නාගරික සංවර්ධනය

පරමාදර්ශී නගරය: සංචාරකයන්ට සහ පොහොසතුන්ට පමණක් ද?
– පුරවැසියා විසිනි

දැන් නගර සභා, මහ නගර සභා ඡන්ද කරලියට පැමිණ තිබේ. මෙම ඡන්ද පැවැත්වෙන්නේ නාගරික සංවර්ධනය පිළිබඳ නව උනන්දුවක් ලංකාවේ ඇති වී තිබෙන අවස්ථාවක ය. මෙම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ වන්නේ ආර්ථික සංවර්ධනය උදෙසා සංචාරකයන් වැඩියෙන් අද්දා ගැනීම ය. ඒ සඳහා නගර අලංකරණයට කොළඹ නගර සභාව මේ දිනවල යොමුවී තිබේ. ඊට ම සම්බන්ධව නගරයේ සමාජීය ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් එහි පරිසරයේ විවිධ වෙනස් කම්, මැදිහත්වීම් ඇති කෙරෙමින් පවතී. මෙයින් සමහරක්, උදාහරණයක් වශයෙන් රථවාහන ගමනාගමනය ප්‍රතිසංවිධානය, යුද්ධය සමයේ ඇරඹී දැන් වැඩි දියුණු කෙරෙන ඒවාය. පදික වෙළෙඳුන් ඇතුලු ස්වයං රැකියාවල යෙදෙන්නන් යළි ස්ථාන ගත කිරීම, “අනවසර“ පදිංචි කරුවන්, අඩු ආදායම් ලාභී ජනකොටස් නැවත පදිංචි කිරීම වැනි අනෙක්වා, හැමදාමත් නගර සංවර්ධන න්‍යාය පත්‍රයන්හි තිබී ඇති, යළි යුද්ධයෙන් පසු පණ ගැන්වුණු ඒවා ය. නගරයේ කටයුතු ප්‍රවීක්ෂණය සඳහා රූපවාහිනී කැමරා සවිකිරීම වැනි තවත් ඒවා ආරක්ෂක දෘෂ්ටි කෝණයෙන් ක්‍රියාත්මක වූ අලුත්ම වැඩ පිළිවෙල වෙයි. මේ හා සමාන වැඩ පිළිවෙලවල් රටේ වෙනත් ප්‍රධාන නගර වලත් අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වෙමින් පැවතී ඇත.

මේ සියලු වෙනස් කම් පසුගිය කාලය තුළ සිදුවූයේ, කොළඹ නම්, මහජන ඡන්දයෙන් පත්වූ නගර සභාව, එක්කෝ යුද්ධය නිසා, නැතහොත් දේශපාලන වියවුල් නිසා නිසි ලෙස ක්‍රියාත්මක නොවූ තත්ත්වයක් තුළය. දැන් කලකට පසු යලිත් වරක් ඡන්දයෙන් තම නගර සභාව පත් කරගැනීමේ අවස්ථාව කොළඹ ඇතුලු රට පුරා නගර ගණනාවක ජනතාවට ලැබී තිබේ.

මෙය, යුද්ධය සමයේ හීන වී ගිය අපගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් යළි ගමේ පමණක් නොව නගරයේ ද පණ ගන්වන්නට ලැබෙන අවස්ථාවකි; හදිසි නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීම ට ආණ්ඩුව තීරණය කොට ඇති හෙයින් වසර තිහක් පමණ කාලයකට පසු හදිසි නීතියෙන් තහංචි නොවැටුණු පරිසරයක තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උරගා බලන්නට ජනතාවට ලැබෙන අවස්ථාවකි.

හදිසි නීතිය අහෝසි කළේයැයි ආණ්ඩුව කියා සිටියත් විපක්ෂය කියා සිටින්නේ සැප්තැම්බර් 06 වැනිදා නිතුත් කෙරුණු අති විශේෂ ගැසට් පත්‍රයට අනුව සියලුම හදිසි නීති වරප්‍රසාද සහ රෙගුලාසි ඒ අයුරින්ම ක්‍රියාත්මක කෙරෙන බවයි. ඒ අනුව මහජන රැස්වීම්, විරෝධතා, උද්ඝෝෂණ, ශිෂ්‍ය අරගල, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වැලැක්වීමේ බලය ත්‍රිවිධ හමුදා සෝදිසි කිරීම් සඳහා වන බලය ද අත් අඩංගුවට ගැනීම සඳහා වුණ බලයද මේ අති විශේෂ ගැසට් පත්‍රය අනුව තවමත් ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබේ. ආණ්ඩුව, හදිසි නීතිය ඉවත් කිරීම සැබෑ බවට පත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සාමය තහවුරු කරන බවට පොරොන්දුවක් ජනතාවට ලබා දිය යුතු අතර අති විශේෂ ගැසට් පත්‍රය මගින් එම අයිතීන් උල්ලංඝනය කිරීමට ඇති ඉඩකඩ වහා ඉවත් කළ යුතුය.

රැස්වීම් වලට සහභාගීවීම, පෝස්ටර් ඇලවීම, අත් පත්‍රිකා බෙදීම මගින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දැන් පූර්ණ වශයෙන් ජනතාවට හිමිවිය යුතුය. ඒ සඳහා අවකාශ සැළසීම නගර අලංකරණය නාමයෙන් හෝ වුව සීමා නොකළ යුතුය. මන්ද යත් නගර අලංකරණය දිගුකාලීනව රැකෙන්නටත් ප්‍රජාතන්ත්‍රවාදය උපරිම වශයෙන් රැකීම මූලික කොන්දේසියක් වන හෙයිනි. පෝස්ටර් ඇලවීමට නීතියෙන් ඉඩ ඇත්තේ ඒ සඳහා නියම කරන ලද අවකාශ වල නම් පසුගිය කාලය තුළ නගරයේ හීන වී ගිය එබඳු අවකාශ පුලුල් කළ යුතුය. පෝස්ටර් ඇලවීම, අත් පත්‍රිකා බෙදීම සහ වෙනත් ආකාරයෙන් තම දේශපාලන පණිවිඩ ජනයා අතරට ගෙනයන පුරවැසියන් ව්‍යාජ චෝදනා මත අත් අඩංගුවට ගෙන ඔවුනට හිරිහැර කිරීම ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කිරීමට නීතියේ බලය අයුතු ලෙස යොදා ගැනීමකි. ‘දැන්වීම් වලින් පිට, කොටුව‘ සංචාරක සිතට සනීපාරක්ෂිත නගරයක් පිළිබඳ චිත්‍රයක් මැවිය හැකි නමුදු, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරැකීමෙන් පිට ප්‍රජාතන්ත්‍රවාදයට සනීපාරක්ෂාවක් නැත. නගරයේ පුරවැසි මනසේ මාවත ආලෝක කෙරෙන්නට නම් බිඳ හෙලිය යුත්තේ ගඩොලින් සිමෙන්තියෙන් බැඳි තාප්ප නොව ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්ට එරෙහිව බැඳුණු බිය වැද්දීමේ, බලහත්කාරයේ, නීතිය අයුතු ලෙස යොදා ගැනීමේ මහා ප්‍රාකාරයන් ය.

එසේම, මෙම නගර සභා මැතිවරණ පැවැත්වීමෙන් උදාවන අවස්ථාව අප අපගේ නගර පාලන කටයුතු යළිත් නගර වැසියන් ගේ, පුර-වැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගැනීම සඳහා යොදාගත යුතුය. පසුගිය කාලය තුළ නගරයේ කෙරෙමින් පැවතී ඇති සංවර්ධන කටයුතු පිළිබඳ සමාජයෙන් එල්ල වී ඇති ප්‍රබල විවේචනයක් වන්නේ මෙම කටයුතු නගරයේත් රටේත් පුරවැසියනට කල්තබා දැනුම් දී, ඔවුන්ගේද අදහස් සැළකිල්ලට ගෙන අදාල සියලු ජනකොටස් වල එකඟත්වයෙන් ඒවා ක්‍රියාත්මක නොකිරීම ය; විනිවිද පෙනීමකින් යුතුව සහ වගකිව යුතු බව සහිතව ක්‍රියානොකිරීමය. දේවල් ‘කළ පසු කීම‘ නැතහොත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ පසු ඒ ගැන ජනතාවට දැනගන්නට ලැබෙන්නට සැළැස්වීම බොහෝ කටයුතුවලදී ආණ්ඩුවේ පිළිවෙත වී ඇත. ‘කළ පසු කීම‘ සහ ‘කියා කිරීම‘ අතර ඇති වෙනස පෙන්නුම් කරන්නේ තමන් ඡන්දයෙන් බලයට පත්කළ ජනතාව ඔවුනගේ ජීවිත සහ රටට පොදුවේ බලපාන කරුණු වලදී විශ්වාසයට ගන්නට කොතෙක් දුරට ආණ්ඩුව සූදානම්ද යන්නයි.

එසේ මහජන පුරවැසි මතය විමසී නම්, නගර අලංකරණය සඳහා අතිවිශාල වියදමක් දැරීමෙන් නගරයේ පොහොසතුන් වසන කලාපවලට මහත් ඵල ලැබී ඇතත් මූලික මාර්ග පහසුකම් පවා අවම මට්ටමෙන්වත් නිසි ලෙස නඩත්තු නොවන කලාප නගරයේ කොපමණ ඇත්දැයි, එයින් අසාධාරණය පිළිබඳ කොතරම් ප්‍රබල හැඟීමක් දෙවනුව කී පුරවැසියන් අතර පහළවන්නේදැයි නගර සැලසුම්කාර, ඉංජිනේරු මහත්වරුන්ට දැන ගැනීමට හැකිවනු ඇතිව තිබුණි. නගරයේ රථවාහන ගමනාගමනය ප්‍රතිසංවිධානය ගැන තමන්ගේම වියදමින් වාහන පදවන්නන්ගේ සහ බසයෙන් ගමන් යනෙන සාමාන්‍ය ජනයාගේ, රෝගීන්ගේ, වයස් ගත වූවන්ගේ, ගැබිණි මවුන්ගේ සහ කුඩා දූ දරුවන්ගේ අදහස් විමසා බැලීනම් මෙය ඔවුන් කොතරම් ආර්ථික සහ කායික දුෂ්කරතාවකට පත්කරන්නේද යන්න එම මහත්වරුන්ට දැන ගැනීමට හැකිවනු ඇතිව තිබුණි. පදික වෙළෙඳුන්, ස්වයං රැකියාවල යෙදෙන්නන්, “අනවසර“ පදිංචි කරුවන්, අඩු ආදායම් ලාභී ජනකොටස් කුණු මාලු සේ ඔවුන්ගේ වෙළඳ කලාපයන්ගෙන්, වාසස්ථානවලින් බලයෙන්, ආයුධ එල්ල කොට ඉවත් කරන්නට යොමු නොවී ඔවුන් සමග මෙම යෝජනා ක්‍රම පිළිබඳ සාකච්ඡා කරන්නට පෙළඹුනේ නම්, ඔවුන්ද ජීවිතයට ඇලුම් කරන, දූ දරු නෑදෑයන්, හිත මිතුරන්, උදවු පදව් ඇති අසල් වැසියන් ඇති, ලඟ ඇති පාසලට යන, එහි මිතුරු මිතුරියන් ඇති, අහල පහල රැකියාව කරන, මහත් වැර වෑයමෙන් ගොඩ නගාගත් ජීවිත ඇති අය බවත්, විවිධ ආණ්ඩු, නගර සභා පාලනයන් විසින් විවිධ පොරොන්දු දී ඔවුන්ගේ ඡන්ද ලබා ගත් අය බවත් දැන ගන්නට එම මහත්වරුන්ට දැන ගැනීමට හැකිවනු ඇතිව තිබුණි. ඔවුන් තමන්ගේ පරම්පරානුගත ඉඩම් වලින් ඉවත් කොට නගරයේ වෙනත් ස්ථාන වල පදිංචි කරන්නේ නම් ඔවුන්ට පිළිගත හැකි සාධාරණ විසඳුම් ඉදිරිපත් කිරීම සහ නීත්‍යානුකූල අයිතිය ඇති දේපළවලට පවත්නා වෙළඳ පොල මිලට වන්දි ගෙවීම ලොව පිළිගත් සම්මතය බව දැනගනු ඇතිව තිබුණි. මාර්ග නීති උල්ලංඝනය කරන්නන් සහ අපරාධකරුවන් ඇල්ලීමට නගරයේ පුරවැසියන් සදාකල් ප්‍රවීක්ෂණය සඳහා රූපවාහිනී කැමරා සවිකිරීම පෙන්නුම් කරන්නේ සවයං විනයක් ගොඩනගාගැනීමට සදාචාර මඟ පෙන්වීමක් නොමැති පිරිහුණු සමාජයක් බවත් ඔවුනට දැනගත හැකිවනුව තිබුණි.

පරමාදර්ශී නගරය වන්නේ හුදු ආර්ථික වර්ධනයේ දෘශ්ටියෙන් බලා සංචාරකයන්ට සහ පොහොසතුන් වෙනුවෙන් අලංකරණය කෙරෙන, අඩු ආදායම් ලාභීන් නොමිනිසුන් ලෙස සලකා ඔවුන් මහජන දැක්මෙන් හෝ නගරයෙන්ම ඉවත් කිරීමෙන් සනීපාරක්ෂණය කළ කෘතිම තැනක් නොවේ.

සැබෑ පරමාදර්ශී නගරය වන්නේ පොහොසතුන් දුප්පතුන්ට සරණ වන, එකිනෙකා සමග උරෙ‘නුර ගැටෙමින් ජීවත් වන, සියලු දෙනා එකට රැස්වී කතා බස් කොට එකඟත්වයෙන් තීරණ ගෙන ක්‍රියාත්මක කරන, හුදු ආර්ථික වර්ධනය නොව සියලු පුරවැසියන්ගේ පොදු යහපත මුල්කොට ගෙන පවත්නා පුරවරයයි.

මේ මැතිවරණයේදී අප ක්‍රියාකළ යුත්තේ එබඳු පරමාදර්ශී නගර ගොඩනගන්නට ආරම්භයක් තැබීමටය.

“ශක්තිය“ පුවත් පතේ 2011 සැප්තැමිබර් කලාපයේ “දේශපාලන සටහන“

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )