‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – ජනරජය

සයිමන් බ්ලැක්බර්න් – Globe and Mail පෙබරවාරි 9, 2008
පරිවර්තනය : හේමරත්න ලියනආරච්චි

‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ පිළිබඳ විශේෂාංගයේ අප මෙතෙක් පළ කළේ ශ්‍රේෂ්ඨතම කෘතීන් තේරීම පිළිබඳ Globe and Mail පුවත්පතේ පාඨකයන් පළ කළ අදහස් ඇසුරින් සකස් කළ ලිපි කිහිපයකි. එම ග්‍රන්ථ නාමාවලියට අයත් පොතක් පිළිබඳ පළමු ලිපිය ප්ලේටෝ ගේ ජනරජය පිළිබඳ අප පහත පළ කරන්නෙමු. මෙම පළමු ලිපියට ජනරජය තෝරා ගැණුනේ ‘ලොව ශ්‍රේෂ්ඨ පොත් 50’ පිළිබඳ එළඹුණු කිසිදු අනු පිළිවෙළකට අනුව නොව හුදු අහම්බයක් වශයෙනි. Globe and Mail පුවත් පතේ ජනරජය පිළිබඳ ලිපිය පළ වූයේ පස්වැනි ලිපිය වශයෙනි. එම ලිපි පළ කිරීම ද අනුපිළිවෙළකට කළ තේරීමක් නොවන බව Globe and Mail පුවත්පත ද අවධාරණය කර සිටියේය.

බටහිර දර්ශණය වූ කලී ප්ලේටෝට සපයන ලද අධෝලිපි ආවලියකැ යි ප්‍රසිද්ධ ලෙස හඳුන්වනු ලැබ ඇත.* ක්‍රි. පූ. 375 දී පමණ රචිත ප්ලේටෝගේ අත්‍යුත්කෘෂ්ට කෘතිය වන ජනරජය එදාට මෙන් අදට ද අදාළ වෙයි.

අවදානමට ලක් ව පවතින්නේ ‘අපට ජීවත් වීමට සිදු ව ඇත්තේ කෙසේ ද’ යන්න බව සිය ගුරු දෙවි සොක්‍රටීස්ගේ හඩින් ප්ලේටෝ අපට පවසයි. සැබැවින් ම ඔහු දෙ ආකාර ප්‍රතිවාදීන් අභිමුඛස්ථ වීමේ දී මෙම කරුණ ඉස්මතු වෙයි. එකෙක් ආචාරවන්ත වූ ද සම්ප්‍රදායානුකූල වූ ද බුහුටි ලෙස කාර්ය ඉටු කර ගන්නා වූ ද අය විසින් නියෝජනය කෙරෙයි. අනෙක් ප්‍රතිවාදියා වූ කලී ‘ශක්තිය යුක්තිය යි’ යන දහමයි ; ‘ප්‍රඥාව සමන්විත වන්නේ භක්ෂණය කරනු ලබන නොව භක්ෂණය කරන සුනඛයාගෙනි’ යන – නරුමවාදී, ඇනුම්පදකාර ත්‍රැසිමැකස් විසින් නියෝජනය කරනු ලබන – ප්‍රේක්ෂණයයි.

සම්ප්‍රදායානුකූල සදාචාරය යනු රංචුව සමග ඔහේ යාමක් බව පෙන්වීමට සොක්‍රටීස් උත්සාහ කරයි. නමුත් රංචුව ආශ්වාස කරන නිදහස් අවකාශය ම සාවද්‍ය මතවාදයන්ගෙන් හෝ සාවද්‍ය පරමාදර්ශයන්ගෙන් හෝ දූෂිත වූ විට ඊට පිළිතුරක් සොක්‍රටීස්ට නොමැත. ‘ශක්තිය යුක්තියයි’ යන දහම ද එය ඉටු නොකරන බව පෙන්වා දීමට ද සොක්‍රටීස් උත්සාහ කරයි. එම දහම ආත්මය තුළ අපිළිවෙළ පිළිබිඹු කළ යුතු ය. මීට සමකාලීන උදාහරණයක් දැක්විය හැකිය. ඒ සිය දුගී බව සහ රෝගී බව සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිය සමාජයෙහි ඇති නොහැකියාව තුළ එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියෙහි ඇති නව කොන්සර්වටිව්වාදය පිළිබිඹු වන ආකාරයයි. මෙම විසංගතිය දුරු කරලීමට නම් අපගේ ම යහපත ඇත්තේ කොහි ද යන්න පිළිබඳ අප තුළ ඇති මායාවන් දුරු කරලීම අවශ්‍ය වෙතැයි සොක්‍රටීස් අවධාරණය කරයි. අපි ගුහාවේ අන්ධකාරයෙන් ඉහළට නැගී ගත යුතු වෙමු. **

නූතන නිදහස් මතධාරී චින්තකයින් බොහෝ විට ජනරජය ග්‍රන්ථය දෝෂ දර්ශණයට ලක් කොට ඇත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඉහළින් අගය කරන ස්වාධීනත්වයන් සඳහා ඉඩක් සලසා දීමට බාධා කරන අභිරුචියක් යුක්තිධර්මානුකූල පිළිවෙළ කෙරෙහි ප්ලේටෝ තුළ පවතී යන පදනමෙහි පිහිටමිනි. මෙහි කිසියම් සත්‍යයක් ඇති මුත් ඒ සම්පූර්ණ සත්‍යය නොවේ. වඩාත් නිවැරදි ව කියතොත් පාලක සභාවක් තුළ හෝ පුද්ගලයෙකු තුළ හෝ වේවා ආත්ම දමනයේ ප්‍රභවයන්ට මුහුණ දීමට හෙතෙම අපට බල කර සිටියි. එකී ප්‍රභවයන්ගෙන් තොර ව සමාජය ද එතුළ ඉන්නා පුද්ගලයා ද දැදුරුව බිඳ වැටෙන හෙයිනි.

ජනරජය විශ්මය දනවන සුළු දූරදර්ශී බවින් යුක්ත ය. ප්‍රජාතන්ත්‍රවාදය තනිකර ම රාජ්‍යය තුළ ආනුරූප්‍යය සඳහා වූ සංයෝග ක්‍රම වට්ටෝරුවක් නොවන බව මැනවින් දත් ප්ලේටෝ හමුදාමය වීර ක්‍රියාවල ව්‍යාජ ආකර්ෂණය පිළිබඳව ද අවබෝධයෙන් යුතු වී ය. තම සමකාලීන කලාකරුවන්ට ඔහු දැක් වූ එක් විරෝධතාවයක් නම් ඔවුන් අනුප්‍රාණය දුන් ප්‍රචණ්ඩත්වය නිරූපණයේ දී ප්‍රකට කළ මනමෝහනීය විලාසයයි. ධන සම්පතෙහි දූෂිතභාවය හා ප්‍රජාපීඩනයෙහි නෛසර්ගික කෲරත්වය ඔහු තේරුම් ගත්තේ ය. සදාම් හුසේන් හෝ රොබර්ට් මුගාබේ හෝ මෙන් ම සිරුරු අලංකරණය සඳහා භාවිත කෙරෙන, ආලේපන, විලේපන සඳහා මුදල් වැය කරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් ද ප්ලේටෝ විස්මයට පත් නොකරනු ඇත.

ත්‍රැසිමැකස් සමග ගැටුම සෑම යුගයක් ම විසින් බිහි කිරීමට සිදු වෙන එකකි. ලාභාපේක්ෂාවෙන් දේශපාලනයෙහි නිරත වන පිළිකුල් සහගත උදවිය මෙන් ම සුශීල, සම්ප්‍රදායානුකූල උදවිය ද සදහට ම අප අතර වෙති. ව්‍යාජ විනෝදය හා වංක පරමාර්ථයන් ජනප්‍රිය විනෝද සංග්‍රහයන් තුළ බලගන්වා අනතුරු ව අප දරුවන්ගේ මනස සකස් කෙරෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය සහ විද්‍යාව තුළින් සියලු පිළිතුරු අපේක්ෂා කිරීම හේතුකොට ගෙන දේශපාලන දර්ශණය ගොළුව පැවති අවධියකින් අපි මතු වෙමින් සිටිමු. දේවල් නිසි ලෙස සිදු වන විට අපි ප්ලේටෝ මතු කරන ප්‍රශ්න ගැන වැඩිමනත් නොසිතමු. ඒවා ඔහුට උදක් ම හදිසි දේ විය. මක් නිසා ද යත් ඔහු ජීවත් වූයේ මානසික ආතතිය හා පරිහානිය සටහන් කළ යුගයක බැවිනි. ඒවා අපට ද තවමත් එබඳුම විය හැකිය.

ප්ලතෝනික අනුභූතිය යන සුසමාදර්ශය (ආදර්ශ නිදසුන් රටාව) වත්මනෙහි වුව ද අන්‍ය ලෞකික නොව මෙලෞකික එකකි. ඉඳුරන් ගේ ප්‍රීති මංගල්‍යය පරිකල්පනයෙන් හා අන්තර්ඥානයෙන් විශාලනය කරනු ලැබූ විට සිදුවිය යුතු පරිදි ම මෙලොව පමණක් ආස්වාදනය කරනු ලැබීමකි. ආචාර ධර්මයන් සමග සම්බන්ධය ඇති කෙරෙනුයේ ප්‍රේමයේ අත්දැකීම විසින් අපගේ ම පරිබාහිරයට අප ගෙන යනු ලබන බැවිනි. එකී විස්ථාපනය මගින් ස්නේහවන්ත අය අගේ කොට සැලකීම සිදු විය හැකි දෙයක් බවට පෙරළෙයි. මෙම භව්‍යතාව (හැකිකම) ම “නිරාත්මකරණයක්” වෙයි.

එකී ප්‍රේක්ෂණය මගින් සෞන්දර්යය, යහපත් බව (සාධුත්වය) හා සත්‍යය අතර ඇතැයි ප්ලේටෝ හඟින ප්‍රත්‍යක්ෂ සම්බන්ධය පිළිබඳ මාහැඟි ඉන්ද්‍රීයාවබෝධයක් ඇති කරයි. ඇතැම් විට අපට නම් එකී සංකල්ප තුන අතර ඇත්තේ ඉතා සුළු සම්බන්ධයකි. සෞන්දර්යය, සැහැල්ලු, නොවැදගත් අයුරින් පර්යන්ත සීමාවට ඇද දැමෙයි. යහපත් බව යනු ආචාර ධර්මය පිළිබඳ කාරණයකි. එය වුවමනාවට වඩා දුරක් මනසට කඩා වැදුනහොත් අපි චංචල වෙමු. සත්‍යය පිළිබඳ අපේ සුසමාදර්ශය වූ කලි සෞන්දර්යය හෝ යහපත් බව හෝ සමග එතරම් ගනුදෙනුවක් නැති විද්‍යාත්මක සත්‍යයයි. දැනුම යනු එක් දෙයක් වන අතර ඔබ එය භාවිතාවට තෝරා ගන්නා ආකාරය යනු වෙනත් ම දෙයකි යි සිතීමට අප යොමු වෙමු.

මෙම බිඳීම් නොපැවතුණු ලොවක පැවැත්ම පිළිබඳ හැසිරීම ප්ලෝටෝ ගේ චමත්කාරයෙන් කොටසක් වෙයි. අපේ ලෝකය තථ්‍යය සහ සාරධර්මය අතර බෙදීමක් ඇති කරනු ඇත. එතෙකුදු වුව නිසි සංකලනය හා ආනුරූප්‍යය බඳු කල්පනයන් විසින් එවන් බෙදීමක් මකා හරින සුලු ඔහුගේ ලෝකය සිත් බඳනා සුළු එකකි.

———————————————————–
* මෙම ප්‍රකාශය කරන ලද්දේ Alfred North Whitehead (1861-1947) නමැති රසල් ගේ මිතුරා හා විශ්ව විද්‍යාල සමකාලීනයා විසිනි (පරිවර්තක).
** ජනරජය – vii වැනි ග්‍රන්ථය බලන්න (පරිවර්තක).

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාල දාර්ශනිකයෙකු වන සයිමන් බ්ලැක්බර්න් ප්ලේටෝගේ ජනරජය : ජීවන චරිතාපදානයක් කෘතියේ කතුවරයා ය.

හේමරත්න ලියනආරච්චි නවකතාකරුවෙකි. ඔහු පාදඩයෙකුගෙන් සහ අන්තිම දා යනුවෙන් නවකතා දෙකක් 60 දශකයේදී පළ කළ අතර ඔහුගේ තෙවන නව කතාව වන මම රාත්‍රිය වෙමි 1988 දී පළ විය. එහි දෙවැනි මුද්‍රණයක් ද මෑත දී පළ කොට තිබේ. සිළුමිණ පුන්කලස සඳහා “බටහිර සාහිත්‍ය විචාරයේ ඉතිහාසය” නමින් ලිපි පෙළක් සම්පාදනය කළ ලියනආරච්චි මහතා මේ දිනවල එම ලිපි පොතක් වශයෙන් පළ කිරීම සඳහා සංස්කරණය කරමින් සිටියි.

‘කතිකා’ අධ්‍යයන කවයට කිසිදු වෙනත් සම්බන්ධයක් නොමැතිව තිබියදීත් ජනරජය පිළිබඳ මෙම ලිපිය සිංහලට පරිවර්තනය කිරීමට අපකළ ඇරයුම කාරුණිකව භාර ගෙන තම කාර්යබහුලත්වය මැද ඉක්මණින් එය ඉටු කර දුන් හේමරත්න ලියනආරච්චි මහතා ට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.

ලියනආරච්චි මහතා ගේ ඡායාරූපය සිළුමිණ පුන්කලස අතිරේකයෙන් ස්තුතිපූර්වකව උපුටා ගෙන සකස් කොට ගත්තෙමු.

ප්ලේටෝ ගේ ජනරජය
පුරාණ ග්‍රීක භාෂාවෙන් රචිත මුල් කෘතිය සිංහලට නැගීම, හැඳීන්වීම සහ සටහන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ මහාචාර්ය ඩී.පී.එම්.වීරක්කොඩි

ප්‍රකාශනය
සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව
ප්‍රථම මුද්‍රණය 2005. පිටු 764.
ISBN No. 955 – 8377 – 29 – 5
මිල සඳහන් කොට නොමැත.

ජනරජය ගැන ඔබේ අදහස් ‘කතිකා’ වෙත ලියන්න.

අපගේ අවසන් ලිපිය පළකරන අවස්ථාව වනවිට Globe and Mail ප්‍රකාශයට පත්කළ පොත් නාමාවලියට මේ වනවිට පහත සඳහන් පොත් ද එකතු වී තිබේ.

Galileo ගේ Dialogue
Sophocles ගේ The Theban Trilogy
Vyasa ගේ The Mahabharata
Lewis Carroll ගේ Alice in Wonderland
Jean-Jacques Rousseau ගේ The Social Contract
Michel de Montaigne ගේ Essays
Goethe ගේ Faust

Advertisements

One thought on “‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – ජනරජය”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )