දේශපාලනය

2010 ජනාධිපතිවරණය පිළිබඳ පසුවදනක්: වාර්ගික සුලුතරයන් කුමන මාවතක් තෝරා ගනු ඇත් ද?
– සංකජය නානායක්කාර විසිනි

මෙම මැතිවරණයේ දී දෙමළ සහ මුස්ලිම් ජනතාව ආණ්ඩුව තුළ සිටින තම ප්‍රජාවන්ගේ නියෝජිතයන් පුස්සන් බවට පත් කළෝය. මෙමගින් ඔවුන් කර ඇත්තේ ආන්ඩුව තුළ වූ තමන්ගේ කේවල් කිරීමේ බලය දිය කර හැරීමය. ඔවුන් ජනාධිපතිවරයා සිංහල අන්තවාදීන් ගේ ප්‍රාන ඇපකරුවකු බවට පත් කර ඇත.

දෙමළ ඇතුලු වාර්ගික සුලුතරයන් හට තෝරා ගැනීම සදහා මාවත් දෙකක් ඇත. බෙදුම්වාදය එක් මාවතකි. මෙම මාවතේ තවදුරටත් ගමන් කළහොත් නුදුරු අනාගතයේ දී ලංකාවේ දෙමළ ජාතියක නෂ්ඨාවශේෂ පවා සොයා ගැනීමට අපහසු වේ. ටොරොන්ටෝවේ, ලංඩනයේ සහ පැරිසියේ දෙවැනි කැලෑසියේ පුරවැසියන් ලෙස ජීවත්වීම පමණි ඔවුන් හට ඉතිරි වනුයේ.

ලාංකීය දේශපාලන සංස්ථාවේ අති ප්‍රබල සංඝටකයක් බවට පත්වී ඇති ජ්‍යෝතිෂවේදීන් ඇතුලු කිසිදු දේශපාලන විශ්ලේශකයෙකු මහින්ද රාජපක්ෂ මහතා හට මෙවන් දැවැන්ත ජයග්‍රහණයක් බලාපොරොත්තු නොවූයේය. බොහෝ දේශපාලන විශ්ලේෂකයන් පවසා සිටියේ මැතිවරණය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර තියුණු තරඟයක් වන අතර ඔවුන් දෙදෙනාගෙන් කවුරුන් හෝ කෙනෙකු සුලු ඡන්ද ප්‍රතිශතයකින් (4%-5%) ජයග්‍රහණය කරන බවය. ඇතැමෙකු තර්ක කළේ සිංහල ජාතිය ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර බෙදී යන සංදර්භයක් තුළ සුලුතර ජාති ද විශේෂයෙන් දෙමළ ජාතිය, මැතිවරණයේ ප්‍රතිඵලය තීන්දු කරන බවය. රාජපක්ෂ පිළේ බොහෝ දෙනෙකු අපේක්ෂා කළේ වැඩි ඡන්ද සුලු ප්‍රමාණයකින් මහින්ද රාජපක්ෂ මහතා ලබන ජයග්‍රහණයකි.

වාර්ගික ධ්‍රැවීකරණයක් ?
ලංකාව නිදහස ලැබීමට ආසන්නව සිටින අවධියේ පමණ සිට අත්දකින වාර්ගික ධ්‍රැවීකරණය මෙම ජනාධිපතිවරණයෙහි තියුණු ලෙස ප්‍රකාශ විය. සිංහලයන් බහුතරයක් මෙම මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ නමුදු දෙමළ සහ මුස්ලිම් ජනයා එසේ සහභාගි නොවූහ. උදාහරණයක් ලෙසට යාපනයේ ලියාපදිංචි ඡන්දදායකයන් අතුරෙන් 18% ක් විසින් පමණි, මෙම මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරනු ලැබූවේ. ඇතැමෙකු පවසන්නේ ලියාපදිංචි ඡන්දදායකයන්ගේ ලේඛන පැරණි බවත් වර්තමානයේ බොහෝ පිරිස් මෙම ප්‍රදේශ තුළ ජීවත් නොවන බවත්ය. එම නිසා අවතැන් ලියාපදිංචි ඡන්දදායකයන්ගේ ක්‍රියාකාරිත්වය මැතිවරණය පිළිබඳ දෙමළ ජනයා තුළ පවතින උනන්දුව පිළිබඳ යම් ඉගියක් අපට ලබා දෙයි. උතුරු පළාතෙන් ලියාපදිංචි අවතැන් ඡන්දදායකයන් 45,542 අතරින් මෙවර ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ, 25,541 ක් පමණි. මතක තබා ගත යුතු තවත් කරුණක් නම්, අවතැන් පුද්ගලයන් අතරින් විශාල ප්‍රමාණයක් ඡන්දය සදහා ලියාපදිංචි වීමට අනන්දුවක් නොදැක්වූ බවය. එමෙන්ම, නැගෙනහිර පළාත තුළ දක්නට ලැබුනේ 50%-60% අතර සහභාගිත්වයකි.

මහින්ද රාජපක්ෂ මහතා හට සිංහල ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශ තුළ ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබුනි. විශාල අසිංහල ජනතාවක් සිටින කොළඹ සහ මහනුවර වැනි නගර (සම්ප්‍රදායික එ.ජා.ප. බලකොටු) හැර සිංහල බහුතරයක් සිටින බොහෝ නාගරික සහ අර්ධ-නාගරික ප්‍රදේශ පවා රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේය. එබැවින් ඔහුගේ දේශපාලන පදනම ග්‍රාමීය සිංහල ජනතාවට සීමා නොවේ.

සම්ප්‍රදායිකව එ.ජා.ප. යට හිතවත් කතෝලික වළල්ලේ ප්‍රදේශ බොහෝමයක ජය තහවුරු කර ගැනීමට ජනාධිපතිවරයාට මෙවර හැකි විය. ඒවා අතර, හලාවත සහ වෙන්නප්පුව වැනි ප්‍රදේශවල වැඩි ඡන්ද විශාල ප්‍රමාණයකින් ඔහුට ජය හිමි විය. එම නිසා රාජපක්ෂ මහතාගේ ජය සහතික කළේ සිංහල-බෞද්ධ ඡන්ද පමණක් නො‍ෙව්. සිංහල කතෝලික ඡන්ද දිනා ගැනීමට ශ්‍රී. ලං. නි. ප. කතෝලික දේශපාලනඥයන්ගේ බලපෑමට අමතරව කතෝලික බැතිමතකු වන ජනාධිපතිවරයාගේ බිරිඳ ද යම් පමණකට හේතු වුවා විය හැක.

නැගෙනහිර පළාතෙන් පිටත ජීවත්වන මුස්ලිම් ජනයාගේ විශ්වාසය යම් පමණකට දිනා ගැනීමට රාජපක්ෂ මහතාට හැකි වී ඇති බව බේරුවල සහ මාවනැල්ල වැනි මැතිවරණ කොට්ඨාස ජයග්‍රහණය කිරීම තුළින් පෙනේ.

විශ්‍රාමික ජනරාල්වරයාට ඉහළ ප්‍රතිචාරයක් ලැබුනේ විශාල අසිංහල ජනතාවක් සිටින සහ සම්ප්‍රදායික එ.ජා.ප. බලකොටු ලෙස සැලකෙන කොළඹ සහ මහනුවර වැනි නාගරික ප්‍රදේශ වලිනි. එමෙන්ම, දෙමළ සහ මුස්ලිම් බහුතරයක් සිටින උතුරු සහ නැගෙනහිර පළාත් ද ඔහු ජයග්‍රහණය කළේය. යාපනය, වන්නිය, ත්‍රිකුණාමලය, මඩකලපුව, දිගාමඩුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ‍ෙෆාන්සේකා මහතා ජයග්‍රහණය කළේය. ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල සහ නුවරඑළිය වැනි සැලකිය යුතු සිංහල ජනතාවක් ජීවත් වූ දිස්ත්‍රික්කවල ඔහු ජයග්‍රහණය කළේ අඩු ප්‍රතිශතයකිනි.

පැහැදිලිවම, මෙම මැතිවරණයේහි දී අප දකින්නේ වාර්ගික ලෙස ධ්‍රැවීකරණය වූ ඡන්ද ප්‍රකාශ කිරීමකි. ආගම් භේදයකින් තොරව සිංහල ජනයා ජනාධිපතිවරයාට ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, දෙමළ සහ විශේෂයෙන්ම නැගෙනහිර මුස්ලිම් ජනයා විශ්‍රාමික ජනරාල්වරයාට ඡන්දය දී ඇත. Continue reading දේශපාලනය

Advertisements