විශ්ව විද්‍යාල අධ්‍යාපනය

මානවශාස්ත‍්‍ර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉවතටද?
– ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි හිටපු මහාචාර්ය සහ අංශාධිපති, දර්ශන සහ මනෝවිද්‍යා අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උසස් උපාධි කමිටුව සහ කලා පිඨාධිපති එකතුව ඩිප්ලෝමාල ශාස්ත‍්‍රපති සහ දර්ශනපති ආදී පශ්චාත් උපාධි පාඨමාලා පවත්වාගෙනයාම සාධාරණිකරණය කරන වාර්තාවක් සපයන්නැයි දර්ශනය, ලලිත කලා, බටහිර සම්භාව්‍ය සංස්කෘතිය, පාලි සහ බෞද්ධ අධ්‍යයනයන්, සංස්කෘත සහ ඉතිහාසය ආදී මානව ශාස්ත‍්‍ර විෂයයන් උගන්වන දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා ඇත, මෙම ඉල්ලීමට හේතු පාදක වූ තර්කය මෙසේය.

ඔවුන්ගේ තර්කය
මානවශාස්ත‍්‍ර විෂයයන් පශ්චාත් උපාධි මට්ටමින් හදාරන්නන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව එක විෂයයක සිට පස්දෙනෙකුවත් නොඉක්මවන අතර එම පාඨමාලා මේ දක්වා වුවද නඩත්තු වූයේ අපේක්ෂක අපේක්ෂිකාවන් විශාල වශයෙන් ලියා පදිංචිවන ආර්ථික, සමාජ, දේශපාලන, සහ කළමනාකරණ ආදී සමාජයීය විද්‍යා විෂයයන්ගෙන් උපයන ආදායමිනි. මානවශාස්ත‍්‍ර පාඨමාලාවෙහි ශිෂ්‍ය සංඛ්‍යාව අඩු නිසා එයින් ලැබෙන සුළු ආදායමින් එම පාඨමාලා නඩත්තු කිරීමට අපහසුය. පශ්චාත් උපාධි පාඨමාලා පවත්වාගෙන යාම සඳහා දෙපාර්තුමේන්තු ප‍්‍රධානීන්ට සාධාරණීකරණිය වාර්තාවක් ඉදිරිපත් කිරීමට පදනම් වූ තර්කයේ සාරාංශය එයයි.

අපේ තර්කය
පුරා දශක හතරක් මානවශාස්ත‍්‍ර විෂයයන් කිහිපයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ වෙනත් විශ්වවිද්‍යාලවලත් ඉගැන්වූ ගුරුවරයෙකු හැටියට බලන කල උසස් අධ්‍යයන කමිටුව සහ කලා පීඨාධිපති මානවශාස්ත‍්‍ර පාඨමාලා පවත්වාගෙන යාම සාධාරණිකරණය කරන්නැයි ඉල්ලා ලිපියක් යැවීමම හාස්‍ය ජනකයැයි මම සිතමි. මෙම ඉල්ලීම යටින් දිවෙන සත්‍යය නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මානවශාස්ත‍්‍ර පිටමං කිරීමයි. මෙම ඉල්ලීම මානවශාස්ත‍්‍ර ඝාතනයෙහි පළමු පියවර ලෙස මම දකිමි. දෙක වනුයේ දෙපාර්තුමේන්තු ප‍්‍රධානීන් ඉදිරිපත් කොට ඇති වාර්තාවෙහි තර්කය ”පණ මදි” යැයි ඔවුනට දන්වා එවීමයි. ”පණ මදි” වනුයේ මානව ශාස්ත‍්‍රයන්ට තමන්ගේ පශ්චාත් උපාධි පාඨමාලා නඩත්තු කිිරීමට අවශ්‍ය මුදල් සොයා ගත හැකිය යන්න ඔප්පු කිරීමට අසමර්ථ වීමය. තුන වනුයේ ආර්ථික ප‍්‍රතිලාභ නැති නිසා පේ.වි.විද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර පශ්චාත් උපාධි මට්ටමින් ඉගැන්වීම නවතා දැමිය යුතුය යන තීරණයට එළඹීමයි. (සමහර විට බලධාරීන් මුලින්ම මෙම තීරණය ගන්නට ඇත). වාර්තාවක් ඉල්ලා යැවීම මෙම මූඨ, අත්තනෝමතික තීරණය ක‍්‍රියාන්විත කිරීමේ පළමු පියවරයි. මානවශාස්ත‍්‍ර සඳහා වෙනම විශ්වවිද්‍යාලයක් විවෘත කිරීමට එස්.බී. පසුගියදා ප‍්‍රතිඥා දීම සහ මෙවන් වාර්තාවක් ඉල්ලා යැවූ ලිපිය සමඟ සම්බන්ධ බව කුඩා දරුවෙකුට වුවද වැටහේ. ඇරත් ”මාර්කට්’‘ වටිනාකමක් නැති (මානවශාස්ත‍්‍ර, මානවශාස්ත‍්‍ර වනුයේම මේ නිසාය). මානවශාස්ත‍්‍ර සඳහා පශ්චාත් උපාධි පමණක් නොව උපාධි මට්ටමින් පවා ලියාපදිංචිවන සංඛ්‍යාව සීමිත බව, කලා පීඨාධිපති සහ උසස් අධ්‍යයන කමිටුව අත්දැකීමෙන්ම දනිති. ඒවායින් ආදායමක් පසුගිය දශක කිහිපය පුරාම නොලැබුණු වුවද ඔවුහු හොඳාකාරවම දනිති. එසේම අනාගතයේදී වුවද ”රට යන අත” දෙස බලන කල මානවශාස්ත‍්‍ර දෙපාර්තුමේන්තු වලට කිසිදු ආදායමක් පෙන්විය නොහැකි බවද ඔවුන් නොදන්නවා නොවේ. තත්වය මෙසේ තිබියදී මානවශාස්ත‍්‍ර පශ්චාත් උපාධි පවත්වාගන යෑම යුක්ති සහගත කොට එවැන්නැයි වාර්තාවක් ඉල්ලා යවන්නේ ඇයිදැයි මම නොදනිමි.


විශ්වවිද්‍යාලීය අධ්‍යාපනයට මානවශාස්ත‍්‍ර අහිමි විය යුතුද?

විද්‍යාලයක් විශ්වවිද්‍යාලයක් වනුයේ එය විශ්වීය හා සමස්ථ දැනුමක් ප‍්‍රදානය කරන අධ්‍යාපන ආයතනයක් වන හෙයිනි. Universitas යනුවෙන් (අර්ථය විශ්වය නැතිනම් සමස්ථය යන්නය) ලෝකයේ බිහි වූ පළමු විශ්වවිද්‍යාලය වූ ඉතාලියේ Bologna හි (1080) ආදර්ශෝක්තිය වූයේ alma mater studiorum හෙවත් ”අධ්‍යයන මාතාව පෝෂණය කරගැනීම” යන්නය. බොහොමයක් බටහිර සහ නැගෙනහිර විශ්වවිද්‍යාලයන්හි ආදර්ශයෝක්තින්ද සියළු අධ්‍යයන ක්ෂේත‍්‍රයක්ම ආවෘතවන පරිදි නිර්මාණය කර ඇත. විශ්වවිද්‍යාලය යන වචනය නිර්වචනය වූයේ ලිබරල්, කලා, විද්‍යා, සමාජීය, සහ මානවශාස්ත‍්‍ර විෂයයන් වලින් අනුයුක්තව උසස් මට්ටමින් අධ්‍යාපනය ප‍්‍රදානය කරන ආයතනයක් ලෙසය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදර්ශයෝක්තිය අවධාරණය කරනුයේද ”සාමාන්‍යයට වඩා විවෘතවීමකි (More open than usual).“ මේ සියල්ලෙහිම අර්ථය විශ්වවිද්‍යාලයක් යනු විචාරයක් සහිත සමස්ථ දැනුමක් ලබාදෙන ආයතනයක් යන්නය.

එහෙත් ඉහත දැක් වූ පරිදි පශ්චාත් උපාධි මට්ටමින් මානවශාස්ත‍්‍ර ගෙනයාම සාධාරණය කරන්නැයි ඉල්ලමින් මානවශාස්ත‍්‍ර වලට කරන මෙම බාල්දුව සහ අවසානයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මානවශාස්ත‍්‍ර සහමුලින්ම උදුරා දැමීමට හෝ ඒවා වෙනත් තැනක පැලකිරීමට සැලසුම් කිරීම පොදුවේ සියළුම විශ්වවිද්‍යාල ආදර්ශයෝක්තීන්ට සාමාන්‍යයෙනුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන මණ්ඩලයට පිවිසෙන පියගැටපෙළ අසළ බිත්තියක එදා ගාම්භීර ලෙස ලියැවුණු ”More open than usual” යන ආදර්ශයෝක්තියට විශේෂයෙනුත් පරස්පරවිරෝධීවෙනු ලබයි.

භෞතික, රසායන, වෛද්‍ය, තාරකා, ජීව, දේශපාලන, ආර්ථික, භූගෝල ආදී විෂයයන් මෙන්ම, දර්ශනය, ලලිත කලා, භාෂා අධ්‍යයනයන් ආදී විෂයයන් බිහිකළේත් අභ්‍යාස කරනුයේත්, උගන්වනුයේත් මානවයින්ය. සත්ව වර්ග අතර Homo Sapiens යන වර්ගයට මානවයා අයිති වේ. මානවයා යනු මොකාද? අනික් සතුන්ට සාපේක්ෂව, මානවයා නිර්වචනය වනුයේ ”නුවණක්කාර සතා”, ”සිතන ජීවියා” ආදි වශයෙනි. එසේනම් සිතනල නුවණක්කාර මානවයාගේ මුල්ම නිෂ්පාදනයන් වුයේ අන් කිසිවක් නොව මානවශාස්ත‍්‍රයන්ය. එසේනම් ආසියාතික සහ බටහිර චින්තනය ආරම්භවූයේ මානවශාස්ත‍්‍රයන්ගෙනි. ඇත්තටම, පෙර’පර දෙදිග ඉතිහාසයන් මෙන්ම වර්තමානයද සකස් කළේත් අදත් සකස් කරනුයේත් මානවශාස්ත‍්‍රයන් සහ කලා විෂයයන්ය. සමාජයීය විද්‍යාවන් (සියල්ලම කෙසේ වෙතත් බොහොමයක්) සහ ස්වාභාවික, විද්‍යාවන් ද මෙම කාර්යයේ නියැළී සිටින බව මම ප‍්‍රතික්ෂේප නොකරමි.

බටහිර සහ නැගෙනහිර අධ්‍යයන කතිකාව ඓතිහාසිකවම පදනම් වූයේ මානවශාස්ත‍්‍ර මතය. සොක‍්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි ග‍්‍රික චින්තකයින් ඇතැන්ස් ඇකඩමිය තුළ ප‍්‍රධාන වශයෙන් ඉගැන්වූයේ දර්ශනය, තර්කශාස්ත‍්‍රය, කලාව, සාහිත්‍යය, ආචාරධර්මය, ආදී මානවශාස්ත‍්‍ර විෂයයන්ය. ප්ලේටෝගේ අධ්‍යාපන දර්ශනය ඉලක්ක කරනු ලැබුවේ විද්‍යාර්ථියෙකු පූර්ණ මිනිසෙකු කිරීමටය. දර්ශනය, ආචාර ධර්මය, සෞන්දර්යවේදය සහ ශාරීරික අධ්‍යාපනය යන හතර එකවර හැදෑරීමෙන් පූර්ණ මිනිසෙකු වන බව ප්ලේටෝ සිය ජනරජය කෘතියෙන් අවධාරණය කර තිබිණ. මෙය ප්ලේටෝගේ සිතළුවකි. ග‍්‍රීක සංස්කෘතිය තුළ හෝ අද ධනවාදී සංස්කෘතිය තුළ හෝ අධ්‍යාපනය පිළිබඳව පුර්ණ මිනිසෙකු පහළ විය නොහැකිය. පහළවිය හැක්කේ පූර්ණ සුරා කන්නෙකි: පූර්ණ කොල්ලකරුවෙකි. පූර්ණ ඝාතකයෙකි; බොහෝවිට පූර්ණ හෝ අර්ධ-ශාස්ත‍්‍රිය ආබාධිතයන්ය. ප්ලේටෝ මනෝරාජීකවාදියෙකු වුවද ඔහුගේ කාලයට සාපේක්‍ෂකව ඔහුට අධ්‍යාපනය පිළිබඳව පුළුල් දර්ශනයක් තිබිණ. කෙසේවුවද ” අධ්‍යාපනය පිළිබඳව පූණ_ මිනිසෙකු” බිහිකිරීමේ අවශ්‍යතාවය පෙරදිගත් අපරදිගත් පිළිගත් නිසා විශ්වවිද්‍යාලයන් ගොඩනැඟීමේදී ප‍්‍රමුඛතාවය දෙනු ලැබුවේ මානවශාස්ත‍්‍රයන්ටය. පසුව බටහිර විශ්වවිද්‍යාලයන් ධනවාදී අධ්‍යාපන සංස්කෘතිය පැමිණීමට පෙරත්, ඉන් පසුවත්, අදත්, බොහෝ විශ්වවිද්‍යාලවල තම විෂය නිර්දේශවවලින් මානවශාස්ත‍්‍ර ඉවත් කොට නැත (උදා: ඔක්ස්ෆර්ඞ්, කේ‍්‍රම්බිජ්, ලංඩන්, දිල්ලි, සිඞ්නි, ටෙල් අවිව් ආදී). ඉදිරි දර්ශනයක් නැති, සදාචාරයක් නැති, සෞන්දර්ය විඥාණයක් නැති, ඉතිහාසය නොදන්නා උපාධිධාරියෙකු රොබෝ කෙනෙකු වනු ඇත. (දැනටමත් රටෙහි ‘උගත්’ තාක්ෂණික රොබෝ වරු නැතුවා නොවේ.) මානවශාස්ත‍්‍ර අවශ්‍යවනුයේ එවැනි යාන්ත‍්‍රික සහ තාක්ෂණික රොබෝ මිනිසුන් තුළ නොමැති සදාචරාතමක, නිර්මාණශීලී, සහ විචාරශීලි මිනිසුන් සමාජයට දායාදකරදීමටය. වැටුපට වැඩකොට දවස ගෙවන ආත්මාර්ථකාමි රොබෝ බිහිකිරීමට නොවේ.

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ප‍්‍රාචින සහ අප‍්‍රිකානු අධ්‍යයන පාසැලෙහි මහාචාර්්‍ය තනතුරකින්ද යුතු එහි සිංහල භාෂාව උගන්වන දෙපාර්තමේන්තුවක් ඇති අතර පාලි ගුජරාටි යන භාෂාද උපාධි මට්ටමින් උගන්වති. එහි අධ්‍යයනය ලබනුයේ සමහර අවුරුදු වල එක් ශිෂ්‍යයෙක් නැතිනම් දෙදෙනෙකි. එහෙත් සිංහල භාෂා විෂයත් දෙපාර්තමේන්තුවත් දශක ගණනාවක සිට පවත්වාගෙන යාමට ලන්ඩන් විශ්වවිද්‍යාලය තීරණය කරනු ලැබුවේ විශ්වවිද්‍යාල සංකල්පය ඔවුන් කුමක්දැයි දැනසිටි හෙයිනි. අවශ්‍ය වනුයේ ප‍්‍රමාණය නොව ගුණයයි. බැලිය යුත්තේ මුල්‍ය ලාභ නොව දැනුමෙහි උපරිම ප‍්‍රදානය ලෙසයි.

මානවශාස්ත‍්‍ර දඩයම් කිරීමේ දේශපාලන පිළිවෙත අද ඊයේ මතු වූ දෙයක් නොවේ එය දශක කිහිපයක සිටම මෝදු වී ආවකි, (ආචාරධර්මය, ඉතිහාසය සහ මනෝවිද්‍යාව උසස් පෙළ විභාගයෙන් ඉවත් කලේ 1973/73 වසරේදීය). නමුත් අද එය වඩා ප‍්‍රබල ලෙස මතු වී ඇත්තේ ලෝක ධනවාදය ආර්ථික අර්බුදයට යාමත් ශ‍්‍රී ලංකා රජයේ දේශීය ආර්ථික ප‍්‍රතිපත්තිය සහ නාස්තිය සහ වංචාවන් නිසාය. මේ ආර්ථික පරිහානිය තාවකාලිකව හෝ අත්හිටුවා ගැනීමේ එක උපායකි මානවශාස්ත‍්‍ර නඩත්තු නොකිරීම.

පසු ගිය දශක දෙක පුරාම මානව ශාස්ත‍්‍රි ප‍්‍රවර්දනයක බටහිර විද්වතුන් නිරතව සිටිති. `Right to Philosophy`යන හිසින් සිය Negotiations පොතට ලිපියක් සපයමින් ඩෙරිඩා නව දර්ශනයක අවශ්‍යතාවයත් මානව ශාස්ත‍්‍ර අධ්‍යයනයේ ඵල ප‍්‍රයෝජනත් පිළිබඳ හරබර විග‍්‍රහයක් ඉදිරිපත් කර ඇත. එසේම මහාචාර්ය ටෙරි ඊගල්ටන් විසින් මානව ශාස්ත‍්‍ර නොමැති වුවහොත් විශ්වවිද්‍යාල අභාවයට පත්වන බවත් ඒ නිසාම මානව ශාස්ත‍්‍ර ආරක්‍ෂා කර ගැනිමට වහාම පියවර ගතයුතු බවත් මැතදී අවධාරණය කලේය (“The Death of Universities“ Guardian.co.uk). මානව ශ‍්‍රාස්ත‍්‍රද සහිතව විශ්ව දැනුමක් ලබාදීම සඳහා මහාචාර්ය Grayling විසින් නව විශ්වවිද්‍යාලයක් 2012 දී ලන්ඩන් හි විවෘත කිරිමට නියමිතය. බටහිර විද්වතුන් මානව ශාස්ත‍්‍ර ප‍්‍රවර්ධනය කිරිමට උත්සාහ කරන තත්වය තුල අප පිඹුරුපත් සකස් කරනුයේ මානව ශ‍්‍රාස්ත‍්‍ර විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කිරිමටය. කණගාටුව මෙයයි.

ඇයි මානවශාස්ත‍්‍ර? (Why Humanities?) තේමාව යටතේ ලංඩන්හි බර්ක්බෙක් කොලිජියෙහි 2010 නොවැම්බර් 4 සහ 5 වෙනි දිනයන්හි පවත්වනු ලැබූ සම්මන්ත‍්‍රණයෙහි මතු වූ කරුණක් වැදගත් කරුණක් නම් ”මානවශාස්ත‍්‍ර මානවයා (හෝ මානවීයත්වය) විස්තර කරන්නේ නැත. කරනුයේ මානවයා නිර්මාණය කිරීමය” යන්නය (”Humanities do not describe the human, but create it). මානව ශාස්ත‍්‍ර දඩයක්කාරයින්ට නොතේරෙන්නේත් මෙයයි. ඔවුන්ගේ නොතේරුම්කම විසින් මානවශාස්ත‍්‍රත්, මානවයින් වන අපත් ගිල ගැනීම වැඩි ඈතක නොවේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හෝ වේවා වෙනත් විශ්වවිද්‍යාලයක හෝ වේවා මානවශාස්ත‍්‍ර අධ්‍යයනයන් තිබිය යුත්තේ විශ්වවිද්‍යාලයක මානවශාස්ත‍්‍රයන් තිබීම අත්‍යාවශ්‍යවන තාක්ෂණික හේතුව නිසා නොවේ. ඵලදායක, බුද්ධිමත්, මානව දයාවකින් යුතු, මිනිසුන් සමාජයට දායාද කල හැක්කේ මානවශාස්ත‍්‍රයන්ට පමණක්ය යන්න මා තරයේ විශ්වාස කරන බැවිනි. මානවයෙකුගේ ජීවිතයට වටිනාකමක් ලැබෙනුයේ මධ්‍යමය බලාපොරොත්තුවලින් (mediocre aspirations) ඔබ්බට ගියොත් පමණි. විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය විය යුත්තේ මෙය නොවෙයිද?

විශ්වවිද්‍යාල කළ යුත්තේ විෂයයන්ට නෛසර්ගික ඇගයුමක් දීමත්, ඒ ඒ විෂයයන් සතු නෛසර්ගික වටිනාකම හඳුනාගැනීමත්ය. හෝමර්ගේ ඉලියඞ් අදත් මිනිසුන් කියවනුයේ ඇයි? එය යුද්ධයේ කෘරත්වය මනාව පෙන්වූ වීර කාව්‍යයක් නිසාය. අවුරුදු 30ක් පැවති ශ‍්‍රී ලංකාවේ යුද්ධය හෝමර් මෙන් දුටු සමාජවිද්‍යාඥයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, දේශපාලන විද්‍යාඥයෙක් හෝ සමාජවිද්‍යාඥයෙක් හෝ කළමනාකරණවේදියෙකු සිටියේ නම් ඇඟිලි ගණනටය.

ශ‍්‍රී ලංකාවේ වෙනත් විශ්ව විද්‍යාල කෙසේවෙතත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලෝක පූජිත කරනු ලැබුවේ මානවශාස්ත‍්‍ර විෂයයන් හදාරා, උගැන්වූ සහ ඒ පිළිබඳ පර්යේෂණ කළ අය විසිනි. මහාචාර්යවරුන් වූ මලලසේකර, සරච්චන්ද්‍ර, විමල් දිසානායක, සිරි ගුණසිංහ, ලෙස්ලි ගුණවර්ධන, කේ.එන්.ජයතිලක, කළුපහන, ජයවික‍්‍රම, ගණනාථ ඔබේසේකර, තම්බය්යා, එච්.එල් සෙනෙවිරත්න උදාහරණ කිහිපයකි. එදා මේ මානවශාස්ත‍්‍ර සහ කලා විද්‍යාර්ථින් නිසා විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමක් එදා නොතිබුනද පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉතා ඉහළින් ස්ථානගතව තිබිණ. එහෙත් අද තත්වය කෙබඳුද? URAP ශ්‍රේණිගත සමීක්‍ෂණයෙන් 2010 පේරාදෙණිය වි.වි.ට ලැබී ඇත්තේ 1426 වෙනි තැනය. Web ශ්‍රේණිගත සමීක්‍ෂණයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ලැබී ඇත්තේ 3779 වෙනි තැනය. මෙය මොන තරම් ඛේදවාචකයක්ද? ශ‍්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය ”අති විශිෂ්ඨයි සර්”, කියන අයට කිව හැක්කේ කුමක්ද? මෙම ශ්‍රේණිගත වීමෙන් පවසනුයේ අපේ විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම සහ පර්යේෂණවල තත්වය නොවේද? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර දඩයම් කිරීමට අර අදින්නේ මෙවැනි ශාස්ත‍්‍රීය වශයෙන් පසුගාමී සංදර්භයක සිටිනා අතරතුරය. ඇත්තෙන්ම අද අවශ්‍යවනුයේ මානවශාස්ත‍්‍ර කප්පාදු කිරීම නොව ඒවා පිළිබඳ නැවත සිතාබලා ඒවා පණපොවා ගැනීමය. කළයුත්තේ මානවශාස්ත‍්‍ර තුළින් අපේ චින්තනයේ රූපය (form) සහ දිශානතිය හඳුනාගැනීමය. මානවයාගේ දර්ශනික ගවේෂණයන්, නිර්මාණශීලී දායකත්වය, භාෂා කුශලතාවන්, ගෘහ නිර්මාණ ප‍්‍රතිභාවන්, මෙන්ම ආගමික භාවයන් ආදී සියල්ලටම ඇති කැඩපත මානවශාස්ත‍්‍රයන්ය. මානවශාස්ත‍්‍ර යනුම සමස්ථ ලෝක සංස්කෘතික කෞතුකාගාරයයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි More open than usual යන ආදර්ශයෝක්තිය අනුව යමින් කළයුත්තේ මානව සංස්කෘතික කෞතුකාගාරයට ෙදාර හැකිතරම් විවෘත කිරීමය. එය වැනසීම නොවේ. වැසුවොත් හෝ වැනසුවොත් බලධාරීන්ට කලහැකි තව දෙයක් ඇත. ආදර්ශයෝක්තිය “More close than usual” ලෙස වෙනස් කිරීමයි.

රජයේ වංක, අවස්ථාවාදී මැති ඇමතිවරු නිතරම මුරගා පවසන එකක් නම් විදේශිය බලවේග අපේ සංස්කෘතිය විනාශ කරන බවයග හැබැයි මානවශාස්ත‍්‍ර විශ්වවිද්‍යාලවලින් උගුලූවා දැමීමට පිඹුරු පත් සකස් කරනුයේද මොවුන්මය. ශ‍්‍රී ලාංකික සංස්කෘතීන් විනාශකරන්නවුන් ජාතී ද්‍රෝහීන් නම් ඉතිහාසය, බෞද්ධ දර්ශනය, බෞද්ධ ශිෂ්ඨාචාරය, පාලි, සංස්කෘත, ලලිත කලා, විෂයයන් මූල්‍යමය වශයෙන් දාරිද්‍ර නිසා (මොවුන්ගේ නිර්නායකය මොන තරම් බාලද?) ඒවා විශ්වවිද්‍යාල පශ්චාත් උපාධි පාඨමාලාවෙන් පළමුවත් උපාධි පාඨමාලාවෙන් පාඨමාලාවෙන් දෙවනුවත් ඉවත් කිරිම සඳහා පියවර මනින්නන්ද ජාතීද්‍රෝහීන් විය යුතුය. ඇත්තෙන්ම ජාති ද්‍රොහීන් වනුයේ සිදුවෙන විනාශයක් දෑස්, කන් සහ මුව යන ද්වාරත්වයන් පාඨමාලාවෙන් වසාගෙන තමන්ගේ තනතුර සහ බොහෝ අය කොල්ල කාගත් සමාජ ප‍්‍රාග්ධනය පමණක් රැකගනිමින් ආත්මාර්ථකාමී ලෙස වෙනත් කුටුම්භ රකින ගමන් තමන්ගේ නීත්‍යානුකූල කුටුම්භයත් රැකීමට සැදී පැහැදී සිටිනවුන්ය.

මුදල් සෙවිය හැකි පාඨමාලා (හැකිනම් වෙනත් වෘතීන්ද) හැකිතරම් බෝකොට මානවශාස්ත‍්‍ර (ඉදිරියට කලා විෂයයන්ද) ස්වාභාවික මරණයකට ලක් කිරීම මෙහි යටි අරමුණයැයි මට හැඟේ. `මුදල් සෙවිය හැකිනම් ඕනෑම දෙයක් කිරීමට අප සුදානම්ය`යන්න වාසුදේව පවසනවිට, මානවශාස්ත‍්‍ර විශ්වවිද්‍යාලවලින් සූක්ෂමව බැහැර කිරීමට අර අඳිනවිට, පොහොසත් පෞද්ගලික විශ්වවිද්‍යාල සමඟ තරඟ කිරීමට දුප්පත් දේශීය විශ්වවිද්‍යාල යොමුකරනවිට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යයන කමිටුව සහ පීඨාධිපති විසින් මානවශාස්ත‍්‍ර අංශාධිපතීන්ගෙන් නිදහසට කරුණු ඉල්ලා ලිපියක් යැවීම අහම්බයක් නොවන බව වැටහෙනු ඇත. මත්ද්‍රව්‍ය අවසරපත‍්‍ර නිකුත් කිරීම; සංචාරක ව්‍යාපාරය මත ආර්ථිකය රැඳවීමට ඕනෑම දෙයක් කිරීමට පෙළඹීම; විදේශික සල්ලාල ධනවතුන්ට කැසිනෝ සූදු සඳහා කොළඹ විවෘත කරදීම; යන ව්‍යසන ව්‍යාපෘති ජාලයේ තවත් කොටසක් ලෙස මානවශාස්ත‍්‍ර දඩයම මම දකිමි. කලා ප‍්‍රදර්ශන විවෘත කිරීම, මහනුවර ඇසළ පෙරහැර නැරඹීම, සිනමාව සඳහා චිත‍්‍රාගාර සෑදීම, සාහිත්‍ය සම්මාන උත්සව වල පෙරමුණ ගැනීම, කලාව, සංගීතය, බෞද්ධකම, අපේකම, සදාචාරය ආදිය, රැකීම සපථ කරන එවුන්ට අවම වශයෙන් වංචාව සහ සොරකම් නැති කිරීමට බැරිනම් අඩුකොට, හෝ සංචාරක ව්‍යාපාර ආදායමින් හෝ කැසිනෝ සඳහා ඉඩම් බදු දීමෙන් හෝ මානවශාස්ත‍්‍ර නඩත්තු කරමු යැයි යොජනා කිරමට හෝ උවමනාවක් නැත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් හෝ ශ‍්‍රී ලංකාවේ වෙනත් කිසිම විශ්වවිද්‍යාලයකින් හෝ මානවශාස්ත‍්‍ර හෝ කලා විෂයයන් ඉවත් කීරීමට බලධාරීන් කටයුතු නොකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. විශ්වවිද්‍යාලයක් කාර්මික කොලිජියක් හෝ කෘෂිකාර්මික පර්යේෂණායතනයක් නොවී විශ්වවිද්‍යාලයක් වනුයේ සමස්ථ විෂයධාරාවන්ම එක් ස්ථානයක ඉගැන්වෙන විට පමණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදර්ශයෝක්තිය වන More open than usual යන්න වාග්ලංකාරයෙන් මුදවා එය ක‍්‍රියාව තුළින් පෙන්විය යුතුය. මානවශාස්ත‍්‍ර වැසීමට කටයුතු කිරීම යනුම විවෘත (open) යන්න වටහා නොගැනිමය. ප‍්‍රාථමික, ද්විතියික, හෝ තෘතියික හෝ වේවා අධ්‍යාපනය යනු කුමක්දැයි අධ්‍යාපනඥයින් වටහා ගත යුතුය. ”ප‍්‍රථමයෙන්ම අධ්‍යාපනවේදීන්ට අධ්‍යාපනය දිය යුතුයැයි” කාල් මාක්ස් එදා කල ප‍්‍රකාශය අදටත් වලංගු බව වැටහෙන්නේ මෙවැනි දෑ සිදුවන කළය. මානව ශාස්ත‍්‍රවලට කණකොකා හැඬීම ඇතුඵ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අද ඇති අර්බුදයේ ඇත්ත ප‍්‍රභවය ඇත්තේ ශ‍්‍රී ලංකා සමාජයේ සහ සිවිල් ජීවිතයේ අර්බුධය තුල බව ද අප අමතක නොකල යුතුය.

2011 ඔක්තෝබර් 9, රාවය පුවත් පතින් කෘතඥ පූර්වකව උපුටා ගන්නා ලදී.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )