සංස්කෘතිය

culture-tours-02

“ජනප්‍රිය සංස්කෘතිය විසින් විදග්ධ සංස්කෘතිය ගිලගෙන යනවා”

“මම මීට වසර ගණනාවක‍ට පෙර කිව්ව ආකාරයටම දැන් ජනප්‍රිය සංස්කෘතිය විසින් විදග්ධ සංස්කෘතිය ගිලගෙන යනවා. මේක මම මුලින් කියපු වෙලාවෙ විදග්ධ සංස්කෘතිය නියෝජනය කළ සියළු දෙනාම පාහේ ඇස් වසාගෙන සිටියා.”

සරත් අමුණුගම, රාවය, 2009 සැප්තැම්බර් 20 වැනි ඉරිදා, සංවාදය – විමලනාත් වීරරත්න

අප පහත පළකරන්නේ ජනප්‍රිය සංස්කෘතියේ ආගමනය පිළිබඳ සරත් අමුණුගම ගේ මුල්ම මුද්‍රිත ප්‍රසිද්ධ ප්‍රකාශය යි.

“සංස්කෘතිය යන්න වැවටත්, දාගැබටත් සීමා වූවක් නොවේ. එය රැකෙන්නේ පන්සලේ හා පාසලේ පමණක් නොවේ. මිනිසුන්ගේ සැබෑ ලොවේ සිතුම්-පැතුම්, රුචි අරුචිකම් සියල්ලම සංස්කෘතියට ගෝචර වෙයි. සිංහල සංස්කෘතිය අද ගොඩනැගෙන්නේ පන්සලේ සහ කුඹුරේ නොව රූපවාහිනී හා ගුවන්විදුලි මධ්‍යස්ථානවලය. කැසට් රෙකෝඩ්බාර් වලය. සිංහල චිත්‍රපට පෙන්වන සිනමාශාලා වලය. වේදිකා නාට්‍ය රඟදැක්වෙන රඟහල් තුළය.”

බිඳ වැටුණු සංස්කෘතික බලකණුව
සරත් අමුණුගම, විචිත්‍ර , 1987 ජූලි 25

නූතන සිංහල සංස්කෘතිය පිළිබද අලුත්ම පාඩම් පංතිය ඇරැඹිය යුත්තේ කනත්තෙනි. පසුගිය දා සිදුවූ අවමගූල් දෙකකින් සිංහල සංස්කෘතිය හා එහි නුදුරු අනාගතය පිළිබදව විශ්ව විද්‍යාලයකින් හෝ ලද නොහැකි පාඩමක් අප දෑස් ඉදිරියේම මැවී පෙනුනේය.

ජෝතිපාල හා රමණීගේ මලගම්වලට ආ දහස් සංඛ්‍යාත ජනකායට ඇතූළත් වූයේ කවුද? එයින් සියයට අනූවක්ම ලා බාල තරුණ තරුණියන්ය. වැල නොකැඩී ඔවුන් මාලිගාවත්තට හා ගම්පහටත් පසුව කනත්තටත් එක් රැස් වූයේ ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය පෝෂණය කළ “තරු” දෙකකට අවසන් ‍ෙගෟරව දැක්වීමටයි. ඉස්සර දේශපාලනඥයින්ට ‍පැවිද්දන්ට, සාහිත්‍යකාරයන්ට ලැබුණු පිළිගැනීම දැන් වෙනතකට හැරී සිනමා, රූපවාහිනී නළු නිළියන්ට හා ගායක ගායිකාවන්ට පිදේ. මේ වෙනස තූළින් අපට දැකගත හැක්කේ නූතන සිංහල සංස්කෘතියේ ප්‍රබල හර පෙරළියකි.

තරුණ ඉල්ලුම
මේ හර පෙරළියට හේතු දෙකකි. පළමුවැන්න අප ජනගහනයේ අනුපාතයයි. දෙවැන්න බහුජන මාධ්‍යයේ විකාශනයයි. නූතන සිංහල සංස්කෘතිය හැඩ ගැසෙන්නේ ලාංකික ජනගහනයෙන් සියයට හැටක් පමණ වන අවුරුදු 30 බාල නව තරුණ ‘වෙළදපොලේ’ අවශ්‍යතාවයන් අනුවයි. ඔවුන් ගේ ඉල්ලීම අනුව අද සිනමාව, නාට්‍යය, පුවත්පත් කලාව හා සාහිත්‍යය වෙනස් වෙමින් පවතී. නොබෝ කලකින් අප දේශපාලනය ද මේ තරුණ කැලගේ ඉල්ලුම අනුව අලුත් ස්වරූපයක් ගනු ඇත.

වීරයෙක්
ජෝතිපාල මේ තරුණ කල්ලියේ සංස්කෘතික වීරයෙක් වූයේය. ඔහුගේ අවමගුල් පෙරහැරේ දකින්නට ලැබුණේ “අප කලා රජාට නිවන් සැප ලැවේවා!” යි කියැවුණු නාම පුවරුයි. ඇත්තෙන්ම ජෝතිපාල මේ තරුණ පෙළේ ආදරය ලැබීමට සුදුස්සෙකි. සිංහල චිත්‍රපටයේ ප්‍රධානතම අංගයක් වන ගීතය ඔපවත් කළේ රසවත් කළේ ඔහුගේ කට හඬයි. ඇතැම් නරඹන්නන් ගාමිණී, විජය, ටෝනි, සනත් වැනි නළුවන්ගේ නියම කට හඬට වඩා ජෝති ඔවුන්ට ආරූඪ කළ කට හඬට ප්‍රිය වූවායැයි කීවොත් වැරදි නොවේ. සිංහල චිත්‍රපටවල ආදර ගීත සහ විරහගීත සියල්ලම ජෝති එක හුස්මටම කියා දැම්මේය.

අනික් අතට ඔහුගේ නිදහස් ජීවිතය ද ඔවුන්ට ප්‍රිය මනාප විය. ඔහු ඕනෑම පොදු සංගීත සංදර්ශනයක දී මුල්තැන ගත්තේය. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සංදර්ශන පැවැත් වූයේය. තරුණ තරුණියන් සන්ත්‍රාසයට පත් කරන හිතුවක්කාර ලෝකයේ ජෝති වීරයන්ගෙන් වීරයෙක් විය. කෑල්ලක් කැඩුණත් ඔහු සිතට එකඟව කතා කළේය. එමෙන්ම ඔහු අහිංසකයින්ට, කුඩා දරුවන්ට අතිශයින් ප්‍රිය කළේය. සැහැල්ලු ජීවිතයක් ගත කළේය. සැබෑ ලොවේ දුක් කම්කටොලුවලින් පළා යාමට තැත් කරන තරුණ පරම්පරාවකට ජෝති දුකින් තොර සිහින මල් යහනාවකට පැන එන ලෙස ආරාධනා කළේය. දුක් දොම්නසින් යුතු ලෝකයේ ජෝති ඔවුන්ට තාවකාලික වුවත් කාලෝචිත සහනයක් ගෙන දුන්නේය. මෙය සුලුපටු කාර්ය භාරයක් නොවේ.

සංස්කෘතිය යන්න වැවටත්, දාගැබටත් සීමා වූවක් නොවේ. එය රැකෙන්නේ පන්සලේ හා පාසලේ පමණක් නොවේ. මිනිසුන්ගේ සැබෑ ලොවේ සිතුම්-පැතුම්, රුචි අරුචිකම් සියල්ලම සංස්කෘතියට ගෝචර වෙයි. සිංහල සංස්කෘතිය අද ගොඩනැගෙන්නේ පන්සලේ සහ කුඹුරේ නොව රෑපවාහිනී හා ගුවන්විදුලි මධ්‍යස්ථානවලය. කැසට් රෙකෝඩ්බාර් වලය. සිංහල චිත්‍රපට පෙන්වන සිනමාශාලා වලය. වේදිකා නාට්‍ය රඟදැක්වෙන රඟහල් තුළය.

එන්න එන්නම අප බහුතරය සොයා [යන] විප්ලවය ඇත්ත වශයෙන් නිරූපනය වන්නේ මේ බහු මාධ්‍යය තුළිනි. ඔවුන් දකින්නේ කාල් මාක්ස් දුටු දාඩිය මුගුරු හෙළන අඳුරු ලෝකය නොවේ. සිනමා තිරයේ වර්ණයෙන් පිරි සිහින ලෝකයක් වෙතය, ඔවුන් පියනගන්නේ. එබැවින් මේ බහු මාධ්‍යය ඉහත කී තරුණ පරපුර හා එක්වනු ඇති. එය සංස්කෘතික ලෝකයේ පැට්‍රල් සමග ගින්දර එක් කිරීම හා සමාන විය හැකියි.

මෙහෙය
ජෝතිට ඉටු කිරීමට සිදුවූ මෙහෙය පැරණි සංගීත සම්ප්‍රදාය මේ තරුණ පරපුරට හඳුන්වාදීමයි. ඔහු උපතින්ම හොඳ රසඥානයක් හා රසිකත්වයක් ලැබුවෙකි. මුල් පුහුණුව අනුවත් ඔහුගේ චාම්, අවංක ගති ගුණ නිසාත් ඒ ශාස්ත්‍රීය සංගීත ලෝකය ජෝති ප්‍රිය කළේය. ඔහු “ප්‍රබුද්ධ” යැයි ගැණුනු ගායකයින්ගේ කොටසට නොවැටීම ගැන ඔහු අවංකවම කණගාටු වූයේය.

නොහැඳිනීම
අවාසනාවකට මෙන් අපේ බහු මාධ්‍යයනට අරක් ගත් නිළධාරීහු ජෝතිගේ මේ අවස්ථා දෙකක් යා කිරීමට ඇති හැකියාව හදුනා ගත්තේ නැත. රූපවාහිනියට හා කලකට පෙර ගුවන් විදුලියට ඔහු වැද්ද නොගැනීමෙන් ජෝතිව “කැසට්’ ගායකයෙක් කළේ, මේ බලපෑමයි. එසේ මහන්තත්ත්වයෙන් ඉදිමී, සංස්කෘතියට පටු අර්ථකනයක් දුන් නිළධාරීන් කර ඇත්තේ සිංහල සංස්කෘතියේ නව රැල්ල වන තරුණ පෙළ අප ශාස්ත්‍රීය සංගීතයෙන් හා සංස්කෘතියෙන් ඈත් කර තැබීමකි. එය ජෝතිට කරන ලද අසාධාරණයක් පමණක් නොව සිංහල සංස්කෘතියේ ඉදිරි ගමනට ද අකුල් හෙළීමකි.

Advertisements

One thought on “සංස්කෘතිය”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )