‘ශ්‍රේෂ්ඨතම පොත් 50′ මළගිය සුදු පිරිමින් ගේ ‘අකාලික සම්භාව්‍ය කෘතීන්’ ද?

ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විවාදය – 4

Globe and Mail ප්‍රකාශයට පත්කළ පොත් නාමාවලියට මේ වනවිට පහත සඳහන් පොත් ද එකතු වී තිබේ.

Kafka ගේ The Complete Stories
The King James Bible
Newton ගේ Principia Mathematica
W.B. Yeats ගේ The Collected Poems (එකතු කළ කවි)

Globe and Mail පුවත්පතේ ‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ විශේෂාංගය ඇරඹුණේ 2008 ජනවාරි 05 වැනිදා ය. ඒ පිළිබඳ මුල් ප්‍රකාශයට ලැබුණු පාඨක ප්‍රතිචාර සංඛ්‍යාව 32 ක් වීය. මේ පිළිබඳ දෙවැනි ලිපිය එම පුවත්පතේ පළවන්නේ ජනවාරි 10 වැනිදාය. එතැන් සිට මේ දක්වා අළුතින් ලැබුණු පාඨක ප්‍රතිචාර මුළු සංඛ්‍යාව 500 කට අධික‍ය. ඒ, එක් එක් පොත පිළිබඳ ලිපිය පළ වූ විට ඊට ලැබෙන සුවිශේෂ පාඨක ප්‍රතිචාර වලට අමතරව ය. මේ සියල්ල අපට එම පුවත්පතේ විද්‍යුත් පිටපත් ගබඩාවෙහි දැකගත හැකිය. මේ වනවිට මෙම විශේෂාංගයේ සංස්කාරක මාටින් ලෙවින් අන්තර්ජාලය තුළ සජීවීව පාඨක ප්‍රශ්න වලට සැපයූ පිළිතුරු ද අපට කියවිය හැකිය.

අප දැනටමත් කියා ඇති පරිදි මෙම ප්‍රතිචාර සංඛ්‍යාව සලකා බලන කළ, එය කැනේඩියානු ජනගහණයට හෝ Globe and Mail පිටපත් අළෙවිය ට සමානුපාතිකව නම් විශාල සංඛ්‍යාවක් නොවේ. නමුත් එබඳු සුළු පිරිසක් හෝ සාහිත්‍යයේ ප්‍රමිතීන් පිළිබඳ සාකච්ඡාවකට ප්‍රතිචාර දැක්වීම අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහමුලින්ම අත්නොහැරීමට හේතුවකි. මෙම පාඨක ප්‍රතිචාර සලකා බලන විට පෙනී යන වැදගත් කරුණක් වන්නේ, ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50 නාමාවලියට තමන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමේදී ප්‍රමිතීන් වශයෙන් පාඨකයන් ඉදිරිපත් කළ කරුණු අප හමුවේ තබන ප්‍රශ්නය යි. සාහිත්‍ය කෘතියක ශ්‍රේෂ්ඨත්වය මනින මිනුම් දණ්ඩ කුමක් ද?

බොහෝ පාඨකයෝ කෘතියක ශ්‍රේෂ්ඨත්වය, එය රසවිඳීමේදී ලද තම පෞද්ගලික අත්දැකීම මත පදනම් කළහ. ඉන් තමන් ගේ භාවයන්ට ඇතිකළ බලපෑම අනුව කෘතියක් විනිශ්චය කළහ. නමුත් ඉන් නොනැවතී, පෞද්ගලික අත්දැකීම, භාව උද්දීපනය ඉක්මවා ගිය, පොදු ආකෘතියක් සහ අන්තර්ගතය පිළිබඳ ගුණාංග දක්වා තම විනිශ්චය ගෙනයාම පිළිබඳ අදහසක් ද පාඨකයෝ ඉදිරිපත් කළහ.

“තමා හඬවන්නට කවදා හෝ සමත් වූ එකම පොත” සහ “චිත්තවේගී වශයෙන් ප්‍රතිනාද දෙන පොතක්” ලෙස නවසීලන්ත ලේඛක Keri Hulme ගේ බුකර් ත්‍යාගලාභී The Bone People හඳුන්වා දුන් A.Wong එවැනි නවකතාවක් තමා කවදාවත් කියවානැති බව සඳහන් කරමින් එහි “කාව්‍යමය” භාවයේ අපූර්වත්වය ද ඒ හා සමානව අගය කළේය. එම නවකතාව “අපවාදාත්මක ප්‍රචණ්ඩක්‍රියා තුළින් එකට එකතුවන සහ අවවාදයෙන් ගැලවෙන ලාලිත්‍යය පිළිබඳ නිමේෂයකින් කෙළවර වන පුද්ගලයන් තුන් දෙනෙකුගේ කතාවක් නිරූපණය කරන්නට මාඕරි භාෂාවේ නූල්පට වියන්නේ යැයි” වොං තවදුරටත් කියා සිටින විට ඔහු ඉන් ගම්‍ය කළේ උසස් සාහිත්‍ය කෘතීන්ට පාදක වන වස්තු විෂයයෙහි දැකිය හැකි සංකීර්ණභාවයත්, වෘතාන්තය වියන්නට භාෂාව යොදා ගැනීමෙහි ලා දැකගත හැකි ශිල්පීය කුසලතාවත් ය.

පරිපූර්ණ කෘතිය යනු කුමක් ද?

එක් පාඨකයෙකු යෝජනා කළ To Kill a Mocking Bird පොතට තමන්ගේ කැමැත්ත ද පළකළ තවත් පාඨකයෙක් කියා සිටියේ එය “හුදෙක් පරිපූර්ණ” බවයි. එය ලියූ Harper මහත්මියට “ආශිර්වාද වේවා!” යි ඔහු කියා සිටියේය. නවකතාවක් “හුදෙක් පරිපූර්ණ” යැයි කීමෙන් අදහස් කෙරෙන්නේ කුමක් ද? කෘතියක පරිපූර්ණභාවය මනින්නේ කෙසේද?

තවත් පාඨකයෙකු George Orwell ගේ 1984 ශ්‍රේෂ්ඨතම කෘතීන් අතරට නම් කරමින් “එය පිටුව මත ලියැවුණු වචනවලට වඩා එතරම්ම බොහෝ අරුත් ගෙනදෙන්නට සමත් වී ඇතැයි” කී විට ඉන් කියැවුණේ එම කෘතිය බහුවිධ අරුත් ජනනය කිරීමට සමත් බව යි. බහුවිධ අරුත් ජනනය ට පාදක වන්නේ කෘතිය ද? පාඨකයා ද? නැතහොත් මේ දෙකමද? යන ප්‍රශ්න ඉහත පාඨක ප්‍රකාශයෙන් මතුවෙයි.

මෙම ශ්‍රේෂ්ඨතම පොත් 50 ශේක්ෂ්පියර් වැන්නන්ගේ සහ මළගිය සුදු පිරිමින් (dead white males) ගේ සම්භාව්‍ය කෘතීන් වන ‘අකාලික සම්භාව්‍ය කෘතීන් ද?’ යි ප්‍රශ්න කරන පාඨකයෙකු (වැන්කූවර් හි Open Mike) මතුකරන කාරණය පශ්චාත් නූතනවාදීන් ජනප්‍රිය කළ අදහසක් වන සම්භාව්‍ය සාහිත්‍යය යනුවෙන් ගැණෙන්නේ මියගිය, සුදු, පුරුෂයන් ගේ කෘතීන්ය යන්න යි: “ඒවා සමකාලීන නොවේ; බටහිර යුරෝපීයයන්ගේ දෘෂ්ටිය ප්‍රකට කරයි; ස්ත්‍රීන්ගේ දෘෂ්ටිය බැහැර කොට ඇත.” (බලන්න, අප වෙබ් අඩවියේ පෙර පළ වූ ලිපි).

තමා කුඩා කළ සිට කියැවූ පොත් ශ්‍රේෂ්ඨ පොත් 50 අතරට නොවැටෙන්නේ දැයි ප්‍රශ්න කරන පාඨකයා (Peter Parker) ශ්‍රේෂ්ඨ පොත් පිළිබඳ ඉදිරිපත් කරන මිනුම් දණ්ඩ කුමක් ද? කුඩා දරුවෙකු කියැවීමට උනන්දු කරවන කෘතිය ශ්‍රේෂ්ඨ පොතක් දැයි, දැන ගන්නට ඔහුට අවශ්‍ය වීය. ඔහුගේ අදහස වූයේ ජනයා කියැවීමට යොමුකරන සහ ජනයා දිගටම කියැවීමේ රඳවා ගන්නා කුමන හෝ සාහිත්‍ය ලේඛනයක් ශ්‍රේෂ්ඨ බවයි. මෙයින් කියැවෙන්නේ පීටර් පාකර් ගේ අවබෝධයට අනුව යමෙකු කියැවීමට යොමුකිරීම සහ කියැවීමේ දිගට ම රඳවා ගැනීම අප ජීවත්වන සමයේ ශ්‍රේෂ්ඨ දෙයක් බවට පත්ව ඇති බවයි. මෙහි ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ අදහස් අදාළවන්නේ කෘතියට නොව, කියැවීමේ පුරුද්ද ට යොමුකිරීම සහ එය පවත්වා ගැනීමට නම්, මේ පසුව කී දෙකරුණ එතරම්ම දුෂ්කර කාර්යයන් බවට පත් වී ඇති බවක් ඉන් කියැවෙන්නේ ද?

Mary jo burles, George Eliot (Mary Ann Evans) ගේ The Mill on the Floss “මා මත ඉමහත් බලපෑමක් ඇතිකළේයැයි” කියා සිටියේ “බාගවිට ඊට හේතුව විය හැක්කේ ඇගේ නැන්දනියන් ඇය කුල කාන්තාවක් බවට පත්කරන්නට උත්සාහ කරද්දී ඇය බොහෝ දේවල් වැරදියට කළ කුඩා දැරිය වූ මැගී සමඟ තමා අනන්‍ය වූ නිසා විය හැකියැයි” යන්නයි. චාර්ල්ස් ඩිකන්ස් ගේ Oliver Twist තවත් සම්භාව්‍ය කෘතියකැයි කී මේරි ජෝ බර්ල්ස් නිවෙස් අහිමි දරුවන් සිටින අද ලොවෙහිත් එය තවමත් අදාළ යැයි ද, අන් ජනයාගේ ජීවිත පිළිබඳ කතාන්දර කියද්දී දෑසට කඳුළු ගෙන එන්නේ යැයිද කීය.

කෘතියක එන චරිත සමඟ අනන්‍ය විය හැකි අත්දැකීම් තමන්ට තිබීම, කෘතියක ශ්‍රේෂ්ඨත්වය මනින මිණුම් දණ්ඩක් බව මේරි ජෝ ගේ යෝජනාවයි. ඇගේ දෙවැනි අදහසින් ඇය කෘතියක කල් පවත්නා අදාළත්වය ගැන කියයි. ඉතින්, නිවෙස් අහිමි දරුවන් ලොවෙහි සිටින හෙයින් ඩිකන්ස් ගේ කෘතිය අදත් අදාළවන්නේ යැයි කීමෙන් මේරි ජෝ යෝජනා කරන්නේ, කෘතියක් ශ්‍රේෂ්ඨ වන්නට නම් එය දිගින් දිගටම මානව ලෝකයට ‘අදාළ’ විය යුතු බව යි. නමුත් මේ අදාළ බව රැ‍‍දෙන්නේ නිවෙස් අහිමි දරුවන් සිටීම වැනි කරුණු මතද? යන්න සිතා බැලීමට අපට සිදුවෙයි.

A.M. Crossman, Nova Scotia සිට ලියුවේ, ගැමි නොවා ස්කෝෂියාවේ සැබෑ ජීවිතය දෙස බලන Ernest Buckler ගේ The Mountain and the Valley පොත තමා, ශ්‍රේෂ්ඨතම පොතක් ලෙස නම් කරන බවයි. ඒ අනුව, යථාවාදී ජීවන චිත්‍රණය ශ්‍රේෂ්ඨ කෘතියක් මැනෙන මිණුම් දණ්ඩයි.

Sebastian Faulks ගේ Bird song නවකතාව තමා මෙතෙක් කියවූ ශ්‍රේෂ්ඨතම කෘතිය ලෙස යෝජනා කරමින් Dave Baker සඳහන් කළේ “සුන්දර සහ අතිශය වේදනා ගෙන දෙන එය, 2008 කැනඩාවේ ජීවත්වීමට මා කොතරම් වාසනාවන්තදැයි මට වටහා දුන් නවකතාවකැයි” යන්නයි. ඉතින්, අප ‘සුන්දර’ යන්න මනින්නේ කෙසේද?

වත්මන් කැනේඩියානු ජීවිතය හා සසඳා බලන කළ කෘතියෙහි එන සටන් චිත්‍රණය දුෂ්කර, කටුක එකක් වීය යන්න මෙම කෘතියෙන් නිරූපණය වේයැයි, පාඨකයා කියා සිටියි. ඒ අයුරින් ගත් කළ යථාවාදී සටන් චිත්‍රණය මෙම කෘතියෙහි ශ්‍රේෂ්ඨත්වයේ පදනම යි. එය අතිශය වේදනා ගෙන දෙන්නා සේ ම, සුන්දර ද වන්නේ යැයි පාඨකයා කියනවිට ඉන් ඇඟවෙන්නේ ද ශ්‍රේෂ්ඨ ලේඛකයා හුදෙක් අගතිගාමී ලෙස මිනිස් ජීවිතය නිරූපණය නොකරන්නෙක් බවද? නමුත් මෙම කෘතිය 2008 කැනේඩියානු ජීවිතය කොතරම් වාසනාවන්ත දැයි වටහාදෙන්නේ නම්, කෘතියෙන් නිරූපිත ජීවිතයෙහි සුන්දරත්වය මතුවිය හැක්කේ ඒ කරුණෙන් පමණක් ද? නැතහොත් කෘතියෙන් නිරූපිත ජීවිතයෙහිම සුන්දරත්වයකුත් ගැබ් විනිද? “ඔබ පළමු ලෝක යුද්ධය හැමදාම දුටු ආකාරයට වඩා නවතම චිත්‍රණයක් මින් ඉදිරිපත් කෙරෙයි. Faulks සටන් අමරණීය ලෙස සැබෑ කරයි. චරිත කොතරම් මනා ලෙස රූ ගැන්වී ඇත්දැයි කියතොත් පොත අවසන් වනු දැක්මට ඔබ කැමති නොවනු ඇත.”

මා කවදා හෝ කියවූ වඩාත්ම ‘විශ්මයජනක’ පොත ග්‍රේබියෙල් ගාර්ෂියා මාකේස් ගේ Autumn of the Patriarch (හි ඉංග්‍රීසි පරිවර්තනය) යැයි පාඨකයෙකු කියා සිටි විට මෙම ‘විශ්මයජනක’ භාවය මිණුම් දණ්ඩක් බවට අප පරිවර්තනය කරගන්නේ කෙසේද? යන ගැටළුව මතුවෙයි.

ග්‍රේබියෙල් ගාර්ෂියා මාකේස්

මාකේස් ගේ Love in a Time of Cholera, සෑම කල්හිම ශ්‍රේෂ්ඨතම නවකතාව යැයි ද, මාකේස්ගේම One Hundred Years of Solitude, Ian McEvan ගේ Enduring Love, Patrick Suskind ගේ Perfume වැනි කෘතීන්, සමීප දෙවැනි තැනට එන ඒවා යැයි ද සඳහන් කළ පාඨකයෙකු “මේ සියළු පොත් රමණීයව ලියා” ඇතැයිද, “ඒවා මට ශුද්ධ සහ උග්‍ර විඳීම පිළිබඳ නිමේෂයන් සපයාදෙන්නේ” යැයි ද කියා සිටින විට රමණීය ලේඛනය යනු කුමක්දැයි විග්‍රහ කරගන්නට අපට අවශ්‍ය වෙයි. නමුත්, එක් පාඨකයෙකු “ශුද්ධ සහ උග්‍ර විඳීම” පිළිබඳ මිණුම් දණ්ඩක් අප සපයා ගන්නේ කෙසේද?

මෙබඳු ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50 තේරීමේ කටයුත්තක් ‘අතිශයින් පසුබට කරවන සුළු ස්වභාවයක් ගන්නා හෙයින් දුෂ්කර කටයුත්තක්’ වන්නේ යැයි කීමේදී තවත් පාඨකයෙකු ‍(Dave T) යෝජනා කළේ ශ්‍රේෂ්ඨතම පොත් තේරීමේ අපෞද්ගලික මිණුම් දණ්ඩක් තිබිය නොහැකි බවයි. එය සැබෑවක් නම්, ශ්‍රේෂ්ඨතම භාවය ගැන එකඟතාවයක් ඇතිවිය හැක්කේ කෙසේද?

L.M. Montgomery ගේ Anne of Green Gables ශ්‍රේෂ්ඨ කැනේඩියා‍නු නවකතා යැයිද, තවද එය සියළු වයස් කණ්ඩායම්වල සිත් ඇද ගන්නේ යැයිද Amanda Sanders සඳහන් කළා ය.

Martin Cox තම සදා ප්‍රිය කෘතීන් දෙකක් ලෙස Cervantes ගේ Don Quixote සහ හෝමර් ගේ Odyssey නම් කළේය. Odyssey හි කතුවරයා හෝමර් නොව නන්නාඳුනණන ලේඛිකාවක් බවට පිළිගත හැකි තර්ක තිබේ. එහි සැබෑ කර්තෘවරයා කවරෙකු වුව ඔහු හෝ ඇය ‘මාර හොඳ කතාවක් කියන්නේ කෙසේදැයි දැන සිටියේය. මා කැමැති පරිවර්තනය වන Robert Fagel ගේ පරිවර්තනය සතුටින් ඉපිළ කියවිය හැක්කකි.’

Don Quixote කුමන හෝ විසිවැනි සියවසේ ලේඛකයෙකු ගේ කෘතියක් තරම් ම නවීන ය, කියැවීමට ප්‍රිය ය. මෙම කෘතීයේ දෙවැනි භාගයේ ‘පශ්චාත් – නූතනවාදී’ සංවේදීතාවක් තිබේ. කෘතියේ ‘දුක් මුහුණුවරෙහි නයිට්වරයා’ (Knight of the Sad Countenance) සහ ඔහුගේ භක්තිවන්ත-හවුල්කරු Sancho Panza තමන් පොතක් තුළ ජනප්‍රිය බවට පත්කළ, තමන්ගේ වික්‍රමයන් ගැන කියවා විහිළුවට ලක් කෙරෙන චරිත බව ඔවුන් වටහා ගැනීමෙහි

බුකර් ත්‍යාගය වැනි සම්මානයක් ලැබීම කෘතියක ශ්‍රේෂ්ඨත්වය සටහන් කරන්නේද? යන්න මෙම පාඨක ප්‍රතිචාර කියැවීමේදී මතුවූ ප්‍රශ්නයකි. බොහෝ පාඨකයන් එලෙස විශ්වාස කරන බව පෙනී ගියේය. එයින් කියැවෙන්නේ කුමක් ද?

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )