සිනමා විචාර

අහිමිවීමක පුනරාවර්තනය :
බඹර වළල්ල නැරඹීමට කවුලූවක්

කෞශල්‍ය කුමාරසිංහ
විදුර ප‍්‍රභාත් මුණසිංහ

පිවිසුම

බඹර වළල්ල ගැන බොහෝ විචාර ලියවෙයි. ඒවා සිනමා කෘතියේ සිනමාත්මක වටිනාකම් නොවටිනාකම්වල සිට අන්තර්ගත සමාජ දේශපාලන දැක්ම දක්වා විහිදෙනු පෙනේ.

මෙම චිත‍්‍රපටය පිලිබඳ පසුගිය සති කිහිපය පුරාවට විවිධ පුවත්පත්වල පළවූ සිනමා විචාරයන් මෙන්ම සමහර සම්මන්ත‍්‍රණයන් තුලින්ද අපට හමුවූ කිසිවක් මෙම කෘතිය නැරඹීම සඳහා වන කවුලූවක් නොඑසේනම් කියවීම සඳහා වන රාමුවක් සපයාදීමට අසමත්විය (මෙහිදී අපට මඟහැරුනු විචාරයන්ද තිබිය හැක). කෙසේ වෙතත් කලා විචාරකයාගේ මූලික වගකීම වන්නේ කෘතිය තුල පවත්නා අසීමිතත්වය සීමිත බවට පත්කිරීම තුලින් එකී කෘතිය නැරඹීම සඳහා වන කවුලුවක් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවට අපට හමුවූයේ කෘතිය සම්බන්ධයෙන් දක්වන ලද්දාවූ විසිරුනු අදහස් දැක්වීම් සමුදායක් පමණකි. අප උත්සාහ කරන්නේ චිත‍්‍රපටය යලි නැරඹීමට කවුලූවක් තනා ගැනීමටයි.

මෙම ලිපියේ සංවාද ගැටලූව වන්නේ සංකීර්ණ ලෙස එකිනෙකාට බැඳුනු ති‍්‍රකෝණාකර මිනිස් සම්බන්ධයක් සමරූපීව, එනමුදු විවිධ වේශයන්ගෙන් චිත‍්‍රපටය තුල තුන්වරක් පුනරාවර්තනය වන්නේ ඇයිද යන්නයි. ‘බඹර වළල්ල’ යන්නෙහි ඇති ව්‍යංගාර්ථය මෙම මිනිස් ති‍්‍රකෝණයේ නැවත නැවත පැමිණීමද ?

පෙනෙන ලෙස මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය වන ‘පොඩි එකා’ අනෙකුත් චරිත හා සම්බන්ධවීම තල තුනක් ඔස්සේ විකාශනය වෙයි. පළමු තලය තුල ඔහු ජීව විද්‍යාත්මක ශරීරයෙන්ම පොඩි එකෙකි. බාප්පා (ලලිත් ජනකාන්ත) , අක්කා (අනුරුද්ධිකා පාදුක්කගේ) සහ අම්මා (නීටා ප‍්‍රනාන්දු) එම තලයේදී කේන්ද්‍රීයව ඔහු හා සම්බන්ධවන බව පෙනේ. මෙහිදී බාප්පා විසින් අක්කාව දුෂණය කිරීමත් (මෙය කාලයක් තිස්සේ සිදුවූ එකක් බව කෘතිය තුල නිරූපනය වෙයි). අනතුරුව ඇය ගෙල වැලළා ගැනීමත් සිදුවන අතර පොඩි එකා විසින් උදැල්ලකින් පහරදී බාප්පාව මරා දමනු ලබයි.

දෙවන තලය තුල හිරෙන් නිදහස්වන ශරීරයෙන් ලොකු ‘පොඩිඑකා’ අප්පුහාමි මාමාගේ (ජයලත් මනෝරත්න) හරක් බලමින්, කුඹුරු වැඩ කරමින් ජීවත් වෙයි. පොඩි එකා සිරගතව සිටියදී බාප්පා හා අක්කාගේ මරණයෙන් පසු උන්මත්තක බවට පත්වූ අම්මා බලාගනු ලබන්නේ අසල්වැසි අප්පුහාමි මාමාගේ පවුලේ උදවිය විසිනි. අප්පුහාමි මාමා, ඔහුගේ දියණිය වන පුංචි මැණිකා (කෞශල්‍යා සමරසිංහ) සහ උමතුව සිටින අම්මා එම තලයේදී ‘පොඩි එකාගේ’ චරිතය හා බැඳෙන ප‍්‍රධාන චරිතයෝ වෙත්. එහිදී පුංචි මැණිකාට ට සිය සිතැඟි හෙලිකරන පොඩි එකාව පිලිකුලෙන් බැහැර කරන ඇගේ දිගු කෙස්වැටිය පොඩි එකා විසින් කපා දමනු ලබයි. මෙයින් මහත් කෝපයට පත්වන අප්පුහාමි මාමා තමන්ට සිදුවූ නිග‍්‍රහයට පලිගනු වස් පොඩි එකාට පහරදී මරා දැමීමට තැත් කරයි. ඔහුගේ දිවි බේරෙන්නේ හදිසියේ එතැනට පැමිණෙන මැල් මහත්තයා (මහේන්ද්‍ර පෙරේරා) විසින් ඔහුව රෝහලට ගෙනයාම නිසාවෙනි. අප්පුහාමි මාමා පොඩි එකාගේ මවද සමඟ පොඩි එකාගේ නිවසට ගිනි තබා සිය පවුලේ උදවිය සමඟ ගමෙන්ද පිටව යයි.

කථාවේ තුන්වන තලයේදී මැල් මහත්තයාගේ හිතෛෂීයකු බවට පත්ව සිටින පොඩි එකාගේ ජීවිතය දිගහැරෙන්නේ මැල් මහත්තයා, කුමාරි (දමිතා අබේරත්න), ජිනෙ අයියා (ශ‍්‍රියන්ත මෙන්ඩිස්) යන චරිත සම්බන්ධ කරගනිමිනි. එහිදී මල්ශාලා හිමිකරුවකු හා වී වෙළදාමේ නියුතුවූවකු වන මැල් මහත්තයා වරෙක මානව හිතවාදියකු ලෙසින්ද, තවත් වරෙක ප‍්‍රචණ්ඩ අවස්ථාවාදී ව්‍යාපාරිකයකු ලෙසින්ද පෙනී සිටින්නෙකි. පොඩි එකා සහ කුමාරි මෙම තලය තුල නිරූපනය වන්නේ මැල් මහත්තයාගේ ආදරය, රැුවරණය ලබන්නන් මෙන්ම ඔහුගේ ප‍්‍රචණ්ඩ ව්‍යාපාර ලෝකයේ ගොදුරු ලෙසිනි. කුමාරි යනු වක‍්‍ර බලහත්කාරයක් සහිතව මැල් මහත්යාගේ මෙන්ම ඔහුගේ විවිධවූ සහචරයින්ගේ ආශාවන් සන්සිඳවීම සඳහා රඳවා සිටින්නියකි. පොඩි එකා සහ කුමාරි මැල් මහත්තයාගේ ග‍්‍රහණයෙන් මිදී පළා යන අතර ඔවුන් නැවත තමන් වෙතට ගෙන්වා ගන්නා මැල් මහත්තයා ඔවුන් දෙදෙනාව විවාහ කරදෙයි. මැල් මහත්තයා වෙනුවෙන් මංකොල්ලයකට සහභාගීවන පොඩි එකාව මරාදැමිමට මැල් මහත්තයා උත්සාහ කරද්දී මැල් මහත්තයා මියයන අතර පොඩි එකාගේ මිනිය දැවීමට සැලසුම්කොට තිබූ දර සෑයේ පොඩි එකා විසින් මැල් මහත්තයාගේ මිනිය දවාලයි. කථාව අවසානයේ අප දකින්නේ මැල් මහත්තයාගේ ව්‍යාපාරයන්හි හිමිකරුවා බවට පොඩි එකා පත්වී සිටින ආකාරයත් (ප‍්‍රථම වතාවට ඔහුට පොඩි එකා කියා නොව මහත්තයා යනුවෙන් ආමන්ත‍්‍රණය කරනු මෙහිදී අසන්නට ලැබේ), කුමාරි එහි සේවය කරමින් සිටින ආකාරයත්ය.

මිනිස් ති‍්‍රකෝණයක පුනරාවර්තනය

මෙම ලිපියේ සංවාද ගැටලූවට අදාල තුන් වරක් පුනරාවර්තනය වන ති‍්‍රකෝණාකාර මිනිස් සම්බන්ධය නම්කර ගැනීමට කිසියම් ඉඩක් දැන් විවරව ඇත. මුල් තලය තුල කේන්ද්‍රීය මිනිස් සම්බන්ධය ලෙස පොඩි එකා, අක්කා සහ බාප්පා හඳුනාගත හැකිය. එය නැවත දෙවන තලය තුල පැමිණෙන්නේ පොඩි එකා, පුංචි මැණිකා සහ අප්පුහාමි මාමා ලෙසිනි. තෙවන තලය තුල පොඩි එකා, කුමාරි සහ මැල් මහත්තයා ලෙස පුනරාවර්තනය වන්නේද එකී ති‍්‍රකෝණ සමබන්ධයමය. මේ සියලූ සබඳතා ස්වරූපයන් ඔස්සේ පොඩි එකාගේ ජීවිතය කරා මේ නැවත නැවත පැමිණෙන්නේ මියගිය බාප්පා හා අක්කාගේ නොමළ අවතාරයන්ද ? Continue reading සිනමා විචාර

Advertisements

කලාව

“‘ඇන්ටිගනි’: වසර දෙදහස් පන්සියයකට එපිට ලියැවුණත් හෙට දවසටත් ඒ ආකාරයෙන් වලංගුයි. සර්වකාලීනයි”

මිනිසාගේ ජීවත්වීම සඳහා සොබාදහමෙන් නීතිපනවා තිබෙනවා. උපත, විවාහය, මරණය ආදී මිනිස් ජීවිතයේ ප්‍රමුඛ සිද්ධීන් මේ සොබාදහමේ නීතියට අනුව සිදුවෙනවා. මරණයෙන් මතු ලෝකය බොහෝදෙනාගේ විශ්වාසයක්. විශ්වාස නොකරන අය තුළ පවා මරණයෙන් මතු ලෝකය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් මනුෂ්‍යයා ශිෂ්ටාචාරගත වූ පසුව ශිෂ්ටාචාරය විසින් ඇති කරන ලද සිරිත් විරිත් සම්මත රැකගන්න වෙනම නීතියක් හැදුණා.

සමාජයේ අර්බුදකාරී වන්නේ රාජ්‍ය පවත්වාගෙන යාමට සකස් කළ නීතියත් සොබාදහමේ පැවැත්ම සඳහා බිහිවූ නීතියත් එකිනෙක ගැටීම නිසා. සොබාදහමේ නීතිය විසින් බිහිකරන ලද මනුෂ්‍යයා විසින් තමයි රාජ්‍යයේ නීතිය සකස් කොටගෙන තිබෙන්නේ. මනුෂ්‍යයා සිටින්නේ මේ නීති දෙකට අතරමැද. ඇන්ටිගනී මුහුණදෙන හෘද සාක්ෂියේ ප්‍රශ්නයයි. ඇගේ බාප්පා මුහුණ දෙන රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ ප්‍රශ්නයයි දෙකම බැලුවම සාධාරණයි. නමුත් එක් නීතියක් ඉටුකරගන්නාවිට අනෙක් නීතිය බිඳෙනවා.

නාට්‍යයේ හැටියට මේ දෙදෙනාම ඛේදවාචක දෙකකට මුහුණපාන අයුරු පෙනෙනවා. බොහෝ දේශපාලනික දේවල්, මනුෂ්‍යයා සම්බන්ධ දේවල් අද මේ මොහාතෙත් අපගේ ජීවිතය ඇතුළේ, සමාජය ඇතුළේ සිදුවෙමින් තිබෙනවා. ඒ නිසා මේ නාට්‍යය වසර දෙදහස් පන්සියයකට එපිට ලියැවුණත් හෙට දවසටත් ඒ ආකාරයෙන් වලංගුයි. සර්වකාලීනයි. මේ සංවාදය පියා පුතු අතර, පියා දියණිය අතර, සහෝදර සහෝදරියන් අතර ගොඩනැඟෙනවා. එනම් නාට්‍යය ගොනුවන්නේ රාජ්‍යයේ ප්‍රධාන පුරවැසියෝ පස්දෙනා අතර.

ඕනෑ ම හොඳ නාට්‍යයක මනුෂ්‍යයා පිළිබඳ සියුම් විග්‍රහයක් තිබෙනවා. …..හොඳ ස්වතන්ත්‍ර නාට්‍යයක් ලිවීම සඳහා ලෝක නාට්‍ය සාහිත්‍යය හැදෑරීමෙන් ලැබෙන පරිචය වැදගත් වෙනවා.


“ඕනෑ ම හොඳ නාට්‍යයක මනුෂ්‍යයා පිළිබඳ සියුම් විග්‍රහයක් තිබෙනවා” යන මැයෙන් 2010 අ‌ගෝස්තු මස 8 වැනිදා සිළුමිණ පුන්කලස කලාපයේ පළවූ ‘ඇන්ටිගනි’ නිෂ්පාදක, කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක සමග නුවන් නයනජිත් කුමාර කළ සාකච්ඡා‍වකින් කෘතඥ පූර්වකව උපුටා ගන්නා ලදී.

මුලු ලිපිය මෙහි බලන්න – “ඕනෑ ම හොඳ නාට්‍යයක මනුෂ්‍යයා පිළිබඳ සියුම් විග්‍රහයක් තිබෙනවා”