විනිසුරුවරයා නොපැකිලව සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි

විනිසුරුවරයා නොපැකිලව සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි
හිටපු මහාධිකරණ විනිසුරු
ඩබ්ලිව්. ටී. එම්. පී. බී. වරාවැව

මෙයට ඇති හොඳ නිදසුනක්‌ නම් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේදී නෙවිල් සමරකෝන් මහතා අගවිනිසුරු ලෙස පත් කිරීම දැක්‌විය හැකියි. සමරකෝන් මහතාව පත් කළ විධායකයේ ඕනෑ එපාකම් ඉටු කිරීමට ඔහු ගියේ නෑ. සමරකෝන් අගවිනිසුරුවරුන්ගේ අභිමානය රැකගත් විනිසුරුවරයෙක්‌ ලෙස අදටත් ඒ පිළිබඳව දන්නා ජනතාව ගෞරවයෙන් සිහිපත් කරනවා.

ඉතිහාසයේ බොහෝ රටවල පැවතියේ රාජාණ්‌ඩු පාලන ක්‍රමයන්, සෑම බලයක්‌ම රජු වෙත පැවරී තිබුණා. සියල්ලේම අවසානය තීරණය කරනු ලැබුයේ රජතුමා විසිනුයි. ලෝකය පුරා ඇතිවූ විවිධ විප්ලවයන් ලිබරල්වාදී ප්‍රජාතන්ත්‍ර පාලන ක්‍රමයන් ව්‍යාප්ත වීමට බලපානු ලැබුවා. එහිදී රජු වෙත හිමිව තිබූ අධිකරණ බලතල වෙන් වී නීතියේ ආධිපත්‍ය වෙනම සංකල්පයක්‌ ලෙස ඇතිවී ස්‌ථාපනය වන්නට වුණා. එපමණක්‌ නොවෙයි ඇතැම් රටවලදී රජු සතු බලතල විධායක, ව්‍යවස්‌ථාදායක හා අධිකරණ ලෙසින් බෙදී යැමක්‌ද දක්‌නට ලැබුණා. එක්‌ පුද්ගලයකු වෙතම මෙම සියලු බලයන් අසීමිත ලෙස හිමිවීමෙන් විශාල දූෂණයක්‌, අසාධාරණයක්‌ වූ නිසා එහිදී යහපාලනයක්‌ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍ර පාලන ක්‍රමයක්‌ තුළ එක්‌ එක්‌ ස්‌ථර ඇති කරනු ලැබුවා. එනම් විධායක, ව්‍යවස්‌ථාදායක හා අධිකරණ ලෙසින් හඳුන්වන ස්‌ථර තුන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ස්‌ථම්භ ලෙස දැක්‌විය හැකියි.

අපේ රට දෙස බලන විටදී ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා තුළින් ජනතා පරමාධිපත්‍ය ජනතාව තුළ පවතින බවත් එය විධායක, ව්‍යවස්‌ථාදායක හා අධිකරණ ලෙසින් බෙදී කටයුතු කළ යුතු බවත් අර්ථ ගන්වා තිබෙනවා. එය සංකල්පයක්‌ වුවද කාලයක්‌ මෙරට ක්‍රියාත්මක වූ සත්‍යයක්‌ වෙනවා.

නමුත් මෙහිදී ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීමේදී ඇති ක්‍රමවේදයේ ගැටලු සහගත තත්ත්වයක්‌ මතුවන බවක්‌ පෙනෙන්නට තිබෙනවා. බොහෝ අවස්‌ථාවල ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීමේ දී සිදු වන්නේ විධායක වුවමනා එපා කම් අනුව එම පත්වීම් සිදුවන බවක්‌ එය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට අවතීර්ණ වීමට පෙර තිබූ තත්ත්වයකට යැමක්‌ වෙනවා. එනම් ගෝත්‍රික හෝ රාජාණ්‌ඩු පාලන ක්‍රමයක ලක්‌ෂණ පෙන්නුම් කරනවා. එය හරියට මුල් යුගයේ මිනිසුන් සිදු කළ ගස්‌ ගල් වන්දනාවට යැමක්‌ ලෙසින් හඳුන්වන්න පුළුවන්. සත්‍ය හා යථාර්ථය දැන දැනත් මුළාවක්‌ වටා පැදකුණු කරනවා.

එහෙත් බුද්ධිමත් ජනහිතකාමී පාලන ක්‍රමයක්‌ පවතින්නේ නම් සම්බරණ හා තුලන ක්‍රමයක්‌ තුළින් ප්‍රජාතන්ත්‍රවාදීව මිනිස්‌ නිදහස තහවුරු කිරීමට ඇති ස්‌වාධීන අධිකරණ පද්ධතියක්‌ ඇතිකොට පවත්වාගෙන යා හැකියි.

ව්‍යවස්‌ථාව මඟින් හිමිව ඇති බලයක්‌ මත විධායකය විසින් ඉහළ අධිකරණයන්ට විනිසුරුවන් පත් කිරීම සිදු කරනු ලැබුවත් නීතියේ ආධිපත්‍යයට හානියක්‌ හෝ බලපෑමක්‌ නොවන ආකාරයට විධායකය ක්‍රියා කළ යුතුයි. එසේ නොවුණහොත් ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු ඉරි තැලී බිඳ වැටීමක්‌ සිදු වෙනවා. එයින් සිදු වන්නේ ජනතාව එම ආයතන කෙරෙහි ඇති විශ්වාසය නැති වී යැමක්‌. විශ්වාසයක්‌ නැති ආයතන තුළින් ඔවුන් තම අවශ්‍යතා ඉටු කර ගැනීමට පෙළඹෙයිද? ඒ සඳහා වෙනත් විකල්පවලට යැමට ජනතාව යොමු විය හැකියි. එය මුළු සමාජ ක්‍රමයේම පැවැත්මට පිළිලයක්‌ වෙනවා අනිවාර්යයෙන්ම.

විනිසුරුවන්ට මෙහිදී ප්‍රධාන කොට විශාල කාර්යභාරයක්‌ පැවරෙනවා. එය ඔවුන් විසින් අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ කෙරෙහි ඇති ජනතා විශ්වාසයට අබමල් රේණුවක පළුදු වීමක්‌ ඇති නොවීමට විනිසුරුවරුන් වග බලාගත යුතුයි.

මෙයට ඇති හොඳ නිදසුනක්‌ නම් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේදී නෙවිල් සමරකෝන් මහතා අගවිනිසුරු ලෙස පත් කිරීම දැක්‌විය හැකියි. සමරකෝන් මහතාව පත් කළ විධායකයේ ඕනෑ එපාකම් ඉටු කිරීමට ඔහු ගියේ නෑ. සමරකෝන් අගවිනිසුරුවරයා නොපැකිලව සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියා කර විනිසුරුවරුන්ගේ අභිමානය රැකගත් විනිසුරුවරයෙක්‌ ලෙස අදටත් ඒ පිළිබඳව දන්නා ජනතාව ගෞරවයෙන් සිහිපත් කරනවා.

විනිසුරුවරයෙක්‌ සෑම විටම සිය තීන්දු නියෝගයන්වලදී සතර අගතියෙන් තොරව කටයුතු කළ යුතුයි. ලාභ, ද්වේශ, මෝහ, භය කියන්නේ අපව මෙලොවදීම අගතියට පත් කරන කරුණු සතරක්‌. එම කරුණු කෙරෙහි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. විනිසුරු අසුන ඉදියේ පෙනී සිටින සියලු දෙනා දෙස වෙනස්‌කමකින් තොරව බැලිය යුතුයි.

ලේ වැගිරීම් හා ජීවිත පූජාවෙන් දිනා ගත් නීතියේ ආධිපත්‍ය එවිටයි යුක්‌තිය යුක්‌තිය ලෙසින් පසිඳලනු ඇත්තේ. අධිකරණයේ ගෞරවය විශ්වාසය දින දින වැඩි වෙන්නේ එවිටයි. සෑම දෙනාටම බලපාන මානව අයිතිවාසිකම් සුරැකෙන්නේ එතුළින් පමණයි.

මිනිසුන් මිනිසුන් අතර ඇතිවන නඩුවලදී පොලිසිය අපරාධකරුවන් කෙරෙහි පවරන නඩුවලදී රජය පුරවැසියන්ට එරෙහිව පවරන නඩුවලදී වගේම මූලික අයිතිවාසිකම් නඩුවලදී ජනතාවගේ ඒකායන බලාපොරොත්තුව යුක්‌තිය පසිඳලනු ලබන විනිසුරුවරුන්ගේ අපක්‍ෂපාතීත්වයයි.

වර්තමාන සමාජයේ සිදුවන අපරාධ දූෂණ ස්‌වභාවයන් අනුව ඒවා ඉතා සංවේදී ඒවා වෙනවා. ජනමාධ්‍ය තුළින්ද ඒවා කෙරෙහි පුළුල් ප්‍රචාරයක්‌ ලබා දෙනු ලබනවා. බොහෝ නඩු විභාගයන්වල සාක්‌කි විමසීමේ සිට තීන්දු ලබා දීම දක්‌වා වාර්තා මාධ්‍යයන් තුළින් ප්‍රචාරය වෙනවා. ඒ කෙරෙහි ජනතා උනන්දුව ඉහළ යනවා. එහිදී විනිසුරුවරුන් ලබා දෙන තීන්දු යුක්‌ති සහගත සාධාරණ වුවහොත් ජනතාව අධිකරණය වෙත ගෞරවය පුද කරනු ලබනවා.

අද දවසේ සිදුවන බොහෝ අපරාධයන් දේශපාලනඥයන්ගේ අනු දැනුම හා අනුග්‍රහය ඇතිව සිදුවන ඒවා බවට පැහැදිලි කරුණක්‌. සමහර විට අධිකරණය ඉදිරියේ නීතිපතිවරයා ගොනු කළ චෝදනා පත්‍රයක, අපරාධ ස්‌වභාවය හෝ සාක්‌කි පිළිබඳව නොසලකා හැරීමක්‌ සිදුකර ඉවත් කර ගත් අවස්‌ථා බොහෝ තියෙනවා.

ඇතැම් චෝදනා පත්‍ර සංශෝධනය වීම්ද සිදුවෙනවා. එවැනි අවස්‌ථාවක විනිසුරුවරයකුට ඒ කෙරෙහි ඉඩ නොදී සිටීමට හැකි වුවද ක්‍රියාත්මක වීමේදී සම්බන්ධිත ආයතන සමඟ ගැටුම් ඇති කර ගැනීමට ඔවුන් අකමැත්තක්‌ දක්‌වනු ලබනවා. නඩුව පවරපු අයම නඩු ඉල්ලා අස්‌ කරගැනීමට යන්නේනම් ඒ සම්බන්ධයෙන් ඉඩදෙනවා මිස වෙන විකල්පයක්‌ ඇත්තේ නෑ. සමහරවිට සාක්‌කිකරුවන්ට බලපෑම් කර බිය වද්දා නඩු විභාගවලදී ඔහුගේ පෙර ලබා දුන් කටඋත්තර වෙනස්‌ කිරීම්ද සිදු වෙනවා. හඳුනාගැනීමේ පෙරට්‌ටුවලදී වුවමනාවෙන්ම හඳුනා නොගන්නා අවස්‌ථා තියෙනවා. එවැනි අවස්‌ථාවලදී අධිකරණයට කළ හැකි විකල්පයක්‌ ඇත්තේa නෑ. අධිකරණයට කළ හැක්‌කේ නියෝග නිකුත් කිරීම පමණයි. එම නියෝග නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අයිතිය ඇත්තේ රජයට. එනම් පොලිසිය හා නීතිපති දෙපාර්තමේන්තුව වෙත.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විධායක, ව්‍යවස්‌ථාදායක හා අධිකරණ යන ත්‍රිවිධ ස්‌ථම්භ එකිනෙක පරයා නොයා යුතු බවට පිළිගැනීමක්‌ පවතිනවා. විනිසුරුවරයකු ඔහුගේ වයස සම්පූර්ණවී විශ්‍රාම යන තෙක්‌ සේවයේ යෙදී සිටිය යුතුයි. විධායකය, ව්‍යවස්‌ථාදායකය කලින් කලට නැවත පත්වීමක්‌ හෝ නොවීමක්‌ සිදුවිය හැකියි. එහෙත් නීතියේ ආධිපත්‍යට නොකඩවා වෙනස්‌වීමකින් තොරව පවතින දෙයක්‌. එනිසායි විනිසුරුවරයකුට පුද්ගල විශේෂතාවක්‌ නැති බව පැවැසුවේ. විනිසුරුවරයා මිනිස්‌ අයිතිවාසිකම් සුරැකීමට බැඳී සිටින්නෙක්‌. නීතිය හමුවේ සියලු දෙනා එක සමානයි. සැමදෙනා එයට යටත් විය යුතුයි.

අද පාලක පක්‍ෂය හෙට විපක්‍ෂය විය හැකියි. හෙට විපක්‍ෂයට පාලන බලය හිමි විය හැකියි. එහෙත් අධිකරණයට හා විනිසුරුවන්ට එයත් සමඟ වෙනස්‌ විය නොහැකියි. එය නොවෙනස්‌ව නොකැඩී පවතින ස්‌ථම්භයක්‌ වෙනවා. අධිකරණයත් කලින් කලට වෙනස්‌ වන පක්‍ෂ පාට සමඟ වෙනස්‌ වන්නට ගියහොත් නැති වන්නේ මානව ජයග්‍රහණයේ එක්‌ ඵලයක්‌ වන ප්‍රජාතන්ත්‍රවාදයයි. එය මානව අයිතිවාසිකම් විනාශ කිරීමක්‌ වෙනවා.

සාකච්ඡා කළේ
සමන්ත ඉලේපෙරුම

සම්පූර්ණ ලිපිය සඳහා බලන්න
දිවයින ඉරිදා සංග්‍රහය

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )