කුමුදු ගේ තීරුව

මහජන ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර පරතරය: නිදහස, ධනවාදය, සහ පුරාතන ග්‍රීක ජනරජය

ධනවාදී සමාජයේ ඇති නිදහස හැමවිටමත් පුරාතන ග්‍රීක ජනරජයන්හි මෙන් වහල් හිමියන් උදෙසා වන නිදහස හා සමව පවතින්නේය.
– ලෙනින්

ඉහත ලෙනින් ගේ ප්‍රකාශය ඉංග්‍රීසියෙන් පළව තිබු‍ණේ බූන්දි වෙබ් අ‍ඩවියේ ය.

“එය ශ්‍රමයේ යදම් වලින් නිදහස් කිරීමට ආසන්න, ශ්‍රමිකයන්ගේ සමාජයකි. මෙම සමාජය, මෙම නිදහස ඒ සඳහා දිනාගනු ලැබීම යෝග්‍ය වන, එම අනෙක් වඩා උසස් සහ වඩා අර්ථවත් ක්‍රියාකාරකම් තවදුරටත් නොදනී. මෙය මිනිසුන්ට එකට ජීවත් විමට සැළැස්වීම ශ්‍රමය විසින් කරනු ලැබෙන ආකාරය වන නිසා සමානාත්මවාදී වන මෙම සමාජය තුළ, එයින් මිනිසාගේ අනෙකුත් හැකියාවන් ප්‍රතිසංස්ථාපනයක් අලුතෙන් පටන් ගත හැකි වනු ඇති එක්කෝ දේශපාලනමය නැතහොත් අධ්‍යාත්මික ස්වභාවයේ කිසිදු ප්‍රභූතන්ත්‍රයක්, කිසිදු පංතියක් ඉතිරි කොට නොමැත.”
– හනා ආරන්ඩ්ට්, ධනවාදී සමාජය පිළිබඳ, The Human Condition, 5 පිටුව

මෙම අදහස තව පියවරක් ඉදිරියට ගෙන ගිය ලංකාවේ පශ්චාත් නූතනවාදීහු සිවිල් සමාජයේ “දෙබිඩි වත” හෙළිදරව් කරන්නේ යැයි කියමින් තමන්ගේ විවේචනයට බඳුන් වන්නවුන්ගේ දේශපාලනිකවන පෞද්ගලික දේයැයි ඔවුන් විශ්වාස කරන දේ “විග්‍රහයට” ලක් කිරීමෙන් මෙම පිරිස් දේශපාලන භූමියෙන් පළවා හැරීමේ ‍උත්සාහයක යෙදුණහ. එයින් සිදුවූයේ අපගේ දේශපාලන සාකච්ඡාව අතිශයින් දිළිඳුබවට පත්වීමයි. තමන් මානව හිතවාදී යැයි විශ්වාස කරන තරුණ තරුණියෝ ද අවිචාරයෙන් යුතුව මෙබඳු දුර්-විචාරයන්ට තවමත් අනුබල දෙති. මෙම තේමාව සාහිත්‍යයට පිවිසීම ඉහත පශ්චාත් නූතනවාදී සමාජ ස්ථරය ප්‍රමාද වී වුව ශිෂ්ට සම්පන්න භාවයක්, සංස්කෘතිකමය සවරූපයක් අත්පත් කරගැනීම ආරම්භ කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය.

අපගේ වැනි ධනවාදී සමාජයක ඉහත මුලින් කී ලෙනින්ගේ වැකිය උපුටා දක්වන්නට අප පොළඔවන්නේ අපට අද නිදහසක් නැතැයි යන හැඟීම විය යුතුය. ලාංකේය සමාජයේ අද අපට නැත්තේ කුමන ආකාරයේ නිදහසක් දැයි අප විමසිය යුතුය. ලංකාව අද ගුලැග් දූපතක් යැයි ඇතැමෙකු කියන විට එම අදහසේ වලංගුභාවය ප්‍රශ්න කරන්නට තවෙකෙකු ඉදිරිපත් ව සිටියි. “මට මගේ විවේචනයන් රූපවාහිනියේ ප්‍රකාශ කිරීමට හැකියාව තිබේ යන්නම ලංකාව ගුලැග් දූපතකි යන විස්තරය බොරු කරන්නේයැ” යි දයාන් ජයතිලක කියයි (බලන්න ).

ලංකාව, (ලෙනින් ගේ අනුප්‍රාප්තිකයා වූ) ස්ටාලින්ගේ රුසියාව හෝ හිට්ලර්ගේ ජර්මනිය හෝ ඒ දෙකම හෝ නොවන බව කියා සිටින දයාන් ජයතිලක, රසීන් සාලි නමැති ලංකාවේ උපන් ලංඩන් ආර්ථික විද්‍යා විශ්ව විද්‍යාලයයේ ආචාර්යවරයෙකු උපුටා දක්වමින් කියන්නේ ලංකාව අද පළමු වතාවට නොවන නමුදු සීසර්වාදී, ඡන්දබලය හිමි, ඒකාධිපතිත්වයක දිශාවට නැඹුරු ‍වීමේ අනතුර ඇති බවයි. (මෙම සටහන ලියන්නට ගත් පසු, දකුණු පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල විග්‍රහ කරමින් දයාන් ජයතිලක මීට එකතු කළේ වත්මන් රජය ඉදිරි මැතිවරණ තුළින් තනි පක්ෂයේ පාලනයක් කරා ලංකාව ගෙනයනු ඇති බවයි. ලංකාව, එක පවුලක් විසින් කෙරෙන පාලනයක් සඳහා කඩතුරාවක් ප්‍රජාතන්ත්‍රවාදයේ ආයිත්තම් විසින් සපයනු ලබනු ඇති (රාජ) වංශික ප්‍රජාතන්ත්‍රවාදයක් බවට රූපාන්තරණය වීමට ඉඩ ඇතැයි තිසරණී ගුණසේකර ලියුවාය. බලන්න.)

පොදු ව්‍යවහාරික අරුතින් ගත් කළ සීසර්වාදී ඒකාධිපතිත්වයක් යනු පාලකයා පරම ඒකාධිපතියකු වන පාලනයකි. තනි පුද්ගලයෙකු විසින් පාලනය කෙරෙන රජයකි. සීසර්වාදය පිළිබඳ ග්‍රාම්ස්චියානු විග්‍රහයට අනුව එය ප්‍රධාන පංති බලවේග දෙකක් අතර ගැටුමකදී විවිධ හේතූන් නිසා ඒ දෙකෙන් එකක්වත් බලයට පත්නොවන තත්ත්වයක් තුළ බලයට පත්වන අතරමැදි බලවේගයක ආඥාදායකත්වයකි. පවත්නා තත්ත්වයන්ට අනුව සීසර්වාදය පසුගාමී හෝ ඉදිරිගාමී විය හැකි යැයි ග්‍රාම්ස්චි කියා සිටියි. අප කතා කරමින් සිටින නිදහස පිළිබඳ කරුණට අදාළ වන්නේ සීසර්වාදය ආඥාදායකත්වයකි යන්නයි. එතුළ නිදහස නැතිව යා හැකිය යන්නයි. ඉතින් එබඳු ඒකාධිපති පාලනයක් යටතේ කුමන ආකාරයේ නිදහසක් කාට නැතිව යනු ඇත්දැයි අප විමසා බැලිය යුතුය.

ලෙනින් යෝජනා කරන බව පෙනෙන්නේ ධනවාදය තුළ ඇති නිදහස ධනපතියන්ට ඇති නිදහස බවයි. එය කුමන ආකාරයේ නිදහසක් ද? පුරාතන ග්‍රීක ජනරජයන්හි අගය කෙරුණු නිදහස වූයේ ධනවාදය තුල මෙන් ධනේශ්වර පුජාතන්ත්‍රවාදී නිදහස නොව ජනරජයේ පුරවැසියෙක් ලෙස යමෙකු ලබන නිදහස යි.

මේ පිළිබඳ සාකච්ඡාවකට පිවිසෙන්නට අවකාශයක් සළසා දෙන හෙයින් පළමුව, හනා ආරන්ඩ්ට් පුරාතන ග්‍රීක ජනරජයන්හි අගය කෙරුණු නිදහස පිළිබඳ ඉදිරිපත් කොට ඇති කරුණු කිහිපයක් සවිස්තරව පහත ගෙන හැර දක්වමි.

හනා ආරන්ඩ්ට්: පුරාතන ග්‍රීක ජනරජයන්හි අගය කෙරුණු නිදහස

මේ අනුව නිදහස් ලෙස සැළකුණු ජීවන ආකාරයන් තුනක් තිබුනි. ඒවාට පොදු ලක්ෂණයක් වූයේ ඒවා “සුන්දර” දේ, එනම්, අත්‍යවශ්‍යත් නොවන, හුදෙක් ප්‍රයෝජනවත්ද නොවන දේ, පිළිබඳ සැළකිල්ලක් දැක්වීමයි.


නිදහස: අවශ්‍යතාවන්ගෙන් මුළුමනින්ම නිදහස්වීම‍

හනා ආරන්ඩ්ට් The Human Condition කෘතියේ පෙන්වා දෙන පරිදි, ග්‍රීකයන් නිදහස යැයි විශ්වාස කළේ ජීවිතයේ අවශ්‍යතාවන්ගෙන් සහ ඒවායින් ඇති කෙරෙන සබඳතාවන්ගෙන් මුළුමනින්ම නිදහස්වීම‍ට හැකිවීමයි. නිදහස් ජීවන ආකාරයක් යන්න, වහලා නිරත වූ ශ්‍රමයේ (labour) යෙදීමෙන් ද, ශිල්පියා නිරත වූ වැඩෙහි (work) යෙදීමෙන්ද, මුදල් එකතු කිරීමෙහි නිරත වෙළඳාමෙන් ද පූර්ණ නිදහස ලැබීම අවශ්‍ය කෙරුණි. තමන් කැමති ආකාරයට එහා මෙහා යාමට සහ ක්‍රියාකාරකම්වල යෙදීමට ඇති නිදහස ස්වේච්ඡාවෙන් හෝ එසේ නොමැතිව හෝ මුලු ජීවිත කාලයටම හෝ තාවකාලිකව හෝ අහිමි වූ හැම දෙනම නිදහස් ජීවන ආකාරයක් යන්නෙන් බැහැර කෙරුණි. යමෙකු නිදහස් වීමට අවශ්‍ය ගුණාංග සතරක් එකල ග්‍රීක සමාජයේ පිළිගැනුණු බව ඇරිස්ටෝටල් උපුටා දක්වමින් හනා ආරන්ඩ්ට් පෙන්වා දෙයි. ඒවා නම්, තරාතිරම, පුද්ගල අනුල්ලංඝනීයභාවය, ආර්ථික කටයුත්තේ යෙදීමට ඇති නිදහස, සහ සීමා නොමැතිව එහා මෙහා යාමේ නිදහස යි. වහල්භාවය ට මෙම ගුණාංග හතරම අහිමි වීය. මේ අනුව තම කැමැත්තෙන්, තාවකාලිකව වුව ආර්ථික කටයුත්තේ යෙදීමට ඇති නිදහස, සහ සීමා නොමැතිව එහා මෙහා යාමේ නිදහස අත් හරින ශිල්පකරුද සීමිත වහල්භාවයක දිවිගෙවූ බව හඳුනා ගැනිණි. මුදල් ඉපයීමේ ජීවිතයද බලකිරීම මත සිදුවූ හෙයින් එයද නිදහස් ජීවිතයක් ලෙසින් නොසැළකිනි.

ඊට අනුව නිදහස් ලෙස සැළකුණු ජීවන ආකාරයන් තුනක් තිබුනි. ඒවාට පොදු ලක්ෂණයක් වූයේ ඒවා “සුන්දර” දේ, එනම්, අත්‍යවශ්‍යත් නොවන, හුදෙක් ප්‍රයෝජනවත්ද නොවන දේ, පිළිබඳ සැළකිල්ලක් දැක්වීමයි. එම ජීවන ආකාර තුන නම්, සුන්දර දේ දී ඇති අයුරින් පරිභෝජනය කෙරෙන කායික සුඛයන් භුක්ති විඳීමේ ජීවිතය, විශිෂ්ටත්වය එහි සුන්දර ක්‍රියාවන් බිහිකළ, පුරවර රාජ්‍යයේ කටයුතු සඳහා කැපවූ ජීවිතය, සහ ඒවායේ සදාකල් පවත්නා සුන්දරත්වය මිනිසාගේ නිෂ්පාදනය කිරීමේ මැදිහත්වීම මගින් උදාකළ නොහැකි වූ මෙන්ම ඒවා තමන් විසින් පරිභෝජනය කරනු ලැබීමෙන් වෙනස් කරනු නොහැකිද වූ, සදාකාලික දේ පිළිබඳ විභාග කිරීමට සහ අවලෝකනයට කැපවූ දාර්ශනිකයාගේ ජීවිතය යි.

පුරවර රාජ්‍යයේ සිටියෝ “සමානයන්” වූ අතර ගෘහය දැඩි අසමානතාව මත පදනම් වීය. නිදහස යන්නෙන් අදහස් කෙරුණේ ජීවිතයේ අවශ්‍යතාවට හෝ අනෙකෙකුගේ අණ යන දෙකටම යටත් නොවී සිටීම සහ තමාම අණ කරන්නකුගේ තත්ත්වයේ නොසි‍ටීමයි. ඉන් අදහස් කෙරුණේ පාලකයෙකු නොවීම මෙන්ම පාලනයට යටත් නොවීම වීය. ගෘහයේ තලය තුළ නිදහස නොතිබුණි. ගෘහයේ ප්‍රධානියා, එහි පාලකයා නිදහස් යැයි සැළකුණේ ගෘහයෙන් නික්මී සියල්ලන්ම සමානයන් වන දේශපාලන පරිමණ්ඩලය කරා යාමට ඔහුට බලය තිබුණු තාක් දුරට පමණි. දේශපාලන පරිමණ්ඩලයේ වූ සමානකම වූයේ යමෙකුගේ සමානයන් අතර ජීවත්වීම සහ සමානයන් සමග පමණක් ගණුදෙනු කිරීමයි. එය “අසමානයන්” සිටීම අභ්‍යුපගමය කළේය. හැමවිටමත් මෙම “අසමානයන්” පුරවර රාජ්‍යයක ජනගහණයේ බහුතරය වීය. එහෙයින්, සමානාත්මතාව නූතනයේ මෙන් යුක්තිය හා ගැට ගැසුණක් වනවා වෙනුවට නිදහසේ හරයම විය. නිදහස්ව සිටීම යනු පාලකභාවයේ ඇති අසමානත්වයෙන් නිදහස්විම සහ පාලනය හෝ පාලනය කරනු ලැබීම යන දෙකින් එකක්වත් නොමැති තලයක සැරිසැරීමයි.

අප දිනපතා ප්‍රයෝජනයට ගන්නා සහ පරිභෝජනය කරන අපගේ පෞද්ගලික වස්තූන් පොදු ලෝකයේ කුමන හෝ කොටසකට වඩා අතිශයින් ඉක්මණින් අවශ්‍ය කෙරේ. අවශ්‍යතාව නිදහස අහිමි කරයි. අවශ්‍යතාවේ බලවත්ක‍මෙහි ඇති ගාමක බලය ට මිනිසාගේ ඊනියා උසස් ආශාවන් සහ අභිලාශයන් සරිලන්නේ නැත. එය හැමවිටමත් මිනිසාගේ ඕනෑ එපාකම් සහ කනස්සල්ලට හේතුවන දේ අතර පළමු තැන ගනු ඇත. අවශ්‍යතාව සහ ජීවිතය අතරත් අවශ්‍යතාව සහ නිදහස අතරත් ඇත්තේ සංකීර්ණ සම්බන්ධයකි.

නිදහස පිළිබඳ නූතන සාකච්ඡාවන්හි නිදහස කවර විටෙකවත් ම‍ානව පැවැත්මේ විෂයමූලික තත්ත්වයක් ලෙස වටහා නොගැනේ, එය එක්කෝ ආත්මීයභාවය පිළිබඳ, සහමුලින්ම නිශ්ච‍යකෙරුණු හෝ නිශ්චයනොකෙරුණු අධිෂ්ඨානය පිළිබඳ ගැටලුවක් ලෙසින්, නැතහොත්, අවශ්‍යතාව තුළින් සංවර්ධනය වෙන්නක් ලෙස ඉදිරිපත් කෙරෙයි. මේ සියල්ලෙන් පෙන්නුම් කරන දෙය නම් නිදහස්ව සිටීම සහ අවශ්‍යතාව විසින් බලකරනු ලැබීම අතර ඇති විෂයමූලික සහ ස්පර්ශනීය වෙනස තවදුරටත් වටහා නොගැණෙන බවයි.

තමා අවශ්‍යතා‍වට යටත්ව සිටින්නේ යැයි නොදන්නේ නම් මිනිසාට නිදහස්විය නොහැකිය, මන්ද යත් නිදහස හැමවිටමත් දිනා ගනු ලබන්නේ, තමා අවශ්‍යතාවෙන් නිදහස් වීම සඳහා වන, ඔහුගේ කවරවිටෙකවත් මුලුමනින්ම සාර්ථක නොවන උත්සාහයන් තුළ වන හෙයිනි.

පෞද්ගලික සහ මහජන බෙදීම
ග්‍රීකයන් සැළකුවේ පෞද්ගලික තලයට අයත් දේ සැඟවිය යුතු දේ ලෙසය. නූතන යුගය වන තෙක්ම, මානව පැවැත්මේ ශාරීරික අංශය රහස්‍යභාවය තුළ සඟවා තැබිය යුතු ලෙසින් සළකනු ලැබිණි. මෙලෙසින්, ජීවන ක්‍රියාවලියේ අවශ්‍යතාව, පුද්ගලයාගේ දෛනික යැපීම සහ වර්ගයාගේ පැවැත්ම සමහ බැඳුණු දේ, පෞද්ගලික තලයට අයත් වීය. පෞද්ගලික සහ මහජන යන බෙදීම, ග්‍රීකයෝ, අනුපිළිවෙලින් අවශ්‍යතාව සහ නිදහස, නිරර්ථකභාවය සහ නිථ්‍යතාව, ලැජ්ජාව සහ ගරුත්වය යන බෙදීම් හා සම්බන්ධ කොට දුටුවහ. තමා අවශ්‍යතා‍වට යටත්ව සිටින්නේ යැයි නොදන්නේ නම් මිනිසාට නිදහස්විය නොහැකිය, මන්ද යත් නිදහස හැමවිටමත් දිනා ගනු ලබන්නේ, තමා අවශ්‍යතාවෙන් නිදහස් වීම සඳහා වන, ඔහුගේ කවරවිටෙකවත් මුලුමනින්ම සාර්ථක නොවන උත්සාහයන් තුළ වන හෙයිනි.

ග්‍රීකයන්ගේ අවබෝධයට අනුව පෞද්ගලික සහ මහජන යන බෙදීම, ගෘහය සහ පවුල, සහ දේශපාලනය, නැතහොත් ජීවිතය නඩත්තු කිරීම සහ පොදු ලෝකය අතර වන බෙදීමකට අදාළ වෙයි. පෞද්ගලික දේ මෙහෙයවෙන්නේ වුවමනා දේ සහ අවශ්‍ය දේ පදනම් කරගෙනය. මෙහිදී, පුද්ගලයා නඩත්තුව, පෝෂණය සඳහා අවශ්‍ය කෙරෙන ශ්‍රමය යෙදවීම, සහ මානව ජීවී වර්ගයාගේ පැවැත්ම, දරුවන් බිහිකිරීම සඳහා අවශ්‍ය ස්ත්‍රී ශ්‍රමය මූලික වෙයි. පෞද්ගලික තලයේ ලක්ෂණය ජීවිතයේ හදිසි අවශ්‍යතාවට යටත්ව සිටීම යි. එය අවශ්‍යතාව තුළින් උපත ලබයි.

ගෘහය තුළ ජීවිතයේ අවශ්‍යතා ජයගැනීම පුරවර රාජ්‍යය තුළ නිදහස සඳහා අවශ්‍ය කොන්දේසිය වීය. ධනවාදය යටතේ නිදහස පිහිටා ඇත්තේ දේශපාලන පරිමණ්ඩලය තුළ නොව සමාජීය පරිමණ්ඩලය තුළ ය. සමාජය යන නුතන අදහසේ හරය පුද්ගල අවශ්‍යතා වලින් මෙහෙයවෙන පුද්ගලයන්ගේ එකතුව යන්නයි. ප්‍රචණ්ඩත්වයේ බලය රජයේ ඒකාධිකාරය බවට පත් වන්නේ සමාජයේ නිදහස උදෙසාය. නූතන සමාජයේ ප්‍රචණ්ඩත්වය යුක්ති යුක්ත කරන්නේ සමාජයේ නිදහසයි.

ඇරිස්ටෝටල් යහපත් ජීවිතය ලෙස සැලකූ පුරවැසි‍යාගේ ජීවිතය “යහපත්” වූයේ එය හුදු ජීවිතයේ අවශ්‍යතාවන් ජයගැනීමෙන්, ශ්‍රමයෙන් සහ වැඩෙන් නිදහස් වීමෙන්, තමන්ගේම පැවැත්ම සඳහා සියලු ජීවමාන සත්ත්වයන් තුළ ඇති සහජ මහත් ආශාව ජයගැනීමෙන් එය තවදුරටත් ජීව විද්‍යාත්මක ජීවන ක්‍රියාවලියට තව දුරටත් ගැට ගැසී නැති හෙයිනි.

පුරවර රාජ්‍යය: නිදහසේ පරිමණ්ඩලය
නිදහස තනිකරම ස්ථානගත වි ඇත්තේ දේශපාලන තලයේය යන්න සියලු ග්‍රීක දර්ශනවාදීන් ගැටලුවකින් තොරව පිළිගෙන තිබුණි. අවශ්‍යතාව මූලිකවම පෞද්ගලික ගෘහ සංවිධානයට ආවේණික වන පූර්ව දේශපාලනික ප්‍රපංචයකි. මෙම පරිමණ්ඩලයේ බලය යෙදීම සහ ප්‍රචණ්ඩත්වය යුක්ති යුක්ත කෙරෙන්නේ ඒවා – උදාහරණ වශයෙන් වහලුන් මත පාලනය බලපැවැත්වීමෙන් – අවශ්‍යතාව ජය ගැනීමේ සහ නිදහස් බවට පත්වීමේ එකම මාර්ග වන බැවිනි. සියලු මිනිසුන් අවශ්‍යතාවට යටත් කොට ඇති හෙයින් අන්‍යයන් කෙරෙහි ප්‍රචණ්ඩත්වය දැක්වීමට ඔවුනට අයිතියක් ඇත. ප්‍රචණ්ඩත්වය යනු ලෝකයේ නිදහස සඳහා ජීවිතයේ අවශ්‍යතාවෙන් තමා විමුක්තිය ලැබීමේ පූර්ව-දේශපාලන ක්‍රියාවයි.

දුප්පත් වීම හෝ සෞඛ්‍යය පිරිහීම යන්නෙන් අදහස් කෙරුණේ භෞතික අවශ්‍යතාවට යට වීමයි, තවද වහලෙකු වීම යනු ඊට අමතරව මිනිසා විසින් නිර්මිත ප්‍රචණ්ඩත්වයටත් වීමට සිදුවීමයි. වහල්භාවයේ මෙම දෙයාකාර සහ ද්විත්ව “අසතුට” වහලාගේ සැබෑ පුද්ගල නිඃශ්‍රිතමය පැවැත්මෙන් ස්වාධීනය. නිතිපතා සහතික කෙරුණු වැඩට වඩා දිනපතා වැඩ සොයා යන්නට සිදුවීමේ වෙළඳපොළ තත්ත්වය අනාරක්ෂිත වුවත් එය ගෙනෙන නිදහස සළකා දුප්පත් මිනිසෙකු ඊට වඩ‍ා කැමති විය. හැම දිනකම තමන් රිසිසේ කිරීමේ නිදහස, නිතිපතා සහතික කෙරුණු වැඩින් ඇහිරුණි, දෙවැන්න, වහල්භාවය ලෙසින් සැළකුණි. බොහෝ ගෘහස්ථ වහලුන්ගේ පහසු ජීවිතයට වඩා කටුක, ‍ෙව්දනාසහගත ශ්‍රමය වඩ‍ා කැමැති මිනිසුන් වීය. සෙනො‍ෆෙන් ගේ Memorabilia කෘතියේ දී යුතීරස් සොක්‍රටීස්ට කීවේ මෙබඳු අදහසකි.

යහපත් ජීවිතය: පුරවැසි‍යාගේ ජීවිතය
ඇරිස්ටෝටල් යහපත් ජීවිතය ලෙස සැලකූ පුරවැසි‍යාගේ ජීවිතය “යහපත්” වූයේ එය හුදු ජීවිතයේ අවශ්‍යතාවන් ජයගැනීමෙන්, ශ්‍රමයෙන් සහ වැඩෙන් නිදහස් වීමෙන්, තමන්ගේම පැවැත්ම සඳහා සියලු ජීවමාන සත්ත්වයන් තුළ ඇති සහජ, මහත් ආශාව ජයගැනීමෙන් එය තවදුරටත් ජීව විද්‍යාත්මක ජීවන ක්‍රියාවලියට තව දුරටත් ගැට ගැසී නැති හෙයිනි.

නිදහස සඳහා වන ප්‍රබලතම ආවේගයන් එන්නේ නිරර්ථකභාවය, එනම්, ජීවිතය නිරර්ථකය යන්න කෙරෙහි වන බලවත් පිළිකුල වෙතිනි. “නිරර්ථකභාවය” පහසු දෙයක් ලෙස පෙනෙන විට, එනම් එය ගෙවීමට ගත යුතු උත්සාහය අඩුවන විට නිදහස සඳහා වන ආවේගයන් දුර්වල වනු ඇත. එමෙන්ම, නිරර්ථකභාවය පිළබඳ අදහසේ අනෙක් අන්තය වන, ස්වෛරීභාවය, එනම් සම්මුතිවිරහිත සවයංපෝෂිතභාවය සහ ජීවිතය හමුවෙහි කෙළපැමිණිබව පිළිබඳ අදහස නිදහසේ පදනම වන බහුවිධතාවේ අවශ්‍ය කොන්දේසියට විසංවාදී වෙයි.

ග්‍රීක පුරවර රාජ්‍යයන්හි පැවැති තත්ත්වයන් යටතේ දේශපාලන ක්‍රියාකාරකම අතිශයින් කාලය මිඩංගු කල යුතු කටයුත්තක් වීය. ඇතීනියානුවන්ගේ විශ්වාසය වූයේ යමෙකු දේශපාලනයේ නිරත වන්නට නම්, අන් හැම දෙයක්ම අභිබවා යාමේ ප්‍රවණතාවක් ඇති පෞද්ගලික ඵල ප්‍රයෝජනයන් විසින් මහජන ඵල ප්‍රයෝජනයන් යටපත් නොකරනු ඇති පරිද්දෙන්, පුද්ගලයා සාමාන්‍ය ජීවිතයේ සිත් තැවුල් සහ අවශ්‍යතා වලින් නිදහස්ව සිටිය යුතු බවයි.

පුරවැසිභාවය පිළිබඳ ඇතීනියානු සංකල්පය සම්බන්ධවූයේ එදිනෙදා “සාමාන්‍ය” ජීවිතයෙන් මිදුණු පුරවැසියා මහජන ලෝකයේ කාලය ගතකිරීමට ය. එදිනෙදා “සාමාන්‍ය” ජීවිතය තුළ “ජීවිතය” නඩත්තු කිරීමෙන් වෙනස්ව, දේශපාලන ක්‍රියාකාරකමෙහි අරමුණ වූයේ “යහපත් ජීවිතය” හඹා යාමය. ඇරිස්ටෝටල් දුටු පරිදි, “සාමාන්‍ය” ජීවිතය නොහොත් පෞද්ගලික ජීවිතය නඩත්තුව, නොනැසී ජීවත්වීම පිළිබඳ කටයුතු අයත් වූයේ ගෘහස්ථයේ තලයට — පවුල් ජීවිතය, ජීවවිද්‍යාත්මක පැවැත්ම යනාදියට ය. මේවා පුරවැසියාට යහපත් ජීවිතය ලුහුබැඳ යාමට අවශ්‍ය කෙරෙන “අධෝව්‍යුහය” සපයන්නේ නමුදු ඒවාම “යහපත් ජීවිතය” වන්නේ නැත. බොහෝ විට විවාදයට තුඩු දෙන, වහලුන් සහ ස්ත්‍රීන් පිළිබඳ ඇතීනියානු අවබෝධයට පදනම් වූයේ පුරවැසිභාවය සහ මහජන පරිමණ්ඩලය පිළිබඳ මෙම සුවිශේෂ සංකල්පීකරණයයි.

වහලුන් සහ ස්ත්‍රීන්ට නිදහස අහිමිවිම

“සාමාන්‍ය” ජීවිතයේ අවශ්‍යතාවන්ට පමණක් සබැඳි ක්‍රියාකාරකම්වලින් දේශපාලනය නිදහස් විය යුතුය යන ග්‍රීක අදහසෙහි අරුත වූයේ පෞද්ගලික ඵල ප්‍රයෝජනයන් සාමුහික උනන්දුව දිනාගත යුතු දේ ලෙස සලකා මහජන පරිමණ්ඩලයට වැද්ද ගැනීම, “සාමාන්‍ය” ජීවිතයේ අවශ්‍යතාවන්ට ඔබ්බෙන් වන පොදු ලෝකයට අදාල කරුනු කෙරෙහි යෙදී‍මට දේශපාලන ජීවිතයේ ඇති යොමුවට වළ කැපීමෙන් එය දේශපාලන ජීවිතය දූෂනය කරනු ඇතැයි යන විශ්වාසයයි.

“සාමාන්‍ය” ජීවිතයට සේවය කිරීමට අදාළ ගෘහයේ ක්‍රියාකාරකම්වලට සීමාවී දිවිගෙවීමට සිදුව තිබූ ස්ත්‍රීන් ද සමගින්, වහලුන් මෙන්ම ඔවුන් “සාමාන්‍ය” ජීවිතයට ගැටගැසූ වෘත්තීන් හි නිරතව සිටි අන්‍යයන්ද මහජන ලෝකයට ඇතුලු වීම‍ට සුදුසුකම් නොලද්දේ මේ හේතුව නිසාය. මෙතැන වූ අවබෝධය වූයේ මානවයන් පොදු ලෝකය නිමවන්නේ සහ රැකගන්නේ පුරවැසි සගයන් සමග එකට එක්ව කතා කිරීමෙන් සහ ක්‍රියා කිරීම තුලින් “සාමාන්‍ය” ජීවිතයට අදාළ වන කරුණු වලින් ඈත් වන්නට ඔවුන් ගන්නා උත්සාහයන් තුලින් පමණක් බවයි.

වහලුන් සහ ස්ත්‍රීන් ඇතන්ස්හි ඔවුන් ගතකළ ජීවිතවල ස්වභාවය නිසාම සාමාන්‍ය ජීවිතයේ අවශ්‍යතාවන්ට බැඳී සිටි අතර එහෙයින් ලෝකයේ කටයුතු වෙනුවෙන් නිරත වන්නට ඔවුහු නිදහස් නොවූහ. එහෙයින්, එකල පැවති සමාජීය තත්ත්වයන් තුළ වහලුන් සහ ස්ත්‍රීන් ට ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්තට සක්‍රීයව සහභාගීවීමේ නිදහස අහිමිවූයේ ඔවුන් වහලුන් සහ ස්ත්‍රීන් වීමම නිසා නොව ඔවුන් වහලුන් සහ ස්ත්‍රීන් වීම නිසා ජනරජය පවත්වාගෙන යෑමේ ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්තට සක්‍රීයව සහභාගීවීමට අවශ්‍ය කාලය ඔවුන් සතු නොවූ නිසාය. එලෙස දේශපාලනය සඳහා අවශ්‍ය කෙරෙන විවේකය නොමැති කමින් පුරවැසිභාවය නොලැබුයේ වහලුන් සහ ස්ත්‍රීන් පමණක් නොවේ.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස
ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන්හි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඉතා ඉහලින් අගය කෙරෙයි. නිදහස පිළිබඳ මෙම අදහස ධනේශ්වර මහජන අවකාශය තුළ එක් එක් පුද්ගලයාට තම මතය ප්‍රකාශනයට තිබිය යුතුයැයි විශ්වාස ‍කෙරෙන නිදහස සමග ගැට ගැසුණකි.

ඉහත සඳහන් කළ පරිදි, පුරාතන ග්‍රීක ජනරජයන්හි නිදහස ලෙස අග‍ය කෙරු‍ණේ සක්‍රීය පුරවැසියෙකු ලෙස අනෙකුත් පුරවැසියන් සමග තමන්ගේ ලෝකයේ ‘යහපත් ජීවිතය’ පිළි‍බඳ සංවාදයේ යෙදීමට ඇති නිදහසයි. මෙම නිදහසෙහි පදනම වූයේ දේශපාලනය සහ පුරවැසිභාවය පිළිබඳ සුවිශේෂ සංකල්පනයක් මිස ‘අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස’ ලෙසින් නූතනයේ අප අතර ප්‍රචලිත අදහස නොවේ.

හනා ආරන්ඩ්ට් ග්‍රීක පුරවර රාජ්‍යයේ පුරවැසියන් භුක්ති විඳි කථනයේ සහ සිතීමේ නිදහස පිළිබඳ කළ අවලෝකනයන්හිදී කියා සිටියේ (බලන්න, මාග්‍රට් කැනොවන් Hannah Arendt, A Reinterpretation of her political thought, 112-113 පිටු) මෙය එක් එක් තනි පුද්ගලයාට තම පෞද්ගලික මත සිතෙන් නිදහස් කරන්නට ඇති අයිතිය, එනම් ‘අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස’ ලෙසින් තේරුම් නොගත යුතු බවයි. ඊට ප්‍රතිපක්ෂව ග්‍රීක පුරවර රාජ්‍යයේ පුරවැසි නිදහස වූයේ බහුවිධ මිනිසුන් තම පොදු ලෝකය එතුළින් දකින, වෙනස් පර්යාලෝකයන් අතර සැරිසැරීමෙන් යථාව ග්‍රහනය කරගන්නට ඇති නිදහසයි. අපට යථාව අත්දකින්නට ඉඩ සළසන්නේ බහුවිධතාවයි. හනා ආරන්ඩ්ට් නිදහස ලෙස සැළකුවේ බහුවිධ මිනිසුන්ගේ අනේක ස්ථාවරයන්ගෙන් ‍එලි කරනු ලැබූ අවකාශය තුළ එම යථාව වටහා ගැනීමට ඇති නිදහස මිස අන් කිසිවක් නොවේ.

ඉහත මා ගෙන හැර දැක්වූ, හනා ආරන්ඩ්ට් ගේ විග්‍රහයට අනුව, පුරාතන ග්‍රීක ජනරජයන්හි වහල් හිමියන්ට ලැබුණු නිදහස ග්‍රීකයන් තේරුම් ගත්තේ සක්‍රීය පුරවැසියන් ලෙස දේශපාලනයෙහි නිරත වීමට ලද නිදහසක් ලෙසිනි යන අරුතින් ලෙනින් ගේ වැකිය අපට තේරුම් ගත හැක්කේ ධනවාදී සමාජයේ දේශපාලනයෙහි නිරත වීමට නිදහස ඇත්තේ ධනපතියන්ට මිස නිර්ධනයන්ට නොවන බවය.

ඉන් ගම්‍ය වන අනෙක් දෙය නම් සමාජවාදය යටතේ නිර්ධනයන්ට දේශපාලන නිදහස ලැබෙනු ඇති බවයි. නමුත් සැබැවින් ක්‍රියාත්මක වූ සමාජවාදී සමාජයන්හි දේශපාලන නිදහස සැබැවින් ලැබුනේ කාටද? යන්න වෙනම විමසා බැලිය යුතු කරුණකි.

මෙම අදහස තව පියවරක් ඉදිරියට ගෙන ගිය ලංකාවේ පශ්චාත් නූතනවාදීහු සිවිල් සමාජයේ “දෙබිඩි වත” හෙළිදරව් කරන්නේ යැයි කියමින් තමන්ගේ විවේචනයට බඳුන් වන්නවුන්ගේ දේශපාලනිකවන පෞද්ගලික දේයැයි ඔවුන් විශ්වාස කරන දේ “විග්‍රහයට” ලක් කිරීමෙන් මෙම පිරිස් දේශපාලන භූමියෙන් පළවා හැරීමේ ‍උත්සාහයක යෙදුණහ. එයින් සිදුවූයේ අපගේ දේශපාලන සාකච්ඡාව අතිශයින් දිළිඳුබවට පත්වීමයි. තමන් මානව හිතවාදී යැයි විශ්වාස කරන තරුණ තරුණියෝ ද අවිචාරයෙන් යුතුව මෙබඳු දුර්-විචාරයන්ට තවමත් අනුබල දෙති. මෙම තේමාව සාහිත්‍යයට පිවිසීම ඉහත පශ්චාත් නූතනවාදී සමාජ ස්ථරය ප්‍රමාද වී වුව ශිෂ්ට සම්පන්න භාවයක්, සංස්කෘතිකමය සවරූපයක් අත්පත් කරගැනීම ආරම්භ කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය.

පෞද්ගලික දේ දේශපාලනික ද?
මේ අනුව, පුරාතන ග්‍රීක ජනරජයන්හි නිදහස පිළිබඳ තිබූ අදහස තේරුම් ගන්නට නම්, “පෞද්ගලික දේ දේශපාලනිකයැ” යි විශ්වාස කරන ඇතැම් නුතන ස්ත්‍රීවාදීන්ට ප්‍රතිපක්ෂව යමින්, දේශපාලන ජීවිතය “සාමාන්‍ය” පෞද්ගලික ජීවිතයෙන් නිදහස්ව තබන්නට ග්‍රීකයන් යොමුකළ ඉහත හේතු ගැන සිතන්නට අප ‍යොමුවිය යුතුය. එහි හරය ඇත්තේ දේශපාලනයේ නිදහස භුක්ති විඳින්නට නම් මිනිසුන් මූලික අවශ්‍යතාවලින් නිදහස්ව සිටිය යුතුය යන අදහසෙහිය. ප්‍රංශ සහ අමෙරිකානු විප්ලව පිළිබඳ On Revolution කෘතියෙහි හනා ආරන්ඩ්ට් පෙන්වා දෙන කරුණක් වන්නේ දරිද්‍රතාව මුල්කොටගත් පෞද්ගලික ජීවිතයේ භෞතික අවශ්‍යතා විප්ලවයේ න්‍යාය පත්‍රයට ඇතුලු වීමෙන් නිදහස පිළිබඳ අරමුණ විතැන් වී ප්‍රංශ විප්ලවය අන්තිමේදී භීෂණයට යට වූ බවයි.

පෞද්ගලික දේ දේශපාලන තලයට වැද්දගැනීමේ ඇතිඅනතුර වන්නේ පුද්ගලයාගේ පැවැත්ම සහ වර්ගයාගේ පැවැත්ම සහතික කිරීම දේශපාලනයේ කටයුත්ත බවට පත්වීමත්, ඒ හේතුවෙන් දේශපාලනයේ කටයුත්ත විය යුතු ලෝකයේ පැවැත්ම සහතික කිරීම විතැන්වීමත් ය. නූතන සමාජය තුළ මිනිසුන් ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය කටයුතුවන ශ්‍රමයේ යෙදීම හෝ රැකියාවල යෙදීම අන් සියලු කටයුතු අභිබවා මුල් තැනට එන්නේ මේ හේතුවෙනි. ජීවිතය සඳහා මිනිසුන්ට එකිනෙකා මත රඳා පවතින්නට සිදුවේ – මිනිසා සමාජීය සත්ත්වයෙකු යැයි කිව හැක්කේ මෙම අරුතිනි – යන්න අන් සියල්ල පරදා මහජන ජීවිතයේ වැදගත් තැනට පත්වීම සහ හුදු පැවැත්ම හා සම්බන්ධ දේට ප්‍රසිද්ධියේ පෙනී සිටීමට ඉඩ සැළසීම ට නූතනයේ අපි සමාජය යැයි කියමු. (සම්මතයට අනුකූල වීමත්, අහංකේන්ද්‍රීය වීමත් සමාජයේ වැසියන්ගේ ලක්ෂණ ය. නිෂ්පාදනය සහ පරිභෝජනය සඳහා යොමුවූ පොදු ආර්ථිකයකින් මෙන්ම පොදු පෘථුජන සංස්කෘතියකින් ද සමාජය සමන්විත ය. අප ජනප්‍රිය සංස්කෘතිය යැයි කියන්නේ මෙම පරිභෝජන සංස්කෘතියට ය. ) මෙහි ඵල විපාකය ‘ස්වභාවික දෙයෙහි අස්වාභාවික වර්ධනය’ යැයි එනම් “ශ්‍රමයේ ඵලදාවේ නිරන්තරයෙන් වේගවත් කෙරුණු වර්ධනය” යැයි හඳුන්වනු ලබන දේ බවට හනා ආරන්ඩ්ට් තර්ක කරයි. මෙම විපර්යාසයේ ගම්‍යමාන වීම් අපට තවමත් නිසිලෙස වැටහෙන්නට පටන් ගෙන ඇත්දැයි සැක සහිතය. ඒ පිළිබඳ ආරන්ඩ්ට් ගේ විග්‍රහය කැටිකොට දක්වන උද්ධෘතයක් මෙම ලිපිය ආරම්භයේ දක්වා ඇත.

දේශපාලනය හා සදාචාරය
දේශපාලනය හා සදාචාරය අතර නැති සම්බන්ධය දෙස මකියවෙල්ලි බැලූ ආකාරය නූතනයන්ට මුලුමනින්ම ආගන්තුක බව පෞද්ගලික දේ දේශපාලනිකයැයි ගැනීමේ එලඹුම පෙන්වයි. දේශපාලනය ගතානුගතික සදාචාරයෙන් වෙන් කොට සැළකිය යුතුයැයි මකියවෙල්ලි කුමාරයා කෘතියේ කියා සිටියේය. මකියවෙල්ලි ගේ අදහස වූයේ ලෝකයට සහ දේශපාලනයට වැදගත් වන්නේ ‘සැබෑ’ සත්තාව, මිනිසුන්ගේ ක්‍රියා පිටුපස සැඟවුණු අභිප්‍රායයන් නොව දෘශ්‍යමානයන්, එනම් මිනිසුන් අනෙක් මිනිසුන් හමුවේ තමන් ප්‍රකාශමාන වන්නේ කෙසේද යන්න බවයි. මකියවෙල්ලි කියනු ඇත්තේ දේශපාලනයට වැදගත් වන්නේ ඒ සඳහා අවශ්‍ය කෙරෙන්නේ නම්, යමෙකු තමා සංස්‌කෘතික, විදග්ධ ලෙස පෙනී සිට ඒ බව ලෝකයාට ඒත්තු ගන්වන්නට සමත් වන්නේද යන්න බවයි. මෙලෙස සංස්‌කෘතික, විදග්ධ ලෙස පෙනී සිටින පුද්ගලය‍ාගේ පෞද්ගලික පීවිතය අසංස්කෘතික යැයි කීමෙන් අප අදහස් කරන්නේ ඔහුගේ වංචාව ලෝකයට හෙලිදරව් කරන්නටය. එවි‍‍ට ලෝකයා මෙම දෙබිඩි මිනිසා ප්‍රතික්ෂේප කරනු ඇත. එසේ නොවන්නේ නම් ලෝකයා සංස්කෘතිය යනුවෙන් වටහා ගන්නේ කුමක්දැයි අපට යලි සිතා බැලීමට සිදුවනු ඇත.

නූතන ස්ත්‍රීවාදීන් “පෞද්ගලික දේ දේශපාලනිකයැ” යි කීමෙන් උත්සාහ කළේ විවාහය තුළ, ගෘහය තුළ ස්ත්‍රීන් (සහ ළමුන්) අත්විඳින පීඩාකාරී තත්ත්වයන් දේශපාලනික විසඳුම් ලබා දිය යුතු පුරුෂාධිපත්‍යය පිළිබඳ කරුණකැයි කියන්නටය. (කැමිල පාලියා වැනි ස්ත්‍රීවාදී විචාරිකාවන් ඉහත ස්ත්‍රීවාදී අදහසේ වලංගුභාවය ගැඹුරින් ප්‍රශ්න කොට තිබේ.)

මෙම අදහස තව පියවරක් ඉදිරියට ගෙන ගිය ලංකාවේ පශ්චාත් නූතනවාදීහු සිවිල් සමාජයේ “දෙබිඩි වත” හෙළිදරව් කරන්නේ යැයි කියමින් තමන්ගේ විවේචනයට බඳුන් වන්නවුන්ගේ දේශපාලනිකවන පෞද්ගලික දේයැයි ඔවුන් විශ්වාස කරන දේ “විග්‍රහයට” ලක් කිරීමෙන් මෙම පිරිස් දේශපාලන භූමියෙන් පළවා හැරීමේ ‍උත්සාහයක යෙදුණහ. එයින් සිදුවූයේ අපගේ දේශපාලන සාකච්ඡාව අතිශයින් දිළිඳුබවට පත්වීමයි. තමන් මානව හිතවාදී යැයි විශ්වාස කරන තරුණ තරුණියෝ ද අවිචාරයෙන් යුතුව මෙබඳු දුර්-විචාරයන්ට තවමත් අනුබල දෙති. මෙම තේමාව සාහිත්‍යයට පිවිසීම ඉහත පශ්චාත් නූතනවාදී සමාජ ස්ථරය ප්‍රමාද වී වුව ශිෂ්ට සම්පන්න භාවයක්, සංස්කෘතිකමය සවරූපයක් අත්පත් කරගැනීම ආරම්භ කිරීමක් ලෙස පෙන්වා දිය හැකිය.

“දෙබිඩි බව” පිළිබඳ විවේචනය එක්කෝ ඉහත සඳහන් කළ ස්වෛරීභාවය පිළිබඳ අදහස ඉදිරිපත් කරන්නට යොදා ගත හැකිය. නැතහොත්, එය මිනිසත් බවේ සදාතනික අරගල භූමිය ලෙස වටහා ගත හැකිය. “දෙබිඩි බව” මුලුමනින්ම ජය ගත් ස්වෛරී මිනිසෙකු වෙතොත් ඔහු එක්කෝ ශාන්තුවරයෙකි, නැතහොත් ලොවට ඉතා දරුණු ව්‍යසනයක් මුදාහැරීමේ සමතෙකි. ශාන්තුවරයෝ ලොව විරලයහ. ලොවෙහි වාසනාවට, දෙවැනි ගණයට අයත්වන්නන් තම නායකයන් ලෙස පිළිගන්නා බහුජනතාවක් සිටින්නේ ඉතාම කලාතුරකිනි.

“දෙබිඩි බව” පිළිබඳ ගැටලුව ඉහත ආරන්ඩ්ට් ගේ විග්‍රහයේ එන පෞද්ගලික සහ මහජන තල දෙක අතර මිනිසා දෝලනය වීම හා සම්බන්ධ කොට සිතන්නට අපට හැකිය. සංස්කාතිකවීම, ශිෂ්ට වීම පිළිබඳ කරුණ පෞද්ගලික තලයට අදාළ පුද්ගල ජීවිතය නඩත්තුව සහ වර්ගයාගේ පැවැත්ම සහතික කිරීම හා සම්බන්ධ වන්නේ කෙසේදැයි සිතා බැලීම වටී.

යමෙකු, තමා යමක් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේද, එයම දැන දැනම තම පෞද්ගලික ජීවිතයේදී උල්ලංඝනය කරමින් ඒ බව සඟවන්නේ ද ඔහු දෙබිඩි වතක් අනුගමනය කරන්නෙකි යි අපට කිවහැකි යැයි සිතමි. එහිදී, ඔහු තමන් එලෙස උල්ලංඝනය කරන බව සඟවන්නේ එය ලෝකයා නොදි‍ටිය යුතු දෙයක් යැයි, දුසිරිතක් යැයි ඔහු දන්නා නිසා විය යුතුය. යමෙකු යමක් දුසිරිතක් බව දැන දැනත් එය කරන්නට පෙළ‍ෙඔන්නේ මන්ද? ඇරිස්ටෝටල් මීට දුන් පිළිතුර වූයේ ඇතැම් මිනිසුන් තම ලාලසාවන් විසින් යටපත් කරගනු ලැබෙන බවයි.

සංස්කෘතිකමය බව, ශිෂ්ට බව වරක් සම්පාදනය කරගත් පසු දිගින් දිගටම ඇඳිය හැකි ඇඳුමක් වැන්නක් නොවේ. මිනිසුන් තුළ යහපත් ගතිගුණ වගා විය හැක්කේ නිරන්තර භාවිතාවෙනි. මිනිසාට තම සංස්කෘතික බව, ශිෂ්ටකම රැකගැනීම‍ට සියලු කාලයන්ට, සියලු අවස්ථාවන්ට ගැලපෙන, කල්තබා සකස් කරන ලද සූත්‍රයක් නොමැත. අපට කළ හැක්කේ අප එකිනෙකාගේ එක් එක් සංස්කෘතික පසුබිමෙන් අප තුළ වගා කරන ලද පදනමෙහි සිට, ඉන් අප උගත් මූල අදහස් මත එක් එක් සුවිශේෂ අවස්ථාව පිළිබඳ කළ යුතු දේ ගැන විනිශ්චයකට එලඹීම සඳහා හොඳ නරක සලකා බැලීමයි. වැදගත් වන්නේ අප දැනුවත්ව එවැනි තෝරාගැනීමක් අරභයා අරගලයක යෙදෙන්නේද යන්න මිස මිනිසුන්ට ඔවුන් මුහුණ දෙන ආචාර ධර්මීය ගැටලු පිළිබඳ නිවැරදි පිළිතුරු දැනටමත් කල්තබාම සම්පාදනය කොට ගෙන තිබිය හැකියැයි විශ්වාස කිරීම නොවේ.

(මෙම ලිපියේ එන න්‍යායික අදහස් සඳහා මා හනා ආරන්ඩ්ට් ට ණය ගැතිය.)

Advertisements

“කුමුදු ගේ තීරුව” වෙත සිතුවිලි 2ක්

  1. ස්ත්‍රීවාදය සමාජයට විනාශයක් බටහිර රටවල ස්ත්‍රීවාදීන් පිරිමි විරෝධී ආකල්ප නිසා පවුල් අවුල් කර ගන්නවා.වුන්ට අවශ්‍ය වහල් කීකරු පිරිමින් නිර්මානය කරගන්න.මේක බටහිර රටවල විශාල ප්‍රශ්නයක්.ස්ත්‍රීවාදී මවුවරුන්ගේ විවිධ වධහිංසාවන්ට දහස් ගනන් පිරිමි දරුවෝ ලක් වෙනවා.ලිංගික හා ආර්ථික අවශ්‍යතා සඳහා විවාහ වුනත් වෛරය නිසා ඔවුන් ප්‍රශ්න ඇති කර ගන්නවා.පිරිමින්ට වෛර නොකර ස්ත්‍රීවාදියෙක් වෙන්න බෑ.තව අතකට දූවරුන් සම්ප්‍රදායිකව පිරිමින් කළ වැඩ වලට හුරු කරමින් පුතු කුස්සියට හුරු කරන ස්ත්‍රීවාදී මවුවරුන් ඉතා කෲර පිරිසක්.ඇත්තෙන්ම සියලු කාන්තාවන් ස්ත්‍රීවාදීන් වුනොත් මිනිසා ඩයිනොසරයො වගේ වද වෙලා යයි.පිරිමියෙක් විවාහ වෙන්න කලින් තමන්ගෙ මනාලිය ස්ත්‍රීවාදීද කියල හොයල බලන්න ඕනැ හැබැයි සමහර පිරිමි සොභාවයෙන් හා මානසික රෝගයක්(මැසෝකිසම්)විදියට ගැනුන්ට වදින පුදන කීකරු අය ඒ විදිහෙ පිරිමියෙක් නම් ස්ත්‍රීවාදියෙක් විවාහයට තෝරාගත්තාට කමක් නෑ.ඒ විවාහය සාර්ථකයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )