“මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම” – ලිබරල් දේශපාලනයේ ගැටළුව

‘‘මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම’’ යන මැයෙන් 2005 ජූනි 05 දින වික්ටර් අයිවන් විසින් රාවය පුවත් පතට ලියන ලද ලිපිය සහ මීට ප්‍රතිචාර වශයෙන් සුමනසිරි ලියනගේ විසින් ජූනි 12 වෙනිදා රාවය පුවත් පතට සැපයූ ‘‘ෆුකුයාමා සහ ‍‍ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය’’ ලිපිය හා සංවාදයකට හවුල් වනු වස් ලියන ලද ‍මෙම ලිපිය පළ කිරීම සඳහා රාවය පුවත් පතේ අදාල පිටු‍‍‍වේ සංස්කාරක උවිඳු කුරුකුලසූරිය මහතාට ඉදිරිපත් කරන ලදී. ලිපිය ‍‍‍‍පෙරලා බැලූ ඒ මහතා පළමුව “‍මේ මදි” කියා ‍‍දෙවනුව ‍‍‍‍ෙල්ඛකයා‍‍ ‍ ‍පිළිබඳ ‍වතගොත විමසී‍මෙන් පසු ලිපිය “දිග වැඩි” යැයි කියා එය පළ කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. එම ලිපිය මුල් ආකාර‍යෙන් ම පහත පළ ‍වෙයි.

දේශපාලනය පාර ආචාර ධර්මයෙන් ආචාර ධර්මය වෙතට

 මයිකල් සැන්ඩල්
මයිකල් සැන්ඩල්

නව දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය මතුකරමින් සුමනසිරි ලියනගේ, වික්ටර් අයිවන්, නලීන් ස්වාරිස්, ජයදේව උයන්ගොඩ යන අයගේ දායකත්වයෙන් රාවය පුවත් පත තුළ කෙරෙන සංවාදය කාලෝචිත මෙන්ම බුද්ධමය වශයෙන් උද්යෝගිමත්ය. ‘‘මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම’’ යන මැයෙන්, ප්‍රැන්සිස් ෆුකුයාමා අනුව යමින් වික්ටර් අයිවන් විසින් 2005 ජූනි 05 දින රාවය පුවත් පතට ලියන ලද ලිපිය මගින් නව දේශපාලන ව්‍යාපාරයක් සිය නිෂ්ඨාව බවට පත් කරගත යුත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශයන් බව අවධාරණය කළ අතර මීට ප්‍රතිචාර වශයෙන් සුමනසිරි ලියනගේ විසින් ජූනි 1 2 වෙනිදා රාවය පුවත් පතට සැපයූ ‘‘ෆුකුයාමා සහ ලිබරල්ප්‍රජාතන්ත්‍රවාදය’’ ලිපියෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ යම් යම් සීමා ගෙනහැර පෑමටත් ඒවා අතික්‍රමණය කිරීමේ අවශ්‍යතාවය මතු කිරීමටත් උත්සාහ දැරීය. මෙහිදී ඔහු අනාගත පරමාදර්ශයක අංගයක් විය හැකි සහ වියයුතු, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සතු සැළකිල්ලට ගතයුතු චරිතාංග ඇති බවට සුභවාදී ආකල්පයක් පළ කරන හෙයින් ඒ පිළිබඳ අවබෝධය වර්ධනය කරගනු වස් මෙම සංවාදයට හවුල්වීම මෙම ලිපියේ අරමුණයි.

දේශපාලන සමාජ ව්‍යාපාරයක් සඳහා පරමාදර්ශය විවෘත එකක් විය යුතු යැයි සුමනසිරි ලියනගේ විසින් මෙහිදී දක්වනු ලැබූවද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය විසින් පුද්ගලයාට දෙන වැදගත් තැන අනාගත පරමාදර්ශයක අනිවාර්ය අංගයක් වනු ඇත සහ විය යුත්තේය යනුවෙන් ඔහුම අවධාරණය කරන හෙයින් එයද එක්තරා ආකාරයක සීමාවක ස්වරූපයක් නොගන්නේද යන්න කෙනෙකුට ඇසිය හැක. රජයට හෝ වෙනත් ජන සමාජයකට හිතූ මනාපයට පුද්ගල අයිතිය පැහැර ගැනීමට හා උල්ලංඝණය තිරීමට නොදීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් යැයි ඔහු තවදුරටත් දක්වන හෙයින් ප්‍රජාතන්ත්‍රවාදය වනාහී හුදු පුද්ගල නිදහසය යන තර්කණයේ සුජාතභාවය ගැනත් නව දේශපාලන සමාජ ව්‍යාපාරයක් තුළ මෙම නූතන පුද්ගලවාදයේ හෝ ලිබරල්වාදයේ සුජාතභාවය ගැනත් ඔහුට ගැටළු මතු නොවන්නේ ද යන ප්‍රශ්නය මෙහිදී මතුවේ. මන්ද පුද්ගලයාට දෙන වැදගත් තැන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ හුදු චරිතාංගයක් ලෙස සුමනසිරි ලියනගේ විසින් ගෙනහැර දැක්විමට නැඹුරු වුවද එය නූතන ලිබරල්වාදයේ දාර්ශනික පසුබිම ලෙස ගෙනහැර දැක්වීමට හැකි නිසාය. තවදුරටත් කිවහොත් වෙළඳපොළ යාන්ත්‍රණය යුක්තියුක්තකරණය කෙරෙන්නේ වෙළඳපොළ තුළ තමා කැමති දේ කැමති පරිදි තෝරාගනු ලබන ස්වාධීන, හේතුඵලවාදී පුද්ගලයෙක් සිටින්නේය යන ලිබරල් දෘෂ්ඨිය මගින් නොවේද?

සැබැවින්ම නූතන ලිබරල්වාදයේ පදනම වන්නේ සමාජයෙන් හෝ ප්‍රජාවෙන් ස්වායත්ත හේතුවාදී පුද්ගලයෙක් (autonomous rational individual) සිටින්නේය යන පරමාදර්ශය යැයි මෙහිලා දැක්වුවහොත් සුමනසිරි ලියනගේ මහතාට ඊට එකඟනොවීමට කාරණා නැතැයි සිතමි. මක්නිසාද, විශිෂ්ඨ, විචක්ෂණ ලිබරල්වාදීන්ගෙන් කෙනෙක් ලෙස ජෝන් රෝ(ව්)ල්ස් අගය කරනු ලැබීමට ඔහු පැකිලෙන්නේ නැති හෙයින් සහ ජෝන් රෝ(ව්)ල්ස් ද සමාජීයව දෙන ලද අරමුණු වලින් නිදහස්ව අපට අපගේ අනන්‍යතාවය නිර්වචනය කළ හැකි යැයි අදහස් පළකරන්නෙකු හෙයිනි. A Theory of Justice නම් ජෝන් රෝ(ව්)ල්ස්ගේ කෘතිය තුළ යුක්තිය පිළිබඳ සංකල්පනයක් ඉදිරිපත් කරන්නේ එක්තරා පරිකල්පිත සමාජ සම්මුතියක් ඇසුරිනි. ඔහුගේ එක් වැදගත් නිරීක්ෂණයක් වන්නේ ඕනෑම සමාජයක විවිධ පුද්ගලයන් අතර අවශ්‍යතාව පිළිබඳව හැම විටම ගැටුම් පවතින බවයි. මෙයට රෝ(ව්)ල්ස් දෙන හේතුව නම් තම සහභාගීත්වයෙන් බිහි කෙරෙන ලාභ ප්‍රයෝජනයන් බෙදාහැරෙන්නේ කෙසේද යන්න පිළිබඳව තනි තනි පුද්ගලයන් උද්යෝගිමත්ව උනන්දුවන බවයි. ඒ අනුව වරප්‍රසාද විභේදනය නිශ්චය කෙරෙන විවිධ සමාජ සැකසුම් අතර තේරීමේ මූලධර්ම සමූහයක් අවශ්‍යවන අතර රෝ(ව්)ල්ස්ට අනුව මෙම මූලධර්ම සමාජ යුක්තියේ මූලධර්මයන්ය. මෙම මූලධර්ම සතු මූලික කරුණ නම් ඒවා මූලික අයිතීන් සහ යුතුකම් පැවරීමේ මාර්ගයක් පිරිනැමීමයි. පුද්ගලයන් අතර මෙම යුතුකම් සහ අයිතීන් පැවරීමේදී කිසිදු හිතුවක්කාරී විභේදනයක් සිදු නොවන්නේය, යන්න තහවුරු කෙරෙන සංස්ථාවන් පරාසයක් මෙම වරප්‍රසාද නිසි පරිදි බෙදාහැරීමේ ප්‍රතිඵලයක් ලෙස බිහිවේ.

ජෝන් රො(ව්)ල්ස් පෙන්වා දෙන පරිදි සාධාරණත්වය ලෙස ගත් යුක්තිය පිළිබඳ මෙම පරමාදර්ශය සමාජ සංස්ථාවන්ගේ ප්‍රථම සද්ගුණය (first virtue) වේ. නමුත් මෙහිදී වැදගත් කරුණ වන්නේ යුක්තිය සුරක්ෂිත කිරීමට නම් සියල්ලටම ඉහළින් ගරුකළයුතු මූලධර්මය ලෙස (සුමනසිරි ලියනගේ ද දක්වා ඇති පරිදි) පුද්ගලයන්ගේ පරම ස්වායත්තතාව සහ වියෝජ්‍යතාවය රෝල්ස් විසින් අවධාරණයකර දක්වනු ලැබීමයි. ඔහුගේම වචන වලින් දක්වනු ලබන්නේ නම් සමස්ථයක් වශයෙන් සමාජයේ සුබසාධනයටවත් යටකර දැමිය නොහැකි යුක්තිය මත පදනම් වූ අනුල්ලංඝණීය බවක් එකිනෙක පුද්ගලයා සතුය. මෙහිදී සමාජයේ පුද්ගලයින්ට යුක්තිය ඉටුකිරීමේ කාර්ය කිරීම උදෙසා මූලික වශයෙන් ගරුකළයුතු දෙය ලෙස පුද්ගල අයිතීන් යන්න පැනනැඟේ. ජෝන් රෝ(ව්)ල්ස් ම කීමට කැමති පරිදි යහපත පිළිබඳ සංකල්පයකට (concept of the good) වඩා අයිතිය පිළිබඳ සංකල්පය මෙහිදී ප්‍රමුඛය.

නූතන ලාංකික අප මුහුණ දෙන ගැටලු හමුවේ සාමූහික දේශපාලන ක්‍රියාකාරීත්වයක අවශ්‍යතාවය පිළිබඳව කිසිම සැකයක් මෙම සංවාදයට දායකවන්නන් අතර තිබිය නොහැකි නමුත් එහි පරමාදර්ශය වියයුත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය (ෆුකුයාමාගේ අරුතින්) නම්, එසේත් නැතහොත් පුද්ගල නිදහස (සුමනසිරි ලියනගේ දක්වන රෝ(ව්)ල්සියානු අරුතින්) නම් ඒ සඳහා ප්‍රබල දේශපාලන සමාජ ව්‍යාපාරයක් අවශ්‍යද යන ප්‍රශ්නය කෙනෙකුට මතු කළ හැකි නොවේද? මෙහිලා සුමනසිරි ලියනගේ විසින් මතු කරන වැදගත් ප්‍රශ්නයක් වන්නේ විකල්පයක් ගැන සිතීම පවා කළනොහැකි ද යන ප්‍රශ්නයයි. කෙසේ නමුත් ලිබරල්වාදයේ දාර්ශනික පදනම් සුනුවිසුණු කළ බොහෝ දාර්ශනිකයන්ගෙන් අපගේ සාමූහික ජීවිතය මුහුණ දෙන ගැටලු අවබෝධ කරගැනීමට ආලෝකයක් ලැබිය හැකි බවට සාක්ෂි ඔහුගේ ලිපියෙන්ම හමුවේ. එනම් ඔහු විචක්ෂණ හා විශිෂ්ඨ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස ජෝන් රො(ව්)ල්ස් ගේ නම සමගම සඳහන් කරන මයිකල් සැන්ඩල් (Michael Sandel) මෙහිලා විශේෂයෙන්ම වැදගත් වන්නේ, ඔහු මිනිසා ස්වාධීන හා හේතුවාදී සත්ත්වයෙක් යන ජෝන් රෝ(ව්)ල්ස් ගේ ලිබරල් දෘෂ්ඨිය බරපතළ ලෙස අභියෝගයට ලක් කරන හෙයිනි. සැන්ඩල් පෙන්වා දෙන්නේ ලිබරල්වාදය ගොඩනඟනු ලැබ ඇති පදනම් සදොස් බවය. එනම් යුක්තිය පිළිබඳ මූලධර්ම සඳහා පරම ප්‍රමුඛත්වයක් (absolute priority) ඉෂ්ඨ කරගනු වස් ලිබරල්වාදීන් අස්මිතාව (self) පිළිබඳ පැහැදිළිවම ව්‍යාජ දෘෂ්ඨීන් රාශියක් පවත්වා ගත යුතු බවයි. Liberalism and the Limits of Justice යන සැන්ඩල්ගේ කෘතිය පළවන්නේ ජෝන් රෝ(ව්)ල්ස්ට විවේචනයක් ලෙසය. මෙහිලා ඔහු ආභාෂය ලබන්නේ ද හේගල්ගෙන්ම වන හෙයින් සුමනසිරි ලියනගේම පවසන පරිදි හේගල් මරණයෙන් නැගිටවුව යුතු නමුත් ඒ ෆුකුයාමාගේ සරල අරුතින් ‍නොවන බව පැහැදිළිය. මිනිසා හේතුවාදී සත්ත්වයෙක් යන ලිබරල් අදහස ප්‍රතික්ෂේප කිරීමට සැන්ඩල්ට බලපාන්නේ මිනිසා ‍ඓතිහාසිකව තත්වාරෝපිත සත්ත්වයෙකි යන හේගලියානු සංකල්පනය ය.

සැන්ඩල්ගේ කෘතියේ මූලික තර්කය වන්නේ ලිබරල්වාදය රඳා පවතින්නේ සදොස් පාරභෞතික දෘෂ්ථීන් මත බවය. එනම් යුක්තිය පිළිබඳ ඉල්ලීම් පරම සහ විශ්වීය (absolute and universal) වන අතර පොදු අරමුණු හමුවේ එකඟතාවයකට පැමිණීමට තරම්වත් අපට එකිනෙකා අ‍‍න්‍යෝන්‍යව හඳුනාගත ‍නොහැකිවා පමණක් ‍නොව අප‍ගේ අනන්‍යතාවය සමාජ අරමුණු වලින් නිදහස්ව අපට නිශ්චය කරගැනීමට ද හැක. ‘යුක්තිය සමාජ සංස්ථාවන්ගේ ප්‍රථම සද්ගුනය ය’ යනුවෙන් රෝ(ව්)ල්ස් යුක්තිය ප්‍රමුඛත්වයකට ගෙන ඒම සංස්ථාවනට ආදේශ කළහැකි සදාචාරාත්මක නියමයන් පිළිබඳ අදහසක් ගෙන දෙන්නේ වුවද සැන්ඩල් එය අර්ථදක්වන්නේ රෝ(ව්)ල්ස් යුක්තිය පිළිබද පදනම අනුභූති – උත්තර නොවන අතරම සියලුම සමාජ සහ ඓතිහාසික අනිශ්චිතතාවන්ගෙන් (contingencies) නිදහස් වියයුතු බවට පාර-ආචාරධාර්මික කියාපෑමක් කරන බවය. මෙහිදී සැන්ඩල් ලිබරල්වාදීන්ගේ අයීතින් පිළිබඳ දේශපාලනය (politics of rights) වෙනුවට පොදු යහපත පිළිබඳ දේශපාලනයක් (politics of the good) යෝජනා කරයි. අපගේ අනන්‍යතාවයන් ගොඩනැගෙන්නේ යහපත පිළිබඳ අප සතු සංකල්පය මගින් වන නිසා යුක්තිය ප්‍රමුඛ වියනොහැකි බව සැන්ඩල් දක්වා සිටී. එබැවින් අයිතීන් පිළිබඳ දේශපාලනය විශ්වාස කිරීම සම්බන්ධයෙන් ඔහු සැක පළකරයි.

සැබැවින්ම රෝ(ව්)ල්ස්ගේ මෙම පුද්ගල අයිතීන් මත පදනම් වූ යුක්තිය පිළිබඳ න්‍යාය එරෙහිව පවතින්නේ අන් කිසිවකට නොව පොදු යහපත හෝ ප්‍රජාවේ යහපත යන අදහසට බව පැහැදිළිය. ලිබරල්වාදය සතුව නැත්තේද යහපත පිළිබඳ කිසියම් හෝ අදහසකි. පුද්ගලයන්ට තම ස්වයං-උවමනාවන් වැඩි දියුණු කරගැනීම සදහා අනෙකාගේ අයිතීන්වලට ගරුකිරීම නම් සීමාව තුළ තම අයිතීන් කැමති අයුරින් කියාවේ යෙදවිය හැකි අතර මෙම අයිතීන් යොදා ගන්නා අකාරය (යහපත) පිළිබඳව කිසිදු ප්‍රමිතියක් නැත. ඇලස්ඩෙයර් මැකින්ටයර් (Alasdair MacIntyre) ට අනුව ලිබරල්වාදයට කිසිම පදනමක් නැති අතර සදාචාරය විනිශ්චය කිරීම සදහා පදනමක් සැපයිය හැකි (මිනිසා වනාහී තම සැබෑ අරමුණ නිර්වචනය කෙරෙන සාරයක් සහිත සත්ත්වයෙක් ලෙස සළකනු ලබන) සමාජ ජීවිතයක් තුළ එයට පදනම් විය නොහැක. එමනිසා ලිබරල්වාදීන්ට ඔවුන්ගේ මූලධර්මයන් සදහා ව්‍යාජ නියතතාවක් පැතීමට හෝ සදාචාරය වනාහී හුදු පුද්ගල මතයක් පිළිබඳ කරුණක් බවත් එබැවින් කිසිම සදාචාරයක් නැති බවත් පිළිගැනීමට හෝ සිදුව ඇත. ජෝන් රෝ(ව්)ල්ස් පිළිබඳ තම විවේචනයේදී මැකින්ටයර් ආභාෂය ලබන්නේ “පුද්ගලයාගේ යහපත සහ ප්‍රජා‍‍‍වේ යහපත යන ‍‍දෙකම පිළිබඳ අවබෝධයක් තම මූලික බැම්ම කරගත් ප්‍රජාවක් තුළ” යුක්තිය මුල් බැස තිබේ යන ඇරිස්ටෝටලියානු අදහසිනි.

මේ අනුව යුක්තිය සහ අයිතිය පිළිබඳ අදහසක් අපට ලැබිය හැක්කේ යහපත පිළිබඳ අදහසක් සහිත ප්‍රජාවක, දේශපාලන ජීවිතය තුළ සහභාගීවිම තුළින් බව පැහැදිළිය. නමුත් ප්‍රජාවේ යහපත පිළිබද රෝ(ව්)ල්ස් ගේ සංකල්පනය උපයෝගිතාවාදී (utilitarian) එකකි. එය පුද්ගල යහපත්වල එකතුවක් පිළිබඳ අදහසකි.

මේ අයුරින් බලන කළ සමකාලීන ලිබරල්වාදය පුද්ගල නිදහස පිළිබඳ එහි අවධාරණය ද සමගින් පුද්ගල අයිතීන් සහ ස්වයං-උවමනාවන් පිළිබඳ සංකල්ප හැර අන් සියලු සංකල්ප ද සමගින් පොදු මහජන කටයුතු පිළිබඳ තලය අතුගා දමනු ඇතැයි ස්කීනර් වැනි දේශපාලන දාර්ශනිකයන් පවසන විට දේශපාලන ව්‍යාපාරයක පරමාදර්ශයක රෝ(ව්)ල්සියානු පුද්ගලයාට දෙන තැන ගැන තවදුරටත් සංවාද කළයුතු නොවේද? මන්ද, අපට ප්‍ර‍තිරෝධය දැක්වීමට සිදුව ඇත්තේ කොමියුනිස්ට්, ෆැසිස්ට් හෝ වෙනත් ආකාරයක ආඥාදායකත්වයකට නොව අප දේශපාලනය තුළ අධිපති බවට පත්වෙමින් තිබෙන පුද්ගලවාදී ලිබරල් අගනාකම් වලටම නිසාය. මිනිසුන් දේශපාලනයෙන් දුරස්වන්නේත් පරිභෝජනවාදය නැගී එන්නේත් මෙම පුද්ගලවාදය අධිපතිවාදය දරණ ලෝකය තුළ නොවේද? එබැවින් අප හමුවේ පවතින ගැටලුව වන්නේ පුද්ගල යහපත වෙනුවට සාමූහික යහපත යනුවෙන් අරගල කිරිම නොවේද?

දිමුතු සමන් වෙත්තසිංහ

‘කතිකා’ අධ්‍යයන කවය

Advertisements

One thought on ““මාක්ස් මළවුන් අතර සිටියදී හේගල් මළවුන්ගෙන් නැගිටීම” – ලිබරල් දේශපාලනයේ ගැටළුව”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )