කුමුදුගේ තීරුව

2010 මහ මැතිවරණයෙන් පසු: ආර්ථික වර්ධන වැඩ පිළිවෙල සහ පොදු යහපත අතර ගැටුමක්?

අප සිටින්නේ මහ මැතිවරණය මුව විටය.

බලයේ සිටින ආණ්ඩුව ජනාධිපතිවරණයේදී ඉහළ ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් අනතුරුව මහ මැතිවරණයෙන් පහසු ජයක‍් නොලබනු ඇතැයි සිතීම උගහටය. ජනාධිපතිධුරයේ බලතල සීමා කිරීමට සහ මනාප ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටත්, රට සංවර්ධනය කිරීමටත් තමන්ට තුනෙන් දෙකක බලයක් ලබා දෙන ලෙස ආණ්ඩුව ඉල්ලා සිටියි. ප්‍රධාන විපක්ෂය කියා සිටින්නේ ජීවන වියදම අඩු කිරීමට, විරැකියාවට පිළියම් යෙදීමට සහ දිළිඳුකම පිටුදැකීමට තමන් බලයට පත් කරන ලෙසයි. තමන් පත්කරන්නැයි අපේක්ෂකයෝ තම යහ ගුණ – දේශප්‍රේමය, ජනතාවගේ අවශ්‍යතාවන්ට සේවය කිරීම ඉන් ප්‍රධාන ය – ජනතාවට ඉදිරිපත් කරති. මැතිවරණය පිළිබඳ මහජන සාකච්ඡාවේ ප්‍රධාන යොමුව දූෂණයෙන් තොර, මැරකමින් තොර නියෝජිතයන් පත්කිරීම සඳහා ය.

සුපුරුදු පරිදි මෙම මැතිවරණයේදීත් මතුවන බලවත්ම උත්ප්‍රාසය ඇත්තේ නීති සම්පාදනය සඳහා තේරීපත්වීමට උග්‍ර තරඟයක යෙදෙමින් ඡන්ද අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ රටේ බලපවත්නා නීති බරපතළ ලෙස උල්ලංඝණය කිරීම තුළ ය. කාන්තා නියෝජනය උදෙසා හැම පක්ෂයකම කාන්තාවන්ට ඡන්දය දෙන්නැයි ආයාචනය කරමින් කාන්තා සංවිධාන දැන්වීම් පළ කරන විට කාන්තා අපේක්ෂිකාවන් දූෂණයෙන් තොර, මැරකමින් තොර, මැතිවරණ තරඟයේදී රටේ බලපවත්නා නීති උල්ලංඝණය නොකරන අයදැයි ඔවුන් සැළකිල්ලට ගන්නේ දැයි පැහැදිලි නැත.

ඡන්දදායකයා සහ පුරවැසියා

මහ මැතිවරණය මහජනයා ට ඡන්දදායකයා සහ පුරවැසියා යන දෙආකාරයෙන් ම අමතයි. එය මහජනයා වැඩිපුර ආමන්ත්‍රණය කරන්නේ කවුරුන් ලෙස සළකාද? මහ මැතිවරණයකදී ජනයා වැඩිපුරම ඡන්ද‍ය දෙන්නේ පුරවැසියන් ලෙස නොව හුදු ඡන්දදායකයන් ලෙස බව කියනු ලැබේ. මෙම ද්විත්ව ස්වරූපයන් ‍අතර සම්බන්ධයක් නැතුවා නොවේ. නීතියෙන් පුරවැසියෙකු වන්නා ඡන්දදායකයෙකු ද විය හැකි නමුත් ඡන්දදායකයෙකු ඉබේටම ප්‍රබල අර්ථයෙන් ගත් කළ පුරවැසියෙකු බවට පත් නොවේ.

ඡන්දදායකයා ප්‍රමුඛ කොට උනන්දුව දක්වන්නේ මැතිවරණය තමාට, තම පවුලට, ඥාති හිත මිත්‍රාදීන්ට රැකියාවක්, මාරුවක්, උසස්වීමක්, ගමට, පළාතට පාරක්, විදුලි බලය, ජල පහසුකම්, වෙනත් මූලික අවශ්‍යතා යනාදී වශයෙන් ලබාදිය හැකි ආසන්නතම භෞතික ඵල ප්‍රයෝජන ලබාගැනීම කෙරෙහි ය. මේවා ලබාගැනීමෙහි ලා ජනයා දන්නා ප්‍රධානම මග පලාතේ මන්ත්‍රීවරයා ය. තමන් ඡන්ද‍ය දෙන්නේ තමන්ට පහසුවෙන් හමුවිය හැකි, උදව්වක් ඉල්ලාගෙන යා හැකි, ගමේ හැම මළ ගෙදරකටම එන කෙනෙකුට යැයි ජනයා කියති.

අති දැවැන්ත මැතිවරණ සම්ප්‍රචාරණය පිළිබිඹු කරන්නේ වත්මන් ක්‍රමය ඡන්දදායකයා පුරවැසියෙකු ලෙස නොසළකන බව පමණක් නොව ඇය පාරිභෝගිකයෙකුගේ තත්ත්වයෙහි ලා සළකන බවයි.

ආසන්නතම වශයෙන් ඡන්දදායකයන්ට අවශ්‍ය දේ සහ රටට අවශ්‍ය දේ අතර වෙනසක් තිබේ.

තම ‍පෞද්ගලික සහ පළාත්බද ඵල ප්‍රයෝජනයන් සපුරා ගැනීමට මන්ත්‍රීවරුන් පත්කරගැනීමේ ආසන්න අවශ්‍යතාවෙන් ඔබ්බට, ප්‍රබල අර්ථයෙන් ගත් කළ පුරවැසියෙකු වන්නෙකු තම පෞද්ගලික ඵල ප්‍රයෝජනයන් මතු නොව පළාත්බද ඵල ප්‍රයෝජනයන් ට පවා ඉදිරියෙන් තබා තම සාමුහිකයේ ඵල ප්‍රයෝජනයන් සළකන්න‍ට පෙළඹෙනු ඇත.

වත්මනෙහි ලාංකේය සමාජයේ උනන්දුව විය යුත්තේ ඡන්දදායකයා හුදු ඡන්දදායකයෙකුම පමණක් ලෙස නොව හැමවිටම ප්‍රබල අර්ථයෙන් ගත් කළ පුරවැසියෙකු ලෙස සිතන සහ ක්‍රියාකරන තත්ත්වයක් සමපාදනය කර ගැනීම බව අපගේ වැටහීමයි.

අද රටට අවශ්‍ය වන්නේ ඡන්දදායකයා ප්‍රබල අර්ථයෙන් ගත් කළ පුරවැසියෙකු බවට විපරිණාමය කිරීම බව අපගේ අදහසයි.

ඡන්දදායකයා සැබෑ පුරවැසියෙකු බවට විපරිණාමය කිරීමට ඇති ප්‍රධාන බාධා ගණනාවකි.

ඉන් පළමුවැන්න, බහුතරයක් ජනයාගේ පහත් ජීවන මට්ටම යි.

අපි හැමවිටමත් අපගේම අවශ්‍යතාවන් (බඩ කට) සහ සාමුහිකයේ ඵල ප්‍රයෝජනයන් (රට) පිළිබඳ සිතීම අතර දෝලනය වන්නෙමු. යුද්ධය පැවති සමයේ, සහ ඉන් පසුත්, කෙටි කාලීනව, මෙරට ජනයා ර‍ට වෙනුවෙන් බඩ කට කැප කළෝය. නමුත් දීර්ඝ කාලීනව ර‍ට ගැන සිතන්නට නම් බඩ කට තෘප්තිමත් කළ යුතුවෙයි.

ජනයාගේ ජීවන මට්ටම නගා සිටුවිය හැක්කේ ආර්ථික අභිවෘද්ධිය ලඟා කර ගැනීම තුලිනි යැයි පොදු විශ්වාසයක් තිබේ.

ආර්ථික අභිවෘද්ධිය සඳහා ‍’මොඩල’ සෙවීම

ආර්ථික අභිවෘද්ධිය සඳහා මඟ නව ලිබරල් ආර්ථික පිළිවෙත නොවේ ය යන්න ගැන පොදු එකඟතාවක් දැන් ලාංකේය සමාජයේ පවතින්නේ යැයි කිව හැකිය. දැන් අපට යළිත් ඇසෙන්නේ ලංකාව සිංගප්පූරු, මැලේසියා, බුරුම, ජපන්, කොරියානු යනාදී මොඩලයන්ට අනුව රට සංවර්ධනය කළ හැකි බවට කෙරෙන කතා බස් ය. රටක් එලෙස වෙනත් රටවල් ගිය මාවත් වල ගෙන යා හැකි ද? හැකි වුවත් අප එසේ කළ යුත්තේ එම මාවත් ගැනීමෙන් එම රටවල සමාජයන් හි ඇති වූ මහත් විපර්යාසයන් සැළකිල්ලට නොගෙන හුදු ආර්ථික වර්ධනය අපේක්ෂාවෙන් පමණක්ද? අප ගත යුතු මග ධනේශ්වර වර්ධනයේ මාවත ද? තිරසාර සංවර්ධනය යනු ධනේශ්වර ආර්ථික වර්ධනයෙන් සිදුවන පරිසර සහ සම්පත් හානිය අඩුකර ගනිමින් දිගටම ධනේශ්වර ආර්ථික වර්ධනය පවත්වා ගැනීම ද?

ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා ජනයාගේ දේශපාලන නිදහස බරපතළ ලෙස කප්පාදු කර දැමීම සිංගප්පූරුව, බුරුමය, දකුණු කොරියාව යන සියලු රටවල විවිධ මට්‍ටමින් සිදුවිය. මැලේසියාව, ආර්ථික වශයෙන් බලවත්ව සිටි එරට චීන ජාතික සුලු ජන කොටස බලයෙන් මර්ධනය කොට මුස්ලිම් මහ ජාතිය යටතට පාගා ගත්තේය. මේ එකක්වත් බුදුදහමේ ආභාෂය ලැබ නිදහස්කාමී සහ පොදු හැඟීමෙන් පෙළෙන ලංකාවාසී අපට ගැලපෙන පිළිවෙත් නොවේ.

ජපානය ආර්ථික වර්ධනය උදාකරගත් මග ඉහත සඳහන් කළ අන් රටවලින් වෙනස් ඊටම සුවිශේෂ වූ එකකි. ලංකාව ඓතිහාසික වශයෙන් වත්, සංස්කෘතිය අතින්වත් කිසිසේත්ම ජපානය හා සමාන නොවේ. ලංකාවට ජපානය විය නොහැකි ය. අනෙක් අතට ජපානය තම ආර්ථික වර්ධනය සමග අත්පත් කරගෙන ඇති සමාජීය ජීවිතය සහ සංස්කෘතිය අප කොතෙක් දුරට අනුමත කරනු ඇත්දැයි අප සිතිය යුතු ය.

ඡන්දදායකයා සැබෑ පුරවැසියෙකු බවට විපරිණාමය කිරීමට ඇති දෙවැනි ප්‍රධාන බාධාව නූතනත්වයත් ධනවාදයත් සමග ගැටගැසී ඇති බූර්ෂුවා, ලිබරල්, නියෝජන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යි. මෙය ඉක්මවා යන සෘජු පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් අපි අනාගතය සඳහා පරිකල්පනය කළ යුතුවෙමු.

ධනවාදය සහ නූතනත්වය: “විනෝද සමාජය” විවේචනය කිරීම

ධනවාදය සහ නූතනත්වය පිළිබඳ අප කළ යුත්තේ කුමක් ද? ඇතැමුන් කියන පරිදි ක්‍රම විරෝධී අරගල කිරීම ද? ඇතැමුන් රාජ්‍ය විරෝධී (anti-state) යනුවෙන් සඳහන් කරන්නේත් මෙම අදහසමද? ක්‍රම විරෝධී වීම යනු කුමක් ද? පවත්නා ක්‍රමය විනාශ කිරීම ද? එසේ කළහොත් අප සටන් කරන්නේ කුමක් රැක ගන්නද? නැතහොත් පවත්නා රාජ්‍යයට පහර දී එය අල්ලාගෙන තමන්ගේ පාලනය යටතට ගැනීම ද? එබඳු ක්‍රියා මාර්ගයක් ක්‍රම විරෝධී හෝ රාජ්‍ය විරෝධී වනවා නොව අනුන් අත ඇති රාජ්‍ය බලය තමන්ට ලබා ගැනීමක් නොවේද?

එසේ නැතහොත් අප කළ යුත්තේ පාරිභෝජනවාදය ධනවාදයේ මූලික ස්වරූපය ලෙස ගෙන ඊට එරෙහිව සටන් වැදීම තම දේශපාලන වැඩපිළිවෙල කර ගැනීම ද? පාරිභෝජනවාදය පිළිබඳ සමහරුන් දරන මතය වන්නේ එය ඉහලින් පාලනය කිරීම හෝ එහි අංග තහනම් කිරීම කළ යුතු ය යන්නයි. මතට තිත වැනි වැඩ සටහන් සහ රූපවාහිනියේ දැක්වෙන විවිධ වැඩ සටහන් තහනම් කිරීමට කෙරෙන යෝජනා එබඳු ඒවා වෙයි. මත් ද්‍රව්‍ය හෝ වේවා රූපවාහිනී වැඩ සටහන් හෝ වේවා ඒවායේ අහිතකර ප්‍රථිඵල වලින් බාල වයස් කරුවන් රැක ගැනීමට ප්‍රමිතීන් පැහැදිළිව තිබිය යුතුය. නමුත් වැඩිහිටියන් සඳහා තිබිය යුත්තේ යහපත් දේ අයහපත් දෙයින් තෝරා බේරා වෙන් කරගැනීමට ඔවුනට අවකාශ සලසන පරිසරයක් මිස අයහපත් දේ තහනම් කිරීම මගින් එම සදාචාරමය භාවිතාවේ යෙදීමේ අවස්ථාව ඔවුනට අහිමි කර ලීම නොවේ. එසේ වුවහොත්අප යහපත් මිනිසුන් බවට පත්වන්නේ කෙසේද?

පාරිභෝජනවාදය නැතහොත් “විනෝද සමාජය” මැදට පැන එය විවේචනය කළ යුතුය යන අදහස එය තහනම් කිරීම මෙන් හානිකර පිළිවෙතක් නොවේ. ජනතාවගේ විනෝදය විවේචනය කිරීම යනු කුමක් ද? විනෝදය නරක දෙයක් ලෙස විවේචනය කිරීම ද? නැතහොත් සංස්කෘතික අධ්‍යයන න්‍යායධාරීන් කරන්නාක‍් මෙන් විනෝදාස්වාද කර්මාන්තයේ ව්‍යුහාත්මක විග්‍රහයන්හි යෙදීම ද?

විනෝදයේ ඇති ගැටලුව කුමක් ද? විනෝදය හෙලා දකින්නා බොරු අහංකාර කාරයෙකි (snob) යන හනා ආරන්ඩ්ට්ගේ අදහස මෙහිදී අප සළකා බැලිය යුතුය. විනෝදයේ ඇති ගැටලුව විනෝදය පිළිබඳ ම නොව අප විනෝදය ලබාගන්නා ආකාරය සමාජයට බලපාන අන්දම ගැන සහ විනෝදයට අසීමිතව යොමුවීමෙන් ඇති වන ඒවාය.

“විනෝද සමාජය” යනුවෙන් හැඳින්වෙන භාවිතාවන් ට පදනම සපයන, සංස්කෘතික අධ්‍යයන න්‍යායධාරීන් විසින් “ජනප්‍රිය සංස්කෘතිය” නමැති ගරු නාමයෙන් බුද්ධිකරණයට ලක්කොට ඇති විනෝදාස්වාද කර්මාන්තය විවේචනය සංස්කෘතික අධ්‍යයන න්‍යායධාරීන්ට වෘත්තියක් සපයන නමුත් මෙහි ඇති දේශපාලනය කුමක්දැයි පැහැදිළි නැත.

හනා ආරන්ඩ්ට් තර්ක කරන පරිදි සමාජයටත් සංස්කෘතියටත් හානි සිදුවන්නේ විනෝදාස්වාද කර්මාන්තයෙන් නොවේ, විනෝදාස්වාද කර්මාන්තය කලාව හෝ සංස්කෘතිය ලෙසින් බුද්ධිකරණයට ලක්කිරීමේ උත්සාහයේ නිරතවන උගත් ජනයාගේ පිලිස්තීනුවාදයෙනි.

අපගේ යෝජනාව ධනවාදය මුදාහැර ඇති පාරිභෝජනවාදය හමුවේ අපගේ ව්‍යායාමය විය යුත්තේ පාරිභෝජනවාදය හමුවේ විනිශ්චයක් ගොඩ නගා ගත හැකි චරිත, තමන්ගේම ක්‍රියා පිළිබඳ විනිශ්චයක් කිරීමේ හැකියාව සහිත චරිත ගොඩනැංවීමේ අවශ්‍යතාව කෙරෙහි අපගේ අවලෝකනය සහ පරිකල්පනාව යොමු කිරීම ය. සක්‍රීය පුරවැසියන් ලෙස සංස්කෘතියක් ශිෂ්ඨාචාරයක් ගොඩනැංවීමේ උත්සාහයේ නිරත විය හැක්කේ එබඳු චරිත වල‍ට ය.

මෙබඳු පුරවැසි සමාජයක් ගොඩනැංවීම හුදු ජාතික ආර්ථිකයක් ගොඩ නැංවීම පිළිබඳ කරුණක් දැයි සිතා බැලීම වටී. සැබෑ පුරවැසි සමාජයක් ගොඩ නැගෙන්න‍ට නම් පුරවැසියන් පළමුව අධික ජීවන බරින් නිදහස් විය යුතු බව සැබෑය. නමුත් එයම පමණක් පාරිභෝජනවාදී සමාජයට විකල්පයක් පරිකල්පනය කරන්නට අපට අවකාශ සළසන්නේ නැත.

ඒ සඳහා ජනයාගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට උත්සාහ ගන්නා තරමටම ජනයාට යහපත් අධ්‍යාපනයක් සහ සංස්කෘතික ජීවිතයක් ද ගොඩ නැංවිය යුතුය. නව පරපුරේ අධ්‍යපනය හුදෙක් වැඩ ලෝකය ඉලක්ක කර ගත් මට්ටමෙන් ඔබ්බට පුරවැසි චරිත ගොඩ නගන අධ්‍යපනයක් බවට පත් විය යුතුය. ජනයාට යහපත් සංස්කෘතික ජීවිතයක් ගොඩ නැංවීමට නම් රජය සංස්කෘතික පොලීසියක් ලෙස ක්‍රියා කරමින් තම මතය කලාව මත පැනවීමෙන් මිදී, දේශපාලන භේදයෙන් තොරව සියලු කලාකරුවන්ට සහ විචාරකයන් සහ උගතුන්ට එක්ව කලාව පිළිබඳ විනිශ්චයන් ගොඩ නගා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කො‍ට ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දිය යුතුය.

තාක්ෂණවේදීන්, වෘත්තීයවේදීන් සහ උගතුන් පාර්ලිමේන්තු යැවීම

ලංකාවේ සංවර්ධන කතිකාවට අලුතින්ම එක් වී ඇති අදහස නම් ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීම සඳහා තාක්ෂණවේදීන් සහ වෘත්තීයවේදීන්, උගතුන්, පාර්ලිමේන්තුවට පත් කර ගත යුතු බවයි. මෙය සමානුපාත ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට නීති සම්පාදනයට හැකියාව නොමැති අය ඇතුලුවීමට පිළියමක් ලෙස සැළකෙයි.

නීති සම්පාදනයේ යෙදීම සඳහා ප්‍රබල අර්ථයෙන් ගත් කළ පුරවැසියෙකුවීම හැරෙන්නට තිබිය යුතු වෙනස් සුදුසුකමක් විය හැකිද? නීති සම්පාදනය සඳහා තාක්ෂණවේදීන් සහ වෘත්තීයවේදීන් හෝ උගතුන්ගේ විශේෂඥ ඥාණය අවශ්‍ය වෙතොත් ඔවුන් මන්ත්‍රීවරුන් ලෙස පත් නොකොට එය ලබා ගත හැකිය.

අපට තාක්ෂණවේදීන්, වෘත්තීයවේදීන් හෝ උගතුන්ගේ සේවය අවශ්‍ය වන්නේ ඔවුන්ගේ විශේෂඥ ඥාණය අවශ්‍ය කටයුතු සම්පාදනයේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ය. නීති සම්පාදනය සඳහා අවශ්‍ය වන්නේ අදාල නීති අපගේ සාමුහික ජීවිතය සම්බන්ධයෙන් යහපත් වන්නේද අයහපත් වන්නේද යන්න පිළිබඳ විනිශ්චයකට එළඹීම සඳහා අවශ්‍ය දේශපාලන ප්‍රඥාවයි. එය කෙනෙකුට ව්‍යවහාරික ඥාණය ඇසුරෙන්ද ලැබිය හැකිය. තාක්ෂණවේදීන්, වෘත්තීයවේදීන් හෝ උගතුන් බොහෝ විට ලෝකය දකින්නේ තම විශේෂඥ ඥාණය ඒ මත පැනවීමේ අරමුණ සඳහා ඇති දෙයක් මිස තම සාමුහික ජීවිතය සකස් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ තම තමන්ගේ මත ඇති ස්වාධීනව සිතීමේ හැකියාව ඇති මානව ක්‍රියාකාරිකයන් වසන තැනක් ලෙස නොවේ.

සංවර්ධන කතිකාව උත්සුකව කරගෙන යාම සඳහා තාක්ෂණවේදීන්, වෘත්තීයවේදීන් හෝ උගතුන් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගැනීම අවශ්‍ය නොවේ. ඔවුනට මහජන තලයේ එම කතිකාවට හවුල් විය හැකිය. පාර්ලිමේන්තුව තිබිය යුත්තේ දේශපාලනයට කැප වූවන්ටය.

සමස්ත ජාතියම නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථික ක්‍රියාවලියකට යොමු කිරීමේ යෝජනාව නැඹුරුවන්නේ ජනයා ආර්ථික මිනිසුන් බවට හැරවීමට විනා ඔවුන් පුරවැසියන් බවට විපරිවර්ථනය කිරීමට නොවේ. මෙම ගමන යාම සඳහා, විසම්මුතියේ දේශපාලනය අහෝසි කිරීම අනිවාර්ය විය යුතුයැයි දැනටමත් ප්‍රකාශවී තිබීම අපගේ සැළකිල්ලට බඳුන් විය යුතුය.

ලංකාවේ වත්මන් දේශපාලන ක්‍රියාවලිය මෙම මහ මැතිවරණයෙන් අනතුරුව රාජ්‍ය‍ය මගින් මෙහෙයවනු ලැබෙන සහ රාජ්‍ය අනුග්‍රහය ලද දැවැන්ත ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලකට අවතීර්ණ වීමේ ඉඩකඩ වැඩිය. ඒ සඳහා විසම්මුතියේ දේශපාලනය අහෝසි කිරීමට යොමුවීම රජය මෙරටේ සම්ප්‍රදාය සහ සංස්කෘතිය සමග බරපතල ග‍ැටුමක‍ට යොමු කිරීමට ඉඩ ඇත. ජාතික චින්තනය සම්ප්‍රදායික වමට එල්ල කළ විවේචනය වූයේ මෙරටේ සම්ප්‍රදාය සහ සංස්කෘතිය නොසළකා හැරීම ය. ජේ. ආර්. ජයවර්ධන මෙරටේ සම්ප්‍රදායට සහ සංස්කෘතියට පටහැනිව බලහත්කාරය යොදා 1977 දියත් කළ නව ලිබරල්වාදී ආර්ථික වැඩ පිළිවෙල සහ මර්ධනකාරී දේශපාලනය මෙරට ජනයා 1994 වන විට ප්‍රතික්ෂේප කළහ.

ආර්ථික සමෘද්ධිය සඳහා විසම්මුතියේ දේශපාලනය අහෝසි කිරීමේ වත්මන් යෝජනාවට මෙරට ජනයා කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද?

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )