උතුරු-නැගෙනහිර

උතුරු නැගෙනහිර ජනතාවගේ දෛනික ජීවිතයට අවශ්‍ය මූලික කාරණා කිසිවක්ම ඔවුන් ගේ ඕනෑ එපාකම් මත තීන්දු නොවෙන බව, ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් විසින් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ උතුරු නැගෙනහිර පවත්නා තත්ත්වය පැහිදිලි කරන, ඔහුගේ දෙවන වාර්තාවෙන් පෙන්වා දෙයි.

එහි සඳහන් අයුරු, ධීවර කර්මාන්තයට ආණ්ඩුවේ කියුම් කෙරුම් නොතකා, හමුදාව විසින් තවමත් සීමා තහංචි පනවන අතර, ඇතැම් ප‍්‍රදේශයන් හි දෙමළ ධීවර ජනතාව ඉවත් කර, එම ප‍්‍රදේශයන් හි ධීවර කටයුතු සඳහා දකුණේ සිංහල ධීවරයින් පදිංචි කර ඇත. කුච්චවේලිහි ආරම්භ කර ඇති රයිගම් ලූනු කර්මාන්තය සම්බන්ධයෙන් 2009 අග දී ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් මන්තී‍්‍ර විසින් ඊට එරෙහිව ජනාධිපතිට හා ආර්ථික සංවර්ධන ඇමතිට කරුණු ඉදිරිපත් කළ ද, එය මේ වන විට ආරම්භ කර ඇත්තේ 2,500 ක් පමණ ප‍්‍රදේශයේ දෙමළ ජනතාව ගේ ජීවනෝපායට තර්ජනයක් එල්ල කරමින් පමණක් නොව, ප‍්‍රදේශයේ ජනගහන සංයුතිය පවා දෙමළ ජනතාවට අවාසි සහගත ලෙස වෙනස් කරමින් බව සුමන්තිරන් වාර්තාවෙහි සඳහන් වන්නේ ය.

එනමුත් එවැනි කාරණා බොහෝමයක් සම්බන්ධව ධීවර ඇමතිවත් ආර්ථික සංවර්ධන ඇමතිවත් ආණ්ඩුව වත් පාර්ලිමේන්තුවේදී නිල පිළිතුරු ලබා දෙන්නේ නැත.

එවැනි බරපතල ප‍්‍රශ්න විස්තරාත්මකව මතු කරන සුමන්තිරන් වාර්තාවෙහි, මේ දෙවන කොටස ය.

කුසල් පෙරේරා

උතුරේ ධීවර කර්මාන්තයත් සිංහල ධීවරයින්ට දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්යක්
උතුරු – නැගෙනහිර: බරපතළ කනස්සල්ලට හේතුවන කාරණා සමූහයක් – දෙවන කොටස
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන්
සිංහල පරිවර්තනය, කුසල් පෙරේරා


04. ජීවනෝපායන් අහිමි වීම

යුද්ධයෙන් පසු තම ගම් බිම් වෙත යළි පැමිණ, තම ජිවිත සරිකර ගැනීමට උත්සාහ දරණ දෙමළ ජන ප‍්‍රජාවගේ පළපුරුදු, සාම්ප‍්‍රදායික ජීවනෝපායන් ආරම්භ කිරීම වළකනු ලබන්නේ ය. මවිසින් මේ වසරේ ජූලි මාසයේ දී සභාගත කළ වාර්තාවෙන් ද ජීවනෝපායන් පිළිබඳ ගැටළු ගණනාවක් ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් මතු කළේ ය.

4.1 විරැුකියාව සහ සම්පත් ලබාදීම – පෞද්ගලික හා සමාජ ජීවිතය යළි ස්ථාපිත කිරීමේ ප‍්‍රධාන හා මූලික වගකීම තිබියදී ද, ආණ්ඩුව විසින් රැුකියා හා ආදායම් උත්පාදනය සම්බන්ධයෙන් දක් වන්නේ ඉතාම අල්ප වූ උනන්දුවකි. ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති විසින් ප‍්‍රකාශ කර ඇති අයුරු, ජීවනෝපයන් වර්ධනයට ආණ්ඩුව වෙන් කර ඇත්තේ රුපියල් දස ලක්ෂ 02 ක් තරම් සොච්චමකි. ඉන් බොහෝමයක් වැඩ සඳහා මුදල් ලබා දීමේ වැඩ සටහන් ය. ආණ්ඩුව සහ ආධාර ආයතන වල යටිතල පහසුකම් දියුණු කිරීමේ අවධානය, ප‍්‍රදේශයේ ජන ජීවිතයට එතරම් පලදායි එකතුවක් නොකරන්නේ ය. ලැබෙන සීමිත අවස්ථා පවා නිරන්තරව ලබා දෙනු ලබන්නේ දකුණේ ශ‍්‍රමිකයින්ට ය. විරැුකියාව පිළිබඳ ඇස්තමේන්තු වලට අනුව, ජාතික සාමාන්‍ය යැයි පැවසෙන සියයට 4.3 ක් වන විරැකියාව, උතුරු ප‍්‍රදේශයේ සියයට 20 ත් 30 ත් අතර වේ.

4.2 මුලතීවු ධීවර ජනතාවට පනවා ඇති තහංචි – ජීවනෝපායට බරපතල ලෙස බලපාන්නා වූ සීමා තහංචි, දෙමළ ධීවර ජනතාවට පනවා ඇත. මුලතීවු ධීවර ජනතාව මත, විශේෂයෙන්ම කිලාකාත්තායි, මාතිරික්කිරාම, උප්පුමාවැලි, තූණ්ඩායි, අලම්පිල්, සෙම්මාලෙයි, නායාරූ, කොක්කුත්තොඩුවායි, සහ කරුණාත්තුකර්නි වැනි කෝකිලායි සිට චුණ්ඩිකුලම් දකවා ප‍්‍රදේශයන් හි ජනතාව මතපනවා ඇති සීමාවන් ජූලි මස මවිසින් සභාගත කරනු ලැබූ වාර්තාවෙන් විස්තර කෙරුනි. මේ සීමා තහංචි තවමත් කි‍්‍රයාත්මක ය. වඩාත් කණස්සල්ට හේතු වන්නේ සිංහල ධීවරයින් ගණනාවට ධීවර ටයුතු වල යෙදීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් කෙලින්ම අවසර දී තිබීම ය. සිංහල ධීවරයින්ට නන්දිකඩාල් හි ඉස්සන් ඇල්ලීමට ද අවසර ලබා දී ඇත. උතුරු-නැගෙනහිර දෙමළ ධීවර ජනතාවට එළෙස පනවා ඇති සීමා තහංචි වෙනුවෙන් ඔවුන්ට දකුණේ ධීවර කටයුතු වල යෙදෙන්නට ද අවසරයක් නැත. එළෙසින් සැළකීමට විරුද්ධ අප‍්‍රසාදයන් දැන් මතු වන්නේ ය. මෑතක දී වඩමාරච්චි ධීවර සමිති විසින් දකුණින් පැමිණ සිය ප‍්‍රදේශයන් හි පදිංචි වන ධීවරයින්ට හා ප‍්‍රදේශයේ ධීවර කර්මාන්කයට ඔවුන් ගේ ධීවර කටයුතු මගින් ඇති කෙරෙන අවාසි සහගත බලපෑම් පිළිබඳව සිය විරෝධය ප‍්‍රකාශ කරනු ලැබිණ.

ආණ්ඩුව විසින් මරුතන්කර්නි (නැගෙනහිර වඩමාරච්චි) වල උඩුත්තුරායි හි පදිංචි කළ ජනතාව, ඔවුන් ගේ නිවෙස් වලින් නැවත ඉවත් කර, වෙරළාසන්න පාරේ අනෙක් පැත්තෙහි, තාවකාලික නවාතැන් වල පදිංචි කරනු ලැබිණ. එම නිවාස වල දැන් පදිංචි කර ඇත්තේ දකුණෙන් ගෙනෙනු ලැබූ පිරිස් ය. ඔවුන්ට කොරල් සහ තාරකා මසුන් ඇල්ලීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් කිමිදීමට අවසර දී ඇත. එබැවින් බලහත්කාරයෙන් නිවාස වලින් ඉවත් කිරීමට අමතරව, ප‍්‍රදේශයේ ජනතාවට කිමිදුම් කටයුතු හේතුවෙන් මුහුදු පත්ල අවුල් කෙරෙන හෙයින් ඔවුන් ගේ පාරම්පරික ධීවර කටයුතු කර ගෙන යාමටත් නොහැකිව ඇත. මරුතන්කර්නි දිස්ති‍්‍රක් කාර්යාලයේ 2011 ජුනි 15 වන දින, ඩග්ලස් දේවානන්ද ඇමති සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්තීවරුන් සිව් දෙනෙකු ද සහභාගි වූ රැස්වීමක දී තමන් ගේ පදිංචි ස්ථාන වලින් ඉවත් කිරීම සඳහා තම කැමැත්ත, තර්ජනය කර බලහත්කාරයෙන් ලබා ගත් බව, ධීවර සමිති නියෝජිතයෝ පැවසූහ. තම පාවිච්චිය සඳහා ඉදි කරනු ලැබූ ගොඩනැගිලි වලට යාමටත් තමන්ට අවසර නැතැයි ඔවුහු පැමිණිළි කළහ.

4.3 රයිගම් ලූනු ලේවාය – 2009 වැනි කාලයේ දී පවා දෙමළ ජාතික සන්ධානය විසින් රයිගම් ලූනු ලේ්වාය ආරම්භ කිරීමට එරෙහිව බරපතල ලෙස විරෝධය දක්වන ලදී. සම්පන්තන් මන්තී‍්‍ර විසින් 2009 දෙසැම්බරයේ දී ජනාධිපති සහ බැසිල් රාජපක්ෂ ඇමති හමුවේ මෙම කාරණය ඉදිරිපත් කිරීමන් පසු එවැනි කිසිම යෝජනාවක් බාර ගනු නොලබන බවට එම දෙපළ විසින් සහතික වීමෙන් පසුවත් ති‍්‍රකුණාමලයේ කුච්චවේලි හි මෙම ව්‍යාපෘතිය, පසු ගිය සැප්තැම්බරයේ දී ආරම්භ කරන ලදී. ප‍්‍රදේශයේ මන්තී‍්‍ර ලෙස තමන් සමග කිසිදු සාකච්ඡුාවකින් තොරව මෙම ව්‍යාපෘතිය බාර ගෙන ඇති බවට සම්පන්තන් මන්තී‍්‍ර විසින් සිය විරෝධය පල කරන ලදී. 2010 දී සම්පන්තන් මන්තී‍්‍ර විසින් නැවතත් ජනාධිපත් වෙත සිය විරෝධය ලිඛිතව දක්වමින් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පවුල් 2,500 ට වැඩි ප‍්‍රමාණයක ගේ ජීවනෝපාය බරපතල අනතුරට ලක් වන බවත් ප‍්‍රදේශයේ ජනගහන සංයුතිය එමගින් වෙනස් කෙරෙන බවත් ප‍්‍රදේශයේ ජනතාවගේ විරෝධයට එය හේතුවන අතර, එනිසා ජන වාර්ගික සාම්‍යයට එය අවහිරයක් වන බවත් දන්වා සිටියේ ය. මෙය විශේෂයෙන් වැදගත් වන්නේ නිදහස ලබන විට දෙමළ ප‍්‍රදේශයක් වූ කට්ටුකුලම්පත්තු (වන්නියාර්) ආදායම් පාලක කොට්ඨාශයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 04 න් දැන් ඉතිරිව ඇති එකම දෙමළ ප‍්‍රාදේශී්‍ය ලේකම් කොට්ඨාශය කුච්චවේලිය වන හෙයිනි. අනෙක් ප‍්‍රාදේශීය කොට්ඨාශ 03 දැන් සිංහල වන අතර, ඉන් 02 ක් එසේ වූයේ ජනාවාස පිහිටු විමෙන් ජන සංයුතිය වෙනස් කර ඇති බැවිනි.

05. නැවත පදිංචි කිරීම්

5.1 නැවත පදිංචි කිරීමේ ප‍්‍රගතිය – යුද්ධය හේතුවෙන් අවතැන් වූ දෙමළ ජනතාව නැවත පදිංචි කිරීම ඉතාම සෙමින් සිදුවන්නකි. ආණ්ඩුවේ නිල දත්ත අනුවම, 2011 ජූලි 01 වන දින වන විට, සුභ සාධන කඳවුරු වලින් ‘‘නැවත පදිංචි කිරීම්’’ හෝ ‘‘යළි පැමිණීම්’’ ගත් කළ 258,446 කි. ඒ අනුව කදිර්ගාමර්, අනන්ද කුමාරස්වාමි (කලාප 1), හා අරුනාචලම් (කලාප ) කඳවුරු වලින් 12,661 ක් ඉතිරිව ඇත. ආසන්නම දත්ත අනුව, කඳවුරු වල ඉතිරිව ඇත්තේ පුද්ගලයින් 7,440 කි. ඉන් ඇඟවෙන්නේ ඉතිරි සියලූ දෙනම, එක්කෝ නැවත පදිංචි වී හෝ යළි සිය ගම් වෙත පැමිණ ඇත යන්නයි. එහෙත් මෙම සංඛ්‍යා ලේඛන ඇත්තටම නොකියන්නේ උතුරු නැගෙනහිර 200,000 ට අධික පිරිසක් ඔවුන් ගේ ඇත්ත මුල් ගම් ප‍්‍රදේශ වෙත යළි නොපැමිණි බව ය. ඔවුහු එක්කෝ තාවකාලික නවාතැන් වල ඉන්නාහ. නැතිනම් වෙනත් පවුල් සමගින් ඉන්නාහ. එම සංඛ්‍යාවට යාපනයේ වලිකාමම් උතුරේ, ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ සාම්පූර් සහ වන්නියේ ප‍්‍රදේශ ගණනාවක පිරිස් අයත් වේ. මවිසින් මීට ඉහතින් ජුලි මාසයේ සභාගත කළ වාර්තාවෙන් මුලතීවු සහ කිලිනොච්චි දිස්ති‍්‍රක්ක වල තිරුමුරිගන්දි, සාන්තපුරම් සහ ඉන්දුපුරම් හි හමුදා කඳවුරු සහ අධි ආරක්ෂිත කලාප පිහිටුවීම නිසාවෙන් බොහෝ පවුල් වලට ඔවුන් ගේ නිවාස වෙත යළි පැමිණීමට නොහැකි බව සඳහන් කෙරුනි. ඔවුන්ට තවමත් ඔවුන් ගේ නිවාස වෙත යා නොහැකි ය. ඔවුන් තවමත් ඉන්නේ මූලික පහසුකම්වත් නැති තාවකාලික කඳවුරු වල ය.

5.2 කෝම්බාවිල් වෙත යැවීම – මනික් ෆාම් කඳවුරු වල තවමත් ඉන්නා 7,440 දෙනා ද ඔවුන් ගේ මුල් ගම් බිම් වෙත නැතිව, පුදුකුඩුඉරිප්පු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෝම්බාවිල් වෙත යැවීමට නියමිත ය. කෝම්බාවිල් යනු යටිතල පහසුකම් නොමැති ඉතාම පසුගාමී ප‍්‍රදේශයකි. එය මුහුදේ සිට දුර ඈතින් පිහිටි ග‍්‍රාමීය ප‍්‍රදේශයක් වීමෙන්, බහුතරයක් ධීවර කර්මාන්තයේ යෙදෙන මෙම පිරිසට එය, ඔවුන් ගේ ජීවනෝපායට අවහිරයකි. ආණ්ඩුව එයට හේතු ලෙස දක්වන්නේ, මෙම අවතැන් වූවන් ගේ මුල් ගම් ප‍්‍රදේශ ව්‍යාපාරික හෝ හමුදා කටයුතු සඳහා වෙන් කර ඇත යන්න හෝ තවමත් බිම් බෝම්බ ඉවත් කර නැති බව ය. ඒ වෙනුවෙන් නිදසුන් වන්නේ පුතුමාතලන් හා මුල්ලිවෛක්කාල් ය.

5.3 මූලික පහසුකම් නොමැති වීම – දැනට යළි පදිංචි කෙරුනු හා ගම් බිම් වෙත ගිය ජනතාව, නිවාස, සනීපාරක්ෂක පහසුකම්, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා නොමැතිව ජීවත් වන්නාහ. නිදසුන් කිහිපයක් වන්නේ මුලතීවු දිස්ති‍්‍රක්කයේ කෝකිලායි, කි‍්‍රෂ්ණපුරම් සහ කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ විනයාගපුරම් ය. පසුව සඳහන් ග‍්‍රාමයන් දෙකෙහි පවුල් 658 කින් 170 ක් තවමත් ජීවත් වන්නේ තාවකාලික නවාතැන් වල ය. ආහාර සළාක ලබා දිය යුතු විශාල සංඛ්‍යාවකට ආණ්ඩුව ආහාර සළාක ලබා දෙන්නේ ද නැත. ඉතා සාධාරණ ගණන් බැලීමකට අනුව, පවුල් 658 න් කිසියම් ආදායම් මාර්ගයක් ඇත්තේ පුද්ගලයින් 416 ට වන අතර, පවුල් 242 ට සහනාධාර ලබා දිය යුතු ය. එහෙත් විශ්මය වන්නේ ආහාර සළාක ලබා දෙන්නේ පවුල් 128 ට පමණක් වීම ය. එබැවින් ඉතා අසීරුවෙන් ඉන්නා පවුල් 114 ක් සඳහා සහනාධාර කිසිත් නැත. මෙය, උතුරු නැනෙහිර යළි පදිංචි කිරීම් හා යළි පැමිණීම් සම්බන්ධයෙන් පවත්නා තත්ත්වය දැකිය හැකි ඉතා කුඩා රූප රාමුවක් පමණි.

5.4 නිසි සෞඛ්‍ය හා අධ්‍යාපන සේවා නොමැති වීම – මේ ප‍්‍රදේශ වල සෞඛ්‍ය හා අධ්‍යාපන තත්ත්වයන් ඛේදවාචකයකි. නිදසුනක් ලෙස, කි‍්‍රෂ්ණපුරම් හා විනයාගපුරම් ගම් වෙත වෛi නිලධාරීන් පැමිණෙන්නේ දෙසතියකට වරකි. මේ අඩුපාඩුව නිසාවෙන් රෝගීන් ගේ වැළැක්විය හැකි මරණ පවා සිදුව ඇත. ජලභීතිකා රෝගයට ප‍්‍රතිකාර නොලැබ 2011 ඔක්තෝම්බර 07 වන දින මිය ගිය තරුණිය එක් නිදසුනකි. අනෙක් ඉතා බරපතල ප‍්‍රශ්නය වනුයේ මෙම ග‍්‍රාමයන්හි දරුවනට ද්විතියික අධ්‍යාපනයක් නොලැබීම ය. එය ජාතික වශයෙන් බරපතල නොගැලපීමකි. උතුරු නැගෙනහිර ජනතාව සමාජීය හා ආර්ථික වශයෙන් අසාධාරණයට ලක් කිරීමේ ප‍්‍රකාශනයකි.

5.5 වාසයට නුසුදුසු වඩමාරච්චි නැගෙනහිර නිවාස – මැතිවරණය ඉලක්ක කරමින් ආණ්ඩුව විසින් වඩමාරච්චි නැගෙනහිර ‘‘යළි පදිංචි කිරීම්’’ ඇරඹුවේ ය. එහි තිබුණු නිවාස කඩා දමන ලදී. කැඩූ නිවාස වලින් ලබා ගත් ගඩොල් අලූත් නිවාස ඉදිකිරීමට යොදා ගන්නා ලදී. අලූත් ගෙවල් හිස් ආවරණ පමණක් විය. බිත්ති නංවා සායම් උලා තිබුණ ද, ඒ තුල බිම සකසා, පහසුකම් නොවින.

06. ක‍්‍රමානුකූල පිටමං කිරීම්, ඉඩම් කොල්ල කෑම් හා අත්පත් කර ගැනීම්

6.1 ඉඩම් කොල්ල කෑම හා බලහත්කාර පිට මං කිරීම් – යුද්ධය හේතුවෙන් අවතැන් වූ දෙමළ ජනතාව නැවත පැමිණෙන ප‍්‍රදේශයන්හි ඉඩම් හා ගොඩනැගිලි, කිසිදු හේතු දැක්වීමකින් තොරව හමුදා සාමාජිකයින් විසින් බලහත්කාරයෙන් අත් පත් කර ගනු ලබයි. නිදසුන් වශයෙන්, මුලතීවු දිස්ති‍්‍රක්කයේ කෝකිලායි හි තැපැල් කාර්යාලයත් පාසලත් බාහිර වෛi සායනයත් හමුදාව විසින් වසා දමා ඇත. නාවික හමුදාව විසින් මන්නාරමේ මුල්ලිලූකුලම් ගමේ ඉඩම් අල්ලා ගෙන ඇත.

මේ මස (ඔක්තෝම්බර) ආරම්භයේ දී සාම්පූර් වැසියන් වෙත දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයෙන් ලිපියක් යවා තිබිණ. එම ලිපියෙහි සඳහන් වූයේ 2008 ජනවාරි 29 දිනැති සහ අංක 1538/08 දරණ විශේෂ ගැසට් පත‍්‍රයට අනුව, සාම්පූර් නැගෙනහිර සහ බටහිර, සූටායික්කුඩා, සාම්පුක්කාලි, කඩත්කරයිචේනායි, කූනිත්තිවුක්කාඩු සහ නවරත්තිනපුරම් යන ප‍්‍රදේශ ‘‘විශේෂ ආර්ථික කලාප’’ ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති බව ය. ඒ අනුව, එම ප‍්‍රදේශ වල පදිංචිව සිටි ජනතාව, සීතනාවේදී, වෙම්බඩිත්තෝට්ටම්, ඉලන්කාන්තායි, වීරමානහාර් (උතුර), තංගපුරම් සහ කුරවම්වෙට්ටුවාන් යන ගම් ප‍්‍රදේශ වල පදිංචි කරනු ලබන බවත් එම ලිපියෙන් දන්වා තිබිණ. මෙම ලිපිය සමග යොමු කරනු ලැබූ ඉල්ලූම් පත‍්‍රයක් මෙම ජනතාව විසින් පුරවා දිය යුතු විය. නැවත පදිංචි කිරීම සඳහා සහ වන්දි සළකා බැලීමට යැයි එහි පෞද්ගලික තොරතුරු සටහන් කළ යුතු විය.

ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ තම්පලාගාම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි කොයිලාඩි ග‍්‍රාම නිලධාරි වසමෙහි ජනතාව ගේ කුඹුරු විනාශ කරමින් ගුවන් හමුදාව විසින් කිසිදු අවසරයක් හෝ අනුමැතියක් නොමැතිව තම්පලාගාකාමම් හරහා බාහිර වට රවුම් පාර දීර්ග කිරීමට පියවර ගෙන ඇත.

ඊටත් අමතරව, කිසිදු පුද්ගලයෙකුට රගම්වෙල පදිංචි වන්නට අවසර නොදෙන අතර, එහි ඇත්තේ පොලිස් මුර පොලක් පමණි. පානම වැසියන්ට අනුව, අම්පාර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඔවුන් ගේ ඉඩම් අක්කර 850 ට වැඩි ප‍්‍රමාණයක් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඇත. මෙම ග‍්‍රාමයේ සිංහල දෙමළ ජනවාර්ගික දෙපිරිසම ඇත. ඔවුන් ගේ ප‍්‍රධාන ආදායම් මාර්ග වගාව හා ධීවර කටයුතු ය.

පට්ටුකාඩු, ඕට්ටු සහ මුතලායිමඩු හි ඉඩම් ඇති මූතුර් ගොවීන් ගේ ප‍්‍රශ්නය සම්පන්තන් මන්තී‍්‍ර විසින් මීට ඉහතින් මතු කර ඇති අතර, මවිසින් ජූලි මස සභාගත කළ පළමු වාර්තාවෙහි ද ඔවුන් ගැන සඳහන් කෙරින. මෙම ගොවීන් ගේ කුඹුරු අක්කර 1,630 ක් පමණ ඔවුන්ට දැන් අහිමිව ඇත. සිංහල ගොවීන් ග‍්‍රාමාරක්ෂකයින් ගේ සහාය ඇතිව එම ඉඩම් අල්ලා ගෙන ඇත. ඔවුන් පවසන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් එම ඉඩම් ඔවුන් ගේ වගා කටයුතු සඳහා වෙන් කරනු ලැබූ බව ය. එම ප‍්‍රදේශයේ බෞද්ධ භික්ෂුන් කිහිප නමක් මෙම කාර්යට හවුල් ව ඇතැයි ද කතා ඇත. තම ජීවනෝපයට බරපතල ලෙස බලපාන අයුරු දෙමළ ගොවීන්ට තවත් කන්නයක් අහිමි විය. දිළිඳු බව ද ඒ මත වැඩි වන්නේ ය. ඇතැම් ගොවීන් පොලිසියෙහි පැමිණිළි කිරීමට උත්සාහ කර ඇතත් කන්ගුවේලි සහ මූතුර් පොලීස් ස්ථාන එවැනි පැමිණිළි බාර ගැනීම ප‍්‍රතික්ෂේප කර ඇත.

‘රාවය‘ 2011 නොවැම්බර් 06

(මෙහි ඊළග කොටස, ලබන රාවය කලාපයෙනි)

‘රාවය‘ ට අපගේ කෘතඥතාව.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )