අපරාධකාර දේශපාලනඥයා අපේම නිර්මාණයකි

අපරාධකාර දේශපාලනඥයා අපේම නිර්මාණයකි

මානව ලෝකයේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වය තේරුම් ගැනීමට සමාජීය විද්‍යාවන් දරා ඇති උත්සාහයන් විවිධ කතිකාවන් බිහිකොට ඇත. ‘මානවයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩය’ යන හොබ්සියානු කතිකාව මෙන්ම ‘මානවයා ස්වභාවයෙන්ම අහිංසකය’ යන රූසෝවියානු කතිකාවද මානව‍යා පිළිබඳ පරම සත්‍යයන්ට වඩා සංස්කෘතික නිර්මිතයන් බව ‘ස්වභාවය සහ සංස්කෘතිය පිළිබඳ’ න්‍යායාත්මක විවාදය පිරික්සන්නෙකු නිගමනය කරන්නට ඉඩ තිබේ. මේ සමඟ සංසන්දනය කළ හැකි තවත් අදහසක් නම් ‘මානවයා යනු දේශපාලන සත්ත්වයෙකි’ යන ඇරිස්ටෝටල්ගේ සංකල්පීකරණයයි. ‘මානවයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩය’ යන මතය අප පිළිගතහොත් එම ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඉහලින් පාලනය පැණවිය යුතුය යන අදහසට එළඹෙන්නට අපට සිදුවෙයි. මීට වෙනස්ව, ඇරිස්ටෝටල්ගේ සංකල්පීකරණය හා සම්බන්ධ අදහසක් නම් මානවයා යනු තමන්ට තමන් හසුරුවා ගත හැකි වන පරිදි හැදියාවක් ලැබූ පුද්ගලයෙකි යන්නයි. මානව සමාජය නිරීක්ෂණය කරන විට අපට දැකිය හැකි වන්නේ අප මානවයන් යනුවෙන් හඳුනා ගන්නේ හුදෙක් මානවයන්ට දාව උපදින අය නොව දැනටමත් ගොඩ නඟා ඇති සහ පවතින මානව සමාජයක් සහ සංස්කෘතියක් තුළ හැදියාවක් ලබන්නන් බවයි.

අපරාධ සහ ප්‍රචණ්ඩත්වය කලින් කලට ජනමාධ්‍යයන්ගේ අවධානය දිනා ගන්නා මාතෘකාවකි. කහවත්තේ මවක් සහ දුවක් ඝාතනය කිරීමත් ඊට දේශපාලනඥයන් සම්බන්ධ වී තිබීමත් ඒ ආශිතව ඇතිවූ මහජන ප්‍රචණ්ඩත්වයත් මුල් කොට ගෙන මෙම මාතෘකාව යලිත් මහජන කතාබහට ලක්වී තිබේ. කහවත්තේ ඝාතන සැළසුම් සහගතව කරන ලද ඒවා යි. කැබිනට් ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ සහෝදරයෙකු තමන් ගෙන ගිය මත් ද්‍රව්‍ය ජාවාරමකට බාධාවක් වනු ඇතැයි සැළකූ හෙයින් මෙම මව සහ දුව මරාදමන්නට ඇතැයි වාර්තා වෙයි. මිනීමැරුමට සැකකරුවන්ගේ ගෙවල් ගිනි තැබූ මහජන ප්‍රචණ්ඩත්වයට හේතු වන්නට ඇත්තේ දිගින් දිගට පරීක්ෂණ කරන බව පෙනුණත් පොලීසිය සැකකරුවන් අත් අඩංගුවට නොගැනීමත් ඒ පිටුපස දේශපාලන බලපෑම් ඇතැයි ප්‍රදේශවාසීන් විශ්වාස කළ නිසාත් යැයි සිතිය හැකිය. මෑත කාලයේදී මීට පෙරද මෙලෙස මහජනයා නීතිය අතට ගෙන ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි යෙදුණු අවස්ථා මිනීමැරුම් සහ දරුණු රිය අනතුරු යනාදිය සම්බන්ධයෙන් ද වරින් වර දකින්නට ලැබුණි. මෙයින් ගම්‍ය වන කරුණක් නම් දේශපාලකයන්ගේ හෝ ධනවතුන්ගේ හෝ සමාජ බලය හිමියන්ගේ ආධිපත්‍යයට යටව නීතියේ පාලනය බිඳ වැටෙන විට, නීතියේ ආධිපත්‍යය සාධාරණ ලෙස ක්‍රියාත්මක නොවන්නේ යැයි මහජනයා විශ්වාස කරන විට ඔවුන් නීතිය තමන් අතට ගන්නට පෙළඹෙන බවයි.

දේශපාලනඥයා අපරාධකාරයෙකු බවට පත්වීම

ප්‍රාදේශීය දේශපාලනඥයන් අපරාධවලට සම්බන්ධවීම පිළිබඳ වැඩිවන වාර්තා වලින් පෙන්නුම් කෙරෙන කරුණක් නම් නීතිය දේශපාලනයට යට කරගනිමින් අපරාධ වල යෙදීම දැන් නග්න ලෙස ජාතික දේශපාලනය තුළ ප්‍රකාශයටද පත් වන බවයි. අපේ දේශපාලනඥයා අපරාධකාරයෙකු බවට පත්වීම අප වටහා ගන්නේ කෙසේද? දේශපාලනය අද වනවිට පහළ පන්තීන්වලින් එන, කෙටි මාර්ගවලින් සමාජයේ ඉහළ නැඟීමේ ආශාවෙන් මඬනා ලද පිරිස්වලට පළමුව ධනයත් දෙවනුව සමාජ තත්වයත් ගොඩ නඟා ගැනීමේ ප්‍රධාන මාර්ගය බවට පත්වී තිබේ.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මනාප ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් කුමන හෝ පංති තලයක මුදල් ඇති පුද්ගලයන්ට දේශපාලනය මත බලපෑම් කිරීමේ අවස්ථාව සලසා දුන්නේය. මනාප ඡන්ද පොරයේ යෙදීමට යහමින් මුදල් අවශ්‍යය. මේ හේතුවෙන් එක්කෝ දේශපාලනයේ මුල්තැන ලැබෙන්නේ ඒ සඳහා මුදල් වැය කළ හැකි දේශපාලනඥයන්ටය. නැතහොත් මුදල් ඇති නමුත් දේශපාලනඥයන් වීමට වරම් නොලබන අය දේශපාලනඥයන්ට මුදල් ලබා දීමෙන් දේශපාලන ව්‍යාපාරයේ කොටස් මිලට ගන්නා ආයෝජකයන් ලෙස ක්‍රියා කරති. එලෙස බලයට පත්වන දේශපාලනඥයන්ට තමන් බලයට පත්වීමෙන් පසු එම ආයෝජකයන්ට ඔවුන්ගේ ආයෝජනයන්ට සරිලන ප්‍රථිලාභ ගෙන දෙන ධනය රැස්කරගැනීමේ අවස්ථා සළසා දෙන්නට සිදුවෙයි. මෙබඳු අවස්ථා අතර තනතුරු, කොමිස්, කොන්ත්‍රාත්, ලයිසන් පත්‍ර, සහ කප්පම් යනාදිය මුල් තැනක් ගනියි. මේවා ආයෝජකයන්ට බෙදා දීම ජාතික මට්ටමේ සිට සහ එක් එක් පුද්ගලයා කළ ආයෝජනයේ පරිමාණය අනුව පහළට ගලා යන විට සම්පත් හීන වීම අනුව ප්‍රාදේශීය ආයෝජකයන්ට ඉතිරිවන අවස්ථා අඩු වෙයි. මත් ද්‍රව්‍ය අලෙවිය වැනි කටයුත්තක් මෙම සම්පත් හීන වීමේ තත්වයට ආදේශකයක් ලෙස ක්‍රියා කළ හැකිය. මත් ද්‍රව්‍ය අලෙවිය ප්‍රථිලාභ ඉතාම කෙටි කලකින් උපයා ගැනීමේ ප්‍රධාන මඟකි. සාමාන්‍ය යෙන් ගත් කළ සෑම ආයෝජකයෙකුටම තම ආයෝජනයට සරිලන ප්‍රථිලාභ හැකි ඉක්මණින් උපයා ගැනීම අවශ්‍ය වන්නේය යන්න සළකා බලන කළ වෙනත් ආකාරයෙන් ප්‍රමාණවත් ප්‍රථිලාභ ලබා දිය නොහැකි ආයෝජකයන් මත් ද්‍රව්‍ය අලෙවිය වැනි කටයුතු වලින් ආදායම් ලැබීමට යොමු වනවා විය හැකිය. ඒ සඳහා නීතියේ පිළිසරණ ආයෝජකයන්ට ලබාගැනීම අවශ්‍ය කෙරෙයි. දේශපාලකයා සහ ආයෝජකයා අතර මෙම මෙම වාණිජ සම්බන්ධතාව නීතියේ පාලනය බිඳ වැටෙන්නට හේතුවෙයි.

මෙවැනිම සම්බන්ධතාවක් දේශපාලකයා සහ ඡන්දදායකයා අතරද පවතියි. ඡන්දදායකයාගේ ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් පෙරළා ඡන්දදායකයා ට සේවය සැපයීම දේශපාලකයාගේ වගකීම වෙයි. මනාප ක්‍රමය යටතේ, දේශපාලකයා, පෙර පැවති ක්‍රමය යටතේ ඔහුගේ වගකීම වූ තෝරාගත් සීමිත ඡන්ද කොට්ඨාශයක ඡන්දදායකයන්ගේ නියෝජිතයා ලෙස කටයුතු කිරීමේ වගකීමෙන් නිදහස් කොට ඇත. මනාප පොරයෙන් ජය ලැබීමට නම් දිස්ත්‍රික්කයකින්ම වැඩි ඡන්ද ප්‍රමාණයක් එකතු කරගත යුතු නිසා, ඡන්දයට මුදල් යොදවන ආයෝජකයන් මෙන්ම ඡන්ද එකතු කොට දීම සඳහා දිස්ත්‍රික්ක මට්ටමේ සිට ගම් මට්ටම දක්වා වන නියෝජිත ජාලයක් ද අවශ්‍ය වෙයි. ඡන්ද එකතු කොට දීමේ සාර්ථකත්වය අනුව නියෝජිතයන්ට ලබා ගත හැකි තනතුරු, කොමිස්, කොන්ත්‍රාත්, ලයිසන් පත්‍ර, සහ කප්පම් ආදිය තීරණය වෙයි. මෙම නියෝජිතයන් ඡන්ද එකතු කරන්නේ අදාල දේශපාලනඥයා බලයට පත්වූ විට ඡන්දදායකයාගේ අවශ්‍යතා සපුරා ගැනීමට උදවු කරනු ඇත යන පදනම ගොඩ නගමිනි. මෙම අවශ්‍යතා අතර ප්‍රමුඛත්වය ගන්නේ ඡන්දදායකයන්ගේ පවුල් වල තරුණ තරුණියන්ට රැකියා ලබා ගැනීමයි. බලයට පත්වූ දේශපාලනඥයන්ගේ මූලිකම කටයුත්තක් වන්නේ තමන්ට ඡන්දය දුන් අය නියෝජනය කෙරෙන පරිදි රැකියා ලබා දීමට කටයුතු කිරීමයි. දේශපාලනඥයන්ට රැකියා ලබාදීමේ හැකියාව මූලිකවම ඇත්තේ රාජ්‍ය අංශයේ ය. එහෙයින් රැකියා වැඩිපුර ලබා දිය හැකි ඇමති උප ඇමතිකම් යනාදී තනතුරු ලබාගැනීමට දේශපාලනඥයෝ උත්සුක වෙති. එසේ ලබාගත් තනතුරු යටතේ ඇති ආයතන වල තම ඡන්දදායකයන්ට හැකිතරම් රැකියා ලබා දීම බලයට පත් දේශපාලනඥයෙකුගේ මූලිකම කටයුත්තක් වෙයි. රජයේ බොහෝ ආයතන වල අධික සේවක අතිරික්තයක් ඇති වීමට හේතුව වී ඇත්තේ මෙයයි. මෑතදී අපරාධ කරුවන්ට රැකවරණ දුන්නේ යැයි ප්‍රචාරයක් ලද ජාතික මට්ටමේ දේශපාලනඥයෙකු තමන්ගේ ජනයාට කළ සේවය කියා පාද්දී සඳහන් කළ මූලික කරුණක් වූයේ තමන් තම ඡන්දදායකයන්ට දහස් ගණනින් වැඩිම රැකියා සංඛ්‍යාවක් දුන් දේශපාලනඥයෙකු බවයි.

මනාප ඡන්ද ක්‍රමය හඳුන්වා දීමේදී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අපේක්ෂා කළේ ඡන්දදායකයන් එකතු වී තමන් නියෝජනය කිරීමට වඩාත් සුදුසු පුද්ගලයා තෝරා පත් කර ගනු ඇතැයි යන්න විය හැකි වුවත් සැබැවින්ම සිදුවන්නේ ඡන්දදායකයන් දේශපාලනිකව නියෝජනය කිරීමට වඩාත් සුදුසු පුද්ගලයාට වඩා ඡන්දදායකයන් ගේ ආර්ථික අවශ්‍යතා වඩාත් සපුරා ලිය හැකි පුද්ගලයා ඡන්දයෙන් දිනීම යි. මනාප ඡන්දයෙන් දූෂිතයන් පරාජය කිරීමේ අවස්ථාද දැකිය හැකි වුවත් වැඩිපුර සිදුවන්නේ මෙහි අනිත් පැත්ත බව අපට දැකිය හැකිය. මෙයට හේතුව අපේ ඡන්ද දායකයන් බහුතරයකට ප්‍රමුඛ වන්නේ දේශපාලනික අවශ්‍යතා වලට වඩා ආර්ථික අවශ්‍යතා වීමයි. රාජ්‍ය අංශය තරකිරීම ඡන්ද දායකයන්ට රැකියා සැපයීමේ කාර්යය පුළුල් කිරීම සඳහා ද සේවය කරන්නකි. රාජ්‍ය අංශය අධිපතිභාවය දරන අපගේ සමාජයේ ධනවත් වීමට ඒ සඳහා ඉහළ නැඟුමට සමාජයේ පහළ පංති සම්භවයක් ඇති අයට තිබෙන පහසුම මඟ දේශපාලනයේ කොටස් කරුවන් වීම තුලින් රාජ්‍ය අංශය තුළ තම ස්ථානය තහවුරු කර ගැනීමයි. මෙලෙස පුළුල් රාජ්‍ය අංශයක් පවත්වා ලෙන යාම දේශපාලනඥයා අපරාධකාරයෙකු බවට පත්වීමට ප්‍රධාන ‍හේතුවක් නොවන්නේද?

අපරාධකාර දේශපාලනඥයා අපේ නියෝජිතයා ය
දේශපාලනඥයා අපරාධකාරයෙකු බවට පත්වීම සහ ආර්ථික අවශ්‍යතා දේශපාලනයේ මුල් තැනට ගැනීමත් සමග බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදයටද සම්බන්ධයක් ඇත. ‘හැම ජාතියකටම එයට ලැබිය යුතු ආණ්ඩුව ලැබෙයි‘ යන, ප්‍රංශ චින්තකයෙකු වූ ජෝසෆ් ඩි මයිස්ත්‍රෙ ගේ, කියමන මෙහි ලා යොදාගන්නේ නම් අපේ දේශපාලනඥයන් අපේ ඡන්දයෙන් බලයට පත් වූවන් බව අප සිහිපත් කළ යුතුය. සියලු දෙනා උපතින්ම ඉබේටම “පුරවැසියන්“ වන සමාජයක බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය එම සමාජයේ බහුතරයේ ස්වභාවය සමාජය පාලනය කිරීමට උඩට ගෙන එයි. හරියටම ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පෞද්ගලික ප්‍රවාහන අංශයට යළි ඉඩ සළසා එහි අයිතිය සුලු ව්‍යාපාරිකයන්ටත්, එහි රැකියා සමාජයේ ලුම්පන් පංතිවල පුද්ගලයන්ටත් විවෘත වන සේ කටයුතු කිරීමෙන් අප ලද ප්‍රථිඵලය මෙනි. මහජන මඟී ප්‍රවාහනය ඔවුන් යටතට පත්කිරීමෙන් සමාජය මත මුදාහල හිංසාව මුලුමනින්ම ජයගන්නට අවරුදු තිස් පහකට පසු අදත් අපි සමත් වී නැත්තෙමු. ආර්ථික අවශ්‍යතා දේශපාලනයේ මුල් තැනට ගන්නා සමාජයක බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේදී, දේශපාලනඥයා අපරාධකාරයෙකු වන්නේ කෙසේදැයි අපට තේරුම් ගත හැකි විය යුතුය. වෙනත් අයුරකින් කියන්නේ නම අපරාධකරුවන්ට අපව පාලනය කරන දේශපාලනඥයන් විමට ඉඩ සළසා ඇත්තේ අපමය.

කුමන සමාජ ස්ථරයක වුවත් වර්ථමානයේ අපි බහුතරයක් දෙනා මුදලත්, ස්වාර්ථ සාධනයත් මුල් තැනට ගෙන අපගේ සාමුහික පැවැත්ම දෙවැනි තැන තබා කටයුතු කිරීමේ හැදියාවක් ලබා ඇත්තෙමු. මේ පිළිබඳ චෝදනාව විවෘත ආර්ථිකය, ගෝලීයකරණය, පාරිභෝජනවාදය හෝ යුද්ධය යනාදියට පවරා ඉන් අපට ඇති වගකීමෙන් ගැළවීමට අපට හැකිවේද? මා යෝජනා කරන්නට කැමැත්තේ, එය විවෘත ආර්ථිකයත්, ගෝලීයකරණයත් සමග, අපගේ සාමුහික පැවැත්ම පිළිබඳ කරුණ පසෙක තබා ආර්ථික කරුණු මුල් තැනට ගැනීමත් ඒ සමගම සමාජයෙන් වියුක්ත වූ හුදෙකලා පුද්ගලයෙකු පිළිබඳ අදහස සමාජයක් වශයෙන් අප විසින් වැළඳ ගැනීමත් නිසා සිදු වූවක් ය යන්නයි. අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ඉහත සඳහන් සමාජීය විපර්යාසයන් හමුවේ සියලු මිනිස් වටිනාකම් මුදලට යට නොකිරීමට සහ සාමුහික පැවැත්ම ස්වාර්ථ සාධනයට යට නොකිරීමට සමත් ශිෂ්ට මිනිසෙකු ගොඩ නැංවීම සඳහා වන සංස්කෘතිකකරණ ක්‍රියාවලිය අත්හරින තැනට අප සමාජය පත්වූයේ කෙසේද යන්නයි. සාමුහිකව ඊට එරෙහිව ක්‍රියා නොකිරීමේ වගකීම භාරගත යුත්තේ අපම ය.

පසුවදන: මානවයා සහ ප්‍රචණ්ඩත්වය
මානව ලෝකයේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වය තේරුම් ගැනීමට සමාජීය විද්‍යාවන් දරා ඇති උත්සාහයන් විවිධ කතිකාවන් බිහිකොට ඇත. ‘මානවයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩය’ යන හොබ්සියානු කතිකාව මෙන්ම ‘මානවයා ස්වභාවයෙන්ම අහිංසකය’ යන රූසෝවියානු කතිකාවද මානව‍යා පිළිබඳ පරම සත්‍යයන්ට වඩා සංස්කෘතික නිර්මිතයන් බව ‘ස්වභාවය සහ සංස්කෘතිය පිළිබඳ’ න්‍යායාත්මක විවාදය පිරික්සන්නෙකු නිගමනය කරන්නට ඉඩ තිබේ. මේ සමඟ සංසන්දනය කළ හැකි තවත් අදහසක් නම් ‘මානවයා යනු දේශපාලන සත්ත්වයෙකි’ යන ඇරිස්ටෝටල්ගේ සංකල්පීකරණයයි. ‘මානවයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩය’ යන මතය අප පිළිගතහොත් එම ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඉහලින් පාලනය පැණවිය යුතුය යන අදහසට එළඹෙන්නට අපට සිදුවෙයි. මීට වෙනස්ව, ඇරිස්ටෝටල්ගේ සංකල්පීකරණය හා සම්බන්ධ අදහසක් නම් මානවයා යනු තමන්ට තමන් හසුරුවා ගත හැකි වන පරිදි හැදියාවක් ලැබූ පුද්ගලයෙකි යන්නයි. මානව සමාජය නිරීක්ෂණය කරන විට අපට දැකිය හැකි වන්නේ අප මානවයන් යනුවෙන් හඳුනා ගන්නේ හුදෙක් මානවයන්ට දාව උපදින අය නොව දැනටමත් ගොඩ නඟා ඇති සහ පවතින මානව සමාජයක් සහ සංස්කෘතියක් තුළ හැදියාවක් ලබන්නන් බවයි. අපේ සමාජය තුළ මෙම හැදියාව පිළිබඳ අදහස පසෙක ලා මුදල් සහ ස්වාර්ථ සාධනය මුල් තැන‍ට ගෙන සළකන තැනට අප පත් වූයේ මන්දැයි අප සිතා බැලිය යුතුය.

කලින් කලට මතුවන, ‘අප සමාජයේ අපරාධ වැඩිවෙමින් පවතියිද? ඊට හේතු මොනවාද?’ යනාදී ගැටලු සරල සාමාන්‍යකරණයන්ගෙන් මිදී සියුම් ව විමසා බලා පැහැදිලි කර ගත යුතු වෙයි. උදාහරණයක් දක්වතොත් නිව්යෝක් වැනි නගරයක සිදුවන අපරාධ පිළිබඳ අධ්‍යයනයක කෙරුණු නිරීක්ෂණයක් නම් මිනිසුන් නගරයේ වැඩිපුර එළියේ ගැවසෙන කාළ සහ අවස්ථාවල අපරාධ වැඩිපුර සිදුවීමේ නැඹුරුවක් ඇති බවයි. ලංකාවේ අවුරුදු තිහක යුද්ධයේ අත්දැකීම් අපරා‍ධ වල යෙදෙන පිරිස් වැඩිවන්නටත්, අපරාධ සාමාන්‍ය දේ ලෙස සළකන්නට ජනයා පොළොඹවන්නටත් හේතු වූවා විය හැකිය. ලොව වෙනත් කලාප හා සසඳා බලන්නේ නම් ලොව දියුණු යැයි සම්මත රටවලත් අපරාධ සිදුවන බවත් එම රටවල් හා අප අතර වෙනස ඇත්තේ එම රටවල ජනයා තම රටේ අපරාධ අඩුකර ගැනීමට සාමුහික උනන්දුවක් දැක්වීම බවත් අපට දැකිය හැකිය.

– කුමුදු

Advertisements

One thought on “අපරාධකාර දේශපාලනඥයා අපේම නිර්මාණයකි”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )