විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය



විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය

gonpart22.jpg

අපගේ පාඨකයෙකු අප වෙත එවූ ඉහත ඡායාරූපයේ දැක්වෙන පෝස්ටරය කැළණිය විශ්ව විද්‍යාල භූමියේ ප්‍රදර්ශණය කෙරුණකි. (විමංසක පර්ෂදය කැළණිය විශ්ව විද්‍යාලයයේ ලියා පදිංචි ශිෂ්‍ය සංගමයක් බව එහි ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය නලින් ද සිල්වා මෙම පෝස්ටරය පිළිබඳ The Island පුවත් පතට ලිපියක් ලියමින් සඳහන් කොට තිබුණි. බලන්න Cultural Pentagon, The island, Midweek Review 2008/02/13 අපගේ මෙම ලිපිය මහාචාර්ය නලින් ද සිල්වා ගේ ඉහත ලිපිය පළවීමට පෙර ලියැවුණකි.)

විමංසක පර්ෂදය (විප) මෙම පෝස්ටරයෙන් ප්‍රකට කරන්නේ ලොව පුරා, බොහෝ කොට නව-යවුවනියන්, තරුණියන් අතර ප්‍රචලිතව ඇති ඇඳුම් විලාසිතාවක් වන ඉණෙන් පහළට ඇඳුම් ඇඳීම (hipster) සරසවි සිසුවියන් අතර ද පැතිරී යාම පිළිබඳව තම සංවේදී භාවය යි. මෙම පෝස්ටරය ඒ කෙරෙහි මහජනයාගේ අවධානය යොමු කරවයි. මෙම පෝස්ටරය දැනට දැක ඇත්තේ කැළණිය සරසවි භූමියේ වුවත් එය සරසවි සිසුවියන් පමණක් ආමන්ත්‍රණය කොට නොව, එබඳු සඳහනකින් තොරව පළ කර තිබීමෙන් කියැවෙන කරුණක් වන්නේ මෙම විරෝධය පොදුවේ ලංකාවේ නව යවුවනියන්ට සහ තරුණියන්ට ද එල්ල විය හැකි බවයි, එහෙයින් මෙම තත්ත්වය පිළිබඳ සාකච්ඡාවෙන් මතුවන අදහස් සරසවියට සීමාවිය යුතු නැති බවයි.

‘ගොං පාට්’

පළමු කොටම, මෙහි ලා අප ‘ගොං පාට්’ යන යෙදුම තේරුම් ගන්නේ කෙසේ ද? මෙම යෙදුම ව්‍යවහාරයේ පවතින අර්ථය ‘ගොනුන් සේ’ යන්නෙන් බිඳී ආ මෝඩ යන්න යැයි අප ගතහොත් ‘ගොං’ යන්නෙන් ඇඟවෙන අනිත් අර්ථය නම් කට වහරේ එන ‘ගණිකා’ යන්නට සමාන පදයක් ලෙස ඇතැමුන් යොදන ‘ගොණා’ යන්නෙන් බිඳී ආවකි. විවාදයට ලක්ව ඇති විලාසිතාව ‘බටහිර ගණිකාවන්’ ගේ එකක් යැයි කීමෙන් ‘ගොං’ යන්නට යෙදෙන ‘ගණිකා’ යන අරුත මෙහිදී තහවුරු වෙයි. අනෙක් අතට ‘ගොංපාට්’ යන්න සරසවි සිසුන් අතර ‘මෝඩ හැසිරීම’ යන්නට ද යොදා ගැනෙන බව සැලකූ විට ‘ගොංපාට්’ දැන් ඇති යැයි කීම එක්වරම සුහදශීලී බවක් පෙන්නුම් කරන අතරේම මෙම ශිෂ්‍යාවන් ගණිකාවන් හා සමාන කිරීමෙන් ඔවුන් සමාජයේ අවමානයට ලක්කිරීමක් ද අරමුණු කරන්නේ යැයි ඇතැමුන් වරදවා සිතන්නට ඉඩ තිබේ‍. විලාසිතා ලැදි සරසවි ශිෂ්‍යාවන්, නව-යුවතියන්, තරුණියන් සමාජයට බරපතල හානි කරන්නවුන් මෙන් ගෙනහැර දැක්වීම විප අරමුණ යැයි ද අප මොහොතකටවත් සිතිය යුතු නැත. අරමුණ සුහදශීලී ආමන්ත්‍රණයක් නම්, සහ ‘බටහිර රටවල ගණිකාවන්ගේ විලාසිතා අන්ධානුකරණය’ යන්නෙන් විප තම දේශපාලන දෘෂ්ටිය පළ කළේ නම් ඉන්පසු පෝස්ටරයේ ආමන්ත්‍රණය ‘තොප’ යනුවෙන් වෙනස් වන විට එය වත්මනෙහි සරසවි සිසුන් අතර ව්‍යවහාරයේ පවතින ‘තෝ’ යන යෙදුමෙහි අරුත් හා පටලවා ගෙන, විප සැඩ පරුෂ බවක් ආරූඪ කර ගන්නේ දැයි ඇතැමෙකු මවිතවීමට ඉඩ තිබේ. විමංසනයත් එබඳු සැඩ-පරුෂ ස්වභාවයකුත් එක්ව නොයන හෙයිනි. විමංසනය ලොව පිළිබඳ ඇති තතු හෙළි කළ කල්හි ඒ පිළිබඳව උරණ වීමට හෝ කෝප වීමට හේතුවක් බෞද්ධ චින්තනය අනුව තිබිය නොහැකි යැයි ඔවුන් කියනු ඇත. ‘තොප’ යන යෙදුම වත්මනෙහි සරසවි සිසුන් අතරමත් සුලබ යෙදුමක් නොවේ. එය පෙර දවස, වැඩිමනත්ම ප්‍රභූන් අන්‍යයන් ඇමතූ පදය කි (‘තොප දැකුමෙන් අප පින්කළ බව දැණිනි’). ඉතින් ‘තොප’ යෙදුම මෙකළට ගැළපෙන්නේ මන්දැ යි විප ගේ විමසුමට හසුවූවා විය යුතුය. එය එක්තරා ආකාරයක ගරු ඇමතූමක්ද වන්නේ ය යන්න ඔවුන් මෙහිදී සැළකිල්ලට ගත්තා විය යුතුය.

‘සංස්කෘතික පොලීසිය’

‘ගොං පාට් ඇති’ යනුවෙන් කෙරෙන්නේ එය නවත්වන්න යැයි තරමක සුහද බවින් කෙරෙන මඳ තරවටුවක් බවක් පෙනී යා හැකි නමුදු තවමත් සෘජු ආඥාවක් නොවේ. තවද, ඇතැමුන් සිතනු ඇති පරිදි විමංසක පර්ෂදය ‘සංස්කෘතික පොලීසියක්’ ලෙස ක්‍රියා කරන්නට අරමුණු කරන්නේ යැ යි අපට සිතිය නො හැකිය. ලාං‍කේය විමංසකයන් අයිති අපගේ බෞද්ධ සම්ප්‍රදාය භාහිරින් පැනවෙන සංවරය නොව අවබෝධය වඩා ගැනීම තුළින් ඇතුලතින් වගා කර ගන්නා සංවරය අගයන සම්ප්‍රදායයක් වන හෙයිනි. ලාංකේය සමාජය නිදහස්, මත ප්‍රකාශනය අගය කරන සමාජයකි. මෙය අප බුදු දහමේ ආභාෂයෙන් ලද ගුණයකැ යි කිව හැකිය. එමතු නොව, අද අප ජීවත් වන වැනි නූතන ‘ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය’ යටතේ ප්‍රායෝගිකව දේශපාලන බලය හැමවිටමත් සුළුතර පාලක කණ්ඩායම් අත ගොනුවන නමුදු එවැනි සමාජයක, සංස්කෘතික තහංචි පැනවීම ද පහසු කාර්යයක් නොවනු ඇත. සුලුතර ප්‍රභූ පැලැන්තියක් පොදු ලෝකයේ යහපත වෙනුවෙන් පෙනී සිටින, සාමාන්‍ය ජනයාගේ හැසිරීම පිළිබඳ පර්යාය ප්‍රභූන් විසින් පැනවුණු, ප්‍රභූ තන්ත්‍රයක පාලනයක් ද නූතන ප්‍රජාතන්ත්‍රවාදය යටතේ අපට අපේක්ෂා කළ නොහැකිය.

අන්ධානුකරණය, අනුකරණය සහ ස්වීයත්වය

විප මෙය ‘බටහිර රටවල ගණිකාවන්ගේ විලාසිතාවක්’ ලෙස දැක්වීමෙන් අදහස් කරන්නේ එය බටහිර රටවල වුවද, සමාජයේ ප්‍රධාන ධාරාවේ විලාසිතාවක් නොවන බව ය. විප – තම විරෝධය එල්ල කරන්නේ ‘බටහිර රටවල ගණිකාවන්ගේ විලාසිතා අන්ධානුකරණයට’ අපගේ සරසවි සිසුවියන් පෙළඹීම සම්බන්ධයෙනි. ඔවුන් ‘බටහිර රටවල ගණිකාවන්’ යැයි කියන විට, පෙරදිග රටවල ‘ගණිකාවන්’ අන්ධානුකරණයට අපගේ සරසවි සිසුවියන් පෙළඹුනහොත් විප ඊට විරුද්ධ නොවනු ඇත්දැයි ඇතැමෙකු අසන්නට ඉඩ ඇතත් විප කියන්නේ ඔවුන් නිරීක්ෂණය කර ඇති පරිදි මෙය බටහිර රටවල ‘ගණිකාවන්ගේ’ විලාසිතාවක් බවයි, නොමැතිව මෙය හුදු බටහිර විරෝධතාවයක් ලෙස සැලකිය යුතු බව නොවේ. මෙය පෙරදිග රටවල ‘ගණිකාවන්’ අතර විලාසිතාවක් වන බව විප දැක නැත. එතෙකුදු, පෙරදිග ‘ගණිකාවන්’ ගේ විලාසිතා අන්ධානුකරණය ඔවුන් අනුමත කරන බව පෙනේ යැ යි අපට සිතිය නොහැකි ය. විප ‘ගණිකාවන්’ ගේ විලාසිතා අන්ධානුකරණයට විරුද්ධ වෙනවා මිස වෙනත් විලාසිතා අන්ධානුකරණයට එරෙහි නොවන්නේ දැයි යන්නත් යමෙකු අසන්නට ඉඩ තිබේ. විප විරුද්ධ අන්ධානුකරණයට ය. කුමන හෝ විලාසිතාවක් වුව අන්ධානුකරණයට ඔවුන් විරුද්ධ ය. අන්ධානුකරණයත් අනුකරණයත් දෙකම එකක් නොවන බව ද විප මෙහිදී අපට සිහිපත් කරයි. එසේ නම් විප අනුකරණයට විරුද්ධ නොවනු ඇත්දැයි යන්නත් යමෙකු අසන්නට ඉඩ තිබේ.

අනුකරණය මනුෂ්‍ය ජීවිතයේ අත්‍යන්ත අංගයකි. අනුකරණයෙන් පටන් ගෙන ස්වීය වන්නට වෙර දරණ අපගේ ස්වීයත්වයට භූමිය වන්නේ අනුකරණය යි. අන්ධ අනුකරණය යනු නොදැන අනුකරණය යි, දැන – අනුකරණය නොවේ. ‘ගණිකාවන්ගේ’ විලාසිතා වුව දැන-අනුකරණය කළ හැකි ද?

බටහිර හෝ වේවා පෙරදිග හෝ වේවා ‘ගණිකාවන්ගේ’ විලාසිතා අන්ධානුකරණයට අප විරැද්ධ විය යුත්තේ මන්ද? විප කියන්නේ ‘ගණිකාවන්’ යෙදෙන වෘත්තිය – අද ඔවුන් හැඳින්වීමට ලිංගික සේවිකාවන් (sex workers) යන පදය යොදා ගැනෙයි – අනුව ඔවුන්ගේ විලාසිතා සරසවි ශිෂ්‍යාවන්ට නොගැළපෙන බව ද? විප යට කියන්නට අවශ්‍ය සරසවි ශිෂ්‍යාවන් (හෝ අන් කවරෙකු හෝ වේවා) අනුකරණය කළ ද එසේ කළ යුත්තේ තමන්ට ගැළපෙන විලාසිතා බවද?

‘අදීන වව්’ යැයි විප සරසවි ශිෂ්‍යාවනට කියනවිට ඉන් ඇඟවෙන්නේ ඔවුන් අන්ධානුකරණයට පමණක් නොව අනුකරණයට ද විරුද්ධ බවයි. මන්ද යත්, ස්වාධීන වන්නට නම් අනුකරණයෙන් මිදිය යුතු හෙයිනි. විප කියන්නේ සරසවි ශිෂ්‍යාවන් අනුකරණය ඉක්මවා ස්වීයත්වය වගා කර ගත හැකි තත්ත්වයක සිටිය යුතු බවයි. වත්මන් සරසවි සිසුන් එවැනි තත්ත්වයක නැත්නම්, ඔවුනට ස්වීයත්වය වගා කර ගැනීමේ හැකියාව අහිමි වී ඇත්තේ මන් ද? යන්න විභාග කළ යුතුය, යන්නට විප එකඟ වනු නොඅනුමානය.

ඉතින් විප යේ මෙම පෝස්ටරය ස්වීයත්වයේ ලක්ෂණ ප්‍රකට කරන්නේදැ යි ඇතැමෙකු ප්‍රශ්න කරන්නට ඉඩ තිබේ. ‘ගොං පාට් දැන් ඇති’ යන ප්‍රකාශය සරසවියක විමංසක පර්ෂදයකට ගැළපෙන්නේ ද?, එය ඔවුන්ගේ අදීන බව ප්‍රකාශ කරන්නේ ද? යන ප්‍රශ්නයනට ඔවුන්ගේ පිළිතුර වීමට ඉඩ ඇත්තේ සරසවි සිසුන් අතර පවත්නා ව්‍යවහාරික බස ඔවුන් ඇමතීම සඳහා යොදා ගැනීම අනුකරණයේ නොව ස්වීයත්වයේ ලක්ෂණයක් බවයි, මෙම පෝස්ටරය ලියැවෙන මොහොත විමංසනය ඉක්මවා ගිය මොහොතක් හෙවත්, විමංසනයට එහා ගිය ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍ය වන නිමේෂයක් බවයි. විමංසනයට එහා ගිය ක්‍රියාමාර්ග ගැනීම විමංසක පර්ෂදයේ ස්වීයත්වය ප්‍රකාශ කරන්නක් දැ යි යන්න ද නොවැදගත් ප්‍රශ්නයක් වන්නේ තමන් විමංසාව කරනවා හැර, ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට නොඑළඹෙන්නේ යැයි විමංසක පර්ෂදය ප්‍රකාශ කොට නොතිබෙන්නට ඉඩ ඇති හෙයිනි. විවාදයට තුඩු දී ඇති මාතෘකාවට අදාල කරුණු පිළිබඳව මනාසේ කල්පනා කොට කරුණු සොයා දැන ගැනීම සඳහා නිසි විමර්ශණයක් කෙරුණි නම්, ගත යුතු ක්‍රියාමාර්ගය මෙය ද? යන්න ද තවත් එබඳු නොමග යවන සුලු ප්‍රශ්නයකි. මන්ද, විමංසකයන් එසේ සිතා නි‍ගමනය කොට ඇති හෙයිනි.

සරසවි ශිෂ්‍යාවන් කිසියම් විලාසිතාවක් අනුකරණයට පෙළඹීම පිළිබඳව සරසවියේ විමංසන පර්ෂදය නිසි විමංසනයක යෙදුණි නම් ඒ පිළිබඳව ගොඩ නගා ගත් අදහස් සරසවියේ තිබිය යුතු සංස්කෘතියට ගැළපෙන ආකාරයෙන් සංවාදය සඳහා ඉදිරිපත් කළ යුතුව නොතිබිණි දැයි, සරසවි ශිෂ්‍යාවන්ගේ ස්වීයත්වය වර්ධනය වන ආකාරයේ සංවාදයක් ඒ පිළිබඳව ගොඩ නැගිය යුතුව නොතිබිණිදැ යි යන්න ද මෙහිදී ඇතැමෙකු ඇසිය හැකිය. ඊට විප කෙසේ පිළිතුරු දෙනු ඇත්ද?

සමාජයක් යහ මගට ගැනීම අණ පැනවීම මගින් කිරීමට උත්සාහ කිරීම පිටුපස ඇති අදහස, පුරවැසියන්ට තමන් විසින් යහපත් වන්නට නොහැකි ය, එනිසා යහපත් බව පාලකයන් පිරිසක් විසින් බලය යෙදීමෙන් ඇති කළ යුතුය යන්නයි. සමාජ පර්යාය පිළිබඳ මෙම අදහස අයත් වන්නේ බටහිර චින්තනයේ එන හොබ්සියානු විග්‍රහයට මිස, ලාංකීය චින්තනයට පසුබිම් වන බුදුන්ගේ ඉගැන්වීම්වලට නොවේ. හොබ්ස්ට අනුව මිනිස් ස්වභාවයක් යැයි දෙයක් තිබේ, එය නම් එකිනෙකා පරයා තම ආශාවන් හඹායෑමේ ඇති ප්‍රචණ්ඩත්වය යි. එනිසා මිනිසුන් එකිනෙකා විසින් විනාශ කර ගනු වැළැක්වීමට නම් මිනිසා බාහිරින් පාලනය කිරීම සඳහා අපට රජය අවශ්‍යය.

අනෙකාගේ අසංවරය සහ අපගේ සංවරය

විවේචනයට බඳුන් වී ඇති විලාසිතාව සරසවි සිසුවියන්ගේ මුග්ධ, දීන, නිවට බව පළ කරන්නක් ලෙස ගැනීමෙන් විප ප්‍රකට කරන්නේ සහෝදර සිසුවියන් පිළිබඳ තම විනිශ්චයයි. ඔවුන් මුග්ධ, දීන, නිවට වන්නේ අන්ධානුකරණය නිසාවෙනි. ‘අදීන වව්’ ‘සංවර වව් !!’ යැයි විප ඔවුනට අණ කරයි. අණ කිරීමෙන් බියක් ඇති වන්නේ නම්, එවිට මෙම සිසුවියන් තම විලාසිතාව අත්හළහොත් එය ඔවුන් සංවර වීමේ ලක්ෂණයක් ලෙස විප ගැනීමට ඉඩ තිබේ. එහෙත් බියෙන් ඇති කර ගන්නා පුරුදු හෝ යම් පුරුදු අත් හැරීමක් සැබෑ සංවර වීමක් ද? සැබෑ සංවරය ඇතුළතින්ම, තමා වෙතින්ම සිතා බලා කරුණු විමසා ඇති කර ගන්නා සංවරය නොවේ ද?

විමංසක පර්ෂදයට අවශ්‍ය අන්ධානුකරණයේ යෙදෙන සරසවි සිසුවියන් නුවණැති කරන්නට ය, අධීන කරන්නට ය, සංවර කරන්නට ය‍. තරවටු කිරීම, අවඥා කිරීම, අණ කිරීම සම්ප්‍රදායිකව ලංකාවේ සමහර වැඩිහිටියන් දරුවන් නිවැරදි කරන්නට යොදා ගත්/ ගන්නා ආකාරයන් ය. නමුත් සරසවි සිසුවියන් විමංසක පර්ෂදයේ දරුවන් නොවේ. ඔවුහු වැඩිහිටියෝ ය. උසස් අධ්‍යාපනය හදාරන්නෝ ය, ඉතින්, ඔවුන් අන්ධානුකරණයේ යෙදෙන්නේ යැ යි විප විශ්වාස කරන්නේ නම්, ඔවුන්ට නිවැරදි වන්නට සිහි නුවණ එළවා ගැනීමට විප උදවු කළ යුතුය. අපගේ පෙරදිග දේශීය සම්ප්‍රදායේ එන පරිදි බුදුන් නොමග ගිය අයට ඉදිරිපත් කළ මග නම් ඇති තතු විග්‍රහ කොට පෙන්වා දී සිහි නුවණ එළවා ගැනීමට පිහිට වීමයි. ඔවුන් තරවටුවෙන්, අණ පැනවීමෙන්, නින්දා-අපහාස කිරීමෙන් බිය වැද්දීම, අවඥාවට ලක් කිරීම බුදුන් අනුදත් මග නොවීය.

කෙනෙකු මුග්ධ කමින් මිදෙන්නේ යථා අවබෝධය ලැබීමෙනි. නිවට බවින් මිදී අදීන වන්නේ තමාගේම සිතුවිල්ලක් සම්පාදනය කර ගැනීමෙනි. සංවර වන්නේ ශික්ෂණයක්, හික්මීමක් ඇති කර ගැනීමෙනි. හික්මීම ඇති වන්නේ, ආරම්භයේදී නම්, යහපත් පුරුදු පුහුණුවීම තුළිනි. දෙවනුව, යථාවබෝධය තුළිනි.

විප තමන් ද අයිති සාමූහික සමා‍ජයේ සාමාජිකයන් අතර ප්‍රඥාව, අදීනත්වය, සංවරය ඇති කිරීමේ කටයුත්තට මග වශයෙන් තෝරා ගෙන ඇත්තේ අණ පැනවීම යැයි, එසේ කරන ලෙස තරවටු කිරීම යැයි බැලූ බැල්මට කෙනෙකුට පෙනිය හැකිය. නමුත් මෙම අපේක්ෂිත තත්ත්වයන් අණ පැනවීමෙන් ඇතිවේ යැයි විප සිතන්නේ යැයි අපට මොහොතකටවත් සිතිය නොහැකිය. මන්ද යත්, ඔවුන් ලොව තතු කෙරෙහි තම විමංශක අක්ෂිය යොමු කළවුන් වන හෙයිනි. එහෙයින්, මේ මග ඔවුන් තෝරා ගෙන ඇත්තේ මේ කරුණ කෙරෙහි සරසවි ශිෂ්‍යාවන්ගේ අවධානය බැරෑරුම්ව යොමු කිරීමට ඔවුන් අනුදත් මග එය වන හෙයින් විය හැකිය. වික්ටෝරියානු යුගයෙන් අපට උරුම වූ බටහිර සම්ප්‍රදායට අනුව අපගේ ඇතැම් වැඩිහිටියන් අප හැදීමට යොදා ගත් මග ද මේ වන හෙයින් ද? එපරිදි, වික්ටෝරියානු සදාචාර පිළිවෙත් අනුව අපගේ වැඩිහිටියන් අපට ප්‍රඥාව, අදීනත්වය, සංවරය ගැඹුරින් ඇති කිරීමට සමත් වී නම් වත්මන් ලාංකීය සමාජය අද ඇති තත්ත්වයට පත්වීමට ඉඩ තිබිණි ද?

සංවරභාවය යනු කුමක් ද? අන් අයගේ විලාසිතාව අපට අසංවර වන්නේ මන් ද? යමෙකුගේ ඇඳුම් , පැළඳුම් නිසාවෙන් අන් අය තුළ අසංවර බව පිළිබඳ හැඟීමක් ඇති වන්නේ නම්, අසංවර බව පිළිබඳ ගැටලුව ඇත්තේ කොහි ද? අනෙකා තුළ ද? අප තුළ ද? සංවරභාවය යනුවෙන් අප මතු කරන්නේ බාහිර අසංවරභාවයට අවදිවන අපගේ අභ්‍යන්තර අසංවරභාවය පිළිබඳ ගැටලුව ද? සරසවි සිසුන් තරුණ වන නිසා, තරුණයන්ට පොදු ඉක්මන්කමින්, කලබලකාරී බවින් මිදෙන්නට, ඇතුළතින් සංවර වන්නට, විනයක් ගොඩනගා ගන්නට, නැණ වඩා ගන්නට, අදීන වන්නට තරුණයන් තුළ ඇති පොදු අවශ්‍යතාව වීමංසක පර්ෂදය තුළ ද ඇතිවාට සැකයක් නැත. මේ පිළිබඳව ඇතැමුන් මතු කරනු ඇති තවත් ප්‍රශ්නයක් වනු ඇත්තේ වීමංසක පර්ෂදයේ පෝස්ටරය ඔවුන්ගේ සංවරකම ප්‍රකාශ කරන්නක් ද? යන්නයි. සරසවි ශිෂ්‍යාවන්ගේ ඇඳුමෙහි ඔවුන් දකින අසංවරකම නිසා තමන්ගේ සංවරකම ද නැතිව යන්නේ යැ යි විප කියන්නට ඉඩ තිබේ. එසේ නම්, අනුනට සංවර වන්නට යැයි කියන්නට පෙර ඔවුන් තම සංවරකම රැක ගන්නා අන්දම උගත යුතු යැයි ඇතැමෙකු කියන්නට ඉඩ තිබේ. අසංවර කමින් සංවරකමක් ඇති කළ හැකි ද, යන්න මෙහිදී මතු කෙරෙන ප්‍රශ්නයයි.

විලාසිතාව සහ ඖචිත්‍යය

විමංසක පර්ෂදය කියන්නේ සරසවි ශිෂ්‍යාවන් තමන්ගේ තරමට නොවටිනා විලාසිතා අනුකරණය කරන්නේය, යන්න යි. එහෙයින්, ඔවුන් තමන් ගේ තරාතිරමට ගැළපෙන ආකාරයේ, එනම් නැණ-නුවණ ඇති, අදීන ශික්ෂණයක් ලද පුද්ගලයන් අඳින පරිද්දෙන් ඇඳුම් ඇඳිය යුතු ය යන්නයි. කාගේ හෝ වුව, විලාසිතාව තැනට පුද්ගල තරාතිරමට ගැළපෙන පරිදි සකස් විය යුතුය යන්න යි.

මෙය සරසවි ශිෂ්‍යාවන්ට, ශිෂ්‍යයන්ට ගැළපෙන ඇඳුම් පිළිබඳව විශේෂයෙනුත්, කෙනෙකුට, තැනකට ගැළපෙන ඇඳුම පිළිබඳ පොදුවේත්, මහජන සංවාදයකට ප්‍රවිෂ්ඨයක් සම්පාදනය කිරීමකි, සරසවි ශිෂ්‍යාවන්ගේ ඇඳුම සම්බන්ධයෙන් වීමංසක පර්ෂදය මතු කරන ‘සංවරය’ නමැති අදහස පිළිබඳ මහජන සංවාදයකට ප්‍රවිෂ්ඨයක් සම්පාදනය කිරීම කි.

තැනට, තරාතිරමට ගැළපෙන ලෙස ඇඳීම සඳහා අවශ්‍ය ව්‍යවහාරික ඥානය අප සමාජයේ ඇතැමුන්ට නොලැබෙන්නේ මන්ද යන්න කෙරෙහි අප අවධානය යොමු කළ යුතුය. ඒ පිළිබඳව ඔවුන්ගේ බුද්ධිය අවදි කරවන ආකාරයේ සංවාදයක් ගොඩ නැංවිය යුතුය. බිය එළවා යමක් යටපත් කළ හැකි නමුදු, එම කරුණු පිළිබඳව අපගේ පුද්ගල සහ සාමුහික අවබෝධය ඉන් පුළුල් නොවේ.

තැනට සහ තරාතිරමට ගැළපෙන ඇඳුම ගැන කතා කිරීමේදී බොහෝ ප්‍රශ්න මතු විය හැක. සරසවි ශිෂ්‍යාවනට ගැළ‍පෙන ඇඳුම ගවුම සහ හැට්ටය ද? සාරිය ද? කලිසම සහ කමිසය ද? කලිසම නම්, ‘තුන්කාල’ අසංවර ද? (කොළඔ සරසවියේ ශාස්ත්‍ර පීඪයේ ‘තුන්කාල’ ඇඳි ශිෂ්‍යාවකට විද්‍යා පීඪයේ සිසුන් හූ කීමෙන් දෙ පීඪය අතර ඇතිවූ ගැටුමක් මෑතක දී වාර්ථා වීය.) ‘තුන්කාල’ අසවංර නම් ගවුම සංවර ද? ගවුම කොතරම් දිග විය යුතු ද? සාරිය අඳින්නේ නම්, හැට්ටයත් සාරියත් අතර ‘බඩවියත’ නිරාවරණය වීමට ඉඩ දිය හැකි පරතරය කොපමණ ද? එම පරතරය තුළ නාභිය පෙන්විය හැකි ද? නොහැකි ද? නැතිනම් ‘බඩ වියත’ සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ හැට්ටයත් සාරියත් ඇඳිය යුතු ද? ගෙළ – සහ පාද නිරාවරණයට ඉඩ දිය යුතු ද? ඒවා නිරාවරණයෙන් අසංවරභාවය දැක්වේ ද? එවිට මුහුණ? එය නිරාවරණය අසංවර වීමට ඉඩ තිබේ ද? ඇතැම් මුස්ලිම් ආගමික නිකායයන් මෙබඳු ගැටලුවලට විසඳුම් වශයෙන් තම ස්ත්‍රීන්ට පනවා ඇති මුහුණත්, සිරුරත් මුලුමණින්ම ආවරණය කෙරෙන සේ සෑදුණු ඇඳුම මෙහි ලා සැලකිල්ලට ගත හැකිය. දෑස පමණක් වුව පෙනෙන්නට ඉඩ තැබුවහොත් ඉනුදු අසංවර බව ඈතිවීමට ඉඩ ඇතැයි සමහරු සිතන බව පෙනෙන්නේ ඇතැම් මුස්ලිම් කතුන් දෑස පවා ආවරණය කරන පරිදි අඳින හෙයිනි.

කකුල්, පාද කොතෙක්දුරට අනාවරණයට ඉඩ දෙනවා ද? මිරිවැඩි පැළඳීමට ඉඩ දුනහොත් ඉන් කවරෙකුගේ හෝ දැහැන බිඳී සංවරභාවයට තර්ජනයක් වීමට ඉඩ ඇත. එසේනම්, අත වළලු, ඇඟිලි මුදු, කන්, නාස් කරාබු, දිගු හෝ කොට කොණ්ඩා, අතැඟිලි, එපමණක් නොව ඇවිදින ගමන, අතක් පයක් සොළවන සියුම් ආකාරය මේ සියල්ලෙන්ම අසංවර බව ඇතිවීමට ඉඩ ඇත.

අනෙක් අතට මතුවන ප්‍රශ්නය නම් පිරිමින් ඇඳුම් අඳින ආකාරයෙන් ඇතිවීමට ඉඩ ඇති අසංවර භාවය සම්බන්ධයෙන් කුමක් කරන්නේ ද? යන්න යි. පිරිමි සරසවි ශිෂ්‍යයන් පමණක් නොව පිරිමි ගුරුවරුන් ද තම ගෙලත්, ලැම පෙදෙසත් විවිධ මට්ටමෙන් අනාවරණය වන සේ කමිසය අඳින ආකාරයත්, බොත්තම් නොපියවන ආකාරයත් පිළිබඳ මෙහිදී සැලකිලිමත් වීමට අවශ්‍ය වෙයි. ඔවුන්ට තම බාහු කොතෙක් දුරට නිරාවරණය කිරීමට ඉඩ දිය යුතු ද? පිරිමින් කලිසම අඳින ආකාරයෙන් ද අසංවර භාවය ප්‍රකාශ වීමට ඇති ඉඩකඩ කෙරෙහි ද මෙහිදී සැලකිලිමත් විය යුතුය. වැඩිපුර අසංවර භාවයක් ඇතිවිය හැක්කේ කොණ්ඩය සහ රැවුල කැපීමෙන් ද? වැවීමෙන් ද? ඇයි, ඔවුන් පාවහන් පලඳින ආකාරය? රබර් සෙරෙප්පු, වෙනත් සෙරෙප්පු, සැහැල්ලු පාවහන්, නූල් ගැට ගසන සපත්තු යනාදී මේ එක එකින් ඇති කෙරෙන අසංවර භාවය වෙනස් වන ආකාරය ගැන ද තක්සේරුවක් තිබිය යුතුය. මනාසේ දෙපා ආවරණය කෙරුණු පාවහන් යුගලකින් ද අසංවර බවක් පළවිය නොහැකි ද? විවිධ සපත්තු මෝස්තර වලින් ද සංවරභාවයට තර්ජන එල්ල විය හැකිය. ඉතින්, මේවා බැරෑරුම් ප්‍රශ්න ය.

ජාතික හැඟීම, ස්ත්‍රිය සහ ඇඳුම

සමාජයක ජාතික හැඟීම මතුව එනවිට ස්ත්‍රිය එම ජාතික හැඟීම සටහන් කරන සංකේතයක් කර ගන්නා ආකාරය පිළිබඳ විග්‍රහයක් තිබේ. එල්ටීටීය උතුරේ තරුණියන්ගේ ඇඳුම් සංවර කිරීමට පනවන ගවුමේ දිග කොට තීරණය කිරීම වැනි විවිධ නීති-රීති ගැන අපට නිතර අසන්නට ලැබේ. සිංහල නව යවුවනියන්ට ළමාසාරිය ඇන්දවීමෙන් ඔවුන් සංවර කරන්නට පෙළඹෙන ‘ඕල්කොට් ‍ෙබෟද්ධයන්’ උත්සාහ කරන්නේ ඒ තුළින් තම බෞද්ධකම රැකෙතැයි කියා පාන්නට ය. මෙය ස්ත්‍රිය ‘ජාතියේ දරුවන් බිහි කරන්නිය’ ලෙස ගැනීමෙන් සහ ‘ජාතියේ සංවරභාවය’ ස්ත්‍රියගේ ලිංගිකත්වය හා සම්බන්ධ කොට ගොඩනගා ගැනීමෙන් ලබා ගත් අදහසකි. ස්ත්‍රීවාදීන් මෙය දකින්නේ පුරුෂොත්තම සමාජයක පුරුෂ ආධිපත්‍යයේ අවියක් වශයෙන් ස්ත්‍රීන් යොදා ගැනීමක් ලෙසයි. ස්ත්‍රිය කෙරෙහි ඇති තම ලිංගික ආකර්ෂණයේ අසංවරභාවය තමනට ඇතුළතින් පාලනය කර ගත නොහැකි පිරිමින් එහි වගකීම ස්ත්‍රිය මත පටවා, ඔවුන්ගේ ලිංගිකත්වය සඟවා පාලනය කිරීම ඊට විසඳුම වශයෙන් දකින බව ස්ත්‍රීවාදීන් කියනු ඇත.

එම විග්‍රහයෙන් ද කියැවෙන්නේ මානව ලෝකය පිළිබඳ මෙම පිරිමින් ගේ විග්‍රහය හොබ්සියානු එකක් බවය. මේ අනුව අප‍ගේ ආශාවන් අපට පාලනය කර ගත නොහැකි ‘ස්වාභාවික’ පෙළඹවීම් ය, ජීව විද්‍යාත්මක කරුණුය. ඒවා අප මනසේ ගොඩනගා ගන්නා සංස්කෘතිකමය ආරම්මණයන් නොවේ. අපගේ ආශාවන් අපට පාලනය කර ගත නොහැකි හෙයින් අපගේ ආශාවන් අවදි කරවන ආරම්මණයන් පාලනය කිරීමෙන් අපගේ ආශාවන් පාලනය කර ගත යුතුය. මෙම හොබ්සියානු විග්‍රහය බුදුන් ගේ විග්‍රහය සමග කොතෙක් දුරට ගැළපේ ද?

ඉහත ස්ත්‍රීවාදී විවේචනයට පදනම වන්නේ තම සිරුර පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ සත්‍රීන්ටමය යන අදහස යි. අප ජීවත් වන නූතන ලෝකය ස්ත්‍රිය විසින් සමාජීය වශයෙන් පිරිමින් හා සමතැන දිනා ගන්නටත්, ස්වාධීන වන්නටත් ඉදිරි පියවර තැබූ ලෝකයක් ලෙස පෙනෙයි. එසේ වුවත්, ස්ත්‍රී විමුක්ති ව්‍යාපාරයේ වර්ධනය, එය අනපේක්ෂිත ලෙස සහ අරමුණු නොකළ ලෙස, ස්ත්‍රීන් පහත් කොට සැළකෙන්නේ යැයි ඇතැම් ස්ත්‍රීවාදීන් විසින්ම විවේචනයට ලක් කරනු ලැබෙන කාම උත්තේජනය ඇති කරවන අශ්ශීල පොත-පත හා චිත්‍රපට පළ කිරීම තුළ ස්ත්‍රිය තවදුරටත් සිර කොට ඇතැයි කියවෙයි. තවද වෙනත් ස්ත්‍රීවාදීනට අනුව තම සිරුරු තමන් අවශ්‍ය පරිදි යොදා ගැනීමට ඇති නිදහස ස්ත්‍රී විමුක්තියේ අත්‍යන්ත අංගයකි. මේ අනුව එය ස්ත්‍රීන් විසින් නිදහසේ තෝරා ගන්නා තාක් දුරට ස්ත්‍රියට තම සිරුර තමන් රිසිසේ, මුදල් ඉපයීමට පවා වුව යොදා ගත හැකි මෙවලමකි. නමුත්, ස්ත්‍රිය තම ‘නිදහස’ මෙලෙස රිසි පරිදි භුක්ති විඳීම තුළ ස්ත්‍රියට සමාජය තුළ පොදුවේ හිමි තැන නිග්‍රහයට ලක් වීම තුළින් අපගේ සාමුහික ජීවිතයට එය නිශේධනීය ලෙස බලනොපාන්නේ ද යන ප්‍රශ්නය මෙහිදී ස්ත්‍රීවාදයේ ගැටලුව සම්බන්ධයෙන් මතුකළ හැක.

විලාසිතාව, අනන්‍යතාවය සහ වෙළඳ පොළ
විප විලාසිතාවන්ට විරුද්ධ වන බවක් මෙම පෝස්ටරයෙන් නොකියැවෙයි. විලාසිතා මනුෂ්‍ය වර්ගයා අතර පැතිර පවතී. බොහෝ විලාසිතා වෙළඳපොළ අවශ්‍යතාවයනට අනුව හසුරවනු ලැබෙයි. ඊට ප්‍රතිපක්ෂව, වෙළඳ පොළට එරෙහිව යන විලාසිතා ද තිබේ ‘කැරලිකරුවා අළෙවි වෙයි’ (The Rebel Sell) යන මැයෙන් පොතක් මෑතක දී ලියා පළකළ ජෝෂප් හීත් සහ ඇන්ඩෲ පොටර් (Joseph Heath, Andrew Potter) යන කැනේඩියානු කතුවරුන් දෙදෙනා පළ කළ මූලික අදහස වූයේ, ධනවාදී වෙළඳ සමාගම් විසින් හසුරවනු ලැබෙන ලෝකයට එරෙහිව විකල්ප වශයෙන් ගොඩ නැ‍‍‍‍ගෙන මතවාද සහ දේශපාලන ව්‍යාපාර (උදාහරණ මයිකල් මුවර් (Michael Moore) ගේ චිත්‍රපට, වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ විවේචනයට ලක් කෙරෙන Adbuster නමැති සඟරාව, නෙඕමි ක්ලෙයින් (Naomi Klein) ගේ ‘ලාංඡනය නොමැත’ (No Logo) පොත) ඒවායින් විවේචනයට ලක් කෙරෙන පාරිභෝගික සමාජයටම පෙරළා දායක වන බවයි. එනම්, විලාසිතාවට එරෙහි වීම ද විලාසිතාවක් වී වෙළෙඳ පොළෙහි අලෙවි විය හැකිය.

විලාසිතාව මානවයන් තුළ තම අනන්‍යතාවය ගොඩනංවා ගැනීමට ඇති අභිප්‍රාය ප්‍රකාශ කෙරෙන එක් ප්‍රබල මාධ්‍යයක් ද වෙයි. තරුණ තරුණියන් විලාසිතාවලට වැඩියෙන් ආකර්ශණය වන්නේ එහෙයිනි. විලාසිතාවලට එරෙහි වීමෙන් ද අපට අපගේ අනන්‍යතාවය ගොඩනංවා ගැනීමට උත්සාහ කළ හැකිය. හෙ‍‍ගේලියානු සංකල්පයක් යොදා ගත හොත්, විලාසිතාව, අපගේ ආශාවට ඇති අනෙකාගේ ආශාවට ඇති අපගේ ආශාව ප්‍රකාශ කෙරෙන්නක් යැ යි කිව හැකිය. පාරිභෝජනය සාමුහික ජීවිතය වසා හාත්පස පැතිර ඇති නූතන ලෝකයේ මෙය අනෙකා විසින් පාරිභෝජනය කරන්නේ යැයි වටහා ගැනෙන දෙය වන්නට අප තුළ ඇති ආශාව ප්‍රකට කරයි. වෙළඳපොළ විලාසිතාවට එරෙහිව යන විලාසිතාවද මෙම එකම තර්කනයට යටත් වෙයි. නමුත් විලාසිතාව හැමවිටම වෙළඳපොළ තර්කනයට යටත් විය යුතු නොවේ. ඊටත් අමතරව කෙනෙකුට තමන්ගේම විලාසිතා ද සකස් කර ගත හැකිය. එමෙන්ම තම විලාසිතාව හුදෙක් තම තෘප්තිය සඳහාම පමණක් යැයි කියන්නන් ද සංකල්පීය වශයෙන්වත් අනෙකාගෙන් තොර ලොවක වසන්නේ යැ යි අපට කිව හැකි ද?

ශෘංගාරමය සරදම සහ විලාසිතාව
ශෘංගාරමය සරදම (erotic teasing) පොළොඹවා ගැනීමෙහි (seduction) ලා අවියක් ලෙස යොදා ගැනීම සියුම් කලාවක් බවට වර්ධනය කෙරුණු අයුරු ඉපැරණි ඉන්දියාවේ පැවැති වෛශ්‍යා වෘත්තිය ත්, ජපානයේ සම්ප්‍රදායික ගෙයිෂා වෘත්තිය ත් ඇසුරෙන් අපට දත හැකිය. මෙම වෘත්තීන් දෙකෙහිම හරය වූයේ ලිංගික සේවාවක් සැපයීමට වඩා සමාජයීය සුමිතුරු බවක් සැපයීමේ අරමුණ යැයි පැවැසෙයි. එහෙයින් ශෘංගාරමය සරදම සියුම් කලාවක් ලෙස ප්‍රගුණ කිරීම මෙම වෘත්තීන්හි නිරත වූ කාන්තාවන්ගෙන් අපේක්ෂා කෙරුණි. ශෘංගාරමය සරදම හා වසඟයට ගැනීම පිළිබඳව වත්ස්‍යනගේ කාම සූත්‍රයෙහි එන උපදෙස් මෙන්ම සිංහල ව්‍යවහාරයේ එන ‘සූ සැට මායම්’ පිළිබඳ අදහස ද මීට නිදසුන්ය. පැරණි සමාජයන්හි ප්‍රභූ පැලැන්තියේ සමාජීය ජීවිතයේ අංගයක් ලෙස වර්ධනය වූ මෙම වෘත්තීන්, එම සරදම සහ පොළඹවා ගැනීම සඳහා අවස්ථා පොදු සමාජයෙන් වෙන් වූ සුවිශේෂී සමාජීය අවකාශයන් තුළ සම්පාදනය කළේය. සම්ප්‍රදායිකව බටහිර සමාජයේ ප්‍රභූ පැලැන්තියේ සතුටු සාදයන් ද එබඳු අවස්ථා සම්පාදනය කළ සමාජීය අවකාශයන් ලෙස දැකිය හැකිය. විලාසිතාවද ශෘංගාරමය සරදමෙහි සහ පොළඹවා ගැනීමෙහි අත්‍යන්ත අංගයක් ලෙස හැමවිටමත් සලකනු ලැබ ඇත. නූතනයේදී ශෘංගාරමය සරදමත්, පොළඹවා ගැනීමත්, එයට හිමි සුවිශේෂී සමාජීය අවකාශයන්ගෙන් පිටතට ගෙන සමස්ත සමාජීය අවකාශය පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබී ඇත. අද එබඳු අවස්ථා සපයන සතුටු සාද ප්‍රභූ පැළැන්තියට පමණක් සීමා වූ ඒවා නොවේ. ප්‍රභූ නොවන සමාජ කොටස් වල පවා පෞද්ගලික සාද අවස්ථාව (dating ) ත් පෞද්ගලික භෝජන සංග්‍රහයත් මෙබඳු අවස්ථා සපයයි. ඊටත් එහා යමින් සමස්ත සමාජ ජීවිතයම ඒ සඳහා ඇති අවස්ථාවක් කොට සැළකීමට ද අදවන විට නූතනයන් පෙළඹී ඇත. මෙය නූතනයේදී සියලු දෙනා සමාජයට ඇතුලත් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ ප්‍රථිඵලයකි. අද වන විට ශෘංගාරමය සරදම හා බැඳුණු විලාසිතාවන් එහි මුල් අරමුණ වූ පොළඹවා ගැනීමෙන් වියුක්ත කොට ගෙන හුදු විලාසිතාවක් ලෙසින් ඉදිරිපත් කෙරෙන්නේ ගෝලීයකරණය තුළ විලාසිතාව උග්‍ර ප්‍රජාතන්ත්‍රීකාරකයක් බවට පත්ව ඇති හෙයිනි. අපගේ මෙම සාකච්ඡාවට බඳුන් වන පෝස්ටරයේ එන ඡායාරූපයෙන් පෙන්නුම් කෙරෙන විලාසිතාවද ඊට උදාහරණයකි. මෙම අදහස තව දුරට වර්ධනය කළ යුතුව තිබෙන්නකි.

‘කතිකා’ අධ්‍යයන කවය

17. 02. 2008

Advertisements

2 thoughts on “විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය”

  1. ගැහැණුන් හදනවාට වඩා අමාරු වැඩක් නැති තරම්ය. කෙනෙක් තෝරාගන්නාවිටම මේවා ගැන සලකා තේරීමෙන් ඉතින් ලෙඩ ගොඩකින් බේරිය හැක. හදන්න යාම අමාරු වැඩකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )