පරිසර දූෂණය

ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයක් හරි මැද ඉදිකෙරෙන ජංගම දුරකථන සංඥා සම්ප්‍රේෂණ පර්යන්තය (antennae base) ඉවත් කරගන්න! – මෝදර, එළිහවුස් පාරේ, අසල්වැසියෝ ඩයලොග් ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජේසූරියගෙන් ඉල්ලා සිටිති
ජනාකීර්ණ නේවාසික ප්‍රදේශයක් වටකොට ගත්. කොළඹ මෝදර, මුතුවැල්ලේ, එළිහවුස් පාරේ අංක 94/3, ලිපිනයේ නිවෙසක මතු මහලේ ඉදි කොට ඇති ඩයලොග් ජංගම දුරකථන සංඥා සම්ප්‍රේෂණ පර්යන්තය කුළුණ ඒ වටා වසන වැසියන්ගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් එල්ල කළ හැකි හෙයින් එම කුළුණ වහා ඉවත් කර ගන්නා මෙන් එහි වැසියෝ ඩයලොග් අධිපත් ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගෙන් ඉල්ලා සිටිති.

මෙම කුළුණ මුලින්ම ඉදිකිරීම ඇරමුණු අවස්ථාවේ, 2008 දෙසැම්බර් 25 වන දින ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාට මෙම ඉල්ලීම අළුත් මාවත වැසියන්ගේ අත්සනින් යුතුව මුලින්ම ඉදිරිපත් කරන ලදී. එහි ලා ඔවුන් සඳහන් කළේ මෙම සම්ප්‍රේෂණ කුළුණ මෙබඳු ජනගහණය අධික නිවෙස් වට‍ෙකාට ගත් නේවාසයක පිහිටුවීම, අවට නිවෙස්වල වසන දරුවන්ගේ, වයෝවෘද්ධ සහ රෝගී නේවාසිකයන්ගේ සෞඛ්‍යයට පමණක් නොව, දවසේ පැය 24 පුරාම එයින් තාප විකිරණය කෙරෙන හෙයින් සියළු වාසීන්ගේ ජීවිතවලටත් පරිසරයටත් බරපතල හානි ගෙන දෙන බව තමන් විශ්වාස කරන බවයි.

මෙබඳු සම්ප්‍රේෂණ කුළුණු ඒ වටා වසන පුද්ගලයන්ගේ සෞඛ්‍යයට හෝ පරිසරයට බරපතල හානි කරන බවට තීරණාත්මක සාක්ෂි නැතැයි කෙරෙන සුපුරුදු ප්‍රකාශය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ඔවුහු කියා සිටියහ. 2007 පළකළ “ජෛව මුල්පිරු‍ම වැඩ කණ්ඩායම් වාර්තාව” (The Report of the Bio–initiative Working Group) උපුටා දක්වමින් ඔවුන් කියා සිටියේ, “ජංගම දුරකථන කර්මාන්තයේ මතය, පවතින්නට ඉඩ දිය හැකි අවදානම සහ හානි පිළිබඳ සාක්ෂි පිළිබඳ මහජන සෞඛ්‍ය විශේෂඥයින් පිළිගත හැකි යැයි තීරණය කරනු ඇති ඒවාට වඩා ඉතාමත්ම බලපෑම් සහගත බව” තමන් දන්නා බවයි. Continue reading පරිසර දූෂණය

භාෂාව

” ලිවීමේ දී කටවහර යොදා ගන්නා ලේඛකයෝ ඇත. ඔවුන් එසේ ලියන්නේ වියරණ නොදන්නා කමට යයි නොකියමි. වැඩි දෙනා තමන් යම් බදු වියරණ රටාවක් අනුගමනය කිරීමට උත්සාහ කරන බව පෙනෙයි. එ හෙත් ඔහුන’තුරිනුත් බොහෝ දෙනා ඒ අතින් පළ කරන්නේ දුබලතාවකි.”

ෂාරුක්ට ආචාර්ය පදවියක් !
ඩී. බී. කුරුප්පු

මේ පුවත්පතක පළ වූ සිරස්තලයකි. මගේ ලිපියේ සිරස්තලය හැටියට එය යොදා ගත්තේ, එයින් සිංහලයේ වත්මන් නැඹුරුවක් පිළිබිඹු කැරෙන නිසාය. මෑතක දී ආසියානු ක්‍රීඩා උත්සවයකට සහභාගි වූ ශ්‍රී ලාංකික කණ්ඩායම ආසියානු ක්‍රීඩා තරගය නියෝජනය කරන බව සඳහන් වූයේ ද පුවත්පතකය. ඒ දෙකින්ම මා පුදුම නොවූයේ ඊට කලින් මෙල්බර්න් පත්තරයකට මෙහි වසන ශාස්ත්‍රපති උපාධිධාරී හිමිනමක් ලියූ ලිපියක තිබුණු වචනයක් නිසාය. උන් වහන්සේ ලියා තිබුණේ තමන් වෙත පිය නගන බුදු රදුන් දුටු පස්වග තවුසන් උන් වහන්සේට ගරුසරුවක් නොදක්වන්නට කතිකාවක් ඇති කරගත් බවය. විචාරයක් නැතිව වචන භාවිතය ගිහි පැවිදි දෙපසටම පොදු ලක්ෂණයක් වී ඇතැයි කිව යුතුය.

මා දකින දුබලතාවක් වන යට කී ප්‍රවණතාවට සමාන තවත් යෙදුමක් බොහෝ විට දක්නට ලැබෙයි. ඒ අනවශ්‍ය තැනටත් ඉංගිරිසි වචන යොදා ගැනිමය. ටයිල් පොළොව, කොමඩි චරිත, ගල් කොරිය යන වචන නිදසුන්ය. ගල් කොරිය දකින විට මට මතක් වන්නේ දෙහිවල ගල්වළ පාරය. ඔය නමත් අර ඉංගිරිසි වචනය අනුව යෙදූවකි. අදත් එය ඒ නමින්ම ඇතැයි සිතමි.

වචන අනවශ්‍ය ආකාරයට දික් කිරිම තවත් ලක්ෂණයකි. විචිත්‍ර යන්න විචිත්‍රවත් යනුවෙන් ලිවීමෙන් ලැබෙන අමුතු එළියක් නැත. විශේෂ යන්න තවත් තියුණු කරනු වස් ‘සු’ උපසර්ගය යොදනු ලැබේ. එහෙත් ඒ පදයේ අගට ‘ඊ’ ප්‍රත්‍යයක් යොදා සුවිශේෂී යනුවෙන් දිගු කරන්නේ ඇයිදැයි නොදනිමි. සුන්දර යන පදයෙන් සකස් කර ගන්නා නාමය ‘සෞන්දර්ය’ ය. එයිනුත් තවත් විශේෂයක් නිර්මාණය කිරිමට ‘සෞන්දර්යාත්මක’ යනුවෙන් හැඩ ගැසුවත් සුන්දර යන අරුතම දෙන බවයි මා කල්පනා කරන්නේ.

පැහැදිලිව ම විලාසිතාවක් බවට පත්ව ඇති මේ ප්‍රවණතාව වූ කලී හොද්දට පැණි දැමීමට වැඩි දෙයක් නොවේ. ජීවිතය වන පදයේ බහුවචන රූපය ජීවිත යන්නය. එහෙත් එය ජීවිතයන් යනුවෙන් ලිවීමේ නැඹුරුවක් ඇත. මගේ ජීවිතයේ දී අපේ ජීවිතයේ දී යනුවෙන් ඒක වචන බහුවචන අර්ථ දීමට එකම රූපය යෙදීම සිංහල වහරට හුරු වූවකි. එසේ තිබිය දී ජීවිතයන්වල බහු වචන යෙදීම විහිළුවකි. නරියා, රථය, පෙරහැර යන වචන බහුවචනයේ යෙදෙනුයේ නරි, රථ, පෙරහැර (වල්) යනුවෙන් වුවත්, නරියන්, රථයන්, පෙරහැරයන් යනුවෙන් ලියන උගත්තු ද ඇත. මට මතක් වන්නේ වසර තිස් හතකට උඩ දී රාජ්‍ය භාෂා ‍දෙපාර්තමේන්තුවේ මගේ සගයකු ‘කොළයන්’ යැයි ලියූ විට අප ඔහුට විහිලු කළ හැටිය. එදා නම් ඔහුත් ඒ වරද පිළිගත්තේය.

බසක් දියුණු වත්ම පැරණි වදන් වෙනස්වීමත්, වහර විදි පවා කාලානුරූපව හැඩ ගැසීමත් විය යුත්තකැයි සිතමි. එහෙත් ඒ වෙනස පමණක් නොව බැහැරින් අලුතින් ගන්නා වදන්ද බසට අනුරූප විදියට හැඩ ගස්සා ගැනීම එක්තරා පිළිවෙලකට, සංයමයකින් යුතුව සිදු විය යුතු යයි සිතමි. එකී සංයමය හෙවත් ශික්ෂණය හඳුන්වනුයේ වියරණය යනුවෙනි. ලේඛකයා සතු එකම අමුද්‍රව්‍යය වන වචන හා බස හැසිරවීමෙහිලා මේ ශික්ෂණය අත්‍යාවශ්‍යය. ලේඛකයා සිය නිර්මාණය කෙරෙහි යොමු විය යුත්තේ එම අමුද්‍රව්‍ය අරපිරිමැස්මකින් හා උපරිම පල නෙළා ගතහැකි ආකාරයට භාවිත කිරීමේ ශක්තියක් හා කිසියම් අතහුරුවක් ඇතිව බව සිතමි. ඉංගිරිසි ඇතුලු අනෙක් බසකින් ලියන කවුරුන් වුවත් එය හැසිරවීමේ දස්කමක් නොමැතිව ලිවීමට පසුබට වන්නේ ඒ නිසාය. සිංහල ලියන්නන් සමහරකු මෙය නොසලකන්නේ ඇයි ද යන්න නැගිය යුතු ප්‍රශ්නයකි.

ලිවීමේ දී කටවහර යොදා ගන්නා ලේඛකයෝ ඇත. ඔවුන් එසේ ලියන්නේ වියරණ නොදන්නා කමට යයි නොකියමි. වැඩි දෙනා තමන් යම් බදු වියරණ රටාවක් අනුගමනය කිරීමට උත්සාහ කරන බව පෙනෙයි. එ හෙත් ඔහුන’තුරිනුත් බොහෝ දෙනා ඒ අතින් පළ කරන්නේ දුබලතාවකි. Continue reading භාෂාව

අධ්‍යාපනය

පෞද්ගලික විශ්වවිද්‍යාල හකුළා ගනු
සුචරිත ගම්ලත්

අප මෙම ලිපිය පළකරන්නේ සුචරිත ගම්ලත් එහි ලා පළ කරන සියලු අදහස් හෝ ඔහු ගේ එළඹුම ඒ ආකාරයෙන්ම පිළිගන්නා නිසා නොව ඇතැම් තැනක අතිශයෝක්තියෙන් අවධාරණය කරමින් වුව ඔහු මතුකරන කරුණු සාකච්ඡා කිරීම වැදගත් යැයි අප සිතන හෙයිනි.

පෞද්ගලික විශ්ව විද්‍යාල-විදේශීය විශ්ව විද්‍යාලවල ශාඛා-ශ්‍රී ලංකාවේ පිහිටුවන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී . දිසානායක කියයි. මේ ගැන විවාදයක් මතුවී ඇත. සමහරු මේ සැලසුම හොඳ යයි කියති. ඇතැම්හු එය හානිකර යයි කියති.

එහෙත් මෙසේ කියන එකෙකුවත් ප්‍රශ්නයේ සෑම පැත්තක් ම සලකා කිරා මැන බලා කථා කරන බවක් නො පෙනේ.

අපේ රටේ දැනට මත් විශ්ව විද්‍යාල ගණනාවක් ඇත. පේරාදෙණිය, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, කැළණි, මොරටු, යාපන හා රුහුණු යන විශ්ව විද්‍යාල ඒවා අතර ප්‍රධාන විශ්ව විද්‍යාල වේ. ප්‍රාදේශීය, අප්‍රධාන විශ්ව විද්‍යාල නම් කීයක් තිබේ දැයි ගණන් කරන්නටත් බැරි තරම් ය. එතරම් ම ගණනක් තිබේ.

මේ විශ්ව විද්‍යාලවල මා කථා කරන්නේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ ගැනය. ඒ මා දන්නේ ඒ විෂයයන් ගැන නිසාය. වෛද්‍ය, විද්‍යා, ඉංජිනේරු, ගණිත, සංඛ්‍යාන ආදී විෂයයන් ගැන මම කථා නොකරමි. මා ඒවා ගැන නො දන්නා නිසාය. ආණ්ඩුව මේ විශ්ව විද්‍යාල පිහිටවූයේය. ඒවාට මුදල් වෙන් කර දෙයි. උපකුලපතියන් වශයෙන් තම හෙංචයියලා පත් කරයි.

එයින් පසු කිසිවෙකුගේ හෙවිල්ලක් බැලිල්ලක් නැත. එතැන් සිට විශ්වවිද්‍යාල උපකුලපතිගේ ද ආචාර්ය මහාචාර්යවරුන්ගේ ද සින්නක්කර රජදහන්ය.

ඔවුහු කඹ ඇදගෙන, වයර් ඇදගෙන, උගුල් අටවාගෙන, හොරමැර කරගෙන, ගසා කාගෙන, අධ්‍යාපන පොල්කුඩු ඇතුළටත් පිටටත් විකුණාගෙන යහතින් සිටිති.

ඉගෙනීමට ය කියා මේ විශ්වවිද්‍යාලවලට එන දුප්පත් පුරවැසියන්ගේ දූ දරුවන්ට කිසිම අධ්‍යාපනයක් නො ලැබේ. ඔවුන්ට ලැබෙන්නේ සටහන් ගොන්නකි.
ඒ සටහන් ඔවුන්ට උගන්වන ආචාර්ය- මහාචාර්යවරුන් තමන්ට ඉගැන්වූ ආචාර්ය-මහාචාර්යවරුන් කියවන විට ලියාගත් ඒවාය. ඔවුන් ඒවා ලියාගත්තේ ඔවුන්ගේ ද ගුරුවරුන්ගෙනි. Continue reading අධ්‍යාපනය

කවි

හිස්ටීරියාවෙන් සයිකෝසියාවට
පියන්කාරගේ බන්දුල ජයවීර

මාක්ස්, එංගල්ස්
‍‍ෆ්‍රොයිඩ්, ෆූකෝ
ලකාන්, ‍ඩෙරීඩා
කොටා දියකර
බී, එයින් මත් වී
වනා කගපත හතරතේ
‘පිටිය සුද්ධයි’
(Ground Clear)
කියා තුටු වී
කුටියකට වැද…..

මමයි ලෝකය
මම වගේ වෙනු!
සකල සාහිත
කලා ලෝකය
මගේ අණසක
අනුව යා යුතු!
(ට්‍රොට්ස්කි ගැන අමතක වුණාව ද)
ඈත නොම වූ
දිනෙක “දහසක්
මල් පිපේවයි
මත ගැටේවයි”

කියූ මුවගින්
“එකම මල මම”
කියා මළ පැන!
වහසි දොඩනා
කුටියකට වැද
ස්වයං වින්දනයේ
වුණේ කිම් දැයි
අසන‍ ලොව වෙත
බුරා පැන
පිළිතුරු දෙමින්
“මට වුණේ කිම්දැයි
දැනගන්න තොපි
සතුටු නම්……”
මා සොයා ගෙන
මාගේ ගෙදරට
තොපි වරෙව්
(මෙන්න ලිපිනය මගේ අභිමානය එයයි)

“පෙම් ලොව දී දුටු ඔහුමද මේ!
ඔහුටද මා අන්ධ වුණේ!!”

තෝරාගත් කෘති, කාව්‍ය සංග්‍රහයෙනි.

‍උපුටා ගැනීම ඉරුදින 2010 ජූනි මස 20 වැනිදා කලාපයෙනි.