අප සාහිත්‍යයට කැමැති මන්ද? ‘හොඳම දේ’ තේරීම අවරසික පිළිවෙතක්ද?

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විවාදය – 3

මෙම ලිපිය කැනඩාවේ Globe and Mail නමැති ජාතික පුවත්පත පළකරන ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇසුරෙන් අප පළකරන්නට අදහස් කරන ලිපි මාලාවෙහි තෙවැනි ලිපිය යි.

මෙම පොත් 50 තේරීමේ යෝජනාවට එම පුවත්පතේ විද්‍යුත් සංස්කරණයට පාඨකයන් පළමු වටයේදී ඉදිරිපත් කළ විවිධ අදහස් වලින් වැදගත් යැයි හැ‍ගෙන ඒවා කිහිපයක් පමණක් සංස්කරණය කොට පහත ඉදිරිපත් කරමු.

මාටින් ලෙවින් ගේ ඇරයුම මත ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ තේරීමේ තිබිය හැකි ගැටළු ගැන මත පළ කරමින්, ප්‍රබන්ධ, ප්‍රබන්ධ නොවන, නාමාවලි සපයමින්, අනෙක් පාඨකයන් තමන් ගේ ප්‍රියතම කෘතීන් පිළිබඳ අදහස් පළකරන්නට, ලියන්නට දිරිගන්වමින් කැනඩාවෙන්, එහි විවිධ ප්‍රාන්ත රාජ්‍යයන්ගෙන් සහ විදේශයන්ගෙන් කැනේඩියානු පාඨකයෝ විවාදයට බටහ.

බොහෝ පාඨකයන් මතුකළ කරුණු දෙකක් වූයේ ශ්‍රේෂ්ඨතම පොත් 50 සඳහා නාමාවලීන් සැදීමේ ගැටළුව සහ එම නාමාවලියට තම ප්‍රියතම ලේඛකයන් ඇතුළත් නොවීම නිසා ඇතිවන කළකිරීම ය.

බ්‍රිටිෂ් කොළොම්බියාවේ Deborah Daudin “ඉංග්‍රීසි කෘතීන් ගැන කතා කළානම් පහසුයි. අන් සංස්කෘතීන්වල අයටත් එසේ (තමන්ගේ බසින් පළ වූ කෘතීන් පිළිබඳ) කතා කළ හැකියි. දෙවනුව, ඉංග්‍රීසි මවුබස කරගත් අය, වෙනත් බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කළ කෘතීන් [මනාව] තෝරන්නේ යැයි, අපට අනුමාන කළ හැකිද? වටිනාකම විශාලකොටම රැදෙන්නේ පරිවර්තකගේ කුසලතා මත යැයි” සඳහන් කළාය.

ටොරොන්ටෝවේ ඕවෙන් මිකායෙල්ස් Owen Michaels කියා සිටියේ, මෙම නාමාවලිය ඉංග්‍රීසි එකක් වන හෙයින්, එය “කැනේඩියානුවන්ට අපගේ ජීවිතය සාරවත් කරනු ඇති, ඒ නිසා, වඩා තීව්ර ලෙස අප ජීවත්වීමට සළසනු ඇති කියැවීම් නාමාවලියක් වනු ඇතැයි” යන්න යි.

තවත් අයෙකු කියා සිටියේ චාල්ස් ඩාවින් ගේ On the Origin of Species by Means of Natural Selection මෙතෙක් ලියැවී ඇති වැදගත්ම පොත බවයි.

සකාර්බරෝ හි RE කියා සිටියේ, Curious George Takes a Job නමැති කෘති‍ය මුල් වයසේ සිට තමා තුළ “වැඩ පිළිබඳ ආචාර ධර්මයක්” පැළපදියම් කළ බව යි. එම පොතෙන් උගත් ශිල්ප නිසා “මම වෙරළේ සිටින මහන්සිම වී වැඩ කරන සරුංගල් යවන්නා වී ඇතැයි” ඔහු ලියා තිබුණි.

වොල්ටෙයාර් ගේ කර්කශ බැණවැදීම් නව යොවුන් වියේදී තමාගේ අනුප්‍රාණය වූ අයුරු තවත් පාඨකයෙකු සඳහන් කළේය.

ස්පාඤ්ඤයේ සිට ලියන කැනේඩියානුවෙක් Louis Ferdinand Celine සහ Gaston Bachelard යන කර්තෘන්ගේ කෘතීන් යෝජනා කළේය.

‘හොඳම දේ’ තේරීම අවරසික පිළිවෙතක්ද?

කැනඩාවේ නැගෙනහිර වෙරළෙන් Chuck the Canuk මෙම විශේෂාංගය විවේචනය කළේ, නූගත් මහා ජනයා කියැවිය යුතු දේ මේ යැයි කියා දෙන්නට ගන්නා ප්‍රභූ උත්සාහයක් ලෙසත් පුවත්පත් අලෙවිය වැඩිකර ගැනීමට සාකච්ඡාවක් ගොඩ නැංවීමට ගන්නා උත්සාහයක් ලෙසත් ය.

Osman Abdul-Nasr, අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කැරොලයිනා සිට ලියන කැනේඩියානු පාඨකයෙකු ලෙසින් කියා සිටියේ, Chuck the Canuk මඳක් ඉවසිලිමත්ව යෝජිත නාමාවලිය කියවිය යුතු බවත්, එහි බහුවිධතාවක් ඇති බවත් ය.

Edmund S. කියා සිටියේ මෙම විශේෂාංගය අවරසික පිළිවෙතක් බවයි. මෙබඳු ‘හොඳම දේ’ තෝරන තරඟ යුදෙව් – ක්‍රිස්තියානි (Judeo – Christian) වී අවසන් වන බව ඔහු කි‍යා සිටියේය. මෙම නාමාවලියේ කැනේඩියානු කෘතීන් අඩු ය. උපාධි ලද්දෝ, තමන්ගේ පාණ්ඩිත්‍යය පෙන්වීමට, ව්‍යාජ මවාපෑම් කරමින්, Remembering Things of the Past වැනි කෘතීන් යෝජනා කරති. කෝපි විවේකයේදී, කාර්යාලයේ දිනෙක වෙහෙස වී වැඩ කිරීමෙන් පසු වයින් වීදුරුවක් අතැතිව ගිනිමැලය (fireplace) අසළ කියවන්නට යමක් සොයන සාමාන්‍ය පුද්ගලයා, The Grapes of Wrath හෝ නීට්ෂේ, ප්ලේටෝ, ඇරිස්ටෝටල්, රූසෝ, ටෝල්ස්ටෝයි, Tom Paine, James Joyce, ශේක්ෂ්පියර් හෝ ගූත (Goethe) වැන්නන් හෝ රස නොවිඳිනු ඇති. මේ කර්තෘන් බටහිර දෘෂ්ටියෙන් ගත්කළ ඉතා බලපෑම් කරන සුළු නමුත්, ඉංග්‍රීසි සහ දර්ශනය පශ්චාත් – උපාධි සිසුන් හැරුණු විට ඔවුන්ගේ කෘති කියවනු ඇත්තේ අන් කවුරුන් දැයි විමසූ එඩ්මන්ඩ් එස්. සාමාන්‍ය ජනතාව කියවන ඉංග්‍රීසි බටහිර සාහිත්‍ය ග්‍රන්ථ මාලාවක් ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50 අතරට නම් කළේය.

තවත් අයෙකු, පොත් තෝරා ගැනීමේ ක්‍රමය පිළිබඳ ඇති ගැටළු දුෂ්කරතා සාකච්ඡාවට ඉදිරිපත් කළේය.
මෙහි යෝජිත ඇතැම් පොත් සාමාන්‍ය ජනතාවට කියැවීමට දුෂ්කර ඒවා බවත්, මේවා උසස් අධ්‍යාපනය ලබන්නන් අරමුණු කොටගත් ඒවා බවත්, ජනතාව වැඩියෙන් කියවන්නට, හෝ ජනතාව අළුතින්ම කියවන්නට පටන් ගන්නට, අනුප්‍රාණයක් සැබැවින්ම සපයනු ඇති තේරීම් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

ඉහත සඳහන් කළ එඩ්මන්ඩ් එස්. ට පිළිතුරු ලියමින් Alan Smithee, “කාලයේ පරීක්ෂණයට මුහුණ දී, රැඳී ඇති සහ ඉදිරියටත් එසේ කරනු ඇති” සාහිත්‍යය කියවන්නන් ව්‍යාජ ඇඟවුම් කරුවන් බව කීම විවේචනය කළේය. එඩ්මන්ඩ් එස්. ගේ “සාමාන්‍ය” ලැයිස්තුවේ එන ලේඛකයන් ඩොස්ටොයෙව්ස්කි හෝ ශේක්ෂ්පියර් කොහෙත්ම අගය නොකරනු ඇත් ද? යන ප්‍රශ්නය ඔහු මතු කළේය. Proust හෝ Joyce තුළට විනිවිදයාම දුෂ්කර විය හැකි නමුත්, අපරාධය සහ දඬුවම කියැවීමට දුෂ්කර නොවේ. ඩොස්ටොයෙව්ස්කි හෝ ශේක්ෂ්පියර් වැනි ‍යමෙකු බොරු ඇඟවුම් කරුවන් යැයි කියා සිටීම හාස්‍යජනකය. “ඇලන් ස්මිතී” එඩ්මන්ඩ් එස්. ගේ ලැයිස්තුවේ නැති, නමුත්, ජනයාට කියැවීමට රුචියක් ඇතිකරන වත්මන් ලේඛකයන් පිළිබඳ සඳහන් කළේය. “ශේක්ෂ්පියර් ලියා ඇත්තේ අවම වශයෙන් ප්‍රාඥ මට්ටමේ කෘතීන් අඩ දුසිමක් පමණක් යැයි” ලෙවින් මහතා කීවද ඔහුගේ සියළු කෘතීන් එඩ්මන්ඩ් එස්. ගේ ලැයිස්තුවේ ඇති පොත් සියල්ලටම වඩා විෂය පථය සහ දෘෂ්ටිය අතින් ඉහළින් සිටියි, යන්න “ස්මිතී” ගේ මත‍ය වීය.

මෙබඳු විශේෂාංගයක් පළකිරීම පිළිබඳ පසසමින් Ajax හි John Williams, හාස්‍යයෙන් යුතුව කියා සිටියේ, පාඨකයන් වැඩියෙන් ආකර්ෂණය කරගන්නට නම්, තරු බවට පත්වූ, නව යොවුන් අසැබි, ස්ත්‍රී-සම-ලිංගික කාමවීඩියෝ පටද මේ තේරීමට ඇතුළත් කළ යුතු බවයි.

Antonio San, මෙම ලිපි මාලාවට අයත් ඇතැම් ලිපි මුදල් ගෙවා ගන්නට සැළැස්වීම සම්බන්ධයෙන් “කුහකයන්” යැයි Globe and Mail පුවත්පතට චෝදනා කළේ, එය Lolita පිළිබඳ ලිපිය ලබාගන්නට මුදල් අයකළ විටය. ඇන්ටෝනියෝ සාන් ගේ විරෝධය ද පළකළ Globe and Mail පුවත්පත, පසුව Lolita පිළිබඳ ලිපිය නොමිලේ ලබාගන්නට ඉඩ සැලසීය.

෴෴෴

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )