අධ්‍යාපනය

‘නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ’ හිස් සටන් පාඨය?: බිරිතානියේ මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශණ අධ්‍යයන අංශය රැකගැනීමේ ප්‍රයත්නයෙන් පාඩම්
වංගීස සුමනසේකර

ආරම්භයක් වශයෙන් අපි සියළු දෙනාට එකතු වෙන්න පුළුවන් තැනකින් මේක පටන් ගනිමු. අද අප ජීවත්වන්නේ ප්‍රාග්ධනයේ ස්වයං ක්‍රියාකාරිත්වයන් සිතාගැනීමට පවා නොහැකි ලෙස සහ මෙයට සියවස් එකහමාරකට පෙර මාක්ස් පුරෝකථනය කළ පරිදිම මේ වන විට සම්ප්‍රදායිකව ප්‍රාග්ධනයේ ක්‍රියාකාරිත්වයෙන් පරිභාහිරව තිබෙන විෂය පථයන් හා ප්‍රපංචයන් වෙත දිග හැරෙමින් සිටිනා අවධියකය යන්න පිළිබඳ විශාල විරෝධයක් නොමැති වේ යැයි සිතමි. මෙහි ප්‍රතිඵලයක් ලෙස සැමදෙනාම වටිනාකම මැණබලන මිණුම්දණ්ඩ බවට ප්‍රාග්ධනය පත් වී ඇති අතර එහි මිණුම්දන්ඩට හසු නොවන දෙයක් වී ද, එය වටිනාකමක් නොමැති සහ එනිසාම පැවතීමට අයිතියක් නොමැති දෙයක් බවට එක් වරම පත් වේ.

මෙවැනි තර්කානුකූල තත්ත්වයක දී අධ්‍යාපන ක්ෂේත්‍රයට අත්වන ඉරණම සිතාගැනීම එතරම් අපහසු නොවේ. මිනිස් ශිෂ්ඨාචාරයේ “මිනිස්” යැයි කියාපෑහැකි යමක් වේ නම් ඒ සඳහා ප්‍රමුඛතම නිර්දේශිතයන් වන්නේ විද්‍යාව සහ කලාවයි (දර්ශණය යනු මේ දෙක අතර පවත්නා අපහසු පිහිටීමකි). අප සියළු දෙනාට එකඟවිය හැකි එනිසාම ඉතාම සාමාන්‍ය ලෙස පෙනෙන, මා ඉහත සඳහන් කළ තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස මේ “මිනිස්” හදවතට වන්නේ සිය පැවැත්ම පිළිබඳ විශාල අරගලයක් කිරීමටයි. වෙනත් විදියකින් කියන්නේ නම් අද අපි ජීවත්වන්නේ අධ්‍යාපනය අවමානුශිකකරණය වීමේ ක්‍රියාවලියේ ආරම්භයේයි. අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති වී ඇති සමකාලීන කතිකාවේ කේන්ද්‍රස්ථානයක් බවට අධ්‍යාපනයේ ආයතනිකගත ව්‍යුහය වන්නා වූ ශාස්ත්‍රාලය (academia) පත්වීම මේ අනුව නම්, කිසිසේත්ම, පුදුමයක් නොවේ.

මෙයට සියවස් බොහෝ ගණනකට පෙර ප්ලේටෝ සිය “ජනරජය” කෘතියේ දී කියූ පරිදි ජනරජයේ ආරක්ෂකයන්ගේ අධ්‍යාපනය සකස් විය යුත්තේ මුලින් සාහිත්‍යය හා සංගීතයෙන් ඇරඹී ගණිත ඥාණයෙන් පෝෂිතව දර්ශන විෂයයෙන් අවසන් වන පරිදිය. ශාස්ත්‍රාලය යනු මෙම ප්ලේටෝනික උරුමයේ සමකාලීන ශේෂය ලෙස ගන්නේ නම් අප අද මුහුණදෙන අර්බුදයේ සංකීර්ණතාව තේරුම් ගැනීම පහසුවේ යැයි සිතමි. අනෙක් අතට “පුද්ගලික” විශ්ව විද්‍යාල යන අපූර්ව යෙදුමෙන් හඳුන්වන ප්‍රපංචය පිළිබඳ වූ ලාංකික සංවාදයට පිවිසීමට, නැතිනම් එය නිවැරදි ලෙස සංදර්භගත කර ගැනීමට මෙය යෝග්‍ය ප්‍රවේශයකි.

මෙම සංවාදයේ අති ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ එය මුළුමනින්ම වාගේ මෙම ගෝලීය සන්දර්භයෙන් විනිර්මුක්ත වීමයි. මේ නිසා තමයි එම සංවාදයේ ප්‍රධාන ප්‍රකාශිතයන් සහ තෝල්කකරුන් විසින් එය අතිශය ගැටළුකාරී ලෙස විශ්ව විද්‍යාලයට ඇතුලත්වන සිසුන් සංඛ්‍යාව කේන්ද්‍ර කොට ගත් සංඛ්‍යා හරඹයකටත්, අනෙක් අතට දළ ජාතික නිශ්පාදිතයේ ප්‍රසාරණය හා සමපාත වූ අධ්‍යාපන ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡාවක් වෙතත් ඌණනය කර තිබෙන්නේ. අක්ෂාංශ හා දේශාංශ දත්ත අනුව පෘථි‍වියේ වෙනත් තැනකට වී බිහිසුණු අධ්‍යාපන සංහාරයකට මුහුණ දී සිටින මා හට මෙම දුර්වලතාවය වඩාත් කැපී පෙනෙන්නේ යැයි සිතමි. මෙනිසාම අප ඉදිරියේ තිබුනත් හඳුනාගත් නොහැකිව තිබෙනා මේ අරුම පුදුම වස්තූන් පිළිබඳ අවබෝධය පුළුල් කිරීමට, මාගේ මේ අත්දැකීම් ලාංකික සාකච්ඡාවට එකතුකිරීමක් ලෙස සටහන් කර තැබීමට තීරණය කළෙමි.

ඔබ සමහරෙක් මේ වනවිටත් අසා තිබෙන්නේයැයි බලාපොරොත්තු වන, මේ සුවිශේෂී අත්දැකීම වන්නේ බිරිතානියේ මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශණ අධ්‍යයන අංශය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළුවයි. මේ වනවිටත් මේ පිළිබඳ අසා නොමැති අය වෙනුවෙන් මේ කරුමක්කාර කතාවේ මූලික ගමන් පථය පමණක් සළකුණු කරමි.

සරසවියේ බැරි – පුළුවන්කාරකම්
කුමන නිර්ණායකයක් යටතේ සලකා බැලුවත් මේ ඉතාම බාලවර්ගයේ විශ්වවිද්‍යාලය සතුව තිබූ එකම සම්පත වූයේ මෙම දර්ශන අධ්‍යයන අංශයයි. විශ්වවිද්‍යාල වාණිජකරණයේ මංපෙත්තට පා තබමින් අධ්‍යයන අංශ යනු එකිනෙකා තරඟ කර ගන්නා වෙළඳසැල් බවට පත්කළ තැචරියානු නිර්ණායකයන් අතින් ගත්කළ මෙම දර්ශන අධ්‍යයන අංශය යනු මිඩ්ල්සෙක්ස් සරසවියේ පර්යේෂණ කටයුතු සඳහා ඉහළම ස්ථානයේ සිටි දෙපාර්තමේන්තුවයි. අනෙක් අතට මුළු බිරිතානියේම දර්ශන විෂය උගන්වන උසස් අධ්‍යාපන ආයතන අතුරින් 13 වෙනි තැන අයත් වූයේ මෙකී අංශයටයි. නමුත් මේ නිල සංඛ්‍යා දත්ත වලින් ඔබ්බට ගොස් දර්ශන විශය අභ්‍යන්තරයේ දෘෂ්ඨිකෝණයෙන් ගත් කළ මෙම විශ්ව විද්‍යාලයට ලැබෙන්නා වූ ස්ථානය සඳහන් කරන විට ඔබ පුදුමයට පත් වනු ඇත. ලොව පුරා සිටින විවිධ මට්ටමේ බුද්ධිමතුන් එක හෙලා කියා සිටි කාරණයක් වූයේ මහාද්වීපික දර්ශනය (Continental Philosophy) යනුවෙන් දුර්වලව හැඳින්වෙන දර්ශන සම්ප්‍රදාය අධ්‍යයනය කිරීම සඳහා ඉංග්‍රීසි ව්‍යවහාරික ලෝකය තුළ ඇති හොඳම ආයතන අතළොස්සෙන් එකක් බවයි. පසුගිය කාලයේ දී ලංකාවේ අතිශය ජනප්‍රිය වූ දාර්ශනිකයන් සියළු දෙනාම පාහේ අයත් වන්නේ මහාද්වීපික දර්ශන සම්ප්‍රදායට යැයි කීම අතිශයෝක්තියක් නොව් යැයි සිතමි. නමුත් ඇත්ත වශයෙන්ම ගත්විට මහාද්වීපික දර්ශනය යනුවෙන් මුල, මැද හා අවසානය සළකුණු කළ හැකි සංගත දැනුම් පද්ධතියන් නොමැති අතර තිබෙන්නේ යුරෝපා මහාද්වීපයේ පසුගිය සියවස් කීපය පුරා සිටි සිය ගණනක් සිතන්නන්ගේ අපහසු එකතුවක් පමණි. එම නිසා දර්ශණ විෂය ඉගෙන ගැනීමට යන කෙනෙක් සැබැවින්ම තෝරාගන්නේ තමනට සමීප දාර්ශනිකයා/සම්ප්‍රදාය පිළිබඳ විශේෂඥතාවක් දරන්නා වූ අධ්‍යයන ආයතනයි. මේ අරුතින් මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශණ අධ්‍යයන අංශය පර්යේෂණ විශේෂඥතාවය දරන්නේ කුමකටද, එම විශේෂඥතාවය කොතරම් ගැඹුරු එකක්දැයි අප සලකා බලමු.

• ඇලේන් බදියු යන සමකාලීන ප්‍රංශ දාර්ශනිකයා වරක් මෙලෙස ලියා තැබුවේය: “ මගේ වඩාත්ම සූක්ෂම සහ ලාලසී අර්ථකතනකරුවා සහ විවේචකයා වන්නේ පීටර් හෝල්වර්ඩ් වෙයි.” නිතැතින්ම, ඔබ බදියු පිළිබඳව, ඉගෙනුමට/විවේචනයට තෝරා ගත යුත්තේ පීටර් හෝල්වර්ඩ් සිටිනා විශ්ව විද්‍යාලය නොවේද?

• ඔබ ජිල් ඩෙලර්ස් යන ප්‍රංශ ජාතික දාර්ශනිකයා සම්බන්ධයෙන් උනන්දු වන්නේ නම් ඩෙලර්ස්ගේ ප්‍රමුඛ පෙළේ අනුගාමිකයෙක් සමග ඉගෙනුමට කැමති වනවා නොඅනුමානය. මේ සඳහා එරික් අලියේ නම් දාර්ශනිකයා සුදුසුදැයි සිතන්න. එරික්ගේ ආචාර්ය උපාධි නිබන්ධයේ උපදේශකවරයා වී ඇත්තේ ඩෙලර්ස්ය; එය පසුව මුද්‍රණය වූ විට ඩෙලර්ස් ඒ සඳහා හැඳින්වීමක් ලියයි; ඩෙලර්ස්ගේ දිගු කාලීන ගමන් සගයා වූ පීලික්ස් ගටාරි සමග එරික් ගේ ප්‍රකාශණ එළි දැක්වී ඇත. ඩෙලර්ස් සම්බන්ධයෙන් ඉගෙනුමට ඔබ එරික්ව තෝරා ගනු ඇත්ද?

• කාන්ට් සහ හේගල් ප්‍රමුඛ සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැතිව ඔබට සමකාලීන දර්ශනය තේරුම් ගැනීම කළ නොහැකිය. ‍ මේ සඳහා ඔබට අත්වැලක් සැපයීමට සමකාලීන හේගල් අධ්‍යයනයේ දැවැන්තයෙක් ඔබට අවශ්‍ය නොවේද? ලංකාවේ තරමක් ජනප්‍රිය වූ “How to read ” (කියවන්නේ කෙසේද?) යන පොදු නාමයෙන් වෙළඳ පොළට පැමිණි ග්‍රන්ථ මාලාවේ “How to read Marx” (මාක්ස් කියවන්නේ කෙසේද?) කෘතිය රචනා කළ පීටර් ඔස්බෝන් සමග සම්භාව්‍ය ජර්මානු දර්ශණය ඉගෙන ගැනීමට ඔබ අකමැතිද?(මෙම ග්‍රන්ථ මාලාවේම “ලැකොන් කියවන්නේ කෙසේද?” යන තෘතිය රචනා කළේ අප බොහෝ දෙනෙක් දන්නා ස්ලැවෝයි ජිජැක් ය.)

• ඉමැනුවෙල් ලෙවිනාස් නම් ප්‍රංශ දාර්ශනිකයා සම්බන්ධයෙන් ඉංග්‍රීසි ව්‍යවහාරික ලෝකය තුළ අධිකාරී බලයක් හිමිකරගෙන සිටිනා ස්ටෙලා ස්ටැන්ෆර්ඩ් යනු ලෙවිනාස් අධ්‍යයනයෙහි ලා සමකාලීන ස්ත්‍රීවාදය සම්බන්ධයෙන් වූ ඉහළම ප්‍රකාශිකාවක් වන්නා ය. ශුලාමිත් ෆයර්ස්ටෝන් නම් කේන්ද්‍රීය ස්ත්‍රීවාදී සිතන්නිය වටා ඇය කර ඇති අධ්‍යයනයන් ඉදිරි වසර කීපය තුළ කේන්ද්‍රීය වනු ඇතැයි යන්න මාගේ පුරෝකථනයයි.

• ඉමහත් ජාත්‍යන්තර ලෝකයේ ඇති පිළිගැනීමට ලක් වූ “රැඩිකල් ෆිලෝසොෆි” (Radical Philosophy – රැඩිකල් දර්ශනවාදයන්) නම් ශාස්ත්‍රීය සඟරාව පළ කරන්නේ ඉහත සඳහන් කණ්ඩායම ඇතුළු මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශන අධ්‍යයන අංශය යැයි කිවහොත් ඔබ කුමක් කියනු ඇත්ද?

තරමක් දීර්ඝවූත් බැලූබැල්මට නිෂ්ඵල යැයි පෙනෙන්නාවූත් මේ දීර්ඝ ලැයිස්තුව මෙලෙස දිගහැරියේ මන්දැයි කියා ඔබ මගෙන් විමසුවහොත් මට ඒ සඳහා ඉතා නිශ්චිත පිළිතුරක් තිබේ. මෙයට දෙමසකට පමණ පෙර එක්තරා දිනකදි මිඩ්ල්සෙක්ස් සරසවියේ පාලනාධිකාරිය එහි දර්ශන අධ්‍යයන අංශයට මෙසේ පැවසීය : “ඔබලාගෙන් මේ සරසවියට ගණනය කළ හැකි එකතුකිරීමක් සිදුවී නොමැත.” මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහු තවදුරටත් කියා සිටියේ කොතරම් කණගාටුවෙන් වුවද මෙම දර්ශණ අධ්‍යයන අංශය වසා දැමිය යුතු බවයි.

දින කීපයක් තුළ සූවිශාල විරෝධයක් මේ වටා ගොඩනැඟිනි. මෙයට විරෝධය පළකරමින් ආරම්භ කළ පෙත්සම වෙනුවෙන් පැය කීපයක් තුළ අත්සන් දහසක් දායක විය. ජුනි මස 13 වෙනි දා වනවිට එයට අත්සන් 17,400 කට වඩා එකතු වී තිබේ. ඇලේන් බදියු, එටියෙන් බලිබාර්, ජූඩිත් බට්ලර්, ටෝනි නෙග්රි, ජාක් රන්ශියර්, ගයත්‍රි ස්පිවැක්, ස්ලැවෝයි ජිජැක්, ඇතුලු ලොව සිටින පළමු පෙළේ දාර්ශනිකයන් රැසක් මෙයට විරුද්ධව ලියූ ලියවිල්ලක් Times Higher Education අතිරේකයේ පළ විය.

“දර්ශනවාදය අපේ ජීවිතයයි !”: මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශණ අධ්‍යයන අංශයේ විරෝධයේදී, සිසුන් සරසවියේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල අල්ලා ගෙන සිටිය දී.

මෙයින් ප්‍රබෝධමත් වූ සිසුන් මැයි මස මුලදී මිඩ්ල්සෙක්ස් සරසවියේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල අත්පත් කරගත් අතර එය දින දොළහක් මුළුල්ලේ විශ්ව විද්‍යාල පරිපාලනයට තහනම් අඩවියක් කරමින් පාලනය විය. මේ කාලය අතර තුළදී විශ්ව විද්‍යාලයක් පවත්වා ගෙන යන්නේ කෙලෙසද, කුමකට ද යන ගැටළුවලට ලොවටම පිළිතුරු දෙමින් ආදර්ශ අධ්‍යයන අංශයක් ක්‍රියාත්මක විය. ලොව නන්දෙසින් පැමිණි බුද්ධිමතුන් සහ දේශපාලන ක්‍රියාකාරීන් මේ සඳහා අත්වැල් සැපයූ අතර දේශන, සංගීත ප්‍රසංග, සාකච්ඡා, වාද විවාදවලින් සපිරි මනරම් දින දොළහක් නිම විය.

මේ අතර විශ්ව විද්‍යාල පාලනාධිකාරිය අධිකරණ නියෝගයක් රැගෙන සිසුන්හට තර්ජනය කළ අතර අවසානයේදී සිසුහු විශාල උද්ඝෝෂණ රැළියක් පවත්වා ගොඩනැගිල්ල අත්හැර දැමූහ.

ඉන්පසු එළඹුන සතියේ දී නැවත වරක් සංවිධානය වූ සිසුන් විශ්විද්‍යාලයීය පුස්තකාලය අත්පත් කරගත් අතර රැය පහන්වනතුරු එහි රැඳී සිට පසුදින පිටව ගියහ. මෙයට ප්‍රතිචාර ලෙස පාලකයන් විසින් සිසුන් සිව්දෙනෙක් ද, මහාචාර්යවරුන් දෙදෙනෙක් ද, එක් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ද, විශ්ව විද්‍යාල කටයුතුවලට සහභාගිවීමෙන් තහනම් කරණු ලැබිණි. නැවතත් මුළු දාර්ශනික ලොවම අවදි වූ අතර දෙවන රැල්ලේ විරෝධතාවය පෙරට ද වඩා තීව්‍ර විය.
මෙයට ප්‍රතිචාර ලෙස සිසුන් තෝරා ගත්තේ විශ්ව විද්‍යාල උපකුලපතිගේ කාර්යාලයට පිටතින් කූඩාරම් ගසා පදිංචි වීමටයි. ලන්ඩනය පුරා, අධ්‍යාපන කප්පාදුවන්ට එරෙහිව සංවිධානය වී ඇති සුවිශාල කණ්ඩායම්වල සහාය ද ඇතිව සිසුන් උද්ඝෝෂණය වඩාත් උද්වේගකර විය.

අවසානයේ දී මෙම නිරන්තර පීඩනයේත් එය පසුපස වු ජාත්‍යන්තර සහයෝගයේත් ප්‍රතිඵලයක් ලෙස දකුණු ලන්ඩනයේ කිංස්ටන් විශ්ව විද්‍යාලයය විසින් මිඩ්ල්සෙක්ස් සරසවියේ දර්ශණ අධ්‍යයන අංශය එයට රැගෙන එන ලෙස ආරාධනාවක් කරනු ලදී. මෙමගින් එම අධ්‍යයනාංශය විසින් පවත්වාගෙන යනු ලබන Centre for Research in Modern European Philosophy (නූතන යුරෝපීය දර්ශනය සම්බන්ධ වූ පර්යේෂණ කේන්ද්‍රය) ආයතනය අඛන්ඩව පවත්වාගෙන යෑමටත් එහි දැනට ඉගෙනුම ලබන සහ අනාගතයේ ඉගැනීමට බලාපොරොත්තුවන පශ්චාත් උපාධිධාරී සිසුන්ටත් ඒ සඳහා ඉඩ විවරවී තිබේ. මේ මගින් මෙම විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දුන් සැමට අසම්පූර්ණ නමුත් සුවිශේෂී ජයග්‍රහණයක් හිමි වීය.

පාඩම් කීපයක්
මාගේ අදහසේ හැටියට මෙයින් අපට ඉගෙන ගැනීමට පාඩම් කීපයක් වෙයි. ඉන් අදහස් වෙන්නේ, මෙය අධ්‍යාපනය සම්බන්ධයෙන් වූ අපගේ සියළු ප්‍රශ්නවලට පිළිතුරු දෙන විශ්මිත මැජික් පොල්ලක් වේය, යන්න නම් නොවේ. අනෙක් අතට අධ්‍යාපනය වෙළඳපොළකරණය වීම යන නිශ්චිත කරුණේදී පවා සියළුම පැතිම‍ානයන්, උක්ත අත්දැකීමෙන් පුළුල් වන්නේද නැත. නිදසුනක් ලෙස මෙම සාකච්ඡාවේ කේන්ද්‍රීය ගැටළුවක් වන වාත්තීය නිපුණතා පුහුණු කෙරෙනා වෛද්‍ය නැතිනම් ඉංජිනේරු වැනි විෂයයන් සඳහා අත්වන බලපෑම සම්බන්ධයෙන් අපට මිඩ්ල්සෙක්ස් අත්දැකීම එතරම් දෙයක් කියා නොදෙයි. මින් අදහස් වන්නේ අධ්‍යාපනය ගෝලීය ධනේශ්වර ව්‍යුහයට ගැට ගැසීමේදී මෙවැනි විෂයයන් අධ්‍යයනය කරන්නා වූ සිසුවියට බලපෑමක් ඇති නොවනවා යන්න නොවේ. නමුත් මෙම සාකච්ඡව තුළ මෙම විෂයයන් සඳහා වන බලපෑම මේ වනවිටත් පුළුල් ලෙස සාකච්ඡා වී තිබේ. එක් අතකට බැලූවිට සාකච්ඡා වී ඇති එකම කරුණ වන්නේ මේ යැයි කියා වුවද කෙනෙකුට තර්ක කළ හැක. නමුත් අධ්‍යාපනය පිළිබඳ වූ මෙම “වෘත්තීය නිපුණතා කේන්ද්‍රීය යොමුව” මගින් මඟහරිනා කරුණ වන්නේ අධ්‍යාපනය යන්න පුළුල් වශයෙන් මානව ඉතිහාසය පුරා ඉටු කර ඇති මූලධාර්මික භූමිකාව පිළිබඳ සාකච්ඡාවයි. නැවතත් මතක් කළ යුත්තේ මෙමගින් ඉහත කී වාත්තීය නිපුණතා වර්ධනය කිසි ලෙසකින්වත් හෑල්ලුවට ලක් නොකරන බවයි. කොටින්ම ප්ලේටෝගේ ජනරජයේ සිසුන් පවා ශරීර වර්ධනය හා සටන් ශිල්පය හැදෑරීම අනිවාර්ය කරුණක් විය! ඒ කෙසේ වුවත් අධ්‍යාපනය යන්නෙහි ඇතුලාන්තයේ ඇති නොවෙනස් වන්නා වූ මූලධර්මයක් වන්නේ අපගේ දෛනික ජීවිතය පාලනය කරනා ජෛවීය හා සමාජීය උවමනාවන් වලින් ඔබ්බෙහි වූ යමක් වෙත, මිනිසාට පමණක් උරුම වූ යමක් වෙත අප බලාත්මක කිරීමයි, යොමු කිරීමයි. මිඩ්ල්සෙක්ස් අත්දැකීමෙන් අපට ඉගෙනගත හැකි වැදගත්ම පාඩම සම්බන්ධ වන්නේ මෙන්න මේ “දෙය” සම්බන්ධයෙන් ධනේශ්වර මැදිහත්වීමෙන් සිදුවන ජාන විකෘතිය සමඟයි.

අධ්‍යාපනය නම් අදහස තුළ තිබෙන්නා වූ මානවීය යමක් වේ නම් එය සම්බන්ධ වෙන්නේ විද්‍යාවට සහ කලාවට කියා මෙයට මොහොතකට පෙර මා කියුවා ඔබට මතක ඇති (මෙකී අවකාශයන් වල ඓතිහාසික ගමන්මග නිර්ණය කරනා විශ්වීය විනිශ්චය ලෙස දර්ශනවාදය පිහිටන්නේ මෙකී අවකාශයන් දෙක අතරතුරයැයි ද මා පැවසුවා). මෙහිදී අවධාරණය කළ යුතු කරුණක් තිබේ. කලාව සහ විද්‍යාව යනු විශ්වීය වටිනාකමක්, එනිසාම සත්‍යයක්, හිමි එකම අවකාශයන් දෙක නොවේ. නමුත් අධ්‍යාපනය නම් අදහස පතුලේ තැන්පත් වී ඇති මූලධාර්මික සංඝටකයන් පිළිබඳ කෙරෙන මෙම සාකච්ඡාවේ දී අපට මුණගැසෙන්නේ මෙම අවකාශයන් දෙක පමණක් වන නිසා එය ගැන පමණක් මෙතැනදී සාකච්ඡා කරමු. ඒ අනුව අධ්‍යාපනය නම් අදහසේ ඇති පරමාණුක අංශු දෙක ලෙස කලාව සහ විද්‍යාව හඳුනා ගත් පසු අපට මෙවැනි සූත්‍රයක් වෙත ළඟා විය හැක:“වටිනාකම සත්‍යය ලෙස වටහාගැනීම සහ වටිනාකම වෙළඳපොළ හුවමාරුව ලෙස වටහා ගැනීම අතර ඌණනය කළ නොහැකි නොගැලපීමක් තිබේ.”

අපි මෙම සූත්‍රය තරමක් විස්තාරණය කරමු. විශ්වීය වූ සත්‍යයන් යන සංකල්පයේ එක තේරුමක් වන්නේ එය ඕනෑම අවස්ථාවක පවත්නා වෙනස්කම් ඉක්මවා යෑමක් යන්නයි. වඩාත් නිවැරදිව කියන්නේ නම් පවත්නා වෙනස්කම් තුළින් නිර්ණය කරගත නොහැකි දෙයකටයි. ගැහැණු / පිරිමි නැතිනම් සිංහල / දෙමළ ආදී ලෙස පවත්නා වෙනස්කම් තුළ මෙය නිශ්චිත ලෙස බහාලිය නොහේ. එම නිසා එයට පවත්නා අවස්ථාව තුළ සමතුලිත වටිනාකමක් ඇති අනෙකෙක් නොමැත. තරමක් තාක්ෂනික යෙදුමක් යොදන්නේ නම් විශ්වීය සත්‍ය යනු “විශ්වීය අපූර්වත්වයක්” (Universal Singularity) යනුවෙන් අපට පැවසිය හැක. අනෙක් අතට යමකට හුවමාරු වටිනාකමක් තිබේය යන්නෙහි ප්‍රධාන අර්ථය වන්නේම එයට සමතුලිත වූ වටිනාකමක් සහිත තවත් යමක් තිබේය යන්නය. ඉහත සූත්‍රය තුළ අප ගොනුකළ ඌණනය කළ නොහැකි නොගැළපීම යන්නෙහි සරල අරුත මෙයයි. මේ හරහා අපට නව ලිබරල්වාදී නියෝජිතයන් නිරන්තරයෙන් මතුරන්නා වූ මන්තරයක් වැනි තර්කයක පුහු බව වටහා ගැනීමට පුළුවන් වේ. මේ තර්කයට අනුව එකම විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් දෙදෙනෙකු අතර තරඟයක් පවතින්නේ නම් වඩාත් හොඳ ගුරුවරයා ළඟට ගොස් අධ්‍යාපනය ලැබීමට වෙළඳපො‍ළ ක්‍රමයන් තුළ දී සිසුන්ට අවස්ථාව හිමි වේ. මෙම හොබ්සියානු අධ්‍යාපන යුද්ධයේ කැඳවුම්කරුවන් අමතා කරනා කරුන, නැතිනම් හිතාමතා මඟහරිනා කරුණ වන්නේ මෙම තර්කය වලංගු වන්නේ ඉගැන්වෙන විෂයයෙහි වටිනාකම පිළිගන්නා ලද තත්ත්වයක් තුළ පමණි. නමුත් වෙළඳපොළකරණය අහිමුවේ සිරවූ අධ්‍යාපනයක් තුළ තවදුරටත් එම තර්කණයට අනුව නොවටිනා, නමුත් ඉහත සූත්‍රයට අනුව අන් කිසිවකටත් වඩා වටිනා, කිසිදු විෂයයක් ඉතිරි වන්නේ නැත. එම නිසා මෙම නව ලිබරල් විශේෂඥයන් අපට සපථ කර සිටිනා මහා සංවර්ධන සිහිනය තුළ මානව සංහතියට දෙන පණිවුඩය වන්නේ සැබැවින්ම මෙවැන්නකි: තමුසෙලා සේරම ලාභය ඉදිරියේ දණගහපල්ලා!

“සටන් සගයෝ!” : ලෝ පතළ කීර්තියක් දිනූ ප්‍රංශ දාර්ශනික එටියෙන් බලිබාර් (මැද) විරෝධතාවේ නිරත වූ සිසුන්ගේ සහායට පැමිණි අවස්ථා‍වේ.

දෙවැනි පාඩම වන්නේ මෙවැන්නකි: අත්‍යයන්තයෙන් වටිනාකමක් ඇති දෙයක වටිනාකම ඇත්තේ එය මුණගැසෙන ඕනෑම පුද්ගලයෙකු වෙතින් එය වෙනුවෙන් සේවය කිරීමට, එය වෙනුවෙන් ජීවිතය කැප කිරීමට, නැතිනම් ‘එය’ සමග සිය ජීවිතය වෙනස් කිරිමට කෙරෙන මැඩලිය නොහැකි බලපෑම තුළයි (බුදුන්ගේ ස්වයං-විශ්වාසනීය “ඒහි පස්සිකෝ” යන්නෙහි ගැඹුරු අරුත මෙයයි). මේ කරුණ ශ්‍රී ලාංකික සංදර්භය තුළදී අතිශය වැදගත් වේ. මිඩ්‍ල්සෙක්ස් සරසවිය තුළ මෙවැනිම කප්පාදු කිරීම්වලට මුහුණ දී ඇති අනෙකුත් අධ්‍යයන අංශ මවිත කරමින් දර්ශන අංශයේ සිසුන් සිය අංශය රැකගැනීමේ සටනේ ඉදිරි පෙළ සටන්කරුවන් බවට පත් කිරිමට සමත් යමක් එහි විය. එහි කිසිදු ගුරුවරයෙක් හෝ වෙනත් බාහිර දේශපාලන සංවිධානයක් විසින් හෝ මෙම සිසුන් “උසි ගන්වා” මහපාරට කැඳවූවා කියා පැවසීමට කිසිවෙකුට නොහැකිය. සරසවිය මෙහෙයවන්නා වූ වසල වෙළඳ පැලැන්තිය පුදුමයට පත්කළ කාරනය ද මෙය විය. එම පරිපාලකයෝ ලොව පුරා නැගෙන විරෝධයක් බලාපොරොත්තු වී සිටියහ. නමුත් ඔවුන් නොදැන සිටියේ ඔවුන් පය ගසා සිටින පොළොවද එතරම් ස්ථායී නොවන බවයි. බදියු, බලිබාර් නැතහොත් රන්ශියර් මෙම තීරණයට විරුද්ධව පුවත්පත් නිවේදන නිකුත් කරන බව ඔවුන් දැන සිටිය ද සිසුන්ගේ මෙම ප්‍රතිමුෂ්ඨි ප්‍රහාරය සැබැවින්ම අනපේක්ෂිත විය. ප්‍රාදේශීය පුවත් පත්වල සිට, ජාතික සති අන්ත පුවත්පත් වල මුල් පිටු වලටත්, බී බී සී සේවයේ ප්‍රධාන පුවත් විකාශය තුළටත් මෙම පුවත රැගෙන ගියේත්, එමගින් මිඩ්ල්සෙක්ස් සරසවියේ අපකීර්තිය තීව්‍ර වූයේත්, අනෙක් අතට දර්ශන අධ්‍යානංශයේ වටිනාකම දාර්ශනික ලෝකයේ සීමිත අවකාශයෙන් මිදී පොදු මහජනයා වෙතට රැගෙන ගියේත් මෙම ශිෂ්‍ය අරගලයයි. ජිජැක් නැතිනම් ස්පිවැක් විසින් රචිත පුවත්පත් ලිපිවලට ජීවනාලිය වූයේත් මෙම අරගලයයි. මේ ඇසුරින් ලාංකිකයන් ලෙස අප ඇසිය යුතු වන්නේ මෙවැනි ප්‍රශ්නයකි: එයට අභිමුඛ වන සියළු දෙනාගේ ලාලසී හදමනස අවධි කර එය වෙනුවෙන් සටන් කිරීමට පෙළඹවිය හැකි අධ්‍යයන අනුශාකයන් ලාංකික ඇකඩමියාව තුළ තිබේ ද? මෙයට අප දෙන පිළිතුර මුලික වශයෙන් නිශේධනාත්මක නම් (මගේ අදහස හැටියට එය එසේය) අප එයටත් වඩා බැරූරුම් අර්බුදයකට මුහුණ දේ: “නිදහස් අධ්‍යාපනය බේරා ගනිව්” කියනා හිස් සටන් පාඨයේ අරුත කුමක් ද?

නිශ්චිතවම කිව යුත්තේ මෙමගින් නිදහස් අධ්‍යාපනය යන අදහස මුළුමනින්ම අත්හළ යුතු යැයි මා අදහස් නොකරන බවයි. ඇත්ත වශයෙන්ම කිසිම අයුරකින් ශිෂ්ඨ සම්පන්න වූ සමාජයක් ස්වකීය ළමා පරපුරට අධ්‍යාපනය විකුණන්නේ නැත. එය සමාන කළ හැක්කේ තුවාල වී ලේ සළනා මිනිසෙකුට වෙළුම් පටියක් විකිණීමට නැතහොත් ළදරුවන්ට මව්කිරි විකිණීමට පමණි. නමුත් මා අවධාරණය කිරීමට අදහස් කරන්නේ අධ්‍යාපනයේ අදහස තුළ ඇති අරුතට සම්පූර්ණයෙන් පරස්පරව හා ව්‍යාකූල ලෙස එහි සැබෑම විරුද්ධාභාෂය වූ වෘත්තීය පුහුණුව සමග එය පටලැවී ඇති තත්ත්වයක් තුළ “සියළු දෙනාටම නිදහස් අධ්‍යාපනය දියව්” යන සටන් පාඨය පමණක් කෑ ගසමින් අවි අමෝරා ගැනීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කීමටයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )