‘කතිකා’ ප්‍රකාශ

bandaranayaka_002
ප්‍රකාශ I / 2005/08/20
ජනාධිපති මැතිවරණය සහ ඉන් ඔබ්බට:
නව-ලිබරල්වාදය, ජාතික චින්තනය සහ පුරවැසිභාවය
– අර්ථවිවරණයක්

2005 ජනාධිපති මැතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය යන මතවාදයන් දෙක අතර කෙරෙන තීරණාත්මක සටනක් ලෙස, ජාතික ඌරුවක (national ethos) පුනර්ජීවනය අරමුණු කොට නූතන ලිබරල් ඌරුවට එරෙහිව කෙරෙන සටනක් ලෙස අර්ථ විවරණය කරන්නෙමු.

අප ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා දකින්නේ ප්‍රමුඛ කොටම මෙම මතවාදයන්හී නියෝජිතයන් ලෙසය. ඉන් එක් අයෙකු නව-ලිබරල්වාදය දැඩිව අදහයි. අනෙක් අපේක්ෂකයා මෑත සිදුවීම් පෙළගැසීම තුළ ජාතික චින්තනයේ මතවාදී ව්‍යාපාරය විසින් තම තම නායකයා ලෙස තෝරා ගැනෙන්නේ ඔහු හදින් වඩා සමීප නව-ලිබරල්වාදයට නොව ජාතික චින්තනය නියෝජනය කරන සම්ප්‍රදායට හෙයිනි.

මෙම මතවාදයන් දෙක අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා බැහැරකොට සළකයි. නව-ලිබරල් වාදය මෙම මැතිවරණයේදී යෝජනා කරන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ වෙළඳපොල ආර්ථිකය අප සමාජයේ පදනම් ප්‍රතිපත්ති රාමුව ලෙස ස්ථාපිත කරන්නටය. ජාතික චින්තනය, ලංකාව බටහිර අධිරාජ්‍යයවාදයේ ග්‍රහණයෙන් මුදවා, ජාතික චින්තනයක් මත පදනම් වූ රජයත් වෙළඳපොලත් දෙක බද්ධ කරන ජාතික ආර්ථිකයක් ගොඩනඟන්නට යෝජනා කරයි.

1. නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය: උග්‍ර ප්‍රතිපක්ෂයන්?

නව-ලිබරල් න්‍යාය පත්‍රය
තම න්‍යාය-පත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් ආර්ථික සංවර්ධනය උග්‍ර වී රටේ ජනතාවට නිදහස සහ සෞභාග්‍ය උදාවනු ඇතැයි නව-ලිබරල් මතවාදය තරයේ විශ්වාස කරයි. එහෙයින් තම න්‍යාය පත්‍රය හේතුවෙන් සමාජයෙන් බැහැර කෙරුණු කොටස් වලට කුමන ආකාරයේ සමාජ ඵල විපාකයන් අත් වුවත්, ඒවා නොසළකා න්‍යාය පත්‍රය කෙසෙ‍් හෝ ක්‍රියාත්මක කළ යුතු වෙයි. මෙම විශ්වාසය පිටුපස ඇත්තේ නූතනත්වය පිළිබඳ කතිකාව සහ එනිසා ප්‍රගතිය නවීකරණය සහ සංවර්ධනය විසින් සියලු සමාජ ව්‍යාධීන් ජය ගනු ලබනු ඇතැයි යන්න පිළිබඳව ඇති නූතන විශ්වාසය යි. මානව අයිතීන් මගින් සහතික කෙරෙන, වෙළඳපොල තුළ පුද්ගලයා සතු නිදහස ආර්ථික වර්ධනය සහතික කරණු ඇතැයි ද, ඉන් නැඟෙන රැළි නවීකරණයත්, ආර්ථික සංවර්ධනයත් උදාකරනු ඇතැයි ද විශ්වාස කෙරෙයි. එහි ඵල ප්‍රයෝජන පහළට කාන්දුවීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී සියලු දෙනාටම වාසි සැලසෙනු ඇතැයි ද, සැමට නිදහසත් සෞභාග්‍යයත් උදාවනු ඇතැයිද විශ්වාස කෙරෙයි. එහෙයින් මෙම දැක්මට අනුව එබඳු න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නැංවීමට එරෙහිව ඇති කුමන හෝ ප්‍රතිරෝධයක් පොදු යහපතට එරෙහිව යන දේශපාලනිකව නොමඟ ගිය ක්‍රියා මාර්ගයක් වන හෙයින්, තුමන තත්වයක් යටතේ වුව එම ප්‍රරෝධය ජයගත යුතු වෙයි.

මෙතැනිනි, සමාජයට යහපත් දේ කුමක්දැයි යන්න තමන් නිවැරදිව දන්නේය, යන විශ්වාසය සහ සියලු ප්‍රතිරෝධයන්ට එරෙහිව එම යහපත් දේ ක්‍රියාත්මක කිරීමෙහි ලා තමන් දරන මිෂනාරී කාර්යභාරය කෙරෙහි ඇති විශ්වාසය තුළින් ද උපත ලබන නව-ලිබරල්වාදී අධිකාරවාදය පැන නැගෙන්නේ. මෙම දැක්මට අනුව, දේශපාලනය යටත් වැසියන් පාලනය සඳහා හැඩ ගැස්වුනු වංශවත් පැළැන්තියේ වෘත්තිය යි. දේශපාලන නායකයා සාමාන්‍ය ජනයාගෙන් දුරස්ථ වන්නේ මේ හේතුවෙනි. නිවැරදි ක්‍රමය උගත්, නූතනත්වයේ සත්‍යය දන්නා සහ එහෙයින් ශ්‍රී ලංකාව වැනි ‘ඌණ සංවර්ධිත’ ‘තුන්වැනි ලෝකයේ’ රටවල් නවීකරණය සහ සංවර්ධනය කරන්නට දන්නා විශේෂඥයන්ගේ මනස්වල පිළිසිඳ ගත් දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නට, පාලකයා, තාක්ෂණවාදීන් සහ නිලධාරීන් මත රඳා පවතියි.

ජාතික චින්තනය
ජාතික චින්තනය වූ කලි නූතනත්වය තම ගෝලීයකරණයේ වත්මන් අදියරේදී ජන ප්‍රජාවන් අංශු වලට කඩා බිඳ දැමීම සහ සංස්කෘතික සජාතීකරණය තුළ (මාක්ස්ගේ සුපතළ රූපකය ණයට ගෙන කියන්නේ නම්) සියලු ඝණීභූත අනන්‍යතාවයන් දිය කර හැරීමට තර්ජනය කරමින් සම්ප්‍රදාය මත ඇති කරන බලපෑමට ප්‍රතිරෝධය දැක්වීමට මං සොයන කතිකාවකි. ජාතික චින්තනය, රජයෙන් මෙහෙයවෙන, ජනතාව අරමුණු කොටගත් කෘෂිකර්මික හා කාර්මික සංවර්ධනයක් මත පදනම් ව, ජාතික දේශපාලන තන්ත්‍රයක් සහ ආර්ථිකයක් සහ ජාතික සංස්කෘතියක් පූනර්ජීවනය, අපේ සමාජය මත ගෝලීයකරණයේ අනුග්‍රහය ලැබ නව-ලිබරල් න්‍යාය පත්‍රය ඇති කරන බලපෑමෙහි අගතිගාමී ඵලවිපාක වළින් මිදීමේ මග ලෙස දකියි. එහෙයිනි, ජාතික චින්තනය වත්මන් මැතිවරණය ජාතික සහ බටහිර අධිරාජ්‍යවාදී විජාතික බලවේග අතර කෙරෙන සටනක් ලෙස නිරූපණය කරන්නේ. එනයින්, මෙම අරගලය ලාංකික නිදහස සාක්ෂාත් කරගැනීම සඳහා වන දේශප්‍රේමී අරගලයක් වෙයි.

ජාතික චින්තනය න්‍යායිකව වටහා ගන්නා පරිදි සිංහල-බෞද්ධ සංස්කෘතිය වුකලී බෞද්ධ මානවීයවාදය මත පදනම්ව ඇත. එහි මුලික අංග නම්, මැද මාවත, සැපතට ගිජුවීම ප්‍රතික්ෂේප කිරීම, ආත්මාර්ථය වෙනුවට අන් යහපතට කටයුතු කිරිම, නොඇලී ජීවත්වීම, සමානාත්මතාවය සහ මුදලට ඉහළින් මිනිස්කම තැබීම ආදිය වෙයි.

අප දකින පරිදි, මෙය හරයෙන් ගත්කළ අපගේ දිවි පෙවෙතෙහිදී යහ-අයහ ගුණ විනිශ්චය සඳහා වන අපගේ ශක්‍යතාවය වගා කිරීමට අපට ඇති හැකියාව කේන්ද්‍ර කොටගත්, මානවයන් සඳහා වන යහපත් දිවි පෙවෙත මේ යැයි කියාපාන මතයකි. ඇතමුන් බෞද්ධ චින්තනයත් ලිබරල්වාදයත් සමාන කොට දැක්වීමට ගන්නා උත්සාහයන්ට ප්‍රතිපක්ෂව, ලිබරල්පුද්ගලවාදයේ, ඌරුව යහ-අයහගුණ පිළිබඳ විනිශ්චය පිළිබඳ අදහස් වෙළඳපොලෙහි දී පාරිභෝගිකයා කරන තේරීමට ලඝු කරන අතර, බෞද්ධ ඌරුවෙහි හරයටම එරෙහිව යමින් එය මුලිනුදුරා දමන්නට මං සොයයි.

අප දකින අන්දමට, ජාතික චින්තනයේ දේශපාලන පදනම හුදෙක්, සමාජයෙන් ආර්ථික වශයෙන් පිටමං කළ කොටස් වලින් සැකසෙන්නේ යැයි සිතීම දේශපාලනිකව නොමඟ යවන සුළුය. එමතු නොව, එය හුදු සීමාන්තික දේශානුරාගයක් පිළිබඳ කරුණකට ද ලඝු කළ නොහැකිය. මෙහිදී ජාතිකවාදී මතයක ස්වරූපය ගන්නේ පෙරදී සම්ප්‍රදාය විසින් සැපයුණු ප්‍රබල අනන්‍යතාවක් අහිමිවි යාමකි. වෙළඳපොල මත පදනම් වූ පුද්ගලවාදය, පෙරදී ප්‍රබල අනන්‍යතාවක් සැපයූ සාම්ප්‍රදායික ප්‍රජාවේ බැඳීම් සියල්ල කඩා බිඳ දමයි. සම්ප්‍රදායේ වටිනාකම ඇත්තේ ස්ථායී අනන්‍යතාවක් ලබාදීමට ඊට ඇති හැකියාව මතයි. ලංකාව තුළ සම්ප්‍රදායිකව මෙම අනන්‍යතාව ලබා දුන්නේ භාෂාව සහ ආගම එකට එකතුවිම තුළිනි. තම අනන්‍යතාව අහිමිවිම ප්‍රකාශ කිරීමට සාම්ප්‍රදායික භාෂාමය හෝ ආගමික ප්‍රභවයක් කරා ආපසු යාමට ජනයා තුළ ඇති ස්වභාවික නැඹුරුව මේ හේතුවෙනි. ජාතික චින්තනයේ පර්යාවලෝකයෙන් ගත්කළ, එය ජාතික දේශපාලන තන්ත්‍රයක්, ආර්ථිකයක් සහ සංස්කෘතියක් ගොඩනගන්නට යන්නේ නම්, පවත්නා භාෂාමය සහ ආගමික බෙදීම් වලින් ඔබ්බට යන ඒකාග්‍රජාතියක් රැකගැනීමට අවශ්‍ය වන්නේය. සිංහල ජාතිකවාදය දෙමළ ජාතිකවාදයට ප්‍රතිපක්ෂ වන්නේ මේ හේතුවෙනි. එය සිංහල ජාතිකවාදයේ නැඟිම දකින්නේ යටත්විජිත පාලනය යටතේ සිංහල ප්‍රජාවට අහිමි කරනු ලැබු ඔවුනට හිමි නිසි තැන, යලි තහවුරු කරගැනීමට ගන්නා ලද උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි. සිංහල ප්‍රජාව, සිංහල-බෞද්ධ ඌරුවේ කෝෂ්ඨාගාරය වන හෙයින්, මෙම තහවුරු කරගැනීම වැදගත් වෙයි.

නව-ලිබරල්වාදයත්. ජාතික චින්තනයත් අතර සටන හුදු කතිකාවන් දෙකක් අතර සටනක් නොවේ, එය ජීවන ආකාරයන් දෙකක් අතර ද, එනිසා, කතිකාවන් මත පදනම් වූ විශ්වාස පද්ධතීන් දෙකක් අතර ද සටනක් වන්නේය. මෙම විශ්වාස පද්ධතීන් එක් එක් පද්ධතිය විශ්වාස කරන්නන්ට තමන්ගේ ජීවන ආකාරය සත්‍යය සේ දක්වන හෙයින් මෙම සටන, එය ප්‍රබල ලෙස විශ්වාස කරන්නාට, ජීවිතය හා මරණය අතර සටනක් පවා විය හැකිය. එය, නූතනත්වය හා සම්ප්‍රදාය අතර ඇතැයි පෙනෙන, නූතනත්වයත් සම්ප්‍රදායත් අතර දේශපාලනයේ සමගි කළ නොහැකි සහ උත්සන්න ගැටුම්කාරී ස්වභාවය නියෝජනය කරනවා වැනිය. ලංකාව තුළ නූතනත්වයේ සහ සම්ප්‍රදායේ බලවේගයන් අතර වන මෙම දේශපාලන ධ්‍රැවීකරණයේ අනතුර නම් එය අප සමාජයේ අධිකාරවාදී ප්‍රවණතාවන් ශක්තිමත් කරන්නට තර්ජනය කිරීමයි. නව-ලිබරල්වාදයේ අධිකාරයට දක්වන තම ප්‍රතිරෝධය තුළ ජාතික චින්තනය අධිකාරවාදී ශක්‍යතාවක් ඇති ප්‍රවණතාවක් තමන්ම පෙන්නුම් කරයි.

අපගේ මතයට අනුව, මෙසේ වන්නේ ජාතික චින්තනය බෞද්ධ-මානවවාදී ඌරුවක් පුනර්ජීවන කිරීමේ තම දාර්ශනික/ න්‍යායික උත්සාහයන් තුළ තමන් ප්‍රතික්ෂේප කිරීමට මං සොයන නූතනවාදී ආස්ථානයන් සමහරක් තම දේශපාලන ව්‍යාපාරය තුළට ගෙන ඒම නිසාය. නව-ලිබරල්වාදයේ අධිකාරවාදය පැනනඟින්නේ, නූතන සමාජයේ සියලු ව්‍යාධීන් සුව කිරීමට ඊට නිර්මිත වැඩසටහනක් ඇත, සහ එනිසා සියලු ප්‍රතිරෝධයන් හමුවේ එය කෙසේ හෝ ක්‍රියාත්මක කළයුතුය, යන විශ්වාසයෙන් නම්, ජාතික චින්තනයත්, ජාතිය ගොඩනැඟිමට නියමිත වැඩසටහනක් ඇත යනුවෙන් සහ ඊට ඇති කුමන විරෝධයන් හමුවේ වුව ජාතික දේශපාලන තන්ත්‍රයක් ආර්ථිකයක් සහ සංස්කෘතියක් ගොඩනැංවීමේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේ හදිසි අවශ්‍යතාව පිළිබඳ විශ්වාසයක් දරා සිටියි. මෙම උපයෝගීතාමය එළඹුමට අනුව, දේශපාලනය ජාතිය ගොඩනැංවීමේ අරමුණ සඳහා ඇති හුදු මාර්ගයක් පමණි. අවසාන අරමුණ විසින් මාර්ගය යුක්ති-යුක්ත කරන්නේය. සංවර්ධනය තුළින් ජාතිය ගොඩනැංවීමේ තම ව්‍යාපෘතිය තුළ ජාතික චින්තනය ද ප්‍රගතිය, නවීකරණය සහ සංවර්ධනය අප සමාජයේ ව්‍යාධීන් සමනය කිරීමට සමත් වන්නේය යන විශ්වාසයට හවුල්වන බව දැකිය හැකිය.

ජාතික ආර්ථිකයක් මත පදනම්ව ජාතිය ගොඩනැංවිම පිළිබඳ අදහසට තම දේශපාලනයෙහි ප්‍රමුඛතාවය දීමට ජාතික චින්තනය යොමු කරන බව පෙනෙන්නේ, වෙළඳපොල තුළ පුද්ගල නිදහස පිළිබඳ ලිබරල් මතයට ඉහළින් යන ජාතික චින්තනයේ ප්‍රබල අදහස වන මානවයන්ට ස්ථායී අනන්‍යතාවක් සපයා දිය හැක්කේ ප්‍රජාවක් පිළිබඳ ප්‍රබල හැඟීමකටය පමණි යන අදහසය. නූතනත්වයේ අංශූකරණ ප්‍රවණතාවන්ට එරෙහිව ප්‍රබල ප්‍රජාවක් ගොඩනැංවීමේ අභිලාෂය, ජාතිය ගොඩනැංවීමේ ස්වරූපයෙන් අප නැවත නූතනත්වයේ ගාලට කොටු කරන බව පෙනෙයි. මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ, නූතනත්වය යටතේ රාජ්‍යය මුල් කොට ගෙන, ජාතික ආර්ථිකයක් මත ජාතිය ගොඩනැංවීමේ ව්‍යායාමය සඳහා අවශ්‍ය සියලු සම්පත් නිර්බාධිතව ගොනු කරගැනීමට නම් ඊට එරෙහිව එල්ලවන සියලු දේශපාලන ප්‍රතිරෝධයන් මර්ධනය කළයුතු වන හෙයින්, එම රාජ්‍යය අධිකාරීවාදී විමේ අනතුරට හසුවීමේ අවදානමට මුහුණ පෑමයි.
විසඳුමක් නැති දේශපාලන අවුල් ජාලයක් වීමට ඉඩ ඇති මෙම තත්වයෙන් මිදීමේ මගක් පරිකල්පනයට නඟා ගන්නට නම් නූතනත්වයත් සම්ප්‍රදායත් අතර ඇති දේශපාලන ගැටුම අත්‍යවශ්‍යයෙන්ම වෙළඳපොල තුළ පුද්ලයා ලබන නිදහසත්, ප්‍රජාව විසින් සැපයෙන ස්ථායී අනන්‍යතාවත් අතර ගැටුමක් ලෙස හඳුනා ගත යුතු වෙයි. නූතනත්වය යටතේ අප මුහුණපාන අභියෝගය නම්, ‘ප්‍රජාව’ පිළිබඳ ප්‍රබල හැඟීමකින් ලබාගන්නා නමුත් , ඒ එකමවර, අපට පුද්ගලයන් වශයෙන් නිදහස ද සහතික කරන අනන්‍යතාවක් පිළිබඳ අදහසක් සංවර්ධනය කරගැනිමයි. අපගේ යෝජනාව නම්, ජාතික චින්තනයට එහි වත්මන් නූතනවාදී උභතෝකෝටිකයෙන් මිදී ඉදිරියට යාහැක්කේ එබඳු පරිකල්පනයක් තුළ බවය.

2. ඉදිරි මග
ජාතික චින්තනය, සම්ප්‍රදායික අනන්‍යතාවන් මත නූතනත්වයෙන් ඇති කළ නිශේධනාත්මක බලපෑමෙහි ප්‍රතිඵලයක් ලෙස පැන නැගුණු බව අපි දැනටමත් සඳහන් කොට ඇත්තෙමු. අද අප ජීවත් වන, නූතනත්වයේ බලපෑම හාත්පස පැතුරුණු තත්වය තුළ වෙළඳපොල තුළ පුද්ගලයාගේ නිදහස පිළිබඳ මතිය ලිබරල් ඌරුවේ පදනම ලෙස සමාජයේ සෑහෙන කොටසකගේ, විශේෂයෙන්ම නාගරික කේන්ද්‍රයන් හී ජනයාගේ ජීවිත මත බලවත් ලෙසින් බලපායි. අනෙක් අතට, මෙම ලිබරල් පුද්ගලවාදය යටතේ සම්ප්‍රදායික සමාජය අංශුකරණය වීමට පටන් ගෙන ඇති හෙයින්, ප්‍රජාවකට අයිති පුද්ගලයන් ලෙස වන තම අනන්‍යතාවය සහමුලින්ම විනාශකොට දමා නැත්නම් ඉන් බරපතළ ලෙස අනතුරට ලක්ව ඇති බව අප සමාජයේ විශාල ජන කොටසකට දැනී තිබේ.

එසේ නම්, ජාතික චින්තනය පුනර්ජීවනය යනු ලිබරල් පුද්ගලවාදයේ තරගකාරී ඌරුව හමුවේ බෞද්ධ මානවීයවාදී ඌරුව පුනර්ජීවනයයි. අප ඉහත ද සඳහන් කළ පරිදි බෞද්ධ මානවියවාදය මානවයන් සඳහා යහපත් ජීවිතය ලෙස ගන්නේ අපේ දිවි පෙවෙතෙහි දී යහ-අයහ ගුණ පිළිබඳ විනිශ්චය භාවිතයට නැංවීමට අපට අවකාශ සලසන ජීවිතයයි. පුරවැසියන් අතර යහපත් ජීවිතය වශයෙන් යහ-අයහ ගුණ විනිශ්චය සඳහා වන හැකියාව වගා කිරීමට නම් යහපත් ජීවිතය පිළිබඳ සාමූහික කතිකාවට නව පණක් දිය යුතු වෙයි, ඒ සඳහා අනෙක් අතට, උද්දීප්ත මහජන තලයක් පුනර්ජීවනය කිරීමේ අවශ්‍යතාව කෙරෙහි අප යොමුවීම අවශ්‍ය වෙයි. මානවයන් සඳහා වන යහපත් ජීවිතය කුමක්දැයි අප අතර පවත්නා අවබෝධයන් පිළිබඳ සංවාදයෙහි ලා පුරවැසියාට ක්‍රියාකාරීව සහභාගී විය හැකි පොදු අවකාශය පැන වෙන්නේ මහජන තලයෙහිය. එවැනි මහජන අවකාශයක් පුනර්ජීවනය ලැබිය හැක්කේ අප අපේ මහජන ජීවිතය සියලු අධිකාරවාදි ප්‍රවණතාවයන්ගෙන් නිදහස් කොට තැබීමට වෙර දරන්නේ නම් පමණි. දකුණෙන් හෝ වේවා වමෙන් හෝ වේවා කොහෙන් පැන නැගුණත් අධිකාරවාදය, ක්‍රියාකාරී මහජන දේශපාලන ජීවිතයක නිදහස සෙවීමට පුරවැසියන්ට තිබිය යුතු අවකාශය එක්කෝ වෙළඳපොල ආර්ථිකය වෙනුවෙන් නැතහොත් රාජ්‍ය කේන්ද්‍රීය ජාතික ආර්ථකයක් වෙනුවෙන් කැප කරන්නට බලකර සිටින්නේ නම් එය අපේ සාමූහික යහපතට හානි පමුණුවයි. සමාජයෙන් පිටමං කරනු ලැබූ ජන කොටස් වල ජීවන තත්වය නගා සිටුවීමට පිහිටවීමට අපට සාමූහික වගකීමක් ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. එසේ වුවත්, ඒ සඳහා යහපත් ජීවිතය පිළිබඳ කතිකාව මහජන තලයෙන් විස්ථාපනය කරමින් සාමූහික ජීවිතයේ මුල් තැනට ආර්ථික කටයුතු ගෙන ඒම, අවශ්‍ය නොවේ. එසේ කිරීමෙන් සැබෑ ලෙස ජාතික ඌරුවක් පුනර්ජීවනය සඳහා ඇති ඉඩකඩ ද අපි මහජන තලයෙන් ඉවතට තල්ලු කරන්නෙමු. මෙහිදී එසේ නොවන්නේ යහපත් ජීවිතය යනු යහපත් ආර්ථක ජීවිතය පමණකැයි අප විශ්වාස කරන්නේ නම් පමණි.

එහෙයිනි, සැබෑ ජාතික ඌරුවක් පුනර්ජීවනයෙහිලා අප උනන්දුවන්නේ නම්, අපගේ දේශපාලනය යොමුවිය යුත්තේ යහපත් ජීවිතය පිළිබඳ කතිකාව කෙරෙහි මිස, ආර්ථිකය වෙත නොවේ යන අපගේ යෝජනාව.

III. අභියෝගය: නව පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පරිකල්පනය කිරීම
ඉහත සඳහන් ආස්ථානයන් පිළිබඳ මූලික එකගතාවයකට අපට පත්විය හැකි නම්, අද අප ජීවත් වන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් යටතේ නිසා අද ලාංකික අප මුහුණපාන දේශපාලන අභියෝගය නම්, වෙළඳපොල තුළ ලබන නිදහස නොව, සාමූහික මහජන ජීවිතයෙහි ලා ක්‍රියාකාරී සාමාජීකයෙකු ලෙසින් සහභාගි වීමෙන් ලැබෙන පුද්ගල නිදහස සහතික කෙරෙන සාමූහික දේශපාලන සංවිධාන ආකාරයක් පරිකල්පනය කිරීමයි; ස්ථායී, ප්‍රබල අනන්‍යතාවයක් ජනයාට ලබා දෙන අතරම ඔවුන් නිදහස් පුද්ගලයන් බවට ද පත්වීමේ ඉඩකඩ ලැබෙන්නේ එවැන්නක් තුළ පමණක් වන හෙයිනි. අපගේ පොදු බව ඛණ්ඩනය කෙරෙන භාෂාමය, ආගමික හෝ ජනවාර්ගික අනන්‍යතාවයන්ට ඉහළින් අපට අප සමාජයේ සාමූහිකත්වය සුරැකෙන පොදු අනන්‍යතාවයක් අපට ලබාදිය හැක්කේ එවැනි දේශපාලන සංවිධානයකට පමණි. සමාජයක් එක්සත් කළ හැක්කේ එලෙසිනි.

‍ඓතිහාසිකව එවැනි සාමූහික ජීවන ආකාරයක් පරිකල්පනය කිරීමට බටහිර දී, ඉපැරණි ග්‍රීසියේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇතීනියානුවන්ට අවස්ථාව සලසා දුන් බව අපි දනිමු. මෙහිලා අදාළ වූ මූලධර්මය වූයේ රාජ්‍යය නැතහොත් දේශපාලන තන්ත්‍රය සාමූහික ඌරුවේ සහ එහි මහජන දේශපාලන ජීවිතයෙහි ප්‍රකාශිත ආකාරය ලෙස ගැනුණා මිස රාජ්‍යයේ කටයුත්ත සැබැවින්ම පෞද්ගලික තලයට අයිතිවන පුරවැසියන් ගේ ආර්ථික කටයුතු පරිපාලනය කිරීම හෝ කළමනාකරණය කිරීම ලෙස නොගැනීමයි. පුරවැසියන් වීමට සුදුසුකම් ලැබූ සියලු දෙනාට සාමූහික ජීවිතය ආණ්ඩු කිරීමෙහිලා ක්‍රියාකාරීව සහභාගී වීමට අවස්ථාව ලැබුණු අතර පුරවැසියන් ලෙස ක්‍රියාකිරීමෙන් ඔවුහූ තම නිදහසත්, එහෙයින් ස්ථායී අනන්‍යතාවකුත් ලැබූහ.
ශ්‍රී ලාංකිකයන් වන අප ද මේ පිළිබඳ අපගේම සම්ප්‍රදායයයන්ට උරුම කියන බවත් වංශාධිපති ප්‍රභූ පාලනයට හෝ තවදුරටත් පාලකයා හා පාලිතයා පිළිබඳ අදහස මතම පදනම් වන බහුතර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට හෝ විකල්පව දේශපාලන ජීවන ආකාරයක් තිබීමට ඇති ඉඩකඩ පරිකල්පනය කරන්නට අප දැනටමත් පටන් ගෙන ඇති බවත්, වත්මන් ජනාධිපති මැතිවරණය ආශ්‍රිත කතිකාව තුළ ජන සභා හෝ ග්‍රාම රාජ්‍ය වැනි සංකල්ප, දේශපාලන ශක්‍යතාවයන් වශයෙන් සාකච්ඡාවට ලක්වීමෙන් පහැදිලි වෙයි. පුරවැසියා පිළිබඳ ප්‍රබල හැගීමක් සංවර්ධනය කිරීම, ගම් මට්ටමේ ක්‍රියාකාරී පුරවැසි සහභාගීත්වයේ මට්ටම දක්වා බලය විමධ්‍යගත කිරීම වැනි අදහස් වත්මන් ජනාධිපති මැතිවරණයත් සමගින් අපගේ දේශපාලන කතිකාවට දැනටමත් ඇතුළත් වී තිබීම දිරිගන්වන සුළුය.

කෙසේ වුවද, එවැනි ගම් මට්ටමේ ආයතන හුදු පරිපාලන බලය විමධ්‍යගත කිරීමේ මගක් ලෙස ගැනීමෙන් ඔබ්බට අප යාම අවශ්‍යය කෙරෙයි. දේශපාලනමය වශයෙන් සැබෑ ලෙසම ස්වයං-පාලනයක ලා ක්‍රියාකාරීව සහභාගිවීමෙන් සහ එමගින් සැබෑ පුරවැසියන් ලෙස ස්ථායී අනන්‍යතාවයන් සම්පාදනය කරගැනීමෙන් සැබෑ නිදහස් පුද්ගලයන් බවට ජනයා පත් වන නව ස්වරූපයක අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයක පදනම වශයෙන් මෙම ආයතන පරිකල්පනය කරන්නට අප ආරම්භ කිරීම අවශ්‍ය කෙරෙයි. වෙළඳපොලෙහි පුද්ගල නිදහස මත පදනම් වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට, කෙසේ වුවත් එම නිදහසත් පුද්ගලයාට අහිමි නොකරන අතරම, අපගේම සම්ප්‍රදායන් මෙන්ම බටහිර සම්ප්‍රදායේ විශිෂ්ඨ දායාදයන් ඇතුළත ත් දැකගත හැකි සාමූහික හැඟීම මත පදනම් වූ මහජන දේශපාලන තලය ඇතුළත සාධනය කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදය සහ පුද්ගල නිදහස පිළිබඳ වඩා ප්‍රබල අවබෝධයක් අපට වර්ධනය කරගත හැකිය.

ගම් මට්ටමින් අව්‍යාජ ලෙසම පුරවැසි සහභාගීත්වය දිරිගැන්වීම සහ එම පදනම මත ස්වයං-ආණ්ඩුකිරීමේ සංවිධානයක් ඉදිකීරීමට, දිගු කාලයේදී එවැනි සංවිධාන ආකාරයක් දේශපාලන පක්ෂ ක්‍රමය මත පදනම් වූ පද්ධතියේ තැන ගැනීමේ හැකියාව පරිකල්පනය කරන්නට අපට සිදු වෙයි. එවැනි දැක්මක් යථාර්ථයක් බවට පත්වන්නේ සැබෑ ලෙසම පරිකල්පනීය මහජනතාවක් තුලින් පමණී. සැබෑ ජාතික ඌරුවක් ආරක්ෂාවී තිබීමට ඉඩ ඇත්තේ සාමාන්‍ය ජනතාව අතර නම් අපගේ විශ්වාසය වන්නේ එබඳු සාමාන්‍ය ජනයාට ස්වයං-ආණ්ඩු කිරීමෙහි ලා සහභාගී වන්නට ඉඩ සලසන දේශපාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීමෙන් පමණි, අපගේම සම්ප්‍රදායන්හි විශිෂ්ඨතම අංගයන්ගෙන් පෝෂණය වූ සහ දිගු කල් පවත්නා පොදු ලොවක් සහ ස්ථායී අනාගතයක් අපගේ ඉදිරි පරම්පරාවන්ට ඉදිකර තබන්නට ඉදිරිය දකින්නට තරම් දිරිය ඇති සැබෑ ජාතික ඌරුවක් පුනර්ජීවනය කිරීමට ඉඩකඩ ඇත්තේ෴

Advertisements
%d bloggers like this: