අහලා තිබුණෙ නෑ. මට …. අපිට උනා ඉතින් එය ‘විකීපිඩියා’එකේ බලන්න. නමුත් අපි දැන් හරියටම දන්නවා ඈ කවුද කියලා.”

0614lolita18821මෙබඳු තකතිරු දේ වලින් තමයි පුවත්පත් සිරස්තල හැදෙන්නෙ. ඔබ ව්ලැදිමීර් නබකොව්ගේ ලොලීටා කියවීමේ මහැඟි සතුට කිසිදා ලබා නැති වුවත් ඔබ එහිවන අපකිර්තිමත් වස්තු විෂය ගැන දන්නවා. මැදි වයසේ සිටින හම්බර්ට් හම්බර්ට් ඔහුගේ 12 වියැති සුළු දියණිය, සිඟිති දිය කිඳුරිය ඩොලරස් හේස්, විසින් ප්‍රේමයෙන් මුසපත් කරනු ලබනවා. ලොලීටා, යෙදුමක් ලෙසට උත්කර්ශනය ලැබ ඇති දුර්ලභ ග්‍රන්ථනාමයන් අතරින් එකක්. (more…)

November 30, 2008

ප්ලේටෝ පිළිබඳ තව දුරටත්….

“ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50” විශේෂාංගය යටතේ එහි එන තෝරාගත් පොතක් පිළිබඳ පළමු ලිපිය වශයෙන් ප්ලේටෝ ගේ ජනරජය ගැන සයිමන් බ්ලැක්බර්න් ලියූ, හේමරත්න ලියනආරච්චි විසින් පරිවර්තනය කළ ලිපිය පසුගිය වතාවක ඉදිරිපත් කළෙමු.

අද අප පහත පළකරන්නේ, සාහිත්‍යධරයෙකු වන හේමරත්න ලියනආරච්චි ප්ලේටෝ පිළිබඳව ලියූ අදහස් කිහිපයකි. මේ අදහස් දෙකොටස, බටහිර සාහිත්‍ය විචාරයේ ඉතිහාසය නමින් ලියනආරච්චි මහතා, පළකිරීම සඳහා සංස්කරණය කරමින් සිටින, කෘතියෙන් දෙපළකින් උපුටා ගැණුනු ඒවාය.

ප්ලේටෝ

I

බුඬිය මිත්‍රයෙකැයි සිතා කාව්‍ය දෙවියන් මරා හෙළීම

(ක්‍රි.පූ.427-347)

පූර්ව ප්ලේටෝ අවධියේ දී ක්‍රමයෙන් මෝදු වෙමින් පැවති බටහිර සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයට නිශ්චිත රූපයක්, ස්ථායී භාවයක් හා දිශාවක් ද දෙනු ලබන මුහුන් වෙසෙසක් සදිසි සංකල්පයක් දායාද කරනු ලබන්නේ ප්ලේටෝ විසිනි. ඒ පළමුවන පරිච්ඡේදයේ දී ද සඳහන් කරන ලද – ජනරජය ‍කෘතියෙහි සඳහන් වන -“දර්ශනය හා කාව්‍යය අතර දීර්ඝ කාලීන අරගලය” යන සංකල්ප‍යයි. (more…)

August 23, 2008

‘ශ්‍රේෂ්ඨතම පොත් 50′ මළගිය සුදු පිරිමින් ගේ ‘අකාලික සම්භාව්‍ය කෘතීන්’ ද?

ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විවාදය – 4

Globe and Mail ප්‍රකාශයට පත්කළ පොත් නාමාවලියට මේ වනවිට පහත සඳහන් පොත් ද එකතු වී තිබේ.

Kafka ගේ The Complete Stories
The King James Bible
Newton ගේ Principia Mathematica
W.B. Yeats ගේ The Collected Poems (එකතු කළ කවි)

Globe and Mail පුවත්පතේ ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇරඹුණේ 2008 ජනවාරි 05 වැනිදා ය. ඒ පිළිබඳ මුල් ප්‍රකාශයට ලැබුණු පාඨක ප්‍රතිචාර සංඛ්‍යාව 32 ක් වීය. මේ පිළිබඳ දෙවැනි ලිපිය එම පුවත්පතේ පළවන්නේ ජනවාරි 10 වැනිදාය. එතැන් සිට මේ දක්වා අළුතින් ලැබුණු පාඨක ප්‍රතිචාර මුළු සංඛ්‍යාව 500 කට අධික‍ය. ඒ, එක් එක් පොත පිළිබඳ ලිපිය පළ වූ විට ඊට ලැබෙන සුවිශේෂ පාඨක ප්‍රතිචාර වලට අමතරව ය. මේ සියල්ල අපට එම පුවත්පතේ විද්‍යුත් පිටපත් ගබඩාවෙහි දැකගත හැකිය. මේ වනවිට මෙම විශේෂාංගයේ සංස්කාරක මාටින් ලෙවින් අන්තර්ජාලය තුළ සජීවීව පාඨක ප්‍රශ්න වලට සැපයූ පිළිතුරු ද අපට කියවිය හැකිය.

අප දැනටමත් කියා ඇති පරිදි මෙම ප්‍රතිචාර සංඛ්‍යාව සලකා බලන කළ, එය කැනේඩියානු ජනගහණයට හෝ Globe and Mail පිටපත් අළෙවිය ට සමානුපාතිකව නම් විශාල සංඛ්‍යාවක් නොවේ. නමුත් එබඳු සුළු පිරිසක් හෝ සාහිත්‍යයේ ප්‍රමිතීන් පිළිබඳ සාකච්ඡාවකට ප්‍රතිචාර දැක්වීම අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහමුලින්ම අත්නොහැරීමට හේතුවකි. මෙම පාඨක ප්‍රතිචාර සලකා බලන විට පෙනී යන වැදගත් කරුණක් වන්නේ, ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50 නාමාවලියට තමන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමේදී ප්‍රමිතීන් වශයෙන් පාඨකයන් ඉදිරිපත් කළ කරුණු අප හමුවේ තබන ප්‍රශ්නය යි. සාහිත්‍ය කෘතියක ශ්‍රේෂ්ඨත්වය මනින මිනුම් දණ්ඩ කුමක් ද?

බොහෝ පාඨකයෝ කෘතියක ශ්‍රේෂ්ඨත්වය, එය රසවිඳීමේදී ලද තම පෞද්ගලික අත්දැකීම මත පදනම් කළහ. ඉන් තමන් ගේ භාවයන්ට ඇතිකළ බලපෑම අනුව කෘතියක් විනිශ්චය කළහ. නමුත් ඉන් නොනැවතී, පෞද්ගලික අත්දැකීම, භාව උද්දීපනය ඉක්මවා ගිය, පොදු ආකෘතියක් සහ අන්තර්ගතය පිළිබඳ ගුණාංග දක්වා තම විනිශ්චය ගෙනයාම පිළිබඳ අදහසක් ද පාඨකයෝ ඉදිරිපත් කළහ.

(more…)

August 7, 2008

අප සාහිත්‍යයට කැමැති මන්ද? ‘හොඳම දේ’ තේරීම අවරසික පිළිවෙතක්ද?

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විවාදය – 3

මෙම ලිපිය කැනඩාවේ Globe and Mail නමැති ජාතික පුවත්පත පළකරන ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇසුරෙන් අප පළකරන්නට අදහස් කරන ලිපි මාලාවෙහි තෙවැනි ලිපිය යි.

මෙම පොත් 50 තේරීමේ යෝජනාවට එම පුවත්පතේ විද්‍යුත් සංස්කරණයට පාඨකයන් පළමු වටයේදී ඉදිරිපත් කළ විවිධ අදහස් වලින් වැදගත් යැයි හැ‍ගෙන ඒවා කිහිපයක් පමණක් සංස්කරණය කොට පහත ඉදිරිපත් කරමු.

මාටින් ලෙවින් ගේ ඇරයුම මත ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ තේරීමේ තිබිය හැකි ගැටළු ගැන මත පළ කරමින්, ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන, නාමාවලි සපයමින්, අනෙක් පාඨකයන් තමන් ගේ ප්‍රියතම කෘතීන් පිළිබඳ අදහස් පළකරන්නට, ලියන්නට දිරිගන්වමින් කැනඩාවෙන්, එහි විවිධ ප්‍රාන්ත රාජ්‍යයන්ගෙන් සහ විදේශයන්ගෙන් කැනේඩියානු පාඨකයෝ විවාදයට බටහ.

බොහෝ පාඨකයන් මතුකළ කරුණු දෙකක් වූයේ ශ්‍රේෂ්ඨතම පොත් 50 සඳහා නාමාවලීන් සැදීමේ ගැටළුව සහ එම නාමාවලියට තම ප්‍රියතම ලේඛකයන් ඇතුළත් නොවීම නිසා ඇතිවන කළකිරීම ය.

(more…)

July 31, 2008

සාහිත්‍යයට ප්‍රමිතීන් පිහිටුවා ලීමට ගන්නා උත්සාහය ‘බූර්ෂුවා’ ද? : විශදභාවයන්ට (distinctions) එරෙහි පශ්චාත් නූතනවාදය

මෙම ලිපිය කැනඩාවේ Globe and Mail නමැති ජාතික පුවත්පත පළකරන ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇසුරෙන් අප පළකරන්නට අදහස් කරන ලිපි මාලාවෙහි දෙවැනි ලිපිය යි. අපගේ පළමු ලිපියට අප දිරිගන්වන සුළු ප්‍රතිචාර ලැබී තිබේ. අපට උපකාර කිරීමට, පරිවර්තනයෙහි ලා දක්ෂකම් දක්වන කිහිප දෙනෙකුම දැනටමත් ඉදිරිපත් වී සිටිති.

අද අප පළකරන ලිපිය, Globe and Mail පුවත්පතේ මෙම විශේෂාංගය සංස්කරණය කරන, එම පුවත්පතේ පොත්-පත් විශේෂාංගයේ සංස්කාරක මාටින් ලෙවින්, ‘ශ්‍රේෂ්ඨතම පොත් 50’ තේරීම පිළිබඳ අදහස හා සබැඳි ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිත ගැටළු, පිළිබඳ කරන සාකච්ඡාවකින් සංක්ෂිප්තව සකස් කරගත් එකකි.

දෙවනුව, මෙම පොත් 50 තේරීමේ යෝජනාවට එම පුවත්පතේ විද්‍යුත් සංස්කරණයට පාඨකයන් ඉදිරිපත් කළ විවිධ අදහස් වලින් වැදගත් යැයි හැ‍ගෙන ඒවා සංස්කරණය කොට ඉදිරිපත් කරමු. මාටින් ලෙවින් ගේ මෙන්ම Globe and Mail පාඨකයන්ගේ ද අදහස් (පළමු දින කිහිපය තුළ මාටින් ලෙවින්ගේ ලිපියට ලැබී තිබුණේ පාඨක ප්‍රතිචාර 27 ක් පමණි. පසුව එය 32 දක්වා ඉහළ ගියේය. අද වන විට එම සංඛ්‍යාව 500 ට ආසන්නය.) සළකා බලන කළ අපගේ අවධානයට යොමුවන කරුණු කිහිපයකි.

පළමුවැන්න, සාහිත්‍යය පිළිබඳව ඔවුන් අතර පවතින ආකල්ප අතර ඇති වෙනස්කම් පිළිබඳ වෙයි. සාහිත්‍යයට ප්‍රමිතීන් නැතැයි, එබඳු ප්‍රමිතීන් පිහිටුවා ලීමට ගන්නා උත්සාහයන් බූර්ෂුවා, ප්‍රභූ උත්සාහයන් යැයි නැගෙන මතයකට එරෙහිව මාටින් ලෙවින්, ඔහුගේ ජූරි මණ්ඩලය, ලේඛක මණ්ඩලය මෙන් ම බොහෝ පාඨකයෝද පෙනී සිටිති. නමුත් තමන් ගේ අදහසට එරෙහිව පළවන, විරෝධාකල්ප හෙළාදැකීම් පවා යටපත් නොකොට පළකරන්නට, සහ ඒ සමග විවෘතව සංවාද කරන්නට තරම් ආත්ම විශ්වාසයක් ද ඔවුනට තිබේ. දෙවැන්න, එබඳු සංවාදයක දී එහි පාර්ශවයන් පළකරන ශිෂ්ඨ සම්පන්නභාවය යි. ඒවා විමසිල්ලෙන් කියැවීමෙන් අපට උගත හැකි දෑ බොහෝය.

තෙවනුව, කැනඩාව වැනි, ඉංග්‍රීසි මවුබස කරගත්, උසස් අධ්‍යාපනය ත් ඉතා පුළුල්ව පැතුරුණු රටක පවා සාහිත්‍යයට වර්තමානයේ අත්වී ඇති ඉරණම එක අතකින් කියා පාන්නකි, මෙම විශේෂාංගය හා සබැඳි පාඨක සංවාදය. එරට උගත් යැයි පිළිගැනෙන, ජනගහණය හා සසඳන කළ මෙම විශේෂාංගය වෙනුවෙන් ප්‍රතිචාර දැක්වූ පිරිස ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ ඉතාම ස්වල්පයක් යැයි කිව හැකිය. නමුත් සාහිත්‍යය වෙනුවෙන් පෙනී සිටින සුළු පිරිසට ඒ පිළිබඳව ප්‍රබල අදහස් තිබීම, සාහිත්‍යයේ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවේ ගිනි පුපුරක් දල්වා ලන්නේ යැයි කීම නිවැරදි යැයි සිතමු.

අපගේ මුල් ලිපිය පළකරන අවස්ථාව වනවිට Globe and Mail ප්‍රකාශයට පත්කළ පොත් නාමාවලියට මේ වනවිට පහත සඳහන් පොත් ද එකතු වී තිබේ.

Herodotus ගේ The Histories
Herman Melville ගේ Moby-Dick
Gustave Flaubert ගේ Madame Bovary

‘කතිකා’ සංස්කාරකවරු.

දිගටම කියවන්න.

(more…)

July 16, 2008

“ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50,” කැනේඩියානු පර්යාලෝකයකින්

කැනඩාවේ පැරණිතම සහ වඩාත් පිළිගැනීමක් ඇති ජාතික පුවත්පත වන Globe and Mail බලන්න (කැනඩාවේ ඇත්තේ ජාතික පුවත්පත් දෙකකි) ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50 නම් කරමින්, ඒ පිළිබඳ ලිපි මාලාවක් සතිපතා පළකිරීම 2008 ජනවාරියේදී ආරම්භ කළේය. මේ වනවිට ඉන් පොත් 25 ක් පිළිබඳ ලිපි පළවී තිබේ. මෙය එම පුවත්පතේ කලා (Art) අංශයේ සංස්කාරක මාර්ටින් ලෙවින් (Martin Levin) ගේ සංස්කාරකත්වයෙන් පළකෙරෙන විශේෂාංගයකි.

2008 ජනවාරි 05 වැනිදා මාර්ටින් ලෙවින් මෙම විශේෂාංගය හදුන්වා දෙමින් ඒ පිළිබඳ අදහස් දක්වන්නට පාඨකයන්ට ඇරයුම් කළවිට ඒ කටයුත්තට පාඨකයෝ සිය ගණනින් උත්සුකව දායක වූහ, විවිධ මත පළකළහ. යෝජිත පොත්පත් එම ලැයිස්තුවට ඇතුළත් විය යුතුද? නැත්ද? යන්න පිළිබඳ වාද-විවාද කළහ. එකිනෙකාගේ ආකල්ප විවේචනය කළහ. ඇතැමුන් Globe and Mail පුවත්පත මෙවැනි කටයුත්තකට මුල පිරීමේ අභිප්‍රාය පිළිබඳ සැක පහළ කරමින් එසේ ප්‍රශ්ණ කළහ. සතිපතා එක් එක් පොතක් පිළිබඳ ලිපිය පළවන විට ඒ පිළිබඳ තම අදහස් පළ කරන්නට පාඨකයෝ ඉදිරිපත් වූහ. පොත-පත කියැවීම, සාහිත්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝ වෙබ් අඩවි මෙම විශේෂාංගයට විවිධ ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූහ.

(more…)

Blog at WordPress.com.