ගෝඨාභය මුහුණපාන අභියෝග

ගෝඨාභය මුහුණපාන අභියෝග

සමාජයේ සිවිල් කටයුතු මිලිටරීකරණය කිරීම පිළිබඳ චෝදනා රජය පැත්තෙන් වටහා ගන්නට නම් විෂය භාරව සිටින රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ පිළිබඳ සිතන ආකාරය තේරුම් ගන්නට සිදුවෙයි.

“යුද්ධය නිමවූ විගස එල්ටීටීඊ යේ චිත්ත ධෛර්යය හීනවූ නමුදු පසුගිය වසර දෙක තුළ එය යළිත් අරමුදල් එකතු කිරීම සහ යලි සමූහ ගතවීම අරඹා ඇති හෙයින් ඒ පිළිබඳ කිසිවක් නොකළහොත් එය විශාල තර්ජනයක් වනු ඇත. මගේ මූලික උනන්දුව රටේ ආරක්ෂාව“ යැයි ගෝඨාභය රාජපක්ෂ මෑතදී Daily Mirror පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කියා තිබුණි.

උතුරු-නැගෙනහිර මිලිටරීකරණය කෙරෙන්නේ යැයි යන්නට විවේචකයන් දෙන උදාහරණ වල එන දෑ සිදුවන්නේ ත්‍රස්තවාදය යළි හිස එසවීම වැළැක්වීමේ අරමුණ හේතුවෙන් නම් එහි සැබෑ ප්‍රථිඵල පිළිබඳ වහා යළි සිතා බැලිය යුතුය.

ත්‍රස්තවාදය යළි හිස එසවීම වැළැක්වීම කළ යුත්තේ දෙමළ ජනයා ආණ්ඩුවෙන් යලිත් දුරස් වන ආකාරයට නොව ඔවුන් යලි දිනාගන්නා ආකාරයටය. දෙමළ ප්‍රජාව අතර එල්ටීටීය යලි නොනැගිටීම සාධනය කළ හැක්කේ මර්ධනයෙන් එම ජනයා බියවැද්දීම නොවේ. තම අනන්‍යතාව, ආත්ම ගරුත්වය පිළිබඳ හැඟීම අවධි වූ ජනකායක් මර්ධනයෙන් යටපත්කොට තබා ගත නොහැකිය. එල්ටීටීය යලි සංවිධාන ගතවීමේ අවදානම දුරු කිරීම දෙමළ ජනයාට, තරුණ තරුණියන්ට දේශපාලනයේ යෙදීමට ඇති අයිතිය නැති කිරීමෙන් කළ හැකි යැයි සිතතොත් එය මුලාවකි. එවැනි ක්‍රියාවලින් ඔවුනතර ආණ්ඩු විරෝධී හැඟීම් වැඩියෙන් වර්ධනය වනු ඇත. අවශ්‍ය වන්නේ හදවත් සහ සිත් දිනාගැනීමේ ව්‍යාපෘතිය කි. වඩාත්ම සඵලදායී ක්‍රමය වන්නේ දෙමළ ජනයාට දේශපාලනය කිරීමේ නිදහස සහතික කොට බලය විමධ්‍යගත කිරීම මගින් තමන් කැමති ආකාරයේ පාලනයක් පත් කරගැනීමේ අයිතිය ඔවුනට තහවුරු කිරීමය.

“සාම කාලයට ගැලපෙන ලෙස යුද සමයේ මිලිටරි යාන්ත්‍රණය ප්‍රති-දිශානතිගත කිරීමෙහි ලා තමාට දැවැන්ත වගකීමක් තිබේ“ යැයි ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් කියා තිබුණි. “යුද හමුදාවන් යමක නිරතව තබා ගැනීමට මට සිදුවෙයි – මෙය බරපතළ අභියෝගයකි. උතුරු නැගෙනහිර හමුදා තිබීම අඩුකරන මෙන් හදිසි නීති රෙගුලාසි ඉවත් කරන මෙන් ඉමහත් බලපෑමක් ජාත්‍යන්තර ප්‍රජාවෙන් මට එල්ල වී තිබේ. රටේ තත්වය සාමාන්‍ය අතට හරවන අතර සමතුලිතතාවක් නිර්මාණය කිරීම දැවැන්ත අභියෝගයකි .“

ඉහත ප්‍රකාශයෙන් කියැවෙන පරිදි ආර්ථිකය, සමාජය සහ සංවර්ධනය මිලිටරීකරණය කිරීමේ හේතුව යුද්ධයෙන් පසු හමුදාවන් ක්‍රියාකාරීව තබාගැනීමේ අවශ්‍යතාව නම් ඒ සඳහා සමාජයේ සිවිල් කටයුතු මිලිටරීකරණය කිරීමට සහ එමගින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් අනතුරට ලක් නොවන ආකාරයෙන් එය කිරීමට උත්සාහ ගත නොහැකිව තිබුණි දැයි විමසීම වටී.

යුද්ධය නිසා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය ගෝඨාභය රාජපක්ෂ යටතට ගනු ලැබිණි. පසුව නාගරික සංවර්ධන අධිකාරිය ද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතට ගනු ලැබිණි. දැන් මෙම විෂයයන් දෙකම එක් කරමින් රාජ්‍ය ආරක්ෂාව සහ නගර සංවර්ධනය යැයි නව අමාත්‍යංශයක් නම්කොට තිබේ. ආරක්ෂාව සහ සංවර්ධනය පිළිබඳ කරුණු එකට ඒකාබද්ධ කිරීම, පළමුවැන්නේ බලපෑමට දෙවැන්න සෘජුව යටත් කිරීම සංවර්ධනය සමග බැඳුණු ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් අනතුරේ හෙළයි.

පැල්පත් වාසීන් යලි පදිංචි කිරීමේ අදහස ත්‍රස්තවාදය නැවත හිස ඔසොවීමට ඉඩ නොදීමේ වැඩ පිළිවෙළ හා සම්බන්ධ වූවක්දැයි පැහැදිළි නැත. ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට තල්ලු කළේ ත්‍රස්තවාදය නැවත හිස ඔසොවීමට ඉඩ නොදීමේ වැඩ පිළිවෙළ සහ හමුදාවන් ක්‍රියාකාරීව තබාගැනීමේ අවශ්‍යතාව නම් එයින් ඔහුගේ ප්‍රතිරූපයට වූ හානිය වැනි වන්දියක් ඊට ගෙවීම වටින්නේදැයි සිතා බැලීම වටී. “ආරක්ෂක ලේකම් දේශපාලනයට සහ ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ වෙලා. ආරක්ෂක ලේකම් ලෙස ඔහු දැඩි හික්මීමකින් සහ මහාත්ම ලෙසින් ක්‍රියා කළා. නමුත් දැන් ඔහු දේශපාලනයට සම්බන්ධවන්නේ මන්දැයි පැහැදිළි නැහැ“ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර Daily Mirror පුවත් පතට දුන් සාකච්ඡාවක මතු කළේත් මෙම කරුණම නොවේද?

ප්‍රේක්ෂක

‘ශක්තිය‘ 2011 නොවැම්බර් කලාපයේ ‘දේශපාලන රඟහල‘
ලිපියෙනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )