මහජන සෞඛ්‍යය

අපි කන වස
ආරිය සුබසිංහ

සරසවියෙන් පිට වෙන්නටත් පෙරම වාගේ රැකියාවක් ලබන්නට මම වාසනාවන්ත වූයෙමි. රැකියාව වූයේ ගුරුතලාව, ශා. තෝමස් විදුහලේ ගුරු පත්වීමකි. එය වැලිමඩ – හපුතලේ ප්‍රධාන මාර්ගය අසල අතිශය සුන්දර පරිසරයක පිහිටි රටේ නම් දැරූ පුද්ගලික විදුහලකි.

එහි කඳුබෑවුමක තනා තිබූ සුන්දර, විද්‍යාගාරයේ ඉදිරි වැටට වාරු වී පහත පෙනෙන මනස්කාන්ත දර්ශනය දෙස බලා සිටීම මගේ ප්‍රියතම විනෝදාංශයක් වීය. පොළොන්නරුවේ තැනිතලා බිමේ ගිණි කාෂ්ඨක අව්වේ පිච්චී පුරුදු මට එය පුදුම වෙනසක් විය. පහත මිටියාවතේ අර්තාපල් කොටුවල කවුද කවුදෝ වැඩ කරනු පෙනේ.

මිටියාවත පිස හමා එන සිසිල් මඳනල ගත පමණක් නොව සිතද නිවා දමයි. එය පේරාදෙණි සරසවියේ මාර්ස්, ජයතිලක, හිල්ඩා හෝ අක්බාර් ශාලාවල සිටි කාලයේ අප අත්විඳි සිසිල් සුළඟට වඩා සිසිල්ය, ඊට වඩා තරමක් වියළිය. ගුරුතලාව අයත් වන්නේ කඳුරට වියළි කළාපයටය, ඌව පළාතටය.

එහෙත්, වැඩි වේලාවක් ඒ සුවය විඳිමින් සිටින්නට නොලැබේ. එපා කරපු ගන්දස්සාරයක් හිටි හැටියේ මඳ සුළඟට කළවම් වී එයි. ඒ පහත ඇති අර්තාපල් වගාවට ගසන දිලීර හෝ පළිබෝධනාශක කුයිලයය.

වසවිසෙන් එම වගාව මොනතරම් නහවනවා මා දැක ඇති දැයි කියතොත් අර්තාපල් කෑම මුළුමනින් ම නැවැත්වූයෙමි.

දිනක් දෙකක් වැසි වැස යන්තම් අව් රැල්ලක් වැටෙන ඕනෑම දිනෙක එහි කොයි ගොවියාගේත් කරේ දකින්නට ලැබෙන්නේ වස ඉසින ස්ප්‍රේ යන්ත්‍රයකි. සැප ගන්නට වැලිමඩ, නුවරඑළියේ හෝ බණ්ඩාරවෙල යන ඕනෑම කෙනෙක් ඒ දසුන දකිති. වන්දනාවට හෝ පොළොන්නරු, අනුරාධපුර යන ඕනෑම කෙනෙක් ගොයමට ගසන වස කන්දරාව දකිති. රට පුරා තේ වතු වල ගසන වස කන්දරාව වෙනමම ගණන් බැලිය යුතු වේ. කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය දෙපස ඇති ගොටුකොළ, මුකුණුවැන්න වවන කීර කොටුවල ඉස්නා කරේ බැඳ ගත් අය දිනපතා සිටින හැටි එම මාර්ගයේ යන එන කාටත් පෙනේ.

‘කිසිම කිසි බයක් නැතුව ඇහැ පියාන කන්න පුළුවං ගෙදර අම්ම පේ වෙලා, අන්තිම පිරිසිදුවට හදපු කෑමක් විතරයි. ඔය හෝටල්වල එහෙම කෑම කොච්චර ජරාවටද හදන්නෙ කියල කවුද දන්නෙ?’ යි කවුරුත් කියති. එහෙත්, එය තව දුරටත් වලංගු නොවේ. මේ වනවිට සියල්ල කණපිට හැරී තිබේ. ගෙදර හදන කෑම වේලටත් වස විස රිංගා හමාරය.

• ‘ශ්‍රී ලංකාව වසරකට පළිබෝධනාශක සාන්ද්‍ර කිලෝ ග්රෑිම් 70,000ක් ආනයනය කරයි’. (මූලාශ්‍රය – ‘සොබාදහම’, අශෝක අභයගුණවර්ධන. පි – 25).

• මෙරට මව්වරුන්ගේ කිරිවල පළිබෝධනාශක අවශේෂ තිබෙන බව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයට සම්බන්ධ පර්යේෂක කණ්ඩායම් විසින් කරන ලද පර්යේෂණවලින් හෙළි වී තිබේ. අහඹු ලෙස ලබා ගන්නා ලද කිරි නියැදි සංඛ්‍යාවෙන් 19.5%ක ඩී.ඩී.ටී. අවශේෂද, 43.2%ක බී.එච්.සී. අවශේෂද, 27%ක ඩිඇල්ඩ්රිින් අවශේෂද ඇති බව එහිදී සොයා ගන්නා ලදී.

• නුවරඑළිය ප්‍රදේශයේ මව්වරුන්ගේ කිරිවල දශලක්ෂයකට කොටස් 0.586ක් ඩී.ඩී.ටී. තිබෙන බව සොයා ගෙන තිබේ.

• දිවයින පුරා විවිධ ප්‍රදේශවල එළවළු සහ පළතුරු නියැදි ගෙන කරන ලද පර්යේෂණවලදී පෙනී ගොස් ඇත්තේ, ඒවායින් 61%ක ඩී.ඩී.ටී.ද, 43%ක බී.එච්.සී. අවශේෂද, 28%ක ඩිඇල්ඩ්රින් අවශේෂද, 6%ක එන්ඩ්රියන් අවශේෂද, 13%ක හෙප්ටාක්ලෝර් අවශේෂද, 25%ක එන්ඩොසල්ෆාන් අවශේෂද තිබූ බවයි.

• යාපනය දිස්ත්‍රික්කයේ සිදු කෙරුනු ගවේෂණ වලදී ඔප්පු වී ඇත්තේ එළවළු හා පළතුරු නියැදිවලින් 76%ක බී.එච්.සී. අවශේෂද, 53%ක ඩී.ඩී.ටී. අවශේෂද තිබූ බව යි.

• රට පුරා විවිධ ස්ථාන වලින් ගන්නා ලද ධාන්‍ය හා පස් නියැදිවලද පළිබෝධනාශක අවශේෂ ඇති බව ඔප්පු වී තිබේ. (තොරතුරු මූලාශ්‍රය – ‘පරිසර විද්‍යාව’, ආතර් බී. කොතලාවල. පි – 168, 169).

ගස පුරා දුවන වස
අල, මුල් වැනි ශාකයක පසට යටින් ඇති කොටස් තුළ පවා වස විස තිබී හමු වී ඇත. ඝනකමැති දහයියා කවරයෙන් හොඳ හැටි ආවරණය වී ඇති වී ඇටය තුළටත් වස යයි. මේ සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයක් මෙසේය. එක් මල් ශාක වර්ගයක පැලවලට මල් ඇති වන්නට පෙර කෘමිනාශකයක් ඉසින ලදී. පසුව එම ගොවිපලේ මී මැසි පෙට්ටිවලින් ලබා ගත් මී පැණි පරීක්ෂා කරද්දී ඉහත කී කෘමිනාශකය තිබී හමු විය.

එය සිදු වන්නේ කෙසේද? එය සිදු වන්නේ ශාකයේ මතුපිට කොටස් හරහා උරා ගන්නා ඇතැම් වස විස, නයි පොළඟුන් සේ ජලය ගලා යන නාල ඔස්සේ ශාකයේ අස්සක් මුල්ලක් නෑර යන බැවිනි. ඒවාට පරිසර්පන හෝ සංස්ථානික වස යයි කියනු ලැබේ.

ශාකයේ ඇතුළතට උරා නොගෙන, පතිත වූ තැන පමණක් තිබී ක්‍රියාත්මක වන වසද තිබේ. ඒවා ස්පර්ශ වස වේ. ඒවා දරුණු බවින් ස්වල්පයක් අඩුය. ඒවා ශාකය මතුපිට තිබෙන බැවින් වැසි, සුළං ආදියෙන් ගසා යන්නට හෝ අව් රශ්මිය හේතුවෙන් වාෂ්ප වී යන්නට පුළුවන. ඒවා ශාකවල භූ ගත කොටස් හෝ සෙසු කොටස් කරාද නොයයි. තවද, ස්පර්ශ වස ඉවුම් පිහුම්වලදී කෙරෙන සේදීමේදී ඉවත් වන්නටද පුළුවන.

එනයින් බලද්දී පරිසර්පන වස දෙගුණයක් දරුණුය. ශාකය තුළට උරා ගත්තායින් පසු වැසි, සුළං ආදියට ගසා යන්නේ හෝ අව්වට වාෂ්ප වන්නේ කෙසේද? එබැවින් කල් පැවැත්ම වැඩිය. ඒ හේතුව නිසාම ඒවා වැඩි කලක් ක්‍රියාත්මකද වෙයි. ඒවා පිසීමට පෙර කරන සේදීමේදී ඉවත්ව යන්නේ නැති බව ද පැහැදිලිය.

ලාභය පමණක් ගැන හිතන ගොවියෙකු වඩා කැමති වන්නේ කවර වර්ගයේ වසවලටද යන ප්‍රශ්නය දැන් ඇති වේ. පිළිතුර ඉතා පැහැදිලිය. ඔහු දෙවරක් නොසිතා, තෝරා ගන්නේ පරිසර්පන වස බෝතලයයි. ‘ගහල අනිප්පැත්ත බලද්දි වාෂ්ප වෙන, හේදිල යන වස ගහල කොහොමද වගාව බේර ගන්නෙ? ගහනව නං ගහන්න ඕනෙ කාලයක් ගහ ඇතුළෙ තියෙන කාපු කාපු සතා මැරෙන බේතක්නෙ’යි ඔහු කියනු ඇත.

දියුණු රටවල ගොවියා ඒ අතින් වෙනස්ය. ඔහුට තෝරා ගන්නට වන්නේ ස්පර්ශ විසකි. බොහෝ පරිසර්පන වස ඒ රටවල සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

එහෙත්, අපනයනය සඳහා වවන භෝග වලදී ඔහු තෝරා ගන්නේත් පරිසර්පන වසක්ම වන්නට පුළුවන. විදේශයන්ගෙන් ගෙන්වා අපට කවන හාල්, පාන්පිටි, අල, මිදි, ඇපල්, දොඩම්, නාරං ආදිය එසේ වන්නට බැරිද? අප වඩාත්ම පරිස්සම් විය යුතු තැනකි ඒ. ඇමරිකාවේ, කැලිෆෝනියාවේ සිට ජපානයට අපනයනය කළ පළතුරු තොගවල වසවිස අවශේෂ තිබී හමු වූ බවට සාක්ෂි ඉදිරිපත් කරන්නට පුළුවන. ඉතින් අපට මොනවා නොකරයිද?

‘ඔය වල්නාශක, කෘමිනාශක ගැහැව්වට ඒව ටික දවසක් යද්දි වාෂ්ප වෙලා, වතුරට දියවෙලා අක්‍රිය වෙලා යනව. ඒව වැඩිම උනොත් තියෙන්නෙ සති දෙකයි. ඒව හදන්නෙ එහෙම වෙන විදිහට. ඒව ඔය අපේ ගමේ ජෙමයියල සිමයියල හදන ඒව නෙවෙයි. ඒව හදන්නෙ මොනසැන්ටෝ, ෂීබා ගෙයිගි වගේ ලෝකෙ තියෙන දියුණුම ෆැක්ටරිවල. ඒවයෙ වැඩ යන්නෙ කොම්පියුටර් වලිං. ඒවයෙ බිම බත් දාගෙන කන්න පුළුවං. ඒ තරමට පිරිසිදුයි. අනික, වල්නාශක, පළිබෝධනාශක අළුතෙං හොයා ගන්නෙ එංගලන්තෙ, ඇමරිකාවේ උපාධි පිට උපාධි ගහපු විද්‍යාඥයො. එයාල මේ අපේ රටේ ඉන්න තුට්ටු දෙකේ උපාධිකාරයො වගේ නෙවෙයි. ඒ නිසා බය වෙන්න කිසිම දෙයක් නෑ’. එක් කෘෂි උපදේශකයෙකු ගොවි හමුවකදී කියා සිටි කතාවකි, ඒ.

කෘෂි රසායන සැබවින්ම ඔය කියන පරිදි වියෝජනය වී යනවාද? ඉහත දී ඇති දත්ත දෙස බලමු. ඒවා වගාව කෙරෙන තැනට ගොස් ලබා ගත් කරුණු නොව, අඩුම තරමින් වෙළෙඳපළේදී කළ පරීක්ෂාවලින් හෙළි වූ තොරතුරු වේ. වෙන දෙයක් තබා, මව් කිරිවලත් වස තිබී අසු වී තිබේ.

මව් දෙනගේ කිරි හැර වෙන කිසි දෙයක් – වතුර පොදක් වත් – ඒ වන තෙක් මේ ලෝකයෙන් කා, බී නැති අලුත උපන් වසු පැටවුන්ගේ මස්වලත් වසවිස අවශේෂ තිබී හමු වී ඇත. ඔය කියන ආකාරයට වියෝජනය වී යනවා නම් එසේ මස් හෝ කිරිවල වස විස තිබෙන්නට පුළුවන්ද?

වසු පැටවෙකු මරා උගේ පෙණහලු, හදවත, මොළය වැනි තැන් කපා කොටා, අඹරා, අම්ල අඩංගු වීදුරු ප්ලාස්කු තුළ බහා තම්බා, විවිධ පාටැති රසායනික ද්‍රව්‍ය දමා විශ්ලේෂණය කර බලන්නට අයිතියක්, බලයක් තමන්ට තිබෙනවා යැයි මිනිසා සිතා සිටියි. එබැවින්, ඔහු එසේ කරයි. වසු පැටවුන්ගේ සිරුරු තුළ වස විස තිබෙන බව එමඟින් ඔප්පු විය. ඒවා ශරීර ගත වී ඇත්තේ ක්‍රම දෙකකටය. පළමු ක්‍රමය, ගැබ තුළදී, පෙකණි වැල හරහා මව් එළදෙනගේ සිරුරෙනි. ඒවා උපදින්නටත් පෙර සිටම තිබේ. දෙවන ආකාරය මව් එළදෙනගේ කිරි හරහාය. ඒ සියල්ල ලබා ගත් මූලාශ්‍ර සඳහන් කර තිබේ. පිරික්සා බලන්නට කැමති කෙනෙකුට පුළුවන.

මව්කිරිවලත් වස තිබී හමු වූ බවට සාක්ෂි හමු වී තිබේ. එනයින් බලද්දී, අලුත උපන් අපේ දරුවන්ගේ සිරුරු තුළ මොනවා තිබෙනවා නැද්ද? නෑ, හිත මිතුරන්ගේ අලුත උපන් දරුවන් වඩා ගන්නට තෑගි බෝග රැගෙන ඔවුන් බලන්නට ගිය අවස්ථාවලදී මට සිදු වේ. එවිට එකල මට සිතුණේ ‘අනේ මේ මගේ අතේ ගුලි වී ඉන්නේ මොන තරම් පවිත්‍ර වස්තුවක්ද?’ කියාය. ඒ වෙනුවට දැන් නම් සිතෙන්නේ ‘මේ ළපටියාගේ ඇඟ තුළටත් මොන තරම් වස දැනටත් ඇතුළු වී ඇද්ද?‘ කියාය.

ඇතැම් දරුවන්ට වස කැවෙන තුන්වෙනි ආකාරයක්ද තිබේ. ඒ පිටිකිරි හරහාය. පියවුරු සඟළේ හැඩය රැක ගැනීම සිය කුසින් බිහි කළ දරුවාගේ පෝෂණයට වඩා වැදගත් කොට සිතන මවුවරුද සිටිති. ඔවුන්ගේ දරුවෝ උපන්දා සිටම පිටිකිරි හරහා වසවිස බොති.

වසරක් තුළදී මෙරටට ගෙන් වන වසවිස සාන්ද්‍ර ප්‍රමාණය කිලෝග්‍රෑම් 70,000ක් පමණ වේ. අප ආහාර භෝග මහා පරිමාණයෙන් රට යවන ජාතියක් ද නොවෙමු. එබැවින්, ඒ වස සියල්ල අවසානයේ නවතින්නේ කාගෙ කාගේත් ස්නායු මණ්ඩල, හෘදය, පෙණහලු, වකුගඩු ඇති තැන්වලත්, ගැබිණි මව්වරුන්ගේ ගැබ් වල වැදෑමහේත්ය.

විවිධ රෝග හේතුවෙන් ගෝවා, කැරට්, බෝංචි, ලීක්ස් වැනි බටහිර එළවළු මඳක් තම්බා බුදින අය වඩ වඩා සැලකිලිමත් විය යුතු වේ.

ඉතිරි කොටස පසුවට

2010 නොවැම්බර් 05 ‘රාවය‘ පුවත් පතින් කෘතඥ පූර්වකව උපුටා ගන්නා ලදී.

Advertisements

One thought on “මහජන සෞඛ්‍යය”

  1. බොහොම හොද විවරණයක්.. හැබැයි ඉතින් සෙන්ටිමෙන්ටල් වුනාට කිසිම විද්‍යාත්මක පදනමක් නම් නැහැ..

    1. ඩී.ඩී.ටී දැන් ලන්කාවේ භාවිතය තහනම්ය.. ඒවා පහුගිය සියවසේ බහුලව පාවිච්චි කළේ කෘමිනාශක ලෙස කුඹුරුවලට යෙදීමට නොව මැලේරියා මදුරුවන් විනාශ කිරීමට ය.. (බී.එච්.සී හෝ පයිරෙත්‍රොයිඩ එකල සොයාගෙන නොතිබිණි ).. ඒවා නොගැසුවා නම් මේ වන විට මැලේරියා වසන්ගත සෑදී ලක්ෂ ගණන් මිය යන තත්ත්වයක් ඇති වන්නට තිබිණි..

    2 මවුකිරි වල ඩී.ඩී.ටී, බී.එච්.සී සහ තවත් කෘමිනාශක තිබෙන බව ඇත්තකි.. නමුත් එයින් මවුකිරි වස බවට පත් වී ඇති බවක් නොකියවේ.. ඕනෑම සන්ඝටකයක් විෂ බවට පත් වන සාන්ද්‍රණයක් ඇත.. ඔබ කියූ කෘමිනාශක මවුකිරි වල (නොව කෘෂි නිෂ්පාදන වල පවා ) හානි රහිත මට්ටම ඉක්මවා ඇති බවට සාක්ෂි තිබේ ද? ඒවා ඔබ කියූ මට්ටම් වලින් එකතු වීම නිසා දරුවන්ට හෝ අනෙකුත් අයට කිසියම් ආබාධයක් සෑදෙන බවට සාක්ෂි ලැබී තිබේ ද? (දැන් අර ආසනික් කතාව කියන්න එපා.. මම අහන්නෙ ඔබ සදහන් කරපු සන්ඝටක ගැන විතරයි ).. ඕනෑම දෙයක් විෂක් වන්නේ කිසියම් අවධි සාන්ද්‍රණයකදී ය.. එබැවින් ඩී ඩී ටී දශලක්ශයකට කොටස් 0.5ක් තිබූ දරුවාගේ සිරුර විශ වී ඇතැයි සිතන්න එපා..

    3. පරිසර්පන වස සම්බන්ධ තවදුරටත් පරික්ෂා කළ යුතු බවත් ස්පර්ශ විෂ වෙත වඩාත් යොමු විය යුතු බවත් පිළිගනිමි.. එහෙත් “ආහාර දාම වල එකතු වේ” යන්න හුදෙක් ගෙන පරිසර්පන විෂ තහනම් කිරීම අවිද්‍යාත්මකය.. දාම වල උඩ පුරුක් වල එකතු වන මට්ටම හානිදායකනම් පමණක් එසේ කළ යුතු ය..

    4. වසරකට ගෙනෙන සාන්ද්‍ර කෘමිනාශක කිලෝග්‍රෑම් 70000 පදනමක් නැති අගයයකි.. එය යොදන්නේ වගාවන් කොපමණ ප්‍රමාණයකට ද? එහිදී එම එක් එක් වගාවේ බෝග වල අවශෝෂණ මට්ටම් කෙසේ ද, එය මිනිසාට හානිදායක නොවන උපරිම මට්ටම ඉක්මවා යයිද යන්න නොමැතිව එම අගයෙන් වැඩක් නැත..

    5. කිරිපිටි වල “විෂ” තිබෙනවා යයි ඔබ කියන්නේ කුමන පදනමකින් ද? පදනමක් තිබේ නම් එය කරුණා කර දක්වන්න.. පියයුරේ හැඩය හෝ දරුවාගේ පෝෂණය යන දෙකෙන් කුමක් තෝරා ගත යුදු දැයි තීරණය කළ යුත්තේ මවයි.. ඔබ නොවේ.. නමුත් මා දන්නා තරමින් බොහෝ අප්‍රිකා, යුරෝප, උතුරු හා දකුණු ඇමෙරිකා රටවලට වඩා ලන්කාවේ මවුවරු මවුකිරි දෙති.. නොදෙන්නේ සෞඛ්‍ය හෝ වෙනත් එවැනි හේතු නිසා ය..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )