සමාජීය ඉංජිනේරුකරණය

සමාජීය ඉංජිනේරුකරණයේ දේශපාලනය

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව තවත් මැතිවරණ වටයක ඉහළ ජයක් ලැබුවේය. එබඳු ආණ්ඩුවක් ජනතාව තමා කෙරෙහි තබා ඇති විශ්වාසයට තමන්ම වළ කපා ගන්නා ක‍්‍රියාමාර්ගයන්ට දිගින් දිගටම යොමුවන්නේ මන්ද යන්න කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුය.

මහජනයා අතර ආණ්ඩුවට ඇති ප‍්‍රසාදය හීන වීමට හේතුවන ආකල්පයක් යුද්ධය නිමාවීමෙන් පසු ගෙවුණු පසුගිය කාලය තුළ ආණ්ඩුව ගත් ක‍්‍රියාවලීන් ගණනාවක් තුළ හඳුනාගත හැකි වෙයි.

එය නම්, ජනතාව සහ රටට බලපාන ප‍්‍රතිපත්ති සම්පාදනයේදී සහ ක‍්‍රියාත්මක කිරීමේදී ඒවායින් මහජනයාගේ ජීවිතවලටත් රටේ අනාගතයටත් ගෙන දෙන හානිකර ඵලවිපාක වැදගත් කොට නොසැළකීමේ ආකල්පයයි. එය ප‍්‍රකාශ වන සිදුවීම් විමසා බලන කළ දැකිය හැකි පොදු රටාවක් මතු වෙයි. එම රටාව මෙසේය. ප‍්‍රතිපත්්ති සම්පාදනයේදී සහ ක‍්‍රියාත්මක කිරීමේදී, ඉන් ආසන්නව බලපෑමට ලක්වන ජනතාවගේ මෙන්ම රටේ සෙසු පුරවැසියන්ගේද අදහස් නොවිමසා තීරණ ගැනෙයි. ඒවා ක‍්‍රියාත්මක කිරීමට රාජ්‍ය බලය යොදා ගැනෙයි. මහජනයා අතරින් ඊට විරෝධය එල්ල වන විට එය නොසලකා තම ක‍්‍රියා මාර්ගයේ දිගටම නිරත වෙයි. විරෝධය උග‍්‍ර වුවහොත් මැර බලය හෝ රාජ්‍ය බලය අයුතු ලෙස හෝ යොදා ගනිමින් විරෝධය මර්ධනයට යොමු වෙයි. නමුත් ඒ සියල්ල තිබියදීත් විරෝධතා දිගින් දිගටම පැවතුණහොත් තම ක‍්‍රියාමාර්ගය වෙනස් කරන්නට හෝ එය නවතා දමන්නට ආණ්ඩුව පෙළඹෙයි.

ආණ්ඩුකරණයේ මෙම රටාව ප‍්‍රකාශයට පත්කෙරෙන සිදුවීම් බොහොමයක් ආණ්ඩුවේ ‘‘සංවර්ධන’’ වැඩ පිළිවෙලට පොදුවේත් එහි ප‍්‍රධාන යොමුවක් බවට පත්ව ඇති සංචාරක කර්මාන්තය වර්ධනයටත් එනිසාම නාගරික ‘‘සංවර්ධනය’’ටත් සුවිශේෂව බැඳී පවතී. මෙම සිදුවීම් සළකා බලන කල පෙනී යන්නේ ජන දිවි පෙවෙතට, රටේ අනාගතයට බලපාන ප‍්‍රතිපත්ති තීරණ ගැනීමේදී ඒ පිළිබඳ මහජන මතය කල් තබා විමසීමේ ප‍්‍රතිපත්තියක් ආණ්ඩුවට නොමැති බවයි. Continue reading සමාජීය ඉංජිනේරුකරණය

Advertisements

විශ්ව විද්‍යාල අධ්‍යාපනය

අපේ ජයග‍්‍රහණ අපේ පරාජයන් හා ඉදිරි කි‍්‍රයා මාර්ග
වෘත්තීය ක‍්‍රියා මාර්ග අත්හිටුවීම පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ නිවේදනය

2011 මාර්තු 15 වැනිදා එක් දින සංකේත වැඩ වර්ජනයකින් ආරම්භ කර මැයි 9 වැනි ස්වේච්ඡා තනතුරුවලින් ඉල්ලා අස් වී, ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල සේවය කරන ආචාර්යවරුන්ට රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ආරක්ෂා කිරීමට උපකාර වන අන්දමේ ගෞරවනීය වැටුපක් ලබා ලබා දෙන මෙන් ඉල්ලා දියත් කරන ලද වෘත්තීය කි‍්‍රයා මාර්ගය අත්හිටුවීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුව 2011 ජූලි මස 21 වැනි දින රැුස් වී තීරණය කළේය.

මෙසේ වෘත්තීය ක‍්‍රියා මාර්ගය අත්හිටුවීමේ ප‍්‍රධාන හේතුව වූයේ අධ්‍යයන පාඨමාලාවලට දීර්ඝ කාලීන බාධා වීම් නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඇති වන අපහසුව මිස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සුජාත ගැටලූ හා දුක්ගැනවිලි විසඳාලීම උදෙසා බලධාරීන් ප‍්‍රමාණවත් ලෙස මැදිහත් වී යැයි ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට හැඟීයාම නොවේ. මීට පෙර අවස්ථාවලදී මෙන් නොව මෙවර ආචාර්යවරුන්ගේ ඉල්ලීම් ඉක්මන් අවධානය හා විසඳුම් අවශ්‍ය වන හදිසි ජාතික කාරණයක් සේ නොසැලකූ අදාළ බලධාරීන්ගේ නිශේධනීය හා ඇල්මැරුණු ප‍්‍රතිචාරය නිසා වෘත්තීය ක‍්‍රියා මාර්ග කාලය අසාමාන්‍ය ලෙස දිග් ගැස්සීම පිළිබඳ අපි කණගාටු වෙමු. කෙසේ වෙතත් අපගේ ඉල්ලීම්වල ඉතිරි කොටස් ඉදිරි මාසවලදී ලබා දීමට බලධාරීන් පියවර නොගන්නේ නම් අපගේ අරගලය නැවත ආරම්භ කිරීමට අප කැපවී සිටින්නේය යන්න මෙසේ මෙම අරගලය තාවකාලිකව අත්හිටුවීමේ අර්ථයයි. එසේම අපගේ විශ්ව විද්‍යාල පද්ධතිය රැකගැනීමට හා දියුණු කිරීමට තීරණාත්මක කාරණයක් වන උසස් අධ්‍යාපනය සඳහා ප‍්‍රමාණවත් ආයෝජනයන් ලබා ගැනීම හා අධ්‍යාපනික නිදහස වෙනුවෙන් තවදුරටත් කැපවී සිටිමු.

වෘත්තීය ක‍්‍රියාමාර්ග නවතා සති දෙකක් ගත වූ පසුත් විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට බරපතල ලෙස බාධා එල්ල වූයේද එය අනවශ්‍ය ලෙස සංකීර්ණ වූයේද වෘත්තීය ක‍්‍රියා මාර්ග නිසා ස්වේච්ඡා තනතුරුවලින් ඉල්ලා අස් වූ ආචාර්යවරුන්ට නැවත පත්වීම් ලිපි නිකුත් කිරීම බොහෝ උපකුලපතිවරුන් විසින් ප‍්‍රතික්ශේප කෙරුණු නිසාය. මෙම ප‍්‍රතික්ශේප කිරීමට හේතුව එසේ ඉල්ලා අස්වූ ආචාර්යවරුන්ට නැවත පත්වීම් ලිපි දිය නොහැකි බවත් ඒ තනතුරුවලින් ඔවුන් ඉල්ලා අස් වූ ඒ තනතුරුවල ඔවුන් විසින්ම නැවත වැඩ ආරම්භ කළ යුතු බව උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුවේදී ගත් තීරණයක්ය. මෙම තීරණය ආචාර්යවරුන්ට තමන් කැමති විටෙක ස්වේච්ඡුා තනතුරුවලින් ඉල්ලා අස්වීමට 1978 විශ්ව විද්‍යාල පනතින් සුරක්ෂිත කර ඇති අයිතිය සාහසික ලෙස උල්ලංඝනය කිරීමක් පමණක් නොව මෙම අයිතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂිත අයිතියක් ලෙස පැහැදිලිව හඳුනා ගන්නා උපරිමාධිකරණ තීරණයකටද එරෙහිව යාමකි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුවේ තීරණය කොන්දේසි විරහිතව ප‍්‍රතික්ශේප කරන අතර එම කමිටුවේ අවධානය දැනටත් බෙහෙවින් ප‍්‍රකට උපරිමාධිකරණ විනිශ්චය වෙත නැවත වරක් යොමු කරන්නටද අපේක්ෂා කරයි.

උපකුලපති හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව විසින් ගත් මෙම හිතුවක්කාර තීරණය නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය එම කමිටුවට මතක් කර දෙන්නට කැමති වන්නේ එම කමිටුව යනු විශ්ව විද්‍යාල පනතින් කිසිම නීතිමය බලයක් හෝ නෛතික පිළිගැනීමක් නොලබන හුදු තත්කාර්ය කමිටුවක් පමණක් නිසා උසස් අධ්‍යාපන ආයතන පිළිබඳ නීතිමය වලංගුතාවක් ඇති තීරණ ගැනීමට එම කමිටුවට බලයක් නැති බවයි. එසේම වෘත්තීය ක‍්‍රියා මාර්ග පැවති කාලය තුළ එම කමිටුව දැක්වූ දැඩි නිහ`ඩතාවත් අපගේ ගැටලූ විසඳීමෙහිලා සාධනීය භූමිකාවක යෙදීමට එම කමිටුව අසමත්වීමත් ගැන අපගේ දැඩි අප‍්‍රසාදය පළ කරමු. පසුගිය ජනාධිපතිවරණයේදී එක්තරා අපේක්ෂකයෙකුට අනුග‍්‍රහය දැක්වීමට මෙම කමිටුව දැක්වූ හදිසි කුලප්පුවද 1978 ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවට කළ විවාදාත්මක 18 වැනි සංශෝධනයට සහාය පළ කරමින් මෙම කමිටුව නිකුත් කළ ප‍්‍රකාශද සැලකිල්ලට ගන්නා කල අපගේ වෘත්තීය අරගලයේදී මෙම කමිටුවේ නිශ්ශබ්දතාව තේරුම් ගැනීම තවදුරටත් දුෂ්කර වෙයි. එසේම අපගේ වෘත්තීය ක‍්‍රියා මාර්ගවල උපරිම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාව හෙවත් දරුස්මාන් වාර්තාවට චෝදනා කරමින් දීර්ඝ ප‍්‍රකාශයක් නිකුත් කිරීමට උපකුලපති හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුවට කාලය සොයා ගත හැකි වුවද ආචාර්යවරුන්ගේ ප‍්‍රශ්නයට පිළිතුරක් දීම අනවශ්‍ය ලෙස පමා කරමින් විශ්ව විද්‍යාලවල කටයුතු දීර්ඝ කාලයක් පුරා සම්පූර්ණයෙන් අඩාල කළ රජයේ ප‍්‍රමාදය ගැන ප‍්‍රසිද්ධියේ කිසිවක් කීමට අපොහොසත්වීම අපගේ අවධානයට ලක් විය යුත්තකි. එවන් විද්වත් පන්දම්කාරකම් හා බඩගෝස්තරකම් අදාළ පුද්ගලයන්ට ලජ්ජාවක් පමණක් නොව සමස්ත විශ්ව විද්‍යාල ප‍්‍රජාවම මහජනතාව ඉදිරියේ අපකීර්තියට පත් කිරීමකි. පොදු වැදගත්කමකින් යුතු කාරණාවලදී නායකත්වය පතා මහජනයා බලන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දෙස බැවිනි. සියලූ බාධක හමුවේ ධෛර්යසම්පන්න ලෙස හා ගෞරවනීය ලෙස ක‍්‍රියා කරමින් අපට ආදර්ශය හා ආනුභාවය සැපයූ උපකුලපතිවරුන් කිහිපදෙනෙකු හැර අනික් උපකුලපතිවරුන් හා අධ්‍යක්ෂකවරුන් තමන් විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බවත් තමන් හොබවන ගෞරවනීය තනතුරුවල සේවය කිරීම පිණිස තාවකාලිකව පත් වී සිටින බවත් සම්පූර්ණයෙන්ම අමතක කිරීම කණගාටුවට කරුණකි. තමන් බැඳී සිටින කාර්ය වන අධ්‍යාපනික අවශ්‍යතා හා නිදහස ආරක්ෂා කිරීමට ආචාරධාර්මිකවද නීතිමය වශයෙන්ද අසමත් වීම මගින් මෙම උපකුලපතිවරුන් හා අධ්‍යක්ෂවරුන් අවිඥානකව හෝ සවිඥානකව එක් වී සිටින්නේ නිදහසින් පසු ලංකාවේ අපට ඇති විශිෂ්ටතම උරුමයන්ගෙන් එකක් වන රාජ්‍ය උසස් අධ්‍යාපනය නොසලකා හැරීමට නැත්නම් විනාශ කිරීමට කැස කවන බලවේග සමග අතිනත් ගැනීමටය. තමන්ගේ අවංකභාවය ආරක්ෂා කරගනිමින් විශ්ව විද්‍යාල පනතේ ගැබ්වන මූල ධර්ම ආරක්ෂා කිරීමට හුදෙකලාවම සටනක නිරත වූ උපකුලපතිවරුන්ට අපගේ ආචාරය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

විශ්ව විද්‍යාලවල වර්තමාන තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දුෂ්කර තීරණයක් ගත්තේය. ඒ තීරණය වූකලි සෑම විශ්ව විද්‍යාලයකම ස්වේච්ඡුා තනතුරුවලින් ඉල්ලා අස්වූ ආචාර්යවරුන්ට ඕනෑම අවස්ථාවක ස්වේච්ඡුා තනතුරුවලින් ඉල්ලා අස්වීමේ නිදහස ඉහත සඳහන් අයිතිය පිළිබඳ මූල ධර්මයට හානි නොවන සේද වෘත්තීය ක‍්‍රියා මාර්ග පැවති කාලය තුළ අදාළ ස්වේච්ඡුා තනතුරු සම්බන්ධයෙන් වන වගකීම් ඒ ඒ විශ්ව විද්‍යාලවල බලධාරීන් බාරගන්නේ නම් එම තනතුරුවල රාජකාරීන් නැවත බාරගන්නා ලෙස ආචාර්යවරුන්ගෙන් ඉල්ලා සිටින ලෙස සියලූ විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන්ගේ සමිතිවලින් ඉල්ලා සිටීමටය. විශ්ව විද්‍යාල අචාර්යවරුන්ට තමන් දරන ස්වේච්ඡුා තනතුරුවලින් පූර්ව දැනුම් දීමකින් තොරව ඉල්ලා අස්වීමේ නිදහස පිළිබඳ විශ්ව විද්‍යාල පනතින් ආරක්ෂිත මූල ධර්මයට පටහැනිව අනාගතයේදී ඕනෑම බලධාරියෙකු ක‍්‍රියා කළහොත් එවැනි උල්ලංඝනයන්ට වෘත්තීය ක‍්‍රියා මාර්ග මගින් විරෝධය පෑමටත් අධිකරණය මගින් නීතිමය ක‍්‍රියා මාර්ග ගැනීමටත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කැප වී සිටින බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

සමහර උපකුලපතිවරු හා විශ්ව විද්‍යාල බලධාරීහු වෘත්තීය ක‍්‍රියා මාර්ග පිළිබඳ ශිෂ්ට සම්පන්න සම්මතය උල්ලංඝනය කරමින් ස්වේච්ඡා තනතුරුවලින් ඉල්ලා අස්වූ ඇතැම් ආචාර්යවරුන් නැවත එම තනතුරු සඳහා පත් නොකොට තනි තනි ක‍්‍රියාධරයන්ට කරදර කිරීම හා ගොදුරු කර ගැනීමේ ක‍්‍රියාමාර්ග උනුගමනය කරමින් සිටිති. ස්වේච්ඡා තනතුරුවලින් ඉල්ලා අස්වූ සියලු ආචාර්යවරුන් වහා නැවත එම තනතුරු සඳහා පත් කරන ලෙසත් තනි තනි ක‍්‍රියාධරයන්ට කරදර කිරීම හා ගොදුරු කර ගැනීමේ ක‍්‍රියාමාර්ග වහා නවත්වන ලෙසත් එසේ නොකළ හොත් එවැනි උල්ලංඝනයන්ට එරෙහිව වෘත්තීය ක‍්‍රියා මාර්ගයට බැසීමට අප පසුබට නොවන බවත් අවධාරණය කිරීමට කැමැත්තෙමු. Continue reading විශ්ව විද්‍යාල අධ්‍යාපනය