‘සංවර්ධනය’ සහ දේශපාලනය, සහ ‘වත්මන් සමාජ අර්බුදය’: මිථ්‍යාදෘෂ්ඨික විග්‍රහයකට සටහනක්


සංවර්ධනය’ සහ දේශපාලනය, සහ ‘වත්මන් සමාජ අර්බුදය’: මිථ්‍යාදෘෂ්ඨික විග්‍රහයකට සටහනක්


“ශ්‍රී ලංකාවට සංවර්ධනය සදහා අති මහත් ශක්‍යතාවක් තිබේ. නමුත් කුණුවී ගිය දේශපාලන ක්‍රමයක් විසින් රට ඉදිරියට යා නොදී අල්ලා ගෙන සිටිතැ”යි ලංකාවට පැමිණ එක්සත් ජාතීන්ගේ නිලධාරියෙකු කී අදහසක් පදනම් කරගෙන කෙරුණු සාකච්ඡාවක් මෑතදී පුවත් පතක පළවී තිබිණි. ඉහත කී අදහසින් බාරගන්නා දෙයක් වන්නේ ‘සංවර්ධනය’ යනුවෙන් දෙයක් ඇත යන්න සහ අපට ‘නිවැරදි දේශපාලන ක්‍රමය’ තිබේ නම් අපට සංවර්ධනය ලැබෙනු ඇත, යන්නයි. ලෝකය ‘සංවර්ධනය’ කළ හැකිය, සහ අපට අවශ්‍ය නම් ‘නිවැරදි දේශපාලන ක්‍රමය’ අපට ඇතිකර ගත හැකිය යනුවෙන් පළවෙන මේ අදහස් දෙකම බැලූ බැල්මට සත්‍ය සේ පෙනෙයි. මේ අදහස් දෙකම, එබඳු ‘සත්‍යයන්ට’ වඩා සුවිශේෂ නූතන කතිකාවක ප්‍රකාශනයක් යැයි කිව හැකිය. සංවර්ධනය පිළිබඳ නූතන කතිකාව බිහිවන්නේ හේතුවාදය පිළිබඳ ප්‍රබුද්ධත්වයේ විශ්වාසය පදනම් කරගෙනය. සමාජයක පර්යාය ඇති කරන්නට නිවැරදි දේශපාලන ක්‍රමයක් තිබේය, යන්න ද මෙම හේතුවාදය පිළිබඳ විශ්වාසයේම අනුපූරක අදහසකි. නිවැරදි දේශපාලන ක්‍රමය පිළිබඳ අදහසින් කියැවෙන දෙය නම් ‘දේශපාලන ක්‍රමය’ සමාජයේ දේශපාලන යථාවෙන් ස්වාධීනව පැවැතිය හැකි බවකි.

සංවර්ධනය හා දේශපාලනය පිළිබඳ ඉහත අදහස් වලට, ෂේඩියා ඩ්‍රෑරි ගේ පහත සදහන් උද්ධෘතයෙන් යමක් කියැවෙයි.

    “ ‘උත්කෘෂ්ඨම’ දේශපාලන ගැටළුව සංවිධානමය මිස සදාචාරමය නොවන්නේය, යන්න අද දෙන ලද දෙයක් වශයෙන් භාර ගැනෙන බව පෙනෙයි. කාල් පොපර්ගේ විවේචකයන් නිරීක්ෂණය කොට ඇති පරිදි, පොපර් ගේ ‘සමාජීය ඉංජිනේරුවාට’ සමාජය වැඩි දියුණු කිරීම පැවරී ඇති නමුදු, තමන් ගේ නීති ජනයාගේ හදවත මත ලිවීමේ හැකියාව ඇතැයි කියනු ලැබෙන, ශ්‍රේෂ්ඨ ව්‍යවස්ථා සම්පාදකයන්ගේ ලාක්ෂණිකයන්ගෙන් කිසිවක් ඔහු සතුව නැත. . . පුරාතන දෘෂ්ඨියට අනුව, සුදුසු සමාජ සංවිධානය සහ හොඳම නීති මාලාව රාජ්‍යයට එහි මානව ද්‍රව්‍යයන්ගේ සීමාවන් අතික්‍රමණය කරන්නට, ඉඩ සළසනු නොමැත. නමුත් ස්ට්‍රාවුස් වටහාගන්නා අන්දමට, හොබ්ස් ගේ දෘෂ්ටියට අනුව, එහි සදාචාරමය අංශයෙන් දෝෂ සහිත මානව ද්‍රව්‍ය තිබියදීත් නොව, ඒ නිසාම රාජ්‍යය සශ්‍රීකත්වය ලබන යන්ත්‍රයක් මෙන් ඉදිකළ හැකිය. දේශපාලනයේ නූතන අරමුණ, නමින් කියතොත්, ආශාවන් උපරිම ලෙස තෘප්තිමත් කිරීම සාර්ථක කරගැනීමේ සාර්ථක මගක් තාක්ෂණවිද්‍යාත්මක සමාජය සපයනු ඇතැයි යන අදහස (හොබ්ස් අපට උරුම කර දුන්නේය).” (Shadia Drury, The Political Ideas of Leo – Strauss)


ලංකාවේ දුර්ගුණ පිළිබඳ අපගේ විවේචනය බොහෝ විට පැන නගින්නේ අප එතුළ ස්ථානගතවී ඇති නූතනත්වය පිළිබඳ කතිකාවෙනි. මෙහි ඇති උත්ප්‍රාසය නම් අපව බෙලහීන කරන “දුෂ්ඨ අර්බුදය” පිළිබද අපගේ මැසිවිළි තිබියදිත් ජීවිතය සුපුරුදු පරිදි ගෙවී යාමයි. ‘අසාර්ථක රාජ්‍යය’, කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම ප්‍රතික්ෂේප කරන අතර, තම විවේචකයන්ට දිගටම වැටුප් ගෙවයි. දේශපාලනයේ අර්බුදය සාකච්ඡා කරන එක හුස්මට අපි තීරුබදු සහන යටතේ මිලට ගත යුත්තේ කුමන කාර් රථයක්දැයි සාකච්ඡා කරමු.

වත්මන් අර්බුදය ලෙස අප දකින දෙයට විසඳුමක් ලෙසින් අප යෝජනා කරන්නේ ‘විචාරශිලී මහජන කතිකාවක්’ නම් එවැන්නක් සඳහා පළමු කොටම විචාරශිලී මහජනතාවක් අවශ්‍ය වෙයි. “ප්‍රාඥයෙකු එන තෙක් බලා සිටීම” යන සිරස් තලයෙන් ලූ (හ්)සුන් ලියූ රචනාවක් තිබේ. “නූතන චීනය ප්‍රාඥයෙකු එන තුරු බලා සිටියි. නමුත් ඒ සඳහා සුදුසු පසක් නොමැති නම්, ගසක් වැඩී මලක් පිපෙන්නේ කෙසෙ‍්ද?” යි හා සමාන අදහසක් ඔහු එම රචනාවේ පළ කොට ඇත.

විචාරශිලී මහජන කතිකාවකට ඇති බාධාව, අදහස්, තොරතුරු සහ මත නිදහසේ ගලායාමට ඉඩක් නොමැති වීම යැයි කියැවෙයි. යුදමය සහ දේශපාලනමය වශයෙන් සංවේදී ලෙස පාලකයන් දකින, සමහර අදහස්, තොරතුරු සහ මත, යටපත් කිරීමට ඉඩ ඇති නමුදු එසේ මර්ධනය නොකළ දේ ද පොදුවේ ගත් කළ ජනයාගේ සිත් සතන් අවදි කරන බව පෙනෙන්නේ නැත. අපට දරා ගත නොහැකි තරම් අදහස්, මත සහ තොරතුරු ජනමාධ්‍යය විසින් මුදාහරිනු ලැබෙයි. අපි ප්‍රවෘත්තිවලට ඇබ්බැහි වී සිටිමු. පුවත් අපව විනෝදයට පත් කරයි. පුවත්පත්වල මුල් පිටු පිළිබඳව උදෑසන අසන අපට ඉන් පසු පුවත්පත් කියවන්නට අවශ්‍යවන්නේ ද නැත. රාජ්‍යය සංවේදී ලෙස නොදකින කාරණා පිළිබඳව, අපට පිරිනමන්නට වැදගත් කිසිවක් හෝ බොහෝ විට බොහෝ ජනමාධ්‍යයට තිබේද? සාමූහිකයේ යහපත පිළිබඳව වැදගත් කුමන හෝ මූලික කාරණාවක් පිළිබඳව අවලෝකනය කරන්නට අපේ සිත් අවදි කරවන වැදගත් අදහස් කොපමණක් ජනමාධ්‍යයන් හි පළවේද? හබමාර්ස් දුටු පරිදි, නූතන යුරෝපීය බූර්ෂුවා මහජන තලය පැනනැගීමෙහි ලා ජනමාධ්‍යය තීරණාත්මක වැඩ කොටසක් ඉටු කළේය. රිචඩ් සෙනට් දුටු පරිදි, යුරෝපීය බූර්ෂුවා මහජන තලයේ නැගීමට තුඩු දුන්නේ පුරවරයේ මහජන සංස්කෘතිය යි. යටත්විජිත හා යටත්විජිතහරණ යුගයේදී ලාංකීය පුවත්පත් ද බූර්ෂුවා පැළැන්තියේ මහජන තලයේ පැනනැගීමට එවැනි වැඩකොටසක් ඉටු කළේද? එසේ නම් අද ලංකාවේ ජනමාධ්‍යයන් හි කාර්යභාරය කවරේද?

විචාරශීලී මහජන කතිකාවක් ගැන කතාකිරීමේදී, දේශපාලනඥයන් සහ මහජනයා අතර ඇති සම්බන්ධතාවය අප තේරුම් ගත යුත්තේ පරෙස්සමිනි. අ‍පේ දේශපාලඥයන් ඡන්දය දී බලයට පත් කරන්නේ අපය. ආණ්ඩු කිරීම සදහා අප තනා ගත් යාන්ත්‍රණයන් අපට තිබේ. දේශපාලනඥයෝ තම වැඩ පිළිවෙලවල් ජනතාවට ඉදිරිපත් කොට ඡන්දය ඉල්ලති. ජනතාවකගේ නියෝජතයින් ජනතාවට වඩා හොඳ විය හැකිද? නැතහොත් වැඩිපුර විය හැක්කේ ඔවුන් ජනතාව තරම්ම හොඳහෝ නරක වීම පමණක්ද?

පවත්නා ආණ්ඩු කිරීමේ යාන්ත්‍රණය තුළ, මහජන අරමුදල් කෙසේ වියදම් කළ යුතුද? යන්න පිළිබඳව සාකච්ඡා කොට තීරණ ගැනීමට අවකාශයක් ජනතාව වෙනුවෙන් විවෘත වී නැත. දේශපාලනඥයෝ සහ විශේෂඥයෝ ඒවා තීරණය කරති. එබඳු යාන්ත්‍රණයක් තිබුණේ වී නමුත්, සාමූහික යහපත පිළිබඳ උනන්දු වනු ඇත්තේ කවුරුන්ද? මැද පන්තිකයෝ වැඩිවන ජීවන බර හමුවේ තම සමාජ තත්ත්වය පවත්වාගෙන යාමට මුදල් උපයමින්, කාර්ය බහුල ජීවිතයක් ගත කරති. දුප්පත්තු ජී විතය යාන්තමින් හෝ ගැටගසා ගැනීමේ දුෂ්කර අරගලයකය. පොහොසත්තු, කරන්නේ ලෝකය පිළිබඳව හෝ අනෙකා පිළිබඳව හෝ තැකීමකින් තොරව සුඛ විහරණයෙන් සතුටු වීමය. මෙබඳු සාමාන්‍යකරණයන් ට ව්‍යතිරේක උදාහරණ අප සමාජයේ ඇති නමුත් අප මේ කතා කරන්නේ පොදු තත්ත්වය ගැනයි.

සංවර්ධනයේ නාමයෙන් අපට අධිවේගී මාර්ග ඉදිකරනවාට විරුද්ධ විය හැකිද? පොදුවේ වටහා ගැනෙන අන්දමට අධිවේගී මාර්ග සංවර්ධනයේම අංගයකි. එබඳු පර්යාලෝකයකින් ඒවා අනුමත කරනු ඇති බොහෝ ජනයා සිටිනු ඇත. ප්‍රදේශවාසී ජනයා ඉන තමනට වන අහිතකර බලපෑම් ගැන සිතා මුලදී ඊට විරුද්ධ වුවස පසුව විවිධ බලපෑම් මතද, වන්දි මුදල් පිලිගැනීමෙන් ද පසු විරෝධය අත් හරිති.

“පසුගාමී” “අසංවර්ධිත” ශ්‍රී ලංකාවේ, නූතන බටහිර මෙන් නූතන මාධ්‍ය සංස්කෘතියක් නොමැතිබව ඓතිහාසික කරුණකි. නමුත්, අප වංචනික හා දූෂිත දේශපාලඥයන් ට ඡන්දය දෙන්නේ අප ඔවුන් වංචනික හා දුෂිතබව නොදන්නා නිසා යැයි අපට කිව හැකිද? අප ඔවුන්ට ඡන්දය දෙන්නේ, අප ඔවුන් ගැන දන්නා දේ තිබියදීත්, නැතහොත් වඩා නිවැරදිව කිවහොත්, ඔවුන් පිළිබඳ සැබෑ තොරතුරු අප දන්නා නිසා – එනම්, අපට අවශ්‍ය පරිද්දෙන් අපට සේවය කරන්නට ඔවුන් කැමැති හෙයින්, සහ එසේ කිරිමේ දී ඔවුන් තමන්ටමත් සේවය කරගන්නේ ය යන්නත් අප දන්නා හෙයින් – යැයි කිව හැකිය. දේශපාලඥයින්ගේ “වංකභාවයේ සහ දූෂණයේ” උපත ඇත්තේ මෙහි නොවේද? අනෙක් අතට මකියාවෙල්ලි අපට කියා දෙනු ඇති පරිදි දේශපාලනය හුදෙක් අවංකභාවය හෝ පාරිශුද්ධභාවය මතම තීරණ්‍ය වන්නක් ද නොවේ.

අපේ මහජනයාට වැරදි තොරතුරු සපයා නොමග යවා ඇතැයි හෝ ඔවුන් අඥාණයන් යැයි අපට කිව හැකිද? අප ‘අර්බුදකාරී’ යැයි සිතන තත්වයක් තුළ වුවත් ආණ්ඩුව එල්ටීටීයට එරෙහිව යමින් රට රැකගන්නේ යැයි මහජනයා විශ්වාස කරන්නේ නම් ආණ්ඩුවේ ස්ථාවරභාවය පවත්වාගෙන යාහැකි නම්, එසේ කිරිම වැදගත් යැයි මහජනයා සිතනවා විය හැකිද?

පුරවැසියන් ලෙස නොව, තමන්ගේ ඵල-ප්‍රයෝජන පිළිබඳව කටයුතු කරන්නන් ලෙස (stake holders) අප මහජනයා (public) පිළිබඳව සිතන්නේ නම් එයින් කියැවෙන්නේ අප දේශපාලනය පිළිබඳව සිතන්නේ ගනු දෙනුවක් සිදුවන ව්‍යවසායයක් වශයෙන් මිස පොදු යහපතක් අපේක්ෂාවෙන් කෙරෙන සාමූහික කටයුත්තක් ලෙස නොවන බව නොවේද?

මෙහිලා සැබෑ කාරණය සමාජීය ස්ථායීභාවය නම් ඒ පිළිබඳ බැරෑරුම් සාකච්ඡාවක් ගොඩනැංවීමේ මග විය හැක්කේ කුමක්ද? මන්ත්‍රීවරුන් රජයත්, විපක්ෂයත් හරහා එහා මෙහා යාමට අප විරුද්ධ විය යුත්තේ කුමන පදනමක් මතද? අප ඊට විරුද්ධ වන්නේ දේශපාලන පක්ෂ ක්‍රමය සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගත් බූර්ෂුවා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගෙන ය. (ඩේවිඩ් ස්කොට් Refashioning Futures නමැති කෘතියේ, ශ්‍රී ලංකාව සම්බන්ධ කොට ගෙන, ‘ආන්ඩුකරණ මානසිකත්වය’ (governmentality) පිළිබඳව කරන ෆූකෝමය විග්‍රහය මෙහිලා අදාළ විය හැකිය.)

අපට බරපතළ ප්‍රශ්න ඇති විට ඒ පිළිබඳ මහජන කතිකාවක් ඇති විය යුතුය යන අදහසින් කියැවෙන්නේ මහජන කතිකාව අපට අර්බුදයෙන් ගොඩ ඒමට උදවු වනු ඇත යන අදහසයි. හැනා ආරෙන්ඩ්ට් මේ පිළිබඳව කියන්නේ සරු මහජන කතිකාවක් ඇති වන්නට නම් අපට මහජන පරිමණ්ඩලයක් අවශ්‍ය වනු ඇති බවයි, මහජන පරිමණ්ඩලයක් ඇති වන්නේ මහජන සංස්කෘතියක් මතය.

ජගත් පරිසර අර්බුදය, බටහිර ලෝකය විසින් උපරිම ලෙස සම්පත් සූරාකෑමත් පරිසරය දූෂිත කිරීමත් කළ සමයේ සිට, බටහිර ලෝකය පරිසර දූෂණය නැගෙනහිරට මාරු කළ වර්තමානය දක්වා, විවිධ අදියර තුළින් යමින් සිට ඇත. බටහිර ලෝකයේ සම්පත් සහ බලශක්ති පරිභෝජන මට්ටම් දැවැන්තය. පෙරදිග ලෝකයේ අපි පාරිභෝජන සමාජය ගොඩනගමින් මේ අතින් බටහිර ගිය මගම යමින් සිටින්නෙමු.

දේශපාලනය දේශපාලඥයන්ටම පවරා අපට අයින් විය නොහැකි බව සැබෑවකි, විශේෂයෙන්ම දේශපාලඥයන් නිසි ලෙස ආණ්ඩු නොකරන විට. අපේ අධ්‍යාපනය අතීතයේදී තරුණයන් අතර පුළුල් ජාතික අනන්‍යතාවක් වෙනුවට මූලභූත (primordial) අනන්‍යතාවන් ගොඩනගමින් සිට ඇත්නම් ඔවුනට, ජනවර්ගය, ආගම හෝ පළාත මත පදනම්ව පටු ජාතිකවාදයක් වැළඳගන්නට සළසනවා වෙනුවට ඔවුන් මහජන කතිකාවට ප්‍රවිශ්ඨ වනු ඇති පරිද්දෙන් තමන්ට ඉතිහාසයක් ඇත, යන්න සහ කිසියම් ස්ථානයක – මව්බිමක – ඇදගත් මුල් තමන්ට ඇත, යන්න පිළිබඳ හැඟීමක් ලබා දීමට කටයුතු කළ හැකිය. ඒ වෙනුවට, එය අද අප තරුණ තරුණියන් අතර ජීවිතයේ අරමුණ ලෙස උපයෝගීතාවාදය (utilitarianism) ගොඩනගනවා විය හැකිය. පශ්චාත් යටත් විජිත ලංකා රාජ්‍යය තුළ ඓහිකවාදය (secularism) පැන නොනැඟුණේ මන්ද යන්න, එහි ඓතිහාසික පසුබිම තුළ තබා වටහා ගතයුතු කාරණයකි.

මූලභූතභාවය පිළිබද අදහස නූතන එකකි. අප මූලභූතභාවයේ පුකාශනයක් ලෙස හඳුනාගන්නා දේ -ජනවර්ගය, ආගම, වර්ගය හෝ පළාත දේශපාලන මතවාදයක් ලෙසින් ගත්කළ – නූතනත්වයටම ප්‍රතිචාරයන්ය. මූලභූත දේ නූතනත්වය තුළ පහළ වී ඇති විට ඒවා තවදුරටත් මූලභූත වන්නේද? උදාහරණයක් ‍ගතහොත් ‘සැබෑ’ නූතනත්වය තුළ ‘ජනවර්ගය’ (ethnicity) අහෝසි වී ගොස් ඇත්ද? (ඇන්තනි ස්මිත් දැක් වූ පරිදි මානවයන් තමන්ගේ සංස්කෘතිකමය පැවැත්ම තර්ජනයට ලක්වූවිට, අන් සියල්ලම වැරදුනු විට යොමුකරන අවසාන ස්ථානය ජනවර්ගය යි.)

‘අප නූතන නැත’, ඒ වෙනුවට ‘අපගේ මහජන ආයතන දේශපාලනීකරණය කොට සහ දුර්-කළමණාකරණය කොට ඇත’, යන අදහස ප්‍රකාශ කරන්නේ නවීකරණය සදහා වන අපගේ අපේක්ෂාවයි. නවීකරණය වූ විට දේශපාලනීකරණයෙන් සහ දුර්-කළමණාකරණයෙන් මිදෙනු ඇතැයි අපි විශ්වාස කරමු. නමුත් නවීකරණය කාලයෙන්-දේශයෙන් මිදුණු සර්ව-ව්‍යාපී සූත්‍රයක්ද? අර්ජුන් අප්පදොරෙයි අසනු ඇති පරිදි අපට ඇත්තේ අපේ නූතනත්වය නොවේද? අප දැනටමත් නූතනත්වය පිළිබඳකතිකාව තුළ ස්ථානගතවී ඇත්තෙමු නොවේද? ආගමික පුනර්ජීවනය පිළිබඳ හැඟීම, අප දැනටමත් අත් පත් කොට ගෙන ඇති නූතනත්වයට දැක්වෙන ප්‍රතිචාරයක් නොවේද?

හේතුඵලවාදය සියලු පූජනීය දේට හානි පමුණුවමින් ලෝකය මත තම අණසක පණවන්නට උත්සාහ කරන විට අතාර්කික, බුද්ධි-විරෝධී දේ (the irrational) – නීට්ෂේ ගේ ඩයොනීසියානු ප්‍රතිමානය – එහි සියලු ස්වරූපයන්ගෙන් මහත් ආවේගයකින් යුතුව කරළියට පිවිසෙනවා විය හැකිද? එය අපගේ නූතන මනස් වලට කොතෙක් නොපිළිගත හැකි වුවත් (ඥාති සංග්‍රහය පිළිබද චෝදනාවට ලක් වූ එක් ඇමතිවරයෙක් ‘ඥාති සංග්‍රහය පින් ලබා දෙන කටයුත්තකි යන්න පිළිබදව බුදුන් ද එකඟ වනු ඇත’යි මෑතක දී කියා තිබුණි.)

ආණ්ඩු කිරීම දේශපාලනීකරණය, අධි-නිලධාරිවාදීකරණය (වේබර් ගේ යකඩ කූඩුව) ට ප්‍රතිචාරයක්ද? දුර්-කළමණාකරණය – මහජන සම්පත් පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීම ද ඊට ඇතුළත්ය – බටහිර සිදුවූවාක් මෙන් ධනවාදී සංවර්ධනය ඇති නොවන තැනක, ප්‍රාග්ධන සමුච්ඡායනයේ ආකාරයක්ද? දේශපාලනය අපට බරක් වී ඇත්නම්, ජනතාවගෙන් බහුතරයකට මේ තත්ත්වයේ වෙනසක් ඇතිවීම දැකීම අවශ්‍ය යැයි අපට සැබැවින්ම කිව හැකිද? එය, කෙසේ එසේ වනු හැකිද, ජනතාව, පුරවරයේ දේශපාලන ජීවිතයෙහි ලා සක්‍රීයව හවුල් වනු වෙනුවට දේශපාලඥයන්ගේ සේවාදායකයන් (clients) බවට පත්ව ඇති විට? සැළසුම්කරණයේ සඵලත්වය පිළිබඳ ඇති විශ්වාසය කේන්ද්‍රගත වී ඇත්තේ රජයේ කටයුත්ත ජාතික ආර්ථිකය කළමණාකරණය කිරීම ය, යන විශ්වාසය මතය. අපේ දේශපාලනය පිරිහී ඇතැයි අප කියන්නේ නම්, ඉන් අදහස් වන්නේ, ‘සම්ප්‍රදායික’ ආකාරයන් යළිත් කරළියට පිවිස ඇති බවද?

‘දේශපාලනයේ පිරිහීම’ ලෙස අප දකින මේ සියලු දේ තුළ අපගේ පරිභෝජනය වැඩි වී ඇත්ද? අඩු වී ඇත්ද? ඩයලොග් ජී.එස්.එම්. සමාගම පසුගිය වසරේ රුපියල් බිලියන 10 ක ලාබයක් ලැබුවා පමණක් නොව, ජාතික වෙසක් උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහකයාද විය. අප පෙර කවරදාකටත් වඩා සෞඛ්‍ය ගුණයෙන් පිරිහුණු ආහාර (junk food) වැඩියෙන් අනුභව නොකරන්නෙමු ද?

පරම්පරා කිහිපයක ඇවෑමෙන් උසස් අධ්‍යාපන මට්ටම් අත්පත් කරගැනීමෙන් හැර තමන්ගේ සමාජීය තරාතිරම ඉහළ නංවා ගැනීමට අපේ සමාජය දිළින්දන්ට ආර්ථික අවස්ථා නොසපයන හෙයින්, තමන්ගේ සමාජ තත්ත්වය ඉහළ නංවාගැනීමටත්, වඩා උසස් ජීවන තත්වයක් ලබා ගැනීමටත් අවශ්‍ය අයට ගෝලීයකරණය සමග බැඳුණු විදේශීය රැකියා සැපයුමෙන් අවස්ථාවක් ලැබී ඇත.

ඉතින්, අප ගැඹුරු සමාජීය – දේශපාලන අර්බුදයක ගිලී ඇත්නම්, සහ අපේ දේශපාලන, ධනේශ්වර හා බුද්ධිමය ප්‍රභූන් ඊට සංවේදී නොමැත්තේ නම්, මෙම අර්බුදය පිළිබඳව මහජන සාකච්ඡාවක් ඇති කිරීමට අපි පටන් ගන්නේ කෙසේද?

මේ සියළු අවුල් වියවුල් මැද, ටැල්කොට් පාර්සන්ස් සමාජයේ පැවැත්ම පිළිබඳව පොදුවේ කී පරිදි අපි ‘කෙසෙ‍් හෝ,’ පාවෙමින් සිටින්නමෝ වෙමුද? ඒ කෙසේද?

එසේත් නැත්නම් මේ, ලංකාව එහි යටත්විජිත අතීතයෙන් ප්‍රජාවක් ලෙස මතුව ඒමට අරගල කරමින් සිටින ආකාරය ද? අපේ බුද්ධිමතුන් සාමූහික ජීවිතයේ යහපත පිළිබඳව මහජන කතිකාවක් ගොඩනැඟීමෙහිලා තමන්ගේ කාර්යභාරය අතහැර දමා, ඒ වෙනුවට ‘මුදල් ඉපයීමේ කලාවෙහි’ (ප්ලේටෝ) සහමුලින් නිමග්න වී සිටින්නේ නැතිනම් දේශපාලන ක්‍රියාකාරිකයන් ලෙස සහ ආණ්ඩු කිරීමේ, ප්‍රතිපත්ති සම්පාදනයෙහි විශේෂඥයන් ලෙස ලිබරල්, සමාජවාදී සහ ජාතිකවාදී දේශපාලන කතිකාවන් ගේ එක් එක් පස ගෙන ඇත් ද?

අප ‘අර්බුදයක්’ ගැන කථාකරන ආකාරයම නූතනත්වය පිළිබද අපගේ හැඟීමේ ප්‍රකාශනයක් ද? අප මකියාවෙල්ලි ගේ සමයේ ජීවත් වුණි නම්, අපගේ ‘අර්බුදය’ ට ඔහු කෙසේ ප්‍රතිචාර දක්වනු ඇතිව තිබිණි ද?

කුමුදු

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )