උතුරු-නැගෙනහිර

උතුරු-නැගෙනහිර තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට විපක්ෂයේ ඉන්නා දකුණේ සිංහල පක්ෂ දෙකටම තවමත් අවශ්‍ය නැත. ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුමන්තිරන් මහතා උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල යුද්ධයෙන් පසුව පවත්වා ගෙන යන මේ රාජපක්ෂ පාලනය පිලිබඳව දෙවන වරටත් ඉතා විස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවෙහි සභාගත කළ පසු, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව උත්තර බඳින්නට සූදානම් නැති නම්, විවාදයක් ඉල්ලීමේ වගකීම ඇත්තේ විපක්ෂයේ අනෙක් පක්ෂ නායකයින්ට ය. විශේෂයෙන් විපක්ෂ නායකයාට ය. පසු ගිය සතියේ මෙහි දෙවන කොටස පළ කිරීමට කලින් විපක්ෂයේ මන්තී‍්‍රවරුන් දෙදෙනකුට ඒ බැව් මතක් කිරීමක් ද කළෙමි. එනමුත් එවැනි විවාදයක් ඉල්ලීමේ වුවමනාවක් මේ සිංහල යු.ඇන්.පියට නැත.

ඔවුන් බොහෝ විට මේ වාර්තාව ගැන කතා කිරීම මග හරින්නේ, විපක්ෂය තවමත් ජාතික පක්ෂ ලෙස නොව, සිංහල පක්ෂ ලෙස හිතන පතන, හැසිරෙන දකුණේ දේශපාලනඥයින් ගේ පක්ෂ වන හෙයිනි. එය නොකඩවා පැහැදිලි කෙරෙන ආසන්නම කාරණය වුයේ ව්‍යාපාර පවරා ගැනීමේ පණත ගැන, සිංහල ව්‍යාපාරිකයින් බේරා ගැනීමට ඔවුන් කළ ප‍්‍රකාශ වලිනි.

එය ඊළගට විස්තර කෙරෙන්නේ, උතුරෙහි මේ රාජපක්ෂ පාලනය කෙතරම් සිංහලවාදී ලෙස හැසිරෙන්නේ දැයි මේ වාර්තාවෙන් කරුනු සහිතව පෙන්වා දෙන විටත් විපක්ෂය ඒ හමුවේ නිහඬව සිටින විට ය.

මෙතැන් සිට පහතින් ඇත්තේ උතුරෙහි ඒ සිංහලකරණය ගැන විශේෂයෙන් සඳහන් වන තොරතුරු සහිත, තෙවන කොටස ය.

කුසල් පෙරේරා

විපක්ෂය හොර ගල් අහුලද්දී සිංහලෙන් උතුර ගිලින ආණ්ඩුව
උතුරු – නැගෙනහිර: බරපතළ කනස්සල්ලට හේතුවන කාරණා සමූහයක් –
තෙවන කොටස
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන්
සිංහල පරිවර්තනය, කුසල් පෙරේරා

· උතුරේ සියයට 60 ට ආහාර සුරක්ෂිතතාවක් නැත

· සියයට 50 කගේ දෛනික ආදායම ඩොලර් 01 ට වඩා අඩුය

· නැගෙනහිර පාසල් හැර යාම බරපතල ලෙස ඉහළ ගොසින්

· යාපනයේ අක්කර 350 ක ඉස්සන් වගා කිරීමෙන් භූගත ජලය අනතුරේ

6.2 හමුදාව පාසල් වල පදිංචි වීම – දැනටත් පාසල් ගණනාවක් හමුදාව විසින් අත් පත් කර ගෙන ඇත. කෙප්පාපිලාවු රජයේ දෙමළ මිශ‍්‍ර පාසල, මුල්ලියාවලි, මුල්ලතීවූ, මත්තාලන් රෝමානු කතෝලික දෙමළ මිශ‍්‍ර පාසල, මුල්ලිවයික්කාල්, මුල්ලිවයික්කාල් බටහිර, මුල්ලිවයික්කාල් නැගෙනහිර දෙමළ මිශ‍්‍ර පාසල, පූනරීන් වික්නේස්වරන් විද්‍යාලය, මාන්තුවිල් හි අරසරත්නම් විද්‍යාලය, පුතුකුඩිඉරිප්පු සිවනගර් දෙමළ විද්‍යාලය, කන්කසන්තුරෙයි මයිලිඩි රෝමානු කතෝලික දෙමළ මිශ‍්‍ර පාසල, ඒ අතර වේ.

6.3 වාරි පහසුකම් නතර කිරීම – මඩකළපුව දිස්ති‍්‍රක් මායිමේ 13 සහ 14 කොලනි වල දෙමළ ගොවීන් ගේ කුඹුරු අක්කර 2,000 ට පමණ ජලය ලබා දෙන ඉඟිණියාගල ජලාශයේ වාරි මාර්ගය මසක පමණ කාලයක් වසා දමා ඇතැයි වාර්තා වේ. වෙල්ලාවෙලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති සම්බන්ධීකරණ රැස්වීමක දී ගොවීන් කළ පැමිණිලි වලට අනුව, යල කන්නයේ මසක පමණ වයසැති වී වගාව, ජලය නවතා දැමීම නිසා විනාශ වන්නේ ය.

6.4 කුච්චාවේලි සංචාරක කටයුතු වර්ධනය කිරීම – සංචාරක කටයුතු දියුණු කිරීමේ යෝජනාවක් මත, ති‍්‍රකුණාමලයේ කුච්චාවේලි හි ඉඩම් කට්ටි 51 ක් බෙදා දීමේ යෝජනාවක් තිබිණ. එම යෝජනාවට අනුව, මධ්‍යම ආණ්ඩුවේ නිලධාරීන් ඉඩම් කට්ටි බෙදීමට පියවර ගන්නා බැව් තමන්ට දැන ගැනීමට ලැබුණි ජනාධිපති වෙත 2010 මැයි 16 වන දින ලිපියක් මගින් ගරු මන්තී‍්‍ර සම්පන්තන් දැනුම් දුන්නේ ය. ඒ සම්බන්ධව කිසිදු ප‍්‍රසිද්ධ දැනුම් දීමක් නොකිරීම පිළිබඳවත් රජයේ ඉඩම් සම්බන්ධයෙන් වන ව්‍යවස්ථාමය අවසර සියල්ල මග හැරීම පිළිබඳවත් ඔහු සිය කණස්සල් එහි සටහන් කළේ ය. කුච්චාවේලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියයට 95 ක් පමණ වන ඉඩම් අහේනියක් ඇති දෙමළ කතා කරන ජනයා, ඔවුන් ගේ පදිංචියට සහ ජීවනෝපායන් සඳහා එම ඉඩම් ඉල්ලමින් සිටියත්, මෙම වටිනා රජයේ ඉඩම් ලබා දීම සඳහා තෝරා ගෙන ඇත්තේ බහුතර ජනතාව ගෙනි.

එවැනි කාරණා සම්පන්තන් මන්තී‍්‍ර විසින් මතු කර තිබියදීත් ඒ සම්බන්ධයෙන් මීට කලින් මා සභාගත කළ වාර්තාවෙන් ඒ ගැන අවධානය යොමු කර තිබියදීත් දකුණේ සිංහල පුද්ගලයින්ට අයිති සමාගම් සඳහා දැනට ඉඩම් කට්ටි 25 ක් වෙන් කර ඇත. දැනටම ඉන් 02 ක් ඔවුන්ට පවරා දී ඇත.

6.5 යාපනය කලපුව හා භූගත ජලයට ඇති බලපෑම – කරෙයිනගර්, මණ්ඩඩාතීවු සහ අරාලි හි යාපනය කලපුව මායිම් වූ වෙරළාසන්න වගුරු බිම් අක්කර 350 ට වැඩි ප‍්‍රමාණයක් රජයට පවරා ගෙන ඇත. එහි ඉස්සන් වගා කිරීම සඳහා දකුණෙන් සිංහල ශ‍්‍රමික පිරිසක් ගෙනැවිත් ඇත. මිරිදිය ඉස්සන් වගාව සඳහා මෙම ඉඩම් සංවර්ධනය කරන්නේ යැයි කීවත් එමගින් එම ප‍්‍රදේශයන් හි භූගත ජලය වෙත අහිතකර ලෙස එය බලපානු ඇත.

07. සිංහල ජනාවාස පිහිටු වීම

7.1 වැලිඔය ප‍්‍රා.ලේ කොට්ඨාශය හැදීම – සිංහල පවුල් පදිංචි කිරීම නිසා මුලතීවු දිස්ති‍්‍රක්කයේ කෝකිලායි නගරයෙහි දෙමළ ප‍්‍රජාවගේ ඉඩම් ඔවුන්ට අහිමි වන්නේ ය. මුලතීවු දිස්ති‍්‍රක්කය බෙදා, එහි වැලිඔය නමින් අලූත් දිස්ති‍්‍රක්කයක් පිහිටුවීමට පියවර ගනිමින් ඇත. චෙට්ටිකුලම් හි විශේශයෙන් සිංහල පවුල් පදිංචි කිරීම සඳහා නිවාස 75ක් ඉදිකර ඇතැයි දැන ගන්නට ඇත.

7.2 දෙමළ නිලධාරීන් ක‍්‍රමානුකූලව සිවිල් පරිපාලනයෙන් ඉවත් කිරීම – ආධුනික පරිපාලන නිලධාරීන් ගෙන් පිර වීම සඳහා දෙමළ නිලධාරීන් ඉවත් කිරීමට හෝ උතුරු ප‍්‍රදේශයන් ගෙන් මාරු කර හැරීමට පියවර ගන්නා ලෙස බලධාරීන් විසින් නියෝග කර ඇත. මෙම උත්සාහය විසින් සිංහල නිලධාරීන් 140 ක් උතුරු ප‍්‍රදේශයෙහි සේවා ස්ථාන වෙත එවා ඇත. දෙමළ නිලධාරීන්ට අනිවාර්ය නිවාඩු යෑමට බල කෙරෙන්නේ ය. මෙම ඉතා බරපතල කි‍්‍රයාවන් සැළකිය යුත්තේ පරිපාලන සේවාව සඳහා අලූතින් නිලධාරීන් තේරීමේ දී උසස්වීම් ලබා දීමේ දී සහ පුහුණු කටයුතු සහ සංවර්ධන කාර්යන්හි දී දැනුවත්ව දෙමළ පුද්ගලයින් ඉවත් කිරීමේ කි‍්‍රයාවලියත් සමගින් ය.

7.3 ආගමික සිද්ධස්ථාන – ශී‍්‍ර ලංකාවේ උතුරු ප‍්‍රදේශයන්හි ජනගහන සංයුතිය වේගයෙන් වෙනස් කිරීම, දැන් සීඝ‍්‍රයෙන් කෙරෙන්නකි. ඒ-9 මහා මාර්ගයේ බුද්ධ ප‍්‍රතිමා, විහාර, ස්ථුප ඉතා වේගයෙන් පැතිරෙන්නකි. මන්නාරම දිස්ති‍්‍රක්කයේ ඉතා ප‍්‍රසිද්ධ තිරුකේතිස්වරන් කෝවිලට මීටර 50 ක් ඔබ්බෙන් ‘‘මහතොට රජ මහ විහාරය’’ නමින් බෞද්ධ පන්සලක් ඉදි වී ඇත. එවගේම, යුද්ධයෙන් විනාශ වූ කෝවිල් සහ පල්ලි ඒ ස්ථානයන් හි නැවත ඉදි කිරීමට, සන්නද්ධ හමුදාව ඉඩ දෙන්නේ නැත. අරසාදි පිල්ලේයාර් කෝවිල පිහිට ස්ථානයේ දැන් බෞද්ධ පන්සලක් ඉදි කෙරෙන්නේ ය. යුද්ධය නිසා අලාභහානී වූ මුලතීවු දිස්ති‍්‍රක්කයේ කෝකිලායි හින්දු කෝවිල සමතලා කර, ඒ මත බෞද්ධ පන්සලක් ඉදි කෙරෙන්නේ ය. ඒ සඳහා තැපැල් කන්තෝරුවේ සහ රෝහලේ භුමි කොටස් ද යොදා ගන්නේ ය. මවිසින් කලින් සභාගත කළ වාර්තාවෙන් ද කින්නියා උණු වතුර ලිං ආසන්නයේ වන පිල්ලෙයාර් හින්දු කෝවිල වෙනුවට බෞද්ධ ප‍්‍රතිමාවක් තැන්පත් කරන්නට යන බව සඳහන් කළේ ය. එම කෝවිල ශත වර්ෂ ගණනාවක සිට හින්දු වතාවත් කෙරෙන සිද්ධස්ථානයකි. ගරු සම්පන්තන් විසින් මේ සමබ්නධයෙන් පැමිණිල්ලක් කළ බව ද එම වාර්තාවෙහි සටහන් විය. එම හින්දු කෝවිල දැන් විනාශ කර ඇත. ආසන්නයේ බුද්ධ ප‍්‍රතිමාවක් ඉදිකර ඇත.

7.4 දකුණෙන් ශ‍්‍රමිකයින් ගෙන ඒම – ආණ්ඩුව පවසන අයුරු ‘‘උතුරු වසන්තය’’ ව්‍යාපෘතිය මගින් උතුරේ සංවර්ධනය, විශේෂයෙන් යටිතල පහසුකම්, විදුලි බලය, ජලය හා සනීපාරක්ෂාව, කෘෂීකර්මාන්තය, වාරි මාර්ග, සත්ව ගොවිපල, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, සෞඛ්‍ය, ඝණ අපද්‍රව්‍ය ඉවත් කිරීම, අධ්‍යාපනය, කී‍්‍රඩා, සංස්කෘතික කි‍්‍රයාකාරකම් හා ප‍්‍රවාහණය ආදිය ඉතා ඉහළ මට්ටමකින් දියුණු වන්නේ ය. එනමුත් පොදු පිළිගැනීම වන්නේ මේ කිසිවක ඇත්ත වාසිය ඇත්තේ උතුරේ දෙමළ ජනතාවට නොව, සිංහල කොන්ත‍්‍රාත්කරුවන්ට බාර දී ඇති මේ ව්‍යාපෘතිය සඳහා දකුණෙන් ගෙන එන විරැුකියාවෙන් ඉන්නා සිංහල තරුණන්ට බව ය. නිදසුනක් වශයෙන් වැව් කණ්ඩි අලූත් වැඩියාව, ඒ-9 මහා මාර්ගයේ ඉදි කිරීම් හා අතුරු මාර්ග ඉදි කිරීම් බාර දී ඇත්තේ දකුණේ සිංහල කොන්ත‍්‍රාත්කරුවන්ට ය. ඔවුන් ශ‍්‍රමිකයින් ගෙන එන්නේ දකුණෙන් ය. රැුකියා නැති විශාල පිරිසක් උතුරේ සිටිය දීත් ඔවුන් දෙමළ ශ‍්‍රමිකයින් යොදා ගන්නේ අල්ප වශයෙනි.

7.5 සිංහල ප‍්‍රජාවට පාසල් සහ නිවාස ලබා දීම – බලහත්කාරයෙන් ඉඩම් වලින් ඉවත් කිරීම හා ඉඩම් කොල්ල කෑම ගැන සඳහන් කොටසෙන් පැහැදිලිවම, බහුතර සිංහල ප‍්‍රජාවට ඉඩම් ලබා දීමේ ඉතා විවෘත හා අවිවාදාත්මක ප‍්‍රවණතාවයක් ඇතැයි හෙළි කරන්නේ ය. මේ සම්බන්ධයෙන් කුච්චාවේලි හි රජයේ ඉඩම් කට්ටි බෙදීම හා මුත්තූර් හි දෙමළ ප‍්‍රජාවගේ ඉඩම් කොල්ල කෑම කදිම නිදසුන් ය. ඊට අමතරව, දෙමළ ප‍්‍රදේශයන් හි නිවාස හා ගොඩනැගිලි ද සිංහල ජනයාට ලබා දෙති. නිදසුනක් ලෙස, මඩකළපු දිස්ති‍්‍රක්කයේ කෝරාලෙයිපත්තු උතුර ප‍්‍රා.ලේ කොට්ඨාශයට අයත් පාරම්පරික දෙමළ ග‍්‍රාමයක් වන ඕමාදියාමඩු හි සිංහල පවුල් 30 ට මහවැලි සංවර්ධන ඉඩම් බෙදීමේ ව්‍යාපෘතිය යටතේ ඉඩම් ලබා දී ඇත. මඩු අවට ප‍්‍රදේශයේ දෙමළ පාසල් විශාල සංඛ්‍යාවක් සඳහා අලූත් වැඩියා කිරීම් හා පහසුකම් සැපයිය යුතු වූවත් මඩු මාර්ගයේ දැන් සිංහල පාසලක් ඉදිකර ඇත. ඒ අතර, රාජ්‍ය බැංකුවක ආධාර ඇතිව, මඩු මාර්ගයේ අලූත් නිවාස ව්‍යාපෘතියක් අරඹා ඇත. එහි නිවාසලාභින් බහුතරය වන්නේ සිංහල ජනපදිකයින් ය. එහි නිවාස 80 න් නිවාස 02 ක් පමණක් දෙමළ පවුල් දෙකකට වෙන් කර ඇත. මඩු මාර්ගයේ ලංකා බැංකුව විසින් ඉදි කරන නිවාස 50 න් නිවාස 45 ක් සිංහල පවුල් වලට ලබා දී ඇති අතර ඉතිරි නිවාස 05 දෙමළ පවුල් පහකට දී ඇත.

7.6 නාම පුවරු – මාර්ග සහ ග‍්‍රාමයන් ගේ දෙමළ නම් සිංහලට යොදා ගැනීමේ ප‍්‍රවණතාවය දිගටම පවතින්නකි. අවස්ථා ගණනාවක, දෙමළ පුවරු මුලූමනින් ඉවත් කර, සිංහලෙන් පමණක් වන නාම පුවරු සවි කිරීම ද සිදු විය. මෙම පියවර ප‍්‍රදේශයේ දෙමළ ජනතාවට බරපතල ප‍්‍රශ්නයකි. ඔවුන් එය තේරුම් ගන්නේ ඔවුන් ගේ අනන්‍යතාවය මකා දැමීමේ පියවර ලෙසිනි. කණකරායකුලම් හි ඒ-9 මහා මාර්ගය ආසන්නයේ පාරවල් තුනක නම් මුලූමනින් සිංහල නම් බවට වෙනස් කිරීම නිදසුනකි. ඒවා දැන් ‘‘කෝසල පෙරේරා පාර, අනුර පෙරේරා පාර සහ පූජ්‍ය යටරාවන විමල හිමි මාවත’’ යනුවෙන් වෙනස් කර ඇත. පළමු නම් යුද්ධයට සහභාගි වූ සොල්දාදුවන් දෙදෙනකුගේ ය. අනෙක බෞද්ධ භික්ෂුවකගේ ය. තවත් නිදසුනක් වන්නේ ‘‘ ඕමාන්තායි’’ මුර පොල ‘‘ ඕමන්ත’’ ලෙසින් වෙනස් කිරීම ය. එහි මුර කරන්නේ සිංහල සොල්දාදුවන් ය. මඩකළපුව මහ නගර සභාව විසින් කාත්තන්කුඩි මායිමෙහි සවි කර තිබූ දෙමළ නාම පුවරු, ගලවනු ලැබූයේ පොලීසිය විසින් යැයි පැවසේ. ඒ හේතුවෙන් දෙමළ සහ මුස්ලිම් ජන කොටස් අතර, අනවශ්‍ය අමනාපකම් ඇති වී තිබේ. පසු ගිය ජූලියේ මවිසින් සභාගත කරනු ලැබූ වාර්තාවෙන් ද මෙවැනි සිදුවීම් කිහිපයක් අවධාරණය කෙරින.

8. සමාජ ගැටළු

8.1 මානසික ආතතීන් – උතුරෙහි විශාල හමුදාවක් රඳවා පාලනය කිරීම, එහි වෙසෙන ජනතාවට සැළකිය යුතු මානසික පීඩාවක් යැයි වාර්තා මගින් පෙන්වන්නේ ය. යුද්ධය විසින් ඇති කළ මානසික බිඳ වැටීම් එනිසා තවමත් සමාජගතව ඇත. පශ්චාත් මානසික ආතතීන් සඳහා උපදේශන සායන පැවැත් වීම ප‍්‍රමුඛත්වයක් ලෙස ආණ්ඩුව නොසළකන බව මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරනවුන් පෙන්වා දෙයි. ඛේදවාචකයක් ලෙස දැක් විය හැක්කේ එවැනි උපදේශන කාර්යන් සඳහා හමුදාව ඉඩ ලබා නොදීම ය. යුද්ධය නිසාවෙන් මානසික පීඩනයට හා අවපාතයන්ට හසුව ඉන්නා පුද්ගලයින්ට උපදේශන සේවා ලබා නොදිය යුතු යැයි පල්ලි සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන වෙත ආණ්ඩුව විසින් දන්වා ඇතැයි ද සමහරක් වාර්තා දක්වන්නේ ය.

8.2 කාන්තාවන්ට හා දැරිවියන්ට අතවර හා හිංසා කිරීම් – ප‍්‍රාදේශීයව, කාන්තාවන්ට හා දැරිවියන්ට අතවර කිරීම හා හිංසා කිරීම පිළිබඳව පැමිණිලි ඇත. බොහෝ ව්‍යාපෘති ලබා දී ඇත්තේ දකුණේ සිංහල කොන්ත‍්‍රාත්කරුවන්ට ය. ඔවුන් ශ‍්‍රමිකයින් ලෙස කැටුව එන්නේ ද සිංහල පිරිස් ය. මේ සිංහල ශ‍්‍රමිකයින් නවාතැන් ගනු ලබන්නේ ව්‍යාපෘතියට ආසන්නව, අසල්වැසි ගම මායිමේ ය. ඔවුන් කාන්තාවන්ට හා දැරිවියන්ට තර්ජනයක් බැව් ඔප්පු වී ඇත. එවැනි අතවර හා හිංසනයන් ගැන පැමිණිලි කළ විට ද, අදාල හමුදා නිලධරයින් විසින් පැමිණිලිකරුවන්ට තර්ජනය කරන බවට ද වාර්තා ඇත. පොලීසියට පැමිණිලි කළ විට ද, පැමිණිල්ල ආරක්ෂක සේවාවේ පුද්ගලයෙකුට හෝ දකුණෙන් පැමිණි ශ‍්‍රමිකයකුට විරුද්ධව නම්, සාමාන්‍යයෙන් ඒ සම්බන්ධව කිසිදු පියවරක් නොගන්නා බවට ද වාර්තා ඇත.

8.3 බඩගින්න හා මන්ද පෝෂණය – ඉතා වේගයෙන් ඉහළ යන විරැකියාව සමග, බඩගින්න හා මන්දපෝෂණය පිලිබඳ කණස්සලූ වීම් ද ඉහළ යන්නේ ය. උතුරේ ජනතාව ඉතා භයානක ලෙස පහළ වැටුන ආහාර සුරක්ෂිතතාවයකට මුහුණ දෙන බැව්, ලෝක ආහාර වැඩසටහන ඔවුන් ගේ ජාතික ඇගයුම් වලින් පෙන්වයි. උතුරු පළාතේ පවුල් වලින් සියයට 60 ක් ආහාර සම්බන්ධව ඉතා අනාරක්ෂිත යැයි ගණන් බලා ඇත. පවුල් වලින් සියයට 50 කගේ දෛනික ආදායම ඩොලර 01 ට වඩා අඩු ය. මෙය ශී‍්‍ර ලංකාවේ ප‍්‍රකාශිත දළ ජාතික ආදායමෙහි ඒක පුද්ගල අගය ඩොලර 2,399 ට කිසිසේත් නොගැලපෙන්නකි.

8.4 පාසල් හැර යාම – නැගෙනහිර පළාතේ පාසල් හැර යාම, ඉතා ඉහළ අගයක් දක්වයි. යුද්ධයෙන් විපතට පත් වාකරෙයි හි එය විශේෂයෙන් බරපතල ය. ඊට බලපාන්නා වූ සාධක කිහිපයකි. විශේෂයෙන් ජීවනෝපායන් අහිමි වීමෙන් ඇති වූ දුප්පත් කම හේතුවකි. අඩු වයස් විවාහ සංඛ්‍යාව ඉහළ යාම ද තවත් වැදගත් හේතුවකි.

8.5 සමාජ දේහය බිඳ වැටීම – දෙමළ තරුණියන් සිංහල සොල්දාදුවන් නිසාවෙන් ගැබ් ගැනීම ගැන වාර්තා ඇත. මෙය ඉතා දැඩි හමුදාකරණයෙහි සෘජු ප‍්‍රතිඵලයකි. එය සමාජ පැවැත්ම බිඳ දැමීමට හේතු වන්නේ ය. ඉන් ඇතිවන සමාජ ආර්ථික ගැටළු වලට මුහුණ දෙන්නට තරුණයින්ට බල කෙරෙන්නේ ය. පවුල් සබඳතා වලින් බැහැර ලිංගික සම්බන්ධතා, ලා බාල දැරිවියන් ගැබ් ගැනීම, අත දරුවන් හැර දමා යෑම සහ සිය දිවි නසා ගැනීම් යන සියල්ල ඉහළ යාම, සමාජ පැවැත්ම බිඳ වැටීමේ අනතුරු ය. ඒවා ප‍්‍රාදේශීය සමාජ සංවර්ධයේ දී දිගු කාලීනව බලපාන්නා වූ අනිසි සාධක ය. හමුදාව විසින් මත් පැන් භාවිතයට උනන්දු කෙරෙන අතර, සමාජයෙන් යැපීම ද වැඩි වී ඇත.

‘රාවය‘ 2011 නොවැම්බර් 13

(මෙහි ඊළග කොටස, ලබන රාවය කලාපයෙනි)

‘රාවය‘ ට අපගේ කෘතඥතාව.

(අවසාන කොටස, ලබන වර ‘‘රාවය’’ පුවත් පතින්)

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )