භාෂා වියරණය

‘බසෙහි වියරණ බිඳීම යනු එ බස වහරන්නන් අතර ඇති සම්මුතිය කැඞීමකි’
උස්වත්තෙ ආරච්චි
‘බස’ යනු ඒ දොඩන, ලියන, කියවන දනා අතර සම්මුතියෙකි. ‘මහා සම්මතය’ රජකු පත් කර ගැනීම නො ව, බසක් නිර්මාණ කිරීම ය. සිංහල වහරන්නෝ ‘ඔළුව’ කුමක්දැයි දනිති. එහෙත් ඉංගිරිසිය වහරන්නෝ ඒ කුමක්දැයි නො දනිති. එ මෙන් ම ‘ව්‍යාකරණ’ යනු ඒ සම්මුතියේ වැදගත්ම කොටසයි. ඇමරිකීයයෝ ‘twenty’ යි ලියති. එය ‘twenny’ යි උසුරුවති. ප්‍රංශුවෝ ‘bourgeois’ යැයි ලියති, ‘බුර්ශ්වා’ යි හඬවති. තායි බසෙහි ‘ශිනවන්ත්‍රා ’ යි ලියා ‘ශිනවත්’ යි කියැවෙයි. මෙසේ ඇතිවන යම් යම් සම්මතවලින් බස් වහරන ජනයාට ප්‍රයෝජනයක් ඇත. ඒවා අත්තනෝමතික ලෙස කපා කොටා දැමීමට, තම තමන්ට රිසි පරිදි උසුරුවන්නාට නොහැකිය; තම තමන්ට රිසි පරිදි ලියන්නට ද නොහැකිය.

අප ඉපැදෙන විට ම බස උගැනීමට සවියක් අප ගේ ජාන තුළ ඇති බව, නෝම් චොම්ස්කි හා ඔහු ගේ සගයන් ද කීවත්, අප දොඩන, ලියන බස සමාජ සංවිධානයකි. සංවිධානයෙහි (institution) සොබාව නම්, ඒ සමාජයේ බොහෝ දෙනා හෝ සැලැකිය යුතු කොටසක් හෝ ඒ සංවිධානයට සහභාගි වීම ය. අප ‘සංවිධානය’, ‘එක් ව කරන විධානය’ යන අරුතින් යෙදුවේ ඒ නිසා ය. ‘මිනිසකු මැරූ ඝාතකයාට නිසි දඬුවම් කළ යුතු ය.’ යනු අප අතර ඇති එක් සංවිධානයෙකි. ‘සිංහල අවුරුදු දා නොනගතයක් ඇති වෙති’ යි තවත් සංවිධානයෙකි. ඇතැම් සංවිධාන, ක්‍රියාත්මක වන්නේ රටේ නීති අනුවය. තවත් සංවිධාන ජනයා අතර භාවිත වන සිරිත් ය. බස ද එබඳු සංවිධානයෙකි.

සිංහලය වහරන ජනයා එකිනෙකා හා ගිවිස ගනු ලැබූ සම්මුති ඇත. ‘ක’ යනු කිසියම් හඬක් දැක්වීමට යෙදෙන ලකුණෙකි එයට තවත් හඬක් එක් කළ විට ‘කඩ’ පදය හැඬැවෙයි. ඒ හඬට අප අතර සම්මත තේරුමක් හෝ තේරුම් කීපයක් හෝ ඇත. උදා: රෙදි කඩ, කඩ කාමරය, වක්කඩ යනාදිය සලකන්න. මේ හඬ අනුව ඇඟැවෙන දේ හෝ දේවල් හෝ සම්බන්ධයෙන් අප අතර සම්මුතියක් ඇත. එ විට අප එකිනෙකාට ඒ හඬ අනුව අදහස් හුවමාරු කරගත හැකි වේ. සම්මුතියට එරෙහි ව පළ කරන දේ අණ්ඩරදෙමළ යි. ‘සිරස’ තෙලදසුනේ (television) ‘මම කාර්ය බහුලයි’ කී විට අපට කිසිවක් නොවැටහෙන්නේ එය අප අතර ඇති සම්මුතියට එරෙහි හෙයිනි. එය සිංහලයේ ව්‍යාකරණය බිඳීමකි. බසෙහි වියරණ බිඳීම යනු එ බස වහරන්නන් අතර ඇති සම්මුතිය කැඞීමකි. එවිට බස අදහස් හුවමාරු කරගැනීමට අපොහොසත් අපභ්‍රංශයෙක් බවට පත් වේ. ඉංගිරිසියේ (I am hungry) යන නිවැරදි යෙදුම බලා, සිංහල වහර නොදත්තෙක් ‘මම බඩ ගිනිමි’ යි කීවොත් එය අණ්ඩරදෙමළයෙකි. ‘මට බඩගිනියි’ යනුවෙන් යෙදෙන සිංහල යෙදුම බලා, ඒ පිළිවෙළට ඉංගිරිසි වැකියක් ලිව්වොත් ඇති වන විහිළුව ද සලකන්න. එවිට එක් එක් බස් වහරන්නන් අතර අදහස් හුවමාරුව ඇන හිටී.

සම්මුති පවා වෙනස් නො වී නො පවතී. ඒ බොහෝ සෙයින් ම කලින් කලට වෙනස් වේ. එය අවබෝධ කර ගැනීමට අපට පැහැදිලි උදාහරණ ඇත. හෙළ බස පිළිබඳ ඉතා ඉහළ දැනුම් ඇත්තකු විසින් ලියැවුණු සන්නයක් නො මැති ව, මට මුව දෙව් දා වත හෝ කව් සිළුමිණ හෝ තේරුම් ගත නොහැකි ය. එහෙත් ගුත්තිල කාව්‍ය තේරුම් ගැනීම සඳහා මට කිසිවකු ගේ සහායය නුවුවමනා ය. 13 වැනි සියවස හා 15 වැනි සියවස හා අතර සිංහල බස පිළිබඳ සම්මුතිය බෙහෙවින් වෙනස් විය. එහෙත් 15 වැනි සියවස හා 20 වැනි සියවස අතර සම්මුතියේ වෙනස ඉතා සුළු ය. ඉංගිරිසියෙන් මේ සඳහා උදාහරණය Geoffrey Chaucer ගේ Canterbury Tales හා King James Bilble වේ. මට Canterbury Tales කියැවීමට සන්නයක් වුවමනා ය. King James Bible තනි ව කියවා වටහා ගත හැකිය.

උපුටා ගැනීම සංස්කෘති 2011 ජනවාරි (21 කලාපය, අංක 02) සඟරාවේ
‘අටවක පුත්තු: බස, නිමැවුම හා සංස්කරණය’
ලිපියෙනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )