කලාව

කුමකට ද අත්කම්?
කමලාදේවී වට්ටෝපාද්‍යායී

කමලාදේවී වට්ටෝපාද්‍යායී විසිවැනි සියවස් ඉන්දියාවේ මහා කාන්තා චරිතයකි. 1903 දී මැංගලෝරයේ දී උපත ලත් ඇය, අතිශයින්ම විවිධාකාරවූ ද, විශිෂ්ටවූ ද ජීවිතයකට පසුව, 1988 දී මුම්බායිවල දී මිය ගියා ය.

අංශ ගණනාවකින්ම විශිෂ්ටත්වයට පත්වීම ඇගේ සූවිශේෂී ලක්ෂණයකි. ඉන්දියානු නිදහස් අරගලයේ මුල් පෙලේ නායිකාවක්වීම, ඒ සම්බන්ධයෙන් තුන් වරක්ම හිරබත් කෑම, ගාන්ධිතුමාගේත් නේරුතුමාගේත් සමීපතමයකියක් වීම, නාට්‍ය හා කලා ශිල්ප සේවනයේ දී අග්‍රගන්‍ය මතධාරිනියක වීම, සමස්ත භාරත දේශයේම අත්කම් පිළිබඳ නූතන කතිකාවක් ගොඩනැගීමේ කිරුල හිමිකර ගැනීම, නව දිල්ලියේ තිබෙන අපූරු මහා ඉන්දියානු අත්කම් කෞතුකාගාරයේ නිර්මාර්තෘවරියකවීම, උසස්ම ගණයේ ගත්කතුවරියක්වීම, නිදහස් හා නූතන ඉන්දියාවේ පෙරමුණේම සිටින බුද්ධිමතියකවීම ඇගේ ජයග්‍රහණ අතර වේ. ඈ 1931 දී ශ්‍රීමත් ජවහර්ලාල් නේරු සමග ලංකාවට පැමිණ සංචාරය කළාය.

මෙයි පළවී ඇති ලිපිය, ඇගේ Handicrafts of India (1975, 1985, 1995) නම් සුප්‍රකට කෘතියේ සම්භාවනීය මුල් පරිච්ඡේදයයි. සකුන්තලා නරසිම්හන්ගේ Kamaladevi Chattopadyay, The Romantic Rebel (Sterling Publishers) (1999) යන පොත, ඇගේ චරිතාපදානය පිළිබඳ ප්‍රයෝජනවත් මූලාශ්‍රයකි.

අද සමාජයට අත්කම් කුමකටදැයි කිසිවකු විමසුවහොත් ඊට දියයුතු පිළිතුර එතරම් ම සරල නොවේ. එයට හේතුව, ඒවා මිනිසුන් ගේ භෞතික අවශ්‍යතාවන් පමණක් සපුරාලීමේ අපේක්ෂාව ඉක්මවා ඉන් ඔබ්බට ගොස් ඇති බැවිනි. අප අපේ ඉතිහාසයට හා සාංස්කෘතික පරිණාමයට නෙත් යොමු කළ කල පිළිතුරු නිරායාසයෙන්ම ලබා ගත හැකිය. අපේ අතීත සමාජය ශිල්ප මූලික වූ එකකි. අත්කම් එහි මූලික තැනක් ගත් අතර කලා හා ශිල්ප යන සංකල්ප එකිනෙකට දුරස් නොවී හොඳින් යාවුන ඒවා විය.

අත්කම් මානව සමාජයේ ඉතා මූලිකම වූ ක්‍රියාවලියකි. ඊට හේතුව එම ශිල්ප අපේ ජීවිතයේම අවියෝජනීය අංගයක් ලෙස පැවති බැවිනි. ඇත්ත වශයෙන්ම භාෂාව වැනි අංගයන්ටත් වඩා හොඳින් ඒවාට මානව සබඳතා සමග බද්ධ වීමටත්, භාෂාවන් විසින් මතු කළ හැකි බාධකයන්ද අතික්‍රමණය කරන්නටත් හැකි විය. විශේෂයෙන්ම ආසියා, දකුණු හා මධ්‍යම ඇමරිකා, අප්‍රිකා හා පැරණි රාජ්‍යයක් වූ ග්‍රීසිය වැනි රටවල තිබූ පැරණි සංස්කෘතීන්හි ඇතැම් අංග අදත්, නොපැරණිව සජීවි වන අන්දම දැක ගත හැකිය.

අත්කම්, යම් යම් ද්‍රව්‍ය තුළින් කෙරෙන අධ්‍යාත්මික මානව ප්‍රකාශනයකි. වෙනත් ලලිත කලා මාධ්‍යයන්ගෙන් මෙන් ම ඒවායින් ද අපට මහත් තෘප්තියක් ලැබේ. ශිල්පීය නිෂ්පාදන ලෝකයේදී සෞන්දර්යාත්මක නිර්මාණ කෘති හා එදිනෙදා භාවිතය සඳහා වූ නිර්මිත කෘති යන දෙ අංගය අතර දැඩි වෙනසක් නොමැත. සූර ශිල්පීය නිපුණත්වය හේතුවෙන්, භාවිතය උදෙසා තැනෙන භාණඩය ද ප්‍රයෝජනවත් මෙන්ම සුන්දර ද වන නිසා, කෙනකුගේ සිත් පැහැර ගන්නා අතරම මේ දෙ අංගයම එකක් බැව් සිතන්නට පෙළඹෙනු ඇත.

යම් යම් ශිල්පීය නිර්මාණයක් එදිනෙදා භාවිතයට ගන්නා උපයෝගී භාණ්ඩයක් විය හැකිය. නැතිනම් එය සෞන්දර්ය ආශ්වාදය සඳහාම නිමවූවක් විය හැකිය.

ඇතැම් මෝස්තරයක් වර්ණ සංයෝජනය මුල්කොට ගත්තකි. යම් භාණ්ඩයක් නිර්මාණය කිරීමේ දී කුමන කලාංගයක් උපයෝගි කර ගත යුතුදැයි අපේ ශිල්පීහු ඉවෙන් දනිති. හැම භාණ්ඩයක්ම නිකම්ම යම් හැඩයක් හෝ ස්වරූපයක් ගත්තක් නොවේ. යම් ශිල්පියෙක් කිසියම් භාණ්ඩයක් නිර්මාණය කරණ විට, ව්‍යුහාත්මක හෝ ජ්‍යාමිතික හැඩයකට අනුගතව යෝග්‍ය නිශ්චිත මෝස්තරයක් නිපදවා ගනියි. එකී මෝස්තර පුනර්යෝජනයෙන් හෝ රිද්මයානුකූලව සම්පිණ්ඩනයක් මතු කරයි. මෙහිදී යළිත් සෞන්දර්ය රීතීන් ඒ හා ක්‍රියාත්මක වේ. මෙම රිද්මය මතුවන්නේ සැරසුම් රටාවේ ප්‍රමාණය, පෘෂ්ඨයට සමානුපාතිකව ගෙන මාරුවෙන් මාරුවට ඒවායේ දීප්තිය හෝ ප්‍රකාශනය අඩු වැඩි වශයෙන් යෙදීමෙන් හෝ රටාවේ ප්‍රමාණයන් වෙනස් කිරීමෙනි. මෙබඳු අයුරින් නිම කළ භාණ්ඩයක කලාත්මක අගය හා වටිනාකම රඳා පවතින්නේ, එම අලංකරණයේ ඇති රිද්මීය එකමුතුව මතය.

සමාජය තුළ අත්කම් භාණ්ඩ නිර්මාණයේ වැඩීම, මානව වර්ගයාගේ සංවේදිභාවය තීව්‍රවීම හා මුදු මොළොක් බව වර්ධනයවීම පිළිබිඹු කරයි. එය රළු පරළු මිනිස් ජීවිතවලට සුන්දරත්වය හා සෞම්‍යය ගෙන ආවේය. සැබවින්ම මිනිසාට, අන් සත්වයින් මෙන්ම මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමෙන් නොනැවතී ඉන් ඔබ්බට යෑමට මග හෙළි කළේ ස්වාභාවික ප්‍රකාශනය කේන්ද්‍ර වූ මෙබඳු ශිල්පීය කෘතීන් නිර්මාණය කළ නිසාය. ආදිතම මිනිස්සු ඒ නොපහන් යුගයේ දී, මුලින්ම සිය සිරුරු සැරසූහ. අනතුරුව ඔව්හු එදිනෙදා පාරිහාරික භාණ්ඩ, ඔවුන්ගේ අවි ආයුධ සහ අවසානයේ ඔවුන් නිවැසි පරිසරය සුන්දරත්වයට පත් කළහ. ඔවුන්ගේ රළු පරළු දැයින් නිමවූ ගෙපැළ, තමන් හිඳින, කන බොන, නිදන ගෙපිළ, වඳින පුදන දෙවොල ඈ හැමතැන සුන්දරත්වයෙන් සුපිෂ්පිත කළහ. මරණය හා ගනුදෙනු කළ දුන්න හා හීය අලංකරණයෙන් වර්ණවත්වී දිය ගෙනෙන මැටි බඳුන සුන්දර හැඩයට පෙරළිණ. මුළුතැන්ගෙහි වූ අගයක් රහිත හැළි වළං සිත් බඳනා මෝස්තරයන්ගෙන් සැරසිණ. හුදු පාරිහාරික භාණ්ඩ කලා නිර්මාණවලට පෙරළුණේ සාමාන්‍යය විශේෂත්වයට පත්කරමිනි.

සුන්දරත්වයෙන් සැරසිමටත් හැම දෙයක් ම තමන්ට වාසනාව ගෙන දෙන දෙයක් ම වන සේ අලංකාර කිරීමටත් නුසුදුසු කිසිවක් ඔවුන්ගේ ජීවිතයේ කුමන අංගයකවත් නොවීය. ජීවිතයේ සුවි‍ශේෂ අවස්ථාවන්හි පරිහරණය කරනු ලබන විශේෂ භාණ්ඩ, රෙදිපිළි, අබරණ හා බඳුන් ආදිය ප්‍රමිතියෙන් යුතු වූවා පමණක් නොව, එදිනෙදා භාවිතා කරන දෙයට ද එම රීතියම යෙදිණ. නව්‍යතාවට උචිත නිර්මාණශීලීත්වය දිගටම පැවතීමත්, වෙනස් වෙනස් හැඩ තල නිර්මාණයත්, අලුත් බවත් නිසා ඒකාකාරීත්වයත්, නීරසතාවයත් පළවා හැරිණ.

මෙය මුදල් හදල් යහමින් ඇති අයකුට හෝ ආයතනයකට, එහි මිල ගෙවා ආම්බරයෙන් ප්‍රදර්ශනය කිරීම සඳහ‍ා විද්වත් ශිල්පියකු සිය හුදකලා නිර්මාණ කුටියක නිම වූ නිර්මාණයක් නොවේ. එය තැනුණේ මානව වර්ගයා කෙරෙහි වූ ගැඹුරු ක්ෂුදාව හේතුවෙන් සිය පවුලට හා තම ඥාති මිත්‍රාදී ජනයාගේ පොදු භාවිතය උදෙසාය. අත්කම් සිත හා විඳීම විසින් පුද්ගල නිශ්‍රිතව නිමවූ ඒවා නොවේ. ඒවා විෂය නිශ්‍රිතය. අත්කම් වල පැහැදිලි ලක්ෂණය වන්නේ එහි වූ භෞතික පෙනුම පරයා නැගෙන සුන්දරත්වයයි. එහි සංකල්පය ද රමණීය ය.

සාම්ප්‍රාදායික භාණ්ඩයන්ගේ රටාවන් හෝ රූ නැවත නැවත යෙදීම – පුනර්යෝජනය – මැනවින් සිදුවේ. එහෙයින් දැන් එය මෝස්තරයක් බවට පත්ව ඇත. එහි සෞන්දර්යාත්මක විශිෂ්ටතාව නිසා එකම රටාව දිගට යෙදුන ද අපේ ඇසට වෙහෙසක් ගෙන නොදෙයි. එහි ඇති නිසර්ග සුන්දරත්වය සදාකාලිකය. එය මැකී නොයයි. එහි අගය හීන නොවෙයි. අගනා නිමි භාණ්ඩයන්ට ඇති නිම් නොවන ඉල්ලුම එය සනාථ කරයි. මෙහි මා සඳහන් කරන්නේ සෞන්දර්යයට ඇළුම් කරන රසිකයින් ගැන මිස සිය පාරට්ටුව හුවා දක්වන වාහකයක් ලෙස ඉපැරණි භාණ්ඩ රැස් කරන ව්‍යාජ රසිකයන් ගැන නොවේ. මෙම භාණ්ඩ, සංරචනය, වර්ණය, විවිධත්වය හා දිගටම රඳවා ගන්නා එළිය හා අඳුර අතර සම්බන්ධතාව යන ලක්ෂණවලින් සමන්විත ද්විමාන හෝ ත්‍රිමාන ඒවා වේ. මතුපිට ගලන එළිය යළි පරාවාර්තනය හේතුවෙන් සංරචනය මතුවේ. මෙම සංරචනය භාණ්ඩයක මන බඳනා බවට හා මනා පෙනුමට අත්‍යවශ්‍ය අංගයකි. එයින් එළු පරළු ගතියක් හෝ ඉතාමත් සියුම් සිනිඳු බවක් මතු කළ හැකිය. යහපත් මනෝභාවයක් ඇති කරන්නේ මේ විවිධ අංග විසින් ඇති කරනු ලබන කම්පනය හේතුවෙනි.

එසේම, වර්ණවලට ද විවිධ අදහස් හා හැඟීම් සංනිවේදනය කිරීමේ අතිමහත් ශක්‍යතාවක් ඇත. අපේ ඉපැරණි ශිල්පීහු කම්පනයේ ඇති ශක්තිය මැනවින් වටහාගෙන, ඒ අනුව ඔවුන්ටම ආවේණික ක්‍රමවේද සකස් කර ගත්හ. ඒවා වර්ණ හා එහි යෝජනය පිළිබඳ පවතින සීමිත සම්මත සංකල්පවලින් බැහැරව නම්‍යශීලීව නිදහසේ යොදා ගැනීම්ය. වර්ණ තෝරා ගැනීම එකිනෙකාගේ හිතුමතයට, පදනමකින් තොරව නොකළ යුත්තක් බැව් අපේ පැරණි ශිල්පීහු ඇදහූහ. ඒවා අවස්ථාවෝචිත පරිදි පරිසරය හා මනා සංසේවනයක් ඇති, හැඟීම් මතු කරන ඒවා විය යුතු බැව් විශ්වාස කළහ. අඳුර යොදාගෙන, නිර්මාණවල විවිධ අන්දමේ ගැඹුර පිළිබිඹු කළහ. එසේම ප්‍රබල වර්ණ ස්ථරයන් මගින් ගැඹුර ප්‍රක්ෂේපණය ද සූවිශේෂී වූ ලක්ෂණයකි.

සුන්දරත්වය දෙවියන් විසින් ප්‍රණීත යමක් ලෙස ආදි ඉන්දු ආර්යයෝ ඇදහූහ. විවිධ සූක්ෂම අත්කම්වලින් පිරුණ ඉන්දියාව සුන්දරත්වය දේවත්වයෙන් හා වන්දනාමානයෙන් පිදු දේශයකි. ජීවයෙහි මූලාශ්‍රය – සුන්දරත්වය – අමතන දේව ස්ත්‍රෝත්‍ර හී බහුලව ගායනා කෙරේ. ඒ නිසා ජනයාගේ එදිනෙදා ජීවිතයේ දී නිරන්තර සාධකයක් ලෙස, සුන්දරත්වය රැඳී සිටීම අමුත්තක් නොවේ. සුබසෙතත්, සුන්දරත්වයත් දෙකක් නොව එකක්ම යයි සැලකීමෙන් මෙය වඩාත් තහවුරු වෙයි. සෑම ශාන්තිකර්මයක, මංගල්‍යයක, උත්සවයක හෝ වෙනත් ප්‍රියජනක අවස්ථාවක ඒවා අවියෝජනීය අංගයන් වන්නේ එබැවිනි.

යමක් නිර්මාණය කරන්නට අත් තබන ශිල්පියාම මංගල කරුණක් යයි අපේ පෙරදිග පත පොතේ සඳහන් ය. ඒ සඳහා යොදා ගන්නා උවාරණ මිනිස් සීමාවන් අතික්‍රමණය කරන්නට, ඔහුට ඉඩ පාදන, ඔහුගේ නිර්මාණ ශක්තියේම දිගුවක් වෙයි. එහෙයින් එය අගයන කෘතහස්ත ශිල්පියා, සිය සාම්ප්‍රදාය තුළම රැඳෙමින් නිෂ්පාදකයා හා පාරිභෝගිකයා යන දෙදෙනම සමාජය නමැති වියමනෙහි, මනා සංකලනයක් බවට පත් කරයි.

පරිවර්තනය : ජයසුමන දිසානායක

සංස්කෘති, 2009 ඔක්තෝබර් කලාපයෙන් කෘතඥ පූර්වකව උපුටා ගන්නා ලදී.

ඡායාරූපය http://www.telegraphindia.com/…/story_7520545.asp න් කෘතඥ පූර්වකව උපුටා ගන්නා ලදී

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )