සරසවි ඇදුරන්ට දේශපාලනය වලකා චක්‍රලේඛයක්

සරසවි ඇඳුරන්ට දේශපාලනය වලකා චක්‍රලේඛයක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දේශීය සම්මන්ත්‍රණ සහ වැඩමුළු සඳහා සහභාගීවිමේදී උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමතය ලබා ගැනීම අනිවාර්ය කරමින් එම අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කොට තිබේ. මීට පෙර විදේශීය සම්මන්ත්‍රණ සඳහා සහභාගීවීමේදී පමණක් මෙසේ අවසර ගතයුතු විය. Continue reading සරසවි ඇදුරන්ට දේශපාලනය වලකා චක්‍රලේඛයක්

ජිනීවා වියවුල: ජාතිය එක්සත් කිරීමට නීතියේ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අවශ්‍යයි

ජාතිය එක්සත් කිරීමට නීතියේ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අවශ්‍යයි

ජිනීවා යෝජනාව සම්මත වීමෙන් පසු රජයේ රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් අසන ලද “මෙම කාරණයේදී රටේ ජනතාව රජය සමග සිටින්නේද?” යන ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර වූයේ ‘ජනතාවගේ දේශපාලන පක්ෂපාතීකම් කුමක් වුවත් ඔවුන් මේ මොහොතේ රට වෙනුවෙන් පැහැදිළිව එකට සිටින’ බව සහ ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනතා කැමැත්ත ඇති බවයි.

තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජන මාධ්‍යයන්ට කළ ප්‍රකාශ වලින් කියා සිටියේ ජිනීවා පරාජයෙන් උදාවන තත්වයට ‘අප ජාතියක් වශයෙන් එක්ව මුහුණ දිය යුතු’ බවයි. අමාත්‍ය වරයා තව දුරටත් කියා සිටියේ ජනතාවට ආණ්ඩුව සමඟ විවිධ ප‍්‍රශ්න, විවේචන තිබිය හැකි වුවත්, අමාත්‍යවරයෙකු, මන්ත‍්‍රීවරයෙකු වංචා දූෂණවලට සම්බන්ධ නම් එයට එරෙහි විය යුතු සහ විවේචනය කළ යුතු නමුත් රට වෙනුවෙන් වූ කාරණයකදී ආගම්, පක්ෂ, ජනවාර්ගික භේද වලින් තොරව ශ‍්‍රී ලාංකේය ජාතියක් ලෙස නැගී සිටිය යුතුය යන්නයි. මේ අභියෝගය අපට ජයගත හැකිවන්නේ රටක් ලෙස එකට සිට ගැනීමෙන් පමණක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉහත ප්‍රකාශවලට ප්‍රතිපක්ෂව, ජිනීවා කාරණයේදී ආණ්ඩුව විවේචනය කරන්නන් ගේ තර්කය වන්නේ මෙය රටේ, ජාතියේ හෝ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොව ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පාලන තන්ත්‍රයේ නොහොත් රෙජීමයේ ප්‍රශ්නයක් බවයි.

ජිනීවා පරාජය සිංහල චිත්තය තුළ මහත් වික්ෂෝභයක් ඇති කොට තිබේ. ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන බව දැනගත් විට පළමුව ප්‍රකාශ වූයේ සන්ත්‍රාසයට පත් වීමකි, බියකි. ඉන්පසු එය, ‘මෙය විය නොහැක්කකි, කුමන හෝ දෛවෝපගත සිද්ධියකින් කිසියම් ආකාරයකින් ලංකාව මින් ගැලවෙනු ඇත‘ යන ප්‍රාර්ථනාමය සිතුවිල්ලක් බවට හැරවුණි. ඉනික්බිති එය වහසි බස් දෙඩුමක් බවට හැරවුණි. ඉන්දියාව යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්නේ යැයි ප්‍රකාශ කළ පසු බලාපොරොත්තු සුන් වීය. ලද පරාජයෙන් පසු වික්ෂිප්තභාවයට පත්ව, දැන් කෙරෙමින් පවතින්නේ වගකීමෙන් ගැළවීමට බිල්ලට දෙන්නට අය සෙවීමයි. වඩා වැදගත් වන්නේ සිහි එළවාගෙන, මෙම තත්වය උදාවූයේ කෙසේද යන්න පිළිබඳ සිතා බැලීම යි.

ජිනීවා යාමේ ඉරණම

ජිනීවා යන ගමන අපේ කාලයේ ලංකාවේ ඉරණමත් සමඟ බැඳී ඇති සෙයකි. පළමුව ජීනිවා ගියේ එකළ ප්‍රේමදාස ජනාධිපති සමයේ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වූ මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර ය. එකළ රාජ්‍ය මර්ධනයට ලක්ව සිටි සිංහල තරුණ පිරිස් අතුරුදහන් කිරීම වෙනුවෙන්, දෙමළ ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලෝකයට ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නට යැයි කීම මෙම ගමනේ අරමුණ වීය. ඔවුන් නවාතැන් ගත්තේ එකළ දෙමළ ජනවාර්ගික අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැඟුවේ යැයි කියැවෙන තමාරා කුණනායගම් ගේ නේවාසයෙහි ය. අද මහින්ද රාජපක්ෂ ලංකාවේ ජනාධිපති වන අතර වාසුදේව නානායක්කාර කැබිනට් ඇමතිවරයෙකි. තමාරා කුණනායගම් ජිනීවා නුවර ලාංකේය තානාපතිනියයි. මෙවර ජීනිවා යාම පිළිබඳ වත්මන් රජයෙන් චෝදනා ලැබ සිටින්නෝ සුනිලා අබේසේකර, පාක්‍යසෝති සරවනමුත්තු, නිමල්කා ප්‍රනාන්‍දු සහ සුනන්ද දේශප්‍රිය වැනි සිවිල් සංවිධාන නැතහොත් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝ වෙති. මොවුන්ගේ ජිනීවා ගමන ඔවුන් විශ්වාස කරන පරිදි ලාංකේය දෙමළ ජනයාගේ පමණක් නොව දකුණේ අනෙකුත් ජනයාගේද අයිතිවාසිකම් මර්ධනය කරන වත්මන් රජයේ ක්‍රියා කලාපයට එරෙහිව ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නට යැයි ලෝකයට කියා සිටීම සඳහා ය. දෛවයේ සරදමක් බඳු මෙම උත්ප්‍රාසජනක සිදුවීම් තුළින් මතුවන වැදගත් කරුණ නම් ’80 ගණන් වල සිටම අප අත් දැක ඇති පරිදි අපට අපේ අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්න මෙරට තුළ විසඳා ගැනීමට නොහැකි වීමෙන් ඒ සඳහා භාහිර බලවේග මැදිහත්වීම වළක්වා ලීමට අප අපොහොසත් ව ඇති බවයි.

වෙනත් අයුරකින් මෙය කියන්නේ නම් රට තුළ ආරාවුලේ එක් පාර්ශ්වයක් භාහිර බලවේගවල පිහිට පැතීමෙන් කියැවෙන්නේ රට තුළ දේශපාලනය සඳහා ඉඩ කඩ නැතිව ගොස් ඇති බවයි. ’80 ගණන් වල මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර ජිනීවා ගියේ රාජ්‍ය මර්ධනය විසින් එලෙස දේශපාලන නිදහස සඳහා ඉඩකඩ අවුරා තිබූ තත්වයක් යටතේ ය. එසේ තිබියදීත් ඔවුන් බහුජන ව්‍යාපාර ගොඩ නැඟීම අත්හැර දමා තිබුනේ ද නැතත් රාජ්‍ය මර්ධනයට එරෙහිව රට තුළ බලවේල වලට තනිව සාර්ථකව මුහුණ දිය නොහැකි වූ තත්වයක් යටතේ ඔවුන්ට භාහිර ලෝකයේ පිහිට පතන්නට සිදුවීය. සිවිල් සංවිධාන සාමාජිකයන් තම අරමුණු සාක්ෂාත් කරගැනිමට භාහිර බලවේගවල පිහිට පැතීමට අමතර හේතුවක් ද තිබේ. ඒ, ඔවුන් ගේ දේශපාලනය බහුජනයා සංවිධානය කිරීම මත පදනම් නොවීමයි. යුද්ධය සමයේ රාජ්‍ය මර්ධනය තමනට එරෙහිව එල්ල වූ විට ඔවුන් වෙනුවෙන් දේශපාලන බලපෑම් කරන්නට බහුජන දේශපාලනයක් ඔවුනට නොතිබුණු හෙයින් විදේශ රාජ්‍යයන් සහ රාජ්‍ය නොවන සංවිධාන වල පිහිට පතන්නට ඔවුනට සිදුවීය. එම අවධියේ ඔවුනට ප්‍රබල පිටිවහලක් සපයන්නට භාහිර බලවේග අසමත් වීය. නමුත් අද වන විට ජාත්‍යන්තර බලවේග තම සහයට කැඳවීමේ සිවිල් සමාජ සංවිධාන උත්සාහය පළ දරා තිබේ. යුද්ධයෙන් පසුව වුවත් ලංකාවේ දේශපාලන ගැටලු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසඳාගැනීමට අප යොමුවීනම් මෙලෙස අපේ දේශපාලනය ජාත්‍යන්තරකරණය වීමට ඉඩ තැබෙන්නේ නැත. Continue reading ජිනීවා වියවුල: ජාතිය එක්සත් කිරීමට නීතියේ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස අවශ්‍යයි

හුස්ම ගැනීමටත් බද්දක්? ‘අපිරිසිදු වායුව හුස්ම ගැනීමට සිදුවීම මූලික අයිතිය කඩවීමක්‘

හුස්ම ගැනීමටත් බද්දක්? ‘අපිරිසිදු වායුව හුස්ම ගැනීමට සිදුවීම මූලික අයිතිය කඩවීමක්‘
– ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමි
මෙරට දිගින් දිගටම සිදුවන වායු දූෂණය නිසා පිරිසිදු ඔක්සිජන් වායුව රක ගන්න කියලා රජය වායු බද්දක් පැනවීමට ඉඩ ඇති බව ශ්‍යාමෝපාලි මහා වංශික රන්ගිරි දඹුලු පාර්ශවයේ අනුනායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියෝ පැවසූහ .
Continue reading හුස්ම ගැනීමටත් බද්දක්? ‘අපිරිසිදු වායුව හුස්ම ගැනීමට සිදුවීම මූලික අයිතිය කඩවීමක්‘

රාජ්‍ය විශ්ව විද්‍යාල පිළිබඳ වර්තමාන රජයේ ප‍්‍රතිපත්තිය හා ආකල්පය පිළිකුල් සහගතය – The government policy and attitudes on state funded University education is despicable

රාජ්‍ය විශ්ව විද්‍යාල පිළිබඳ වර්තමාන රජයේ ප‍්‍රතිපත්තිය හා ආකල්පය පිළිකුල් සහගතය
– වෘත්තීය ක‍්‍රියාමාර්ග නැවත ආරම්භ කිරීම පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප‍්‍රකාශය – FUTA Statement on Resuming Trade Union Action

රටට අවශ්‍ය කරන ආකාරයේ උසස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් වර්ධනය කිරීම පිණිස විශ්ව විද්‍යාල ආචාර්ය ප‍්‍රජාව සමග එක්ව කටයුතු කිරීම උදෙසා වර්තමාන රජය උනන්දුවක් නොදැක්වීම පිළිබඳ විරෝධය පෑම සඳහා නැවත වෘත්තීය සටන් ක‍්‍රියාමාර්ග ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ. වර්ෂ 2012 අය වැයේදී උසස් අධ්‍යාපනය සඳහා ප‍්‍රතිපාදන වෙන් කර ඇති ආකාරය, සාවද්‍ය සේ සංකල්ප ගත කර ඇති දැනට පවත්නා උසස් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යෝජනා, විශ්ව විද්‍යාලවල මානව හා භෞතික සම්පත් දියුණු කිරීමට උනන්දුවක් නැතිකම, විශ්ව විද්‍යාල පද්ධතිය නොසලකා හැරීමට උසස් අධ්‍යාපන ඇමතිවරයා ගත් නොයෙක් උත්සාහයක් මගින් පෙනී යන පරිදි ඉතා සුළු කාරණවලට පවා ඇමතිවරයා අතපොවන බව පෙනෙන තරමට විශ්ව විද්‍යාල දේශපාලනීකරණය වීම යන කාරණාවලින්ද මේ සියල්ලටමත් වඩා වැදගත් කාරණය වන්නේ රටට සේවය කළ හැකි විද්‍යාඥයන්, කලාකරුවන්, සමාජ විද්‍යාඥයන්, බුද්ධිමතුන් හා චින්තකයන් බිහි කරන අධ්‍යාපනයක් වෙනුවට හුදෙක් තාක්ෂණික ශිල්පීන් බිහිකරන අධ්‍යාපනය ක‍්‍රමයක් ඇති කිරීමට රජය දරන වෑයම යන කාරණයෙන්ද පෙනී යන හැටියට රාජ්‍ය විශ්ව විද්‍යාල පිළිබඳ වර්තමාන රජයේ ප‍්‍රතිපත්තිය හා ආකල්පය පිළිකුල් සහගතය.

2011 වර්ෂයේ ජූලි 21 දින වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග අත්හිටුවීමේදී විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය හා මුදල් අමාත්‍යංශය අතර ඇති වූ එක`ගතාව අනුව 2011 වර්ෂයේ ජූලි මස 07 වැනිදා උසස් අධ්‍යාපන අමාත්‍යංශය බාර දුන් අන්තර්කාලීන යෝජනාවලියේදී පැහැදිළි කරන ලද අනෙකුත් ඉල්ලීම් සැපිරීම සම්බන්ධයෙන් වැටුප් හා කාඩර කොමිසම හා මුදල් අමාත්‍යංශය සමග හමුවීම් ගණනාවක් පැවැත්විණ. එහෙත් මේ ඉල්ලීම් කිසිවක් අඩ වශයෙන් වත් තාමත් සැපිරී නැත. මුදල් අමාත්‍යංශය සමග ඇති කරගත් නිර්දේශද සාකච්ඡුාද විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සහ වැටුප් හා කාඩර කොමිසම ඔස්සේ ගොස් සම්පූර්ණ වටයක් සම්පූර්ණ කර ඇතත්, කිසිමාකාරයක ප‍්‍රගතියක් අත් කරගෙන නැත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිතමතාම කරන මේ සාවද්‍ය හා ප‍්‍රමාදකාරී ප‍්‍රයෝග දැඩි සේ හෙළා දකියි. Continue reading රාජ්‍ය විශ්ව විද්‍යාල පිළිබඳ වර්තමාන රජයේ ප‍්‍රතිපත්තිය හා ආකල්පය පිළිකුල් සහගතය – The government policy and attitudes on state funded University education is despicable

අපරාධකාර දේශපාලනඥයා අපේම නිර්මාණයකි

අපරාධකාර දේශපාලනඥයා අපේම නිර්මාණයකි

මානව ලෝකයේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වය තේරුම් ගැනීමට සමාජීය විද්‍යාවන් දරා ඇති උත්සාහයන් විවිධ කතිකාවන් බිහිකොට ඇත. ‘මානවයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩය’ යන හොබ්සියානු කතිකාව මෙන්ම ‘මානවයා ස්වභාවයෙන්ම අහිංසකය’ යන රූසෝවියානු කතිකාවද මානව‍යා පිළිබඳ පරම සත්‍යයන්ට වඩා සංස්කෘතික නිර්මිතයන් බව ‘ස්වභාවය සහ සංස්කෘතිය පිළිබඳ’ න්‍යායාත්මක විවාදය පිරික්සන්නෙකු නිගමනය කරන්නට ඉඩ තිබේ. මේ සමඟ සංසන්දනය කළ හැකි තවත් අදහසක් නම් ‘මානවයා යනු දේශපාලන සත්ත්වයෙකි’ යන ඇරිස්ටෝටල්ගේ සංකල්පීකරණයයි. ‘මානවයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩය’ යන මතය අප පිළිගතහොත් එම ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඉහලින් පාලනය පැණවිය යුතුය යන අදහසට එළඹෙන්නට අපට සිදුවෙයි. මීට වෙනස්ව, ඇරිස්ටෝටල්ගේ සංකල්පීකරණය හා සම්බන්ධ අදහසක් නම් මානවයා යනු තමන්ට තමන් හසුරුවා ගත හැකි වන පරිදි හැදියාවක් ලැබූ පුද්ගලයෙකි යන්නයි. මානව සමාජය නිරීක්ෂණය කරන විට අපට දැකිය හැකි වන්නේ අප මානවයන් යනුවෙන් හඳුනා ගන්නේ හුදෙක් මානවයන්ට දාව උපදින අය නොව දැනටමත් ගොඩ නඟා ඇති සහ පවතින මානව සමාජයක් සහ සංස්කෘතියක් තුළ හැදියාවක් ලබන්නන් බවයි.

Continue reading අපරාධකාර දේශපාලනඥයා අපේම නිර්මාණයකි

‘56 පෙරළියට වසර 56යි ඒත් අපි තාම බිම! – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

‘56 පෙරළියට වසර 56යි ඒත් අපි තාම බිම!
– ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු
සාකච්ඡාව: විමලනාත් වීරරත්න

‘ 56 පෙරළිය නමින් අපි හඳුන්වන තත්ත්වය ඇත්තටම දේශපාලන පෙරළියක්ද?

එක අතකින් මේක දේශපාලන පෙරළියක් ලෙස හැඳින්විය හැකියි. මොකද බි‍්‍රතාන්‍ය පාලකයන් ගියේ ඔවුන්ගේ නියෝජිතයන්ට මේ රටේ පාලනය භාරදීලයි. විශේෂයෙන්ම ඔවුන් සමාජවාදී රටවල් සමඟ සබඳතා නොපැවැත්වීමට වගබලා ගත්තා. ‘56 පෙරළිය කියන එකෙන් ඒ තත්ත්වය වෙනස් කැරුණක්. අන්තර්ජාතික වශයෙන් ලංකාවේ තත්ත්වය ඉන්පසු වෙනස් වුණා. එමෙන් අභ්‍යන්තරික වශයෙන්ද ධනවාදී ආර්ථිකය වෙනුවට මධ්‍යම ප‍්‍රතිපදාවක්යැ’යි ‘56 නිර්මාතෘවරුන් හඳුන්වපු එක්තරා සංවෘත ආර්ථික වැඩපිළිවෙලක් රට තුළ ක‍්‍රියාවට නැගුණා. බස් ජනසතුව, පාසල් රජයට ගැනීම හා ඊටත් පසුව කුඹුරු ඉඩම් පනත් වැනි දේවල් හරහා පැවති වැඩවසම් නෂ්ඨාවශේෂ අවසාන කිරීමට උත්සාහයක් දැරුණා. මේ කාලය තුළ තමයි ඇමරිකාව හා රුසියාව අතර සීතල යුද සමයේ ලංකාවත් ගොදුරක් වෙලා තිබුණේ. සමාජවාදී ලෝකය සහ බටහිර අතර අරගලයේදී සමාජවාදී ලෝකයට රටවල් ඇඳෙනවාට එරෙහිව බටහිර දැවැන්ත ක‍්‍රියාවලියක් සිදුවුණා. අපි 56ට පෙර බටහිර ඒ ක‍්‍රියාවලිය සමඟ මානසිකව සිටියාට ‘56 පෙරළියක් සමඟ ඒතත්ත්වය වෙනස් වුණා.

රට තුළ මේ සමගම යම් සංස්කෘතිකමය වෙනසකුත් සිදුවෙන්න මූල බීජය පැන නැගුණා. සිංහල හා දෙමළ දෙපිරිස අතරම තමන්ගේ ජාතිය හා සංස්කෘතිය පිළිබඳ යම් පුනරුදයක් ඇතිවෙමින් පැවතුණා. සිංහල ජනයා අතර අනාගාරික ධර්මපාල, දෙමළ ජනයා අතර ආරුමුග නාවලර් එහි පෙරමුණේ සිටියා. අනගාරික ධර්මපාලට වැරදුණු තැනක්ද මෙතන තිබුණා. ඔහුගේ සිංහල ජාතිය හා බෞද්ධාගම නගා සිටුවීමේ ව්‍යාපාරය තුළ එක්තරා ආකාරයක දෙමළ හා මුස්ලිම් විරෝධ ස්වරයක් තිබුණා. ඔහු දෙමළ ජනයා ගැන කතා කරන විට පර යන වදනත්, මුස්ලිම් ජනයාට හම්බයින් යන වදනත් භාවිත කර තිබෙනවා. එයින් මට කියන්න අවශ්‍ය වුණේ සිංහල පුනරුදය කියන ව්‍යායාමය අභාග්‍යයකට මෙන් ජාතිවාදී ස්වරූපයක් ගත් බවයි. සිංහල ජාතිය හා බුද්ධාගම නගා සිටුවීමේ ව්‍යාපාරයක් ඇයි අනෙක් ජාතීන්ට පහර ගැසුවේ කියන එක බරපතළ ප‍්‍රශ්නයක් මේ සියල්ල අතර ‘56 හරහා සාමාන්‍ය ජනයාගේ හැඟීමකුත් සිදුවුණා. එක පැත්තකින් නිදහස් අධ්‍යාපනයෙන් වරම්ලත් පීඩිත පන්තියේ පිරිස් උගතුන් ලෙස ඉදිරියට ආවා. අපේ අවධානයට වැඩිපුර ලක්නොවූ තවත් වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි අධිරාජ්‍යවාදින් විසින්ම තමන්ගෙ පාලන කටයුතුවලට පුද්ගලයන් පුහුණු කිරීමට ආරම්භ කළ කොළඹ විශ්වවිද්‍යාල කොලීජිය එක්තරා විදියකට අලූත් ආකාරයකට ජාතික සංස්කෘතියට හිත ඇති පිරිසක් බිහි කළා. ඔවුන් ජාතිවාදීන් නොවීම තමයි වැදගතම කාරණය. සරච්චන්ද්‍ර, මලලසේරක වගේ අය එහිදී ප‍්‍රමුඛයි. මහජන එක්සත් පෙරමුණ බලට ආවෙ ‘56 අපේ‍්‍රල්වල. මාර්තු මාසේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබුණා යුනෙස්කෝ එක මගින් සංවිධානය කරපු සම්මන්ත‍්‍රණයක්. එකේ මාතෘකාව The Traditional Culture of Ceylon and its Present Position. ඒ සම්මන්ත‍්‍රණයේ නම වුණේ Aspects of traditional Sinhalese Culture යන්නයි. මේ සාකච්ඡාව සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රයේ දැවැන්ත ආකල්පමය වෙනසක් කිරීමට හේතුවෙලා තිබෙනවා. මෙමගින් නව ශාස්ත‍්‍රීය පසුබිමක් මෙන්ම පැරණි ආචාර ධර්ම වෙනුවට අලූත් ආචාර් ධර්ම පද්ධතියක් හඳුන්වා දෙන ව්‍යාපාරයක් ඇතිවුණා. මේක පේරාදෙණි ගුරුකුලයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය වූවා පමණක් නොවෙයි. ‘56 පෙරළියට පසුපස තිබුණු සංස්කෘතික හා ශාස්ත‍්‍රීය බලවේග ඉදිරියට ගෙනගිය නැතහොත් 56ට න්‍යායක් සැපයූ සම්මන්ත‍්‍රණයක් ලෙස සැලකිය හැකියි. Continue reading ‘56 පෙරළියට වසර 56යි ඒත් අපි තාම බිම! – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

විනිසුරුවරයා නොපැකිලව සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි

විනිසුරුවරයා නොපැකිලව සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි
හිටපු මහාධිකරණ විනිසුරු
ඩබ්ලිව්. ටී. එම්. පී. බී. වරාවැව

මෙයට ඇති හොඳ නිදසුනක්‌ නම් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේදී නෙවිල් සමරකෝන් මහතා අගවිනිසුරු ලෙස පත් කිරීම දැක්‌විය හැකියි. සමරකෝන් මහතාව පත් කළ විධායකයේ ඕනෑ එපාකම් ඉටු කිරීමට ඔහු ගියේ නෑ. සමරකෝන් අගවිනිසුරුවරුන්ගේ අභිමානය රැකගත් විනිසුරුවරයෙක්‌ ලෙස අදටත් ඒ පිළිබඳව දන්නා ජනතාව ගෞරවයෙන් සිහිපත් කරනවා.

ඉතිහාසයේ බොහෝ රටවල පැවතියේ රාජාණ්‌ඩු පාලන ක්‍රමයන්, සෑම බලයක්‌ම රජු වෙත පැවරී තිබුණා. සියල්ලේම අවසානය තීරණය කරනු ලැබුයේ රජතුමා විසිනුයි. ලෝකය පුරා ඇතිවූ විවිධ විප්ලවයන් ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍ර පාලන ක්‍රමයන් ව්‍යාප්ත වීමට බලපානු ලැබුවා. එහිදී රජු වෙත හිමිව තිබූ අධිකරණ බලතල වෙන් වී නීතියේ ආධිපත්‍ය වෙනම සංකල්පයක්‌ ලෙස ඇතිවී ස්‌ථාපනය වන්නට වුණා. එපමණක්‌ නොවෙයි ඇතැම් රටවලදී රජු සතු බලතල විධායක, ව්‍යවස්‌ථාදායක හා අධිකරණ ලෙසින් බෙදී යැමක්‌ද දක්‌නට ලැබුණා. එක්‌ පුද්ගලයකු වෙතම මෙම සියලු බලයන් අසීමිත ලෙස හිමිවීමෙන් විශාල දූෂණයක්‌, අසාධාරණයක්‌ වූ නිසා එහිදී යහපාලනයක්‌ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍ර පාලන ක්‍රමයක්‌ තුළ එක්‌ එක්‌ ස්‌ථර ඇති කරනු ලැබුවා. එනම් විධායක, ව්‍යවස්‌ථාදායක හා අධිකරණ ලෙසින් හඳුන්වන ස්‌ථර තුන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ස්‌ථම්භ ලෙස දැක්‌විය හැකියි.

අපේ රට දෙස බලන විටදී ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා තුළින් ජනතා පරමාධිපත්‍ය ජනතාව තුළ පවතින බවත් එය විධායක, ව්‍යවස්‌ථාදායක හා අධිකරණ ලෙසින් බෙදී කටයුතු කළ යුතු බවත් අර්ථ ගන්වා තිබෙනවා. එය සංකල්පයක්‌ වුවද කාලයක්‌ මෙරට ක්‍රියාත්මක වූ සත්‍යයක්‌ වෙනවා.

නමුත් මෙහිදී ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීමේදී ඇති ක්‍රමවේදයේ ගැටලු සහගත තත්ත්වයක්‌ මතුවන බවක්‌ පෙනෙන්නට තිබෙනවා. බොහෝ අවස්‌ථාවල ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීමේ දී සිදු වන්නේ විධායක වුවමනා එපා කම් අනුව එම පත්වීම් සිදුවන බවක්‌ එය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට අවතීර්ණ වීමට පෙර තිබූ තත්ත්වයකට යැමක්‌ වෙනවා. එනම් ගෝත්‍රික හෝ රාජාණ්‌ඩු පාලන ක්‍රමයක ලක්‌ෂණ පෙන්නුම් කරනවා. එය හරියට මුල් යුගයේ මිනිසුන් සිදු කළ ගස්‌ ගල් වන්දනාවට යැමක්‌ ලෙසින් හඳුන්වන්න පුළුවන්. සත්‍ය හා යථාර්ථය දැන දැනත් මුළාවක්‌ වටා පැදකුණු කරනවා. Continue reading විනිසුරුවරයා නොපැකිලව සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි

මේ ’56 පරපුරේ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි

ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය, සහ දේශපාලන ප්‍රතිසංස්කරණ:
මේ ’56 පරපුරේ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි

‘රාවය‘ විසිපස්වැනි සංවත්සර උළෙල නම් කොට තිබුණේ ‘විසිපස් වසරක පටිසෝතගාමී අභිචාරිකාව‘ යනුවෙනි. එම උළෙලෙන් පසු ‘රාවය‘ කර්තෘ වික්ටර් අයිවන් ලියූ ලිපියක සිරස්තලය ‘පටිසෝතගාමී සහ විප්ලවකාරී ළදරු වලිප්පුව‘ විය. වික්ටර් මෙලෙස සඳහන් කරන්නේ සංවත්සර උළෙල සම්බන්ධව පැණනැඟී ඇති ආන්දෝලනයට පිළිතුරු දෙමිනි. මෙම ආන්දෝලනයට අදාළ ප්‍රධාන කරුණු දෙකකි. ඉන් පළමුවැන්න, උළෙල ට ‘රාවය‘ විසින් ආරාධනා කරනු ලැබූ අය ශාරීරික පරීක්ෂාවට ලක්වීම ට සම්බන්ධය. දෙවැන්න, උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරාධනා ලැබ තිබීම හා සම්බන්ධ ය. මෙහි පළමුවැන්න පැන නගින්නේ දෙවැන්නෙනි.

උළෙලේ ප්‍රධාන ආරාධිතයා ජනාධිපති බව දැන සිටි අය පෙර අසා දැන සිටි තොරතුරු තිබුණි නම් තමන් මෙබඳු ශාරීරික පරීක්ෂාවකට ලක් වනු ඇති බව නිගමනය කරන්නට ඉඩ තිබුණි.‘රාවය‘ උළෙලට සහභාගී වූ මා දන්නා එක් තරුණ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු මේ පිලිබඳ කීවේ තමාද එහිදී ශාරීරික පරීක්ෂාවට ලක්වූ නමුත් ඉන් සුවිශේෂ අපහසුතාවක් නොවිඳි බවයි. පසුගිය මැතිවරණ කාලයන්හිදී කිහිප වතාවක් අරලිය ගහ මන්දිරයේ රැස්වීම්වලට ගිය රජයට හිතවත් විශ්ව විද්‍යාල කථිකාචාරයවරු එහිදී ශාරීරික පරීක්ෂාවට ලක්වීම නිසා තමන්ට පත්වූ අපහසුතාවන් පිළිබඳ කටුක හාස්‍යයෙන් යුතුව කථා කරණු මම අසා ඇත්තෙමි. ශාරීරික පරීක්ෂාවට ලක්වීම අත්දැකීමේ තීව්රතාව, පරීක්ෂා කරන්නා මෙන්ම, ලබන්නා අනුවත් වෙනස් විය හැකිය. පුද්ගලයෙකු ලෙස හෝ / සහ පුරවැසියෙකු ලෙස රජය විසින් තමනට ලබා දිය යුතු අයිතිවාසිකම් හෝ / සහ ගරුත්වය පිළිබඳ යමෙකුට ඇති හැඟීම අනුව ද මෙම අත්දැකීම තමාට දැනෙන ආකාරය වෙනස් විය හැකිය. නමුත් තමා ශාරීරික පරීක්ෂාවට ලක්වීම තමා පක්ෂපාතීවන රාජ්‍ය යේ ආරක්ෂාවට අවශ්‍ය බව පිළිගන්නා අයෙකුට එය දැනෙනු ඇත්තේ පෙර කී තැනැත්තාට එය දැනෙන ආකාරයෙන්ම නොවේ.

ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය

දෙවැනි කරුණ වන උළෙලට ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරාධනා ලැබ තිබීම පිළිබඳ වික්ටර් කියන්නේ, උත්සවයට සහභාගී වීමෙන් වැළකී ආපසු ගිය කිහිප දෙනෙකුගෙන් (සහ උත්සවයට සහභාගී වූ ඇතැමුන්ගෙන් පවා) මෙම උත්සවයට එල්ල වී ඇති ‘විරෝධයට බලපා තිබෙන ඇත්ත හේතුව ලෙස සැලකිය හැක්කේ එම උත්සවයට ජනාධිපති සහභාගී කරවා ගැනීමය‘ යන්නයි. සමහරවිට ඔවුනට ජනාධිපති නරකම වර්ගයේ ඒකාධිපති නායකයෙකු ලෙස පෙනෙන නිසා එසේ කළා විය හැකි යැයි කියන වික්ටර්, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙකු නොව ව්‍යවස්ථාවේ පිහිටෙන් සහ මහජන ඡන්දයෙන් බලය ගොඩ නඟා ගත්තෙකු බව තර්ක කරයි. ඒකාධිපතිත්වය සහ ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය දෙකම එක හා සමාන නොවේ. වික්ටර් ගේ තර්කය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙකු ලෙස සළකා ඔහු පරාජය කිරීම ප්‍රමුඛ තැනට ගෙන ‘රාවය‘ යෝජනා කරණ දේශපාලන ප්‍රතිසංස්කරණ දෙවැනි තැනට ලඝු කරන අය අන්තගාමී සහ ප්‍රතිගාමී න් හෙයින් ඔවුන් පරාජය කළ යුතු බවයි. (සංවත්සර උළෙල ට ‘රාවය‘ කළ ආරාධනය ස්තූති පූර්වකව භාර ගත් නමුදු මම ත් එම උළෙල ට නොගියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ උළෙලේ ප්‍රධාන ආරාධිතයා බව දැනගත් නිසා ඔහුට ඇති විරෝධයකින් නොව ඉන් රාවයේ පටිසෝතගාමී අපේක්ෂා ගැන ගම්‍ය කෙරුණු දේ හේතුවෙනි. දැන් මේ හේතුවෙන් මම ත් ළදරු වලිප්පුකාරයෙකුගේ තත්වයට වැටෙන්නේදැයි නොදනිමි.) Continue reading මේ ’56 පරපුරේ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි

‘අන්තරේ, නවක වධය අනුමත කරන්නේ නැහැ‘ – කැඳවුම්කරු සංජීව බණ්ඩාර

‘ අන්තරේ, නවක වධය අනුමත කරන්නේ නැහැ‘
කැඳවුම්කරු, සංජීව බණ්ඩාර

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, විශ්ව විද්‍යාලවල නවක වදය පැවැත්වීම අනුමත නොකරන බවත් අනාගතයේදී නවක වදය ලංකාවේ විශ්ව විද්‍යාලවල වලින් තුරන් කිරීමට තම සංවිධානය කටයුතු කරන බවත් එම බලමණ්ඩලයේ වත්මන් කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහජන සභාවකදී පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා විසින් සංවිධානය කොට කොළඹ වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ මූලස්ථානයේ දී 2012 මාර්තු 01 වැනිදා පැවැත්වුණු ‘සම්භාෂණ‘ මහජන සාකච්ඡාවේදී සභාවෙන් මතු කෙරුණු ප්‍රශ්නයකට ආරාධිත කථිකයකු ලෙස පිළිතුරු දෙමිනි. අනෙකුත් ආරාධිත කථිකයන් අතර නිර්මාල් රංජිත් දේවසිරි ද මෙම අවස්ථාවේ වේදිකාවේ සිටියේය.

සංජීව බණ්ඩාරට සභාවෙන් මතු කෙරුණු ප්‍රශ්නය පහත සඳහන් ආකාරයේ එකකි: Continue reading ‘අන්තරේ, නවක වධය අනුමත කරන්නේ නැහැ‘ – කැඳවුම්කරු සංජීව බණ්ඩාර

වෙබ් අඩවි තහනම: ප්‍රතිරූපය සහ මාධ්‍ය භීතිකාව

කුමුදු ගේ තීරුව
වෙබ් අඩවි තහනම:ප්‍රතිරූපය සහ මාධ්‍ය භීතිකාව

රජය පුවත් වෙබ් අඩවි ගණනාවකට තහනමක් පණවා තිබේ. චෝදනාව මෙම වෙබ් අඩවි පුද්ගලයන් ට අපහාස වන අන්දමේ පුවත් පළ කරන බවයි. මෙම කරුණ මුල් කොට ගෙන ජන මාධ්‍යවල විවාදයක් ගොඩ නැඟී තිබේ. මෙම වෙබ් අඩවි පවත්වාගෙන යන්නන්ගේ සදාචාරය පිළිබඳ ඇතැම්හු ප්‍රශ්න කරති. අන් අය කියන්නේ වෙබ් අඩවිවලට මාධ්‍ය සදාචාරයක් තිබිය යුතු යැයි තමන් පිළිගන්නා නමුත් වෙබ් අඩවි තහනමට රජය ගත් තීරණය පළමුව තහනම පනවා දෙවනුව ඊට නීත්‍යානුකූල භාවයක් ආරෝපණය කරන්නට ගන්නා වෑයමක් වන බවත් ය. මාධ්‍යයට පූර්ණ නිදහස තිබිය යුතුයැයි දැන් කියන ලිබරල්වාදීහු ද වෙති. විපක්ෂයේ සිටියදී කරන වෙනත් බොහෝ දේශපාලන විවේචන මෙන්ම මෙයද තමන්ට බලය ලැබුණු විට පහසුවෙන් අමතක කරන්නක් බව ඔවුනට දැන් අමතකය. මංගල සමරවීර ගේ ලිබරල් දේශපාලනය මෙබඳු එකකි.

එක් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියෙකු පවසා තිබුණේ මාධ්‍ය සදාචාරයක් අවශ්‍ය නමුත් එය මාධ්‍ය ඇතුළතින්ම ගොඩ නැඟෙන්නක් විය යුතු බවයි. ඒ එම රාජ්‍ය මාධ්‍ය ආයතනය ‘අපක්ෂපාතීතවය‘ අතින් ගත් කළ ඊටම අයත් සුවිශේෂ මාධ්‍ය සදාචාරයක් අනුව කටයුතු කරන නිසා විය යුතුය. වෙබ් අඩවි තහනම පිළිබඳ තීරණය තම උග්‍ර පක්ෂපාතීත්වය රජයට ප්‍රකාශ කිරීමට රජයේ නිලධාරියෙකු ගත් අධි-උද්යෝගීමත් වෑයමක් ලෙස අඟවමින් ඊට ඇති තම වගකීමෙන් ගැලවෙන්නට රජයේ නිලධාරී තනතුරක් දරන විශ්ව විද්‍යාල මහැදුරු තනතුරු ධාරියෙකු ගත් උත්සාහයක් පිළිබඳ ද වාර්තා වීය.

මාධ්‍යයට පමණක් නොව රාජ්‍යයටද දේශපාලනඥයන්ටද සදාචාරයක් තිබිය යුතුය. මෙම විවාදයේදී ඇතැමුන් සංවාදශීලී යැයි කියාපාමින් මාධ්‍යයට සදාචාරයක් නැතැයි පිටු පුරවමින් ලිපි ලියන්නේ ඇතැම් දේශපාලනඥයන් සහ නිලධාරීන් තම යුතුකම් සහ වගකීම් පිළිබඳ සදාචාරයක් නොමැතිව හැසිරෙන බව අමතක කරමිනි. Continue reading වෙබ් අඩවි තහනම: ප්‍රතිරූපය සහ මාධ්‍ය භීතිකාව