අවමංගල

හේමරත්න ලියනආරච්චි අභාවප්‍රාප්ත වෙයි

ලේඛක හේමරත්න ලියනආරච්චි ගේ අභාවය ‘කතිකා‘ සාතිශය සංවේගයෙන් සටහන් කරයි.

හේමරත්න ලියනආරච්චි පාදඩයකුගෙන් (1965), අන්තිම දා (1967), හා මම රාත්‍රිය වෙමි යන නවකතා තුනෙහිත්, මතක සටහන් (1964), හා සපුමල්ගේ ලෝකය (1991) යන කෙටිකතා සංග්‍රහ දෙකෙහිත් කතුවරයා වෙයි. මීට අමතරව ඔහු ‍ෂේක්ස්පිය‍ර්ගේ සමකාලීන ශ්‍රේෂ්ඨ නාට්යක රචකයෙකු වූ ක්‍රිස්ටෝෆර් මාර්ලෝගේ Dr. Faustus නමැති කෘතිය සිංහල නාට්‍ය අනුමණ්ඩලයේ ආරාධනයක් පරිදි “ෆෝස්ටස්” නමින් සිංහලට පෙරළන ලදුව 1999දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් පළ කෙරිණ.

ගුරුවරයෙකු වශයෙන් හා කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ හේමරත්න ලියනආරච්චි මහතා පේරාදෙණිය ගුරු විද්‍යාලයේ අධිපතිව සිට විශ්‍රාම ලබා සිය කාලය සාහිත්‍ය කටයුතු සඳහා යොදවමින් සිටියේය. ඔහුගේ “බටහිර සාහිත්‍යයේ විචාරයේ ඉතිහාසය” නමින් සිළුමිණ පුවත්පතෙහි දීර්ඝ කාලයක් තිස්සේ පළ වූ ලිපි පෙළ ග්‍රන්ථයක් වශයෙන් පළ කිරීම සඳහා ඔහු විසින් සංස්කරණය කෙරෙමින් පැවතුණි. හෙතෙම ග්‍රීක පුරාණෝක්ති පිළිබඳ විශ්වකෝෂයක පරිවර්තනයක් ද මුද්‍රණය සඳහා සකස් කරමින් සිටියේය.

මිය යනවිට 73 වැනි වියෙහි පසුවූ හේමරත්න ලියනආරච්චි ‘කතිකා‘ හි මිතුරකු වීය.

‘කතිකා‘ ඇරයුමින් හේමරත්න ලියනආරච්චි මහතා ලියූ පහත ලිපිය අප නැවත පළකරන්නේ ඔහු සහ ‘කතිකා‘ අතර වූ මිතුදම සමරමිනි.

ප්ලේටෝ පිළිබඳ තව දුරටත්….

“ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50” විශේෂාංගය යටතේ එහි එන තෝරාගත් පොතක් පිළිබඳ පළමු ලිපිය වශයෙන් ප්ලේටෝ ගේ ජනරජය ගැන සයිමන් බ්ලැක්බර්න් ලියූ, හේමරත්න ලියනආරච්චි විසින් පරිවර්තනය කළ ලිපිය පසුගිය වතාවක ඉදිරිපත් කළෙමු.

අද අප පහත පළකරන්නේ, සාහිත්‍යධරයෙකු වන හේමරත්න ලියනආරච්චි ප්ලේටෝ පිළිබඳව ලියූ අදහස් කිහිපයකි. මේ අදහස් දෙකොටස, බටහිර සාහිත්‍ය විචාරයේ ඉතිහාසය නමින් ලියනආරච්චි මහතා, පළකිරීම සඳහා සංස්කරණය කරමින් සිටින, කෘතියෙන් දෙපළකින් උපුටා ගැණුනු ඒවාය.

ප්ලේටෝ

I

බුඬිය මිත්‍රයෙකැයි සිතා කාව්‍ය දෙවියන් මරා හෙළීම

(ක්‍රි.පූ.427-347)

පූර්ව ප්ලේටෝ අවධියේ දී ක්‍රමයෙන් මෝදු වෙමින් පැවති බටහිර සාහිත්‍ය විචාර ක්ෂේත්‍රයට නිශ්චිත රූපයක්, ස්ථායී භාවයක් හා දිශාවක් ද දෙනු ලබන මුහුන් වෙසෙසක් සදිසි සංකල්පයක් දායාද කරනු ලබන්නේ ප්ලේටෝ විසිනි. ඒ පළමුවන පරිච්ඡේදයේ දී ද සඳහන් කරන ලද – ජනරජය ‍කෘතියෙහි සඳහන් වන -“දර්ශනය හා කාව්‍යය අතර දීර්ඝ කාලීන අරගලය” යන සංකල්ප‍යයි. දිගටම කියවන්න

ප්ලේටෝ විසින් ලියන ලද කෘතීන් සියල්ලම විනාශ නොවී රැකී ඇති බව කියැවේ. මේ අතරින් වැඩි ප්‍රමාණයක් ලියැවී ඇත්තේ ද සංවාද (dialogue) ස්වරූපයෙනි. දින වකවානු වලට වඩා ඒවායේ භාෂා ශෛලීන් සැලකිල්ලට ගෙන පර්යේෂකයන් විසින් ඔහුගේ කෘතීන් කොටස් තුනකට බෙදා දක්වා ඇත. මින් පළමුවන කොටස සමන්විත වන්නේ සොක්‍රටීස් ප්‍රධාන චරිතය ලෙස ගෙන රචිත ‘සොක්‍රටීසියානු’ කෘතීන් ය. මෙම කෘතීන්හි විශේෂත්වය වන්නේ සොක්‍රටීස් ප්‍රධාන චරිතය වශයෙන් නිරූපණය කෙරෙන අතර ඔහු ලවා ප්‍රශ්න කරවීමත් ඊට පිළිතුරු ලබාගෙන අන්‍යයන්ගේ දුර්වලතා හා අඩුපාඩු ‘නාට්‍යාකාරයෙනුත්’ පැහැදිලි තර්ක මාර්ගයෙනුත් හෙළිදරව් කොට, ඔවුන් මුළු කොට, නිරුත්තර කොට වරද පිළිගන්නා හෝ අවබෝධ කොට ගන්නා හෝ තත්වයට පැමිණවීමයි. මෙම ප්‍රශ්නෝත්තර ක්‍රියාවලියේ දී බොහෝ විට නොවේ නම් ඇතැම් විට සොක්‍රටීස් තමන්ගේ නොදැනුවත්කමක් ඇඟවීම මගින් නගන උත්ප්‍රාසයෙන් (සොක්‍රටීසියානු උත්ප්‍රාසය – Socratic irony) සිය ප්‍රතිවාදියා දමනය කරනු පෙනෙයි. මෙම රචනෝපක්‍රමය භාවිත කෙරෙන රචනා වලට අයත් වන්නේ, ‘විත්තිවචය’ (Apology) (මෙය සංවාදයක් නොවේ), ක්‍රයිටෝ (Crito), අයොන් (Ion) යනාදී කෘතීන් නවයකි. දෙවෙනි කාණ්ඩයට අයත් කෘතීන්වල ද සොක්‍රටීස් ප්‍රධාන කථකයා වෙයි. එහෙත් මෙහි දී ඇති වෙනස නම් සොක්‍රටීස් ඇතැම් විට තම සිද්ධාන්ත වල ම ප්‍රකාශකයා වන අතර තවත් විටෙක ප්ලේටෝගේ මතවාදයන් හි ප්‍රකාශකයා වීමයි. මේ අනුව සොක්‍රටීස්ගේ භූමිකාව ක්ෂය පක්ෂයට අවතීර්ණ වන බව පෙනෙයි. මේ කොටසට අයත් වන කෘතීන් දහතුන අතර ෆීඩෝ (Phaedo), ‘ෆීඩ්‍රස්’ (Phaedrus), මධුසාදය (Symposium) හා ‘ජනරජය’ (Republic) වැනි කෘතීන් වෙයි. තෙවන කොටසට අයත් ‘ක්‍රයිටියාස්’ (Critias), ‘විතණ්ඩවාදියා’ (Sophist), ‘පොලිටිකස්’ (Politicus), ‘ටිමේයස්’ (Timaeus), ‘ෆයිලීබස්’ (Philebus) හා ‘නීති’ (Laws) යන කෘතීන්වල සොක්‍රටීස්ගේ භූමිකාව තවත් ක්ෂය වනු පෙනෙයි.

පුරාතනයේ දී හසුන්පත් (epistles) ස්වරූපයෙන් ලියන ලද රචනා දහතුනක් ද ප්ලේටෝට ආරෝපණය කොට ඇතත් නූතන විද්වතුන් පිළිගන්නේ ඒවායින් තුනක් පමණක් ප්ලේටෝගේ ලෙස පිළිගත හැකි බවයි.

මේ ඓතිහාසික කරුණු කෙසේ වුවද ඔහුගේ කෘතීන් පරිශීලනය කිරීමේ දී ඇතැම් කරුණු කැපී පෙනෙයි. මේවා බටහිර සාහිත්‍ය විචාරයට කෙතරම් දුරට සම්මාදම් වූවාදැයි විමසීම මෙහි දී මගේ පරමාර්ථය වෙයි.

ප්ලේටෝ මට පෙනෙන්නේ විරුඬාභාසයන් සමවායකින් සුසැදි අධ්‍යාත්මයක් සතු ප්‍රාඥයකු ලෙසිනි. මෙකී විරුඬාභාසය සමවාය විසින් ඔහුගේ අධ්‍යාත්මයට කිසියම් බහුරූපේක්ෂී ප්‍රභාවක් (kaleidoscopic brilliance) සපයන ලද බව පෙනෙයි. ප්ලේටෝගේ අධ්‍යාත්ම චෛචිත්‍රය ඔහුගේ ඇතැම් කෘතීන් – මධුසාදය, ජනරජය, ෆීඩෝනම් සංවාදය – තුළ සුවිශේෂ වශයෙන් ද තවත් කෘතීන් තුළ අවශේෂ වශයෙන් ද පවත්නා බව පෙනෙයි. යට සදහන් කෙරුණු බහුරූපේක්ෂී ප්‍රභා මණ්ඩලයේ න්‍යෂ්ටිය වශයෙන් සැලකිය හැකි ‘කාව්‍යය හා දර්ශනය අතර දිගු කාලීන අරගල’ පුළිඟුව එකී සෑම විරුඬාභාසයක් තුළම දිදුලුම් දෙනු පෙනෙයි.

මේ විරුඬාභාසයන් මොනවා ද? පළමුව ප්ලේටෝගේ ජීවන පුවතෙහි එන ඉතාමත් අපූර්ව සිදුවීමක් අන් සියල්ල පරයා මතු වෙයි. විසි හැවිරිදි කල ඔහු සොක්‍රටීස් වෙතින් ශිෂ්‍යභාවය ලබන්නට පෙර කාව්‍ය හා නාටක රචනයෙහි යෙදුණු බවත් නමුත් පසුව එම රචනා විනාශ කොට දමා දර්ශනය හා ගණිතය හැදෑරීම වෙත නැඹුරු වූ බවත් කියැවේ. පුරාණ ග්‍රීක සම්ප්‍රදායට අනුව කාව්‍ය නිර්මාණකරණය දේව අනුප්‍රාණය ලබා කෙරුණු කාර්යයක් බවට විශ්වාස කෙරිණි. එහෙත් දාර්ශනික ‘බුඬිය මිත්‍රයෙකැයි සිතූ’ ප්ලේටෝ සොක්‍රටීස් – ගස යටට වී ‘මග රැක සිට’ සිය කාව්‍ය ‘දෙවියන් මරා’ හෙළීමෙන් පසු බුඬිය සොයා ගිය ගමනේ දී එම දෙවියන් ඔහු අත් නොහැර වරින් වර නොව නිබඳ ව පිහිටට ආ බවට මධුසාදය, ජනරජය ආදී මෙහි සඳහන් කෙරෙන නොකෙරෙන සංවාදයන් සාක්ෂි දරයි. මීටත් වඩා කුමන විරුඬාභාසයක් ද?

දෙවනු ව ග්‍රීසියෙහි ක්‍රි:පූ: සයවෙනි සියවසේ සිට පැවැත්තේ යයි ප්ලේටෝ කියන ‘කාව්‍යය හා දර්ශනය අතර දිගුකාලීන අරගලය’ පස්වන සියවස ගෙවී යත් ම තම ආත්මගත අරගලයක් බවට පත් කරගත් සෙයක් පෙනී යයි. සිය රට තුළ සිදුවන සමාජ අරගලයක් සිය අධ්‍යාත්මය තුළට ගැනීම සඳහා ක්‍රියාත්මක වන්නේ හුදු බුඬි ශක්තියට වඩා භාවමය සංවේදීතාවය බව නොකිවමනා ය.

II මරා දැමූ කවියා ‘ඇපලොජිය’ තුලින් යලි උපදියි

ක්‍රි:පූ: 470 දී මරණ දඬුවමට නියම කරන ලද හැත්තෑ හැවිරිදි සොක්‍රටීස් අධිකරණය ඉදිරියෙහි පෙනී සිටිමින් කරන ලද ක්ෂමාලාපය (apology) ඇසුරෙන් ප්ලේටෝ ‘ඇපොලොජි’ (Apology) නමින් අපූරු රචනාවක් කෙළේ ය. සොක්‍රටීස් මුහුණ දුන් ඒ අවස්ථාව හා අනන්‍යගත ප්ලේටෝ විසින් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් රචිත ඒ ‘ඇපලොජිය’ කාව්‍යයක් වැන්න. සිය ගුරු දේවයන්ගේ නිදොස් බව පිළිබදව ලොවට හඬගා කීමට ‘ඇපලොජි කාව්‍යය’ ඉදිරිපත් කරන ප්ලේටෝ කලකට පෙර එතුමන්ගේ සෙවනෙහි හිඳිමින් ‘කවියා මරා දැමූ’ පසු ඔහුගේ ශිෂ්‍ය ඇරිස්ටෝටල් විසින් කවියා වෙනුවෙන් – කවියාගේ නිදොස් බව දැක්වීමට – ඉදිරිපත් කරන ලද ‘ඇපලොජිය’ වූ කලී ‘කාව්‍ය ශාස්ත්‍ර’ වෙයි. මේ ඇපොලොජි දෙක අතර පැහැදිලි වෙනසක් ඇත. ප්ලේටෝගේ කෘතිය වූ කලී මියැදුණු සොක්‍රටීස්ගේ සමස්ත අධ්‍යාත්මය ම තමා තුළට අවශෝෂණය කොට ගෙන එමගින් කතුවරයා කවියා ලෙස උපත ලබන ශුඬ භූමියයි. එබැවින් එම ‘ඇපලොජියෙන්’ අප දකින්නේ සොක්‍රටීස්, ප්ලේටෝ හා කවියා යන ත්‍රිත්වය ම භාව අනුහසින් ඒකීයත්වයට පත්වුණු ලෙසකි. එහෙයින් ප්ලේටෝගේ ‘ඇපොලොජිය’ භාව කේන්ද්‍රීය සාහිත්‍ය නිර්මාණයකි. සිය ආරම්මණයට සාපේක්ෂ ව රචකයා දුරස්ථ ව නොසිටියි. රචකයාත් ආරම්මණයත් භාව නම් වූ හුයෙන් බඳින ලදු ව එක් ම ලක්ෂයක් සම්පාත වී සිටිනු අපට පෙනෙයි. නමුත් ඇරිස්ටෝටල්ගේ ‘ඇපොලොජිය’ තුළ කතුවරයා සිය ආරම්මණයට, එනම් කවියාට, සාපේක්ෂව දුරස්ථව සිටියි. එමෙන් ම භාවයන් අනාරාධිතය. ඇරිස්ටෝටල් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරමාදර්ශී විචාරකයකු බව ඔහුගේ ‘කාව්‍ය ශාස්ත්‍ර – ඇපොලොජිය’ ඔප්පු කොට සිටියි. මෙහි දී මතු ව සිටින උත්ප්‍රාසාත්මක අරුමය නම් ‘කාව්‍ය ඝාතකයා’ විසින් ලියන ලද ‘ඇපොලොජිය’ කාව්‍යයක් වීමත් ‘කාව්‍යාරක්ෂකයා’ ලියූ ‘ඇපොලොජිය’ කාව්‍යයක් නොවීමත් ය.

ඒ අනුව ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්ගේ මෙම රචනා ශෛලීන් දෙකෙන් අපට උකහා ගත හැකි මහඟු අරුතක් වෙයි. එක ම කාසියක දෙපැත්ත සිහි කරවන එකී දිසි අරුත නම් නිර්මාණකරුවාගේ ලොව තුළ භාවයන්ට උරුම කාර්යභාරයක් තිබිය හැකි වුව ද විචාරකයාගේ ලොව තුළ එබන්දකට ඉඩ කඩ තිබිය නොහැකි බව ය.

මේ ගුරු ගෝල දෙපළ සාහිත්‍යය (කලාව) දෙස බැලූ ප්‍රති විරුඬ කෝණයන් ඔවුන් රැගෙන යන ගමනාන්තයන්හි ප්‍රතිඵල මොනවාදැයි පිරික්සා බැලීම මගේ අභිප්‍රායට උදව් වෙතියි සිතමි. ප්ලේටෝ ට සාහිත්‍යය යනු මිනිස් සිතට බලපාන ප්‍රපංචයක් බව ජනරජයඅපට පෙන්වා දෙයි. ඔහුට ප්‍රධාන වන්නේ මිනිස් සිතයි.

Advertisements

One thought on “අවමංගල”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )