විශ්ව විද්‍යාල අධ්‍යාපනය

සරසවි ඇදුරු අරගලය: උගත හැකි පාඩම්

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2011 ජූලි කලාපයේ ‘දේශපාලන සටහන‘ ලිපිය

රජය සංවර්ධනයට ප‍්‍රමුඛතාව දී ඇත. ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම එහි ප‍්‍රධාන අංගයකි. එහිලා රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අතිශය වැදගත් තැනක් හිමි විය යුතුය. අපගේ තරුණ පරපුරේ දක්ෂතමයන් රැකියාවලට සහ වෘත්තීන්වලට පුහුණු කිරීමත්, ඔවුන් අතරින් විද්‍යාඥයින්, බුද්ධිමතුන්, කලාකරුවන්, ශාස්ත‍්‍රඥයන් සහ දාර්ශනිකයන් යනාදීන්ද බිහි කිරීමේ කටයුත්තත් අප පවරා ඇත්තේ ඒවාටය.

එහෙයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරු තම වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කරන අරගලය මාස දෙකකට ආසන්නව දිග්ගැස්සෙන්නට හැර තිබීම මෙරට සංවර්ධනයට කිසිසේත් හිතකර නොවේ. දේශපාලනිකව මෙහි අවසාන ප‍්‍රථිපලය සමස්ත විශ්වවිද්‍යාල ආචාර්ය ප‍්‍රජාව සහ රජය අතර උග‍්‍ර පසමිතුරු බවක් වර්ධනය වීම විය හැකිය’

මෙම ගැටළුව ඇති වීමට හා දිග්ගැස්සීමට හේතු වූ කරුණු කිහිපයකි. ආචාර්යවරුන් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට පිවිසුණේ ඒ පිළිබඳ කලක් තිස්සේ උසස් අධ්‍යාපන බලධාරීන් සමඟ කළ සාකච්ඡා අසාර්ථක වීමේ ප‍්‍රථිපලයක් ලෙස ඇතිවූ කලකිරීම හේතුවෙනි. ඔවුන්ට තම ඉල්ලීම් රජයේ ඉහළට ගෙන යාමට ඇති අවස්ථාව නොයෙකුත් අයුරින් ප‍්‍රමාද කළෝ උසස් අධ්‍යාපන බලධාරීහුය. ආචාර්යවරුන්ගේ අරගලය ආණ්ඩු විරෝධී කුමන්ත‍්‍රණයක් බව රජයට කියා සිටි පිරිසත් මීට වගකිව යුතුය.

උසස් අධ්‍යාපන බලධාරීන්, නිළධාරීන් සහ පරිපාලකයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට දැක්වූ ප‍්‍රතිචාරය ද ඊට හේතු විය. ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු- කරන බව කියැවුණු වැරදි පිළිබඳ සමස්ත ආචාර්ය සමූහයටම අවමන් වන ආකාරයෙන් උසස් අධ්‍යාපන බලධාරීන් හා නිළධාරීන් ප‍්‍රසිද්ධියේ කළ ප‍්‍රකාශ තම වෘත්තියේ ගෞරවය රැකගනු වස් අරගලය වටා එ්කරාශී වන්නට සමස්ත ආචාර්ය ප‍්‍රජාවම පෙළඹවීය. උසස් අධ්‍යාපන ප‍්‍රතිපාදන කොමිසම අයුතු ලෙස ආචාර්යවරුන්ට දඬුවම් පැමිණවීමට තර්ජනය කළාය. විශ්වවිද්‍යාල තුළ ආචාර්ය සංගම් ක‍්‍රියාකාරීන් තනි තනිව නොයෙකුත් අයුතු බලපෑම් වලට යටත් කරනු ලැබිණි. හුදු ස්වේච්ඡාවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු යෙදී සිටින තනතුරු වලින් ඉවත් වීමට ඔවුනට ඇති අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා තහවුරු කර තිබියදී එම ඉල්ලා අස්වීම් තහනම් කෙරෙන අතුරු තහනම් නියෝග ඉල්ලා උසාවි යන ලදී. මේ සියල්ලේ අවසාන ප‍්‍රථිපලය වුයේ ආචාර්යවරුන්ගේ අරගලය තව තවත් ශක්තිමත් වීමයි. වැටුප් සඳහා කෙරෙන ඉල්ලීම, වෘත්තියේ ගෞරවය රැුක ගැන්ම සඳහා ප‍්‍රබල සටනක් බවට වර්ධනය වීමයි.

ආචාර්යවරුන් කියා සිටින්නේ තම විශ්වවිද්‍යාලවලින් බිහි කෙරෙන දක්ෂතමයන් ආචාර්යවරුන් ලෙස බඳවාගෙන, ඔවුන් රඳවා ගැනීමට නම් ඔවුන්ට තම සුදුසුකම් ඇති සමාන්තර වෘත්තීය ශ්‍රේණීන්ට ගෙවන හා සමාන වැටුප් ලැබිය යුතු බවයි. නැතහොත්, සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම කඩා වැටීමේ බරපතල අවදානමක් ඇතැයි ඔවූහු කියති. ආචාර්යවරුන්ගේ තර්කය, ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයක් කළ යතු බවට ‘‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’’ කරන යෝජනාවට ගැළපෙයි. දැනුම් කේන්ද්‍රස්ථානයක් වර්ධනය සඳහා අවශ්‍ය මූලික කොන්දේසිය වන්නේ අපගේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ගුණාත්මක බවින් ඉහළට නැංවීමයි. ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඉහළ වැටුප් අත්‍යාවශ්‍යය.

මෙහිළා රජය ගත යුතු ස්ථාවරය වන්නේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සුවිශේෂ කණ්ඩායමක් ලෙස සළකා, ඔවුන් ලක් වී ඇති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා වන ඉල්ලීම ප‍්‍රමුඛතා පදනමක් මත සලකා බැලීමයි.

ආචාර්යවරුන් වැටුප් වැඩි කිරීම සඳහා කරන ඉල්ලීම් රජය සලකා බැලිය යුත්තේ, උසස් අධ්‍යාපනය තනිකරම වෙළඳපොළ තර්කනයට යටත් කොට, එය හුදු මූල්‍ය වටිනාකමක් ඇති දෙයක් ලෙස සැළකීමට කෙරෙණ යෝජනා මහින්ද චින්තනයට එරෙහිව යන බව වටහා ගනිමිනි. රටට අවශ්‍ය උසස් මානව සම්පත පුහුණු කිරීමේදී යෙදී සිටින විශ්වවිද්‍යාල ආචාර්ය ප‍්‍රජාව ආර්ථිකයට ඵලදායී දායකත්වයක් සපයන්නේ නැතැයි කිව හැක්කේ කුමන ආර්ථික න්‍යායකට අනුකූලවද?

සමානාත්මතා මූලධර්මය පදනම් කොට ගෙන මෙතෙක් ලංකාවේ ක‍්‍රියාත්මක වූ රාජ්‍ය අංශයේ උසස් අධ්‍යාපනය පහළ පන්තීන්වල ජනයාගේ දූ පුතුන්ට සමාජ සංචලතාව සඳහා තිබූ ප‍්‍රධාන හිණිමඟ විය. අද සමාජයේ සියලු ක්ෂේත‍්‍රවල ඉහළ තැන්වල වැජඹෙන 56 පරපුරේ සාමාජිකයන්ට එතැනට ඒමට අවස්ථාව ලැබුණේ මෙම අධ්‍යාපනය තුළිනි.

උසස් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, නිළධාරීන්, විශේෂඥයන්, තාක්ෂණවේදීන් හෝ කළමනාකරණවේදීන්ගේ මැදිහත් වීමෙන් එක් රැයින් විසඳිය හැකි තවත් හුදු තාක්ෂණික හෝ කළමනාකරණ ප‍්‍රශ්නයක් නොවේ. ඒ පිළිබඳව සමාජයේ සියලූ කොටස් අතර ප‍්‍රබල ජාතික සංවාදයක් ඇති කළ යුතුය. එමෙන්ම උසස් අධ්‍යාපනය තනි අමාත්‍යංශයකට අයත් විෂයක් ලෙස නොව ජාතික වැදගත්කමක් ඇති විෂයක් ලෙස සළකා සමස්ත රජයේ අවධානය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකිරීමේ ඉල්ලීම කෙරෙහි යොමුවිය යුතුය.

අවසන, මෙම ප‍්‍රශ්නය මෙලෙස දිග්ගැස්සීම රජය විශවවිද්‍යාල ආචාර්යවරුන් අතර අප‍්‍රසාදයට ලක් කිරීමේ අදහසින් සිතා මතා කළ දෙයක් දැයි සලකා බැලීම වටී. උසස් අධ්‍යාපනය නවීකරණය සඳහා අදාල බලධාරීන් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ ඇමරිකානු තානාපති කාර්යාලයේ බලවත් සහාය ලැබෙන්නේ යැයි කියැවී තිබිණි. මෙම ප‍්‍රතිසංස්කරණ චන්ද්‍රිකා කුමාරතුංග පාලන තන්ත‍්‍රය සමයේ ඇරඹි, තාරාද මැල් මෙහෙයවූ ලෝක බැංකු අනුග‍්‍රහය ලත් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලම දිගුවකි. උසස් අධ්‍යාපනය තනිකරම මිල්ටන් ෆී‍්‍රඞ්මන්ගේ ‘‘තෝරා ගැනීමට ඇති නිදහස’’ යනුවෙන් නම් කෙරෙන වෙළඳපොළ තර්කනයට යට කිරීමෙන් මෙරට දිළිඳු ගැමි ජනතාවගේ උසස් අධ්‍යාපනයට දක්ෂ දූ පුතුන්ට සමාජ සංචලතාවට තිබූ මාවත අහුරා දමා ඔවුන් සංචාරක හෝ සේවා කර්මාන්තයේ ආවතේවකරුවන් බවට සීමා කිරීමෙන් මෙරට ගැමි ජනතාව තුළ මේ රජය කෙරෙහි විරෝධයක් ඇති කිරීම මෙම ප‍්‍රතිසංස්කරණ වල අරමුණක් විය හැකිද? ආචාර්යවරුන්ගේ අරගලය දිග්ගැස්සෙන තැනට සැලැස්වීම තුළින් සමස්ත විශ්වවිද්‍යාල ප‍්‍රජාව රජය කෙරෙහි බිඳවීම, ජනතාව රජය කෙරෙහි බිඳවීමේ මෙම ව්‍යාපාරයේ පළමු පියවර විය හැකිද?

පුරවැසියා විසිනි

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )