නාගරික සංවර්ධනය

m10-sri1-480

සංවර්ධනය ද? ප්‍රජාතන්ත්‍රවාදය ද? දෙකම!
– පුරවැසියා විසිනි
ඉදිරියේ ඇති නාගරික ඡන්දය, සංවර්ධනය සහ නගරයේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් අතර ගැටුමක ජය පරාජය තීරණය කෙරෙන සටනක් බවට පත්වන්නේ නම් එය නගරයේත් රටේත් යහපතට හේතු නොවේ. සංවර්ධනය පිළිබඳ දේශපාලනඥයන්ගේ, සැලසුම්කරුවන්ගේ සහ ඉංජිනේරුවන්ගේ අරමුණු නගරයේ පුරවැසි අපේක්ෂාවන් සමඟ ගැටීමට මූලික හේතුව නාගරික සංවර්ධන සැළසුම් සහ ක්‍රියාත්මක කිරීම් පුරවැසියන්ගේ සහභාගීත්වයෙන් සහ එකඟත්වයෙන් කළ යුතු බවට අවබෝධයක් මුලින් කී කණ්ඩායමට නොතිබීමයි. මේ බව නාගරික සංවර්ධනය සම්බන්ධයෙන් එකී කණ්ඩායම ගත් හැම ක්‍රියාමාර්ගයකදීම මෙන් ප්‍රකාශ විය. ඔවුන්ගේ විශ්වාසය නගරය සංවර්ධනය කළ යුතු ආකාරය තමන් මැනවින් දන්නා හෙයින් ඒ සඳහා අනුන් විමසීම අවශ්‍ය නොවන බව යැයි පෙනේ. ඔවුන්ට අමතක වන කරුණ ලෙස පෙනෙන්නේ සමෘද්ධිමත් නගරය යනු හුදු හෞතිකව දියුණු, අලංකාර කළ, සංචාරකයන් සහ පොහොසතුන් පමණක් සැප සම්පත් විඳින නගරය නොවන බවයි. සශ්‍රීක නගරය සියලු පුරවැසියන්ට ඉහළ ජීවන තත්වයක් ලබා දීමටද, සාධාරණය සහ යුක්තිය ඉටු කිරීමටද, හැම කටයුත්තකදීම ඔවුන්ගේ සහභාගීත්වය සහ එකඟත්වය ලබා ගැනීමටද ක්‍රියා කරන හෙයින්, ස්ථායි බවින් යුතුව, මිනිස් කමින් බැබළෙන නගරය වන්නේය.

වත්මන් නාගරික සංවර්ධන යෝජනා ලංකාවේ නූතන ඉතිහාසය පුරා ඓන්ද්‍රීයව සිදුවූ විකාශනයන් හි ප්‍රථිපල ඉමහත් රාශියක් වැරදි ලෙස සළකා ඒ සියල්ල එක රැයින් නිවැරදි කරන්නට ඇති විශ්වකර්ම අපේක්ෂාවක් පිළිබිඹු කරයි.

නාගරීකරණය සමාජ ගැටළුවක් නොවේ.

නාගරීකරණය, ජනයා ගමෙන් නගරයට සංක්‍රමණය වීම සමඟ බැඳී ඇත. ලංකාවේ නගර වර්ධනයද යටත් විජිත සමයේ පටන් ගැමියන් වඩා යහපත් ජීවත තත්වයක් සොයා නගර කරා ඒම සමග සම්බන්ධය. ආරම්භයේදී ලංකාවේ නාගරික කම්කරු පංතිය බිහිවූයේද මෙපරිද්දෙනි. මෙම සංක්‍රමණිකයන් තම වෘත්තීය සහ නේවාසික අවශ්‍යතා සලසා ගත්තේ පවත්නා ආර්ථික සහ දේශපාලන ව්‍යුහයන් ඇතුළත ඒවා සමග ගණු -දෙණු කරමිනි. අපේ නගර තූළ පදික වේදිකා වෙළෙන්දන්, ‛‛අනවසර’’ පදිංචි කරුවන් ඇති වූයේ මෙලෙසිනි. අඩු ආදායම් ලාභී නිවාස ඇතිවන්නේ පෞද්ගලික ඉඩම් වෙළඳ පොලේ ගණු – දෙණු වල ප්‍රථිපලයක් ලෙසිනි. මෙම තත්වයන් උග්‍රවනවන විට ඒවා සමනය කරන්නට ද ආණ්ඩු සහ නගර සභා පාලනයන් කටයුතු කර ඇත. ඉතිහාසය පුරා වරින් වර නගරයේ ඉදි කර ඇති විවිධ වෙළෙඳ සහ නිවාස සංකීර්ණ මෙයට නිදසුන්ය. එසේ ගත් සියලු පියවර මැද මෙම තත්වයන් දිගින් දිගටම පවතින්නට හේතුවක් වන්නේ ජනගහණය පරම්පරා ඇවෑමෙන් වැඩිවීමයි. ගමෙන් නගරයට ජනයා අලුතින් සංක්‍රමණය වීම අදත් නොකඩවා සිදු වෙයි. එම වර්ධනයන්ට සාපේක්ෂව නගරයේ රැකියා අවස්ථා සහ නේවාසික පහසුකම් දියුණු නොවන්නේ නම් පවත්නා අවකාශය තුළ තදබදය ඇතිවීම සහ උග්‍රවීම වැළැක්විය නොහැක්කේය. ඉදිරියටද නගරය මුල් කොට ගත් ආර්ථික වර්ධනය වැඩිවන ප්‍රමාණයට සාපේක්ෂව ජනයා නගරයට ඇදී එනු ඇත. සැබෑ ගැටළුව මේවා සරල විසඳුම් ඇති ඊනියා ‛‛සමාජ ගැටලු’ ලෙස සැළකීමයි.

‛‛අනවසර’’ පදිංචි කරුවන් පුරවැසියන් නොවේද?

මේ වන විට බරපතළ දේශපාලන කුණාටුවක් බවට වර්ධනය වී ඇති නාගරික අඩු ආදායම් ලබන්නන්ගේ ස්වයං රැකියා සහ නිවාස පිළිබඳ වැඩපිළිවෙල ආරම්භයේදී ආණ්ඩුව දැරූ දරදඬු ප්‍රතිපත්ති ජනතා විරෝධතා හමුවේ වුව ලිහිල් වීම සතුටට කරුණකි. ‛‛දේපල පෞද්ගලික වුවත් අපට අවශ්‍ය නම් ඕනෑම දේපළක් පවරා ගන්නා බව’’ට අධිකාරියක ප්‍රධානියෙකු විසින් ආරම්භයේදී කළ අත්තනෝමතික ප්‍රකාශ අද වන විට ‛‛නීති විරෝධී අනවසර පදිංචි කරුවන් පමණක් නැවත පදිංචි කරන බව’’ දක්වා වෙනස් වී ඇත. මෙම ‛‛අනවසර ’’ පදිංචිකරුවන් බොහොමයක් තම ඉඩම්වල පරම්පරා ගණනාවක් පදිංචි ව සිටි අයයි. තවත් අයට රජයෙන් හෝ නගර සභාවෙන් ඉඩම් පවරා දුන් නීත්‍යානුකූල ලේඛන ඇත. කුමන අර්ථයෙන් ගත්තද මෙම ‛‛අනවසර’’ පදිංචි කරුවන් ද, රටේ, නගරයේ පුරවැසියෝය, ඡන්ද දායකයෝය. මෙවැනි ජනයා අනවසර පදිංචිකරුවන් ලෙස නම් කොට ඔවුන් පරම්පරා කිහිපයක් වාසය කළ ඉඩම් හෝ නේවාසයන්ගෙන් රාජ්යය බලය පා හදිසියේ එළවා දැමීම කිසිසේත්ම බෞද්ධ ධර්මය අනුදක්නා මහින්ද චින්තනයට හෝ ස්වාභාවික යුක්ති ධර්මයට එකඟ නොවේ. මෙබඳු එක් වැසියෙකු කී පරිදි ‛‛පාසැල් යන, අපොස සාමාන්‍ය පෙළ පංතියේ සිටින, තම පුතා ඔහුගේ සීයාගේ කාලයේ පටන් තම පවුලේ අය පදිංචිව සිට ඇති ඉඩමෙන් එළියට ඇද දමන්නට ආණ්ඩුව කටයුතු කරන බව ප්‍රකාශ වීමෙන් පසු තම ආත්ම ගරුත්වය පිළිබඳ බරපතල අර්බුදයකට පත්ව තිබීම’’ පෙන්නුම් කරන්නේ මෙබඳු කරුණු වලට අදාල මානුෂීය පසුබිමයි. එම වැසියාම තවදුරටත් ප්‍රකාශ කළ පරිදි ඔහු අදාල ඉඩමේ තම දෙමාපියන් සමග අවුරුදු හතළිහක් ජීවත් වී ඇත. එවැන්නෙකු තම පාසැල් යන දූ දරුවන් සමග හදිසියේ මහ මගට ඇද දැමීම, ජනතා හිතවාදී රජයකට කිසිසේත් ගැලපෙන ප්‍රතිපත්තියක් නොවේ.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශිෂ්ට සම්පන්න රජයක් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ජාත්‍යන්තරව පිළිගැනෙන නීති වලට අනුව ඉතා පැහැදිළිය. පළමුකොටම, මෙම වැසියනට පුරවැසියෙකුට තිබිය යුතු සියලු නෛතික අයිතිවාසිකම් සහතික කළ යුතුය. ඔවුන්ගේ එකඟත්වයෙන් ඔවුනට පිළිගැනෙන තත්වයන් යටතේ විකල්ප නිවාස සපයා දෙන තෙක් ඔවුන් පදිංචි නිවාස වලින් රාජ්‍ය බලය යොදා ඉවත් කිරීම සාධාරණ යුක්ති ධර්මයටත් ජාත්‍යන්තරව පිළිගත් සම්මුතීන්ටත් ඉඳුරා පටහැනිය, අමානුෂීය ය. මේ බව නොතකා එසේ කරන්නට ආණ්ඩුව පියවර ගත් විට ඉන් ඇති කෙරෙන බලවත් අසාධාරණය සහ අයුක්තිය පිළිබඳ හැඟීම අපේ සමාජයේ මානුෂීයභාවය පිරිහීමට පත් කරයි, ස්ථායිභාවයට හානි කරයි.

මෙලෙස විතැන් කෙරෙන ජනයා නැවත පදිංචි කිරීමේ පවත්නා වැඩ පිළිවෙලවල් ගැනද නැවත සිතා බැලිය යුතු වෙයි. මීට පෙර කළ එබඳු යළි පදිංචි කරවීම් – උදාහරණයක් දක්වතොත්‛‛සහස්‍ර පුර’’ වැනි මහල් නිවාස ව්‍යාපෘති – වලින් ඇති වී තිබෙන සමාජීය අවුල් අධ්‍යයනයෙන්, නුතන සමය පුරා ලොව වෙනත් රටවල නාගරික ප්‍රතිසංස්කරණය සහ නාගරික නවෝදය පිළිබඳ කටුක අත්දැකීම් වලින් පාඩම් උගන්නේ නොමැතිව එබඳු තවත් ව්‍යාපෘති ඇති කිරීම සමාජය තුළ අලුත් අවුල් ඇති කිරීමට හේතු වනු ඇත.

පොහොසතුන්ගේ නගරය සහ දුප්පතුන්ගේ නගරය

ලංකාවේ නාගරික සංවර්ධනය දිගටම පැවතී ඇත්තේ නගරයේ විවිධ කළාප අතරත්, කළාප තුළත් සිදුවන අසමාන සංවර්ධනයක් ලෙසිනි. මේ දිනවල කොළඹ නගරයේ ප්‍රභූන් හා ධනවතුන් වසන කලාපයන්හි ඉමහත් වියදමක් දරා පදික වේදිකා සකසමින් පරිසරය අලංකරණය කෙරෙමින් තිබීම මීට කදිම උදාහරණයකි. පසුගිය රජයක් යටතේ අරලිය ගහ මන්දිරයේ සිට පාර්ලිමේන්තුව දක්වා දිවෙන මාර්ගය සහ පදික වේදිකා ඉතා අධික වියදමෙන් කිහිප වරක් සංවර්ධනය කිරීම මෙයට තවත් උදාහරණයකි. කොළඹ හතේ තත්වය මෙසේ වෙද්දී නගරයේ දෙමළ සහ මුස්ලිම් ජනතා බහුතරයක් මෙන්ම අඩු ආදායම්ලාභීන් වැඩිපුර ජීවත්වන ප්‍රදේශ නාගරික සංවර්ධනයක් තුළ ලබා ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලකි. මෙම ඒක පාර්ශ්වීය නාගරික සංවර්ධනය පිළිබඳ මෑතකදී එල්ල වූ විවේචන හමුවේ හෝ දැන් කොළඹ දහහතර ප්‍රදේශයේ ප්‍රධාන මහා මාර්ගයක් පිළිසකර කෙරෙමින් පැවතීම අගය කළ යුතුය. මෙයට අලුතින් එකතු වී ඇත්තේ විදේශ සංචාරකයන්ගේ ඇස් ගැටෙන බම්බලපිටිය සිට කොල්ලුපිටිය දක්වා ගාලු පාර දැවැන්ත වියදමක් දරා අධිවේගී වාහන ධාවනයට සකස්කොට අලංකරණය කිරීමයි. මෙම මංතීරු පහක පාර හරහා වැසියෙකුට පයින් මාරුවීමට දී ඇති කාලය තත්පර ගණනක් බවත්, ඒ අනුව යමෙකු පාර හරහා අධිවේගයෙන් දුව යායුතු බවත් පුරවැසියෙකු ප්‍රසිද්ධ සභාවකදී කියා තිබුණි. විදේශිකයන් නගර අලංකාරය දැක මෙරටට ආයෝජන ගෙන ඒම අපේක්ෂාවෙන් නගරය අලංකරණය කිරීමේදී නොසළකා හැරෙන කරුණ නම්, ආයෝජනයට පදනම වන්නේ, ආර්ථික ප්‍රතිලාභ, ප්‍රධාන කොටම වැටුප් ශ්‍රමය ලාබ වීම බවයි. නගරයේ ප්‍රභූන් සහ ධනවතුන් වසන කලාපයන්හි පදික වේදිකා තැනීම, කැඩීම සහ යළිත් කැඩීම සහ තැනීම දිගු කලක සිට නාගරික සංවර්ධකයන්ගේ විනෝදාංශයක් බවට පත්ව ඇතිවාක් මෙනි. මෙම කෙළවරක් නොමැති සංවර්ධනයක් සඳහා වියදම් කරන්නේ නගරයේ බදු මුදල්ය. මෙම කලාප වැඩිපුර බදු ගෙවන්නන් සිටින කලාපය, යන නගර සභාවේ තර්කයෙන් කියැවෙන්නේ නගර සභාව සංවර්ධනයේදී සියලු පුරවැසියන් එක හා සමානව නොසලකන බවයි. නගරයේ විවිධ කළාප අතර සහ කළාප ඇතුළත කෙරෙන සංවර්ධන වියදම් සංසන්දනය සඳහා පුරවැසියන්ට ප්‍රකාශ කිරීමට නාගරික සංවර්ධකයන් කටයුතු කළ යුතුය.

‛‛ කඩුව මකා නඟුල සෑදීම’’

නාගරික සංවර්ධනය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනීම පුරවැසි සමාජය මිලිටරිකරණයට ලක් කිරීමකැයි නැගෙන විවේචනය ආණ්ඩුව සැළකිල්ලට ගත යුතුය. පුරවැසි සමාජයේ වගකීම වන නගරය සංවර්ධනයට හමුදාවන් යොදා ගැනෙන විට පුරවැසි සහභාගිත්වයට ඇති ඉඩකඩ ඉබේටම විතැන් වෙයි. නගරය සංවර්ධනය සඳහා නගර සභාවෙන් පිටස්තර අධිකාරියක් හදන්නට යොදා ඇති වැඩ පිළිවෙලද පුරවැසියන්ගේ ඡන්දයෙන් පත් කෙරෙන නගර සභාවට උඩින් නොයාමට වග බලා ගත යුතුය. සියලු නාගරික සංවර්ධන කටයුතු නගර සභාවේත්, පුරවැසි ප්‍රජාවේත් සහභාගීත්වය සහ එකඟත්වයට යටත් විය යුතුය. තිස් වසරක යුද්ධය අවසානයේ දැන් සිදුවිය යුත්තේ ‛‛ කඩුව මකා නඟුල සෑදීම’’ මිස කඩුවේ පාලනයට නඟුල යටත් කිරිම නොවේ.

දේශපාලනයෙහි ලා සහභාගීත්වය, අවම වශයෙන් තමන් තෝරාපත් කර ගන්නා නියෝජිතයන් තුළින් වුව, සාමාන්‍ය ජනයා තම ජීවන තත්වය නොසළකා, නැතහොත් එය නිසාම, සතුටින් හවුල් වන කටයුත්තකි. මෙම අවස්ථාව ඔවුනට අහිමි කරලීම, ඔවුන් තුළ බලවත් අසාධාරණයක් පිළිබඳ හැඟීමක් ජනිත කරනු ඇත. එය නගරයේ, රටේ අනාගත ස්ථායීභාවයට යහපත් නොවේ.

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටකි. මෙරට පුරවැසියෝ තමන්ගේ නගරය සහ රට පාලනය සහ සංවර්ධනය තම සහභාගීත්වයෙන් සිදුවිය යුතු යැයි තරයේ විශ්වාස කරති. නුවණැති ආණ්ඩුවක් කළ යුත්තේ පුරවැසි ප්‍රරජාතන්ත්‍රවාදී අභිලාෂයන් සමග එක්ව වැඩ කිරීම මිස ඒවාට එරෙහිව යාම නොවේ. එසේ නොවුවහොත් පුරවැසියෝ තමනට ලැබෙන පළමු අවස්ථාවේදීම තම තීන්දුව ප්‍රකාශ කරති. අවසානයේදී, ජයග්‍රහණය පුරවැසියන් සතුය.

සංවර්ධනයත් පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවනුත් එකක් අතහැර අනෙක තෝරාගත යුතු ප්‍රතිපක්ෂයන් විය යුතු නොවේ. අපට මේ දෙකම අවශ්‍ය ය.

“ශක්තිය“ පුවත් පතේ 2011 නොවැම්බර් කලාපයේ “දේශපාලන සටහන“

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )