කුමුදු ගේ තීරුව

සංවර්ධන මූලධර්මවාදයට යටවන නාගරික දුප්පතුන්ගේ ජීවිත
නගර සංවර්ධනය පිළිබඳ වික්ටර් අයිවන් සමග සාකච්ඡාව ඉදිරියට ගෙන යමින් ඔහුගේ අවසන් ලිපිය (නගර සංවර්ධනය හා මූලධර්මවාදය,‘ රාවය, 2011 නොවැම්බර් 06) ට මගේ ප්‍රතිචාරය මෙම ලිපියෙන් ඉදිරිපත් කරමි.

මා මෙම කරුණෙහි ලා මැදිහත් වන්නේ සම්ප්‍රදායික සමාජ විද්‍යාඥයෙකුට වඩා සමාජය අධ්‍යයනය පිළිබඳ ඇල්මක් දක්වන සමාජ විචාරකයෙකු සහ පුරවැසියෙකු වශයෙනැයි සිතන්නට කැමැත්තෙමි. මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට වික්ටර් දක්වන කැමැත්ත පිළිබඳ මා සතුටු වෙමි. මන්ද යත්, අපගේ සාමුහික දිවි පෙවෙතට බලපාන කරුණු පිළිබඳ අදහස් නිදහසේ, මහජන තලයේ සාකච්ඡා කරන්නට අප යොමුවීම අප සමාජයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ජීවමානව පවත්වාගෙන යාමට අප තුළ ඇති උනන්දුව ප්‍රකාශ කිරීමක් වන හෙයිනි.

මූලධර්මවාදය
වික්ටර් අයිවන් තම ලිපිය නම් කොට ඇත්තේ ‘නගර සංවර්ධනය හා මූලධර්මවාදය‘ යනුවෙනි. ශ‍්‍රී ලංකාවේ මතවාදී තලය පසුගාමී යැයි පවසන වික්ටර් ඒ කෙරෙහි බලපා තිබෙන මූලධර්මවාදී අදහස් ද ඊට හේතු වී ඇතැ යි කියයි. ඔහු හඳුනා ගන්නා විවිධ මූලධර්ම මූලයන් අතර මානව හිමිකම් දෘෂ්ටිය ද වෙයි. මානව හිමිකම් කෝණය හැම දේකටම ගෙඩි පිටින් ගිල්වන්නට දරන වෑයම විශාල අවුල් ඇති කිරීමට හේතුවිය හැකියැයි ඔහු කියයි.

ආරම්භයේදීම අවධාරණය කළ යුතු කරුණක් තිබේ. ඒ මම මානව හිමිකම් මූලධර්මවාදියෙකු නොවෙමි යන්නයි. මම කිසිම ආකාරයක මූලධර්මවාදියෙකු නොවෙමි. අද ලංකාවේ අධිපති බවට පත්ව ඇති සංවර්ධන කතිකාව සැබෑ මූලධර්මවාදයක ස්වරූපය ගනිමින් සිටියි. එය අන් සියලු දෙය, අප අගය කරන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව දයාව ඈ වටිනාකම් පවා ඒ වෙනුවෙන් කැප කරන මෙන් අපට බල කර සිටියි. රටේ දියුණුව වෙනුවෙන් අප අන් සියල්ල කැප කළ යුතු යැයි කියනු අපට නිතර අසන්නට ලැබේ. සංවර්ධන මූලධර්මවාදය නගරයේ දුප්පතුන් ට නගරයේ පුරවැසියන් ලෙස ඔවුනට ලැබිය යුතු අයිතීන් යටපත් කරන්නට උත්සාහ දරයි.

පුරවැසි අයිතීන් ගැන කතා කළ හැකි එකම විධිය මානව අයිතීන් මත පදනම්වීම නොවේ. නූතනයේදී පුරවැසි අයිතීන් සහ මානව අයිතීන් එකිනෙක මත අති පිහිතවීමක් තිබිය හැකි නමුදු පුරවැසි අයිතීන් ස්වාධීනව පැවතිය හැකිය. නගරයක පුරවැසියනට ඔවුන් එහි පුරවැසියන් වීම නිසාම ඇති අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ගෙන් නගරයේ සාමුහික ජීවිතයට ඉටු විය යුතු යුතුකම්ද අතීතයේ සිටම හඳුනාගෙන තිබේ.

මගේ ලිපියේ ‘නීතියේ සාධාරණය‘ යන උප සිරස්තලය යටතේ ඔස්ටින් ප්‍රනාන්දු ගේ ලිපියක් උපුටා දක්වමින් නගරයක පුරවැසියන් තමන් පදිංචි වාසස්ථාන වලින් හිතුමතේ ඉවත් නොකිරීම සහතික කෙරෙන ජාත්‍යන්තර මානව අයිතිවාසිකම්, සරණාගත සහ මානවවාදී නීති පවතියි යන්න මා සඳහන් කළේ මෙම කරුණු පිළිබඳ ඇති ජාත්‍යන්තර පිළිගැනීම පෙන්වා දීමට මිස මා මානව හිමිකම් මූලධර්මවාදියෙකු නිසා නොවේ. ලංකාව මෙම නීති වලට බැඳී ඇති තාක් දුරට ඒවා පිළිපැදීම ජාත්‍යන්තර ප්‍රජාවේ සාමාජික රටක් වශයෙන් අපගේ වගකීමකි.

ලංකාවේ මා සඳහන් කළ දුප්පතුන්ගේ අයිතීන් යනු සාධාරණ යුක්ති ධර්මයෙන් එන ඔවුනටත් අන් අය හා සමානව සැළකිය යුතුය යන්නෙන් එන්නකි. ඒවා නූතනයේ ලිබරල් මානව අයිතිවාසිකම් ලෙසින් ප්‍රඥප්ති ගතවී තිබීමෙන් අගයෙන් හීන නොවේ. දුප්පතුන්ට මානවයන් ලෙස සමානව, සාධාරණ ලෙස සැළකීම මෙරට වාමාංශික ව්‍යාපාරය ආරම්භයේ සිට ජනයා අතරට ගෙන ගිය, ජනයා පිළිගත් අදහසකි. සමාජය පිළිබඳ බුදුන් ගේ එළඹුමෙහිද අසරණයටනට පිහිට වීමත්, දුප්පතුන්ට, පීඩිතයනට මානවයන් ලෙස සමානව සැළකීමත්, ඔවුනට සාධාරණය ඉෂ්ටවනු දැකීමේ අභිප්‍රායත් මුල් තැනක් ගත්තේ යැයි කීම නිවැරදි යැයි සිතමි.

මම වික්ටර් ගේ ලිපියට දැක්වූ ප්‍රතිචාරය ආරම්භයේදී මෙසේ කීවෙමි: “මෙහි ලා මා අවධාරණය කරන්නට කැමති අදහස නම් නගර සංවර්ධනයේදී වැදගත්ම කරුණ වන්නේ සංවර්ධනය සිදුවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජන දිවියේ විවිධත්වය සුරැකෙන අයුරිනි, යන්නයි.“ මා එසේ කීයේ වික්ටර් සිතන පරිදි මෙම මූලධර්ම දියුණු ධනේශ්වර රටවල් නගර සංවර්ධනයේදී අනුගමනය කරන නිසාම නොවේ. මෙම මූලධර්ම අපේ සමාජය අගයන ඒවා හෙයිනි. අපට අපේම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ. එය අපට බටහිරින් ලැබී සකස් කරගත්තක් බව සැබෑය. නමුත් දැන් එය අපේ නූතන සම්ප්‍රදායේ කොටසකි. අපේ පූර්ව නූතන සම්ප්‍රදායේත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම තිබී ඇතැයි කියනු ලැබේ. අපේ සමාජය විවිධත්වය රැකීමට කැපවූ එකක් බව ජන ජීවිතය පෙන්වයි. විවිධත්වයට අකුල් හෙළන්නේ පටු වාසි තකන දේශපාලකයන් ය.

නගර සංවර්ධනයේදී පුරවැසියාට හිමිවිය යුතු තැන පිළිබඳ උදාහරණයට මා අමෙරිකාව ගත්තේ අප බටහිර ධනේශ්වර සංවර්ධන ආකෘතිය හඹා යන හෙයින් අවශ්‍ය නම් බටහිර ධනේශ්වර සංවර්ධනයේ මුදුන් මුල් කඩ ලෙස සළකනු ලබන අමෙරිකාවෙන් මේ පිළිබඳ අපට ඉගෙන ගත හැකිය යන්න පෙන්වා දීමට ය. මා යෝජනා කරන විසඳුම් බටහිර රටවලින්ම ආ යුතු නොවේ, අපගේම සම්ප්‍රදාය තුළ මෙය ඇත. දුප්පතුන්ට මානව දයාවෙන් සැළකීම අප බටහිරින් ගත යුතු නැත.

විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව තුළ මිනිස් වර්ගයාගේ ප‍්‍රගතිය නොවැළැක්විය හැකිවේයැ යි විශ්වාස කළ යුගයක් තිබුණු බවටත්, විද්‍යාව හා තාක්ෂණය මිනිසාගේ භෞතික ජීවිතයේ විස්මයජනක දියුණුවක් ඇති කර තිබුණද ඒ දියුණුව ස්වභාව ධර්මයේ සමතුලිතභාවය බිඳ දැමීමට හේතුවී තිබේ යැයි ත්, වික්ටර් පළ කරන අදහස වැදගත්ය. නොවැළැක්විය හැකි ප්‍රගතිය පිළිබඳ විශ්වාසය කඩවීයාමට ප්‍රධානතම හේතුවක් වූයේ විද්‍යාවේ පිහිටෙන් සමස්ත මානව වර්ගයාගේ සමූල ඝාතනයට හේතුවිය හැකි න්‍යෂ්ටික අවියද ඇතුලු අවි නිෂ්පාදනය කොට ඒවා පාවිච්ච් කිරීම යි. කොළඹ නගරය කෙටි කලක් තුළ සමස්ත වෙනසකට ලක්වනු දැකීමට පළවන අපේක්ෂාව මිනිස් වර්ගයාගේ නොවැළැක්විය හැකි ප්‍රගතිය පිළිබඳ විශ්වාසයත් සමග බැඳුණු අදහසක් නොවේද?

“කොළඹ නගරයේ දැන් සිදුවන සංවර්ධනය එම ප්‍රතිපත්තිවලට අනුකූල නොවන නිසා එය අසාර්ථක සහ අයහපත් වැඩ පිළිවෙලක් යන්න“ මගේ මතය වී තිබේ යැයි වික්ටර් කීම නිවැරදි නිරීක්ෂණයක් නොවේ. මගේ ලිපියේ අරමුණ වූයේ කොළඹ නගරයේ දැන් සිදුවන සංවර්ධනය සමස්තයක් ලෙස ගෙන එය ‘අසාර්ථක සහ අයහපත් වැඩ පිළිවෙලක්‘ යැයි තීන්දු කිරීම නොව වික්ටර් තම මුල් ලිපියේ කොළඹ නගර සංවර්ධනය පිළිබඳ මැවූ චිත්‍රය සම්පූර්ණ කරන්නට එහි ඇති ගැටලු මතු කිරීමය, වික්ටර්ගේ අවධානයට හසු නොවූ පැති මානයන් සාකච්ඡාවට ගෙන ඒමය.

පිරිසිදු කම සහ පරිසර පොලීසිය

උදාහරණයක් ලෙස කොළඹ නගරයේ පිරිසිදු කම පිළිබඳ ප්‍රශ්නය ගනිමු. එහිදී වික්ටර් මා රාජපක්ෂ විරෝධී විචාරකයන් ගේ ගොඩට දැමීමද නිවැරදි නිරීක්ෂණය ක් නොවේ. කොළඹ නගර සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවට මා මැදිහත්වන්නේ මා ජීවත්වන නගරයේ යහපත පිළිබඳ උනන්දුවක් දක්වන පුරවැසියෙකු සහ සමාජය අධ්‍යයනය පිළිබඳ ඇල්මක් දක්වන සමාජ විචාරකයෙකු ලෙස විනා රාජපක්ෂ විරෝධීයෙකු හෝ පාක්ෂකයෙකු වීමේ අරමුණින් නොවේ. නගරය පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය හෙයින් එය බෙහෙවින් අගය කළ යුතු දෙයකි. කොළඹ නගරයේ කුණු එකතු කිරීම පෞද්ගලික අංශයට පවරා දුන්නේ ආර්ථික නිර්බාධීකරණය යටතේ ඇති වූ වෙනස් කම් පසුබිමෙහිය. නමුත් පෞද්ගලික අංශයට පැවරූ මෙම කටයුත්ත කළමනාකරණය යුද්ධය සමයේ දුර්වල වූ හෙයින් කුණු එකතු කිරීම නිසියාකාරව සිදුනොවී අවුලක් බවට පත්වූ තැන රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එයට මැදිහත් වී කුණු එකතු කිරීම කාර්යක්ෂම කරන්නට පියවර ගත්තේය. එයින් නගරයේ කුණු අවුල විසඳුන විට එය සියලු නගර වැසියන්ගේ ප්‍රසාදයට හේතු වීයැයි කියන්නට අප පැකිළිය යුතු නැත. නමුත් අනෙක් අතට එයින් පෙන්නුම් කෙරුණේ නගරයේ දේශපාලන ව්‍යුහය කඩා වැටී තිබුණු බවයි.

නගරයේ පිරිසිදු කම පිළිබඳ මගේ ලිපියේ මා කලේ “පිරිසිදුකම මහජනයා බියගැන්වීමෙන් නොව මහජනයාට කරුණු තේරුම් කරදීමෙන් හා නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය අකුරටම ක‍්‍රියාත්මක කිරීමෙන් ජයගත යුතුව තිබෙන ඉලක්කයකි. බියගැන්වීමෙන් ද ඒ ඉලක්කය ජයගත හැකි වුවත් එය තෝරාගැනීමට තිබෙන ප‍්‍රශස්ත මාර්ගය වන්නේ නැත“ යි වික්ටර් ප්‍රකාශ කළ අදහසට එකඟ වෙමින් නගරසභා ඡන්දයෙන් පසු පොලීසිය නගරයේ පිරිසිදු කම පවත්වාගෙන යාමට මැදිහත් වීමෙන් ඉවත් කර ගැනීමට යාම පිළිබඳ ගැටලුව මතු කිරීම යි.

මා ලියූවේ “කොළඹ නගරයේ පිරිසිදු කම පවත්වා ගෙන ගොස් ඇත්තේ පොලීසිය ඊට මැදිහත් වීමෙන් බව“ මිස පොලීසිය කුණු එකතු කළ බව නොවේ. ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු 2011 ඔක්තෝබර් 9 වැනිදා ‘අයිලන්ඩ්‘ පුවත් පතේ වාර්තා කර සිටියේ කොළඹ එජාප ජයග්‍රහණයෙන් පසු නගරයේ අපද්‍රව්‍ය කළමනාකරණයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය ඉවත් වනු ඇති බවයි. නගර සභාවට නව පරිපාලනයක් පත්ව තිබීම ඊට හේතුව වශයෙන් දක්වා තිබුණි. නාවික හමුදාව විහාර මහා දේවී උද්‍යානය නඩත්තු කරන බවත්, ඩෙංගු මර්ධන කටයුතුවලට සහාය දීමට යොදවා ඇති බවත් මෙම පුවතේ සඳහන් විය. 2011 ඔක්තෝබර් 12 වැනිදා ‘අයිලන්ඩ්‘ පුවත් පතේ “ආණ්ඩුව නගරයේ අපද්‍රව්‍ය කළමනාකරණයෙන් ඉවත් විමට යයි“ යන සිරස්තලය යටතේ ජෙෆ්රි ගේ කාටුනයක් ද පළ විය. එයින් දින කිහිපයකට පසු තවත් ජාතික පුවත් පතක පළ වූයේ නගරයේ අපද්‍රව්‍ය කළමනාකරණයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය ඉවත් වනු ඇති බවයි. දිනපතාම පා‍හේ නගර මධ්‍යයට ගමන් කරන මගේ නිරීක්ෂණය වූයේද නගරසභා ඡන්දයෙන් ටික දිනකට පසු පරිසර පොලීසිය ඒ කටයුත්තෙන් ඉවත් වූ බවයි. නමුත් මා අලුතෙන්ම දුටු දෙය නම් දැන් යළිත් පරිසර පොලීසිය ක්‍රියාත්මක වන බවයි.

නගරයේ කුණු ඉවත් කොට එය පිරිසිදුව තබා ගැනීම එහි සිවිල් පරිපාලනයේ වගකීමකි. එයට පොලීසිය මැදිහත් කිරීමට සිදුවූයේ සිවිල් පරිපාලනයට එය නිසි ලෙස කළ නොහැකි වූ විටය. නමුත් කුණු ඉවත් කිරීමට පොලීසිය මැදිහත් කිරීම, වික්ටර් පෙන්වා දුන් පරිදි “පිරිසිදුකම මහජනයා බියගැන්වීමෙන්“ පවත්වාගෙන යන්නක් බවට පත් කිරීමක් වන්නේ නම්, එය අප සමාජය සම්බන්ධයෙන් මවන්නේ යහපත් චිත්‍රයක් නොවේ. අප අපේ සාමුහික පැවැත්ම යහපත් කරගැනීම සඳහා ස්වේච්ඡාවෙන් කළ යුතු යමකට පොලීසිය අපේ පස්සෙන් සිටිය යුතුනම් ඉන් කියැවෙන්නේ අපේ සමාජයේ පිරිහීම නොවේද? ටික කලකට පෙර ගාලුමුව දොර පිටියට පැමිණෙන්නන්ට එහි හැසිරිය යුතු ආකාරය පිළිබඳ විවිධ උපදෙස් දෙමින් පිටිය පුරා තැන තැන සවිකොට තිබූ පුවරු සමූහය මට සිහිපත් කළේ සිංගප්පූරවේ වැසියන්ගේ හැසිරීම පාලනය කිරීමට රජය උග්‍ර ලෙස මැදිහත් විම වැනි යමක් මෙහිද සිදුවෙමින් පවතින්නේ ය යන්නයි. මෙවැනි දැඩි පාලනයක් අපේ සමාජයට අවශ්‍ය නම් වඩා වැදගත්ව අප අවධානය යොමු කළ යුත්තේ එවැනි තැනකට සමාජය වැටීමට හේතු වූ කරුණු පිළිබඳ ය.

පරිසර පොලීසිය නගරය පිරිසිදුව තබා ගැනීමට මැදිහත්වීම මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නක් යැයි මම කියා නැත. අදහස් කරන්නේද නැත. මට කියන්නට අවශ්‍ය පුරවැසියන් අතර එකඟතාවෙන් සිදුවිය යුතු සමාජීය කටයුතු වලට නීතිය හා බලය ආදේශ කෙරෙන තරමට එම සමාජය ඇතුළතින් පිරිහුණු සමාජයක් වන්නේය යන්නයි. ඉහලින් බලය යෙදවීම අත්‍යවශ්‍ය වන විට හැරුණු විට එය පැනවීම අප සමාජයේ සාමූහික ගූණය හීන කිරීමට හේතු වෙයි. දැඩි පාලනයක් ඉහළින් පනවා සමාජ පර්යාය ගොඩ නැංවීමට යොමුවීම පෙන්නුම් කරන්නේ අභ්‍යන්තර සවයං විනයක් ගොඩ නඟා ගැනීමට අසමත් සමාජයකි. සමාජ පර්යාය ඉහළින් නොපැනවී සමාජයේ වැසියන් අතර වන ගණුදෙනුවෙන් පැන නගින්නට ඉඩ සැළසීම තුළ සමාජය ඇතුළතින් යහපත් එකක් බවට පත්වෙයි.


නීති සහ ස්වේච්ඡාව

පිරිසිදු කම ඇති කරගැනීමට නගරයක නීති තිබීම ගැටලුවක් නොවේ. කොළඹ නගරයේ පිරිසිදු කම පිළිබඳ නීති දැනටමත් තිබේ. ඒවා සම්පාදනය කෙරුණේ කෙසේද? නගරයක නීති සම්පාදනය විය යුත්තේ පුරවැසියන්ගේ අදහස් නියෝජනය කෙරෙන පරිදි මිස එක් එක් පුද්ගලයාගේ තනි අදහස් උඩ නොවේ.
පුරවැසියන්ට පෞද්ගලිකව හෝ සාමුහිකව බලපාන හෝ නගරයේ පොදු යහපතට අදාළ කරුණු වලදී පුරවැසියන්ට ඒ බව කල්තබා දැනුම් දී ඔවුන්ගේ ද අදහස් සැළකිල්ලට ගෙන අවශ්‍ය වෙනස් කම් කිරීම අපේ නගර දැනට පාලනය කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් හා එකඟ නොවන්නේද? එවැන්නක් ක්‍රියාත්මක කිරීමට නොහැක්කේ මන්ද?
නිවැසියන් විසින් හොඳ නිවාස ක්‍රමයක් තෝරා ගන්නා තෙක් ඉන්නට ඉඩ හැරීම වික්ටර් හෝ මා සම්බන්ධයෙන් සිදුවිය යුතු දෙය බව වික්ටර් පිළිගනු ඇතැයි සිතමි. අපේ නේවාසය අපේ කැමැත්ත පරිදි සිදුවිය යුතුය. මුඩුක්කු සහ පැල්පත්වාසී මිනිසුන් සම්බන්ධයෙන් එය වෙනස් වන්නේ මන්ද? ඔවුන් දුප්පත් නිසාද? එයින් ප්‍රකට වන දුප්පතුන් පිළිබඳ අපේ ආකල්පය කුමක් ද?

ඔවුන් රජයේ ආරක්ෂාවට හෝ පරිසරයට හෝ හානි කරන (රක්ෂිත ඉඩම් වල), ඔවුනටම අනතුරු සිදුවිය හැකි ස්ථානවල පදිංචිව සිටින්නේ නම් ආසන්නව ඇති හිස් බිමක පදිංචි වීමට ඔවුනට මඟ සලසා දීම රජයේ වගකීමකි.මෙම කරුණ සමාජ ප්‍රශ්නයක් ලෙස සළකා එක සැළසුමකින් විසඳන්නට හැකි යැයි සිතීම සැළසුම්කරුවන් සිහින ලෝක මැවීම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නෙවේ. ඔවුනගේ සිහින ක්‍රියාවට නැංවීමට යාමේදී ඔවුහු මානව සාමුහික ලෝකයේ දිගුකල් පැවැත්මට වින කටින්නේද වෙති.

පයින් යන්නෝ

වික්ටර් කියන්නේ පදික වේදිකා නිදහස් කිරීම සහ සුව පහසු කිරීම නිසා පයින් ගමන් කරන්නන්ගේ ගේ පහසුව පැහැදිළිව වර්ධනය වී තිබෙන බවයි. මා කීවේ නගරයේ ප්‍රවාහන ප්‍රතිසංවිධාන පියවර පයින් ගමන් කරන්නන් නොසළකා හැර ඇති බවයි. දෙක වෙනස් කරුණු දෙකක් යැයි සිතමි. එක දිශාවට වාහන යන සේ මාර්ග ප්‍රතිසංවිධානයෙන් සහ පාරවල් අධික ලෙස පළල් කිරීමෙන් පයින් ගමන් කරන්නන්ට වීදි හරහා යාමේ අපහසුතා ඇති වී තිබේ. එක් පැත්තකට පමණක් යන වාහන නිසා බසයත් ගමනාන්තයත් අතර වැඩි දුරක් ඇවිදින්නට පයින් ගමන් කරන්නන්ට සිදු වී තිබේ.

පදික වෙළෙඳාම

පදික වේදිකාවෙන් ඉවත් කළ කිසියම් පිරිසකට වෙළෙඳ කුටි නොලැබී පක්ෂ හිතවතුන් පිරිසකට ලබා දී තිබෙනවා විය හැකි වුවත් යෝජනා ක්‍රමයේ සාර්ථකභාවය සඳහා 100% ක්ම සාර්ථක වීම අවශ්‍ය නැති බව වික්ටර් කියයි. ප්‍රශ්නය දෙස කළමනාකරණයේ, ප්‍රතිපත්ති සම්පාදනයේ දෘශ්ටියෙන් බලා යමෙකුට වික්ටර් ගේ අදහස හා එකඟ විය හැකි වනු ඇත. එම දෘශ්ටියෙන් බැලූ විට වැදගත් වන්නේ සංඛ්‍යා ලේඛණයි, තනි පුද්ගලයන්ට අත්වන ඉරණම නොවේ. මේ අනුව පුද්ගලයන් යනු ප්‍රතිශතයක කොටසක් වන අංකයකි. මා මතුකරන්නේ ජන මාධ්‍ය වේදීන් ප්‍රිය කරන ‘මානව කථාන්දරය‘ යි.

ධනේශ්වර සංවර්ධනය සහ මුඩුක්කු

දියුණු ධනේශ්වර රටවල් කාර්මික විප්ලවයෙන් පසු එක් අවස්ථාවකදී නගරවල මුඩුක්කු හා පැල්පත් බලහත්කාරය යොදා ඉවත් කළේය යන වික්ටර් ගේ නිරීක්ෂණය නිවැරදි ය. නමුත් අදාළ සාහිත්‍යය පෙන්නුම් කරන්නේ මෙම රටවල නගර සංවර්ධනය පිළිබඳ යහපත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වික්ටර් කියන පරිදි නගරවල මුඩුක්කු හා පැල්පත් ඉවත් කොට ඒවා දියුණු හා නවීන නගර බවට පත් කිරීමෙන් පසුව කාලානුක්‍රමිකව ඇරඹුන බවම නොවේ. එය, නවීකරණ ක්‍රියාවලියේ හානිකර ප්‍රථිඵලත් ඊට පසුබිම් වන සැළසුම් දර්ශනයත් පිළිබඳ සමාජයෙන් මතුවූ ප්‍රබල විවේචන සමගින් නගර සංවර්ධන ක්‍රියාවලිය තුළම සිදුවූවකි. මේ බව පසුගිය සතියේ රාවයට ජේන් ජේකබ්ස් ගේ නගර සැළසුම් දර්ශනය පිළිබඳ මම ලියූ ලිපියේ තරමක් දුරට විස්තර කළෙමි. (මේ පිළිබඳ සංක්ෂිප්ත කරුණු ගොනු කිරීමක් සඳහා බලන්න http://www.mcgill.ca/mchg/student/neighborhood/chapter1 )

පරිණාමය

බටහිර රටවල් සිය පරිණාමයේ දියුණු අදියරකදී යොදාගත් ප්‍රතිපත්ති, පරිණාමයේ ඊට වඩා පහළ අදියරක තිබෙන රටවල් සඳහා ගෙඩි පිටින් ගිල්ලවන ප්‍රතිපත්තියක් කොතරම් ප්‍රායෝගිකද යන ප්‍රශ්නය මා සැළකිල්ලට ගෙන නැතැ යි වික්ටර් කියයි.

රටවල් පරිණාමය පිළිබඳ අදහස ධනේශ්වර සංවර්ධනය පිළිබඳ රටක් අනිවාර්යෙන් යා යුතු යුග අඩංගු වන නියාමයක් මෙනි. මගේ යෝජනාව නම් අප දියුණු ධනපති රටවල් ගිය මාවතේ ම එම සියලු පියවර අවධි තුළින් යා යුතු නැත යන්නයි. රෝදය නැවත අලුතෙන් උත්පාදනය කිරීම අවශ්‍ය නොවේ. දියුණු ධනපති රටවලට වැරදුණු තැන් වලින් අපට පාඩම් උගත නොහැකිද?

සැබෑ ගෙඩි පිටින් ගිල්ලවීම, බටහිර රටවල් ‘පහළ අදියරකදී‘ අනුගමනය කළ ප්‍රතිපත්ති අපත් ඒ ආකාරයෙන්ම අනුගමනය කළ යුතු යැයි සිතීම නොවේද? නාගරික දිළිඳු බවට සහ මුඩුක්කු සහ පැල්පත් සම්බන්ධයෙන් ක්ෂණික විසඳුම් ඇතැයි සිතීම නොවේද? ඒ අනුව සැබෑ ගෙඩි පිටින් ගිල්ලවීම කරන්නට උත්සාහ කරන්නේ වත්මන් කොළඹ නගර සංවර්ධන වැඩ පිළිවෙළ යැයි මා යෝජනා කළ හොත් එය වැරදි යයි කිව හැකිද?

පරමාදර්ශී ප්‍රවේශය

මගේ යෝජනාව පරමාදර්ශී යැයි කියා ඉවත ලන්නට පෙර එය ක්‍රියාත්මක කළ නොහැක්කේ මන්දැයි සාකච්ඡා කළ යුතුය. මෙවර කොළඹ නගර සභා ඡන්දයේදී ආදර්ශ පාඨය වූයේ පරමාදර්ශී නගරය යන්නයි. ගැටලුව යම් කිසි අදහසක් පරමාදර්ශී වීමම නොවේ.

රටේ හි මහ පොළොවේ තිබෙන යථාර්ථය නම් නගරයේ ජනයා දැනටමත් තමන්ට ජීවිත ගොඩ නගාගෙන ඇති බවයි. නගරයේ දැනටමත් ගොඩ නැගුණු සජීවී සමාජයක් ඇති බවයි. ඒ අනුව මා ඉදිරිපත් කරන අදහස මෙම සාමූහික ජීවිතය විනාශ නොකොට එය ඇති තැන දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් වෙනත් අනුබද්ධ ආයතනත් කලෙක සිට මෙරට මුඩුක්කු සහ පැල්පත් සම්බන්ධයෙන් කරමින් සිට ඇති වැඩ කොටස දෙස බලන විට දැකිය හැක්කේ ඔවුන් තම ශක්ති ප්‍රමාණයෙන් එම කටයුත්ත කරමින් සිට ඇති බවයි. ඉතින් නාගරික සංවර්ධන අධිකාරය නගර සංවර්ධනයට ඇති උන්නදුව මෙම වැඩ පිළිවෙලට එක් කරන්නේ නම් එම වැඩ පිළිවෙල තවත් ඉදිරියට ගෙන යා හැකි වනු ඇත. නමුත් එම වැඩ පිළිවෙල කෙටි කලකින් මහා විසඳුම් ගෙන දෙන්නක් නොවන හෙයින් සහ ටිකෙන් ටික වැඩි දියුණු වන්නක් හෙයින් එහි ප්‍රථිඵල දකින්නට අප ඉවසීම වඩා ගත යුතු වෙයි. සමාජීය ප්‍රපංචයන්ට ප්‍රශ්න ලෙස සළකා ඒවාට දිය හැකි ක්ෂණික විසඳුම් නැත.

මුඩුක්කු පැල්පත් වාසීන්ගේ නිවාස

අවසාන වශයෙන් අපගේ සාකච්ඡාවේ වැදගත්ම කරුණ වන මුඩුක්කු පැල්පත් වාසීන්ගේ නිවාස පිළිබඳ කාරණයට යොමුවෙමු.

වික්ටර්, එක්සත් ජාතීන්ගේ Poverty Profile City of Colombo යන වාර්තාවෙන් සංඛ්‍යා ලේඛන උපුටා දක්වයි. මම එම වාර්තාවේත්, එක්සත් ජාතීන්ගේම තවත් වාර්තා කිහිපයකින් නිරීක්ෂණ උපුටා දක්වන්නට කැමැත්තෙමි. (ඊට අමතරව තවත් අදාළ තොරතුරු සහ විග්‍රහයන් පහත වාර්තාවන්හිද දැකිය හැකිය The Challenge of Slums – Global Report on Human Settlements 2003, Slums of the World: The face of urban poverty in the new millennium?) ,
එම නිරීක්ෂණ වල හරයෙහි අඩංගු ප්‍රධාන කරුණු අතර, මා කලින් ලිපියේත් කී පරිදි මුඩුක්කු පැල්පත් වාසීන්ගේ නිවාස පිළිබඳ කරුණ‍ට අදාලව ලොව පුරා පොදුවේ පිලිගැනී ඇති ප්‍රධාන මතය වන්නේ ඔවුන් තම නිවාස වලින් බලාත්කාරයෙන් විතැන් කිරීමේ ක්‍රියාමාර්ග වෙනුවට ඔවුන් ගේ වාසය හැකි තාක් දුරට ඉන්නා ස්ථාන වලම වැඩි දියුනු කිරීම සහ නාගරික දුප්පතුන් නගර සැළසුම් ක්‍රියාවලියෙහි ලා සහභාගීකරවා ගැනීම සහතික කිරීම බව පෙන්නුම් කරයි. යි. මෙම එළඹුම ගැනීමට පදනම් වන විග්‍රහයේදී නාගරික මුඩුක්කු සහ පැල්පත් ව්‍යාප්තිය ‘දුප්පත්කම නාගරිකකරණය කිරීමේ’ ලක්ෂණයක් ලෙස හඳුනා ගෙන තිබේ. මේ අනුව දුප්පත් කම ගමෙන් නගරයට මාරු වී තිබීම ලොව පුරා අඩු දියුණු රටවල නාගරිකකරණයේ සමකාලීන ව්‍යුහාත්මක ලක්ෂණයක් ලෙස සලදහන් කළ හැකිය.

Poverty Profile, City of Colombo යන වාර්තාවේ ‘කොළඹ නාගරික අභියෝග යනුවෙන්‘ නම් කොට ඇති කොටසේ ( බලන්න, පිටු 9 – 10) සාහිත්‍ය විමර්ශණයකින් පසු, අනුචිත නගර සැළසුම්කරණය යටතේ ගැටලු හඳුනාගැනීමේදී, පහත සඳහන් කරුණු සඳහන් කෙරේ: නගර සංවර්ධනය සැළසුම් කිරීම, නාගරික සංවර්ධන අධිකාරිය වැනි ජාතික මට්ටමේ ආයතන කිහිපයක් විසින්, නගරයේ ඊට අදාළ කණ්ඩායම් අවම ලෙස සම්බන්ධ කරගනිමින් කරනු ලැබේ. දුප්පතුන්ට නගර සැළසුම් ක්‍රියාවලියට ප්‍රවේශයට මඟක් නැති කම ඔවුන්ගේ ජනාවාස සහ ජීවනෝපාය ක්‍රියාකාරකම් වලට සෘජුව නිශේධනාත්මක ඵලවිපාක ඇති කරයි. එහෙයින්, අභියෝගය වන්නේ පුරවැසියන්ට පොදුවේත් නාගරික දුප්පතුන්ට සුවිශේෂයෙනුත් නගර සැළසුම් ක්‍රියාවලියෙහි ලා සහභාගීවන්නට ප්‍රමාණවත් ප්‍රවේශ මඟක් සහතික කිරීම යි. නගරයේ දුප්පතුන්ට උචිත ස්ථානයන්හි ඉඩම් වලට ප්‍රවේශ මඟ සළසා දීම මගින් නාගරික දුප්පතුන් විධිමත් නගර සැළසුම්කරණයෙහි ලා ඒකාග්‍ර කිරීම සහ තම ජීවනෝපායන් වැඩි දියුණු කර ගැනීමට දුප්පතුන් පදිංචි ඉඩම් වලට භුක්තියේ ආරක්ෂාව සැපයීම මෙම වාර්තාව හඳුනා ගන්නා තවත් අභියෝග දෙකකි.

මෙම ජනයා අතර ‘බරපතල සෞඛ්‍ය ගැටලු හෝ සමාජීය අවුල් ඇතැයි වාර්තා වී නොමැති‘ ය යන්නෙන් මා අදහස් කළේ ජාතික අවධානය ඇද ගන්නා තරම් බරපතළ ප්‍රශ්න වාර්තා වී නොමැති බවය, එයට ඇති සාක්ෂි එවැනි දේ වාර්තා නොවීම බවය. ඊට වෙනස්ව, ඩෙංගු රෝගයෙන් මිනිසුන් විය යන විට එය ජාතික මට්ටමේ අවධානය ඇද ගන්නාක් මෙනි. නමුත් ඉහත වාර්තාව, මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම කොළඹ නගරයේ දුප්පතුන් අතර බරපතළ සමාජ ගැටලුවක් විය හැකි බව සහ එහි බලපෑම තනි පවුල් ඉක්මවා යන සමස්ත ප්‍රජාවටම බලපාන එකකැ (පි. 26) යි සඳහන් කරයි. මත්ද්‍රව්‍ය සහ මත් පැනට වලට ඇබ්බැහි වූවන් ගේ සංඛ්‍යාව වැඩි වීම, තරුණයන් අතර රැකියා වියුක්තියේ ඉහළ අනුපාතය, අපරාධ ඉහළ යෑම, විවාහ අස්ථායීතාව, ළමා ශ්‍රමය නාගරික දිළිඳු ජනාවාස විශාල සංඛ්‍යාවක බරපතළ සැළකිල්ලට ලක්ව ඇති කරුණු යැයි එම වාර්තාව කියා සිටියි. මෙම සමාජ ගැටලු නිසා හැම ජනාවාසයකම දිළිඳු ජනයා අතර ධනහීන පවුල් සංඛ්‍යාව වැඩිවීමක් දක්නට ලැබේ. මෙම සමාජ නපුරුකම් වල ගොදුරු බවට පත්ව ඇත්තේ ළමයින් සහ ගැහැණුන් (පි. 29) බවද එම වාර්ථාව කියයි. නමුත් මේ කිසිදු සමාජ උපද්‍රවයක් ඔවුන් වසන නිවාස වල අධික තද බදයක් ඇති නිසා සිදුවන්නේ යැයි අපට කිව හැකිද? මෙහිලා ගැටලුව වන්නේ ඔවුන් වසන පරිසරය නම්, මෙම ජනයා මහල් නිවාස වල පදිංචියට ගෙන ගිය හොත් මෙම උවදුරු දුරුවේද? ඒ කෙසේද? යන්න අප සාකච්ඡා කළ යුතුය.

මෙම වාර්ථාවේම ‘ස්වභාවික වත්කම්‘ යනුවෙන් දැක්වෙන කොටසක, නාගරික දිළින්දන්ගේ මුළු ජීවනෝපාය රටා ස්ථානීය වාසි ( මාර්කැට්ටු, වැඩ ස්ථානය, කර්මාන්ත, නාගරික කෘෂිකර්මය සඳහා ආන්තික ඉඩම්) වලින් හැඩ ගන්වා ඇතැයි පෙනෙන්නට ඇති ලෙසකි (පි. 26) යි සඳහන් ය. පිළිගත හැකි ජීවනෝපාය අවස්ථා නොමැතිකම නාගරික දිළිඳු පවුල් වල සාමාජිකයන් මත් ද්‍රව්‍ය ඇබ්බැහියට, මත් පැනට සහ වෙනත් සමාජ විරෝධී ක්‍රියාවන්ට තල්ලු කරයි (පි.27) නම් එම ජනයා මහල් නිවාස වල පදිංචි කිරීමෙන් එම තත්වයන් වෙනස් වේද?

මෙම අධ්‍යනයේදී, නාගරික දිළින්දන් අතර දුප්පත්කම අඩු කිරීම සදහා ගොඩ නැංවූ ‘මඟ පෙන්වන මූල ධර්ම‘ අතර ප්‍රධාන ඒවා ලෙස, නගරයේ සංවර්ධන කාරණා හඳුනා ගැනිම සහ උපාය මාර්ග සැකසීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට නගරයේ දුප්පතුන් ඇතුලු සියලු ප්‍රධාන අදාල පාර්ශ්වයන් සමග උපදේශක ක්‍රියාවලියක් වැඩීම, නාගරික දිළින්දන්ට නගර සභාවේ තීන්දු ගැනීමේ ක්‍රියාවලියට සහභාගීවීමට ඉඩ කඩ සළසා දීම සහ නාගරික දිළින්දන්ට සඵල දායී ලෙස නගර සංවර්ධන ක්‍රියාවලියෙහි ලා සහභාගී වීමට අවශ්‍ය සහභාගිත්ව සංවර්ධන මෙවලම් වර්ධනය සඳහන් වෙයි.

‘දුප්පත්කම නාගරිකකරණය කිරීම’


Guide to Monitoring Target 11: Improving the lives of 100 million slum dwellers
නමැති එක්සත් ජාතීන්ගේ නේවාසය ( UN-HABITAT) පළකළ, 2003 වාර්තාවෙහි සහශ්‍ර ඉලක්ක අංක 11 මුල් කොට ගෙන මුඩුක්කු වැසියන් මිලියන 100 කගේ ජීවිත වැඩි දියුණු කිරීම සඳහා ඇති බාධක ජය ගැනීමට දිළින්දන්ගේ අවශ්‍යතා වටහාගැනීමට සහ නගරය සැළසුම් කිරිමෙහි ලා ඔවුන්ද ඇතුළත් කිරිමට සංවාදය (පි.2) අවශ්‍ය බව සඳහන් ය. ලොව නාගරිකකරණය වීම එන්න එන්නම වැඩිවෙයි. නගරයට අලුතින් එකතුවන ජනගහනයෙන් වැඩි දෙනා දිළින්දෝය. මෙම තත්වය හැඳින්වෙන්නේ ‘දුප්පත්කම නාගරිකකරණය කිරීම’ යනුවෙනි. මුඩුක්කු යනු වැඩිවන නාගරික දුප්පත්කම සහ නගරාභ්‍යන්තර අසමානතාව භෞතික සහ අවකාශයීය ලෙස ප්‍රකාශ වීමකි. මුඩුක්කු පිළිබඳ මහජන ප්‍රතිපත්ති සම්පාදකයෝ එන්න එන්නම වැඩි වැඩියෙන් බලාපොරොත්තු දනවන ආකාරයෙන් එදෙස බලති. පොදුවේ ගත් කළ ජාතික ප්‍රතිපත්ති බලාත්කාරයෙන් විතැන් කිරීම, කාරුණිකව නොසළකා හැරීම සහ අකමැත්තෙන් යලි පදිංචි කිරීමේ සිට සවයං ආධාර, ඉන්නා ස්ථාන වලම වැඩි දියුනු කිරීම සහ අයිතීන් මත පදනම් වූ ප්‍රතිපත්ති කරා වෙනස් වී ඇත (පි. 4). මුඩුක්කු වැසියන් වසන ඉඩම් වලින් නෙරපීමට එරෙහි ආරක්ෂාවන් ඇතුළත් වන ව්‍යවස්ථා හෝ ජාතික නීති සහිත රටවල් පිළිබඳ තොරතුරු (පි. 10) ද මෙහි ඇතුලත් ය.

‘ලෝකයේ මුඩුක්කු: නව සහශ්‍රයේ නාගරික දිළිඳු කමේ මුහුණත’ (Slums of the World: The face of urban poverty in the new millennium?) යන UN-HABITAT, 2003 ප්‍රකාශනය, ගෝලීය නාගරිකකරන සංක්‍රාන්තිකරණය අධ්‍යයනයේදී කර ඇති මූලික සොයා ගැනීමක් නම් මානව සංවර්ධන දර්ශකය සහ මුඩුක්කු අතර සහබන්ධනයක් තිබේ යන්නයි. එහි අරුත ජනයාගේ ජීවන තත්වය දියුණු වන විට මුඩුක්කු අඩුවේ යන්නයි.

මෙම වාර්තාවේ ප්‍රධාන නිගමනය වන්නේ මුඩුක්කු වැසියන් පිළිබඳ ප්‍රධාන කාරණාව දුප්පත් කමය යන්නයි. මුඩුක්කු යනු දුප්පත් කමේ, සමූහ අසමානත්මතාවේ සහ සමාජීය බහිෂ්කරණයේ ප්‍රකාශනය බවයි. මුඩුක්කු, ජනයා‍ට වෙනස්කම් කිරීම, අත්‍යවශ්‍ය සමාජ සේවාවන්ට සහ ආණ්ඩුකිරීමෙහි ලා සහභාගීවීමට ඇති අසමාන ප්‍රවේශ මඟ සමග ආශ්‍රිතය. මුඩුක්කු නගරාභ්‍යන්තර අසාමානත්වතාව සමග අර්ථයෙන් සමානය. දුප්පත්කම මැද සිදුවන මෙම නාගරිකකරණය වීමේ ක්‍රියාවලිය පුළුල්ව පැතිරෙන සමාජීය විපරිවර්තනයක් හා අප අභිමුඛ කරයි – එය නම් මානව ජනාවාස පිළිබඳ විශද ප්‍රභේදයක් ලෙස මුඩුක්කු මතුව ඒමයි. (පි.63)

මගේ යෝජනාව කොළඹ නාගරික සංවර්ධනය පිළිබඳ සාකච්ඡාව සහ ප්‍රතිපත්ති සම්පාදනය යොමු විය යුත්තේ මුඩුක්කු සහ පැල්පත් වැසියන් පිළිබඳ ප්‍රධාන කාරණාව දුප්පත් කමය යන්න පිළිගෙන ඔවුන‍ට දුප්පත් කමෙන් මිදීමට කටයුතු සම්පාදනය කිරීම යි, අත හිත දීමයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )