‘ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම’ යනු කුමක් ද?

Socrates Plato  Aristotle
සොක්‍රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල්

අප මීට පෙර පළ කළ සාහිත්‍ය-කලා විචාරයේ අහේනිය පිළිබඳ කැමිල පා(ග්)ලියා ගේ අදහස් අඩංගු “අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?” ලිපියෙන් මතුවන ප්‍රශ්නයක් නම් ‘ශ්‍රේෂ්ඨ කෘතීන් හි නිමග්නව සිටීම යනු කුමක් ද?’‘’ යන්නයි. මෙම ප්‍රශ්නයට එක්තරා අන්දමකින් පිළිතුරක් සැපයෙන අදහසක් Roy Turner ලියූ Friends and Enemies of the Canon (1988) නමැති ලිපියකින් සකසාගෙන පහත දක්වමු.

මූලකෘති (the Canon) යන්න මෑත කාලීන මහජන කතිතාවේදී අප හමුවට එන්නේ, පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතතවාදය ඇසුරෙන් ගොඩනැගෙන කතාබහේදී නූතනයට සහ පශ්චාත් නූතනයට එරෙහිවය. සම්භාව්‍ය සංස්කෘතිය, සම්භාව්‍ය සම්ප්‍රදාය ප්‍රශ්චාත් නූතනයේදී තවදුරටත් අදාළ නොවේ, ඒවා තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය යන අදහස මෙම කතිකාවෙන් මතු ‍කෙරෙයි.

ස්ටැන්ෆර්ඩ් විහ්ව විද්‍යාලයේ සිසුන් බටහිර සංස්කෘතිය කම්මුතු විය යුතුයැයි (Hey, hey, no, no, Western Culture’s Got to go) ගායනා කළ විට ඔවුන් තරයේ ප්‍රතික්ෂේප කරන්නේ ඔවුන්ව හැඩ ගැස්වුණු සම්ප්‍රදායම යැයි රෝයි ටර්නර් යෝජනා කරයි. ඔහුට අනුව මූලකෘතිභාවය යනු අප විසින් සැළකිල්ලට ගතයුතු, අප පිළිබඳව කියා සිටින කිසියම් අයිතිවාසිකමක් මුතුන්මිත්තන්ගෙන් පැවත එන කෘති අප මත බල පවත්වන්නේය යන සිතුවිල්ලයි.

ටර්නර් කියන පරිදි යමක් ප්‍රතික්ෂේප කිරීම යනු සංස්කෘතියක් තම ජීවිතය තුළ සහ එම ජීවිතය පිළිබඳව උත්සුක සිතින් කෙරෙන සාකච්ඡා තුළ මතුවන දේ නියෝජනය කරන සහ ඒවා සඳහා තැනක් සකස් කොට දෙන ආකාරයන්ගෙන් එකකි. එහෙයින් මූලකෘති නැතහොත් සම්ප්‍රදාය එහි මරණය ප්‍රකාශ කිරීම තුළම එය තවදුරටත් ජීවත් වෙයි. මූලකෘතියකට හිමි තත්ත්වය මහජන ලෝකයේ සහ මහජන ජීවිතයේ ස්වභාවය හා පැවැත්මට ‍නොබිඳියහැකි ලෙසබැඳී පවතී. මහජනයා හමුවේ පෙනී සිටිය හැක්කේ, පෙනී සිටිය යුත්තේ මොනවාද, වටිනා, නියත දේ කුමක්ද යන්න පිළිබඳව තම හැඟීම සංස්කෘතියක නියෝජනය කරන්නේ කෙසේද යන ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නට උත්සාහයක් මූලකෘති පිළිබඳ කතාබහෙන් කෙරෙයි. මූලකෘති වලට එරෙහි කතාබහ හුදෙක් සම්භාව්‍ය කෘතීන්ට හෝ පැරණි චිත්‍රශිල්පීන්ට එරෙහි තර්කයකට වඩා සම්ප්‍රදායෙන්, ඉතිහාසයෙන් නිදහස් වන්නට ඇති අභිලාෂයෙන් ආශ්වාදය ලබන්නකි. කෙටි‍යෙන් කියතොත් හුදෙක් සමකාලීන වන්නට, සම්භවයකින් තොරවන්නට ඇති ප්‍රාර්ථනාවයි.

ටර්නර් කියන පරිදි මූලකෘති පිළිබඳ ගැටළුව මුතුන්මිත්තන්ගෙන් පැවත එන හා අප මත බලයක් පවත්වන, විශ්වාස කළහැකි හෝ යුතු යන දෙකරුණ හා සම්බන්ධය. සම්ප්‍රදායෙන් උරුමය හැඟවෙන නමුදු ඊට අවශ්‍ය සම්බන්ධයක් යෝජනා නොකෙරෙයි. නමුත් මූලකෘතියෙන් යෝජනා කෙරෙන්නත්, හුදු සම්ප්‍රදාය එනම් අපට පෙර පැවැති දෙයක් පමණක් නොව, අප එහි බලයට යටත්වීමද කළයුතු යමක් යන්නයි. හුදු සම්ප්‍රදාය මෙන් නොව, මූලකෘති අපට කියන්නේ මෙලෙස යමක් කිරීම යනු හැමවිටමත් කෙරී ඇති දේ හුදෙක් කිරීම නොව කිරීමට හොඳ දේ කිරීම යන්නයි. මූලකෘති පහළ වන්නේ එය පිවිතුරු, ශුද්ධ බවට පත් කෙරෙන ස්මාරක, එනම් සම්භාවනීය කෘති තුළමය. අප මූලකෘතිමය දේ ඉගෙන ගත්තේ ඒවා‍යෙනි. මූලකෘතිමය දේ ඉගෙන ගැනීම යනු විශිෂ්ඨත්වය පිළිබඳ සුවිශේෂ මතයන්ට සංස්කෘතියේ ඇති බැඳීම ඒ පිළිබඳව කල්පනා කර බැලීම සහ සංවර්ධනය සඳහා නිරාවරණය කිරීමයි.

ටර්නර් තවදුරටත් පැහැදිළි කරන පරිදි මූලකෘතිය යනු කෘතීන් හෝ පෙළ නොවේ. පෙළ අවබෝධකර ගැනීම හා අර්ථවිවරණය කිරීමයි. එය මුලකෘතියක් කොට සංස්කෘතියේ ජීවිතය සහ එය නොනැසී පැවැත්ම තුළ ඊට හිමි තැන නිශ්චය කරන්නේ එම අවබෝධය හා අර්ථවිවරණයයි. මෙහිදී අප මුහුණ දෙන ගැටළුව, සමකාලීන ජීවිතය, මූලකෘතිමය කෘතීන් සමග ඇති වන ගැටුමේදී උපදින ගිනි පුපුරෙන් සමකාලීන ජීවිතයට ආලෝකය ලබාදීමටයි.

වර්තමාන සංස්කෘතිය තුළ මූලකෘති පිළිබඳව ප්‍රකාශයට පත්වෙන ඉඳුරා ප්‍රතිපක්ෂ ආකල්ප දෙකක් ටර්නර් හදුනාගනියි. එකක් නම් සමකාලිකයා (the Contemporary) පිළිබඳවය. අනෙක පිලස්තීනුවා (the Philistine) නොහොත් අවරසිකයා පිළිබඳවය. සමකාලිකයාගේ ආකල්පය සකස්වන්නේ අනන්තරතාව (immediacy), තමා ඉදිරියෙහි තිබිම (presence) සහ අළුත් යැයි ඔහු හදුන්වන දේ ආශ්‍රයෙනි. නමුත් අනන්තරතාව පිළිබඳ මේ මතය කෛරාටික සංස්කරණයකි. සමකාලිකයා ආසන්න සහ අළුත්යැයි පිළිගන්නේ ඉතිහාසයටත් මූලකෘතියටත් පිටුපාන දේ පමණි. වර්තමානයේදී මතුපිටට එන මූලකෘතියේ ප්‍රකාශවීම් හෝ ඉතිහාසයේ බලපෑම් සමකාලිකයාගේ උච්චාරණයෙන් ද මතුවන්නේ ය, යන්න සමකාලිකයා ප්‍රතික්ෂේප කරයි.

සමකාලිකයාට ප්‍රතිපක්ෂව, අවරසිකයා සම්භාව්‍ය කෘතීන් උසස්යැයි හුවා දක්වා ඒවාට ඇළුම් කරමින්, සමාජ තත්ත්වයක් ගොඩනඟාගන්නට යොමු වෙයි. අවරසිකයා මූලකෘතිය, දිගින් දිගට පවත්වාගෙන යන ප්‍රතිචාරයක් අවශ්‍ය වටිනා කථාවක් ලෙස සලකා ඒ සමග ගනුදෙනුවක නොයෙදෙයි.

සමකාලිකයාත්, අවරසිකයාත් දෙදෙ‍නාම මිම්මක් හෝ ප්‍රමිතියක් කරා ළඟාවීමට උනන්දුවක් නොදක්වති. පළමුවැන්නා අළුත් දේ අළුත් නිසා වැළඳ ගනියි. දෙවැන්නා, ඒ නිසාම එය ප්‍රතික්ෂේප කරයි.

අව්‍යාජ අළුත් දේ, මිම්මක්, ප්‍රමිතියක් සඳහා ඇති තමාගේම ආශාව තුළින් අවබෝධ කරගනු ලැබීම හැමවිටමත් අපේක්ෂා කරන බවත්, මෙම ආශාව සම්ප්‍රදායකට සහ මූලකෘතියකට ඇති තම සම්බන්ධතාව බේරුම් කර ගැනීමක් අනිවාර්යෙන්ම ඉල්ලා සිටින ආශාවක් බවත්, සමකාලිකයාත්, අවරසිකයාත් දෙදෙනම නොදකිති.

අවසාන වශයෙන් මෙහිලා ටර්නර්ගෙන් උපුටා දැක්වෙන කරුණ වගා කිරීම (cultivation) යි. ටර්නර් කියන්නේ වගාකිරීම යනු දෙන ලද හෝ උරුම වූ හෝ දෙය තුළ ඇති විය හැකි, කළහැකි දේ හඳුනාගන්නා සහ එකම විට ඒවායින් වටිනා යමක් වර්ධනය කිරීමේ අවදානම ගන්නා තැනැත්තාගේ ක්‍රියාව කියායි. තමා ලඟ ඇති දෙයින් ඇද ගත හැකි හොඳම දේ නිෂ්පාදනය කිරීමට ඇති බැඳීම පිළිබඳව වගාව කතා කරයි. අත ඇති දෙයින් හොඳම දේ නිපදවීම පෙරළා රඳා පවතින්නේ සම්ප්‍රදායට පාරිකල්පනිකව සැළකීමට අප තුළ ඇති කැමැත්ත සහ හැකියාව මතය. සැබැවින්ම, අපේම සමාජමය සැකැස්ම හොඳින්ම අවබෝධ කරගත හැක්කේ, මූලකෘතිත් සමග පරිකල්පනාත්මකව ජීවත්වන්නට මුතුන්මිත්තන් ගත් උත්සාහයේ ප්‍රතිඵලය වශයෙනි. වගාව (එනම්, න්‍යාය ගැන්වීම) සඳහා ඇති නිදහස, මූලකෘති හැමවිටමත් විමසුමට සහ අළුත් කිරිමට විවෘතය, යන්නට ඇති හොඳම සහතිකයකි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )