කලාව

කුමකට ද අත්කම්?
කමලාදේවී වට්ටෝපාද්‍යායී

කමලාදේවී වට්ටෝපාද්‍යායී විසිවැනි සියවස් ඉන්දියාවේ මහා කාන්තා චරිතයකි. 1903 දී මැංගලෝරයේ දී උපත ලත් ඇය, අතිශයින්ම විවිධාකාරවූ ද, විශිෂ්ටවූ ද ජීවිතයකට පසුව, 1988 දී මුම්බායිවල දී මිය ගියා ය.

අංශ ගණනාවකින්ම විශිෂ්ටත්වයට පත්වීම ඇගේ සූවිශේෂී ලක්ෂණයකි. ඉන්දියානු නිදහස් අරගලයේ මුල් පෙලේ නායිකාවක්වීම, ඒ සම්බන්ධයෙන් තුන් වරක්ම හිරබත් කෑම, ගාන්ධිතුමාගේත් නේරුතුමාගේත් සමීපතමයකියක් වීම, නාට්‍ය හා කලා ශිල්ප සේවනයේ දී අග්‍රගන්‍ය මතධාරිනියක වීම, සමස්ත භාරත දේශයේම අත්කම් පිළිබඳ නූතන කතිකාවක් ගොඩනැගීමේ කිරුල හිමිකර ගැනීම, නව දිල්ලියේ තිබෙන අපූරු මහා ඉන්දියානු අත්කම් කෞතුකාගාරයේ නිර්මාර්තෘවරියකවීම, උසස්ම ගණයේ ගත්කතුවරියක්වීම, නිදහස් හා නූතන ඉන්දියාවේ පෙරමුණේම සිටින බුද්ධිමතියකවීම ඇගේ ජයග්‍රහණ අතර වේ. ඈ 1931 දී ශ්‍රීමත් ජවහර්ලාල් නේරු සමග ලංකාවට පැමිණ සංචාරය කළාය.

මෙයි පළවී ඇති ලිපිය, ඇගේ Handicrafts of India (1975, 1985, 1995) නම් සුප්‍රකට කෘතියේ සම්භාවනීය මුල් පරිච්ඡේදයයි. සකුන්තලා නරසිම්හන්ගේ Kamaladevi Chattopadyay, The Romantic Rebel (Sterling Publishers) (1999) යන පොත, ඇගේ චරිතාපදානය පිළිබඳ ප්‍රයෝජනවත් මූලාශ්‍රයකි.

අද සමාජයට අත්කම් කුමකටදැයි කිසිවකු විමසුවහොත් ඊට දියයුතු පිළිතුර එතරම් ම සරල නොවේ. එයට හේතුව, ඒවා මිනිසුන් ගේ භෞතික අවශ්‍යතාවන් පමණක් සපුරාලීමේ අපේක්ෂාව ඉක්මවා ඉන් ඔබ්බට ගොස් ඇති බැවිනි. අප අපේ ඉතිහාසයට හා සාංස්කෘතික පරිණාමයට නෙත් යොමු කළ කල පිළිතුරු නිරායාසයෙන්ම ලබා ගත හැකිය. අපේ අතීත සමාජය ශිල්ප මූලික වූ එකකි. අත්කම් එහි මූලික තැනක් ගත් අතර කලා හා ශිල්ප යන සංකල්ප එකිනෙකට දුරස් නොවී හොඳින් යාවුන ඒවා විය.

අත්කම් මානව සමාජයේ ඉතා මූලිකම වූ ක්‍රියාවලියකි. ඊට හේතුව එම ශිල්ප අපේ ජීවිතයේම අවියෝජනීය අංගයක් ලෙස පැවති බැවිනි. ඇත්ත වශයෙන්ම භාෂාව වැනි අංගයන්ටත් වඩා හොඳින් ඒවාට මානව සබඳතා සමග බද්ධ වීමටත්, භාෂාවන් විසින් මතු කළ හැකි බාධකයන්ද අතික්‍රමණය කරන්නටත් හැකි විය. විශේෂයෙන්ම ආසියා, දකුණු හා මධ්‍යම ඇමරිකා, අප්‍රිකා හා පැරණි රාජ්‍යයක් වූ ග්‍රීසිය වැනි රටවල තිබූ පැරණි සංස්කෘතීන්හි ඇතැම් අංග අදත්, නොපැරණිව සජීවි වන අන්දම දැක ගත හැකිය.

අත්කම්, යම් යම් ද්‍රව්‍ය තුළින් කෙරෙන අධ්‍යාත්මික මානව ප්‍රකාශනයකි. වෙනත් ලලිත කලා මාධ්‍යයන්ගෙන් මෙන් ම ඒවායින් ද අපට මහත් තෘප්තියක් ලැබේ. ශිල්පීය නිෂ්පාදන ලෝකයේදී සෞන්දර්යාත්මක නිර්මාණ කෘති හා එදිනෙදා භාවිතය සඳහා වූ නිර්මිත කෘති යන දෙ අංගය අතර දැඩි වෙනසක් නොමැත. සූර ශිල්පීය නිපුණත්වය හේතුවෙන්, භාවිතය උදෙසා තැනෙන භාණඩය ද ප්‍රයෝජනවත් මෙන්ම සුන්දර ද වන නිසා, කෙනකුගේ සිත් පැහැර ගන්නා අතරම මේ දෙ අංගයම එකක් බැව් සිතන්නට පෙළඹෙනු ඇත.

යම් යම් ශිල්පීය නිර්මාණයක් එදිනෙදා භාවිතයට ගන්නා උපයෝගී භාණ්ඩයක් විය හැකිය. නැතිනම් එය සෞන්දර්ය ආශ්වාදය සඳහාම නිමවූවක් විය හැකිය.

ඇතැම් මෝස්තරයක් වර්ණ සංයෝජනය මුල්කොට ගත්තකි. යම් භාණ්ඩයක් නිර්මාණය කිරීමේ දී කුමන කලාංගයක් උපයෝගි කර ගත යුතුදැයි අපේ ශිල්පීහු ඉවෙන් දනිති. හැම භාණ්ඩයක්ම නිකම්ම යම් හැඩයක් හෝ ස්වරූපයක් ගත්තක් නොවේ. යම් ශිල්පියෙක් කිසියම් භාණ්ඩයක් නිර්මාණය කරණ විට, ව්‍යුහාත්මක හෝ ජ්‍යාමිතික හැඩයකට අනුගතව යෝග්‍ය නිශ්චිත මෝස්තරයක් නිපදවා ගනියි. එකී මෝස්තර පුනර්යෝජනයෙන් හෝ රිද්මයානුකූලව සම්පිණ්ඩනයක් මතු කරයි. මෙහිදී යළිත් සෞන්දර්ය රීතීන් ඒ හා ක්‍රියාත්මක වේ. මෙම රිද්මය මතුවන්නේ සැරසුම් රටාවේ ප්‍රමාණය, පෘෂ්ඨයට සමානුපාතිකව ගෙන මාරුවෙන් මාරුවට ඒවායේ දීප්තිය හෝ ප්‍රකාශනය අඩු වැඩි වශයෙන් යෙදීමෙන් හෝ රටාවේ ප්‍රමාණයන් වෙනස් කිරීමෙනි. මෙබඳු අයුරින් නිම කළ භාණ්ඩයක කලාත්මක අගය හා වටිනාකම රඳා පවතින්නේ, එම අලංකරණයේ ඇති රිද්මීය එකමුතුව මතය. Continue reading කලාව

Advertisements

කලාව

කලාව යනු කුමක් ද?
එදිරිවීර සරච්චන්ද්‍ර
කලාව යනු කුමක් දැයි පහදා දීම ඉතා උගහට ය. කලාව නො වන්නේ කුමක් දැයි දැක්වීම ඊට වඩා පහසු බව කිව යුතුයි.

කලාව වසයෙන් දක්වන්නේ යම් කිසිවක් කිරීම ය, නැතහොත් නිපදවීම ය. ඉංග්‍රීසි art යන වචනයෙහි ද මේ අර්ථය තිබේ. The art of playing cricket, the art of writing, the art of talking in public ආදි යෙදුම්වල මේ අර්ථය ගැබ් වී තිබේ.

එ‍ෙහත් ‘සංගිත කලාව, ‘චිත්‍ර කලාව, ‘නාට්‍ය කලාව යන ආදි යෙදුම්වල විශේෂ අර්ථයක් තිබෙන බව සැලකිය යුතු ය. යම් කෙනෙකු සිතාරයක් හෝ තබ්ලාවක් හෝ බටනලාවක් වාදනය කරන විට ඔහු දක්ෂ සංගීතඥයෙක් හෝ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් හෝ දක්ෂ නළුවෙක් යයි අර්ථාන්විත ව ව්‍යවහාර කළ හැකිය. රවි ශංකර් සිතාරය වාදනය කරන විට සමහරු එහි ‘රසය’ විඳිති. සිතාර් වාදනය කිරීමේ දී ඒ තැනැත්තා දක්වන දක්ෂතාවයයි මෙතැන දී කියවෙන්නේ. අසන්නා තුළ ‘රසයක්’ උපදී යැයි කිව හැකි ය.

‘රසය’ යනු කුමක් ද කියා පැහැදිලි කිරීම උගහට ය. කිසියම් ගීතයකට හෝ වාදනයකට සාවධාන ව කන් දෙන තැනැත්තා තුළ කිසියම් ආහ්ලාදයක් උපදී. ඔහු එයින් රසාස්වාදයක් විඳිතියි කිව හැකි ය.

රසාස්වාදය යනු අසන්නා තුළ ජනිත වන ආවේග සමූහයයි, එනම් ‘වින්දනය’ යි. අසන්නා එයින් තෘප්තිමත් වන්ට පුළුවන. ඔහු එයින් කිසිදු වින්දනයක් නො ලබන්ට ද පුළුවන. ඔහු එම වාදනයට කන් දී තෘප්තිමත් වුව හොත් ඔහු රසාස්වාදයක් විඳිතියි අපට වටහා ගත හැකි ය.

මේ අයුරු ප්‍රතිචාරයක් විඳින්නට ඔහු වෙනත් සිතාර් වාදකයන්ගේ වාදනවලට කන් දීමේ පුරුද්දක් ඇත්තෙකු විය යුතු ය. ඔහු වාදකයා කෙරෙහි පැහැදෙන්ට පුළුවන. තමා ලබන වින්දනය ඔහු තුළ ප්‍රිය ජනක හැඟීමක් වන්ට පුළුවන.

‘කලාව’ යනු කෙබන්දක් දැයි වටහා ගැනීමට අපි කලාත්මක කෘතියක් දෙස බලමු. එය ගීතයක් විය හැකි ය. එසේ නො වේ නම් කලාත්මක යයි පිළිගනු ලබන චිත්‍රයක් – නො එසේ නම් කලාත්මක ලක්ෂණයෙන් යුත් ස්වභාව දර්ශනයක්.

එබන්දක් අප හඳුනා ගන්නේ දුටු විගස අප තුළ ප්‍රසන්නාත්මක චෛතසිකයක් ජනිත වන බැවිනි – එනම් ප්‍රසන්නාත්මක හැඟීමක්. එහි ප්‍රසන්න බව එහි රටාව නිසා ඇති වන්නක් විය යුත ය. එබඳු වස්තුවක් දුටු විගස අප තුළ පෙර නුවූ විරූ චෛතසිකයක් ජනිත වන බැවිනි. ඊට රසාස්වාදයයි කියනු ලැබේ. එම වස්තුවේ කිසියම් ස්වරූපයක් නිසා මෙවැනි චෛතසිකයක් ජනිත වේ. එනම් එහි සමබර ගතිය වන්ට පුළුවන; එසේ නැත්නම් එහි වර්ණවල අප සිත් ගන්නා එක්තරා විශේෂත්වයක්. මේ සියල්ල අතර එහි අනන්‍ය සාධාරණ ස්වරූපයක් ඇති බව පෙනේ.

බලන්නා තුළ හෝ අසන්නා තුළ එහි අනන්‍ය සාධාරණ ස්වරූපය හේතු කොට ගෙන අමුතු අයුරේ ප්‍රතිචාරයක් ජනිත විය හැකි ය. මේ වූ කලී කලා රස වින්දනයේ ආරම්භය වේ. පෙර නුවූ විරූ ආස්වාදයක් ඔහු තුළ ජනිත වේ. මෙය කලා රස යයි හඳුන්වනු ලබයි.

නරඹන්නා තුළ එය අත්පත් කර ගැනීමට තෘෂ්ණාවක් ජනිත නො වේ. ඔහුට වුවමනා කරන්නේ එය බැලීමට පමණකි. බැලීමෙන් ඔහු තෘප්තියක් ලබයි. මීට කලා රස වින්දනයයි කියනු ලැබේ.

තූර්ය වාදනයක් හෝ ගී ගායනයක් ගැන සිතා බලමු. එයින් අපේ චිත්ත චෛතසිකයන්ට කවර ප්‍රතිචාරයක් ඇති වේ ද? එය අසන විට අපේ අභ්‍යන්තරයෙහි අපූරු හැඟීම් ජනිත වේ ද? පෙර නුවූ විරූ ආස්වාදයක් ඇති වේ ද? එසේ නො වේ නම් ප්‍රතිකූල හැඟීම් ජනිත වේ ද? එම අවස්ථාවෙහි අපි කන් අගුල් දමමු ද? අප තුළ පෙර නුවූ විරූ හැඟීම් ජනිත වේද? ඒවා අනුකූල ද ප්‍රතිකූල ද? ඒවායින් අප චලනය වී අප තුළ අමුතු චෛතසික ජනිත වේ ද? අපි ඒවා අප තුළ රඳා පවත් වන්ට කැමති ද? එසේ නැතහොත් ඒවා අපේ අභ්‍යන්තරයෙන් පහ කරන්ට අපට සිත් වේ ද?

ඒ අමුතු චෛතසික අප ළ‍්‍තබා ගෙන, කිසියම් වටිනා වස්තු සම්භාරයක් මෙන් අප ඒවා වරින් වර අසන්ට කැමති ද? අපේ අන්තරාත්මයෙහි කිසියම් විපර්යාසයක් සිදු වී අපි ඒවා අප ළඟ තබා ගන්න කැමති ද? අපි ඒවා සිහිපත් කරමින් කීප වරක් අසමු ද? ඒ හැම වරක් ම එහි අමුතු බවක් අපට දැනේ ද?

කලාවේ අන්තර්ගත ස්වභාවය මෙයයි හඟිමි. හැම වර ම අලුත් වී හැම වර ම අපේ සිත් තුළ පෙර නුවූ විරූ ආස්වාදයක් ඇති කරයි ද? එය වූ කලි කලාවෙන් ලැබෙන ආස්වාදයයි. එම ආස්වාදයෙන් සිත් සතන් පිබිදෙනු විනා සිත් සතන් අවුල් නො වේ. සිත් සතන් පිබිදීමෙන් එම ආස්වාදය අනන්‍ය සාධාරණ වින්දනයක් බවට පත් වේ. Continue reading කලාව

අධ්‍යාපනය

‘නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ’ හිස් සටන් පාඨය?: බිරිතානියේ මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශණ අධ්‍යයන අංශය රැකගැනීමේ ප්‍රයත්නයෙන් පාඩම්
වංගීස සුමනසේකර

ආරම්භයක් වශයෙන් අපි සියළු දෙනාට එකතු වෙන්න පුළුවන් තැනකින් මේක පටන් ගනිමු. අද අප ජීවත්වන්නේ ප්‍රාග්ධනයේ ස්වයං ක්‍රියාකාරිත්වයන් සිතාගැනීමට පවා නොහැකි ලෙස සහ මෙයට සියවස් එකහමාරකට පෙර මාක්ස් පුරෝකථනය කළ පරිදිම මේ වන විට සම්ප්‍රදායිකව ප්‍රාග්ධනයේ ක්‍රියාකාරිත්වයෙන් පරිභාහිරව තිබෙන විෂය පථයන් හා ප්‍රපංචයන් වෙත දිග හැරෙමින් සිටිනා අවධියකය යන්න පිළිබඳ විශාල විරෝධයක් නොමැති වේ යැයි සිතමි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සැමදෙනාම වටිනාකම මැණබලන මිණුම්දණ්ඩ බවට ප්‍රාග්ධනය පත් වී ඇති අතර එහි මිණුම්දන්ඩට හසු නොවන දෙයක් වී ද, එය වටිනාකමක් නොමැති සහ එනිසාම පැවතීමට අයිතියක් නොමැති දෙයක් බවට එක් වරම පත් වේ.

මෙවැනි තර්කානුකූල තත්ත්වයක දී අධ්‍යාපන ක්ෂේත්‍රයට අත්වන ඉරණම සිතාගැනීම එතරම් අපහසු නොවේ. මිනිස් ශිෂ්ඨාචාරයේ “මිනිස්” යැයි කියාපෑහැකි යමක් වේ නම් ඒ සඳහා ප්‍රමුඛතම නිර්දේශිතයන් වන්නේ විද්‍යාව සහ කලාවයි (දර්ශණය යනු මේ දෙක අතර පවත්නා අපහසු පිහිටීමකි). අප සියළු දෙනාට එකඟවිය හැකි එනිසාම ඉතාම සාමාන්‍ය ලෙස පෙනෙන, මා ඉහත සඳහන් කළ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස මේ “මිනිස්” හදවතට වන්නේ සිය පැවැත්ම පිළිබඳ විශාල අරගලයක් කිරීමටයි. වෙනත් විදියකින් කියන්නේ නම් අද අපි ජීවත්වන්නේ අධ්‍යාපනය අවමානුශිකකරණය වීමේ ක්‍රියාවලියේ ආරම්භයේයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති වී ඇති සමකාලීන කතිකාවේ කේන්ද්‍රස්ථානයක් බවට අධ්‍යාපනයේ ආයතනිකගත ව්‍යුහය වන්නා වූ ශාස්ත්‍රාලය (academia) පත්වීම මේ අනුව නම්, කිසිසේත්ම, පුදුමයක් නොවේ.

මෙයට සියවස් බොහෝ ගණනකට පෙර ප්ලේටෝ සිය “ජනරජය” කෘතියේ දී කියූ පරිදි ජනරජයේ ආරක්ෂකයන්ගේ අධ්‍යාපනය සකස් විය යුත්තේ මුලින් සාහිත්‍යය හා සංගීතයෙන් ඇරඹී ගණිත ඥාණයෙන් පෝෂිතව දර්ශන විෂයයෙන් අවසන් වන පරිදිය. ශාස්ත්‍රාලය යනු මෙම ප්ලේටෝනික උරුමයේ සමකාලීන ශේෂය ලෙස ගන්නේ නම් අප අද මුහුණදෙන අර්බුදයේ සංකීර්ණතාව තේරුම් ගැනීම පහසුවේ යැයි සිතමි. අනෙක් අතට “පුද්ගලික” විශ්ව විද්‍යාල යන අපූර්ව යෙදුමෙන් හඳුන්වන ප්‍රපංචය පිළිබඳ වූ ලාංකික සංවාදයට පිවිසීමට, නැතිනම් එය නිවැරදි ලෙස සංදර්භගත කර ගැනීමට මෙය යෝග්‍ය ප්‍රවේශයකි.

මෙම සංවාදයේ අති ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ එය මුළුමනින්ම වාගේ මෙම ගෝලීය සන්දර්භයෙන් විනිර්මුක්ත වීමයි. මේ නිසා තමයි එම සංවාදයේ ප්‍රධාන ප්‍රකාශිතයන් සහ තෝල්කකරුන් විසින් එය අතිශය ගැටළුකාරී ලෙස විශ්ව විද්‍යාලයට ඇතුලත්වන සිසුන් සංඛ්‍යාව කේන්ද්‍ර කොට ගත් සංඛ්‍යා හරඹයකටත්, අනෙක් අතට දළ ජාතික නිශ්පාදිතයේ ප්‍රසාරණය හා සමපාත වූ අධ්‍යාපන ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡාවක් වෙතත් ඌණනය කර තිබෙන්නේ. අක්ෂාංශ හා දේශාංශ දත්ත අනුව පෘථි‍වියේ වෙනත් තැනකට වී බිහිසුණු අධ්‍යාපන සංහාරයකට මුහුණ දී සිටින මා හට මෙම දුර්වලතාවය වඩාත් කැපී පෙනෙන්නේ යැයි සිතමි. මෙනිසාම අප ඉදිරියේ තිබුනත් හඳුනාගත් නොහැකිව තිබෙනා මේ අරුම පුදුම වස්තූන් පිළිබඳ අවබෝධය පුළුල් කිරීමට, මාගේ මේ අත්දැකීම් ලාංකික සාකච්ඡාවට එකතුකිරීමක් ලෙස සටහන් කර තැබීමට තීරණය කළෙමි.

ඔබ සමහරෙක් මේ වනවිටත් අසා තිබෙන්නේයැයි බලාපොරොත්තු වන, මේ සුවිශේෂී අත්දැකීම වන්නේ බිරිතානියේ මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශණ අධ්‍යයන අංශය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළුවයි. මේ වනවිටත් මේ පිළිබඳ අසා නොමැති අය වෙනුවෙන් මේ කරුමක්කාර කතාවේ මූලික ගමන් පථය පමණක් සළකුණු කරමි. Continue reading අධ්‍යාපනය