කලාව

කලාව යනු කුමක් ද?
එදිරිවීර සරච්චන්ද්‍ර
කලාව යනු කුමක් දැයි පහදා දීම ඉතා උගහට ය. කලාව නො වන්නේ කුමක් දැයි දැක්වීම ඊට වඩා පහසු බව කිව යුතුයි.

කලාව වසයෙන් දක්වන්නේ යම් කිසිවක් කිරීම ය, නැතහොත් නිපදවීම ය. ඉංග්‍රීසි art යන වචනයෙහි ද මේ අර්ථය තිබේ. The art of playing cricket, the art of writing, the art of talking in public ආදි යෙදුම්වල මේ අර්ථය ගැබ් වී තිබේ.

එ‍ෙහත් ‘සංගිත කලාව, ‘චිත්‍ර කලාව, ‘නාට්‍ය කලාව යන ආදි යෙදුම්වල විශේෂ අර්ථයක් තිබෙන බව සැලකිය යුතු ය. යම් කෙනෙකු සිතාරයක් හෝ තබ්ලාවක් හෝ බටනලාවක් වාදනය කරන විට ඔහු දක්ෂ සංගීතඥයෙක් හෝ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් හෝ දක්ෂ නළුවෙක් යයි අර්ථාන්විත ව ව්‍යවහාර කළ හැකිය. රවි ශංකර් සිතාරය වාදනය කරන විට සමහරු එහි ‘රසය’ විඳිති. සිතාර් වාදනය කිරීමේ දී ඒ තැනැත්තා දක්වන දක්ෂතාවයයි මෙතැන දී කියවෙන්නේ. අසන්නා තුළ ‘රසයක්’ උපදී යැයි කිව හැකි ය.

‘රසය’ යනු කුමක් ද කියා පැහැදිලි කිරීම උගහට ය. කිසියම් ගීතයකට හෝ වාදනයකට සාවධාන ව කන් දෙන තැනැත්තා තුළ කිසියම් ආහ්ලාදයක් උපදී. ඔහු එයින් රසාස්වාදයක් විඳිතියි කිව හැකි ය.

රසාස්වාදය යනු අසන්නා තුළ ජනිත වන ආවේග සමූහයයි, එනම් ‘වින්දනය’ යි. අසන්නා එයින් තෘප්තිමත් වන්ට පුළුවන. ඔහු එයින් කිසිදු වින්දනයක් නො ලබන්ට ද පුළුවන. ඔහු එම වාදනයට කන් දී තෘප්තිමත් වුව හොත් ඔහු රසාස්වාදයක් විඳිතියි අපට වටහා ගත හැකි ය.

මේ අයුරු ප්‍රතිචාරයක් විඳින්නට ඔහු වෙනත් සිතාර් වාදකයන්ගේ වාදනවලට කන් දීමේ පුරුද්දක් ඇත්තෙකු විය යුතු ය. ඔහු වාදකයා කෙරෙහි පැහැදෙන්ට පුළුවන. තමා ලබන වින්දනය ඔහු තුළ ප්‍රිය ජනක හැඟීමක් වන්ට පුළුවන.

‘කලාව’ යනු කෙබන්දක් දැයි වටහා ගැනීමට අපි කලාත්මක කෘතියක් දෙස බලමු. එය ගීතයක් විය හැකි ය. එසේ නො වේ නම් කලාත්මක යයි පිළිගනු ලබන චිත්‍රයක් – නො එසේ නම් කලාත්මක ලක්ෂණයෙන් යුත් ස්වභාව දර්ශනයක්.

එබන්දක් අප හඳුනා ගන්නේ දුටු විගස අප තුළ ප්‍රසන්නාත්මක චෛතසිකයක් ජනිත වන බැවිනි – එනම් ප්‍රසන්නාත්මක හැඟීමක්. එහි ප්‍රසන්න බව එහි රටාව නිසා ඇති වන්නක් විය යුත ය. එබඳු වස්තුවක් දුටු විගස අප තුළ පෙර නුවූ විරූ චෛතසිකයක් ජනිත වන බැවිනි. ඊට රසාස්වාදයයි කියනු ලැබේ. එම වස්තුවේ කිසියම් ස්වරූපයක් නිසා මෙවැනි චෛතසිකයක් ජනිත වේ. එනම් එහි සමබර ගතිය වන්ට පුළුවන; එසේ නැත්නම් එහි වර්ණවල අප සිත් ගන්නා එක්තරා විශේෂත්වයක්. මේ සියල්ල අතර එහි අනන්‍ය සාධාරණ ස්වරූපයක් ඇති බව පෙනේ.

බලන්නා තුළ හෝ අසන්නා තුළ එහි අනන්‍ය සාධාරණ ස්වරූපය හේතු කොට ගෙන අමුතු අයුරේ ප්‍රතිචාරයක් ජනිත විය හැකි ය. මේ වූ කලී කලා රස වින්දනයේ ආරම්භය වේ. පෙර නුවූ විරූ ආස්වාදයක් ඔහු තුළ ජනිත වේ. මෙය කලා රස යයි හඳුන්වනු ලබයි.

නරඹන්නා තුළ එය අත්පත් කර ගැනීමට තෘෂ්ණාවක් ජනිත නො වේ. ඔහුට වුවමනා කරන්නේ එය බැලීමට පමණකි. බැලීමෙන් ඔහු තෘප්තියක් ලබයි. මීට කලා රස වින්දනයයි කියනු ලැබේ.

තූර්ය වාදනයක් හෝ ගී ගායනයක් ගැන සිතා බලමු. එයින් අපේ චිත්ත චෛතසිකයන්ට කවර ප්‍රතිචාරයක් ඇති වේ ද? එය අසන විට අපේ අභ්‍යන්තරයෙහි අපූරු හැඟීම් ජනිත වේ ද? පෙර නුවූ විරූ ආස්වාදයක් ඇති වේ ද? එසේ නො වේ නම් ප්‍රතිකූල හැඟීම් ජනිත වේ ද? එම අවස්ථාවෙහි අපි කන් අගුල් දමමු ද? අප තුළ පෙර නුවූ විරූ හැඟීම් ජනිත වේද? ඒවා අනුකූල ද ප්‍රතිකූල ද? ඒවායින් අප චලනය වී අප තුළ අමුතු චෛතසික ජනිත වේ ද? අපි ඒවා අප තුළ රඳා පවත් වන්ට කැමති ද? එසේ නැතහොත් ඒවා අපේ අභ්‍යන්තරයෙන් පහ කරන්ට අපට සිත් වේ ද?

ඒ අමුතු චෛතසික අප ළ‍්‍තබා ගෙන, කිසියම් වටිනා වස්තු සම්භාරයක් මෙන් අප ඒවා වරින් වර අසන්ට කැමති ද? අපේ අන්තරාත්මයෙහි කිසියම් විපර්යාසයක් සිදු වී අපි ඒවා අප ළඟ තබා ගන්න කැමති ද? අපි ඒවා සිහිපත් කරමින් කීප වරක් අසමු ද? ඒ හැම වරක් ම එහි අමුතු බවක් අපට දැනේ ද?

කලාවේ අන්තර්ගත ස්වභාවය මෙයයි හඟිමි. හැම වර ම අලුත් වී හැම වර ම අපේ සිත් තුළ පෙර නුවූ විරූ ආස්වාදයක් ඇති කරයි ද? එය වූ කලි කලාවෙන් ලැබෙන ආස්වාදයයි. එම ආස්වාදයෙන් සිත් සතන් පිබිදෙනු විනා සිත් සතන් අවුල් නො වේ. සිත් සතන් පිබිදීමෙන් එම ආස්වාදය අනන්‍ය සාධාරණ වින්දනයක් බවට පත් වේ.

අවසාන වසයෙන් කිව යුත්තේ ‘කලාව’ යන වචනය එම අයුරු පුරාතන සිංහල සාහිත්‍යයෙහි නො යෙදන බව. එය ඉංග්‍රීසි art යන්නට යොදා ගන්නා ලද්දකි. එබැවින් සිංහල භාෂා ව්‍යවහාරයෙහි එලෙස ම එය යොදා ගත නො හැකි බව කිව යුතු ය. ඉංග්‍රීසියෙන් art යනුවෙන් නොයෙක් කලා මාධ්‍යයන් හඳුන්වනු ලබයි. අප විසින් එය ‘කලාව’ යයි පරිවර්තනය කොට ව්‍යවහාරයෙහි යෙදීම සම්මත භාෂා ව්‍යවහාරයට පටහැනි බව සිහි කටයුතු ය. art කියා දෙයක් නැති බව සඳහන් කළමනා ය. ඉංග්‍රීසියෙන් art යන්නෙහි විවිධ අර්ථ ඇත. එය ‘හැකියාව’ යන්නට එක්තරා ප්‍රමාණයෙන් ආසන්න ය. ඉංග්‍රීසියෙන් art යැයි කියනු ලබන්නේ පළල් තේරුමෙන් නොයෙකුත් ක්‍රියාවලට ය. He knows the art of swimming or the art of driving, cycling. සිංහල ව්‍යවහාරය ඊට හාත්පසින් වෙනස් බව සැලකිය යුතු ය.

වර්තමාන සිංහල ව්‍යවහාරයෙහි ‘කලාව’ වශයෙන් හඳුන්වනු ලබන්නේ මනුෂ්‍යයා තුළ රස දනවන, ස්වාභාවික හෝ නිර්මාණ කරන ලද වස්තුවකට ය. රසයයි කියනු ලබන්නේ මනුෂ්‍යයාගේ චිත්ත චෛතසිකයන් පුබුදුවන කිසියම් නිර්මානයකි. කිසියම් දුර්ලභ චෛතසිකයක් මනුෂ්‍යයාගේ අන්තරාත්මයෙහි දනවන, ස්වාභාවික හෝ නිර්මිත වස්තුවකට එනම් දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය නිර්මාණයකි. මීට කලා කෘතිය යනුවෙන් ද ව්‍යවහාර කරති. කලාත්මක නිර්මාණයක්, කලාත්මක දර්ශනයක්, කලාත්මක ගීතයක් යනාදී වසයෙනි. මෙහි මුල දී කියන ලද පරිදි, එම නිර්මාණයෙන් මනුෂ්‍යයා තුළ පෙර නුවූ විරූ, අපූර්ව වින්දනයක් ජනිත කරවයි.

කලාව ජීවිත විවරණයකි

‘කලාව’ යන වචනයෙන් කෙබන්දක් කියවේ ද කියා අප විසින් විවරණය කිරීමට ඉහත වෑයම් කොට ඇත්තේ ය. එම වචනයේ ගැබ් වී ඇති විවිධ අරුත් අපි විභාග කෙළෙමු.

‘කලාව ජීවිත විවරණයකි’ යන්න නොයෙක් විට ප්‍රකාශ කරනු ලැබේ. කලාව ජීවිතය කෙරෙහි කවර ආකාරයෙන් බල පායි ද කියා මෙහි දී පහදා දීමට අපි වෑයම් කරමු.

මෙහි දී ‘කලාව’ කියන විට අප අදහස් කරන්නේ කුමක් දැයි පළමුවෙන් පැහැදිලි ව කිව යුතු ය. මෙහි දී ‘කලාව’ යයි හඳුන් වන්නේ කලාකෘතියක් යයි හැඟේ. එනම් විශේෂයෙන් නිර්මාණාත්මක කෘති විය යුතු ය; එනම් කාව්‍ය නිර්මාණ, නවකථා ආදියයි. පද්‍ය කාව්‍ය, ගද්‍ය කාව්‍ය හෝ එම ගණයට අයිති වෙනත් නිර්මාණ මෙහි දී විග්‍රහ කොට බැලිය යුතු ය.

කලාව ජීවිත විවරණයක් යයි කී විට මගේ සිතට පැන නගින්නේ පළමුවෙන් ම ගද්‍ය කාව්‍යයයි හැඳින්විය හැකි නවකථාවයි. පද්‍ය කාව්‍යයෙහි ඊට සමාන ලක්ෂණ තිබේ දැයි සිතා බැලීම වටී. නවකථාව ජීවිතයේ පෙත්තක් ලෙස ඇතැම් යුරෝපීය (ඉංග්‍රීසි) විචාරකයින් හඳුන්වා දී ඇත (a slice of life).

පළමුවෙන් මේ කියමන විග්‍රහ කොට බලමු. නව කථාව ජීවිතය ආශ්‍රයෙන් රචනා කරන ලද්දක් බව අපි දනිමු. එය සැබෑ ජීවිතයට ආසන්න බවත් අපි දනිමු. එනම් නවකථා පාඨකයෝ නවකථාවක් කියවන විට මේ අසවලා විය යුතුයි යනාදී වසයෙන් එම කථා විග්‍රහ කරති. එසේ නැතහොත් මේ අසවල් සිදුවීම ය යනාදී වශයෙන් සිදු වු දේ හඳුනා ගනිති. එසේ වූ විට නවකථාව කල්පිතයක් වසයෙන් සැලකීම වැරදියි.

මෙහි දී නවකථා (ඉංග්‍රීසියෙන් fiction කියා හඳුන් වනු ලබන නිර්මාණ) කෙබන්දක් වෙතත් ජීවිතයට ඉතා ආසන්න බව කවුරුත් පිළිගනිති. එහෙත් එය ජීවිතයෙන් ම උපුටා ගත්තක් නො වන බව කිවමනා ය. එය වූ කලි සැබෑ පුවතක්, සැබෑ චරිත ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද්දක් බව සැලකිය යුතු ය. නො එසේ නම් එය ඉතිහාසයක් වනු ඇත.

මෙසේ තර්ක කර බලන විට නවකථාව ජීවිතයටත් කල්පිතයටත් අතර සිදු වූවක් හෝ සිදු විය හැක්කක් යයි සැලකිය හැකි ද? එය සත්‍යය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද්දක් යයි කිව හොත් එය සත්‍යයක් නො වේ; කල්පිතයක් ද නො වන නිසා ය.

මේ අයුරින් නොයෙක් අංශවලින් විමසා බලන විට අපට කිව හැක්කේ නවකථාව සත්‍ය සිදුවීම් හා සත්‍ය චරිත ආශ්‍රයෙන් කරන ලද නිර්මාණයක් යයි තීරණය කළ හැකි ය. එය සත්‍යයට හෝ ජීවිතයට නැඹුරු වන්නේ වක්‍ර ලෙස ය.

මෙවැනි තර්ක විතර්කවල අනුසාරයෙන් සිතන විට අපට කිව හැක්කේ මඩොල්දූව නම් නවකථාව සැබෑ ජීවිතය පිළිබඳ විවරණයක් බව ය. එනම්, සැබෑ සිදුවීම්, සැබෑ පරිසරයක්, සැබෑ පුද්ගලයන් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද කල්පිතයක් බව ය. එහෙත් එය කියවන පාඨකයා ‘රසවත්’ වන ලෙස එම කථාව වර්ණනා කර ඇත. එය සම්පූර්ණයෙන් සත්‍යයක් නො වන බව පාඨකයා දනී. එහි වර්ණනා කරන ලද හැම සිද්ධියක් ම සිදු වූවක් නො වන බව ද ඔහු දනී. එහෙත් එම කථාවේ වර්ණනා කොට ඇති පරිසරය (background) ලංකාවේ දකුණු පළාතේ මුහුදු බඩ ගම්මානයක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද්දක් බව ඔහු දනී. එහි වර්ණනා කර ඇති පුද්ගලයෝ ද සැබෑ පුද්ගලයන් ආශ්‍රයෙන් නිර්මිත වුවන් බව ඔහු දනී. සැබෑ පුද්ගලයන් නො වෙතත් සැබෑ පුද්ලයන් සේ පෙනෙන පුද්ගලයන් ය.

මෙකී නවකථාව කියවන පාඨකයන් දෙස අපි බලමු. ඔවුහු එම කථාව මදක් දුරට කියවන විට එහි නිමග්න වෙති. ඔහුගේ මනසෙහි එම පරිසරය මැවෙන අතර එහි වර්ණිත පුද්ගලයන් හා සිදුවීම් ඔහුගේ මනස තුළට පිවිසේ. තාවකාලික වසයෙන් එම සිදුවීම් හා පුද්ලයන් ඔහුගේ මනසෙහි ජීවමාන ස්වරූපයෙන් තැන්පත් වන බව ඔහුට දැනේ. කල් යාමේ දී ‘මඩොල්දූව’ නම් නවකථාව ඔහුගේ කාල්පනික ආත්මභාවයේ කොටසක් බවට පත් වේ.

වෙන නවකථා සම්බන්ධයෙන් ද එවැනි ආශ්චර්යමත් අයුරින් එහි වර්ණිත සිදුවීම් හා පුද්ගලයෝ ඔහුගේ අන්තරාත්මයේ කොටසක් බවට පත්වෙති. නො දැනුවත්ව මෙන් ඔහු එම චරිතයන් තම ජීවිතයෙහි අනුකරණය කරන්නට පටන් ගනු ඇත. මේ අයුරින් ‘මඩොල්දූව’ වර්ණිත චරිත ඔහුගේ අන්තරාත්මයේ තැන් පත් වනු ඇත. ඔහුගේ නෑදෑ මිත්‍රයන් මෙන් ඔහුගේ කාල්පනික ජීවිතයේ කොටස් බවට පත් වේ. එනම් කල්පිතය සත්‍යය බවට පත් වේ.

මෙහි දී ‘ගම් පෙරළිය’ නො වෙතත් (එනම් වෙන නවකථාවක් කියවන විට හා කියවීමෙන් පසු) එම නවකථාවේ වර්ණිත පුද්ගලයන් හා ඔවුන්ගේ කෙරුම් කියුම් පාඨකයාගේ චෛතසිකයට පිවිසී එහි තැන්පත් වන්නා සේ කෙනෙකුට දැනෙන්ට පුළුවන. සමහර නවකථාවල වර්ණිත ඔහුගේ අන්තරාත්මයට පිවිසී එහි තැන්පත් වන්නා සේ පෙනේ. එනම්, එම චරිත විසින් කරන කියන දේ ආදිය පාඨකයාගේ අන්තරාත්මයට පිවිස (ඔහුගේ ස්මෘතියෙහි තැන්පත් වී) ඔහු කර කියන දේවල මෙන් ඔහුගේ මුළු ජීවිතයේ චර්යා ධර්ම හැඩ ගැස්වීමෙහි සමත් වන බව අපට පෙනේ.

මෙසේ වන්නේ නවකථාව සත්‍යයටත් මිථ්‍යාවටත් අතර තිබෙන්නක් බැවින් එය පාඨකයාගේ අන්තරාත්මයට පිවිස ඔහුගේ සිතුම් පැතුම්, චර්යා ධර්ම යනා දී සියල්ලක් ම හැඩ ගැස්වීමෙහි සමත් බලවේගයක් බවට පත් වේ.

එහි ආභාසයෙන් පාඨකයා යහපත් කෙනෙකු බවට පත් වන්නට පුළුවන්, නැතහොත් දුෂ්ට කෙනෙකු බවට පරිවර්තනය වන්ට පුළුවනි. ඔහු තුළ චරිතයක් රෝපණය කිරීමේ සමත් බලවේගයක් වන අතර අධර්මිෂ්ටයෙකු බවට පත් කරන්ට ද පුළුවන.

මේ ආදී වසයෙන් කෙනෙකු තුළ සදාචාරය රෝපණය කිරීම හෝ කෙනෙකු තුළ පාපී චේතනා රෝපණය කිරීම හෝ එම කල්පිත කෘතියෙන් සිදු විය හැකි බව වටහා ගත මනා ය. එවැනි නවකථා කල්පිත වන අතර සැබෑවක් යයි හැඟීමක් පාඨකයා තුළ නැංවිය හැකි බැවිනි.

ජීවිතයේ සැබෑ තත්ත්වය විග්‍රහ නො කරන හුදු ත්‍රාස ජනක නවකථාවලින් නියම ජීවිත විවරණයක් සිදු නො වන බව කිව යුතු ය. තත්වානුකූල ජීවිත විවරණයක් ඉදිරිපත් වන්නේ ඉහළ මට්ටමේ නවකථාවලින් ය. එනම් ප්‍රසිද්ධ ලේඛකයන් විසින් රචනා කරන කෘතිවලින් ය. ඒවායේ ශ්‍රේෂ්ඨ පරමාර්ථවලින් පෙළඹෙන චරිත නිරූපණය වේ. එවැනි නවකථාවලින් ශ්‍රේෂ්ඨ පුද්ලයන් හඳුනා ගත හැකි ය. ඔවුහු අපේ සදාතන මිත්‍රයෝ වෙති. ‍ඔවුන්‍ෙග් යාම් ඊම් ඔවුන් අගය කරන දේ ඔවුන්ගේ චර්යාධර්ම පාඨකයන්ගේ සිත් සතන්, ඔවුන්ගේ ආකල්ප ආදිය කෙරෙහි බලපාන්ට පිළිවන.

කලාව ජීවිත විවරණයක් යයි අප විසින් විග්‍රහ කොට දක්වන ලද්දේ මේ අර්ථයෙන් බව ස හන් කරනු කැමැත්තෙමි.

ස්වභාව සෞන්දර්යය හා කලාව
ස්වභාව සෞන්දර්යය යනුවෙන් කියවෙන්නේ ශරීරයේ හැම ඉන්ද්‍රියකට නො ව දෑසට පමණක් විෂය වන සෞන්දර්යය බව පළමුවෙන් කිව යුතු ය. එය දෑසට පමණක් විෂය වුව ද එයින් යම් කිසි ප්‍රතිචාරයක් කෙනෙකුගේ අභ්‍යන්තරයට ද දැනේ. එනම් එයින් යමෙකු තුළ කිසියම් ප්‍රීති සහගත චෛතසිකයක් ජනිත විය යුතු ය. එම වින්දනය කලින් කල ලබා ගත හොත් මැනවැයි එසේ නැතහොත් තමාට නිතර නිතර විඳිය හැකි නම් මැනවැයි යන සිතුවිල්ල ඔහු තුළ ජනිත කරවන්නක් විය යුතු ය.

මේ සිතුවිල්ල විග්‍රය කිරීමට පළමුවෙන් ඊට නිදර්ශන දැක් විය යුතු යයි සිතේ. ස්වාභාවික සෞන්දර්යය යනුවෙන් පොදුවේ කියවෙන්නේ ස්වාභාවික වස්තු සමූහයක් උනුන් අතර එක්තරා රටාවකට පිහිටුවා තිබීමෙන් කෙනෙකු තුළ ජනිත වන ආහ්ලාදයයයි හැඳින්විය හැකි ය. එම රටාවෙහි සමහරිත ලක්ෂණ තිබිය යුතු යයි කිව නො හැකි ය. එය වූ කලි තමා පෙර නුදුටු විරූ ස්වරූපයක් දරන්නක් විය හැකි ය. එය දෙස ඇස් යොමු කරන හැම දෙනා ම තුළ එක හා සමාන වින්දනයක් ජනිත වෙතියි කිව නො හැකි ය. එහෙත් හැම දෙනාගේ ම සිත් සතන් පිනවන අයුරේ ප්‍රතිචාරයක් හට ගනිතියි කිව හොත් එය සත්‍යයට සමීප යයි සිතිය හැකි ය.

එහෙත් එම ප්‍රතිචාරය ප්‍රමාණයෙන් එකින් එකට වෙනස් විය හැකි ය. එම ප්‍රතිචාරය ආහ්ලාදයයයි හඳුන් වනු ලැබේ. ඇතැම් අවස්ථාවල කෙනෙකු තුළ ප්‍රතිකූල හැඟීම් හට ගනී. එබඳු චෛතසිකයන් දනවන බාහිර විෂයන්ගෙන් කෙනෙක් ඈත් වන්ට සැරසේ; ඒවා අප්‍රසන්න බැවිනි. එහෙත් ප්‍රසන්න චෛතසිකයන් ජනිත කරවන අවස්ථා හා පරිසර ඔහු ළං කර ගන්ට කැමති ය. මක්නිසා ද කියතොත් එබඳු චෛතසිකයන් විඳීම ප්‍රසන්න අත් දැකීමක් වන බැවිනි. එබැවින් බොහෝ දෙනා මෙබඳු පරිසරයකින් වට කරන ලදු ව වෙසෙන්ට කැමතිය හ.

මෙබඳු අවස්ථාවක් ගැන සිතන විට අපට සිහි වන්නේ සුපුෂ්පිත ගස් කොළන්වලින් වට කරන ලද, කුරුල්ලන්ගේ මෘදු ස්වරයෙන් ගත සිත පිනවන, අවට හමන සිසිල් වාතයෙන් ගතට සිතට සැනසුමක් ගෙන දෙන පරිසරයකි.

මීට ස්වභාව සෞන්දර්ය යැයි කිව හැකි ය. නොහොත් ස්වභාව සෞන්දර්යයෙන් යුත්, ඇස් කන් නාසාදිය පිනවීමට සමත්, සිත සන්සුන් කරවන පරිසරයක් ලෙස හැඳින් විය හැකි ය.

මෙබඳු වටාපිටාවක් හා කලාව අතර සම්බන්ධය කුමක් දැයි සිතා බැලිය යුතු ය. ‘කලාව’ වසයෙන් හඳුන් වනු ලබන්නේ සිත් සතන් පිනවීමේ සමත්, ශබ්දයෙන් (නාදයෙන්) හෝ දර්ශනයෙන් යුත්, බාහිර වස්තුවකට යයි කිව හැකි ය. මෙය වූ කලි, කෙනෙකු ගයන ගීයක් හෝ තූර්ය භාණ්ඩයකින් වයන තනුවක් විය හැකි ය. එසේ නැතහොත් කෙනෙකු අඳින චිත්‍රයක් විය හැකි ය. මේ ගීයේ අසන්නන්ගේ කන් පිනවන ස්වභාවයක් තිබිය යුත ය. චිත්‍රයේ ද නරඹන්නන් තුළ යම් කිසි අපූරු ආස්වාදයක් දනවන ස්වභායක් තිබිය යුතු බව කිව හැකි ය.

ගීයේ කවර ස්වරූපයක් තිබිය යුතු දැයි කිව නො හැකි ය. මක් නිසා ද කියතොත් හැම ගීය ම පෙර නුවූ විරූ ස්වරූපයක් දරන බැවිනි. එය වූ කලි නිර්මාණාත්මක කලාකරැවා විසින් අමුතුවෙන් නිපදවන්නක් වන බැවිනි. කලා රස වින්දනයෙහි දී පෙර නුවු විරූ ස්වරූපයෙන් යුත් නිර්මාණයක් බිහි කළ යුතු බැවිනි. එය කලින් තිබිණැයි රසිකයාට සිතේ නම් නියම නිර්මාණයක් විය නො හැකි බැවිනි.

කලාත්මක නිර්මාණය සදාකාලික බව සිහි කළ යුතු ය. එය, ලෝකයෙහි තිබෙන අනන්‍යසමාන දෙයකි. එය ගීතයක් නම් වඩ වඩා අසන්ට වඩ වඩා අපූර්ව යයි හැ‍ඟේ. එයින් ලැබෙන ප්‍රීතිය ‘ආනන්ද’ යයි නම් කරනු ලබන්නේ මේ හෙයිනැයි කිව යුතු ය.

ලෝකයෙහි ව්‍යාජ කලා නිර්මාණ තිබිය හැකි ය. එබඳු නිර්මාණවලින් ලැබෙන වින්දනය තාවකාලික බව පෙනේ. කල් යාමේ දී අපට ඒවා එපා වේ. එහෙත් සැබෑ කලා නිර්මාණ දුක සැප දෙකෙහි ම අපට පිහිට වන මිත්‍රයන් සේ ය. දුකෙහි දී සැපතෙහි දී අප අත් නො හරින මිත්‍රයන් සේ ය.

‘මිතුරුතුමෝ දුක් සැප දෙකෙහි ම පැවැතී
බිතු සිතුවම් රූ මෙන් පිටු නො පාවි තී’

කලා ආස්වාදය හා ජීවිතය
කලා රස ආස්වාදනය කෙනෙකුගේ ජීවිතය පෝෂණය කරන්නක් යයි කිව යුතු ය. ‍මෙහි අර්ථය කුමක් ද?

මනුෂ්‍යයන් වසයෙන් අප හැම දෙනා ම ශරීරයකින් හා මනසකින් යුක්ත වූවෝ වෙමු. සත්ව වර්ගයාට සිරුරක් හා මනසක් නැද්ද යනු අප සිතට වහා පැන නගින්නට පුළුවන් ප්‍රශ්නයකි.

මනුෂ්‍යයා යාම් ඊම්, කෑම් බීම්, රුචි අරුචිකම් පැවසීම්, කතා කිරීම්, සිනාසීම්, ඇඬීම්, ඇවිදීම්, දිවීම් යන ආදි ක්‍රියාවල යෙදේ. සත්වයා ද මේ සියලු ක්‍රියාවල නියුක්ත වේ. එසේ නම් මනුෂ්‍යයා හා සත්වයා අතර වෙනසක් නැද්ද?

මෙවැනි තතු විග්‍රහ කරන විට, සත්වයා සිනාසේ ද? අඬයි ද? යන ආදී කරුණු ගැන සැක සිතේ. සත්වයා සිනාසේ ද? අඬයි ද? සත්වයා සිනාසෙන බවක් අපි නො දනිමු. එහෙත් ඔහු අඬන බව අපි දනිමු. ගෙවල්වල ඇති කරන සත්තු බඩගිනි දැනෙන විට අඬති. මේ වූ කලී මනුෂ්‍යයා අඬන ඇඬීම් නො වන බව ද අපට ප්‍රත්‍යක්ෂ වේ. බඩගිනි දැනුණු විට සත්වයා අඬයි. එහෙත් මෙසේ අඬන්නේ මනුෂ්‍යයා විසින් ගෙවල්වල ඇති කරන සතුන් පමණක් නො වේ ද? කැලෑවල වෙසෙන සත්තු බඩගිනි දැනුණු විට අඬත් ද? එසේ නැතිව බඩගිනි දැනුණු විට දඩයම් කරමින් වෙනත් සතුන් මරා උන්ගේ මාංශ අනුභව කරත් ද?

මේ සියල්ල මේ ආකාර වන අතර එසේ අත් දැකීම් හේතු කොට ගෙන මේ ගැන මා තුළ එක් සැකයක් උපදී. අපේ ගෙදර අප විසින් ඇති කරන ලද ‍බල්ලෙක් ඇත. මා විසින් එක්තරා තූර්ය භාණ්ඩයක් වාදනය කරන්නට පටන් ගත් විට ඌ අමුතු හඬකින් හඬලන්නට පටන් ගනී. උගේ හඬ මා වාදනය කරන තූර්ය භාණ්ඩයේ හඬට වෙනස් ය. ඌ හඬ ලන්නේ – උඩු බුරලන්නේ වෙනස් ස්වරයකින් ය. මෙය ඌ සිතා මතා නො ව ඉබේම උගේ කටින් පිටවන හඬකින් ය. උගේ අභ්‍යන්තරයෙන් ය. තූර්ය වාදන හඬට උගේ සිරුරේ කිසියම් වින්දනයක් හෝ කැලඹීමක් හට ගෙන ඌ එය ප්‍රකාශ කරන බවක් මට පෙනුණි. ඌ නිකුත් කරන හඬ මගේ වාදනයේ හඬට වෙනස් වුවත් ඌ එය කරන්නේ සහජයෙන් යයි මම නිගමනය කෙළෙමි.

මේ අත්දැකීම් අනුසාරයෙන් සිතන විට ඒ සතා තුළ සංගිත නාදයෙන් ඇති වූ ප්‍රතිචාරය අසා, එම සතාගේ අභ්‍යන්තරයෙහි හට ගත් වින්දනය වූ කලි සිවුපාවුන් තුළ වුව ද සංගීතයෙන්, යාන්ත්‍රික වසයෙන් වුව ද යම් කිසි වින්දනයක් ජනිත වන බව නිගමනය කළ නො හැකි ද?

මීට සංගීත රසාස්වාදය යයි කීම අතිශයෝක්තියක් වුව ද සංගීතයෙන් සතුන් තුළ වුව ද එක්තරා ප්‍රතිචාරයක් ජනිත වන බව අපට පෙනේ. එහෙත් මනුෂ්‍ය ජීවිතය කෙරෙහි කලා රසාස්වාදයෙන් හට ගන්නා ප්‍රතිඵල මීට වෙනස් බව සැලකුව මනා ය.

කුමක් ද මේ වෙනස? අප දන්නා තතුවල ආශ්‍ර‍ෙයන් මෙය විග්‍රහ කොට බැලුව හොත් අපට තරමක් දුරට කලා රසාස්වාදය හා මනුෂ්‍ය ජීවිතය අතර සම්බන්ධය එක්තරා ප්‍රමාණයකට අව‍බෝධ කර ගත හැකැයි සිතේ.

කලා රසාස්වාදය වූ කලි මනුෂ්‍යයාට පමණක් විෂය වන්නක් බව අප විසින් මුලදී ම පිළිගත යුත්තක් යැයි සිතේ. ඇතැම් සතුන්ට යම් යම් අවස්ථාවල කලාවෙන් එක්තරා ශාරීරික ප්‍රතිචාරයක් ලැබෙන බව මා විසින් දක්වන ලද නිදර්ශනයෙන් පෙනී යා යුතු ය. එ හෙත් මනුෂ්‍යයා තුළ හට ගන්නා ප්‍රතිචාරය ඔහුගේ අභ්‍යන්තරයට හෙවත් අන්තරාත්මයට විෂය වන්නක් බව වටහා ගත යුතු ය.

සත්වයා වූ කලි, ගහක් ගලක් මෙන් නො ව ප්‍රාණයෙන් යුක්ත ය. ප්‍රාණයයි කියනු ලබන්නේ ඔහුට කන්ඩ බොන්ඩ නිදන්ට වුවමනා ය යන අර්ථයෙන් ය. ඔහුට තම ස්වාමියා හඳුනා ගන්ට පුළුවන. ඔහුට කෑම බීම’ ආදිය දෙන්නේ ඔහුගේ ස්වාමියා ය. කැලෑවේ වෙසෙන සත්ව වර්ගයා තමන්ගේ අහර සපයා ගනී. සමහර සත්වයෝ වෙන සත්ව වර්ගයා මරා අනුභව කරති. මනුෂ්‍යයා කරන සියලු දේ සත්වයා එක්තරා ප්‍රමාණයකට කරයි. එහෙත් ඔහුට, මනුෂ්‍යාට මෙන් කතා කිරීමේ හැකියාව නැත. තම සිරුරේ අභ්‍යන්තරයෙන් ඔහුට වුවමනා කරන දේ දැක් වූ විට, එය සපයා ගන්ට ඔහු දනී. එහෙත් සෞන්දර්යය යනු කුමක් ද ඔහු නො දනී. කඩදාසියක අඳින ලද ඉතා වර්ණවත් චිත්‍රයක් වුවත් ඔහු ඉදිරියෙහි තබතොත් ඔහු එය සිඹ බලා, කෑ හැකි දෙයක් නො වන බව වටහා ගෙන එය පාගා දමයි. ගීතයක් වුවත් එසේ ම ය. එය කවර ආකාරයෙන් සත්වයා තුළ ප්‍රතිචාරයක් ඇති කරයි ද අප නො දන්නා අතර, ඔහු තුළ රස වින්දනයක් ඇති නො කරන බව කිව හැකි ය. එම ගීතය ඔහු තුළ කිසියම් ප්‍රතිචාරයක් ඇති කරන බව ඔහුගේ හැසිරීමෙන් අපට කිව හැකි ය. එහෙත් එය රස වින්දනයක් ලෙස හැඳින්විය නො හැකි ය.

කිසියම් ගීතයක් ඇසීමෙන් ඔහු ඇතැම් විට චංචල වේ. එහෙත් ඔහු තුළ එම ගීත ඇසීමෙන් කිසියම් ප්‍රීතියක් හෝ සන්සුන් බවක් ජනිත වෙතියි සිතිය නො හැකි ය. එම ගීතය කෙරෙහි ඔහුගේ සිත වසඟ වීමක් හෝ එම ගීතය වරින් වර ඇසීමට ඔහු තුළ අභිලාෂයක් හෝ හට ගන්නා බවට සාක්ෂියක් අපට නො පෙනේ. එම ගීතය නැවත වරක් හෝ කීප වරක් ඇසීමට එම සත්වයා කැමැත්තක් නො දක්වයි. ඊට ජුගුප්සාව වැනි ප්‍රතිචාරයක් වුව ද නො දක්වයි.

මනුෂ්‍යයා මීට වෙනස් බව දත යුතුයි. ඔහු ගීතයක් අසන විට එයින් ප්‍රීතියක් විඳී. එය නැවත නැවත ඇසීමට ඔහු කැමති වේ. නො එසේ නම් ඊට ප්‍රතිකූල හැඟීමක් දක්වයි. චිත්‍රයක් වුව ද මෙසේ ය. කලා රස වින්දනයයි කියන්නේ මීට ය. ඔහු වරින් වරත් එම ගීතය ඇසීමට කැමැත්තක් දක්වයි. එයින් වින්දනයක් ලබයි. චිත්‍රයක් බැලීමත් එසේ ම ය. සත්වයා හා මනුෂ්‍යයා අතර වෙනස මෙයයි.

ඔහු තුළ ඇති වින්දනයට අපි රසයයි කියමු. ඊට කලා රස වින්දනයයි කිව හැකි ය. එය වරින් වර ඇසීමෙන් (චිත්‍රය නම් නොයෙක් වර බැලීමෙන්) ඔහු ලෝකයෙහි නො ලැබෙන අයුරේ වින්දනයක් ලබයි. එයින් ඔහුගේ මුළු ජීවිතය කෙරෙහි වින්දනයක් ලබයි. මීට ආස්වාද – කලා රසාස්වාද යයි කියනු ලැබේ.

රසාස්වාදය යන විශේෂ වචනය මීට යොදන්නේ එය අනන්‍ය සාධාරණ වින්දනයක් වන බැවිනි. එය ප්‍රීති සහගත වින්දනයක් වන්ටත් පුළුවනි ; දුකට සමාන වින්දනයක් වන්ටත් පුළුවන. නාට්‍යයක් බලන අතර හෝ ගායනයකට වාදනයකට කන් දෙන විට ඔහුගේ ඇසට කඳුළු උනයි. එහෙත් ඔහු දුකින් පෙළෙතියි කිව නො හැකි ය. ඔහු එම ආස්වාදය පුන පුනා විඳින්නට කැමති බැවින් මීට රසාස්වාදයයි කියනු ලැබේ. රංග භූමියෙහි දක්වන එක්තරා සිද්ධියක් නිසා ඔහුගේ දෑසට කඳුළු උනන්ට පුළුවන. එහෙත් ඔහු දුක් වෙතියි නිගමනය කළ නො හැකි ය. මක් නිසා ද කියතොත් ඔහු එම වින්දනයෙන් එක්තරා සතුටක් හෝ සැනසීමක් හෝ ලබන බැවිනි.

මෙබඳු අවස්ථාවල ඔහුගේ සිත කම්පා වෙතියි කිව හැකි ය. එය දුකක් ද නො වන අතර ප්‍රීතියක් ද නො වන බව වටහා ගත යුතුයි. එය අමුතු ම වර්ගයේ ආස්වාදයකි. ඊට කලා රසාස්වාදයයි කිව හැකි ය. තමන්ගේ සිත කම්පා වෙතත්, ඇසට කඳුළු උනතත් එම වින්දනය ලබන්ට ඔහු කැමති ය.

මෙම වින්දනයට කලා රසාස්වාදයයි කියනු ලැබේ. ඉංග්‍රීසියෙන් එය aesthetic emotion යයි හඳුන්වනු ලබයි. එය කනට ගොදුරු වන වාදනයකින් හෝ ගායනයකින් හෝ ඇසට යොමු වන දර්ශනයකින් උපදන්නකි.

——————-
ඉහත සඳහන් වන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයින් විසින් 1995 දී පමණ ලියන ලද එතුමාගේ අවසාන ලේඛන වශයෙන් සැලකිය හැකි, කෙටි ලිපි සංග්‍රහයකි. අධ්‍යාපන අමාත්‍යංශයේ සෞන්දර්ය අංශය මගින් සංවිධානය කරනු ලැබූ, සමස්තලංකා සංගීත හා නාට්‍ය – අවසාන තරඟ (1995/96) සමරු ප්‍රකාශනයේ, මෙම ලිපි පළ විය. සරච්චන්ද්‍රයින් ගිලන් ව පසු වූ ජීවිතයේ අවසාන කාලය තුළ, එතුමා සමග පෞද්ගලික ව සාකච්ඡා කරමින්, තර්ක කරමින් මෙම ලිපි සංස්කාරක විසින් ලියවා ගෙන ඇත. බස් වහර කතා වහරට සමීප වන්නේ ද විටෙක සුළු වශයෙන් සම්මත වහරට පටහැනි වන්නේ ද මේ නිසා ය. ජයන්ත අරවින්ද (සංස්කාරක, සංස්කෘති)

සංස්කෘති 2010 මැයි කලාපයෙන් කෘතඥ පූර්වකව උපුටා ගන්නා ලදී.
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )