විද්‍යුත් මාධ්‍ය සදාචාරය

ලූලා නැති වලේ තිත්තයෝ නොහොත් ඩිල්කාගේ ඔලමොට්ටල කථා

බලන්න, මෙහි ඇට මැස්සා ගේ අඩවිය

Advertisements

විශ්ව විද්‍යාල අධ්‍යාපනය

කලාව, සෞන්දර්යය හා සංස්‌කෘතිය අසුරනවල බහා විකිණීම
ආචාර්ය සාලිය කුලරත්න
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

අප උත්සුක විය යුත්තේ, දැන් දැන් සරසවිය යන ආයතනය, විද්යුත් මාධ්‍ය සඳහා පිටපත් ලියන්නවුන් පුහුණු කිරීම, රූපලාවන්‍ය ශිල්පීන් පුහුණු කිරීම, රහස්‌ පරීක්‍ෂකයන් හෝ ශරීරාරක්‍ෂකයන් පුහුණු කර ඩිප්ලෝමා දීම වැනි ශාස්‌ත්‍රය වේශ්‍යා වෘත්තියෙහි නොයොදවන ගරු කටයුතු බුද්ධි කෝෂ්ඨාගාරයක්‌ ලෙස ආරක්‍ෂා කරගැනීම කෙරෙහිය.

මහැදුරු ආර්. ඩී. ගුණරත්නගේ “සරච්චන්ද්‍ර දාර්ශනිකයා හා කලාකරුවා” කෘතියෙහි එක්‌ තැනක මහාචාර්ය සරච්චන්ද්‍ර ලියා ඇති එදාටත් වඩා වත්මනට උචිත ප්‍රකාශයක්‌ උපුටා දක්‌වා ඇත”.

“කලාව මෙන්ම ශාස්‌ත්‍රඥානයද වෙළෙඳපොළට දමා ඉල්ලීම හා සැපයීම යන න්‍යායෙන් තක්‌සේරු කිරීම, ඒ දෙකම බාල්දුවන කාර්යයකි.”

වර්තමානයේදී විශ්වවිද්‍යාලවල වෙළෙඳපොළ වටිනාකම් සහිත විෂයයන් ඉගැන්වීම හෝ පවත්නා විෂයයන්ගේ ස්‌වභාවික අඬු දඬු කප්පාදු කර ඊනියා වාණිජ ඉලක්‌ක සඳහා කෘත්‍රිමව සකස්‌ කිරීමකට කැස කැවීමක්‌ සිදුවන බව පෙනේ.

නූතන සිංහල විෂයේ නොයෙක්‌ අංශ ගැන සරච්චන්ද්‍ර මහතා ඉගැන්වූයේ හා ලිවූයේ සෞන්දර්ය පදනමක්‌ තුළ බව ඉන් කියවේ. සරච්චන්ද්‍ර ගැනම අවධාරණය කරමින්, නූතන සරසවි ඇදුරන්ට හා ඔවුන් ලියන කියන විෂයයන්ට වාණිජ මුහුණුවරවල් යෝජනා කරන ඇතමුන් පිළිබඳ මම මෙසේ අනුමාන කරමි. යම් හෙයකින් සරච්චන්ද්‍ර මහතා අද සිටියේ නම්, මේ වාණිජ තැරැව්කරුවන් විසින් මුලින්ම වාණිජ කරණය වනු ඇත්තේ සරච්චන්ද්‍රයන්ය.

මට කීමට අවශ්‍යවන්නේ වර්තමාන වෙළඳපළේ කලාව, සෞන්දර්යය හා සංස්‌කෘතිය අසුරනවල බහා විකිණිය හැකි බවය. සරසවි අධ්‍යාපනයත්, එහි කේන්ද්‍ර වූ ශාස්‌ත්‍රීය සංස්‌කෘතියත් මනමේ හෝ සිංහබාහු මිල කළ හැකි තක්‌සේරුවට වඩා ඉහළ ලංසුවකට මිල කළ හැකි බව මේ මුදලාලිවරු වටහාගෙන සිටිති. ඔවුන් මේ වලිකන්නේ ඒ කාරියටය.

මේ යුගය, ඉන්දියානු ඉපැරණි ලෝක කැලැන්ඩරය අනුව කෘත, ත්‍රේතා, ද්වාපර යන යුග ඔස්‌සේ පැමිණ මේ ඇරඹී ඇත්තේ කලියුගයේ 5011 වන වර්ෂයයි. කලි යුගය පිළිබඳ ලාක්‍ෂණික විභාගයක්‌ කරන ඉන්දීය දාර්ශනිකයෝ එය ඉන් පෙර යුගවල පරිහරණය වූ ඇතැම් වටිනාකම්, න්‍යායයන් හා ක්‍රියාත්මක හර පද්ධතීන් කලියුගය තුළ ජඩ අරමුණු වෙනුවෙන් වේශ්‍යා වෘත්තියෙහි යෙදවෙන බව කියති.

ඉතිහාසයේ තැන් තැන්වල, ධම්ම සොණ්‌ඩක සමාජ හා දහම්සොඬ මිනිසුන්ද රජවරුන්ද ජීවත් වී ඇත. එබඳු තත්ත්ව සංස්‌කෘතික ආකෘතීන් හෝ පිළිගැනීම් (an authoritative standard) බවට පරිණාමය වී තිබේ. කලි යුගයේදී කෙරෙන්නේ, අතීතයේ පැවැතියා යෑයි ප්‍රවාදගත වූ ඒ සත්ගුණවත් ආකෘතිය ආයුධයක්‌ ලෙස පරිහරණය කිරීමය.

අප උත්සුක විය යුත්තේ, දැන් දැන් සරසවිය යන ආයතනය, විද්යුත් මාධ්‍ය සඳහා පිටපත් ලියන්නවුන් පුහුණු කිරීම, රූපලාවන්‍ය ශිල්පීන් පුහුණු කිරීම, රහස්‌ පරීක්‍ෂකයන් හෝ ශරීරාරක්‍ෂකයන් පුහුණු කර ඩිප්ලෝමා දීම වැනි ශාස්‌ත්‍රය වේශ්‍යා වෘත්තියෙහි නොයොදවන ගරු කටයුතු බුද්ධි කෝෂ්ඨාගාරයක්‌ ලෙස ආරක්‍ෂා කරගැනීම කෙරෙහිය.


උපුටා ගැනීම

“අත්තනෝමතික ප්‍රවාද වෙළඳපළෙහි
කලාව හා සෞන්දර්යය පැකට්‌ කිරීම“ ලිපියෙනි:
ඉරිදා දිවයින සංග්‍රහය

විශ්ව විද්‍යාල අධ්‍යාපනය

නිදහස් උසස් අධ්‍යාපනය විනාශ මුඛයට යාම වැළැක්වීමේ පළමු පියවර
ආචාර්ය සංගමය, කෘෂිකර්ම පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

පසුගිය දශක තුන තුළ විශ්වවිද්‍යාලවලට ලබාදුන් ප්‍රතිපාදන ක්‍රමයෙන් අඩුවුන අතර, එමඟින් සීමාවන සම්පත් කළමණාකරණය කරගනිමින් ශිෂ්‍යයන්ට ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මය හැකිතාක් දුරට පවත්වා ගැනීමට ආචාර්යවරුන් වශයෙන් අප ඇප කැප වී ක්‍රියාකර ඇත්තෙමු. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ ගුණාත්මයකින් යුත් අපගේ උපාධිධාරීන් දේශීය සහ විදේශීය ආයතනවල රැකියා අවස්ථාත්, ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාල වල උසස් අධ්‍යාපන අවස්ථාත් පහසුවෙන් හිමි කරගෙන ඇත. ඔවුන්ට අපට වඩා ඉහළ වැටුප් ලැබීමත්, තමන්ගේ ව්‍යාපාරයන් පිහිටුවා ගෙන තවත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමත් ගුරුවරුන් ලෙස අපට ආඩම්බරවීමට කරුණකි.

අපගේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ඔබගේ දරුවාද අනාගතයේ දී ඇතුළත් වන සමස්ථ විද්වත් ප්‍රජාවට හිමි වටිනාකම ලබාගැනීමේ ක්‍රියාවලියකි. මේ තත්ත්වය පැවතුනහොත් ඔබගේ දරුවන්ට හිමි නිදහස් උසස් අධ්‍යාපනය විනාශ මුඛයට යා හැකි අතර, දේශීය බුද්ධිමතුන් අවතක්සේරු වීම හේතුවෙන් ඉහළ වේගයෙන් බුද්ධිගලනය වීම නොවැළැක්විය හැකිය.

ඔබේ දරුවා විශ්වවිද්‍යාලයට ඇතුළුවීමේ කඩඉම සාර්ථකව ජය ගැනීමේ උත්සාහයට ඔබේ දරුවා මෙන්ම ඔබ විසින් වැය කරන ලද කාලය, ශ්‍රමය සහ ධනය පිළිබඳව අපට මනා අවබෝධයක් ඇත. ඇත්තෙන්ම විශ්වවිද්‍යාලවල පවතින සීමිත පහසුකම් හේතුවෙන් ඒවාට ඇතුළු වීමට වරම් ලබන්නේ විභාගය සමත් වූ ලක්ෂ සංඛ්‍යාත දරුවන් අතරින් ඉතා සුළුතරක් පමණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ලෙස බඳවා ගනු ලබන්නේ ඒ අය අතරිනුත් ඉතා උසස් සමත්කම් දක්වන්නන් ඉතා සුළුතරයකි. මෙලෙස බඳවාගන්නා සහකාර කථීකාචාර්යවරුන් ලෝකයේ ඉහළ පෙලේ විශAවවිද්‍යාලවලින් විද්‍යාපති සහ ආචාර්ය උපාධි ලබා සිය උසස් අධ්‍යාපනය නිම කරන්නේ ඔබගේ දරුවන්ට උසස් හා කාලීන අධ්‍යාපනයක් ලබාදීමේ ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටුකරනු පිණිසය. මෙම පශ්චාත් අධ්‍යාපන කටයුතු රැකියාවේ අනිවාර්ය අවශ්‍යතාවයක් වුවද ඒ සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දෙන්නේ සීමිත කාලයකට පමණී. ඇතැම් අවස්ථාවල දී පශ්චාත් අධ්‍යාපන කටයුතු කරගෙන යනු ලබන්නේ තමන්ගේම මුදලිනි. මෙම කාලසීමාව අනෙකුත් සමාන්තර සේවාවන්වල යොදන රජයේ නිළධාරීන්ට ලැඛෙන නිවාඩු කාලයට වඩා කෙටිය. මෙම සියලූම බාධක සහ අපහසුකම් නොසලකමින් සහ විදේශීය ආයතනවලින් පිරිනමනු ලබන සියලූම පහසුකම් සහිත රැකියා ප්‍රතිලාභ ඉවතලා මව්බිමට සේවය කිරීමේ අරමුණින් බහුතරයක් නැවත විශ්වවිද්‍යාල සේවයට පැමිණෙති. මෙම ආචාර්යවරුන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඇතැම් විෂය ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ සිටින අග්‍රගණ්‍ය විශේෂඥයන් බව සඳහන් කළ යුතුය. Continue reading විශ්ව විද්‍යාල අධ්‍යාපනය

විශ්ව විද්‍යාල අධ්‍යාපනය

කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය වසර ගණනාවකට පසු පිරී ඉතිරී පිටාර ගැලූ වගයි
අවස්ථාව: විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පැවැත්වූ මහජන සම්මන්ත්‍රණය 2011 ජූනි 21 සවස
වීඩියෝ සහ ඡායාරූප මෙහි බලන්න

වීඩියෝව asianmirrorlkk

කොළඹ සෞන්දර්ය සරසවි සිසුන් ගුරුවරුන් අත් පොළොසන් දෙමින් පිළිගනිමින්

ඡායාරූප uteachers.blogspot

ඡායාරූප: අනික් කට්ටිය

ඡායාරූපය: lankatruth

ඡායාරූප: අනික් කට්ටිය

අනික් කට්ටිය

මිතුරනි,

ලංකාවේ අරගල ඉතිහාසයට අළුත් මානයන් කීපයක් එකතු කරන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට හැකි වෙලා තියෙනවා. ඒක අඛණ්ඩව ඉස්සරහට මේ තරම් දුරට හෝ අර‍ගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඒ හින්දා. අරගලය මෙහෙයවන්නෙත්, මතවාදී නායකත්වය දෙන්නෙත් එයාලමයි. මේක ලෙනින් ගෙ “කම්කරු පංතිය ට, බාහිරින් පංති විංඥාණය රැගෙන ආ යුතුයි ” කියන අදහසට වඩා හුඟක් වෙනස් තත්ත්වයක්.

නිපුණතාවය ඇති ශ්‍රමිකයෙක් බිහිකරන්නේ කොහොමද? යන්න අද දවසේ අධ්‍යාපනය මුහුණ දී ඇති අභියෝගය ද? එහෙම නැත්නම් මිනින්දෝරුවෙකු වීමට උවමනා භූගෝල විද්‍යාවේ “කොටස” ඉගෙනගෙන නැවතීමට එරෙහිව භූගෝල විද්‍යාව ඉගෙනීම අඛණ්ඩ කිරීම ද?

මේවා ගැන සංවාදශීලී වෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ධෛර්ය සම්පන්න අරගලය ට, ඔබේ සහාය දෙන්න, හෙට (ජූනි 21) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වෙන රැස්වීමට සහභාගි වී ඔබත් අරගලයට හවුල් වන්න.

ඔවුන් කියනා පරිදි,

නොසිතන මොහොතක,

නිශාචර පක්ෂියාගේ ඇසත්, ඔබේ ඇසත් එකිනෙක පටලැවෙන විදිහටම,

අපි එකිනෙකා හවුල් වන දිනය නිසැකවම එනවා ඇත.

අනික් කට්ටිය.

Dear Friends

It is by now quite obvious that the university teachers’ struggle for a better salary is, as is often the case with political struggles in general, much more than what it initially claimed to be. One should no longer be hesitant, perhaps, in claiming that this is ultimately a struggle for a universality against the dominance of the abstract universality of the automatism of Capital. A struggle which insists upon the mundane existence of the neo-liberal present with a weighty force of an eternal truth. Ultimately it has boiled down to a battle between two opposing ideas on the meaning of education and the idea of university. Is the purpose of education to create skilled workers who can contribute to enhance the gross domestic production of a nation-state; or is it to push a human individual to an encounter that would challenge the very coordinates of his individuality? Does education belong to the register of demand or the register of desire? Which Historical Idea is objectified and concretized in the figure of the Minister of Higher Education? From Europe to Middle East, from North America to South Asia, revolts and uprisings of angry students that has swept the surface of the earth, is telling us one clear message.

Please show your support to these exciting new developments by attending the public meeting organized by the courageous university teachers, tomorrow, the 21st of June, 2011, at the Public Library Auditorium, 3 pm.

As they say, the day of the Lord will come like a thief in the night.

ANIK KATTIYA

විශ්ව විද්‍යාල අධ්‍යාපනය

ශ්‍රී ලංකාව “දැනුම් කේන්ද්‍රස්ථානයක්?“ මිථ්‍යාවෙන් යථාර්ථයක් කරා!
මහජන සම්මන්ත්‍රණය 2011 ජූනි 21 සවස 3 ට

කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී

පා ගමන කොළඹ විශ්ව විද්‍යාලයෙන් සවස 2 ට

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

විශ්ව විද්‍යාල අධ්‍යාපනය

ශ්‍රී ලංකාව “දැනුම් කේන්ද්‍රස්ථානයක්?“ මිථ්‍යාවෙන් යථාර්ථයක් කරා!
මහජන සම්මන්ත්‍රණය 2011 ජූනි 21 සවස 3 ට

කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී

පා ගමන කොළඹ විශ්ව විද්‍යාලයෙන් සවස 2 ට

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය

සජීව අන්තර්ජාල විකාශය මෙතැන බලන්න

uteachers.blogspot.com/

විශ්ව විද්‍යාල අධ්‍යාපනය

උසස් අධ්‍යාපනයේ ඛේදවාචකය
ආචාර්ය මිල්ටන් රාජරත්න, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

සතියකට පැය දෙකක් පමණක් සේවය කොට වැටුප් ලබා ගන්නා, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීනතාවක් නොදක්වන, පර්යේෂණ කටයුතු නොකරන, පොතපත නොලියන ආචාර්යවරුන් වෙතොත් ඔවුන් ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් කිරීමේ මහින්ද චින්තන පරමාර්ථයට බාධාවක් ලෙස සැලකිය යුතුය. පශ්චාත් උපාධි නොලත් ඉංග්‍රී භාෂාව පිළිබඳ ප්‍රවීණතාවක් නොමැති පුද්ගලයන් උසස් අධ්‍යාපන ඇමැතිවරු ලෙස පත්නොකළ යුතුය. මහජන ඡන්දයෙන් පත්වූ ආණ්ඩු පෙරළා දැමීමට ගරිල්ලා සටන් මෙහෙයවා අවුරුදු ගණන් සිරබත් කෑ පුද්ගලයන් උසස් නිළධාරීන් ලෙස පත්නොකර සිටිය යුතුය. විශ්ව විද්‍යාල සේවයෙන් නෙරපා හරින ලද, වෘතීය පරිපාලන සුදුසුකමක් නොමැති පිරමීඩ් මුදල් ජාවාරම්කාර වෙළඳ ව්‍යාපාරිකයන් උසස් නිළධාරීන් ලෙස පත්නොකර සිටිය යුතුය. ආචාර්යවරුන්ටත් උපාධිධාරීන්ටත් උපාධි අපේක්‍ෂකයන්ටත් අපහාස කරන අධිකරණයට පවා අපහාස කළ පුද්ගලයන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය අහළකටවත් කිට්ටු කර නොගත යුතුය. ශ්‍රී ලංකාව ගෝලීය දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ මහින්ද චින්තන අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට නම් පෙර වැරැදිවලින් තොර, උගත්, බුද්ධිමත්, ශිෂ්ට සම්පන්න සහ උසස් අධ්‍යපනයේ සමාජ කාර්යභාරය දත් ලෝකය ගැන දන්නා පිරිස් පත්කර ගැනීමේ වගකීම ජනාධිපතිවරයාට නොපිරිහෙලාම පැවැරෙන්නේය. එම වගකීම භාරනොගතහොත් ගෝලීය නොලෙජ් හබය හපයක් බවට පත්වීම වළකාගත නොහැකිය.

හමුදා කඳවුරු තුළ නායකත්ව පුහුණුව ලද යුද හමුදා මානසිකත්වයෙන් පිරිපුන් නායක නායිකා මානව මානවිකාවන් විද්‍යා ශිල්ප කලා හැදෑරීමට සරසවියට පියනගන දිනය වැඩි ඈතක නැත. ඔවුහු සුපුරුදු පරිදි ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ අණට කීකරුව සපත්තු වෙනුවට සෙරෙප්පු ද, රට ඇඳුම් වෙනුවට චීත්ත ගවුම් ද හැඳ, හිස තෙල් නාවා කොණ්ඩා ගොතා, ආභරණ ආයිත්තම් ගලවා පියා බයාදු ලෙස හැසිරෙත් ද? නොඑසේ නම් කලිසමට ගැළපෙන කමීස ද, ඊට ගැළපෙන ටයිපටි හා දිස්න ගහන සපත්තු පැළඳ හිස පුරා ජෙල් ගා සුවඳ විලවුන් ගල්වා නහවා දැළි රැවුළු සුසිනිදුව බා කොඳු ඇට පෙළ කෙලින් සිටුවා අපි ජ්‍යෙෂ්ඨ උත්තමයන්ට පමණක් නොව මොනම ජගතෙකුටවත් බිය නොවම්හ, බයාදු නොවම්හයි ගුගුළත් ද? එසේ කී කල්හි ජ්‍යෙෂ්ඨ උත්තම උත්තමාවියෝ තොමෝ කැණහිලුන් සේ බියව හිස් ලූ ලූ අත දුවත් ද? ආශ්චර්ය ජනක ලෙස නවක වධය ඉතිහාස පොතේ සටහන් වනු ඇත්ද? මේවා දැක ගැනීමට තව ඉතිරිව ඇත්තේ මාස දෙක තුනක් පමණි. වෙනදාටත් වඩා මෙවර නවක වධය දරුණු වන්නට ඉඩ ඇත. උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් මේ වන විටත් ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ නිල අල්ලා එඩි වඩවා කුලප්පු කොට ඇත. ඔවුන් ජේවීපී කාරයන් ලෙස හංවඩු ගසා ඇත. ජේවීපී කාරයන් මැඩළීම පිණිස නායකත්ව පුහුණුව උපයෝගී කරගන්නා බැව් සපථ කොට ඇත. නවක වදය නවතාලිය නොහැකි නම් සියළු විශ්ව විද්‍යාල වසා දමන බවට ප්‍රකාශ කොට ඇත. මේ ගමනේ කෙළවර විශ්ව විද්‍යාල වසා දැමීම නම් නායකත්ව පහුණුවේ ඵලය කිම යි අප ඔහුගෙන් ඇසිය යුතු නොවේ ද? ඔහුගේ අභිමතය පරිදි වියදම් කළ රුපියල් ලක්‍ෂ 1,250 ආපසු රජයට ගෙවා දමන ලෙස බලකර සිටිය යුතු නොවේ ද?

උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රය පසුගිය අවුරුද්ද තුළ වෙන කවරදාටත් වඩා අර්බුදයට ගොස් තිබෙන බවට පුවත්පත්වල දිනපතා පළවන ලිපි සාක්‍ෂි දරයි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ විවිධ අවස්ථාවල විවිධ ගැටළු පැනනැගුණ ද විශ්ව විද්‍යාල අචාර්යවරුන් ද උපාධිධාරීන් ද කාලකන්නි පිරිසක් ලෙස හංවඩු ගසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය පාච්චල් කරන ලද යුගයක් නම් කිසිදා නොවීය. විශ්ව විද්‍යාලවල ඉගැන්විය යුතු සහ ඉගැන්විය හැකි පාඨමාලා ඉන් පිටතට ගෙන හමුදා කඳවුරු විශ්ව විද්‍යාල බවට පත්කරමින් උසස් අධ්‍යාපනය දියුණු කිරීම සඳහා වෙන්කරන ලද මහජන මුදල් සිය බූදලයක් ලෙස කාබාසිනියා කිරීම ඉවසා සිටිය නොහෙන විද්වතුන් විසින් මේ දිනවල ලියමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ ගෞරවණීය උසස් අධ්‍යාපන ඉතිහාසයේ අවසන් පිටු කීපයයි. කෲර ලෙස උසස් අධ්‍යාපනයේ ගෙල සිඳ දමන මේ මොහොතේ අප හදවත් තුළ නැගෙන ශේකාලාපය සටහන් නොකර සිටීම අපට නොවටී. උසස් අධ්‍යාපනය විනාශ මුඛයට යොමුවන ආකාරය පිළිබඳ අපගේ ස්වාධීන අදහස් විශ්ව විද්‍යාල පරිපාලන ක්‍රමයේ සුවිශේෂතාව, මහින්ද චින්තන දැනුමේ කේන්ද්‍රය, ආචාර්ය මණ්ඩල වෘත්තීය ගැටළුව, නායකත්ව පුහුණු වැඩසටහන සහ උසස් අධ්‍යාපනයේ හෙට දවස යන මාතෘකා ඔස්සේ මෙම ලිපිය මගින් ඉදිරිපත් කරනු ලැබේ. උසස් අධ්‍යාපනය වනසා දැමීමේ වර්තමාන දුෂ්ට ක්‍රියාවලිය පොදු මහජනතාවගේ දැනගැනීම පිණිසත් මහජන විනිශ්චය පිණිසත් හෙළිදරව් කිරීම අපගේ යුතුකම වේ.

විශ්ව විද්‍යාල අධ්‍යයන පරිපාලනය

විශ්ව විද්‍යාල පරිපාලනය පිණිස පවතින්නේ දෙපාර්තමේන්තු, සංස්ථා හෝ මණ්ඩල පරිපාලනය පිණිස පවතින ක්‍රමවේදය නොවේ. විශ්ව විද්‍යාල පනතෙහි නිතිප්‍රකාරව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිහිටුවා තිබේ. විශ්ව විද්‍යාල සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම සහ උසස් පෙළ සමත් සිසුන් විශ්ව විද්‍යාලවලට යොමුකිරීම හැරුණු විට අධ්‍යාපන වැඩසටහන් අනුමත කිරීම සහ ඒවායෙහි තත්වය සහතික කිරීම යන කාර්යයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැවැරී තිබේ. ඒ ඒ විශ්ව විද්‍යාලය පාලනය වන්නේ ඊට අදාළ දෙපාර්තමේන්තු සභා, පීඨ සභා, සෙනෙට් සභා සහ කවුන්සිල් සභා යන පරිපාලන ව්‍යුහය මගිනි. මේ වූ කලි විශ්ව විද්‍යාල පනත මගින් ස්ථාපිත කොට තිබෙන ප්‍රශස්ථ ක්‍රමවේදයකි. උසස් අධ්‍යාපන ඇමැතිවරයාගේ හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගේ සෘජු පාලනයෙන් විශ්ව විද්‍යාල මුදවා තබා ඒවායෙහි ස්වාධීනත්වය තහවුරු කිරීම පිණිස මෙම නීති ප්‍රතිපාදන පනවා තිබේ.

ඉහත සඳහන් කරන ලද සභා (කවුන්සිල් සභාව හැර) ආචාර්ය මණ්ඩලය විසින් ගෙවීම් රහිතව දරනු ලබන ස්වේච්ඡා තනතුරු රාශියක අනුහසින් ක්‍රියාත්මක වේ. මෙම ස්වේච්ඡා තනතුරු උප කුලපති, පීඨාධිපති, අධ්‍යයනාංශ ප්‍රධාන, ආයතන අධ්‍යක්‍ෂ, අධ්‍යාපන සංවර්ධන සහ සැලසුම් කමිටු සාමාජික, අධ්‍යාපන මණ්ඩල සභාපති, විනය පාලක, ශාලා පාලක, විභාග පරීක්‍ෂක, ශිෂ්‍ය සුබසාධක නිළධාරී, ශිෂ්‍ය උපදේශක වැනි මූලික තනතුරු හැරුණු විට වෙනත් කමිටු සිය ගණනකින් සමන්විත වේ. අචාර්යවරු මෙම තනතුරු දරන්නේ සිය වෘත්තීය කාර්යයන් ලෙස පැවරෙන පර්යේෂණ කිරීම, පළකිරීම සහ ඉගැන්වීම යන කාර්යයන්ට අමතර වශයෙනි. තනතුරුවල උසස්වීම් ලැබීමට මෙම ස්වේච්ඡා තනතුරු දරා තිබීම ප්‍රයෝජනවත් විය හැකි වුවද ඒ සඳහා මූල්‍යමය ගෙවීමක් කරන්නේ නැති තරම්ය. අධ්‍යයනාංශ ප්‍රධානියාට සහ පීඨාධිපතිට දිනකට ගෙවන රුපියල් 33ක දීමනාව මගින්ම ඒ බැව් පැහැදිලිවේ. උප කුලපති සහ පීඨාධිපතිට පමණක් ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ. ස්වේච්ඡා තනතුරු වෙනුවෙන් අතිකාල දීමනා හෝ ප්‍රසාද දීමනා හෝ වෙනත් කිසිදු දීමනාවක් හෝ නොලැබේ. එසේ තිබිය දී ආචාර්යවරු දිවා රෑ නොබලා මෙම ස්වේච්ඡා තනතුරුවලට සම්බන්ධ කාර්යයන්හි නිරතව මහගු සේවයක් කරති. එබැවින් වෙනත් බොහෝ ආයතනවල මෙන් දීමනාවලින් අභිප්‍රේරණය කරනු ලබන තනතුරු විශ්ව විද්‍යාල තුළ නොමැත. ස්වයං අභිප්‍රේරණය මත ස්වේච්ඡා තනතුරුවල නිරතව සිටීම ආචාර්යවරුන්ගේ සිරිතකි. එය විශ්ව විද්‍යාලයේ සම්ප්‍රදායකි.

මෙවැනි පරිපාලන ක්‍රමවේදයක් ස්ථාපිත කොට තිබෙන්නේ විශ්ව විද්‍යාල ස්වයං පාලන ඒකක ලෙස පවත්වා ගනු පිණිසය. ශ්‍රි ලංකා විශ්ව විද්‍යාලය බ්‍රිතාන්‍ය මහ රැජින විසින් විවෘත කරනු ලැබුබේ එය සාමාන්‍ය තරමට වඩා නිදහස් ආයතනයක් ලෙස පවත්වා ගැනීමේ අභිලාෂය පෙරදැරිකොට ගෙනය. ස්වයංපාලනය ලෝකයේ සෑම විශ්ව විද්‍යාලයකටම පොදු සංකල්පයකි. ඇමැතිවරයකුගේ හෝ පිටස්තර බලවතකුගේ අත පෙවීම වලකා ඉගැන්වීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ සහ පර්යේෂණ කිරීමේ නිදහස තහවුරු කිරීම පිණිස විශ්ව විද්‍යාලවලට මෙම නිදහස ලැබී තිබේ. එවැනි නිදහසක් නොමැති කල විශ්ව විද්‍යාලය දේශපාලකයන්ගේ ද, උප කුලපතිවරයාගේ ද, වෙනත් බලවතුන්ගේ ද අතකොලුවක් බවට පත්වේ. දැනුම පාදක කොටගෙන රටක අනාගත ගමන් මග සකස් කිරීමේ කාර්ය භාරය පැවැරී තිබෙන ආයතනයක් වන විශ්ව විද්‍යාලය දේශපාලන බලපෑම්වලට යටපත් නොවීම පිණිසත්, සමස්ථ සමාජ අභිවෘද්ධිය කෙරෙහි කැපවීමට හැකිවනු පිණිසත් මෙවැනි සුවිශේෂී පරිපාලන ක්‍රමවේදයක් ලබා දී තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ ප්‍රතිපාදන කොමිසම අද මෙම සරළ සත්‍යය තේරුම් ගැනීම මගහැර ගොස් තිබේ. මේ වන විට විශ්ව විද්‍යාලයත්, ආචාර්ය ප්‍රජාවත්, ශිෂ්‍ය ප්‍රජාවත් නීති විරෝධී කැලෑ චක්‍රලේඛ, ඇණුම් බැණුම්, වාචාල හා මුග්ධ බස් මගින් පාලනය කිරීමේ අමුතු ක්‍රමවේදයක් උසස් අධ්‍යාපන අමාත්‍යංශය අනුගමනය කරමින් සිටී. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මෙම අමනෝඥ ක්‍රියා විසින් විශ්ව විද්‍යාලය දැනටමත් අඩපණ කොට තිබේ. පීඨාධිපති තනතුරෙන් ද ආචාර්යවරු ඉල්ලා අස්වන දිනය ඈතක නොවේ. එසේ වුවහොත් විශ්ව විද්‍යාලය සම්පූර්ණ වශයෙන්ම අක්‍රිය වේ. ස්වේච්ඡා තනතුරු පූප්පාඩු වූ කල අධ්‍යයන පරිපාලනය සහමුලින්ම බිඳවැටේ. එම තනතුරු සඳහා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් පිටස්තර පුද්ගලයන් පත්කිරීමට හැකියාවක් නැත. මෙය තේරුම් ගැනීමට ඇමැතිවරයාටවත් අමාත්‍යංශ නිළධාරීන්හටවත් නොහැකිව ඇත්තේ ඔවුන් විශ්ව විද්‍යාල පනත එක වතාවක් හෝ කියවා නොමැති බැවින් නොවේද? ඇමැතිවරයාට මෙන්ම ඔහුගේ උසස් නිළධාරීන්හට ද විශ්ව විද්‍යාල පනත කියවීමට මෙය අනගි අවස්ථාවක් බැව් පෙන්වා දිය යුතුය.

මහින්ද චින්තනය සහ උසස් අධ්‍යාපනයඃ
ශ්‍රී ලංකාව යුහුසුළුවම ගෝලීය නොලෙජ් හබයක් (Knowledge Hub) හෙවත් දැනුමේ කේන්ද්‍රයක් බවට පත්කිරීමට තිබෙන අවශ්‍යතාව මහින්ද චින්තනයේ දිගුව විසින් පසුගිය වසරේ ඉදිරිපත් කරන ලදී. එහි මුළුමනින්ම ගෝලීය හබ පහක් පිළිබඳව සඳහන් වූ අතර ගෝලීය නොලෙජ් හබය එහි ප්‍රමුඛතම ඉලක්කය විය. සංවර්ධිත රටක් බවට පත්වීමේ ක්‍රියාවලියේ දී දැනුම පූර්ව අවශ්‍යතාවක් වන බැව් සැබෑය. දැනුම විසින් මිනිස් අවශ්‍යතා ද, තාක්‍ෂණය ද, අමුද්‍රව්‍ය ද, සම්පත් ද සොයාගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට මග පාදනු ලැබේ. එමගින් භෞතික ජීවන තත්වය දියුණු වන අතර අධ්‍යාපනයේ සෘජු ප්‍රතිඵල ලෙස ගැණෙන කාව්‍ය, ශාස්ත්‍ර, සාහිත්‍ය හා දර්ශනවාද යනාදිය විසින් අධ්‍යාත්මික දියුණුව සලසා දෙනු ලැබේ. සමාජය පුරා දැනුම පැතිර යත්ම පොහොසත්, සාමකාමී හා ප්‍රීතිමත් රටක් ගොඩ නැගේ.
දැනුම බිහිවන්නේ කොතැනක ද? දැනුම බෙදා දෙන්නේ කොතැනකින් ද? ක්‍රමවත් සහ විද්‍යත්මක ලෙස දැනුම ගොඩනගා ගැනීම සඳහා විශේෂිත ප්‍රයත්නයක් අවශ්‍ය කෙරේ. ඒ සඳහා පර්යේෂණ කිරීම, වාද විවාද කිරීම, සම්මන්ත්‍රණ කිරීම, පොතපත ලිවීම යනාදී ක්‍රියාවන්හි නිරත වීමට සිදුවේ. මේ ක්‍රියාකාරකම් සිදුකිරීමට බුද්ධිමතුන් ද, ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස පුස්ථකාල ද, පර්යේෂණාගාර ද, පරිගණක පහසුකම් ද, යන්ත්‍ර සූත්‍ර ද, රසායන ද්‍රව්‍ය ද, රෝහල් ද, විදේශීය සහයෝගීතා ද වශයෙන් බොහෝ යෙදවුම් අවශ්‍ය වේ. මේ සියල්ල ඒකරාශි කරනුයේ විශ්ව විද්‍යායක් තුළ ය. එබැවින් දැනුම උපදින්නේ විශ්ව විද්‍යාල තුළ ය. එම දැනුම බෙදාහැරීම පිණිස උපාධිධාරීන් බිහිකරනු ලබයි. ඔවුන්ගෙන් පිරිසක් පාසල්වලටත් වෙනත් අධ්‍යාපන ආයතනවලටත් යොමුව දැනුම බෙදාහැරීමේ කාර්යයේ නිරතවේ. තවත් පිරිසක් සිය දැනුම වෘත්තීය හෝ ව්‍යාපාරික කර්යයන් සඳහා යොදවති.

දැනුම නිර්මාණය නොවන විට වෙනත් රටකින් දැනුම මිලදී ගැනීම ද දුෂ්කරවේ. විදේශීය දැනුම අවබෝධකර ගැනීමට සමත්කම් ඇති පිරිසක් රට තුළ නොසිටී නම් විදේශීය දැනුම පැවැරීමට හැකියාවක් නොලැබෙන බැවිනි. අප රට ගෝලීය දැනුමේ කේනද්‍රස්ථානය බවට පත් කිරීමට ක්‍රියාකරන විට රට තුළ දැනුමේ කේන්ද්‍රය බවට පත් කළ යුතු වන්නේ විශ්ව විද්‍යාලය යි. එම වගකීම ඉටුකිරීමට නම් දැනුම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මානව සම්පත්, ද්‍රව්‍ය, ආම්පන්න සහ පහසුකම් නිර්ලෝභීව විශ්ව විද්‍යාලවලට ලබා දිය යුතුය. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හැකියාවන් සංවර්ධනය කොට ඔවුන් රට හැර නොයන සේ අනුයුක්ත කොට පවත්වා ගැනීම පිණිස ඔවුන් රටෙහි අද්විතීය පිරිසක් සේ සලකා ගෞරවාන්විත ලෙස සැලකීම රජයේ මූලිකතම වගකීමක් වේ.

සතියකට පැය දෙකක් පමණක් සේවය කොට වැටුප් ලබා ගන්නා, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීනතාවක් නොදක්වන, පර්යේෂණ කටයුතු නොකරන, පොතපත නොලියන ආචාර්යවරුන් වෙතොත් ඔවුන් ශ්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් කිරීමේ මහින්ද චින්තන පරමාර්ථයට බාධාවක් ලෙස සැලකිය යුතුය. පශ්චාත් උපාධි නොලත් ඉංග්‍රී භාෂාව පිළිබඳ ප්‍රවීණතාවක් නොමැති පුද්ගලයන් උසස් අධ්‍යාපන ඇමැතිවරු ලෙස පත්නොකළ යුතුය. මහජන ඡන්දයෙන් පත්වූ ආණ්ඩු පෙරළා දැමීමට ගරිල්ලා සටන් මෙහෙයවා අවුරුදු ගණන් සිරබත් කෑ පුද්ගලයන් උසස් නිළධාරීන් ලෙස පත්නොකර සිටිය යුතුය. විශ්ව විද්‍යාල සේවයෙන් නෙරපා හරින ලද, වෘතීය පරිපාලන සුදුසුකමක් නොමැති පිරමීඩ් මුදල් ජාවාරම්කාර වෙළඳ ව්‍යාපාරිකයන් උසස් නිළධාරීන් ලෙස පත්නොකර සිටිය යුතුය. ආචාර්යවරුන්ටත් උපාධිධාරීන්ටත් උපාධි අපේක්‍ෂකයන්ටත් අපහාස කරන අධිකරණයට පවා අපහාස කළ පුද්ගලයන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය අහළකටවත් කිට්ටු කර නොගත යුතුය. ශ්‍රී ලංකාව ගෝලීය දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ මහින්ද චින්තන අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට නම් පෙර වැරැදිවලින් තොර, උගත්, බුද්ධිමත්, ශිෂ්ට සම්පන්න සහ උසස් අධ්‍යපනයේ සමාජ කාර්යභාරය දත් ලෝකය ගැන දන්නා පිරිස් පත්කර ගැනීමේ වගකීම ජනාධිපතිවරයාට නොපිරිහෙලාම පැවැරෙන්නේය. එම වගකීම භාරනොගතහොත් ගෝලීය නොලෙජ් හබය හපයක් බවට පත්වීම වළකාගත නොහැකිය.

ආචාර්යවරු, වෘතීය ඉල්ලීම් සහ ප්‍රතිවිපාකඃ
විශ්ව විද්‍යාල ආචාර්යවරු, සහාය කථිකාචාර්ය තනතුරෙහි පටන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තනතුර දක්වා පරාසයක සේවයෙහි අනුයුක්තව සිටිති. ඒ ඒ අවුරුදුවල ශිෂ්‍ය කණ්ඩායමේ දහස් ගණන් සිසුන් අතුරින් ඉහළම සාමාර්ථ ලබාගත් කිහිප දෙනකු පමණක් ආචාර්යවරු ලෙස විශ්ව විද්‍යාල සේවයට බඳවා ගැනේ. අඩු සාමාර්ථ ලත් උපාධිධාරීන් වෙනත් රැකියාවලට යොමුවේ. සේවයට බැඳුණු ඇදුරෝ ආචාර්ය උපාධිය දක්වා වන පශ්චාත් උපාධි හදාරති. ඔවුහු වෛද්‍ය, ඉංජිනේරු, විද්‍යා, කෘෂිකර්ම, නීති, කළමනාකරණ, භාෂා ශාස්ත්‍ර යනාදී නන් වැදෑරුම් ක්‍ෂේත්‍රවල විද්වතුන් බවට පත්වෙති.

රටක සමාජ ප්‍රගමනය සඳහා අවශ්‍ය දැනුම් සම්භාරය ගබඩාවී තිබෙන්නේ ඔවුන් තුළ ය. එබැවින් සරසවි ඇදුරන් හඳුන්වනු ලබන්නේ බුද්ධිමතුන් ලෙස ය. ඔවුන් රටක අනාගත ගමන් මග හෙළි පෙහෙළි කරන බලය ලෙස සෑම රටකම පිළිගැනීමට පාත්‍රවී සිටී. විදේශ රටවල සොයාගන්නා දැනුම අප රටට ලබාගැනීමේ දී දේශීය වශයෙන් ඊට මැදිහත් වන පාර්ශ්වය වන්නේ මේ පිරිසයි. තවද රට රටවල් අතර දැනුම නිපදවීම පිණිස ඒකාබද්ධ පර්යේෂණ කෙරෙහි යොමුවන්නේ ද මේ පිරිසයි. විදේශයක නව ශල්‍යකර්ම විධික්‍රමයක් සොයාගත් කල එය අප රටට ලබාගන්නේ මැති ඇමැතිවරුන් හෝ නිළධාරීන් ඔස්සේ නොව වෛද්‍ය පීඨවල මහාචාර්යවරුන් ඔස්සේය. ඉංජිනේරු විද්‍යා, රසායන විද්‍යා, ආර්ථික විද්‍යා, කළමනාකරණ, නාට්‍ය හා භාෂා ශාස්ත්‍ර යනාදී සෑම අංශයකම නව දැනුම විදේශවලින් ලබා ගැනීම කෙරෙහි රටක කැපවී සිටින පිරිස වන්නේ සරසවි ආචාර්ය වරුන්ය.

රටක දියුණුව රඳාපවතින්නේ එම රට තුළ ගොඩගැහෙන දැනුමේ ප්‍රමාණයට අනුවය. දැනුම සොයාගැනීම, එය විදේශ රටවල් සමග හුවමාරු කිරීම, ඒ සඳහා පර්යේෂණ කිරීම, පතපොත කියවීම හා ලිවීම මගින් අනාගත පරපුරට දැනුම ගබඩා කර තැබීම යනාදී කාර්යයන් සෑම සමාජයක් විසින්ම පවරා තිබෙන්නේ බුද්ධිමතුන් හටය. එබැවින් විශ්ව විද්‍යාල ආචාර්යවරු එක් රටකට පමණක් අයත් සම්පතක් ලෙස දියුණු රටවල් පිළිගන්නේ නැත. එම රටවල් ලෝකයේ කුමන රටක හෝ සිටින බුද්ධිමතුන් අද්දවාගෙන ඔවුන්ගේ දැනුම උකහා ගනී. ඇමෙරිකාව, කැනඩාව සහ ඕස්ටේ‍ර්ලියාව වැනි රටවල් දියුණුවූයේම එලෙසිනි. ශ්‍රී ලංකාවේ ඇතැම් ආචාර්යවරු ද විදේශ ගතවී එම රටවල සංවර්ධනයට උරදී සිටිති. සරසවි ඇදුරන්හට අප රට තුළ සැලකීමක් නොලැබේ නම් විදේශ රටවල එම වෘත්තියම කිරීමේ වරමක් ලැබී තිබේ. විශ්ව විද්‍යාල ආචාර්යවරු අයත්වන්නේ එක් රටකට නොව විශ්වයයටම ය.

සරසවි ආචාර්යවරු අද සිය වැටුප් සහ වෙනත් ඉල්ලීම් කීපයක් මුල්කොට ගෙන වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණවී සිටිති. දැනට වසර තුනකට පෙර රජය එකගවී ඇති වැටුප් ව්‍යුහය ක්‍රියාත්මක කරන ලෙසත්, විශ්ව විද්‍යාල ආචාර්ය වෘත්තිය වෙනත් වෘත්තීන් සමග සම නොකොට වෙනම වෘත්තියක් ලෙස හඳුනා ගන්නා ලෙසත්, ජාතික ආදායමෙන් 6%කට වත් සරිලන මුදලක් වැය කොට විශ්ව විද්‍යාල අධ්‍යාපනය පමණක් නොව රටේ සමස්ථ අධ්‍යාපනය නැංවීමට ක්‍රියාකරන ලෙසත්, කප්පාදු කොට ඇති වරප්‍රසාද යළි ලබාදෙන ලෙසත් ඔවුන් රජයට බලකර සිටී. දිගු කාලයක් තුළ රජය සමග කරන ලද සාකච්ඡා නිෂ්ඵල වීමත්, ආචාර්වරු රැවටීමට ලක්කිරීමත්, ඔවුන් වැඩකට නැති පිරිසක් ලෙස හංවඩු ගසා පාච්චල් කිරීමත් නිසා ඔවුන් බෙහෙවින් සිත් තැවුළට පත්වී සිටී.

ඉදිරිපත් කොට ඇති ඉල්ලීම් දිනාගැනීම පිණිස ආරම්භ කොට තිබෙන වෘත්තීයමය ක්‍රියාමාර්ගයේ ස්වභාවය වන්නේ ස්වේච්ඡා තනතුරු හැර යාමයි. මුලින් සඳහන් කළ පරිදි විශ්ව විද්‍යාලවල අධ්‍යයන පරිපාලනය මුළුමනින්ම රඳා පවතින්නේ ආචාර්යවරුන් විසින් හොබවනු ලබන ස්වේච්ඡා තනතුරු මතය. එපමණක් නොව ශිෂ්‍ය සුබසාධනය, නේවාසිකාගාර භාරකාරත්වය සහ ශිෂ්‍ය උපදේශනය කෙරෙහි වගකියනුයේ ද මෙම ස්වේච්ඡා තනතුරු ය. විශ්ව විද්‍යාලයකට සිසුන් ඇතුළත් වූ පසු ඔවුන් විවිධ අධ්‍යයනාංශ වෙත යොමුකොට එම අධ්‍යයනාංශ විසින් උගන්වනු ලබන පාඨමාලා හැදෑරීමට යොමු කරනු ලැබේ. අධ්‍යයනාංශයක් සංවිධානය කොට තිබෙන්නේ ස්වේච්ඡා තනතුරක් වන අධ්‍යයනාංශ ප්‍රධානියකු යටතේය. එය වසර තුනක කාල පරිච්ඡේදයක් සඳහා කරනු ලබන ගරු සේවයකි. අධ්‍යයනාංශ ප්‍රධානීන් තනතුරෙන් ඉවත්වූ කල එම අධ්‍යයනාංශය මුළුමනින්ම අක්‍රියවේ. එවිට ඉගැන්වීම්, පර්යේෂණාගාර කටයුතු, සායන, ක්‍ෂේත්‍ර අධ්‍යයන, විභාග පැවැත්වීම, ඇගයීම් යනාදී සියළු කටයුතු ඇණහිටී. මේ නිසා සරසවි තුළ සිටින සිසුන්හට උපාධිධාරීන් ලෙස පිටවී යාමටවත් නවකයන්හට ඇතුළු වීමටවත් නොහැකිවේ. විශ්ව විද්‍යාලය අකර්මණ්‍යවේ. අද උද්ගතව තිබෙන්නේ මේ තත්වය යි. පරිපාලනය නොදත් නිළධාරීහු ආචාර්යවරුන් මට්ටුකිරීමට වෑයම් කරතත් උද්ගතවී තිබෙන ගැටළුවට විසඳුම් සොයාගෙන විශ්ව විද්‍යාල පාලනය යථා තත්වයට පත්කිරීමට කටයුතු නොකරති.

ආචාර්යවරුන් උසස් පෙළ විභාග රාජකාරි කටයුතුවලින් වැළකී සිටීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ගය නිසා මෙම බලපෑම පාසල් අධ්‍යාපනය අඩපණ කිරීම දක්වා විහිද යයි. සැකෙවින් කියතොත් රටේ සමස්ථ අධ්‍යාපන ක්‍රියාවලියම අඩපණවීමත් කර්මාන්ත සහ රාජ්‍ය හා පෞද්ගලික සේවා අංශවලට වාර්ෂිකව අවශ්‍යවන උගතුන් සැපයුම ප්‍රමාදවීමත් සිදුවේ. මෙහි බැරෑරුම්කම රජය විසින් තේරුම් ගෙන නැත. අචාර්යවරුන්ගේ ඉල්ලීම් කෙරෙහි අවධානය යොමුකරනවා වෙනුවට විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි රජය යොමුවී සිටී. චක්‍රලේඛ නිකුත්කොට ආචාර්යවරු බිය වැද්දීමට තැත් කිරීම ඉන් එකකි. ස්වේච්ඡා තනතුරකින් ඉල්ලා අස්වීමට මාස තුනකට කලින් ඉල්ලීමක් කළ යුතුය යි එක් චක්‍රලේඛයක සඳහන් විය. එම චක්‍ර ලේඛය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කරන ලෙස ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාට අභියෝග කළ යුතුය. ඔහු අධ්‍යයනාංශ ප්‍රධානියකුව සිට ඉතා කෙටි දැනුම් දීමක් මත ඉන් ඉල්ලා අස්වී උප කුලපතිවරයකු බවට පත්විය. ඒ ආකාරයටම ඔහු එම තනතුරෙන් ද ඉල්ලා අස්වී ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා බවට පත්විය. ඒ අනුව වර්තමාන සභාපතිවරයාට නීතිප්‍රකාරව දෙවාතාවක්ම අච්චු කරනු ලැබිය හැකිවේ.

කළමනාකරණ උපාධිධාරියකු වන අදාළ ඇමැතිවරයා ගැටුම් කළමනාකරණ ක්‍රමයක් ලෙස යොදාගෙන ඇති ක්‍රමය වන්නේ තැන තැන බැණවදිමින් අවිචාරවත් ලෙස හැසිරීමය. එය ඔහුගේ කළමනාකරණ උපාධියට නොහොබී. නැතහොත් ඔහු සරසවියේ දී පූර්ණකාලීනව දේශපාලනය කළා මිස කළමනාකරණය ඉගෙන ගෙන නැත. ඒ ඒ දවසට එකිනෙකට පරස්පර ප්‍රකාශ කිරීම ඔහුගේ ක්‍රමයයි. වෘත්තීය සමිතිය අමතක කොට රජයට පක්‍ෂපාත ඇදුරන් අතළොස්සක් සමග සාකච්ඡා පැවැත්වීම තවත් ක්‍රමයකි. වෘත්තීය සමිති නියෝජිතයන් කැඳවා ඔවුන්හට අවළාද නැගීම තවත් ක්‍රමයකි. විශ්ව විද්‍යාල වසා දැමීමට 1988-89 කාලයේ උරදුන් උසස් පෙළ අසමත් වාචාලවංශයේ කයිවාරුකාර ඇමැතිවරු යොදවා ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සමච්චලයට භාජනය කිරීම හා කවටකම් කිරීම තවත් ක්‍රමයකි. මහාචාර්ය වරයකුගේ වැටුප රුපියල් ලක්‍ෂ හතරක් පහක් පමණ මට්ටමක ගෙන ඒමට තමා සිහින දකින බැවින් සිහිනය සැබෑ වන තෙක් ඉවසා සිටින ලෙස පැවසීම තවත් ක්‍රමයකි. මහාචාර්යවරු ඉහළ වැටුප් ඉල්ලනවාට වඩා කුඹුරු කෙටීම නම්බුකාර බව පවසා රැකියාවෙන් අස්වී ගොවිතැන්බත් කිරීමට පෙළඹිය යුතුයයි නූගත් ඇමැතිවරු යොදවා ප්‍රකාශ කිරීම තවත් ක්‍රමයකි. භික්‍ෂූන් වහන්සේලා යොදවා උන් වහන්සේලා නොදන්නා උන්වහන්සේලාට නොහොබිනා හිස් ප්‍රකාශ කරවීම තවත් ක්‍රමයකි. දරුස්මාන් වාර්තාව ඉදිරිපත්වී තිබෙන අවස්ථාවේ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම බටහිර කුමන්ත්‍රණ කරුවන්හට රට පාවාදීමේ දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස ගෝනිබිල්ලන් මවාපෑම තවත් ක්‍රමයකි.

වැටුප් වෙනුවට පර්යේෂණ දීමනාවක් අනුමත කර ඇති බැවින් එයින් සෑහීමට පත්වන ලෙස රජය යෝජනා කරයි. පර්යේෂණ දීමනාව වනාහි පරිභෝජන දීමනාවක් නොව ආයෝජනයකි. එහෙත් කණගාටුවට කාරණය නම් මේ රජය පරිභෝජනය ආයෝජනයෙන් වෙන්කොට හඳුනාගැනීමට නොදන්නා රජයක් වීමයි. ආයෝජනය මවා පා පරිභෝජනයෙහි යෙදෙන රජයක නිළධාරීන් සිය අමාත්‍යංශයේ ආයෝජන වියදම් ඔවුන්ගේ පරිභෝජනයට යොදාගතහොත් ඉන් අප මවිත විය යුතු නැත. එහෙත් පර්යේෂණ දීමනාව පරිභෝජනය කෙරෙහි යොදා ගැනීමේ රැවටිලිකාර දරිද්‍ර මානසිකත්වයක් ආචාර්යවරුන්ට නැති බව රජය තේරුම් ගත යුතුය.

විශ්ව විද්‍යාල ආචර්යවරුන් විශ්ව සම්පතක් වන බැවින් ඔවුන්හට සිය මව් රටේ වැදගත් ලෙස සේවය කිරීමට නොහැකි වන විට විදේශීය විශ්ව විද්‍යාලවල රැකියා සොයා ගැනීමට හැකියාව තිබේ. බොහෝ ආචාර්යවරු විදේශ විශ්ව විද්‍යාලවල ආචාර්ය මණ්ඩලවල හෝ පර්යේෂණ කණ්ඩායම්වල සේවය කොට පැමිණි පිරිසක් වෙති. බුද්ධිමතුන් රටහැර යාම බුද්ධි ගලනය යනුවෙන් හඳුන්වනු ලැබේ. තවද රටහැර යන බුද්ධිමතුන් දේශ ද්‍රෝහීන් ලෙස ද හඳුන්වනු ලබන සිරිතක් අප රටේ තිබේ. වසර තිහක් පමණ දීර්ග වූ යුද සමයේ දී ආචාර්යවරු දහස් ගණනක් රට හැර ගියහ. රටහැර ගිය ආචාර්යවරුන්ටත් වඩා දක්‍ෂ ආචාර්යවරු පෞද්ගලික සුඛ විහරණය නොතකා මව්බිම උතුම් කොට තකා ශ්‍රී ලංකාවේ සරසවිවල සේවය කළහ.

යුද්ධය නිමාවීමෙන් පසු රට හැරගොස් සිටි බුද්ධිමතුන් ගෙන්වා ඔවුන්ට ආහාර පානාදියෙන් සංග්‍රහ කොට ශ්‍රී ලංකාව බියෙන් තොරව ජීවත්විය හැකි රටක් බැව් පවසා ආපසු සිය රට පැමිණ සේවය කරන ලෙස ජනාධිපතිවරයා විසින් ආරාධනය කරන ලදී. ආහාරපාන භුක්ති විඳ සතුටු සාමීචියෙහි යෙදී හුන් ඔවුහු ආපසු විදේශවලටම යන්නට ගියහ. එහෙත් රට හැර නොගොස් අප රටේ දූ පුතුන්හට උසස් අධ්‍යාපනය ලබා දුන් ආචාර්යවරුන් සිටයේ ද කියාවත් ජනාධිපතිවරයාට කල්පනාවූයේ නැත. රට හැරනොයන ආචාර්යවරු එසේ කරන්නේ ඔවුන්හට රට රැකියා සොයා ගැනීමට නොහැකි නිසා බවත්, ඔවුන් රොඩුබොඩු බවත් එබැවින් ඔවුන්හට ඉහළ වැටුප් ලබාදීම නොහොබිනා බවත් රජයේ විශ්වාසය වන බව රජයට සම්බන්ධ බොහෝ දෙනා ප්‍රකාශ කරන්නට වූහ. දැන් මෙය න්‍යායකට පරිවර්තනය වී තිබේ. එනම් රොඩුබොඩු විසින් කාලකන්නි උපාධිධාරීන් බිහිකරනු ලබන බැවින් ඔවුන්හට වැඩි වැටුප් නොදී සිටිය යුතු යන්නනයි.

බලධාරීන් ධීවර සම්පත් පිළිබඳව දක්වන ප්‍රමාණයටවත් උසස් අධ්‍යාපනය කෙරෙහි උනන්දුවක් නොදක්වයි. රටකට විශ්ව විද්‍යාල අවශ්‍යවන්නේ මක් නිසාද, විශ්ව විද්‍යාලවල කාර්යභාරය කුමක්ද, විශ්ව විද්‍යාල අධ්‍යාපනය යනු කුමක්ද යනාදී මූලික කාරණා නැවත විශ්ලේෂණය කොට රටේ සංවර්ධනය උදෙසා උසස් අධ්‍යාපනය යොදාගැනීමටත්, බුද්ධි මණ්ඩල ශක්තිමත් කරගැනීමටත්, බුද්ධි ගලනය නවතා දක්‍ෂ ආචාර්යවරු විශ්ව විද්‍යාල තුළ රඳවා ගැනීමටත් ක්‍රියා නොකරන තාක් විශ්ව විද්‍යාල මහා විද්‍යාල මට්ටමට පත්වීම වැළක්විය හැකි නොවන්නේය. සිය දේශපාලන හිතවාදීන් ලෙස ක්‍රියාකරන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්හට රජය විසින් තුටුපඬුරු ලෙස රාජ්‍ය ආයතනවල අධික වැටුප් සහිත සභාපති තනතුරු, අධ්‍යක්‍ෂ තනතුරු, ලේකම් තනතුරු, තානාපති තනතුරු යනාදිය ලබාදෙයි. එමගින් දක්‍ෂ ආචාර්යවරු විශ්ව විද්‍යාලයෙන් ඈත් කොට තබයි. තවද රජයට පක්‍ෂපාතී ආචාර්යවරුන් සිය විෂය ක්‍ෂේත්‍රයට කිසිසේත්ම අදාළ නොවන අංශවල ප්‍රධානීන් ලෙස පත් කරනු ලබයි. ආචාර්යවරු සරසවිවලට අනුබද්ධිතව තබා ගනිමින් දැනුම සංවර්ධනය කිරීම හා බෙදාදීම පිණිස ඔවුන්ගේ හැකියාවන් යොමු කිරීම රජයේ වගකීම වේ.

ආචාර්යවරුන්ගේ සේවය පැය ගණනින් මැනීමට රජය පෙළඹී තිබීම මගින් පෙනෙන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරයාගේ කාර්යභාරය රජය අවබෝධ කරගෙන නොමැති බවයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම පිණිස පාඨමාලා සංවර්ධනය කරනු ලැබුවේ පිටස්තර විද්වත් කණ්ඩායමක් විසිනි. ඒ සඳහා රුපියල් මිලියන දෙකක් තරම් මුදලක් වැය කරන ලද බව මගේ මතකය යි. අනෙක් අතට එම විශ්ව විද්‍යාලයේම කළමනාකරණ අධ්‍යයන අංශය පිහිටුවීම, ව්‍යාපාර පරිපාලනවේදී උපාධි පාඨමාලා හතරක් සංවර්ධනය කිරීම, අධ්‍යයනාංශ අටකින් සහ උපාධි පාඨමාලා දොළහකින් සමන්විත කළමනාකරණ පීඨයක් ස්ථාපිත කිරීම, නව කළමනාකරණ පශ්චාත් උපාධි පාඨමාලා හතරක් හඳුන්වා දීම සඳහා සැලසුම් සහ පාඨමාලා සකස් කරන ලද මා ප්‍රමුඛ මගේ ආචාර්ය මණ්ඩලය ඒ වෙනුවෙන් එක සතයක ගෙවීමක්වත් ලබාගත්තේ නැත. එය රට වෙනුවෙන් අප විසින් කරන ලද ස්වේච්ඡා සේවයකි. වෙළඳපල මිල අනුව එය රුපියල් කෝටි දෙකක පමණ වටිනා පරිශ්‍රමයකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ජීවිත කාලයම වෙහෙසී සිංහබාහු සහ මනමේ වැනි උත්කෘෂ්ට ගණයේ කලා කෘති බිහිකළේය. එම නිර්මාණයක් නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් තුන්සීයක් පමණ වේ. සරච්චන්ද්‍රගේ සේවය පැය ගණනින් මැනිය හැකිද? මිල කළ හැකිද? එහෙත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වර්තමාන මිනුම අනුව සරච්චන්ද්‍රගේ වටිනාකම මනිනු ඇත්තේ මෙලෙස යඃ ඔය මිනිහා කරපු වැඩේම ඉඳගෙන පොත් කියවපු එකයි නාට්ටි හදපු එකයි විතරයි, ඒ හින්දා ඔය මිනිහගෙ වටිනාකම රුපියල් තුන්සීයයි කියාය. උසස් අධ්‍යාපනයට අද අත්වී තිබෙන ඉරණම ආචාර්යවරුන්ගේ මැදිහත්වීමෙන් පමණක් විසඳිය නොහැකිය. සෑම පුරවැසියකුම මේ කෙරෙහි උනන්දු විය යුතුය. උසස් අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් තිබෙන දක්‍ෂ ඇමැතිවරුන් සහ නිළධාරීන් පත්කර ගැනීමේ වගකීම ජනතාව පැහැර හැරිය යුතු නැත.

නායකත්ව පුහුණුව, මිථ්‍යාව සහ වංචාව ඃ
සරසවි ප්‍රවේශය අපේක්‍ෂාවෙන් සිටින උසස් පෙළ සමතුන්හට නව මාදිලියේ පුහුණුවක් ලබා දීමට ක්‍රියාකිරීම මගින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය තවත් අර්බුදයක් නිර්මාණය කොට තිබේ. එම පුහුණුව නායකත්ව පුහුණුව නමින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් හැඳින්වුව ද පොදුවේ එය හඳුන්වනු ලබන්නේ හමුදා පුහුණුව ලෙසිනි. උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ උපාධිධාරීන්හට නිසි විනයක් නොමැති බැවින් අළුතින් සරසවියට ඇතුළුවන සිසුන් විනය ගැන්වීමටත්, නිසි හැසිරීම් ඉගැන්වීමටත්, ඔවුන්හට නායකත්ව හැකියාවන් ලබා දීමටත් අත්‍යවශ්‍ය වන බවය. හමුදා භටයන් විනය ගරුක පිරිසක් බැව් පවසමින් සරසවි ප්‍රවේශය අපේක්‍ෂාවෙන් සිටින සිසුන් හමුදා බැරැක්ක තුළ දමා එම පුහුණුව ලබා දීම මැනවයි ආණ්ඩුව තර්ක කරයි. මෙම පුහුණු වැඩසටහන මගින් ගැටළු රැසක් නිර්මාණය කරනු ලබන බැවින් එය පැති කීපයක් ඔස්සේ විශ්ලෙෂණය කොට එමගින් උද්ගත කරනු ලබන අර්බුද සහ උසස් අධ්‍යාපනයට අත්වන ඉරණම මහජනතාවට පෙන්වා දීම අපගේ යුතුකමකි.

පළමුව අප විමසා බැලිය යුත්තේ මෙම පුහුණුව අවශ්‍යද යන්නයි. සිවිල් පුරවැසියන් පිරිසක් තෝරාගෙන ඔවුන්හට යුද හමුදා ආකල්ප සහ විනය ලබා දීමට ක්‍රියා කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. සමාජයක් වෙහෙස දැරිය යුත්තේ යුද හමුදා මානසිකත්වයෙන් මිදී නිදහස් සිවිල් සමාජයක් ලෙස සංවර්ධනය වීමටය. සිවිල් සමාජයේ ආරක්‍ෂාව පිළිබඳ ගැටළු පැනනගින විට පමණක් හමුදාවල සේවය අවශ්‍යවේ. යුද හමුදාව පුහුණු කර ඇත්තේ අණට කීකරු යස් සර්, නෝ සර්, ඕකේ සර් යන උප සංස්කෘතිය පිළිපදින පිරිසක් ලෙස විනා නිදහස් චින්තනයක් දරණ පිරිසක් ලෙස නොවේ. එහෙත් විශ්ව විද්‍යලවලට අවශ්‍යවන්නේ ඇයි, මොකක්ද, කොහෙද, කොහොමද, කව්ද යනුවෙන් සියළුදේ පිළිබඳව ප්‍රශ්න කරන, විමසා බලන, හාරා අවුස්සන, එකගවන, එකග නොවන, ස්වාධීන මත දරණ, විචාරශීලී මිනිසුන් කොට්ඨාසයකි. විශ්ව විද්‍යාලවලින් බිහිකළ යුතු වන්නේ ද එවැනි උපාධිධාරීන් පිරිසකි. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය වඩාත් නිදහස් වන පරිදි විවෘත කරනු ලැබුවේ යස් සර්, නෝ සර්, ඕකේ සර් යනුවෙන් පවසන අනුගාමිකයන් පිරිසක් බිහිකිරීම පිණිස නොව තාර්කික, බුද්ධිමත්, විචාරශීලී නායකයන් මිනිසුන් බිහිකිරීම පිණිසය.

යුදහමුදාව යනු ආකෘතික වශයෙන්ම අනුගාමිකයන්ගෙන් සැදුම් ලත් දැඩි නීති රීති පද්ධතියකට යටත් ආයතනයකි. එබැවින් එය සිවිල් ආයතනයක් නොවේ. සිවිල් සමාජයට හමුදාවෙන් ඉගෙන ගතයුතු පාඩමක් නැත. එය උප සංස්කෘතියක් පමණි. යුද හමුදාවට සිවිල් සමාජයෙන් උගත යුතු පාඩම් බොහෝය. හමුදා භටයන්හට සිවිල් සමාජයේ විවිධ පැතිකඩ ගැන ඔවුන්ගේ අවබෝධය වර්ධනය කර ගැනීමට දේශකයන් ගෙන්වා දේශන පවත්වන අවස්ථා තිබේ. අනෙක් අතට හමුදාව විනය අතින් අගතැන්පත් ආයතනයක් ලෙස පැවසීම යුක්ති සහගත නැත. මක් නිසාද යත් ඇතැම් හමුදා නිළධාරීන් හා සෙබළුන් පහරදීම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, හොරකම් යනාදියට තදබල ලෙස සම්බන්ධ බවට ජන මාධ්‍ය ඔස්සේ දිනපතා වාර්තා වීමයි. මෙම පුහුණු වැඩ සටහන ආරම්භ කරන ලද දිනයේම හමුදා භටයන් විසින් ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට මහ මග දී පහර දුන් බවට වාර්තාවිය. එතෙක් මෙතෙක් අප රටේ බිහිවූ ඉහළම පන්තියේ හමුදාපති ද විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සිරගත කරනු ලැබ තිබේ. හුමුදාව ඒ තරමටම විනය ගරුක නම් මිලිටරි පොලිසියක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවක් ද නැත. ඒ අනුව සිවිල් සමාජයට හමුදාවෙන් උගතමනා විනයක් නැත්තේය. හමුදා විනය සිවිල් සමාජයට ආරෝපණය කළහොත් සිවිල් සමාජයක් නැතිව යන්නේය.

දෙවැනුව, රටවැසියන් 22,000ක් මේ පුහුණුවෙන් පසු නායකයන් බවට පත්වේ. නායකත්ව න්‍යායන් රැසක් තිබුණ ද අප තරයේම විශ්වාස කරන්නේ නායකත්වය අවස්ථාවෝචිත සංසිද්ධියක් මිස සැලසුම්ගත කටයුත්තක් නොවන බවය. යුද හමුදාවේ නායකත්ව තනතුරුවලට පත්වීමේ ක්‍රමවේදය සිවිල් සමාජයේ පුද්ගලයකු නායකත්වයට පත්වීමේ ක්‍රමවේදයට වඩා හාත්පසින්ම වෙනස්ය. සිවිල් සමාජයේ නායකයා තෝරාගනු ලබන්නේ අනුගාමිකයන්ගේ විශ්වාසය මත ය. නායකත්වය යනු බලවතකු විසින් උඩින් ගෙනවිත් දෙන දෙයක් නොවේ. අනෙක් අතට සමාජයකයට නායකයන් විශාල පිරිසක් අවශ්‍ය වන්නේ ද නැත. නායකයන් අවශ්‍ය වන්නේ කුමක් සඳහාද යන ගැටළුව ද තිබේ. නායකත්වය ගෙන ක්‍රියා කිරීමට සුදුසු පුද්ගලයන් සෑම කලකම සිටී. සමාජ අවශ්‍යතාවන්ගේ ස්වභාවය අනුව සුදුසු නායකයන් ඉබේ මෙන් මතුවේ. ඔවුන් සතු ගුණාංග අධ්‍යයනය කොට ඒවා නායකත්ව ලක්‍ෂණ නමින් පොත්පත්වල සඳහන් කරනු ලැබේ. ඒවා කටපාඩම් කිරීමෙන් හෝ සරඹ කිරීමට පුහුණුවීමෙන් නායකයන් බිහිවන්නේ නැත. නායකයන් බහුල වූ කල නායකත්ව පොරය හටගෙන සිවිල් සමාජය අවුල්වේ.

රූපවාහිනී මාධ්‍යයට පැමිණි හමුදා නිළධාරියකු මෙම නායකත්ව පුහුණුව පිළිබඳ විස්තර කරන විට හැඳි ගෑරොප්පු පාවිච්චිය, කමිස කලිසම් මැච් කිරීම, ටයිපටි පැළඳීම, පාවහන් පැළඳීම යනාදී කාරණා සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදෙන බැව් ඔහු පැවසීය. අප අඳුරේ අතපත ගෑ යුතු නැත. උපාධියක් ලබාගෙන රැකියාවක් සොයාගැනීමේ පරමාර්ථයෙන් පැමිණෙන දුප්පත් දෙමාපියන්ගේ දරුවන්ගෙන් අප විශ්ව විද්‍යාල පිරී පවතී. ඔවුහු සරසවියේ ආපන ශාලාවලින් දුප්පත් කෑම කා දුෂ්පොෂිත වෙති. කමීස කලිසම් හිගය පිරිමසා ගැනීමට ඒවා ගජේ ගසති. අවුරු තුනක් හතරක් විශ්ව විද්‍යාල උප සංස්කෘතිය තුළ ජීවත්වීමෙන් පසු ඔවුහු සිවිල් සමාජට එක්වෙති. අප සමාජයේ නායකත්වය හොබවන බහුතරය උපාධිධාරීහු වෙති. එසේ නම් ඔවුන්හට අමුතුවෙන් නායකත්වය පුහුණු කරන්නේ කුමකට ද? උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ සිටින ඉහළම නායකයන් තුන් දෙනෙකි. ඔවුන්ගෙන් දෙදෙනෙක් සිර දඬුවම් ලැබූවන්ය. අනෙක් නායකයා රැකියාවෙන් නෙරපන ලද තැනත්තෙකි. නායකයන් වීම සඳහා ඔවුන් හමුදා කඳවුරු තුළ පුහුණුව ලබා විනීත වූයේ ද නැත. පුද්ගල විනය සහ නායකත්වය අතර කිසිදු සම්බන්ධතාවක් නොමැති බැව් ඔවුන් විසින් ඔප්පුකොට ඇත්තේය. සෑම සමාජයකටම අත්‍යවශ්‍ය වන්නේ බුද්ධිමත් අනුගාමිකයන් පිරිසකි. බුද්ධිමත් අනුගාමිකයන් නොමැති රටවල මෝඩ නායකයන් බිහිවේ. මෝඩ නායකයෝ මෝඩ අනුගාමිකයන් තළා පෙළා බලයේ සිටිති, රටේ සම්පත් කොල්ල කති, නීතිය අතට ගනිති, බුද්ධිමතුන්හට අවමන් කරති, අනාගත නායකයන්ට කාලකන්නියා කියති. අප රටට අවශ්‍යව ඇත්තේ නායකයන් නොව බුද්ධිමත් පුරවැසියන් පිරිසකි.

තුන්වැනුව, මෙම නායකත්ව පුහුණු වැඩ සටහන කා වෙනුවෙන් ද යන ගැටළුව පැනනගී. උසස් පෙළ ඉහළින් සමත් 22,000ක පිරිසක් මේ සඳහා තෝරාගෙන සිටිති. එහෙත් ඔවුන් තවම සරසවිවලට තෝරාගෙන හෝ සරසවිවල ලියාපදිංචි වී හෝ නැත. සරසවි සිසුවකු බවට පත්වීමට නම් ඔහු හෝ ඇය යම් විශ්ව විද්‍යාලයක පීඨයක ලියාපදිංචිය ලබා ගත යුතුය. සරසවියට ඇතුළුවීමේ වරම් ලැබුව ද එසේ ලියාපදිංචිය ලබා නොගන්නා පුද්ගලයන් සරසවි සිසුන් ලෙස පිළිනොගැනෙන අතර විශ්ව විද්‍යාලය ඔවුන් සමග කිසිදු බැඳීමක් හෝ ගනුදෙනුවක් පවත්වන්නේ නැත. සරසවියට සිසුන් තෝරාගැනීමේ කාර්යය ප්‍රතිපාදන කොමිසම විසින් සිදු කළ පමණින් උසස් පෙළ සමතුන් උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගැනෙන පිරිසක් වන්නේ නැත. උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු එම සිසුන්ගේ පසල් ජීවිතය කෙළවර වන්නේය. එවිට ඔවුන් අධ්‍යාපන අමාත්‍යංශයට අයත් පිරිසක් ද නොවන්නේය. දැන් මේ පුහුණුවට තෝරාගෙන සිටින පිරිස අධ්‍යාපන අමාත්‍යංශයට අයත් පිරිසක් හෝ උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අයත් පිරිසක් හෝ නොවෙති. පුහුණුව ලබාදීමට 22,000ක පිරිසක් තෝරාගෙන සිටින අතර සරසවි වරම් ලබාදී ඇත්තේ 20,700 දෙනෙකුටය. මෙම පිරිසෙන් ද 10%ක් වත් විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වන්නේ නැත. උසස් අධ්‍යාපන අමාත්‍යංශයට මහා භාණ්ඩාගාරයෙන් මුදල් අනුමත කරනුයේ ප්‍රතිපාදන කොමිසම යටතේ පවතින ආයතනවල වැඩසටහන් ක්‍රිියාත්මක කිරීම පිණිසය. දැන් මෙම පුහුණුව ලබන පිරිස කිසිසේත්ම සරසවි සිසුන් නොවෙති. එසේ නම් උසස් අධ්‍යාපනය සඳහා රජයෙන් වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන කොමිසමේ බල අධිකාරිය යටතට නොගැනෙන හුදු පුරවැසියන් පිරිසක් පුහුණු කිරීමට වියදම් කිරීමේ නෛතික බලයක් නැත. මේ පිළිබඳව මහජනතාව ප්‍රශ්න කළ යුතු අතර මෙම වියදම් පිළිබඳ නෛතික පදනම අධිකරණය මගින් අභියෝගයට ලක් කළ යුතුව ඇත. රාජ්‍ය මූල්‍ය අපචාර සිදුකොට ඇත්නම් ඔවුන්ට දඬුවම් දිය යුතුය. අපගේ මතය වන්නේ උසස් අධ්‍යාපන ආයතනයක ලියාපදිංචිය නොලද පිරිසකට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රතිපාදන මගින් වැඩසටහන් පැවැත්වීම ඉඳුරාම රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවලට පටහැනි බවත් එය නීති විරෝධී හිතුවක්කාර ක්‍රියාවක් බවත්ය.

හතරවැනුව, මෙම පුහුණු වුඩසටහන මගින් උසස් අධ්‍යාපන ආයතනවලට ප්‍රතිපාදනය කොට ඒ ඒ ආයතනය විසින් වියදම් කිරීමට තිබෙන මුදල් ඉන් පිටතට ගෙන තිබේ. එසේ පිටතට ගෙන තිබෙන්නේ ද සුළු පටු මුදලක් නොව රුපියල් ලක්‍ෂ 1250 ක මුදලකි. අප රටේ උසස් අධ්‍යාපන ආයතන උග්‍ර සම්පත් හිගයකට මුහුණ දී සිටින බැව් කව්රුත් දන්නා කරුණකි. දේශන ශාලා හිගය, ආචාර්ය මණ්ඩල හිගය, රසායනික ද්‍රව්‍ය හිගය, පර්යේෂණාගාර හිගය, පරිගණක හිගය, නේවාසිකාගාර හිගය යන නන් වැදෑරුම් ගැටළු අප හමුවේ පවතී. එසේ තිබියදී උසස් අධ්‍යපන අමාත්‍යංශයට කිසිදු සම්බන්ධකමක් නැති පිරිසක් සඳහා මෙවැනි ධනස්කන්ධයක් නිර්ලෝභී ලෙස වැය කිරීමට පෙළඹී සිටින්නේ කුමක් නිසාද? ඇමැතිවරයා සහ ප්‍රතිපාදන කොමිසම විසින් අවධානය යොමු කළ යුතුව තිබෙන්නේ උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රාග්ධන සම්භාරය දියුණු කොට ඒ තුළින් දිගු කාලීන වශයෙන් අධ්‍යාපනයේ ගුණාත්මක තත්වය දියුණු කිරීම කෙරෙහිය. එවැනි වැඩපිළිවෙලවල් සඳහා මුදල් නැතයි කියමින් සති තුනක වැඩ සටහනක් වෙනුවෙන් මෙතරම් ධනස්කන්ධයක් වැය කිරීම සැකයට තුඩු දෙන කරුණකි. ප්‍රතිපාදන කොමිසම මගින් විශ්ව විද්‍යාලවලට මුදල් ප්‍රතිපාදනය කළ විට එම මුදල් වැය කරනුයේ අදාළ විශ්ව විද්‍යාලය විසිනි. එහෙත් දැන් සිදුවන්නේ අමාත්‍යංශය විසින්ම මුදල් වැය කිරීමයි. සුමාන තුනක් වැනි කෙටි කාලයක් තුළ භෞතික විගණනයකට භාජනය කිරීමට නොහැකි වන සේ මෙම මුදල හුදෙක්ම පරිභෝජන වියදම් ලෙස වැය කොට නිමා කරනු ලබයි. මෙම ගණන් හිලව් පිළිබඳ විනිවද භාවය මෙන්ම මිනුම්වල නිවැරැදි භාවය ද නිසි ලෙස විගණනයට භාජනය විය යුතුය. තවද මිල දී ගැනීම්වල දී කොමිස් මුදල් ගෙවීම ව්‍යාපාරික ලෝකයේ පොදුවේ දක්නට ලැබෙන ලක්‍ෂණයකි. විශ්ව විද්‍යාලවලට ප්‍රතිපාදනය කිරීමට තිබෙන මුදල් ඉන් පිටතට ගෙන මහා පරිමාණයෙන් ක්‍ෂණිකව වියදම් කර දැමීමේ අතුරු පරමාර්ථ තිබේදයි පරීක්‍ෂාවෙන් සිටීම අප සැමගේ වගකීමකි.

පස්වැනුව, මෙසේ මුදල් පිටතට ගෙන ක්‍ෂණිකව වියදම් කිරීමේ කලාව උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් තිරසාර ලෙස කරගෙන යාමට අරඅඳින බවක් පෙනෙන්නට තිබේ. ඒ සිසුන්හට ලැප්ටොප් පරිගණක ලබා දීමට සැලසුම් කිරීම ඔස්සේය. සිසුන්හට ලබාදිය යුත්තේ දැනුම මිස භාණ්ඩ නොවේ. භාණ්ඩ සහ ගොඩනැගිලි යනාදී භෞතික සම්පත් ලබාදිය යුත්තේ ඒ ඒ විශ්ව විද්‍යාලවලට ය. එම සම්පත් යොදාගෙන නිසි අධ්‍යාපනයක් සිසුන්හට ලබාදීම විශ්ව විද්‍යාලවල කාර්යභාරය වේ. පාඨමාලා විශ්ව විද්‍යාලවලින් පිටතට ගෙන විවිධ නම් යොදා සරසවි සිසුන්හටම ඉගැන්වීමේ අනතුර පිළිබඳ මෙම පුහුණුව සංඥාවකි. සරසවි සිසුන්ගේ ඇතැම් හැකියාවන් දියුණු කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශයට උවමනාවේ නම් විශ්ව විද්‍යාල තුළදීම ඒ සඳහා වැඩපිළිවෙලක් සැකසිය යුතුය. හමුදා කඳවුරු තුළ දැන් ලබාදෙන පුහුණුව සඳහා ද සම්පත් දායකයන් ලෙස යොදවා ඇත්තේ විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලම නොවේද?

සයවැනුව, නවක වධය පුම්බමින් එය විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ එකම ගැටළුව ලෙස උළුප්පා දැක්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය ක්‍රියාකරනු දක්නට ලැබේ. එසේ කරනුයේ නායකත්ව පුහුණුව සාධාරණීකරණය කිරීමට ය. නවක වධය යනු අප සමාජයේ එක් තනි සිද්ධියක් පමණි. එය පාසල් තුළ ද හමුදා කඳවුරු තුළ ද දක්නට ලැබෙන්නකි. වධ දීම ශ්‍රී ලංකා සමාජයේ සුවිශේෂ ලක්‍ෂණයකි. නවක වධය නිතී විරෝධී හා මානව විරෝධී ක්‍රියාවක් බව අප තරයේ පිළිගන්නා කරුණකි. එය විශ්ව විද්‍යාලයෙන් පමණක් නොව සමාජයේ සෑම ආයතනයෙන්ම මුලිනුපුටා දැමීමට නිසි උපාය මාර්ග සෙවිය යුතුය. එහෙත් නායකත්ව පුහුණුව මගින් මෙම අරමුණ ඉටුකර ගත හැකිවේ ද? විශ්ව විද්‍යාල තුළ සිදුකරන නවක වධයට වඩා අතිශයින්ම පිළිකුල් සහගත සහ ජුගුබ්සා ජනක නවක වධයකට හමුදාවලට බැඳෙන නවකයන්හට යටත්වීමට සිදුවන බැව් මා අසා තිබේ. එවැනි ජුගුබ්සා ජනක වදදීම් ගැන මෙහි ලියා සරසවි සිසුන් ඒවාට පෙළඹවීමට මා කැමැති නැත. නවක වධයට මුහුණ දී එය පිටු දැකීමට ගුරුකම් ගැනීමට සිසුන් යොමු කොට ඇත්තේ යුද හමුදාවටය. නවක වධයට පිළියමක් ලෙස හමුදා කඳවුරු තුළ නායකත්ව පුහුණුවක් ලබාදීම සාධාරණීකරණය කිරීම කොතරම් බොළඳ හා අහේතුක ද යි තේරුම් ගැනීමට තව දුරට විස්තර උවමනා නැත.

හමුදා කඳවුරු තුළ නායකත්ව පුහුණුව ලද යුද හමුදා මානසිකත්වයෙන් පිරිපුන් නායක නායිකා මානව මානවිකාවන් විද්‍යා ශිල්ප කලා හැදෑරීමට සරසවියට පියනගන දිනය වැඩි ඈතක නැත. ඔවුහු සුපුරුදු පරිදි ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ අණට කීකරුව සපත්තු වෙනුවට සෙරෙප්පු ද, රට ඇඳුම් වෙනුවට චීත්ත ගවුම් ද හැඳ, හිස තෙල් නාවා කොණ්ඩා ගොතා, ආභරණ ආයිත්තම් ගලවා පියා බයාදු ලෙස හැසිරෙත් ද? නොඑසේ නම් කලිසමට ගැළපෙන කමීස ද, ඊට ගැළපෙන ටයිපටි හා දිස්න ගහන සපත්තු පැළඳ හිස පුරා ජෙල් ගා සුවඳ විලවුන් ගල්වා නහවා දැළි රැවුළු සුසිනිදුව බා කොඳු ඇට පෙළ කෙලින් සිටුවා අපි ජ්‍යෙෂ්ඨ උත්තමයන්ට පමණක් නොව මොනම ජගතෙකුටවත් බිය නොවම්හ, බයාදු නොවම්හයි ගුගුළත් ද? එසේ කී කල්හි ජ්‍යෙෂ්ඨ උත්තම උත්තමාවියෝ තොමෝ කැණහිලුන් සේ බියව හිස් ලූ ලූ අත දුවත් ද? ආශ්චර්ය ජනක ලෙස නවක වධය ඉතිහාස පොතේ සටහන් වනු ඇත්ද? මේවා දැක ගැනීමට තව ඉතිරිව ඇත්තේ මාස දෙක තුනක් පමණි. වෙනදාටත් වඩා මෙවර නවක වධය දරුණු වන්නට ඉඩ ඇත. උසස් අධ්‍යාපන ඇමැතිවරයා විසින් මේ වන විටත් ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ නිල අල්ලා එඩි වඩවා කුලප්පු කොට ඇත. ඔවුන් ජේවීපී කාරයන් ලෙස හංවඩු ගසා ඇත. ජේවීපී කාරයන් මැඩළීම පිණිස නායකත්ව පුහුණුව උපයෝගී කරගන්නා බැව් සපථ කොට ඇත. නවක වදය නවතාලිය නොහැකි නම් සියළු විශ්ව විද්‍යාල වසා දමන බවට ප්‍රකාශ කොට ඇත. මේ ගමනේ කෙළවර විශ්ව විද්‍යාල වසා දැමීම නම් නායකත්ව පහුණුවේ ඵලය කිම යි අප ඔහුගෙන් ඇසිය යුතු නොවේ ද? ඔහුගේ අභිමතය පරිදි වියදම් කළ රුපියල් ලක්‍ෂ 1,250 ආපසු රජයට ගෙවා දමන ලෙස බලකර සිටිය යුතු නොවේ ද?

උසස් අධ්‍යාපනයේ හෙට දවස ඃ
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය කෙරෙහි කලක් තිස්සේ බලපා තිබෙන ගැටළුවලට නිසි විසඳුම් දීමට රජය දිගින් දිගටම අපොහොසත් වීම නිසා දැන් එය සෑම අතින්ම උග්‍ර අතට පත්ව තිබේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පෙළඹීම එම ගැටළුවේ එක් පැතිකඩක් පමණි. ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට තරම් ප්‍රමාණවත් වන පහසුකම් විශ්ව විද්‍යාල තුළ නොවීම එහි තවත් පැත්තකි. දේශන ශාලා, පර්යේෂණගාර, ආචාර්ය මණ්ඩල කාමර, පොත්පත්, සඟරා, පුස්ථකාල, ආපන ශාලා, නේවාසිකාගාර වැනි බොහෝ අවශ්‍යතා සම්බන්ධයෙන් පැවැති අඩුපාඩු ඉවසා සිටීමට ආචාර්වරුන් ද සිසුන් ද පෙළඹී සිටියේ අප රට යුද්ධයකට මුහුණ දී සිටි බැවිනි. දැන් යුද්ධයක් නැති රටක ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා පහසුකම් ලබා දීමට ඇති රජයේ නොහැකියාව ඉවසා සිටීමට කිසිවකු සූදානම් නැත. උපාධිධාරීන්හට රජයේ රැකියා සැපයීමට රජය බැඳී නොසිටිය ද උපාධිධාරීන්හට සුදුසු යම්කිසි රැකියාවක් ඉක්මනින් ලබාගැනීම පිණිස වාතාවරණයක් සැකසීම රජයේ වගකීමකි. රජයේ එම අඩුපාඩුව උපාධිධාරීන් පිට පටවා ඔවුන්ට ඉංග්‍රීසිය ද, පරිගණකය ද, නායකත්වය ද, නුහුරු බැවින් රැකියා නැතයි මුසා බස් පැවසීමේ ක්‍රමානුකූල වැඩපිළිවෙළක් මගින් ඔවුන් හෙම්බත් කොට ආත්මාභිමානය සිඳලූ පිරිසක් බවට පත්කොට ඇත. වැටුප් ප්‍රමාණවත් නැතයි කියන විට ද, රැකියා නැතයි කියන විට ද, පහසුකම් නැතයි කියන විට ද, රජය අනුගමනය කරන එකම පිළිවෙත වී තිබෙන්නේ ජනමාධ්‍ය ඔස්සේ බැණ වැදීම පමණි. එය ගැටළු විසඳීමේ ක්‍රමවේදය නොව ගැටළු උග්‍ර කිරීමේ ක්‍රමවේදය යි. පැනනැගෙන කුමන ගැටළුවට වුවද උග්‍ර කර ගැනීමට හපන් රජයක් විශ්ව විද්‍යාල අර්බුදය උග්‍ර කර නොගන්නා බැව් කාටනම් කිවහැකි ද?

ආචර්යවරුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණ හොත් අප රටේ උසස් අධ්‍යාපනයේ කඩාවැටීම ඉක්මන්වේ. යුද්ධයක් පැවැති සමයේ රටට ආදරය කරන දක්‍ෂ ආචාර්යවරු රට අතහැර නොගොස් අගනා සේවයක් කළේය. ඔවුන් රටතුළ රැඳී සිටයේ ජනරංජන දේශබන්ධු නම්බුනාම ලබාගැනීම පිණිස නොව අනාගත පරපුරට දැනුම ලබාදීමටය. දැන් ඔවුන් රජයෙන් සාධාරණ ලෙස සැලකීමක් අපේක්‍ෂා කරයි. රජය එය මගහැර සිටියහොත් අප රට තුළ ඉතිරීවී සිටින දක්‍ෂ හා ප්‍රවීණ ආචාර්යවරුන් සියළු දෙනාම පාහේ විදේශීය විශ්ව විද්‍යාලවලට බැඳීම නොවැලක්විය හැකිය. අනාගත පරපුරට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට තරම් ජාත්‍යන්තර මට්ටමේ දැනුමක් ඇති කිසිවකු අප රටේ ශේෂ නොවනු ඇත. නොලෙජ් හබය පුස්සක් වනු වැළක්විය නොහැකිවේ. එවිට දැනටත් වඩා දැනුම සම්බන්ධයෙන් පිටරටවල සරණ පැතීමට සිදුවනු ඇත. අප රටේ ඇති නානාවිධ ගැටළු හෝ ඒවාට විසඳුම් හඳුනාගැනීමට පර්යේෂකයන් ඉතිරි නොවනු ඇත. රට තුළ ඉතිරිවන ආචාර්යවරු මින් පසු ස්වේච්ඡා තනතුරු කිසිවක් භාර නොගනු ඇත. එවිට සරසවි තුළ අධ්‍යයපන පරිපාලනය නැවත පිහිටුවීමේ අර්බුදයට මුහුණ දීමට සිදුවේ. ස්වේච්ඡා තනතුරු පුරප්පාඩු වූ විට නව පාඨමාලා, අධ්‍යයන අංශ, පර්යේෂණ ප්‍රකාශන යනාදිය කිසිවක් නිර්මාණය කිරීමට පිරිසක් ඉදිරිපත් නොවේ. පශ්චාත් උපාධි පාඨමාලාවල ඉගැන්වීම් ද ඇණහිටී. එය රටේ අනෙකුත් අංශවලට අවශ්‍ය දැනුම හා පුහුණුව අඩාළ කරවීමට බලපායි. දක්‍ෂ ආචාර්යවරු රඳවා තබා ගැනීමට නොහැකිවන විට විශ්ව විද්‍යාල එකතැන පල්වේ.

ජ්‍යෙෂ්ඨ හා නවක සිසුන් අතර මත භේද හා පරතරයක් නිර්මාණය කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙහෙස දරණ බැව් පෙනේ. මෙය ඉදිරි කාලය තුළ සිසු ගැටුම් උග්‍ර කරවීමට හේතු වේ. සිසු ගැටුම් උග්‍ර වන විට සරසවි වසා දමන බවට අමාත්‍යවරයා පාරම්බාමින් සිටී. සරසවි වසා දැමීම මගින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය සිය සමාජ වගකීම ඉටුකිරීමට සැරසේ! ජේවීපී දේශපාලනය විශ්ව විද්‍යාලයෙන් අතුගා දැමීම උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ යටි අරමුණක් ලෙස පෙනේ. මේ මගින් පොදු පෙරමුණු දේශපාලනය සරසවි තුළ ස්ථාපිත කිරීමට මාන බලනවා වන්නට පුළුවන. මේ මගින් සරසවි තුළ දේශපාලන ගැටුම් උග්‍ර කරවා සිසුන් ඇණකොටා ගැනීමට පොළඹවනු ඇත. පුදුමයට කාරණය නම් අදාළ ඇමැතිවරයා සරසවි සිසුවකු ලෙස සිටිය දී සිය මුළු කාලයම ගත කළේ කොමියුනිස්ට් පක්‍ෂයේ ශිෂ්‍ය නායකයකු ලෙස සහ එම පක්‍ෂය ජයග්‍රහණය කරවීමටය. ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ජේවීපිය දිනවීමට ගරිල්ලා බටයකු ලෙස ක්‍රියාකළ අයකුයයි අප සමග ප්‍රසිද්ධියේ පවසා ඇත. එහෙත් දැන් ඔවුන්ගේ මත පරස්පර විරෝධී ය. ජේවීපියටද, යූඇන්පියට ද වෙනත් පක්‍ෂවලට ද දේශපාලනය කිරීමේ අයිතිය තිබිය යුතුය. සරසවිය තුළ දේශපාලනය තහනම් කරන්නේනම් එය සෑම පක්‍ෂකටම එකසේ බලපෑ යුතුය. ඒ ඒ පක්‍ෂයට වාසි වන අයුරින් ක්‍රියා කිරීමෙන් සිසු ගැටුම් උග්‍ර වනවා මිස සංහිදියාවක් හටගන්නේ නැත.

උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍ර තුළ හටගෙන තිබෙන අර්බුද අධ්‍යාපන අමාත්‍යංශයේත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේත් අදූරදර්ශී ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයකි. මේ රටේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයත් ප්‍රතිපාදන කොමිසමත් මෑතක් වන තෙක් පාලනය වූයේ උගත්, වැදගත් හා දක්‍ෂ ඇමැතිවරුන් හා සභාපතිවරුන්ගෙනි. ඔවුන් සිය දේශපාලන මතවාදවලට වඩා උසස් අධ්‍යාපනයේ වැදගත්කම හඳුනාගෙන සිටි පිරිසක් වූහ. විශ්ව විද්‍යාල පරිපාලනයට සෘජු ලෙස සම්බන්ධවීමට විශ්ව විද්‍යාල පණත මගින් ඔවුන්හට බලතල පවරා නොමැති බව දැන සිටියහ. උසස් අධ්‍යාපනය මගින් කාලකන්නි බිහිනොකරන බැව් දැන සිටියහ. ඔවුහු දූර දර්ශී ලෙස උසස් අධ්‍යාපනය සැලසුම් කළහ. එමගින් දියුණුවන ලෝකය සමග අප රට සම්බන්ධ කිරීමට කල්පනා කළහ. එහෙත් වර්තමාන නිළධාරීන් උසස් අධ්‍යාපනයේ වලිගයෙන් අල්ලා ගෙන සිටී. උසස් අධ්‍යාපනය කුමක් සඳහා මෙහෙය විය යුතු ද යන්න නොදැන නොවැදගත් මාතෘකා බදාගෙන සිටී. නායකත්ව දක්‍ෂතා නොමැති කම නිසා රැකියා හිගය නිර්මාණයවේය යි විශ්වාස කිරීමට තරම් අමනෝඥ වී සිටී. අචාර්වරුන්ගේ සේවය පැය ගණනින් මැනීමට පෙළඹී සිටී. විශ්ව විද්‍යාලවල ප්‍රධානතම ප්‍රශ්නය නවක වධය බැව් රටට පෙන්වා දෙමින් සිටී.

මේ පිරිස අධ්‍යාපනයට වඩා දේශපාලනය අදහති. මුදල් හරි හම්බ කිරීම ප්‍රිය කරති. තනතුරු ආභරණ ලෙස සලකා සතුටුවෙති. එබැවින් ඔවුන් උසස් අධ්‍යාපනය දකින්නේ දේශපාලනය හා සැප යන කාච දෙක යෙදූ කණ්නාඩියෙනි. බලන බලන සෑම තැනම ඔවුන්ට පෙනෙන්නේ දේශපාලනය සහ සැප සම්පත් ය. අධ්‍යාපනයේ අනාගතය පෙනෙන්නේම නැත. මහින්ද චින්තනයේ දිගුව මගින් අප රට ගෝලීය කේන්ද්‍ර පහකින් ආඪ්‍ය කරන බවට ප්‍රතිඥා දී තිබේ. එයින් එකක්වත් අප රටට කිසිදා සාධනය කර ගැනීමට නොහැකිය. යටත් පිරිසෙයින් අප වෙහෙස වි යුත්තේ දැනුම කේන්ද්‍ර කොට ගත් සංවර්ධන ක්‍රියා දාමයකට අවතීර්ණ වීමට ය. උසස් අධ්‍යාපනය අද මුහුණ දී තිබෙන ඛේදජනක ඉරණම විසින් එම අපේක්‍ෂාව ද සුන් කරනු ලබන්නේය. කාම්බෝජ ජාතික කණ්ෂ්ඨ කථිකාචාර්යවරයකු වන බොරන් මහතා එරට විශ්ව විද්‍යාල පිළිබඳ දැක්වූ අදහසක් මතකයට නැගේඃ පොල්පොට් පාලනය විසින් කාම්බෝජ විශ්ව විද්‍යාලය සමාජ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් ලෙස නොපිළිගත්තේය, ආචාර්යවරුන් ද සිසුන් ද දහස් ගණනක් මරා දැම්මේය, පොල්පොට් පැරදුණේය, බුද්ධිමතුන්ගෙන් තොර විශ්ව විද්‍යාල ශේෂ වූයේය, බුද්ධිමතුන්ගේ හිගය රටට දැනුනේය, එරට සංවර්ධන ක්‍රියාදාමය දශක කීපයකින් ප්‍රමාද වූයේය, විදේශීය මහාචාර්යවරු විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමට සිදුවූයේය. මෙතැන් සිට ශ්‍රී ලංකාවේ බුද්ධිමතුන් අධික ලෙස රට හැරයාම නොවැළැක්විය හැකි බැවින් ද, ආචාර්යවරුන් ස්වේච්ඡා තනතුරු ප්‍රතික්‍ෂේප කිරීම නොවැළක්විය හැකි බැවින් ද, ශිෂ්‍ය ගැටුම් උග්‍ර වීම නොවැළැක්විය හැකි බැවින් ද, කාම්බෝජ විශ්ව විද්‍යාලයට අත් වූ ඛේදජනක ඉරණම හෙට දවසේ අප රටේ විශ්ව විද්‍යාලයට අත්නොවේයයි කිව හැකි ද?

Iruresa, 12/06/2011