පශ්චාත් නූතනවාදය

පශ්චාත් නූතනවාදය ‍ ‍‍‍‍‍මොකාටද එන්නේ?
අර්ජුන පරාක්‍රම

අප පහත පළකරන්නේ ජනවාර්ගික අධ්‍යයනය සදහා වන ජාත්‍යන්තර කේන්ද්‍රයේ 1995 පැවති සමාජ න්‍යාය පිළිබද සම්මන්ත්‍රණ මාලාවේ අගෝස්තු 26 වන දින, “පශ්චාත් නූතනවාදය මොකාටද එන්නේ” යන තේමාව යටතේ ආචාර්ය අර්ජුන පරාක්‍රම විසින් පැවැත් වූ දේශනයෙන් සකස් කළ ලිපියකින් උපුටා ගත් කොටස් කිහිපයකි. එම සම්පූර්ණ දේශනය ඇතුලත් ලිපිය මුල්වරට පළවූයේ දියැස සඟරාවේ 14 කලාපයේ (1995 සැප්තැම්බර් මස) ය. උපුටා ගැනීම දියැසට ස්තුතිවන්තව ය.

I
පශ්චාත් නූතනවාදය නූතනවාදයට එරෙහි වූ ප්‍රතික්‍රියාවකි. සංසිද්ධියකි. සමාජ ප්‍රපංචයකි.

එහි බටහිර කේන්ද්‍රීය බවකුත්, ප්‍රාවීනවාදයකුත්, යටත් විජිතවාදී විකාශනයකුත් තියන බව මම කියනව. මුලින්ම මම අර්ථ දැක්වීමකට යනවා ජෝන් ප්‍රන්සුවා ලියොතාද්ගේ The Post Modern Condition කියන කෘතියට.සැබැවින් ම බොහෝ දුරට පශ්චාත් නූතනවාදය ගැන කතා කරද්දී මේක තමයි එක්තරා විදියකට බයිබලයක් හැටියට සදහන් කරන්නේ.

ලියොතාද්ගේ කෘතියේ හැදින්වීමේ මුල්ම වාක්‍යයේ කියන්නේ “the object of the study is the condition of knowledge in the most highly developed societies” (ඔහු ප්‍රංශ භාෂාවෙන් ලීවාට මේ ඉංග්‍රීසි පරිවර්තනය හොදයි කියා හැමෝම කියන නිසයි මම එම ඉංග්‍රීසි කෘතිය භාවිතා කරන්නේ) “I have decided to use the word, ‘post modern’ to describe that condition” කියලයි. ඒ කියන්නේ “ මෙම අධ්‍යයනය යොමු වී ඇත්තේ වඩාත්ම ඉහළින් සංවර්ධනය වූ සමාජවල දැනුම් සම්භාරයේ තත්ත්වය සලකා බැලීමටයි. මෙම තත්ත්වය විස්තර කිරීමට මා “පශ්චාත් නූතනවාදය “ යන වචනය යොදා ගැනීමට තීරණය කර තිබෙනවා” කියලයි.

ඒ පශ්චාත් නූතනවාදය එතැන අදාල වන්නේ වඩාත්ම ඉහළින් සංවර්ධනය වූ සමාජවලටයි. සංවර්ධනය වූ සමාජවලටවත්, ඉහළින් සංවර්ධනය වූ සමාජවලටවත් නොවෙයි. ලියොතාද් මේ හැඳින්වීමේ නැවතත් පශ්චාත් නූතනවාදය නිර්වචනය කරනවා “As the incredibility towards meta narratives” කියල. Metanarratives යන්න පරිවර්තනය කිරීම තරමක් අපහසු වුවත් මා එය පරිවර්තනය කරනවා, ආඛ්‍යාන තෝරා බේරා ගැනීම සඳහා යොදන මූලික හා ප්‍රධාන ආඛ්‍යානයන් ගැන අවිශ්වාසයක් තමයි පශ්චාත් නූතනවාදය තුළින් පිළිබිඹු වන්නේ කියල. උදාහරණයක් ලෙස මාක්ස්වාදී විග්‍රහය, මුලු මනුෂ්‍ය සංහතියම විමුක්තිය කරා යන ඒ ප්‍රධාන ධාරාව, අන්න ඒ වගේ දේවල් ගැන තියෙන අවිශ්වාසය පශ්චාත් නූතනවාදයට තුඩුදුන් තේමාවක් ලෙස ගත හැකියි. The obsolescence of meta narratives – incredibility කියන්නේ අවිශ්වාසය. Obsolescence කියන්නේ ඒවා යල් පැනපු බව පෙන්නුම් කිරීම. The obsolescence of meta narrative apparatus of Legitimation කියන්නේ මා අර මුලින් කිවූ ප්‍රධාන, මූලික ආඛ්‍යානයන් වලින් ඇතිවන ක්‍රියාදාමයේ දී සම්මත කිරීමේ නොහැකියාවක් තිබෙනවා, ඒවා සම්මත කරන්න බැහැ, ඒවා යල් පැනලා. සම්ප්‍රදායික මාක්ස්වාදය වැනි ප්‍රධාන දේවලුත් එහෙමයි. ලියොතාද් කියන්නේ ඒ දැනුම හා ඒ අවබෝධය තුළින් පශ්චාත් නූතනවාදය ඇති උනා කියලයි. හැබැයි, අපි මතක තියා ගන්න ඕන එයා අර කියපු මුල් සංකල්පය. එනම් මේවා අදාළ වන්නේ වඩාත්ම ඉහළින් සංවර්දනය වූ සමාජවලට කියන එක. එය නැවත නැවත කියවෙනවා. හතර පස්වතාවක් කියැවෙනවා. එම පොතේම ඔහු කියනවා අපට ප්‍රධාන හෝ මහා ආඛ්‍යානයන්ගේ පිහිට පතන්නට දැන් නොහැකියි. කුඩා ආඛ්‍යානයන් පරිකල්පනීය නිර්මාණවල ඉතා උසස් හරය ඇති අවස්ථාවන් ලෙස අප සලකනවා කියලා. අර ප්‍රධාන ආඛ්‍යානයන් සමස්ත සමාජයම තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය කියන එක එතරම් වලංගු නැහැ. එහෙත් මෙහි පසු නූතනවාදය කියලා මම හඳුන්වන පශ්චාත් නූතනවාදයේ modernism හෙවත් නූතනවාදය යන පදයත් දැන් පශ්චාත් නූතනවාදය කියලා මම හැදින් වූ ලියොතාද්ගේ නිර්වචනයත් මතක තියාගෙන අපි ටිකක් පස්සට යමු.

පශ්චාත් නූතනවාදයක් වෙන්න නම් ඊට කලින් නූතනවාදයක් කියා සංකල්පයක් තිබිය යුතුයි. ඒ සංකල්පයට ඉතිහාසයකුත් තිබෙනවා. ඒ ඉතිහාසය අපි බැහැර කළොත් එම ඉතිහාසයේ ප්‍රතිඵල අපට නැවත විඳින්න සිදු වෙනවා. මට මේක කියන්න පුළුවන් උදාහරණ දෙක තුනක් නොවෙයි රාශියක් අරගෙන. මම කිහිපයක් ගන්නම් මගේ ක්ෂේත්‍රයෙන්. ඇත්තෙන්ම මම ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඉංග්‍රීසි විෂය ඉංග්‍රීසි අධ්‍යයන ක්ෂේත්‍රයේ අධ්‍යයන කලාවේ ශික්ෂණයක් (discipline) ලෙසට බිහි වූයේ පැහැදිලිවම යටත් විජිත ව්‍යාපෘතියේ එක වැදගත් අංගයක් හැටියටයි. ඊට කලින් ඉංග්‍රීසි ඉගෙන ගත්තේ එංගලන්තයේ, ඉගෙන ගන්න බැරි සමාජ කොටස් ලෙස සැලකුණු ගැහැණුන් හා කම්කරුවන් පමණයි ඉගෙන ගන්න පුළුවන් අය ඉගෙන ගත්තේ ලතින් හා ග්‍රීක් වගේ භාෂාවන්. ඉංග්‍රීසි බව පිට රටට අපනයනය කරන්න යටත් විජිත ව්‍යාපෘතීන්ට අවශ්‍ය උනාම ඉංග්‍රීසි වලට යම් ස්ථානයක් ලැබුණා. එය යම්කිසි ශික්ෂණයක් බවට පත් උනා. දැන් මේ ඉතිහාසය අපට හොර කරන්න බැහැ. ඉංග්‍රීසි භාෂාව, ඉංග්‍රීසි ශික්ෂණය තුළ මේ ඉතිහාසයේ විකාශනයක් ගැබ්වෙලා තියෙනවා. නූතනවාදයත් ඒ වගේ තමයි. නූතනවාදී ව්‍යාපෘතිය අහිංසක එකක් නොවේ.

තව උදාහරණ කීපයක් අපට දෙන්න පුළුවන්. තව උදාහරණයක් භාෂාවෙන්ම ගනිමු. Villain කියන වචනය ඔයාලා අහලා ඇති. එහි අර්ථය දුෂ්ටයා කියන එකයි. මේ දුෂ්ටයා කියන වචනයේ මූලික ඉඟිය ආවේ ගොවියා යන වචනයෙන්. ගොවියා කියන වචනය දුෂ්ටයා උනේ ගොවීන්ට භාෂාව පිළිබද ආධිපත්‍යය තිබූ නිසාද? ගොවීන් වැඩ කරන තැනක ගොවියා දුෂ්ටයා වන්නේ නෑනේ. අන්න ඒ නිසා තමයි මම මේවාට ඉතිහාසයක් තියෙනවා කියලා කියන්නේ.

ඉතිහාසය අමතක කරන්න බැහැ. පශ්චාත් නූතනවාදය විශ්වීගත කිරීමේදී මේ ඉතිහාසය බටහිර යුරෝපයේ යම්කිසි නිශ්චිත ස්ථානයක, නිශ්චිත ක්‍රියාවලියක, විශේෂයෙන්ම යටත් විජිත ව්‍යාපෘතියක් වැනි එකක එක්තැන් වීම හා සම්බන්ධ නූතනවාදයට ආ ප්‍රතික්‍රියාවක් හැටියට මේ පශ්චාත් නූතනවාදී ඉතිහාසය අපි අමතක කරනවා. එහෙම අමතක කරලා මේක හැමෝටම අදාළ, විමුක්තිය ලබා දෙන සංකල්පයක් හැටියට සලකනවා.

මම තව උදාහරණයක් පස්සේ පෙන්වන්නම්, නූතනවාදය හුදෙක් බටහිර පදනම් වූ එහි විකාශනය වූ දෙයක්. එම නූතනවාදය ගැන එක කියමනක් පමණක් විදහා පාන්නම්. මේ මෑතක ඇති වූ දෙයක්, බලන්න මේ නූතනවාදය අපට හිමි වුනු දෙයක් ද, වලංගු දෙයක් ද කියලා. මෙය ලියන්නේ මාෂල් බර්මන්. ඒත් මාක්ස්වාදී සම්ප්‍රදායකට එක් පැත්තකින් කියන එකක්. “ I will call this body of experience modernity”. මම මේ අත්දැකීමි රැස නූතනවාදය ලෙස හඳුන්වනවා …….. to be modern is to find ourselves in an environment that promises us adventure, power, joy, growth, transformation of ourselves and the world.” ඒ කියන්නේ බලය, සංතෝෂය, වර්ධනය, අපිමත්, ලෝකයත් විපර්යාස කිරීම. මේකයි නූතනවාදය කියන්නේ. මේකයිනූතන බව කියන්නේ. අපිට මේක හිමිද?

(මීළඟට: ” පශ්චාත් නූතනවාදය යනු කුමක් ද? ” )

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )