වෙබ් අඩවි තහනම: ප්‍රතිරූපය සහ මාධ්‍ය භීතිකාව

කුමුදු ගේ තීරුව
වෙබ් අඩවි තහනම:ප්‍රතිරූපය සහ මාධ්‍ය භීතිකාව

රජය පුවත් වෙබ් අඩවි ගණනාවකට තහනමක් පණවා තිබේ. චෝදනාව මෙම වෙබ් අඩවි පුද්ගලයන් ට අපහාස වන අන්දමේ පුවත් පළ කරන බවයි. මෙම කරුණ මුල් කොට ගෙන ජන මාධ්‍යවල විවාදයක් ගොඩ නැඟී තිබේ. මෙම වෙබ් අඩවි පවත්වාගෙන යන්නන්ගේ සදාචාරය පිළිබඳ ඇතැම්හු ප්‍රශ්න කරති. අන් අය කියන්නේ වෙබ් අඩවිවලට මාධ්‍ය සදාචාරයක් තිබිය යුතු යැයි තමන් පිළිගන්නා නමුත් වෙබ් අඩවි තහනමට රජය ගත් තීරණය පළමුව තහනම පනවා දෙවනුව ඊට නීත්‍යානුකූල භාවයක් ආරෝපණය කරන්නට ගන්නා වෑයමක් වන බවත් ය. මාධ්‍යයට පූර්ණ නිදහස තිබිය යුතුයැයි දැන් කියන ලිබරල්වාදීහු ද වෙති. විපක්ෂයේ සිටියදී කරන වෙනත් බොහෝ දේශපාලන විවේචන මෙන්ම මෙයද තමන්ට බලය ලැබුණු විට පහසුවෙන් අමතක කරන්නක් බව ඔවුනට දැන් අමතකය. මංගල සමරවීර ගේ ලිබරල් දේශපාලනය මෙබඳු එකකි.

එක් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානියෙකු පවසා තිබුණේ මාධ්‍ය සදාචාරයක් අවශ්‍ය නමුත් එය මාධ්‍ය ඇතුළතින්ම ගොඩ නැඟෙන්නක් විය යුතු බවයි. ඒ එම රාජ්‍ය මාධ්‍ය ආයතනය ‘අපක්ෂපාතීතවය‘ අතින් ගත් කළ ඊටම අයත් සුවිශේෂ මාධ්‍ය සදාචාරයක් අනුව කටයුතු කරන නිසා විය යුතුය. වෙබ් අඩවි තහනම පිළිබඳ තීරණය තම උග්‍ර පක්ෂපාතීත්වය රජයට ප්‍රකාශ කිරීමට රජයේ නිලධාරියෙකු ගත් අධි-උද්යෝගීමත් වෑයමක් ලෙස අඟවමින් ඊට ඇති තම වගකීමෙන් ගැලවෙන්නට රජයේ නිලධාරී තනතුරක් දරන විශ්ව විද්‍යාල මහැදුරු තනතුරු ධාරියෙකු ගත් උත්සාහයක් පිළිබඳ ද වාර්තා වීය.

මාධ්‍යයට පමණක් නොව රාජ්‍යයටද දේශපාලනඥයන්ටද සදාචාරයක් තිබිය යුතුය. මෙම විවාදයේදී ඇතැමුන් සංවාදශීලී යැයි කියාපාමින් මාධ්‍යයට සදාචාරයක් නැතැයි පිටු පුරවමින් ලිපි ලියන්නේ ඇතැම් දේශපාලනඥයන් සහ නිලධාරීන් තම යුතුකම් සහ වගකීම් පිළිබඳ සදාචාරයක් නොමැතිව හැසිරෙන බව අමතක කරමිනි.

අපගේ අරමුණ මෙම විවාදයට මැදිහත් වීම නොවේ. එයින් අදහස් වන්නේ අප මාධ්‍ය සදාචාරයක් ඇති කරගැනීම නොවැදගත් කොට සළකන බව නොවේ. අපි මාධ්‍ය සදාචාරය පිළිබඳ ප්‍රායෝගික කරුණු ඔස්සේ කෙරෙන විවාදයට බසිනවා වෙනුවට වත්මන් මාධ්‍ය භීතිකාව පිළිබඳ විග්‍රහයක් කරන්නට උත්සාහ ගන්නෙමු.

මාධ්‍ය සදාචාරය රටක පවත්නා තත්වයන් සමග ගැට ගැසුනකි. ලොව උතුරු කලාපයේ ධනවාදී රටවල මාධ්‍ය අසීමිත නිදහසක් භුක්ති විඳියි. ප්‍රධාන කොටම ඕපා දූප සහ දූෂමාන ආරංචි වෙනුවෙන්ම කැපවුණු මාධ්‍ය එම රටවල තිබේ. නමුත් ඒවා ප්‍රධාන ධාරාවට අයිති ලෙස පිළිනොගැණෙයි. එම මාධ්‍ය හෝ එබඳු වෙබ් අඩවි එම රටවල තහනම් කෙරෙන්නේ ද නැත. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට පුවත් පළ කිරීමේ සහ විවේචනයේ නිදහස ඇති විට ජනයා ඕපා දූප සහ දූෂමාන ආරංචිවලට කැපවුණු මාධ්‍ය කෙරෙහි උනන්දු නොවෙති. රජය සහ දේශපාලනඥයන් පාරදෘශ්‍ය භාවයකින් කටයුතු කරන විට බොරු ආරංචි වලට ඉඩක් නැත.

ලංකාවේ මාධ්‍ය මර්ධනය

ලංකාවේ සිදුවෙමින් පැවතී ඇත්තේ කුමක් ද? ලංකාවේ මාධ්‍ය දන්නා කාලයක සිට සෑම රජයක් යටතේම පාහේ මර්ධනයට ලක්වී ඇත. නමුත් වත්මන් රජයේ යුද ප්‍රයත්නයත් සමග මාධ්‍ය වලට එල්ල වූ විවිධාකාර මර්ධනයන් සහ මාධ්‍යකරුවන්ට පහර දීම්, ඔවුන් පැහැරගෙන යාම්, මරා දැමීම්, අතුරුදහන් කිරීම් බලවත් ජාත්‍යන්තර අවධානයට ලක්වීය. යුද්ධය අවසන් වූ පසුවත් මාධ්‍යයනට දිගින් දිගටම එල්ල වන අභියෝගයක්ව තිබී ඇත්තේ රජයේ ප්‍රධානීන් සහ දේශපාලනඥයන් තම මාධ්‍ය ප්‍රතිරූපය පිළිබඳ දක්වන සංවේදීතාව නිසා පුවත් වාර්තා කිරීමේදී සහ විග්‍රහයේදී මාධ්‍යයනට එල්ල වන තර්ජනය යි. කලකට පෙර රාජ්‍ය ප්‍රධානියෙකු පුවත් පත් කතුවරියක අසැබි බසින් අමතා තර්ජනය කළේ යැයි සමාජයේ ආරංචි පැතිර ගියේය. රජය, රජයේ නායක කාරකාදී දේශපාලනඥයන් සහ නිලධාරීන් යෙදෙන මහජන අවධානය දිනාගත යුතු සහ දිනාගන්නා නිශේධක ක්‍රියා ජන මාධ්‍යවල පළ වීම සෘජු සහ වක්‍ර අණ කිරීම්, බියවැද්දීම්, තර්ජන මගින් වැළැක්වෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවට ආරංචි සමාජයේ පැතිරිණි. ඒ බව සනාථ කරමින් රජයේ නොවන මාධ්‍ය ස්වයං වාරණයකට එළඹුණු බව පෙනෙන්නට විය. මෙය නිදහස් පුවත් සහ තොරතුරු අපේක්ෂා කරන ජනයාට වැදුණු බලවත් පහරක් වීය. රජයේ මාධ්‍ය හුදෙක් රජයේ පම්පෝරිය ගසන හොරණෑවන් බවට පත්වනවිට, පෞද්ගලික මාධ්‍ය ස්වයංවාරණයක් පවරා ගන්නේ නම් රටේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ලාංකේය ජනයා බලවත් අපේක්ෂා භංගත්වයට පත්වීම නොවැළැක්විය හැකිය.

රජයේ නොවන විද්‍යුත් මාධ්‍ය, ප්‍රධාන ධාරාවේ නොවන පුවත් පත්, සහ වෙබ් අඩවි ජනයා අතර ජනප්‍රිය වන්නේ මෙම තත්වය යටතේ ය. රජය, දේශපාලනඥයෝ සහ නිලධාරීහු තම කාර්යයන් ගේ ස්වභාවයන් නිසාම නිරන්තර මහජන ප්‍රවීක්ෂණයට ලක්වෙති. රජය මහ මඟ සිටින ජනයා විද්‍යුත් කැමරා ආධාරයෙන් ප්‍රවීක්ෂණයට ලක් කරන විට මහජනයාද රජය සහ දේශපාලනඥයන් ප්‍රවීක්ෂණයට ලක් කරති. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සාමාන්‍යයෙන් මෙම ප්‍රවීක්ෂණ කටයුත්ත කෙරෙන්නේ ජන මාධ්‍ය ඇස සහ කණ හරහා ය. නමුත් ජන මාධ්‍ය වලින් එම කටයුත්ත නිසිලෙස ඉටුවීමට බාධා ඇති විට ඕපා දූප සහ දූෂමාණ ආරංචි සොයා යාම ජනයාගේ මෙම ප්‍රවීක්ෂණය ක්‍රියාවට නැංවෙන ප්‍රධාන ආකාරයක් බවට පත්වෙයි. රජය තේරුම් ගත යුතු වන්නේ වෙබ් අඩවි ජනයාගේ මෙම අවශ්‍යතාව ඉටුකරන්නට බිහිවූවක් බවයි.

‘රාජපක්ෂ සමාගම‘

‘රාජපක්ෂ සමාගම‘ වත්මන් ආණුඩව ශක්තිමත් කරන කරුණක් නමුත් ආණ්ඩුවේ මහජන සම්බන්ධතා සහ මහජන දැනුවත්භාවය දුර්වලයැයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියූ බව The Island පුවත් පත වාර්තා කළේය. ආණ්ඩුවට එරෙහිව දූෂණය, යහ පාලනය සහ විනිවිදභාවය පිළිබඳ චෝදනා ජාත්‍යන්තරයෙන් එල්ල නොවීමෙන් පෙනී යන්නේ රට තුළ මෙම කරුණු වැදගත් කොට නොසළකනු ලබන බව යැයි ඔහු තව දුරටත් කියා තිබුණි. නමුත් රජය වෙබ් අඩවි තහනම් කිරීමෙන් පෙනී යන්නේ දූෂණය, යහ පාලනය සහ විනිවිදභාවය යන කරුණු සම්බන්ධයෙන් සමාජයෙන් රජයට සහ දේශපාලනඥයන්ට එල්ල වන චෝදනා යටපත් කරන්නට රජයට අවශ්‍ය වී ඇති බව නොවේද? වෙබ් අඩවි තහනම් කරන්නට රජය පෙළඹෙන්නේ ඒවා ප්‍රබල වීම සළකා ය. ඒවා ප්‍රබල වන්නේ ඒවා අති විශාල සංඛ්‍යාවක් කියවන නිසාය. පුවත් පත් නොකියවන, රූපවාහිනිය නොනරඹන තරුණ ජනයා පවා ඕපා දූප සහ දූෂමාන ආරංචි රැගත් වෙබ් අඩවි නිතිපතා කියවති. ඒවායේ එන පුවත් විද්‍යුත් තැපෑලෙන් ලොව පුරා සැණෙන් එහා මෙහා යවති.

ලංකාවේ ජනයාට දැන් මරණ බයෙන් තොරව නිදහසේ තම දෛනික කටයුතු කරනෙ යා හැකි යැයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ තව දුරටත් කියා තුබුණි. නිදහස යනු ත්‍රස්තවාදයෙන් එල්ල වූ මරණ බියෙන් නිදහස්වීම පමණක් නොවේ. මරණ බයෙන් නිදහස් වූ මිනිසා සොයන ඊළඟ වැදගත් දෙයක් වන්නේ දේශපාලනයට හවුල් වීමේ නිදහසයි. ඇතැම් මිනිස්සු දේශපාලන නිදහස ජීවිතයටද වඩා ඉහළින් තබා සළකති. අදහස් පළ කිරීමේ නිදහස සහ ඒ හා බැඳුනු තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාව දේශපාලන නිදහසේ අංග වෙති. දේශපාලනය කිරීමේ අයිතිය වෘත්තීය දේශපාලනඥයන්ට පමණක් නොව හැම පුරවැසියෙකුටම තිබිය යුතුය. වෙබ් පිටු ලියන, වෙබ් අඩවි පළ කරන තරුණ තරුණියන්ද දේශපාලනය කිරීමේ මඟක් වශයෙන් ඒවා කරන බව අප වටහා ගත යුතුය. ඔවුන් අසම්මත ලෙස එම කටයුතු වල යෙදෙන්නේ නම් ඊට ඇති විසඳුම රටේ මාධ්‍ය වලට කරන සියලු බලපෑම් නවතා දමා රටේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීම යි. එසේ නොමැතිව, වාර්තා වන අන්දමට අන්තර්ජාලයේ කෙරෙන අපරාධ මර්ධනයට පිහිටුවා ඇති පොලීසිය වෙබ් පිටු ලියන තරුණයන්ගේ නිවෙස් වලට යවා ඔවුන් රහස් පොලීසිටයට කැඳවා කට උත්තර ගෙන බියවැද්දීම නොවේ. තරුණයන් දේශපාලන අදහස් පළ කිරීම අපරාධයක් වන්නේ කෙසේද? ඔවුන් රජයට හෝ දේශපාලනයන්ට අපහාස මුඛයෙන් ලියන්නේ නම් රටේ පවත්නා සාමාන්‍ය නීතියට අනුව නඩු පැවරිය හැකිය. නමුත්, වඩා වැදගත්ව රජය වටහා ගත යුතු කරුණ නම් තරුණ ජනයා දේශපාලනඥයන් පිළිබඳ අපහාස මුඛයෙන් කථා කරන තැනට පත්වී ඇත්තේ මන්ද යන්නයි.

ප්‍රතිරූපය රැකගැනීම

දේශපාලනඥයන් සහ රජයේ උසස් නිලධාරීන් තමන්ගේ හෝ රජයේ හෝ ‘රාජපක්ෂ සමාගමේ‘ ප්‍රතිරූපය රැකගැනීම ගැන සැබෑ උනන්දුවක් ඇත්නම් කළ යුත්තේ එම ප්‍රතිරූපය රැකෙන ආකාරයෙන් තම රජයේ සහ දේශපාලන දිවියේ සියලු කටයුතු සදාචාරවත් ලෙස කිරීමට අධිෂ්ඨාන කරගැනීමය. තම පෞද්ගලික ජීවිතයත් දේශපාලන ජීවිතයත් දෙක පටලවා නොගැනීමට පරෙස්සම් වීමය. එසේ නොකොට වෙබ් පිටු ලියන, පළ කරන තරුණයන් බිය වැද්දීමෙන්, මර්ධනයෙන් හෝ ‘ෆේස් බුක් විප්ලවයක්‘ ඇති වීම වැළැක්වීම වැනි විහිළු ක්‍රියාවලට පොලීසියක් පිහිටුවීමෙන් තමන්ගේ හෝ රජයේ ප්‍රතිරූපය රැකගතහැකි යැයි සිතතොත් එය මුළාවකි. මාධ්‍ය තහනම් කිරීමෙන් ආරංචි පැතිර යාම වැළැක්විය හැකි නොවේ. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම ට තහංචි වැටෙන විට කටකතා, ඕපා දූප, දූෂමාණ ආරංචි සමගින් උපහාසය සහ අපහාසය පැතිරීම වැඩි වෙයි.

රුසියාවේ ස්ටාලින් ගේ පාලන සමයේ එරට ජනයාගේ නිදහස බරපතළ ලෙස අහිමි කිරීමෙන් ස්ටාලින්ගේ සහ ඔහුගේ පාලන තන්ත්‍රයේ ප්‍රතිරූපයට සිදුවූ හානිය වටහා ගන්නට නම් දැන් ලෝකයේ උපහාස සාහිත්‍යයට එකතු වී ඇති, එසමයේ එරට බිහිවූ උපහාස කථා අතිමහත් රාශිය අධ්‍යයනය කළ යුතුය. ස්ටාලින් ට අන්තිමේදී ඉතිහාසයෙන් උරුම වූ ප්‍රතිරූපය කුමක් ද?

කුමුදු විසිනි

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )