මේ ’56 පරපුරේ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි

ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය, සහ දේශපාලන ප්‍රතිසංස්කරණ:
මේ ’56 පරපුරේ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි

‘රාවය‘ විසිපස්වැනි සංවත්සර උළෙල නම් කොට තිබුණේ ‘විසිපස් වසරක පටිසෝතගාමී අභිචාරිකාව‘ යනුවෙනි. එම උළෙලෙන් පසු ‘රාවය‘ කර්තෘ වික්ටර් අයිවන් ලියූ ලිපියක සිරස්තලය ‘පටිසෝතගාමී සහ විප්ලවකාරී ළදරු වලිප්පුව‘ විය. වික්ටර් මෙලෙස සඳහන් කරන්නේ සංවත්සර උළෙල සම්බන්ධව පැණනැඟී ඇති ආන්දෝලනයට පිළිතුරු දෙමිනි. මෙම ආන්දෝලනයට අදාළ ප්‍රධාන කරුණු දෙකකි. ඉන් පළමුවැන්න, උළෙල ට ‘රාවය‘ විසින් ආරාධනා කරනු ලැබූ අය ශාරීරික පරීක්ෂාවට ලක්වීම ට සම්බන්ධය. දෙවැන්න, උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරාධනා ලැබ තිබීම හා සම්බන්ධ ය. මෙහි පළමුවැන්න පැන නගින්නේ දෙවැන්නෙනි.

උළෙලේ ප්‍රධාන ආරාධිතයා ජනාධිපති බව දැන සිටි අය පෙර අසා දැන සිටි තොරතුරු තිබුණි නම් තමන් මෙබඳු ශාරීරික පරීක්ෂාවකට ලක් වනු ඇති බව නිගමනය කරන්නට ඉඩ තිබුණි.‘රාවය‘ උළෙලට සහභාගී වූ මා දන්නා එක් තරුණ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු මේ පිලිබඳ කීවේ තමාද එහිදී ශාරීරික පරීක්ෂාවට ලක්වූ නමුත් ඉන් සුවිශේෂ අපහසුතාවක් නොවිඳි බවයි. පසුගිය මැතිවරණ කාලයන්හිදී කිහිප වතාවක් අරලිය ගහ මන්දිරයේ රැස්වීම්වලට ගිය රජයට හිතවත් විශ්ව විද්‍යාල කථිකාචාරයවරු එහිදී ශාරීරික පරීක්ෂාවට ලක්වීම නිසා තමන්ට පත්වූ අපහසුතාවන් පිළිබඳ කටුක හාස්‍යයෙන් යුතුව කථා කරණු මම අසා ඇත්තෙමි. ශාරීරික පරීක්ෂාවට ලක්වීම අත්දැකීමේ තීව්රතාව, පරීක්ෂා කරන්නා මෙන්ම, ලබන්නා අනුවත් වෙනස් විය හැකිය. පුද්ගලයෙකු ලෙස හෝ / සහ පුරවැසියෙකු ලෙස රජය විසින් තමනට ලබා දිය යුතු අයිතිවාසිකම් හෝ / සහ ගරුත්වය පිළිබඳ යමෙකුට ඇති හැඟීම අනුව ද මෙම අත්දැකීම තමාට දැනෙන ආකාරය වෙනස් විය හැකිය. නමුත් තමා ශාරීරික පරීක්ෂාවට ලක්වීම තමා පක්ෂපාතීවන රාජ්‍ය යේ ආරක්ෂාවට අවශ්‍ය බව පිළිගන්නා අයෙකුට එය දැනෙනු ඇත්තේ පෙර කී තැනැත්තාට එය දැනෙන ආකාරයෙන්ම නොවේ.

ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය

දෙවැනි කරුණ වන උළෙලට ජනාධිපති මහින්ද රාජපක්ෂ ආරාධනා ලැබ තිබීම පිළිබඳ වික්ටර් කියන්නේ, උත්සවයට සහභාගී වීමෙන් වැළකී ආපසු ගිය කිහිප දෙනෙකුගෙන් (සහ උත්සවයට සහභාගී වූ ඇතැමුන්ගෙන් පවා) මෙම උත්සවයට එල්ල වී ඇති ‘විරෝධයට බලපා තිබෙන ඇත්ත හේතුව ලෙස සැලකිය හැක්කේ එම උත්සවයට ජනාධිපති සහභාගී කරවා ගැනීමය‘ යන්නයි. සමහරවිට ඔවුනට ජනාධිපති නරකම වර්ගයේ ඒකාධිපති නායකයෙකු ලෙස පෙනෙන නිසා එසේ කළා විය හැකි යැයි කියන වික්ටර්, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙකු නොව ව්‍යවස්ථාවේ පිහිටෙන් සහ මහජන ඡන්දයෙන් බලය ගොඩ නඟා ගත්තෙකු බව තර්ක කරයි. ඒකාධිපතිත්වය සහ ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය දෙකම එක හා සමාන නොවේ. වික්ටර් ගේ තර්කය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙකු ලෙස සළකා ඔහු පරාජය කිරීම ප්‍රමුඛ තැනට ගෙන ‘රාවය‘ යෝජනා කරණ දේශපාලන ප්‍රතිසංස්කරණ දෙවැනි තැනට ලඝු කරන අය අන්තගාමී සහ ප්‍රතිගාමී න් හෙයින් ඔවුන් පරාජය කළ යුතු බවයි. (සංවත්සර උළෙල ට ‘රාවය‘ කළ ආරාධනය ස්තූති පූර්වකව භාර ගත් නමුදු මම ත් එම උළෙල ට නොගියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ උළෙලේ ප්‍රධාන ආරාධිතයා බව දැනගත් නිසා ඔහුට ඇති විරෝධයකින් නොව ඉන් රාවයේ පටිසෝතගාමී අපේක්ෂා ගැන ගම්‍ය කෙරුණු දේ හේතුවෙනි. දැන් මේ හේතුවෙන් මම ත් ළදරු වලිප්පුකාරයෙකුගේ තත්වයට වැටෙන්නේදැයි නොදනිමි.)

වඩා වැදගත්ව, මෙම ලිපියෙන් මා සාකච්ඡා කරන්නට කැමැත්තේ වික්ටර් ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වය ලෙසින් හඳුනා ගන්නා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ‘රෙජීමය‘ යටතේ පාලනය වන ලංකාවට වික්ටර් යෝජනා කරණ දේශපාලන ප්‍රතිසංස්කරණ සහ එම උත්සාහයෙන් ගම්‍ය කෙරෙන කරුණු සමහරකි. ‘රාවය‘ විසිපස්වැනි සංවත්සර උත්සවයේදී වික්ටර් කළ කථාවේදී ඉදිරිපත් කළ දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනාව නම් රාජ්‍ය නායකයා සහ විපක්ෂ නායකයාද ඔවුන් අයත් දේශපාලන පක්ෂ ද ජාතික ප්‍රතිසංවිධානයක් සඳහා පොදු එකඟත්වයක් සහ මාර්ග සැළැස්මක් ඇතිකර ගැනීමය. මෙබඳු යෝජනාවකින් විසඳන්නට අපේක්ෂා කරන්නේ කුමන ගැටලුවක් ද? වික්ටර් සදහන් කරන පරිදි, පවතින දේශපාලන හා පරිපාලන ක්‍රමයේ ඇතිවී තිබෙන විකෘතිය යි. ඔහුට අනුව දිගුකාලීනව අප සමාජය වසා පැවති ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් සහ අපේ නායකයන් එක්සත් ජාතියක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්වත් ඇති කර ගැනීමට ක්‍රියා නොකිරීම මෙයට හේතුවිය. ප්‍රචණ්ඩත්වයේ මූලයන් ඇත්තේ ද මෙහිය. මෙය අපේ නායකයන්ගේ බල ව්‍යාපෘතියේ ප්‍රථිඵලයකි. ආණ්ඩු ක්‍රමය විකෘති කරන්නටත්, විධායක ජනාධිපති ක්‍රමය බිහිකරන්නටත් හේතු වූ විකෘති පරිණාමය ක් ලෙස වික්ටර් මෙම තත්වය දකියි. “නීතියේ පාලනයක් නැතිකම, දැඩි අධිකාරීබව, ඉහවහා ගිය දූෂණය හා නාස්තිය, පළිගැනීම, සුදුසුකම් නොසැළකීම, ඵල බෙදාගැනීමේදී සාධාරණ නොවීම යන ලක්ෂණ මෙම ආණ්ඩු ක්‍රමයේ නිත්‍ය ලක්ෂණ වී“ ඇතැයි වික්ටර් කියයි. මෙම ‘අවලස්සණකම‘ සහ ‘අවුල්සහගතබව‘ බව ජය ගැනීමට වික්ටර් කරන යෝජනාවේ ඇති අලුත් කම කුමක් දැයි අසන්නට ඉඩ ඇති අයට වික්ටර්ගේ පිළිතුර වනු ඇත්තේ, දැන් අපි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය අවසන් කොට ඇති හෙයින් මෙම යෝජනාව ක්‍රියාත්මක කළ හැකි තැනක අප දැන් සිටින බවයි.

අපි වික්ටර් ගේ මෙම විග්‍රහය තේරුම් ගැනීමට උත්සාහ කරමු. ප්‍රචණ්ඩත්වය ප්‍රකෘතිය නොව විකෘතියකැයි යන වික්ටර්ගේ අදහස අප තේරුම් ගත යුත්තේ ප්‍රචණ්ඩත්වය හෝ ගැටුම මානව පැවැත්මේ විකෘතියක් ලෙස සළකා නොව ප්‍රචණ්ඩත්වය පිටු දැක සාමකාමී සහජීවනය නඟා සිටුවීම මානව ශිෂ්ටාචාරයේ ඉලක්කයක් ව තිබී ඇතැයි යන අර්ථයෙන් යැයි සිතමි.

එක්සත් ජාතියක් ගොඩ නැඟීම

වර්ගය, කුලය සහ ආගම මත පදනම් වූ ලාංකේය අනන්‍යතා දේශපාලනය යටත් විජිත ක්‍රියාවලියේම ප්‍රථිඵලයකි. යටත් විජිත විරෝධී ව්‍යාපාරය තුළ වාම මතවාදයක් මෙන්ම සිංහල ජාතිකවාදයක්ද ව්‍යාප්ත වීය. එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක 1956 දී බල ගන්වන්නේ යටත්විජිතවාදය තුළ පීඩනයට ලක්ව සිටි දේශීය බලවේගයන් ය. ඔහු තමා මුදා හළ බලවේග වලම ගොදුරක් බවට පත් වීය. නමුත් ඔහු 1929 තරම් ඈතදී ෆෙඩරල් දේශපාලන ක්‍රමයක් යෝජනා කර තිබුණි යන්නෙන් කියැවෙන්නේ ඔහු උපන් ගෙයි සිංහල මහ ජාතිකවාදියෙකු නොවන බවයි. බණ්ඩාරනායකගේ දේශපාලනය හුදු බල ව්‍යාපෘතියක් මත පදනම් වූවක් දැයි තහවුරු කිරීමට සාක්ෂ්‍ය ඇත්දැයි මම නොදනිමි. ඔහුගේ දේශපාලන දිවියේදී ඔහු කළ කී දෑ විමසතොත් ඔහු ලාංකේය ජාතියේ අනාගතය හැඩ ගැස්වීමට තමා තුළ ඇති හැකියාව පිළිබඳ අධි විශ්වාසයකින් යුතු වූ පුද්ගලයෙකු යැයි කීම නිවැරදි යැයි සිතමි. එම, කෙටි බණ්ඩාරනායක සමයෙන් පසු ලංකාව අත් දැක ඇත්තේ ජනවාර්ගික අනන්‍යතාව මැතිවරණ දේශපාලනයේ නිරත දේශපාලනඥයන් අත පා පන්දුවක් බඳු වන ආකාරයයි. මෙතුළ, චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇයගේ යහපත් සිතැඟියාවන් නිසා ව්‍යතිරේකයක් වන නමුදු ඇය ලද අවස්ථාව මනෝරාජික දේශපාලනය වෙනුවෙන් කැප කිරීමෙන් ඇයද ලාංකේය ජාතියක් ගොඩ නැංවීමට නායකත්වය දීමේ කටයුත්ත පැහැර හැරියාය.

ප්‍රජාතන්ත්‍රවාදය

නූතන ලාංකේය සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසය පිළිබඳ අපට දැකිය හැක්කේ කුමක් ද? බ්‍රිතාන්‍යයන් මෙරට පිහිටුවූ බූර්ෂුවා, පාර්ලිමේන්තු, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා සම්බන්ධ ආයතනද 1956 දී බණ්ඩාරනායක මුදා හළ බලවේග වල දේශපාලන අපේක්ෂාවන් සමග ගැටෙනු දැකිය හැකි විය. නිලධාරි තන්ත්‍රය ජනතාගේ ඉදිරි ගමනට බාධා කරන්නේය යන චෝදනාව යටතේ ඊට ඉහලින් ‘දේශපාලන අධිකාරයේ‘ බලය පිහිටුවීමේ ක්‍රියාවලිය දියත් කෙරෙන්නේ 1970 සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) ආණ්ඩුවෙනි. අධිකරණය ද රජයට අවශ්‍ය ආකාරයට හැසිරවීමේ අවශ්‍යතාව ශ්‍රීලනිප ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක පෙරට ගන්නේද මෙම සමයෙහි ය. 1977 දී බලයට පත් ජේ. ආර්. ජයවර්ධන අධිකරණය විධායකය සහ දේශපාලනය යටතට ගැනීම නග්න ලෙසම ක්‍රියාවට නැගුවේය. ජේ. ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේ ඔහු දුටු පරිදි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මන්දගාමී වියගසෙන් ලාංකේය සමාජය මුදවා තමන් අත ලංකාව කඩිනමින් සිංගප්පූරුවක් බවට ‘සංවර්ධනය‘ කිරීමේ අභිලාෂයෙනි. ජේ. ආර්. ජයවර්ධනද ලංකාවේ ඉරණම වෙනස් කිරීමෙහි ලා තමා සතු හැකියාව පිළිබඳ අධි විශ්වාසයක් තිබූ දේශපාලනඥයෙකු වීය. යුද සමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදු කිරීමට හේතු වශයෙන් දැක්වුණේ යුද්ධයයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක ද විධායක ජනාධිපති ක්‍රමය අවසන් නොකළා ය. විධායක ජනාධිපති ක්‍රමය ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ නව ජවයක් ලබා ඇත. දැන් යුද්ධය අවසන් වී වසර කිහිපයක් ගෙවී ඇතත් අප තවමත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීම ගැන කථා කරමු.

නිදහසින් පසු ලංකාවේ දේශපාලන නායකයන් එක්සත් ජාතියක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්වත් ඇති කර ගැනීමට ක්‍රියා නොකිරීම නිසා මෙරට ආණ්ඩු ක්‍රමය විකෘති පරිණාමයක් ඇතිකරන්නටත්, විධායක ජනාධිපති ක්‍රමය බිහිකරන්නටත් හේතු වී යැයි කීම අමතක කරන එකම කරුණ දේශපාලනයේ පුද්ගල සාධකය පමණක් නොවේ. ‘සමාජ පරිණාමය‘ යන්නේ අදහස සමාජ විපර්යාසය නම්, එතුළ මානව ක්‍රියාකාරකමට නැතහොත් මානව කර්තෘත්වයට හිමි භූමිකාව ද ඇතුලත් කොට ගන්නේ නම් නිදහසින් පසු ලංකාවේ සමාජයේ ඇතිවූ වෙනස් කම් වටහා ගන්නට අප මෙම සමාජ විපර්යාසයට ජවය සපයන සමාජ බලවේග වටහා ගත යුතු යැයි සිතමි.

’56 මුදාහළ සමාජ බලවේග

එක්සත් ලාංකේය ජාතියක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීමට අප අපොහොසත්වීම පසුබිමෙහි ඇත්තේ බ්‍රිතාන්‍යයන් අපට ලබාදුන් බූර්ෂුවා, පාර්ලිමේන්තු, නියෝජිත, බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ‘56 දී බණ්ඩාරනායක මුදා හළ, පශ්චාත් විජිත සමයේ මෙරට සමාජයේ අධිපතිභාවයට ක්‍රම ක්‍රමයෙන් පත්වන ස්වදේශීය සමාජ බලවේග එකිනෙකට අභිමුඛ වීමේ ලක්ෂ්‍යයි. අපගේ දේශපාලන හා පරිපාලන ක්‍රමය ආරම්භයේ තිබුණු තත්වයෙන් පිරිහුණේ මෙම හේතුවෙනි. අදවන විට මෙම සමාජ විපර්යාසය එහි තර්කානුකූල අවසානය කරා ගමන් කරමින් තිබෙනු දැකිය හැකිය. ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ‘රෙජීමය‘ මෙම දික් ගැස්සුණු ක්‍රියාවලියේ කූට ප්‍රාප්තිය යැයි කිව හැකිය. මෙම ‘රෙජීමය‘ තුළින්, ‘56 දී බණ්ඩාරනායක මුදා හළ, මැද සහ පහළ පන්තීන්ට අයත් සමාජ බලවේග පළමු වරට පූර්ණ ලෙස රාජ්‍ය බලය අත්පත් කරගැනීමට සමත් වී ඇත. දැන් මෙම සමාජ බලවේග නිරතව සිටින්නේ තමනට ආර්ථික වත්කම් සහ සමාජ බලය ගොඩ නඟා ගැනීමේ අරගලයකය. මේ ’56 පරපුරේ දූ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි. දේශපාලනය, නීති පද්ධතිය, නිලධාරිතන්ත්‍රය යනාදී සැම වැදගත් සමාජ තලයකම අරක් ගෙන සිටින්නෝ මොවුහු ය. වික්ටර් සඳහන් කරන අද “ ආණ්ඩු ක්‍රමයේ නිත්‍ය ලක්ෂණ වී ඇතැයි කිව හැකි“ “නීතියේ පාලනයක් නැතිකම, දැඩි අධිකාරීබව, ඉහවහා ගිය දූෂණය හා නාස්තිය, පළිගැනීම, සුදුසුකම් නොසැළකීම, ඵල බෙදාගැනීමේදී සාධාරණ නොවීම යන ලක්ෂණ“ මෙම අරගලයේ තීව්රභාවය නග්න ලෙස ප්‍රකාශ වන ආකාරයයි. මාක්ස්ගේ සංකල්පයක් එහි සංදර්භයෙන් උගුල්ලා කියන්නේ නම් මේ ‘ප්‍රාක්තම සම්මුච්චිතකරණ‘ ක්‍රියාවලියකි. එහි ‘අවලස්සණකම‘ සහ ‘අවුල්සහගතබව‘ එහෙයිනි.

‘රාවය‘ කර්තෘ වික්ටර් අයිවන් ගේ දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කෙරෙන්නේ මෙබඳු පසුබිමක ය. වික්ටර් ට අවශ්‍ය ඉහත ස්වරූපය ගත් ලාංකේය සමාජයේ මූලික වෙනසක්, ප්‍රතිසංවිධානයක් ඇති කිරීමේ ක්‍රමයකි. වික්ටර් දකින පරිදි මෙම තත්වයට ඇත්තේ විසඳුම් දෙකක් පමණි. එකක් විප්ලවය යි. එය “ඉතාමත් විනාශකාරී ප්‍රථිඵල ඇති කිරීමට හේතුවිය හැකි බිහිසුණු මාර්ගයක් ලෙස සැළකිය හැකි“ යැයි වික්ටර් කියන්නේ විප්ලවය යනු ආයුධ සන්නද්ධ අරගලයක් ලෙස සළකා විය යුතුය. වික්ටර් දකින ඔහු අනුයන විසඳුම දෙවැන්නයි. ඒ ඔහු විසින් යෝජිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යි.

විප්ලවය, සහ ප්‍රජාතන්ත්‍රවාදය

විප්ලවය සාමකාමී විය හැකි බව අපේ කාලයේදී පෙන්වා දුන්නේ තහීර් චතුරශ්‍රය මුල් කොට ගෙන ඊජිප්තුවේ ඇරඹි ජනතා විප්ලවයයි. එබඳු විප්ලවයක් පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් කල්තබා සැළසුම්කොට සංවිධාන කෙරෙන්නක් නොව ස්වයංසිද්ධ මහජන නැඟිටීමකි. බලයේ සිටින රෙජීමයක් ඉවත් කිරීමට ජනතාවට අවශ්‍ය කෙරෙන තත්වයන් සමාජයක මෝරා ආ විට එම රෙජීමයට එරෙහිව ජනයා ස්වයංසිද්ධව වීදි බැසීම ඊජිප්තුවේ දී සිදුවී යැයි කිව හැකිය. එබඳු තත්වයක් ඇති කිරීමේ අවකාශය නිර්මාණය කරන්නේ රෙජීමය මිස ජනතාව නොවේ.

වික්ටර් විසින් යෝජිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට අන් කවුරුන් කැමති වුවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ‘රෙජීමය‘ හා ඊට අනුබද්ධ සමාජ සමූහයන් තමන් උත්සුකව යෙදී සිටින ‘ප්‍රාක්තම සම්මුච්චිතකරණ‘ ක්‍රියාවලියට තිත තබනු ඇති එවන් වැඩ පිළිවෙලකට එකඟ වනු ඇත්දැයි සිතා බලනු වටී.

ඉතින්, කවදා සිදුවේදැයි කා හටවත් අනාවැකි කිය නොහැකි විප්ලවයකින් මෙපිට ලාංකේය ජනයාට වත්මන් තත්වයට සහනයක් ලබා ගැනීමේ අන් කිසි මඟක් නැත්ද?

මගේ අදහස,ඉහත පසුබිම තුළ, එක්සත් ලාංකේය ජාතියක් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩ නැඟීම සඳහා අපගේ මූලික කටයුත්ත විය යුත්තේ අප සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තීන් සහ ව්‍යුහයන් රැකගෙන ස්ථාපිත කිරීම සඳහා දිගින් දිගටම සාමුහිකව කටයුතු කිරීම යි.

නූතන ලාංකේය සමාජයේ මූලික ශක්තිය ව පැවතී ඇත්තේ අප විසින් ගොඩ නඟාගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහයන් සහ සමාජ භාවිතාවන් ය. අප සමාජයක් වශයෙන් මෙතෙක් මුහුණ පෑ සියලු ව්‍යසනයන්ට මුහුණ දී ඒවා ජයගැනීමට අපට ශක්තිය ලබා දුන්නේ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තීන්ය. බලයේ සිටින රෙජීමයක් මෙම ජාතික හරය උල්ලංඝණය කරන තරමට තමන් වෙත ජනතා විරෝධය කැඳවනු ඇත. අපගේ අතීත අත්දැකීම් අපට කියා දෙන්නේ මෙය නොවේද?

වික්ටර් විසින් යෝජිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ද අප සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තීන් සහ ව්‍යුහයන් රැකගෙන ස්ථාපිත කිරීම සඳහා දැරෙන සාමුහික ප්‍රයත්නයේ කොටසක් බවට පත්කරන්නට හැකිවුව හොත් එය අප සමාජය වඩා යහපත් කිරීමට දායක වනු ඇත.

– කුමුදු

Advertisements

One thought on “මේ ’56 පරපුරේ දරුවන් ධනය සහ සමාජ තත්වය උපයා ගන්නා කාලය යි”

  1. This socioeconomic environment in the island is very complicated, mainly due to economic dependancy, degarded democratic values practised in SL, unsolved nayional question and so on so forth. However, Victor Ivon is trying to be too rational which wouldnt be not practical in such a country. If Kumudu can try to analyse the historical features of sinhalese and tamil conflict together with the democratization of a backwrad society, that would help us to understand the status of our destiny.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )