‍විශ්ව විද්‍යාල සිසු නායකත්ව පුහුණුව

මිලිටරි නායකත්ව පුහුණුවේ යථාර්ථය
කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග කළ සාකච්ඡාවකි

පබා දේශප්‍රිය

විශ්ව විද්‍යාලය කියන්නේ සමාජයේ ආයතන ගත වී ඇති සංසිද්ධියක්. ඒ වගේ මිලිටරිය කියන්නේත් සමාජයේ පවතින ආයතනයක්. නමුත් පැහැදිළිවම කිව යුතුයි‍ මේ ආයතන දෙක දෙකක් බව. එනම් මේවායේ ප්‍රතිමාන එකිනෙකට වෙනස්. උදාහරණයක් විදියට මිලිටරි එක ඉහළින් එන නියෝග කිසිදු විමසා බැලීමකින් තොරව ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් විදියට යුධ භුමියකදී වෙඩි තියන්න කිව්වොත් එය නැවත ප්‍රශ්න කරන්න බැහැ. එය මිලිටරිය තුළ ති‍යන ප්‍රධානම ප්‍රතිමානයක්. නමුත් විශ්ව විද්‍යාලයේ තියෙන්නේ මේකේ අනෙක් පැත්ත. එනම් විචාරත්මක බුද්ධියෙන් විමසා බැලීම.

විශ්ව විද්‍යාලයට ඇතුළත් වන නවක සිසුන්ට නායකත්ව පුහුණුවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු බලන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව. මෙම තීරණය පිළිබද පොදු ජනතාව තුළ පැහැදිළි සාකච්ඡාවක් තවමත් ගොඩ නැගී නැහැ.

1.උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරලා තියෙනවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට නායකත්ව පුහුණුවක් ලබා දෙන්න. මේ පුහුණු ව සිදු වන්නේ හමුදා කඳවුරු තුළ. ඒ වාගේම එය මෙහෙයවන්නේ හමුදාව විසින්. විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකු ලෙස ඔබ මේ නායකත්ව පුහුණුව දකින්නේ කුමන ආකාරයටද?

දැන් මේක සාමාන්‍ය සමාජයේ දෘෂ්ඨිකෝණයෙන් බැලුවොත් හොඳයි කියලා දකින්න පුළුවන්. මොකද පොදු අදහසක් තියෙනවා විශ්ව විද්‍යාල තුළ විනය පිරිහීම් ඒ වගේම විශ්ව විද්‍යාල වලින් පිට වන අයට රැකියා ප්‍රශ්ණ මේ වගේ ගැටළු අපේ රටේ පවතිවා. ඉතින් දක්ෂතා දියුණු කර ගැනීම සඳහා මෙය හොඳ අවස්ථාවක් ලෙස සමාජය දකින්න පුළුවන්. ඒ වගේ පසුගිය කාලය තුළ පෞරුෂත්ව වර්ධනය වගේ දේවල් වඩා ජනප්‍රිය තලයේ පැවතුණා. උදාහරණයක් විදියට පෞරුෂත්ව වර්ධනය කිරීමේ පාඨමාලා පවා ආරම්භ වුණා. මෙවැනි ක්‍රියා වලට සමා‍ජයෙන් ලැබෙන අනුමැතිය ඉතා ඉහළයි.

නමුත් මෙහිදි වැදගත් වෙන්නේ කවුද මේ නායකත්වය පුහුණු කරන්නේ කියන එක. ආයුධ පුහුණව නැතත් මෙය සිදු කරන්නේ හමුදාව විසින්. එතකොට මේ හරහා සිදු වන්නේ හමුදාව තුළ තියෙන නායකත්ව ලක්ෂණ පුහුණු කිරීම.

‍විශ්ව විද්‍යාලය කියන්නේ සමාජයේ ආයතන ගත වී ඇති සංසිද්ධියක්. ඒ වගේ මිලිටරිය කියන්නේත් සමාජයේ පවතින ආයතනයක්. නමුත් පැහැදිළිවම කිව යුතුයි‍ මේ ආයතන දෙක දෙකක් බව. එනම් මේවායේ ප්‍රතිමාන එකිනෙකට වෙනස්. උදාහරණයක් විදියට මිලිටරි එක ඉහළින් එන නියෝග කිසිදු විමසා බැලීමකින් තොරව ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් විදියට යුධ භුමියකදී වෙඩි තියන්න කිව්වොත් එය නැවත ප්‍රශ්න කරන්න බැහැ. එය මිලිටරිය තුළ ති‍යන ප්‍රධානම ප්‍රතිමානයක්. නමුත් විශ්ව විද්‍යාලයේ තියෙන්නේ මේකේ අනෙක් පැත්ත. එනම් විචාරත්මක බුද්ධියෙන් විමසා බැලීම. අපේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මේ විදියට විචාරාත්මක බුද්ධියෙන් විමසා බලනවද කියන එක වෙනම ප්‍රශ්ණයක්. කෙසේ වුවත් විශ්ව විද්‍යාලයක් තුළ විය යුත්තේ තර්කඥානයෙන් විමසා බැලීම.

ඉතින් මේ දෙක පරස්පරව ගමන් කරන ආයතන. විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගැටළුවක් තමා විශ්ව විද්‍යාලයට එන අයට මේ ලක්ෂණ නොතිබීම. පාසල් ක්‍රමයේ බිද වැටීම සහ ටියුෂන් සංස්කෘතිය නිසා ඒ තර්ක ඥානය වර්ධනය කර ගැනීමට ඇති අවස්ථාවන් හීන වී ගොස් තියෙනවා. පසුගිය දවසක එස්.බී දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබුණා විශ්ව විද්‍යාල වලට එන්නේ හොඳම ශිෂ්‍යයන් ඒ අයව විශ්ව විද්‍යාලය විසින් විනාශ කරනවා කියලා. ඒ 3ක් ගත්තා කියලා ‘හොඳම’ වෙනවද කියන එක අතුරු කාරණයක්

කෙසේ වුවත්, විශ්ව විද්‍යාල වලට සුදුසු පරිදි එන ශිෂ්‍යයන්ව සකස් කර ගැනීම ඒ කියන්නේ විවේචනාත්මක චින්තනය ගොඩ නැගීම අපට අවශ්‍ය දෙයක්. මේ පසුබිම තුළ ගත්තම පැහැදිළිම කියන්න පුළුවන් මිලිටරි පුහුණුවක් හරහා විශ්ව විද්‍යාල වලට අවශ්‍ය මානසික වර්ධනය ලබා ගන්න බැහැ කියන එක.

පරමාදර්ශී විශ්ව විද්‍යාල පද්ධතියේ ප්‍රතිමාන පිළිගන්නවානම් මෙවැනි නායකත්ව වැඩසටහන් අනුමත කරන්න බැහැ. විශේෂයෙන්ම මම ඉන්නේ විශ්ව විද්‍යාල පිළිබඳ සාම්ප්‍රදායික මතයේ. ඒ කියන්නේ යුරෝපයේ සම්භාව්‍ය විශ්වවිද්‍යාල තුළ පවතින ප්‍රතිමාන තමයි මම විශ්ව විද්‍යාලයක පැවතිය යුතුයැයි දකින්නේ. ඒ අනුව ගත්තම මිලිටරි නායකත්ව පුහුණුවක් විශ්ව විද්‍යාල වලට ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම රටේ තියෙන සංයුක්ත තත්ත්වය ගත්තහම මෙය වඩා භයානකයි.

මේ පුහුණුව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පුහුණු කිරීමක් නම්, දැනට විශ්ව විද්‍යාල තුළ තියෙන තත්ත්වයට ඉන් කිසිදු උපකාරයක් ලැබෙන්නේ නැහැ.

2. අපේ රට මේ ගත කරමින් ඉන්නේ පශ්චාත් යුධ අවධියක්. මේ සන්ධර්භය තුළ මෙම නායකත්ව පුහුණුව ඔබ දකින්නේ කොයි ආකාරයටද?

යුද්ධය පැවති කාලයේ විශේෂයෙන්ම යුද්ධයේ අවසාන වසර කිහිපය තුළ සමාජය මිලිටරිකරණය වුණා. ඒ වගේම යුද්ධයෙන් පසු මෙකී මිලිටරිකරණයේ ස්වභාවය වෙනස් වුණා. යුද්ධය සඳහා යොදා ගත් මානව සහ භෞතික සම්පත් රාශියක් තියෙනවා. ඒ වගේම මිලිටරි ප්‍රභු පැළැන්තියක් සහ මිලිටරි ප්‍රභූන්ව මෙහෙයවන දේශපාලන ප්‍රභූ පැළැන්තියක් තියෙනවා. මේ අයගේ අභිලාශ යුද්ධ කාලය තුළ විශාල වශයෙන් වර්ධනය වුණා. සතුරු පාර්ශවය විනාශ වුණාට මිලිටරි පදනම ඒ විධියටම තියෙනවා. ඔවුන්ගේ අභිලාෂත් එසේමයි.

අපිට පූර්වාදර්ශීව බලාපොරොත්තු වෙන්න පුළුවන් මේවා විසුරුවා හැරීම. මේ මිලිටරි පිරිස් වලට සාමාන්‍ය තත්ත්වය යටතේ ජීවත් වීමට පුහුණුවක් ලබා දීම. ඇත්තටම මිලිටරි එකෙන් විශ්ව විද්‍යාල පුහුණ කිරීම නෙමේ, විශ්ව විද්‍යාල වගේ ආයතන සම්බන්ධ වෙලා උපදේශනය ව‍ගේ දේවල් කරලා මිලිටරි ප්‍රජාවට සාමාන්‍ය සමාජයේ ජීවත් වීමට අවශ්‍ය මානසික මට්ටම ලබා දීමයි වැදගත් වෙන්නේ. ඒ සඳහා ප්‍රබුද්ධ ප්‍රභු තන්ත්‍රයක් අවශ්‍යයි. උදාරහණයක් විදියට ජර්මනියේ ෆැසිස්ට් පාල‍නයෙන් පසු පාලක ප්‍රභූන් විශාල වශයෙන් වැඩ කළා මිලිටරි සංස්කෘතියේ බලපෑම අවම කිරීමට.

අද අපේ රටේ කරන්නේ සතුරා මැරීමෙන් ශක්තිමත් වූ මිලිටරි එක තවමත් ඔවුන්ගේ අභිලාෂ ඉටු කර ගැනීමට යොදා ගන්නවා. උදාහරණයක් විදියට දැන් මිලිටිරි එක කරන්නේ නගර අලංකරණය වැනි මිලිටරිමය නොවන කාරණා. එවගේම කුණු දැමීම පිළිබඳ එන දැන්වීම් පළ කරන්නේ ආරක්ෂක අමාත්‍යංශයෙන්. මධ්‍යම පරිසර අධිකාරයෙන් හෝ කසල සම්බන්ධ වෙනත් ආයතනයකින් නොවේ. පසුගිය කාලේ විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර පිරිසිදු කිරීම් වලට පවා මිලිටරි එක ආවා. ඒ වගේම මේ දවස් වල වෙසක් උත්සවයට මිලිටරි එක උනන්දුවෙන් වැඩ කරනවා. ඔවුන් මැදිහත් වී විශාල වශයෙන් ආගමික කටයුතු මෙහෙයවනවා. මේ මිලිටරි එකට යුධ භූමිය නැති වුණ නිසා ඊට ආදේශකයක් වශයෙන් සමස්ත ජන සමාජයම යොදා ගන්නවා. ඊට සමාජයෙන් අනුමැතියද තියෙනවා. මේ තත්තවයේ යථාර්ථය තමයි කුණු දැමීම තහනම් කියලා බෝඩ් සවි කළාට මිනිස්සු කුණු දැමීම නවත්වන්නේ නැහැ. නමුත් හමුදාවෙන් ඇවිත් කුනු දාන්න එපා කි‍ව්වොත් ඉන් පසු කවුරුත් කුණු දාන්නේ නැහැ. එයින් පෙනෙවා මේ මිලිටරි මැදිහත් වීම ඉක්මන් ප්‍රතිඵල ගෙන දෙන බව.

තවත් උදාහරණයක් තමයි, 1987/88 කාලයේ ජ.වි.පෙ ගම් වල සිටි චණ්ඩි යැයි හදුනා ගත් පිරිස් ඝාතනය කළා. මේ පුද්ගලයන් ගම් වල සොරකම්, මැරකම් ආදියට සම්බන්ධ නිසා ජනතාව අනුමත කළ මෙවැනි ඝාතන. සමාජය බලන්නේ කෙටි කාලීන ප්‍රතිඵල දෙස මිස දීර්ඝ කාලීන ප්‍රතිඵල දෙස නොවේ. මේ තත්ත්වට මිලිටරි එකට හිතකරයි. ප්‍රචණ්ඩත්වය සඳහා තියෙන ඒකාධිකාරය නිසා සමාජයෙන් අනුමැතිය ලැබෙනවා මිලිටරිමය අතපෙවීම් වලට. ඒ නිසා අද මිලිටරි එක සියළුම ආයතන වලට කඩා පනිනවා කිසිදු පැකිළීමකින් තොරව.

විශ්ව විද්‍යාල වල ප්‍රශ්න තියෙනවා විනය පිරිහීම් වැනි. මිලිටරි එකත් වැඩ රහිතව ඉන්නේ. ඒ වගේ මිලිටරි එකට සල්ලිත් තියෙනවා. මොකද යුද්ධය අවසන් වුණා කියලා මිලිටරි බජට් එක අඩු වෙලා නැහැ. හමුදාවට තවමත් බදවාගැනීම් කරනවා. ඉතින් මිලිටරි එක පවත්වා ගැනීම සඳහා සමා‍ජයේ සෙසු ආයතන වලට මැදිහත් වීම් කරන්න වෙනවා.

3. නව දැනුම බිහි කිරීම සදහා විශ්ව විද්‍යාල ස්වාධීනව පවත්වාගෙන යාම ඉතාමක් වැදගත්. එය එසේ පවත්වාගෙන යාමට මේ නායකත්ව පුහුණුව හරහා යම් කිසි බලපෑමක් ඇති වේ යැයි ඔබ සිතනවාද?

විශ්ව විද්‍යාල කියන්නේ පවතින හෙජමොනියේ අවසාන පෙරමුණ. මෑතකදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ගාමිණී සමරණායක ප්‍රකාශ කරලා තිබුණු අපේ රටේ විශ්ව විද්‍යාල මුදා නොගත් ප්‍රදේශ වගේ කියලා. එහි ඇත්තක් තියෙනවා. මම නම් උත්සාහ කරන්නේ එය පවත්වාගෙන යන්න. ඒ වගේම දේශපාන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් එවැනි ප්‍රකාශයක් කිරීමත් එක්තරා දුරකට වෙනම ගැටළුවක්.

විශ්ව විද්‍යාලයේ ස්වාධීනතාවය පවත්වාගැනීම අවශ්‍යයි දැනුම නිර්මාණය කිරීමට. ඒ තුළ දේශපාලනික විසම්මුතිය තියෙනවා. රටේ තියෙන දේශපාලන ආධිපත්‍යයට වඩා වෙනස් තත්ත්වයක් විශ්ව විද්‍යාල තුළ පැවතිය යුතුයි. නමුත් දේශපාලන ප්‍රභු පැළැන්තිය මෙය දකින්නේ ඔවුන්ට එල්ල වන අභියෝගයක් විදියට.

පසුගිය කාලේ ක්‍රියාකාරී ලෙස උත්සහ ගත්තා විශ්ව විද්‍යාල තුලට දේ රටේ මුඛ්‍යධාරාවේ දේශපාලන ආධිපත්‍ය විශ්ව විද්‍යාල තුළට ඇතුළු කිරීමට. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ශිෂ්‍යයන් හූ කියද්දිත් විශ්ව විද්‍යාල වලට ගියේ ඒ නිසයි. ඒ වගේම අද වන විට විශ්ව විද්‍යාල උප කුලපතිවරුන්/ වරියන් ක්‍රියා කරන්නේ පාලක පක්ෂයේ දේශපාලන සංවිධායකවරු විදියටයි. ඒ තරම්ම එය උපකුළපති තනතුර දේශපාලනීකරණය වෙලා තියෙනවා. ඔවුන්ට ඇකඩමික් ෆීඩම් කියන එක ගැන කිසිම අදහසක් නැහැ.

අපිට දේ දිස් වන විශ්ව විද්‍යාල සමාන්‍ය සමාජය යටතට ගැනීමේ උත්සහය තුළ ඉතාමත් තීරණාත්මක පියවර වන්නේ ඉහත සදහන් කළ ‘අවසන් පෙරමුණ’ විනාශ කිරීමයි. ‍මොකද ලංකාවේ දකුණේ සිදු වුණ කැරලි දේකටම විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විශාල වශයෙන් දායක වුණා. විශ්ව විද්‍යාල තුළ රැඩිකල් එසේ නැතිනම් ක්‍රම විරෝධී අදහස් වලට තෝතැන්නක්. මේ තත්ත්වය වෙනස් කිරීමේ තීරණාත්මක පියවරක් විදියට තමයි මේ නායකත්ව පුහුණුව අර්ථ ගන්වන්න පුළුවන් වෙන්නේ.

4.මේ නායකත්ව පුහුණුව හරහා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ ආකල්ප වලට කුමන ආකාරයේ බලපෑමක් ඇකි විය හැකිද?

විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ ප්‍රතිමාන සකස් වෙන්නේ මූලාශ්‍ර දෙකක් හරහා. එකක් තමයි පාසල. සාහිත්‍ය විචාරය වගේ දේවල හරහා විචාර බුද්ධිය වර්ධනය කරන්න පාසල යම් දායකත්වයක් ලබා දුන්නා. ඉතාමත් හොඳ ගුරුවරු සිටියා උසස් සිතීමේ ශක්තියක් ශිෂ්‍යයින්ට ලබා දෙන. ඒ තුළ පෙළඹවීමක් ඇති කළ නැවත ප්‍රශ්ණ කිරීම් වලට. දෙවැනි එක තමයි රැඩිකල් දේශපාලනයත් විශ්ව විද්‍යාල වල විවේචනාත්මක චින්තනය සකස් කිරීම සඳහා ඉතාමත් වැදගත් පෙළඹවීමක් ඇති කළා මේ හරහා.

නමුත් පසු ගිය කාලය තුළ එය වෙනස් ‍වුණා. ඉහත කී ගුරු භූමිකාව අද නැහැ. අද ඉන්නේ ටියුෂන් ගුරුවරු. ටියුෂන් ගුරුවරයා වෙනම වෙළද පොළ චරිතයක් මිස තර්කඥානය සඳහා සහය වන්නෙක් නෙවෙයි. ඒ වගේම රැඩිකල් වෙනුවට ආදේශ වුණා ජාතිවාදී චින්තනය. ඒ තුළ විවේචනාත්මක විමසා බැලීම නැහැ. ඒ තුළ තියෙන්නේ විශ්වාස කිරීම, අනුගමනය කිරීම වැනි විචාරයට පරස්පර එවගේම පූර්ව විචාරාත්ම අදහස්. ඒ කියන්නේ ආගම වගේ දේවල් මත පදනම් වුණු අදහස්. ඒ හරහා ජාතිවාදී දේශපාලනය බලවත් වුණා. තරුණ පිරිස් විශාල වශයෙන් මින් ආභාෂය ලැබුවා. උදාහරණයක් විදියට ජාතික ඇදුම ඇදගෙන මල් අරගෙන සැදැහි සිතින් වගේ පෙන්වමින් පන්සල් යන්න තරුණ පිරිස් පුරුදු වුණා. ඒ හරහා තමයි රැඩිකල්භාවය නැතුව යන්නේ. ඒ සඳහා මේ නායකත්ව පුහුණුව ගැල‍පෙනවා.

පහුගිය කාලේ දහම් පාසලයි – ටියුෂන් පන්තියක් කියන සංකල්පය ඇති වුණා. ටියුෂන් පන්තියේ සිල් ගන්න සංස්කෘතියක් ඇති වුණා. එයට අඩු වෙලා තිබුණේ හමුදාව. දැන් එය හරි. යුධ හමුදා කඳවුරයි – පන්සලයි.

srilankaguardian

Advertisements

One thought on “‍විශ්ව විද්‍යාල සිසු නායකත්ව පුහුණුව”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )