සාහිත්‍යය

භූමි කම්පාවටත්, සුනාමියටත්, න්‍යෂ්ටික තාප බලාගාරයේ පිපිරුමටත් මැදිව අනන්ත අපමණ දුක් පීඩා විඳින ජපාන ජනයාගේ ඛේදනීය අත්දැකීම අපට සිහිපත් කරන්නේ කුමක් ද? විද්‍යාත්මක දියුණුව පිළිබඳ අපගේ ඉමහත් කියාපෑම් තිබියදීත් අපගේ ජීවිත පිළිබඳ ඉරණම පාලනය අප අත නැත. විද්‍යාත්මක සොයාගැනීම් කළහැකි වූ පමණින් ඒවා ලෝකයට මුදාහැරිය නොයුතු බව ඊනියා සත්‍යයේ නාමයෙන් ඕනෑම නවෝත්පාදනයක් කිරීමට පසුබට නොවන විද්‍යාඥයන්ට ෆුකුෂිමා න්යකෂ්ටික තාප බලාගාරයේ පිපිරුම් සිහිපත් කොට දෙයි. ඊනියා සංවර්ධනය නාමයෙන් අප කොතෙක් සුඛ විහරණ හඹා ගියද තීරණාත්මක මොහොතෙහිදී අපට ඉතිරිවන්නේ අප ගොඩනගාගන්නා මනුෂ්‍යත්වය පමණි. ඉතින් අප යලි යලිත් මුහුණ දෙන මෙම අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගන්නට අපි කවදා සමත් වෙමුද?

තම එදිනෙදා ජීවිතයෙහි හැම අංගයකටම අපූරු හැඩ දමා විචිත්‍ර වර්ණ කවා සෞන්දර්යයෙන් වටවුණු පරිසරයක විසීමට පුරුදු වී සිටි ජපන් ජාතිකයන්ට මෙම ඛේදනීය මොහොතේ තම දුක නිවාගන්නට උදව් වනු ඇත්තේ කුමක් ද?

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ”මළගිය ඇත්තෝ” පිළබඳ අප පහත නැවත පළ කරන විචාරය ජපන් ජනයාගේ දිවිපෙවෙත පිළිබඳ අවලෝකනයට මුල පුරන්නට ඔබට කෙරෙන ඇරයුමකි.

මළගිය ඇත්තෝ
ධර්මසිරි ඒකනායක

හැඳින්වීම

නවකථා, කෙටිකථා සහ පද්‍ය විවේචනය අගය කිරීමට අනුගමනය කළ යුත්තේ කවර නිර්නායකයක් ද, එය කෙසේ විය යුතු ද යන ප‍්‍රශ්න අපේ සමාජය තුළ නිරතුරුවම සාකච්ඡාවට භාජනය වෙයි. සාහිත්‍ය නිර්මාණවල තත්ත්වය පිරිහීමකට පත්වී ඇති බවට ද නිතර නිතර ම අදහස් ඉදිරිපත් වෙයි. දැනට අවුරුදු පහකට පමණ පෙර දී එනම් නවකථා සහ කෙටිකථාකරණය වර්ධනය වෙමින් පැවති කාලයේ දී ඒවා පිළිබඳ අගය කිරීම සහ විවේචනය කිරීම සිදු වූ ආකාරය පිළිබඳව අදටත් හොඳ සැලසුමක් තිබේ. සබැවින් මෙම ලිපිය හොඳ ආදර්ශයක් ලෙසට ඉදිරිපත් කරන්නේ අපේ ඉදිරි ගමන් මගට එය මග පෑමක් වන බැවිනි.
– සංස්කාරක

“All Art is re-presentation – the giving back in conscious form of the shapeless raw material of experience.”
– Edith Wharton

පසුගිය අවුරුදු දෙක ඇතුළත දී (1962) නවකථා කරණයෙහි විශේෂ හුරුකමක් ඇති සිංහල ලේඛකයන් කීපදෙනෙක් වැදගත් නවකථා පහක් රචනා කර තිබේ. ගුණදාස අමරසේකර ගේ ”යලි උපන්නෙමි” ”දෙපා නොලද්දෝ” ආචාර්ය සරත්චන්ද්‍ර ගේ ”මළගිය ඇත්තෝ” ආචාර්ය සිරි ගුනසිංහ ගේ ”හෙවනැල්ල” හා කේ. ජයතිලක ගේ ”පරාජිතයෝ” යනු එ් නවකථා පහය. මෙම ලිපියෙන්, ”මළගිය ඇත්තෝ” නම් නවකථාව පිළිබඳ ව කෙටි විග‍්‍රහයක් කිරීම අරමුණයි.

විදේශීය රටක – එනම් ජපන් රටේ – ජීවිතය වස්තුකොට ගෙන තිබෙන බැවින් ”මළගිය ඇත්තෝ” අනික් නවකථාවලට වඩා තරමක් අමුතු ස්වරූපයක් උසුලයි. මේ නවකථාවේ ගැබ් වන්නේ කෙටි කාල සීමාවකට ජපන් රටේ පදිංචිවන සිංහල චිත‍්‍ර කලාකරුවෙකු ගේ අත්දැකීම් ය. නව අත්දැකීම් මාලාවක් අමුතු ආකාරයකට නිරූපණය කරමින් සිංහල නවකථාවේ ක්ෂේත‍්‍රය පුළුල් කිරීමට මඟ පාදන බැවින් ”මළගිය ඇත්තෝ” මීට පෙර සඳහන් කළ අනික් නවකථාවලට නෑ සබඳකම් ද දක්වයි. එබැවින් මේ ග‍්‍රන්ථය සිංහල නවකථාවලියට එකතු වූ වැදගත් නිර්මාණයක් වශයෙන් සැලකිය හැකිය.

මිනිසා ගේ කායික පරිසරය අනුව හැඩ ගැසුණු ජීවන රටාවක් මූලික මානුෂික හැඟීම් සමග ගැටෙන සැටි විදහා දැක්වීම නවකථාවේ මූලික අදහස වශයෙන් සැලකිය හැකිය.

කථාවස්තුවට පසුබිම වන්නේ තෝකියෝ නගරයයි. නවකථාවේ මූලික අදහස අනාවරණය කිරීමේ දී මේ පසුබිම වැදගත් කාර්යයක් ඉටු කරයි. කතුවරයා මෙය විචිත‍්‍ර ලෙස කියවන්නා ඉදිරියේ මවා පෑමට සමත් වී තිබේ.

ජපනුන් ගේ ජීවන ක‍්‍රමයේ ඇති සියුම් රසාත්මක ගුණය පහත දැක්වෙන විස්තරයෙන් මනාව හැඟීයයි:

”ඒ රටට පැමිණි මට වහාම හැඟුණේ, බැලූ බැලූ අත විවිධ වර්ණයෙන් දෑස පිනවන වෙන රටක් මා දැක නැති බවය. ගිනිපෙට්ටිය, තේ කෝප්පය වැනි, තමා පාවිච්චි කරන සෑම කුඩා දෙයකට ම අපූරු හැඩයක් දමා විචිත‍්‍ර වර්ණයක් කවා සෞන්දර්යයෙන් වටවී ජීවත්වීම ජපනුන් අගය කරන පරමාර්ථයක් බව මට පෙනුණි. සෞන්දර්යයෙන් යුත් පරිසරයක විසීම සිතැඟි සමථ කිරීමෙහිලා කෙතරම් උපයෝගී වන්නක් ද? කඩයකට සාප්පුවකට ගිය ද බොජුන් හලකට, අවන් හලකට ගිය ද සීරුවට නිර්මාණය කරන ලද කිසියම් සෞන්දර්යයකින් ඉන්ද්‍රියෝ පිබිදෙති. යන්ත‍්‍රයේ උපකාරයෙන් කෙරෙන නීරස ජීවිතයට වුවද ඔව්හු රසයක් ඇතුළත් කරති, පැහැපත් වර්ණයන් කවා වානයේ බීරෑණි ගතිය පහකර දමති. සිත් පිත් නැති යන්ත‍්‍රය තුළ ඔවුහු මනුෂ්‍ය හෘදයක් තැන්පත් කරති. කෙතරම් යන්ත‍්‍ර පාවිච්චි කළත් තමා ගනුදෙනු කරන්නේ මැෂින් සමග නොව මනුෂ්‍යයන් සමගය යන හැඟීම කෙනෙකුට ඇති වේ.

”ජපානයේ පාරම්පරික ශිෂ්ටාචාරයේ බර තාම උසුලාගෙන යන්නේ ස්තී‍්‍රන්යයි මට හැඟී ගියේය. පැරණි කවීන් කියූ පරිදි සියුමැලි යනගි1 අත්ත මෙන් නැවී ඔව්හු කෙතරම් ලාලිත්‍යයකින් ඒ බර උසුලත්ද? ඔවුන් කතාබහ කරන ලීලාවෙහි, තේ කෝප්පයක්, බත් බඳුනක් අතට ගන්නා සැටියෙහි, මේ ශිෂ්ටාචාරය පිළිබිඹු වී පෙනේ. ඒ මේ අත තල්ලූ කරමින් නගින බහින සෙනග අස්සේ නොකැළඹී තම කටයුතු කරන, බටහිර ඇඳුමෙන් සැරසීගත් බස් සේවිකාවගේද, යන එන්නන් පිළිගනිමින් ඔවුන්ට ස්තුති කරමින් කඩයෙහි බඩු විකුණන වෙළෙන්ඳියගේ ද ගෙදොර දොර බලා ගන්නා ගෘහණිය ගේ ද නානා වර්ණ කූරුවලින් අලංකාර කරන ලද උස් කොණ්ඩයකින් හා පිටෙහි වැහූ විශාල සමනලයෙකුගේ හැඩයට බඳින ලද ඇඟ බඳනින් ද සැරසී අමුත්තන්ට සංග‍්‍රහ කරන ගේෂා ස්ති‍්‍රයගේද සෑම ඉරියව්වකම පාරම්පරික අභ්‍යාසයක ලකුණු කැපී පෙනෙයි. සෑම ඉරියව්වකම පරමාර්ථය අක්ෂිගෝචර හැඩයක් මවා පෑමයි.”
(9-10 පිටු.)

මේ පසුබිම තිරයක් වැනි ස්ථාවර, අප‍්‍රාණික දෙයක් නොවේ. එය වැදගත් කලාත්මක කාර්යයක් ඉටුකරන, ප‍්‍රධාන අදහසට ජීවමාන සම්බන්ධතාවයක් ඇති, ජංගම වස්තුවකි. ජීවමාන බලවේගයක් මෙන් පසුබිම නවකථාවේ මුල සිට අග දක්වා පැතිර පවතී.

”මළගිය ඇත්තෝ” ජපන් රට පිළිබඳව තොරතුරු සැපයීමට ලියන ලද ප‍්‍රචාරක කථාවෙක් නොවේ. මේ නවකථාව කියවන විට ජපනුන් ගේ ජීවිතය කියවන්නා ඉදිරියෙහි විචිත‍්‍ර ලෙස නාට්‍ය ආකාරයෙන් මැවී පෙනෙයි. එබැවින් කියවන්නා එහි විස්තර වන ජීවිතයට නිතැතින් ම සහභාගි වෙයි.

කථා නායිකාව වන නොරිකො පසුබිමේ අංග ලක්ෂණ මූර්තිමත්කර දක්වයි. ඈ ජීවප‍්‍රාණය ලබන්නේ ඒ පසුබිම අනුසාරයෙනි. ජපානයේ පරිසරයෙන් ඈත් වූ විට ඇගේ ජීවමාන ගතියත් මනස්කාන්ත ස්වරූපයත් අතුරුදන් වෙයි.

නවකථාවේ මූලික අදහස අනාවරණය වන්නේ දෙවෙන්දොරා නම් සිංහල චිත‍්‍ර කරුවාත් නොරිකො නම් ජපන් දැරියත් අතර ඇතිවන පේ‍්‍රම සම්බන්ධය මගිනි.

දෙවෙන්දොරා කලක් මහණවී සිට සිවුරු හැර ගිහි ජීවිතයට ඇතුල් වූ සිංහල කලාකරුවෙකි. ඔහු විදේශ රටවල් බොහෝ ගණනක සංචාරය කළ නමුත් තමා ගේ රුචියට ගැළපෙන සමාජයක් සොයා ගැනීමට නොහැකි වූ කෙනෙකි. අවසානයේ දී ඔහු ටික කලකට ජපන් රටට පැමිණ එහි පදිංචි වෙයි.

දෙවෙන්දොරා සියුම් ඉඳුරන් ඇති, ඇතුළු සිතට හැරවුණු මනැසක් ඇති, නියම කලාකරුවෙකි. ඔහු, හුදු කායික සම්බන්ධතාවයකින් තෘප්තියක් ලැබිය නොහැකි ආධ්‍යාත්මක ගති පැවතුම්වලින් යුක්ත චරිතයකි.

නොරිකො නම් තරුණිය ඉතාම සුකුමාර හැඟීම් ඇති, සිත් වශී කරන සුළු ගති පැවතුම්වලින් යුත්, තැනැත්තියකි. ඈ ස්තී‍්‍ර වර්ගයාට පොදු අංග ලක්ෂණවන සුකුමාර භාවයත් කමනීය ගතියත් කැටිකොට දක්වයි. මේ අංග ලක්ෂණ ඇගේ පරිසරය නිසා වඩාත් ප‍්‍රකට ව පෙනෙයි. නොරිකො ප‍්‍රබල වින්දන ශක්තියක් ඇති චරිතයකි. ඇගේ සිතුම් පැතුම් ප‍්‍රභවය ලබන්නේ බලවත් හැඟීම්වලිනි. දෙවෙන්දොරා කෙරෙහි ඈ තුළ පහළවන දැඩි පේ‍්‍රමය ඇගේ හැඟීම්වල ප‍්‍රබල ගතිය හඟවයි. නොයෙක් අන්දමේ දුෂ්කරතා මධ්‍යයේ ඇගේ පේ‍්‍රමය නොවෙනස් ව අවසානය තෙක් ම පවතී. ඈ ඉතාම උසස්කොට අගය කරන අගේ නෑදෑයින් සහ මව් රට පවා තම පෙම්වතා වෙනුවෙන් කැපකිරීමට ඈ සූදානම්ය. නවකථාව අවසානයේ දී ඈ හුදකලා ජීවිතයකට ගොදුරු වෙයි. ඒ ඉරණම හේතු කොට ගෙන ඇගේ චරිතයට එක්තරා උදාර, ශෝකාත්මක ගතියක් ආරූඪ වෙයි.

නවකථාවේ ශක්තිය රඳා පවතින්නේ නොරිකෝ ගේ චරිතය නිර්මාණය කර තිබෙන සියුම් කෞශල්‍යය මතය.

දෙවෙන්දොරා මුලින් ම ජපන් රටට පැමිණි අවස්ථාවේ හුදකලා හැඟීමකින් පෙළෙයි. තමා ජපන් රටේ සමාජයට අයිති නැති අමුත්තෙකු ලෙස ඔහුට හැඟෙයි:

”ඔවුන් දොඩන අතර මගේ සිතට තනි බවක් පිවිසියේය. මා ඒ සමාජයෙන් පිටත්තර කෙනෙකුය යන හැඟීම නැවත මට ඇති විය. මම නිශ්ශබ්දව හෙමිහිට මී විත උගුර උගුර හිස් කරමින් සිටියෙමි……..” – (පි. 16)

නොරිකො සමග ආශ්‍රයට වැටුණු පසු ඒ හුදකලා හැඟීම පහව යයි.

දෙවෙන්දොරාට නොරිකො පළමුවෙන් හමුවන්නේ අවන්හලක දී ය. නොරිකො ඒ අවන්හලේ සේවිකාවකි. දෙවෙන්දොරා නොරිකො සමග නෘත්යද ශාලාවකට ගොස් කබුකි (ජපන් නාට්‍ය) බැලීමෙන් පසු ඔවුන් ගේ කුළුපහ භාවය ආරම්භ වෙයි. ඊට දින කීපයකට පසු නොරිකො දෙවෙන්දොරාට තම නිවසට පැමිණෙන ලෙස ආරාධනා කරයි. ඉන්පසු දෙවෙන්දොරා නොරිකො සහ ඇගේ පවුලේ අයට රාත්‍රී භෝජනයකින් සංග්‍රහ කරයි. අනතුරුව නොරිකො නිතර නිතර දෙවෙන්දොරා ගේ නිවසට ඒමට පටන් ගනියි. ඒ සමග ම ඔවුන් අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවයක් ශීඝ්‍රයෙන් දියුණුවේ.

මුල සිටම, මේ චරිත කෙරෙහි පරිසරය බලපාන අන්දමත් පරිසරයේ බලපෑම නිසා ඔවුන් අතර ඇතිවන පරතරයත් අවධාරණය කොට තිබේ. එකිනෙකාට ප්‍රතිවිරුද්ධ පරිසර දෙකක හැදුණු වැඩුණු ඔවුන්ට සම්පූර්ණයෙන් සාර්ථක අන්දමේ සම්බන්ධයක් ඇති කර ගත නොහැකිය.

දෙවෙන්දොරා විසින් පිළියෙළ කරන ලද රාත්‍රී භෝජනය විස්තර කරන අවස්ථාවේ මේ පිළිබඳ ව ඉඟියක් දැක්වේ. දෙවෙන්දොරා ගේ සිංහල කෑම වර්ග නොරිකො තුළ අප්‍රසන්න හැඟීම් ඇති කරයි.

”මා ඉතා ඕනෑකමින් කෑම පිසූ නමුත්, ස්වල්පයක්වත් කෑවේ හිදෙජි පමණි. නොරිකො නම් යන්තම් කට ගෑවා විතරයි. ඇගේ දෑසෙහි කඳුළු පිරිණි. ඈ වහා වතුර බී, මා ගෙනවිත් තබා තිබුණු රාබු අච්චාරු සමග නිකම් බත් කෑවාය.”
(පිටු. 30-31)

දෙවෙන්දොරා සහ නොරිකො අතර ඇතිවන සම්බන්ධය ජපන් රට සමාජය සලකන්නේ අවඥා සහගත ලෙසය; හීන දීන සම්බන්ධයක් ලෙසය. ඔවුන් ප්‍රසිද්ධියේ එකට හැසිරෙනු දකින විට එරට මිනිස්සු අකාරුණික වචන පාවිච්චි කරමින් ඔවුන්ට නින්දා කරති. මෙයින් නොරිකොට තියුණු සිත් වේදනා ඇතිවුවත් ඈ ඒ සියල්ල ඉතා ඉවසිලිමත් ව විඳ දරා ගනියි.

”මා නොරිකො සමග යන එන විට, මිනිසුන් අප දෙස අමුතු සැලකිල්ලකින් බලන්ට පටන් ගත්තේ මෑතක දී ද, නැතහොත් ඒ බව මට මුලදී නොපෙනුණේද? කොතනකට ගියත් නොබෝ වේලාවකින් අප බොහෝ දෙනෙකුගේ දෘෂ්ටියට ගොදුරුවන බව මට දැනෙන්ට විය. අප කිසිවක් ගැන කතා බහ කරමින් සිටියොත් ඔව්හු නොපැකිළීම ඊට කන්දීගෙන සිටිති. ඇතැමුන් උනුන් අතර අප ගැන කිසිවක් දොඩන බව මට පෙනේ…” – (පි.52)

”එදා මතකද අපි ඉනොකෂිරා උයනට ගිය වේලෙ, අපි හිටිය නේද අර තමගවා ජෝසු කියන ඇල කාණුව ගාව? දසයි ඔසමු දිවිනසා ගත්ත තැන? ඒක බලලා යනකොට මතක ඇද්ද දන්නෙ නෑ පිටි පස්සෙ බිම වාඩිවෙලා හිටියා තරුණ ජෝඩුවක්. ඒ ගොල්ලො හිනාවෙවී මට පං පං කිව්වා. පං පං කියන්නෙ, යුද්ධ කාලෙ, හේවායන් එක්ක නරකට හැසුරුණු ගෑනුන්ටයි. මට හරියට දුක හිතුණ ඒක අහලා.”
(පිටු 57-58)

ඉතිරි කොටස පසුවට

උපුටා ගැනීම සංස්කෘති 2011 ජනවාරි (21 කලාපය, අංක 02) සඟරාවෙනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )