කලාව

” නූතන කලාව ”සංස්කෘතියට” විරුද්ධ ව කැරලි ගැසූයේ මන්ද?” : අවරසිකභාවය පිළිබඳ කරුණ
සංස්කෘතියේ අර්බුදය:එහි සමාජීය හා එහි දේශපාලන වැදගත්කම – 2 වැනි කොටස

-හනා ආරන්ඩ්ට්

“සංස්කෘතික දෑ විනිශ්චය සඳහා සමාජීය නොවන හා අව්‍යාජ එක ම නිර්ණායකය, ඒවායේ සාපේක්ෂ ස්ථිරත්වය හා අවසන් අමරණීයත්වය පවා වන්නේ ය. සංස්කෘතික වස්තුවකැ යි අවසන් වශයෙන් කියා ගත හැක්කේ සියවස් ගණනාවක් තිස්සේ පවතින්නකට පමණි. මේ පිළිබඳ වැදගත් කාරණය වන්නේ, අතීතයේ අමරණීය කෘති, සමාජීය හා පෞද්ගලික ශිෂ්ටත්වයේ හා ඊට පිරිනැමුණු තත්ත්වයේ අරමුණු වස්තූන් බවට පත් වූ වහා ම, ඒවායේ ඉතා වැදගත් හා මූලාංගික වූ පාඨකයා හෝ පේ‍්‍රක්ෂකයා ග‍්‍රහණයට ගෙන සියවස් ගණන් තිස්සේ සසල කිරීමේ ගුණය ඒවාට අහිමි විය.”

” බිත්තියේ හිලක් වැසීමට චිත‍්‍රයක් යෙදීම ප‍්‍රයෝජනවත් හා සුජාත වන්නා සේම, යම් කිසි කාල පරිච්ඡෙදයක් පිළිබඳ යමෙකුගේ දැනුම පරිපූර්ණ කර ගැන්ම සඳහා චිත‍්‍රයක් දෙස බැලීම ද ප‍්‍රයෝජනවත් හා සුජාත විය හැකිය. අවස්ථා දෙකෙහි දී ම කලා කෘතිය භාවිත කෙරුණේ යටි අරමුණු සඳහා ය. මෙම භාවිත, සුජාත වූයේ හෝ නොවූයේ හෝ, කලාව සමග නියම සංවාසය ඇති කිරීමක් නොවන බව, යමෙකු දැන සිටින තාක් සියල්ල යහපත් ය. උගත් අවරසිකයා සම්භාව්‍ය කෘති කියවන්නේ ය, නමුත් ඔහු එසේ කළේ ඔහුම දැනුවත් කෙරෙන්නේ කෙසේද යන්නට වඩා වැදගත් දේ ෂේක්ස්පියර් හෝ ප්ලේටෝ ඔහුට කීමට ඉඩ තිබුණේය යන කරුණ කොහෙත්ම නොදැන සිටීමෙන් ස්වයං පරිපූර්ණත්වය අත්කර ගැනීමේ යටි අරමුණ මගින් මෙහෙය වනු ලැබීමෙන්ය යන්න උගත් අවරසිකයා හා සම්බන්ධ අර්බූදය නොවේ.”

අප පහත පළකරන්නේ හනා ආරන්ඩ්ට් ගේ Between Past and Future නමැති කෘතියේ ඇතුලත් “The Crisis in Culture” නමැති ලිපියේ අංග සම්පූර්ණ පරිවර්තනයක දෙවැනි කොටසයි.

කරුණු ඉන් නැවතිණි නම්, සමාජයට විරුද්ධ ව එල්ල කැරුණු ප‍්‍රධාන අවලාදය එහි සංස්කෘතියෙන් තොර බව හා කලාව කෙරෙහි උනන්දුවෙන් තොර බව පමණක් ව තිබිණි නම්, අප මෙහි විමසුමට ලක් කරන සංසිද්ධිය, සත්‍යවශයෙන්ම පවතිනවාට වඩා අවුල් සහගත බවින් සෑහෙන්නට අඩු වන්නට තිබිණි; ඒ ආකාරයෙන් ම, නූතන කලාව එහි ම ”සංස්කෘතික” ඵල–ප‍්‍රයෝජන සඳහා සරලව හා විවෘතව සටන් කිරීම වෙනුවට, ”සංස්කෘතියට” විරුද්ධ ව කැරලි ගැසූයේ ඇයි ද යන්න තේරුම් ගැන්ම පවා ඉතා දුෂ්කර වනු ඇත. මෙහි දී වැදගත් කරුණ වන්නේ, ”අසංස්කෘත (නැහැදුණු)” හා සාමාන්‍ය දෙයක්ව පැවතීමෙන් හුදෙක් සංයුක්ත වන, මේ ආකාර අවරසිකභාවය, ඉතා ඉක්මනින් ම, ඊට පරස්පර අන්දමින්, මේ සියලූ ඊනියා සංස්කෘතික හරයන් කෙරෙහි, සමාජය පමණටත් වඩා උනන්දු වීමට පටන් ගත්, වෙනත් වර්ධනයක් මගින් යටපත් කරනු ලැබීම ය. සමාජ තත්ත්වය සහ තරාතිරම වැනි ස්වීය අරමුණු සඳහා ”සංස්කෘතිය” ඒකාධිකාරයකට නතු කර ගැන්මට සමාජය පටන් ගති. තමන් වංශාධිපතියන්ට හා, හුදෙක් මුදල් ඉපයීමේ ග‍්‍රාම්‍යභාවයට වංශාධිපතීන් දැක්වූ පිළිකුලටත් එරෙහිව දුෂ්කර අරගලයක යෙදී සිටින බව – ඔවුන් අවශ්‍ය ධනය හා විවේකය අත්පත් කර ගත් වහාම – තේරුම් ගත් යුරෝපීය මධ්‍යම පන්තීන්ගේ පහත් සමාජීය තත්ත්වය ඊට බොහෝ හේතු විය. සමාජ තත්ත්වය සඳහා වූ මෙම සටනේ දී, යමෙකු සමාජීය වශයෙන් ඉදිරියට ගෙන යාම සඳහා සහ යථාර්ථය පිහිටා ඇතැයි අදහස් වූ වඩා පහත් කලාපයන්ගෙන් බැහැරට, චමත්කාරය හා ජීවගුණය වසන්නේ යැ යි අදහස් වූ උසස් යථා–නො වන කලාපයන් වෙත ඉහළට “අධ්‍යාපනය ලබා ගැනීම” සඳහා හොඳින් ම සුදුස්ස නොවී නම්, එක් අවියක් වශයෙන් සංස්කෘතිය මහා කාර්යභාරයක් ඉටු කිරීම ඇරඹී ය. කලාව හා සංස්කෘතියේ ආධාරයෙන් මෙසේ යථාර්ථයෙන් පැනයාම, වැදගත් ය, ඒ එය සංස්කෘතික හෝ උගත් අවරසිකයාගේ මුහුණුවරට එහි ඉතා කැපී පෙනෙන ලක්ෂණ දුන් නිසා පමණක් ම නොව, කලාකරුවන් ඔවුන්ට අලූතින් හමු වූ අනුග‍්‍රාහකයන්ට විරුද්ධ ව ගෙන ගිය කැරැල්ලේ තීරණාත්මක සාධකය වූවා විය හැකි ද නිසා යත ඔවුන් කළ දෙයෙහි සියලූ අරුත් සුන් වනු ඇති, සාටෝප කතාබහේ පරිමණ්ඩලයකට යථාර්ථයෙන්, පලවා හරිනු ලැබීමේ අනතුරුදායක බව ඔවුන්ට ඉව වැටිණි. උදාහරණයක් වශයෙන්, අයර්ලන්තයේ අර්තාපල් සාගතයේ දී, මෙම වදන සාමාන්‍ය ලෙස භාවිත කිරීමෙන් තමන් ඒසා පහත් කරගැනීමට හෝ ඒසා අප‍්‍රසන්න යථාර්ථයක් සමග සම්බන්ධ වීමේ අවදානමට ලක් වීමට අකමැති ව, එතැන් පටන්, එම බොහෝ වශයෙන් ආහාරයට ගැනෙන එළවළුව ”අර අලය” යනුවෙන් හැඳින්වීමට තරම් ”විනීත” බවට පත් වූ සමාජයක් විසින් පිළිගනු ලැබීම වඩාත් සැක සහිත ප‍්‍රශංසාවක් විය. මෙම කතාව, උගත් හැදියාවට ලක් වූ අවරසිකයා පිළිබඳ නිර්වචනය කැටි කර ගෙන ඇත.3

මෙහි පරදුවට තබා ඇති දෙය කලාකරුවාගේ මානසික තත්ත්වයට වඩා බොහෝ වැඩි දෙයක් බව නිසැක ය. එය, ස්පර්ශනීය දේ ඊට අඩංගු වන තාක් ”පොත් සහ චිත‍්‍ර, ප‍්‍රතිමා, ගොඩනැගිලි සහ සංගීතය” රටවල ජාතීන්ගේ, සහ, අවසන් වශයෙන් මනුෂ්‍ය වර්ගයාගේ වාර්තා ගත සමස්ත අතීතය වටහාගන්නා හා ඊට සාක්ෂ්‍ය දරන සංස්කෘතික ලෝකයේ විෂය මූලික තත්ත්වය වේ. ඒ අනුව, මෙම සුවිශේෂ සංස්කෘතික දෑ විනිශ්චය සඳහා සමාජීය නොවන හා අව්‍යාජ එක ම නිර්ණායකය, ඒවායේ සාපේක්ෂ ස්ථිරත්වය හා අවසන් අමරණීයත්වය පවා වන්නේ ය. සංස්කෘතික වස්තුවකැ යි අවසන් වශයෙන් කියා ගත හැක්කේ සියවස් ගණනාවක් තිස්සේ පවතින්නකට පමණි. මේ පිළිබඳ වැදගත් කාරණය වන්නේ, අතීතයේ අමරණීය කෘති, සමාජීය හා පෞද්ගලික ශිෂ්ටත්වයේ හා ඊට පිරිනැමුණු තත්ත්වයේ අරමුණු වස්තූන් බවට පත් වූ වහා ම, ඒවායේ ඉතා වැදගත් හා මූලාංගික වූ පාඨකයා හෝ පේ‍්‍රක්ෂකයා ග‍්‍රහණයට ගෙන සියවස් ගණන් තිස්සේ සසල කිරීමේ ගුණය ඒවාට අහිමි විය.

”සංස්කෘතිය” කියන නම ම සැකයට ලක් වීමට, හරියට ම හේතුව වන්නේ මැතිව් ආර්නෝල්ඞ්ට අනුව ”මිහිරිබව හා ආලෝකය හඹායාම” යන්නට සමාන වූ, ”පරිපූර්ණත්වය හඹායාම” යන්න ඉන් අදහස් කෙරුණු හෙයිනි. ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ වෙනත් කවර හෝ අරමුණක් ඉටු කිරීමේ දීට වඩා, ස්වයං අධ්‍යාපන හෝ ස්වයං පරිපූර්ණත්ව අරමුණ ඉටු කිරීමේ දී වැරදියට භාවිතය අඩු වන්නේ නැතත බිත්තියේ හිලක් වැසීමට චිත‍්‍රයක් යෙදීම ප‍්‍රයෝජනවත් හා සුජාත වන්නා සේම, යම් කිසි කාල පරිච්ෙඡ්දයක් පිළිබඳ ව යමෙකුගේ දැනුම පරිපූර්ණ කර ගැන්ම සඳහා චිත‍්‍රයක් දෙස බැලීම ද ප‍්‍රයෝජනවත් හා සුජාත විය හැකිය. අවස්ථා දෙකෙහි දී ම කලා කෘතිය භාවිත කෙරුණේ යටි අරමුණු සඳහා ය. මෙම භාවිත, සුජාත වූයේ හෝ නොවූයේ හෝ, කලාව සමග නියම සංවාසය ඇති කිරීමක් නොවන බව, යමෙකු දැන සිටින තාක්, සියල්ල යහපත් ය. උගත් අවරසිකයා සම්භාව්‍ය කෘති කියවන්නේ ය, නමුත් ඔහු එසේ කළේ ඔහුම දැනුවත් කෙරෙන්නේ කෙසේද යන්නට වඩා වැදගත් දේ ෂේක්ස්පියර් හෝ ප්ලේටෝ ඔහුට කීමට ඉඩ තිබුණේය යන කරුණ කොහෙත්ම නොදැන සිටීමෙන් ස්වයං පරිපූර්ණත්වය අත්කර ගැනීමේ යටි අරමුණ මගින් මෙහෙය වනු ලැබීමෙන්ය යන්න උගත් අවරසිකයා හා සම්බන්ධ අර්බූදය නොවේ. එම අර්බුදය වූයේ, යථාර්ථය ඔහුගේ ජීවිතයෙන් බැහැර කර තැබීමට”උදාහරණ වශයෙන්, අර්තාපල් සාගතය වැනි ”රසසුන්” දේ”හෝ ”මිහිරි බවේ හා ආලෝකයේ” දැලක් තුළින් ඒ දෙස බැලීමට, ඔහු ”ශුද්ධ කාව්‍යයේ” කලාපයක් තුළට පැන යාම ය.

මෙම ආකල්පය විසින් කුළුගන්වන ලද හා එයින් පෝෂණය වූ, තරමක් නිග‍්‍රහයට ලක් විය යුතු වූ කලා නිර්මාණ අපි හැම දනිමු, කෙටියෙන් කියතොත්, ආකාරය හා ශෛලිය ගැන හැඟීමක් නොවීම ඓතිහාසික වශයෙන් ඒ සා වැදගත් වූ, දහනව වන සියවසේ බාල කලා නිර්මාණ, කලාව යථාර්ථයෙන් වෙන්ව යාම සමග සමීපයෙන් සම්බන්ධය. අපේ ම සියවසේ දී නිර්මාණාත්මක කලාවන්ගේ මවිතකර යළි පණ ලැබීම හා සමහර විට එතරම් ම පැහැදිලි ව නොපෙනෙන නමුත් ඊට නොඅඩු අතීතයේ ශ්‍රේෂ්ඨත්වයේ සැබෑ යළි පණ ලැබීම, හිස එසවීමට පටන් ගත්තේ, වංශවත් සමාජයට සමස්තයක් වශයෙන් ජනගහනයේ වූ තම ආධිපත්‍යමය තත්ත්වයත් සමග ම, සංස්කෘතිය කෙරෙහි වූ තම ඒකාධිකාරී ග‍්‍රහණය අහිමි වූ විට ය. කලින් සිදුව තිබුණේ සහ, විය යුතු පරිද්දෙන්ම, නූතන කලාව මුලින් ම ප‍්‍රාදූර්භූත වීමෙන් පසු ව පවා එක්තරා දුරකට දිගට ම සිදුවූයේ ඇත්තෙන් ම, යුරෝපය පුරා විසිර ඇති නූතන සම්භාව්‍ය, නව–ගොතික්, නූතන පුනරුද ව්‍යුහයන් ”කල්පවතින ස්මාරකයන්” වූ, සංස්කෘතිය බිඳී විසිරී යාම ය. මෙම සුණුවිසුණු වී යාමේ දි, අන් යථාර්ථයන්ට පවා වැඩියෙන්, සංස්කෘතිය, එවිට පමණක් මිනිසුන් ‘අගයයන්’ යනුවෙන් හැඳින්වීමට පටන් ගත් දෙය, එනම්, අන් සෑම ආකාර සමාජීය හා පෞද්ගලික ‘අගයයන්’ සඳහා හුවමාරු වශයෙන්, බෙදාහැරිය හැකි හා මුදලට හැරවිය හැකි සමාජ භාණ්ඩයක්, බවට පත් වීය.

වෙනත් වචන වලින් කියතොත්, ඔහු සමාජයේ වඩා ඉහළ තැනක් මිලට ගැන්මට හෝ වඩා ඉහළ ආත්ම මානයක් ”එනම් ඔහුගේ ම මතයට අනුව ස්වභාවයෙන් හෝ උපතින් ඔහුට උරුම වන්නට තිබුණාට වඩා ඉහළ ආත්මමානයක්” අත් කර ගැන්මට යොදා ගන්නා මුදලක් වශයෙන් සංස්කෘතික අවරසිකයා විසින් ඒවා ඩැහැගනු ලබන තෙක්, අවරසිකයා විසින් පළමුව සංස්කෘතික වස්තූන් වැඩකට නැති දේ ලෙස ගර්හාවට ලක් කෙරිණි. මෙම කි‍්‍රයාදාමයේ දී සංස්කෘතික අගයන්ට සලකන ලද්දේ අන් කවර හෝ අගයයන් මෙනි, ඒවා අගයන් හැම විට ම වූ දේ වූ හුවමාරු අගයන් විය. අතින් අතට යාමේ දී ඒවා පැරණි කාසි මෙන් ගෙවී යාමට ලක් විය. සියලූ සංස්කෘතික දේට ආරම්භයේ දී විශේෂ වූ ශක්තිය අපගේ අවධානය ග‍්‍රහණයට ගෙන අප සසල කිරීමේ ශක්තිය ඒවාට නැති විය. මෙය සිදු වූ විට, ”අගයන් බාල්දු කිරීම” ගැන කතා කිරීමට මිනිස්සු පටන් ගත්හ. විසි ගණන් හා තිස් ගණන්වල ජර්මනියේත්, හතළිස් ගණන් සහ පනස් ගණන්වල ප‍්‍රංශයේත්, ”වටිනාකම් කේවෙල් කර විකිණීම” (Aus verkanf der Werte) සමග සංස්කෘතික හා සදාචාරාත්මක ”වටිනාකම්” එකට ම විකුණා දැමුණු විට, මුළු කි‍්‍රයාදාමයේ අවසානය එළඹිණි.

එතැන් සිට සංස්කෘතික අවරසිකභාවය යුරෝපයේ අතීතයට අයත් කරුණක් බවට පත් විය. ”වටිනාකම් කේවෙල් කර විකිණීම” තුළ යමෙකුට ශ්‍රේෂ්ට බටහිර සම්ප‍්‍රදායේ මලානික අවසානය පෙනී යාහැකි අතර කිසිම සම්ප‍්‍රදායක ආධාරයෙන් තොරව, අතීතයේ ශ්‍රේෂ්ඨ කතුවරුන් සොයා ගැන්ම, උගත් අවරසිකභාවයේ කසළ ගොඩෙන් ඔවුන් බේරා ගැනීමට වඩා දුෂ්කර ද යන්න තවමත් විවෘත ප‍්‍රශ්නයකි. සම්ප‍්‍රදායේ ආධාරයෙන් තොරව, සහ, බොහෝ විට සාම්ප‍්‍රදායික ප‍්‍රමිතීන් සහ අර්ථකථනයන්ට, විරුද්ධ ව පවා අතීතය රැක ගැන්මේ කාර්යය, සමස්ත බටහිර ශිෂ්ටාචාරයට ම එක ම ලෙසක් ගනී. සමාජීය වශයෙන් නැතත්, බුද්ධිමය වශයෙන් අමෙරිකාව හා යුරෝපය වනුයේ එක ම තත්ත්වයේ ය: සම්ප‍්‍රදායේ හුය බිඳී ඇත, අප සඳහා අතීතය අප විසින් ම සොයා ගත යුතු ව ඇත ”එනම් මින් පෙර කිසිවකු කිසි දා ඒවා නොකියවූ ලෙසින් සලකා එහි කතුවරුන් කියවීම ය. මෙම කාර්යයේ දී බහුජන සමාජය අපට හරස් වනුයේ යහපත් හා උගත් සමාජයට වඩා බොහෝ අඩුවෙනි, දහ නව වන සියවසේ ඇමෙරිකාවෙහි මේ ආකාර කියවීම අසාමාන්‍ය නො වී යැ යි මම අදහස් කරමි. මක්නිසාද මෙම රට, තවමත් බොහෝ අමෙරිකානු ලේඛකයන් සහ කලාකරුවන් පිටතට පැනගැනීමට උත්සාහ කළ එම ”කතන්දරයට නොනැඟුණ කාන්තාරය” වූ නිසාය. විට්මන් (Whitman) හා මෙල්විල් (Melville) ගෙන් පසු දිගටම අමෙරිකානු ප‍්‍රබන්ධ හා කාව්‍ය ඉතා සාරගර්භ ලෙස ස්වීයත්වයට පැමිණීම මීට යම් තරමකට හේතු වන්නට ඇත. බහුජන සංස්කෘතිය හා බහුජන සමාජයේ උභතෝකෝටිකයන් සහ අවධානය වෙනතකට යොමු කිරීම් තුළින්, වඩා හොඳූ නොව මඳක් වැඩියෙන් පැරණි පන්නයේ පමණක් වූ කාරණා තත්ත්වයකට, සහමුලින් අනවශ්‍ය වූ හා අරමුණින් තොර ආශාවක් මතු වූවොත්, එය ඇත්තෙන් ම අවාසනාවක් වනු ඇත.

බාග විට සමාජය හා බහුජන සමාජය අතර ප‍්‍රධාන වෙනස විය හැක්කේ, සමාජයට සංස්කෘතිය අවශ්‍ය වූ අතර, සංස්කෘතික දෑ සමාජීය භාණ්ඩ බවට අගයෙන් ඉහළ පහළ දමමින්, එහි ම ආත්මාර්ථකාමී අරමුණු සඳහා ඒවා භාවිත කළ හා අපචාරයට ලක් කළ නමුත්, ඒවා ”පාරිභෝජනය” නො කිරීම ය. ඒවායේ ඉතා ගෙවී ගිය ස්වරූපයෙන් පවා, මෙම දෑ යම් දෑ වශයෙන් පැවතුණු අතර ඒවායේ යම් විෂයමූල චරිත ස්වභාවයක් රැඳී පැවතිණිත සුන්බුන් ගොඩක් සේ දිස් වන තෙක් ඒවා බිඳී විසිරී ගිය නමුත්, ඒවා අතුරුදහන් වූයේ නැත. ඊට පරස්පර අන්දමින්, බහුජන සමාජයට අවශ්‍ය වනුයේ සංස්කෘතිය නොව, විනෝදාස්වාදය ය. විනෝදාස්වාද කර්මාන්තය මගින් ඉදිරිපත් කෙරෙන බඩුමුට්ටු සමාජය විසින්, ඇත්තෙන් ම, අන් කවර හෝ පරිභෝජන භාණ්ඩ මෙන්ම පරිභෝජනය කෙරේ. ඒවා මෙම ජීවිතයට පාන් සහ මස් මෙන් ම අවශ්‍ය ම නොවන්නේ විය හැකි නමුත් විනෝදාස්වාදය සඳහා ඇවැසි නිෂ්පාදන සමාජයේ ජීවන කි‍්‍රයාදාමයට උර දෙන්නේ ය. වාක්‍යාංශයට අනුව, ඒවා ආධාර වනුයේ කාලය ගෙවා ගැන්ම සඳහා ය, ගෙවා දමනු ලබන හිස් කාලය විවේක කාලය නොවේ, බැරෑරුම් ලෙස කියතොත් — ජීවන කි‍්‍රයාදාමය මගින් අත්‍යවශ්‍ය කර ඇති සියලූ කටයුතු හා සැලකිලිවලින් අප නිදහස් හා, එබැවින් ලෝකය හා එහි සංස්කෘතිය වෙනුවෙන් අපට නිදහස ඇති කාලය ය — එය වඩාත්, අවශේෂ, වූ කාලය ය, එය ඒත් ස්වභාවයෙන් ජීව විද්‍යාත්මක ය, ශ‍්‍රමය හා නින්දට උරුම ප‍්‍රමාණය ලද පසු ඉතිරි වූව ය. විනෝදාස්වාදය මගින් පිරවෙන්නේ යැ යි අදහස් කෙරෙන මෙම හිස් කාලය, ජිවවිද්‍යාත්මක ව හැඩගැස්වුණු ශ‍්‍රම චක‍්‍රයේ – මාක්ස් කියන්නට පුරුදුව සිටි පරිදි, ”සොබා දහම සමග මිනිසාගේ ජීව සම්බන්ධයේ” හිස්තැනකි.

පාද සටහන්

[ 3.] මෙම කථාව සම්බන්ධයෙන් මම G.M. Young ගේ Victorian England. Portrait of an Age, New York, 1954. කෘතියට ණයගැති වෙමි.

(මීළඟට: ” විනෝදාස්වාද කර්මාන්තය, පෘථුජන සංස්කෘතිය සහ සංස්කෘතිය ” )

©‘කතිකා’ අධ්‍යයන කවය.
මෙම පරිවර්තනයේ සියලු හිමිකම් ‘කතිකා’ අධ්‍යයන කවය සතුය.
‘කතිකා’ අධ්‍යයන කවයේ පූර්ව අවසරයකින් තොරව මෙම අනුවර්තනය කුමන හෝ මාධ්‍යයක උපුටා හෝ පිටපත් කොට නැවත පළකිරීම සපුරා තහනම්.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )