දේශපාලනය

හෘද සාක්‍ෂිය
විදුර මුණසිංහ

ප‍්‍රභාකරන් හුදෙක් අපගේ ප‍්‍රතිවාදියා පමණක් නොව අපගේ පැවැත්මේ, අපගේ සුඛ විහරණයේ, සාමකාමී හිඳීමේ, අපගේ සතුටේ ප‍්‍රතිපක්‍ෂය විය. අපගේ සතුට, දුක, ශෝකය, උන්මාදය, චිත්තපී‍්‍රතියද පැවතුනේ ඔහු සමගිනි (මා මිතුරකුට අනුව ”අපිට රිදව රිදව අපිත් එක්ක අවුරුදු 30 ක් හිටපු මිනිහ”). ආදරය/ වෛරය, හොඳ/ නරක, කලූ/ සුදු ආදී සියලු ප‍්‍රතිපක්‍ෂයන්හි එකකට අනෙක නොමැතිව පැවතිය නොහැකිවාක් මෙන් අපගේ සාමාන්‍ය ජීවිතය සමග ප‍්‍රභාකරන් අවියෝජනීයව බැඳී සිටියේය. අපි ඔහුට අතිශයින් බිය වීමු. ඔහුගේ ලේ පිපාසය ඕනෑම මොහොතක මා ඇතුලු මා ආදරය කරන කවුරුන් හෝ බිලිගත හැකිවිය.

දිනය – 2009. 05.19
වේලාව – රාතී‍්‍ර 11.17

විධිමත්ව යමක් ලිවීමට තරම් නිශ්චිතතාවයකින් තොරව මේ මොහොතේ මා දරා සිටින්නාවූ අවිධිමත් ශෝකය, දුක, සතුට, පී‍්‍රතිය වැනි භාෂාත්මක කියවීමකට රාමුගත කරගත නොහැකි හැඟීම විසින් අපහසුතාවයට, වියවුලට සහ උදාසීනත්වයට ලක්ව සිටින මා එසේ තිබියදීත් මෙම ලිවීම ආරම්භ කරන්නේ භාෂාවට නැංවිය නොහැකි අසීමිතභාවය වචනයට නැංවූවිට සීමාසහිත වීමෙන් බිහිවන ආඛ්‍යානය විසින් ඊට පෙර නොවූ ගල් ගැසුනු අර්ථය ජනනය කරන්නේය යන පදනමේ සිටය. එබැවින් මේ වූකලී මට දැනෙන මේ යැයි කිව නොහැකි හැඟීමක් නිසා දැනෙන අපහසුතාවයට භාෂාව තුල කුමණ හෝ පිලිතුරක් සොයායමින් විසඳුමක්, සහනයක් ලබාගැනීමට දරන උත්සාහයකි. එසේ නොවූවහොත් මේ හැඟීම විසින් ඇතිකර ඇති උදාසීනභාවය මාගේ සාමාන්‍ය එදිනෙදා පැවැත්ම තර්ජනයට ලක්කරයි. එබැවින් මේ සත්‍යය සොයා යාමක් නොව වියුක්ත හැඟීම් සමුදායක් භාෂාත්මක ආඛ්‍යානයක් තුල සීමා සහිත කිරීමට දරන උත්සාහයකි. (භාෂාවට පිටතින් වන සත්‍යයක් නොමැති බැවින් ලිවීමට පෙර තිබූ යම ලිවීමෙන් අනතුරුව තවදුරටත් නොපවතින බව මම දනිමි. නිශ්චිතව කුමක්දැයි නොදන්නා දෙය ආඛ්‍යානගත කිරීමෙන් පෙර පැවති වියවුල නිමවී නව සැනසිලිදායක අර්ථය පමණක් ඉතිරි වනු ඇත.)

අද දිනය තුල මා දන්නා හඳුනන දෙදෙනකු අවස්ථා දෙකකදී පැවසූ වාක්‍ය දෙකක් ඔවුන් තුලද වන මා දරා සිටින වියවුල් සහගත හැඟීමට සමාන දෙයක ප‍්‍රකාශනයන් යැයි මට සිතේ.

1. “ඇයි මිනිස්සු මේ තරම් රතිඤ්ඤා පත්තු කරන්නේ, දෙපැත්තෙම මැරුනෙ අපේ මිනිස්සු නේද ?”
2. “මොනව වූනත් ප‍්‍රභාකරන්ගෙ මිනියෙ මූණ දැක්කම මට හෝස් ගාල ගියා.”

මේ මොහොතේ පවතින සිදුවීම් අනුක‍්‍රමණයන්ද ගල් ගැස්විය යුතු යැයි මට සිතෙන්නේ පසු අවස්ථාවක මෙම සිදුවීම් මීට වඩා වෙනස් ලෙස ආඛ්‍යානගතවී තිබිහැකි (එය අනිවාර්යතාවයකි, අප අතීතය කියවන්නේ වර්තමාන මොහොතේ සිටය) බැවිනි. එවිට මා විසඳුම හොයන මේ හැඟීමට පදනමක් නොමැති වනු ඇත (මා ගැලවීමට උත්සාහ දරන මේ හැඟීම පිලිබඳව ආදරයක්ද මා තුල පවතී, එය ගල්ගැස්විය යුත්තේ මේ ලිවීම අනාගත මොහොතක කියවීමේදී විඳින සෞන්දර්යය (?) වෙනුවෙනි).

අද උදෑසන 9. 40 ට පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ජාතිය අමතා කථා කළේය. වසර 30 ක් තිස්සේ පැවති යුද්ධය ජයග‍්‍රහණය කළ බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කෙරින. මුළු රටම පසුගිය දින 2 පුරාවටම රතිඤ්ඤා හඬින් ගිගුම් දෙයි. මිනිසුන් වාහනවල නැග ඉමහත් ආනන්දයකින් කෑකෝ ගසමින් පාරවල්වල ගමන් කරති. රටම කිව නොහැකි ආනන්දයක පසුවෙයි. අද දහවල් 1. 30 ට ප‍්‍රභාකරන්ගේ දේහය රූපවාහිනියේ පෙන්වන ලදී. ලංකාවට නව රජෙක් ලැබී ඇති බවත් ලංකාව ඉතිහාසයේ විශිෂ්ඨතම ජයග‍්‍රහණය උදාකරගෙන ඇති බවත්, මෙරට අනභිබවනීය යුගයක් කරා පිවිස ඇති බව පැවසෙයි.

මා අත්විඳීන අවිනිශ්චිතභාවයට පසුබිමින් ඇත්තේ මෙම සිද්ධිමය කාරණාවන්ය. මේ සියලූ සිදුවිම් විසින් නිර්මාණය කරන හැඟීම මා මිතුරකු කී ලෙස ‘එකපාරටම සුනාමිය ආපු වෙලාවෙ ඇතිවුන මොකුත්ම නැති හිස් හැඟීම’ හෝ එම හැඟීමේ නෑයකු වියහැකි යම් හැඟීමක් වියහැක. මේ මොහොතේ මේ හැඟීම භාෂාවට නැංවීම මාගේ සහනදායී පැවැත්ම ආරක්‍ෂා කරගැනීමක් මෙන්ම මේ මොහොතේ සෞන්දර්යය මඟහැරී යාම වැලැක්වීමක්ද වෙයි. ඒ අරමුණින් යුතුව මසිතට එන පෙළගැස්වීමක් නැති සිතීම් කිහිපයක් පෙළට තබමි.

1. පරිපූර්ණ ජයග‍්‍රහණයක/ පරාජයක සෞන්දර්යය

සිය සටන පරාජයට පත්ව අවසානයක් කරා ළගාවී ඇති බව දනිමින්ම විනාශය අනිවාර්යතාවයක් බව දනිමින්ම අවසන් භටයා මියයන තුරුම සමස්ථ කොටි සාමාජිකත්වයම සටන් කරන ලදී. කිසිත් දිනන්නට නොහැකි බව දනිමින්ම ලක්‍ෂ 2 ක හමුදාවක් 350 ක පිරිසක් වටකොට ඇති බව දනිමින් නායකයා, ඔහුගේ පුත‍්‍රයා, සියලූ නායකයින් ඇතුලු සියලූම සාමාජිකත්වය එකකු හෝ යටත් නොවී පළා නොගොස් (සියලූ නායකයින්ට පළා යාමට ඉඩ ප‍්‍රස්ථා ඕනෑ තරම් අවස්ථා විය) සිය මරණය දක්වා සටන් කළහ. මීට පෙර එවැන්නක් චිත‍්‍රපට හෝ වීරකථාවල හැරෙන්නට මා අසා හෝ දැක නැත. එබැවින් මේ සමස්ථ සිදුවීම මට මහා සෞන්දර්යයක් ගෙනඑයි. පරිපූර්ණ අවසානයක්, පරිපූර්ණ පරාජයක් සාහිත්‍යයේ මිස සැබෑ ජීවිතයේදී අත්විඳින්ට සිදුවෙතැයි මම කෙදිනක හෝ සිතා නැත්තෙමි. සාහිත්‍ය කෘතියක අපූර්වත්වය මේ සිදුවීම තුල අන්තර්ගතව ඇතැයි මට සිතෙන්නේ එබැවිනි.

2. තුවක්කු පහත්වෙයි

ජාතික රූපවාහියේ දර්ශන පෙළකින් කොටසක් සංස්කරණය කොට විකාශය කළ cnn නාලිකාව පවසා සිටියේ ශී‍්‍ර ලංකාවේ දෙමළ අරගලය අවසානයකට පත්ව ඇති බවයි. රූපරාමුවේ දැක්වුනේ මුලතිව් සටන් බිමේදී ගිනි තබා විනාශ කරන ලද කොටි කාලතුවක්කුවක බැරලය ඈතින් පෙනෙන තල්ගස් දෙකක් පසුබිම්කොටගෙන පහත්වන අයුරුය.

3. 1989. 11. 13 දා රාති‍්‍රයේ ඇසුනු රතිඤ්ඤා හඬ

මුළු කොළඹම සිංහ ධජ වලින් සරසා ඇත. මීට පැය 1/2 කට පෙරද වාහනවල නැගුනු තරුණයෝ උද්දාමයෙන් සිංහ කොඩි ළෙලවමින් කෑ කෝ ගසමින් මහපාරවල්වල ගමන් කළහ. තැන තැන පිරිස් සංගිතයට නටති. තී‍්‍ර රෝද රථවල ප‍්‍රභාකරන්ගේ මරණ දැන්වීම් අලවා ඇත. ‘පරලොවට ඊළම – ඊළමට පරලොව’ එහි ලියැවී ඇත. සියලූ ජනමාධ්‍ය, කලාකරුවෝ, භික්‍ෂූන් වහන්සේ, විද්වත්හු මහා ජයග‍්‍රහණය සමරති. හෙට ජාතික නිවාඩු දිනයකි. (89 නොවැම්බර් මාසයේ දවසක රාති‍්‍රයේද මෙවැනි රතිඤ්ඤා හඬක් ඇසුනා මතකයි.)

4. සතුට

ජනමාධ්‍ය පුරා රණ ගී, ජය ගී, උදාන ගී, ජාතිකාභිමානී ගී වලින් ගිගුම් දෙයි.
මේ සිංහල අපගෙ රටයි…
ආයු රක්ඛන්තු ආවඩා..
අපටත් රජෙක් පහලව ඇත්තේ…
තුන් හෙළේ කැළෑ තුල සිංහ පැටව්…
…..
….
උතුරේ ගම්මානයන්ට රණ විරුවන්ගේ නම් තැබිය යුතු බව ජාතික හෙළ උරුමය පැවසූ පුවතක් පුවත්පතක පළවී තිබිණ.
පොලීසිය සිංහ කොඩි දමා නොමැති කඩවලට ඒවා දැමීමට බල කරයි.
යුධ ජයග‍්‍රහණ සැමරීම නිසා පසුගිය සතිය පුරා අවතැන්වූ 250,000 ට ආධාර එකතුකිරීමේ උන්මාදය අමතකව ගියා සේය.
යුද්ධය සිදුවන අතරතුරේදී කොටි පාලන ප‍්‍රදේශයේ සිට 35,000 ක් ජනතාව හමුදා පාලන ප‍්‍රදේශයට පැමිණ සිටි අවස්ථාවේ ප‍්‍රකාශයක් කරමින් තවදුරටත් බලා නොඉඳ අවසන් ප‍්‍රහාරය එල්ල කර භූමිය අත්කරගන්නා ලෙසත් එහිදී යම් ජීවිත වන්දියක් ගෙවීමට සිදුවන්නේ නම් එය ගෙවා සටන නිමකරන ලෙසත් පැවසූ විමල් වීරවංශ (නමුත් රජය එසේ පහර නොදුන් අතර ඒ හේතුවෙන් 215,000 ක් දිවි බේරුනි ) සෑම විටම ජනාධිපතිවරයා අසලින්ම සිටිනු දැකිය හැකිවිය.

මේ මොහොතේ අවිධිමත් ලෙස මසිතට ගලා එන සිතුවිලිය. මේවා ලියූ පමණින් වියවුල නොවිසඳෙයි (ලීවීම තුලම යම් ආඛ්‍යානයක් නිර්මාණය වෙමින් පවතිනු පෙනෙයි.) දැන් කළ යුත්තේ ලිවීම පරිපූර්නත්වයට පත්කිරීම/ වියවුල විසඳීම/ අර්ථය සීමා කිරීම යි.

මා ඉපදුනු දිනයේ සිට අද දක්වාම මේ රටේ යුද්ධයක් පැවතුනි. ප‍්‍රභාකරන් නම් මිනිසෙක් මේ රටේ කොටසක වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවීම සඳහා සටන් කළේය. මරගෙන මැරෙන බෝම්බ, ගම්පිටින් මිනිසුන් ඝාතනය කිරීම්, ආර්ථික මර්මස්ථානයන්ට එල්ලවූ මාරාන්තික ප‍්‍රහාරයන් ඇතුලු අතිශය අමානුෂික ප‍්‍රහාරයන් රැසක් මැද අපි ජීවත්වීමු. ඔහුගේ බල ප‍්‍රදේශය අල්ලා ගැනීමට විවිධ අවස්ථාවල සිදුකළ මෙහෙයුම්, ඉන්දු ලංකා ගිවිසුම්, ඔහුගේ ම්ලේච්ඡ ප‍්‍රහාරයන්ට පිලිතුරු ලෙස දෙමළ ගම්මානවලට පහරදී දෙමළ ජාතිකයන් ඝාතනය කිරීම්, සාකච්ඡා, සටන් විරාම ගිවිසුම් සමඟ මේ කාලය ගෙවීගියේය. අපගේ ජීවිතයේ සෑම මොහොතකටම සෑම නිමේෂයකටම මේ මිනිසා හා ඔහුගේ ව්‍යාපාරය බලපෑම් සහගත විය (ඊළඟ මෙහොතේ පුපරන බෝම්බයකින් මා මිය යා හැකිව තිබිණ). ප‍්‍රභාකරන් හුදෙක් අපගේ ප‍්‍රතිවාදියා පමණක් නොව අපගේ පැවැත්මේ, අපගේ සුඛ විහරණයේ, සාමකාමී හිඳීමේ, අපගේ සතුටේ ප‍්‍රතිපක්‍ෂය විය. අපගේ සතුට, දුක, ශෝකය, උන්මාදය, චිත්තපී‍්‍රතියද පැවතුනේ ඔහු සමගිනි (මා මිතුරකුට අනුව “අපිට රිදව රිදව අපිත් එක්ක අවුරුදු 30 ක් හිටපු මිනිහ”). ආදරය/ වෛරය, හොඳ/ නරක, කලු/ සුදු ආදී සියලු ප‍්‍රතිපක්‍ෂයන්හි එකකට අනෙක නොමැතිව පැවතිය නොහැකිවාක් මෙන් අපගේ සාමාන්‍ය ජීවිතය සමග ප‍්‍රභාකරන් අවියෝජනීයව බැඳී සිටියේය. අපි ඔහුට අතිශයින් බිය වීමු. ඔහුගේ ලේ පිපාසය ඕනෑම මොහොතක මා ඇතුලු මා ආදරය කරන කවුරුන් හෝ බිලිගත හැකිවිය.

මේසාර්ට් ගේ ජිවිත කථාව ඇසුරින් නිපදවූ ඇමඩියුස් නම් චිත‍්‍රපටය මාගේ සිහියට නැගේ. මෝසාර්ට්ගේ දක්‍ෂතාවයට ඊර්ෂ්‍යා කරන නමුත් මෝසාර්ට්ට පමණක් දෙවන වන දක්‍ෂ සංගීතඥයකු වූ සැලියාරි නැමැත්තා මෝසාර්ට්ව විනාශ කිරීමට, පැරදවීමට, ඔහුගේ නිර්මාණ සොරාගැනීමට සිය ජීවිතයම කැප කරයි. නමුත් මෝසාර්ට් මියගිය පසු සැලියාරිට ජීවත්වීමට හේතුවක් නැතිවේ. මෝසාර්ට් නැතිවුවත් ලෝකය පවතී. ඔහු නැතැයි කියා කිසිවක් වෙනස් නොවේ. නමුත් මෝසාර්ට් නැතිව සැලියාරිට ජීවත්විය නොහැක. ඔහු ආත්මයේ මහා හුදෙකලාවකින් පීඩා විඳී. අවසානයේ ඔහු සියදිවි නසාගනී. සැබවින්ම මෝසාර්ට්ට වැඩියෙන්ම ආදරයකොට ඇත්තේ ඔහුට වෛර කළ සැලියාරිය.

ශිශිරයේ මීදුම් වළාවන් අතරින් මතුවී එන මාගේ වීරයා හීත්ක්ලිෆ් මෙහිදී අමතක කළ නොහැක. ඔහු සිය ආදරය තමන්ගෙන් උදුරා ගත්තවුන්ගෙන් පළිගැනීමට සිය ජීවිතයම කැප කළේය. ඒ සියලු උතත්සාහයන් සාර්ථක කරගත් පසු ඔහු මුහුණ දුන්නේ ආත්මය පහුරුගාන මහා හුදෙකලාවකටය. සියදිවි නසාගැනීම හැරෙන්නට වෙනත් විකල්පයක් ඔහුට නොවුනි. ඔහුට ඔහුගේ වෛරයෙන් තොරව පැවත්මක් නොවුනි. ඔහු මියයාමට සැලැස්වූ විනාශ කළ පිරිසට ඔහු වඩාත් ආදරයකොට තිබිණි. ආදරය/ වෛරය වෙන්කළ නොහැකි ද්වෛතයකි.

දැන් අපට අපගේ වෛරය අවසන්ව ඇත. ප‍්‍රභාකරන් අවසන්ය. මේ රතිඤ්ඤා හඬ, අසීමිත පී‍්‍රතියේ, නිමක් නැති නිදහසේ තේරුම කුමක්ද ? දැන් අපිට, අපගේ කිසිදු කි‍්‍රයාකාරකමකට බාධාවක් නැත. මෙතෙක් ඔබ හා මා හමුවුයේ ත‍්‍රස්තවාදයට බියපත්වූ සමාජයක ප‍්‍රභාකරන් නම් අතුරු මුහුණත තුලිනි. දැන් අතුරු මුහුණත අවසන්ය. ඔබට ඍජුවම මා දැකිය හැක. අපගේ නිම්හිම් නැති සංතෘෂ්ඨිය කෙළවර අපි අපගේ පැවැත්මේ තර්ජනයකට මහුණදී ඇත්තෙමු. දැන් බාධාවකින් තොරව නග්න ලෙස මා හමුවන ඔබට මුණගැසෙන්නේ කුමක්ද ? සියලූ ප‍්‍රබන්ධයන් අවසන්ව ගිය තැන ඔබ දකින්නේ මගේ හොඳකම්, බැරිකම්, දුෂ්ඨකම්, කුහකකම්, ම්ලේච්ඡකම් සියල්ල නිරාවරණයව ඇති අයුරුය. මේවා වසා තැබූ අතුරු මුහුණත අවසන්ය. ඔබගේ ඒ සියල්ලද මට නිරාවරණය වෙයි. මෙවැනි සමාජයක් මහා බිහිසුනු අන්තරායකට මුහුණ දෙයි. මේ ක්ෂතිමය මොහොතේ උදාවද මේ අපි සමරන්නේ. සිංහල සමාජය වඩාත් වෛරකළ/ ආදරය කළ මිනිසාගේ මරණය ගැන මීට වඩා බැරෑරුම්ව සිතිය යුතු නොවේද ?

ප‍්‍රභාකරන්ගේ මරණය සෞන්දර්යයක් වන්නේ ඇයි ?

ප‍්‍රභාකරන්ගේ මරණය මා නියෝජනය කරන පැරණි පන්නයේ ලෝකයේ එවැනි සිදුවීම්වල අවසානයයි. ජාතික රාජ්‍යය දියවී යමින් පවතින ලෝකයක ඔහු එය විශ්වාස කළේය. එවැන්නක් නිර්මාණය කිරීම සඳහා ඔහු රාජ්‍යයක් සමග සටන් කළේය. පැහැදිලිවම ඔහුගේ මතවාදය ජාතිවාදී විය. දෙමළ ජාතියේ ඵෙතිහාසික වේදනාවන්ට, සන්තාපයන්ට හා අසාධාරණයන්ට එකම විසඳුම ශක්තිමත් දෙමළ ඊළාම් රාජ්‍යයක් නිර්මාණය කිරීම යැයි විශ්වාස කළ ඔහු ආරම්භයේ සිටම මියයන මොහොත දක්වාම ඒ වෙනුවෙන් සටන් කළේය. යම්හෙයකින් ඔහු ඊළම දිනා ගත්තේ නම් ඕනෑම ජාතිවාදියකුගේ මඟ යමින් අතිශය ඒකාධිපති, මර්ධනකාරී, ප‍්‍රජාපීඩක රාජ්‍ය තන්ත‍්‍රයක් නිර්මාණය කරනු ඇත. ඒ කෙසේ වෙතත් ඔහු ඊළමින් මෙපිට කිසිදු විසඳුමක් පිලිගත්තේ නැත. සටන මෙන්ම සාමය හරහාද ඔහුගේ අවසාන අභිප‍්‍රායවූයේ එයයි. මියයන තුරුම වෙනස් නොවූ අධිෂ්ඨානය එයයි. වර්තමාන ලෝකය තුල නොවෙනස් පැවතීම, අධිෂ්ඨානය වැනි වචනවලට අර්ථයක් නොමැත. ඝන වූ සියලූ දේ දියවී යන ලෝකයේ ජාතිය වෙළඳපොළ බවටද, නොවෙනස්වීම වෙනස්වන වෙළඳපොළ තත්වයන්ට අනුව වෙනස්වීම බවටද පත්වූ ලෝකයක ඔහු පැරණි පන්නයේ මිනිසෙකි. ඊළමෙන් මෙපිට කිසිවකට එකඟ නොවන්නේ නම් දිය හැකිව තිබූ එකම පිලිතුර ශී‍්‍ර ලංකා රජය විසින් ඔහුට ලබාදෙන ලදී. සිදුවිය හැකිව තිබුණේ දෙකෙන් එකක් පමණි. එක්කෝ ඊළම දිය යුතුය. නැතිනම් ඔහු මිය යා යුතුය. ඊළම දී රට දෙකඩ කිරීමට අකමැති වූ නිසා ඔහු මරා දැමිය යුතු වූ අතර එය එසේම සිදුවිය. (ඔහුත් සමග ඒ අරමුණ දරමින් මියෙන තුරුම සටන් කළ මේ රටේ පුරවැසි පිරිස එසේ කළේ ඇයි ? ඔවුන් එතරම් ආන්තික ආස්ථානයක් කරා ඇදීගියේ ඇයි ? යන්න කිසිදා මඟහැර යා නොහැකි ගැටලූවකි. යුධ ජයග‍්‍රහණ සැමරීම තුල ලංකාවේ කිසිදු ජනමාධ්‍යයක මුලතිවු සිට පැමිණි 250,000 ක ජනතාව එම සිදුවීමට මුහුණදුන් ආකාරය දැක්වෙන එකදු රූපරාමුවක් හෝ කොටි සංවිධානයෙන් කැඞී රජයට එක්ව ඇමතිධූර බාරගත් අයගේ හැර වෙනත් කිසිදු දෙමළ ජාතිකයකුගේ ප‍්‍රතිචාරයක් සඳහන් නොවීමද සැලකිය යුතුය.)

කෙසේ නමුත් පැරණි පන්නයේ රාජ්‍ය සිතීමේ අවසානයක් මේ සමඟ සනිටුහන් වෙයි. රජය ශී‍්‍ර ලංකා රාජ්‍ය පිලිබඳ මතවාදය සිය ප‍්‍රචාරණ යාන්ත‍්‍රණය තුල යුධඋපක‍්‍රමයක් ලෙස (යුද්ධයක් කිරීමට ජනතාවගේ සහාය ලබාගැනීමට එය කළ යුතු වන අතර ඇමරිකාව ඇතුලු සෑම රටක්ම එය සිදු කරයි) ඉදිරියට ගෙන ආ නමුත් දකුණ වෙළඳපොළ යාන්ත‍්‍රණයට හසුවූයේ මීට බොහෝ පෙරය. දකුණේදී ජාතිය වෙළඳපොළ අළෙවිකරණ උපක‍්‍රමයක් පමණකි. යම්හෙයකින් උතුරටද මේ වෙළඳපොළ යාන්ත‍්‍රණය පැතිරගියේ නම් ප‍්‍රභාකරන් සමග මිය යාමට එකදු මිනිසකු හෝ ඉතිරි නොවනු ඇති අතර ප‍්‍රභාකරන්ද එය මනාව වටහාගෙන වෙළඳපොළ බලපෑමෙන් සිය බලප‍්‍රදේශයේ ජනතාව දැඩිව ආරක්‍ෂා කරගත්තේය. මේ බව රජයද මනාව වටහාගෙන ඇති බව පෙනී යන්නේ මෑතකදී මාතලේ කොටස් වෙළඳපොළ ශාඛාව විවෘත කරමින් බැසිල් රාජපක්‍ෂ මහතා සිදුකළ ප‍්‍රකාශයකිනි. “අපි යුද්ධයෙන් කළේ වෙන මුකුත් නොවෙයි, මෙතෙක්කල් උතුරේ විශාල ප‍්‍රදේශයක් සමස්ථ ආර්ථික යාන්ත‍්‍රණයෙන් බැහැරව පැවතුනා, අපි කළේ ඒ ප‍්‍රදේශය මේ ආර්ථික යාන්ත‍්‍රණයට ඇතුල් කරන එකයි”, ඔහු කියා සිටියේය. මේ අනුව සිංහල ජාතිවාදීන් කෙතරම් කෑමොර ගැසුවද (1976 දී යාපනය විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදීමට පවා මොවුහු විරුද්ධ වූහ ) නුදුරේදීම උතුරේ ප‍්‍රදේශ සීඝ‍්‍ර වෙළඳපොළකරණයකට ලක්වනු ඇති අතර ඒ සඳහා පාලම්, මහාමාර්ග, විදුලිය ඇතුලු බොහොමයක් යටිතල පහසුකම් සැලසෙනු ඇත. නැවත දෙමළ ජාතිකවාදය ඉස්මතුවීම වැලකී එය වෙළඳපොළ යාන්ත‍්‍රණය තුල දියකර දැමෙනු ඇති අතර සිංහල ජාතිවාදීන්ගේ මතය ජයග‍්‍රහණය කළහොත් පමණක් දෙමළ සටන නැවත පණ ලබනු ඇත. කෙසේ නමුත් පැරණි පන්නයේ සිතීමක් තුල දෙමළ ජාතියේ ඵෙතිහාසික අසාධාරණයට පිලිතුරක් ලබාගත හැකිව තිබූ අවසන් අවස්ථාවද මේ අනුව අහිමිවී යනු ඇති අතර තවදුරටත් එවැනි ඉල්ලීම් කිරීමට ජාතිකත්වය මත පදනම්වූ ඝනීභූත දෙමළ සිතීම අවසන් වනු ඇත. මේ අනුව CNN නාලිකවේ පෙන්වූ තල්ගස් අතරින් කාලතුවක්කු බැරලය පහත්වන රූප රාමුව අතිශය සංකේතාත්මතය.

කෙසේ නමුත් මේ අවසන් සටන සෞන්දර්යාත්මක යැයි මා සිතන්නේ එම පැරණි සිතීමේ අවසන් සටන මෙය වූ බැවිනි. තවදුරටත් ධීරත්වයට, නොවෙනස්වීමට අනාගතයක් නැත. නමුත් අපේ අතීතකාමයන් අපව තවදුරටත් ඊට ආශක්ත කරයි. ප‍්‍රභාකරන් ඇතුලු පිරිස එහි අවසන් විශිෂ්ඨ නිර්මාණය සම්පූර්ණ කළහ.

හෘද සාක්‍ෂිය

මේ දිනවල බෙහෙවින්ම කියැවෙන දුටු ගැමුණු රජුගේ පුරාවෘතයේ එක් වැදගත් සිදුවීමක් කෙරෙහි අවධානය යොමු කරමි. එළාර ඝාතනය කොට අනුරාධපුරය විජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව දුටුගැමුණු දුකට පත්වූ බවත් තමන් විසින් ඝාතනය කළ සතුරන් පිලිබඳව ඔහු මහත් වේදනාවට පත්වූ බවත් පුරාවෘතවල කියැවෙයි. ගණනාථ ඔබේසේකර පවසන ආකාරයට මෙම පුරාවෘතයන් තුල මෙම සිද්ධිය නිර්මාණය වීමෙන් නිරූපනය වන්නේ හෘදසාක්‍ෂිය සම්බන්ධයෙන් ගැමි බෞද්ධයා තුල වූ දැක්මයි. එය පැරණි ගැමි බදුදහමේ සාරය ඉවත්කෙරුනු නූතන විෂයමාලාගත නාගරික බුද්ධාගම තුල අන්තර්ගත නොවන්නකි. වර්තමාන යුධ ජයග‍්‍රහණ සැමරුමේදී නෑසී මියගොස් තිබුණේ මෙම හෘදසාක්‍ෂියයි. ‘මොනව වුනත් මගෙ පපුව හෝස් ගාල ගියා’ යනුවෙන් කී මා මිත‍්‍රයා නියෝජනය කළේ හෘදසාක්‍ෂිය දරාගත් ඒ අතිශය සුලූ පිරිසයි. ඕනෑම සමාජයකට හෘදසාක්‍ෂිය අතිශයින්ම වැදගත්ය. හෘදසාක්‍ෂියක් නැති මිනිසකුට කළ නොහැක්කේ කුමක්ද ? කෙනෙකුගේ හෘද සාක්‍ෂිය විසින් අප තුල නිර්මාණය කරන අතිශය සංවේදී චිත්තාවේගයන් හා මානසික ගැටුම නොමැති සමාජයක බොහෝ දේ ඉතා සරළ ලෙස සිදුවන අතර බොහෝ දේට ඉතා සරළ අරුත් ගැන්වීම් හා විසඳුම්ද පවතී (අද රට ජාතිය පිලිබඳ කථාබස් කරන ජාතිවාදී බහුතරයක් තුල නැත්තේද මේ හෘද සාක්‍ෂියයි).

හෘද සාක්‍ෂියක් නොමැති අතිශය නග්න වෙළඳපොළ සබඳතා, කුහකත්වය, ආත්මාර්ථය රජකරන ත‍්‍රස්තවාදයෙන් මිදුනු සුරක්‍ෂිත සමාජයක් අපට උරුමව ඇති අතර ඔබත් මමත් හෙට මුණගැසීමට නියමිත එම භූමියෙහිය. හෘද සාක්‍ෂිය විශ්වාස කරන සුලුතරයක් වූ මිනිසුන් සෑම අයෙකුම මහා පරිමාණයේ ප‍්‍රශ්ණ ගැන කථාකරනු වෙනුවට තනි මිනිසාගේ හෘද සාක්‍ෂිය පිලිබඳව අවධානය යොමුකළ යුතුයැයි මට සිතේ. දකුණේ ජනතාව අන් කවරදාකටත් වඩා පසුගිය කාළය තුල රාජ්‍යය සමඟ එක පෙළට සිටගන්නා ලදී. නමුත් සිදුවිය හැකි නරක දෙය නම් තමන් රාජ්‍ය නොවන බව ජනතාව විසින් අමතක කරදැමීමට ඇති ඉඩ ප‍්‍රස්ථාවයි. තමන් රාජ්‍ය නොවන බවත් තමන් හෘදසාක්‍ෂියක් දරාගත් තනි මිනිසෙක් බවත් සෑම අයකුම පසක් කරගත යුතුය. එනයින්ම රාජ්‍ය යාන්ත‍්‍රනයට වඩා තනි මිනිසාගේ හෘදසාක්‍ෂිය හා අභිමානය ගැන ජනතාව වදවිය යුතුය. හෙටදවසේ තම හෘදසාක්‍ෂිය ගැන වදවන මිනිසුන් පොඩි මිනිසාගේ අභිමානය ගැන වදවීම ඉතාමත් වැදගත් වන්නේ එය ඔබේත් මගේ මනුෂ්‍යත්වයට තීරණාත්මක වන බැවිනි.

වේලාව රාතී‍්‍ර 1. 35.
දැන් මට සහනයකින් යුතුව නින්දට යා හැක.

ප.ලි. 2009.05.20
මාවිල් ආරු සොරොව්ව මුදාගැනීමේ සිට මේ දක්වා මියගිය රජයේ හමුදා භටයින් ගණන 6,931 ක් බවත් තුවාල ලැබූ පිරිස විසිහයදහස් ගණනක් බවත් ආබාධිත වූ පිරිස දෙදහස් හයසිය ගණනක් බවත් ආරක්‍ෂක ලේකම්වරයා විසින් ප‍්‍රකාශ කරන ලදී.
ඔහුට අනුව යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින් සංඛ්‍යාව 21, 000 කට ආසන්නය. එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව පසුගිය වසර 2 තුල යුද්ධයෙන් මියගිය සාමාන්‍ය ජනතාව 8,000 කි. (සුනාමියෙන් ලංකාවේ 36, 000 ක් පමණ මියගිය බව විශ්වාස කෙරේ.
)
ප.ලි. 2009.05.21
යුධ ජයග‍්‍රහණ සැමරීමේ වැඩසටහන් හේතුවෙන් පසුගිය දිනවල විකාශය නොවූ මුතු කිරිල්ලී, පබා හා ඉතින් ඊට පස්සේ නාට්‍ය අද සිට යළි විකාශය ඇරඹින.

ප.ලි. 2009.05.22

‘උගතුන් හා දේශපාලඥයින් එකතුවී අලූත් මිත්‍යා සාධාරණීකරණය කිරීම බුද්ධ ධර්මය විකෘති කිරීමකි. එසේ සාධාරණීකරණය කරන්නෝ සිය බෞද්ධ උරුමයට පිටුපා ඇති අතර දුට්ඨගාමිණී අභයගේ චිත්තාග්නිය තුලින් මතුවන මහා සදාචාරාත්මක ප‍්‍රශ්ණය හා එහි ඇති වැදගත්කම ඔවුනට වැටහී නැත.’

‘සියුම් මනස් ඇත්තවුන් ඇසිය යුත්තේ සරළ ගැටුම් තුල අප සිතුම් සිරකරන, තරණය කළ නොහැකි ආගාධ වලින් අප වෙන්කරන ලෝක ස්වභාවය කුමක්දැයි යන්නය. හෘදසාක්‍ෂිය හා ලෝක ස්වභාවය අතර ඇති ගැටුම විසඳීම සුළුකොට තැකිය හැකි කර්තව්‍යයක් නොවේ. අතපය හකුලූවාගෙන යහනෙහි වකුටුවී “දකුණින් ගොලූ මුහුදය, උතුරින් හැඩි දෙමළුය, මම කෙසේ අත් පා දිගහරිම්දැයි” ඇසූ බොළඳ කොලු ගාමිණී අනුකරණය කිරීම, සතුරන් තුල යම් යහපත් ස්වභාවයක් දුටු වැඩිහිටි දුට්ඨගාමිණී අනුකරණය කිරීමට වඩා පහසුය.

‘දුටුගැමුණුගේ හෘද සාක්‍ෂිය’
– මහාචාර්ය ගණනාථ ඔබේසේකර

Advertisements

One thought on “දේශපාලනය”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )