පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභියෝගයක් වන සරසවි නවක වධය

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අභියෝගයක් වන සරසවි නවක වධය

ජනතා විමුක්ති පෙරමුණෙ (ජවිපෙ) න් කැඩී ‘ජන අරගල කණ්ඩායම‘ ලෙස මෙතෙක් කටයුතු කළ පිරිස පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් මෙම සතියේ මහජන දේශපාලනයට පිවිසීම පිළිබඳ මෙරට වාමාංශික ජනයාගේ සුභාශිංසන හිමිවනු නිසැකය. සමාජයට අලුත්, සාධනීය දේශපාලන හඬක් එකතුවීම හැම විටමත් යහපත් දෙයකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලංකාවේ අප පසු කරමින් සිටින මෙම අවස්ථාව ට කළ හැකි දායකත්වය පිළිබඳ ලංකාවේ වාමාංශික ජනයා, විශේෂයෙන්ම තරුණ කොටස් බලාපොරොත්තු සහගතව සිටිති.

’71 ජීව ගුණය යළි පුබුදු කිරීම

පැරණි වාමාංශික පක්ෂ ගිය පාරේම යමින් ජවිපෙ ත් තවත් එක් සම්ප්‍රදායික පාර්ලිමේන්තුවාදී දේශපාලන පක්‍ෂයක් බවට විපරිණාමය වී ඇති අවස්ථාවෙක ’71 ජීව ගුණය යළි මෙරට තරුණ පරපුර තුළ අවදිකරන්නට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමත් වුවහොත් එය ලාංකේය දේශපාලනයට නව ජීවයක් සපයනු හැකිය. ’71 ජීව ගුණය යැයි මා කියන්නේ රාජ්‍ය බලය අල්ලා ගැනීම ඉලක්ක කොට ගත් ආයුධ සන්නද්ධ අරගලය නොවේ. ’71 ජීව ගුණය ලෙස මා දකින්නේ 1971 දී ජවිපෙ වටා එක් වූ තරුණ තරුණියන් තුළ දකින්නට ලැබුණු, සමාජයේ පොදු යහපත වෙනුවෙන් දේශපාලනයට කැපවී, ඒ මගින් තමන්ට සක්‍රීය පුරවැසි චරිතයක් ගොඩ නඟා ගන්නට තිබූ ඉමහත් උනන්දුවයි. විශ්ව විද්‍යාල සිසුන් අධ්‍යාපනය ද, රැකියා වල නියුතු වූවන් රැකියා ද, මැද පංතික තරුණ පිරිස් තම සුරක්ෂිත කුටුම්භයන් ද හැර පියා දේශපාලන සංඝයක සාමාජිකයන්ව බහුජන සුවය සහ යහපත පතා දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නඟමින්, ගම් නියම් ගම් සැරිසැරීම ට ජවිපෙ වටා රොද බැඳීම සංකේතවත් කළේ ’71 ජීව ගුණයයි. එය රාජ්‍ය බලය අල්ලා ගැනීමේ සන්නද්ධ අරගලයට යොමු කිරීමෙන් ජවිපෙ නිර්මාතෘ සහ නායක රෝහණ විජේවීර කළේ මහත් විනාශයකි. රාජ්‍ය මර්ධනය තමන් විනාශ කරනු ඇතැයි යනුවෙන් මුල සිටම විජේවීර තුළ තිබූ ස්වාභිමතාර්ථසාධනමය අනාවැකියක ප්‍රථිඵලයක් ලෙස ජවිපෙ ට සම්බන්ධ යැයි කියැවුණු විශාල තරුණ පිරිසක් දෙවරක්ම විනාශයට පත් කැරුණි.

ලෙනින්වාදී පක්ෂයක්?

රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ව්‍යාපෘතියෙන් සහ න්‍යායයෙන් සන්නද්ධ හෙයින් තමන් ජනතාවට ඉදිරියෙන් සිටින, සමාජ විපර්යාසයේ පෙරටුගාමී බලඇණිය වන්නේය යන ලෙනින්වාදී මධ්‍යගත පක්ෂය පිළිබඳ සම්ප්‍රදායික මාක්ස්වාදී දේශපාලන දෘෂ්ටිවාදයෙන් ද මිදී ජනතාවගේ හෘදය සාක්ෂ්‍යය ලෙසින් ක්‍රියාකරන්නට නව පක්ෂයට හැකි වුවහොත් එය ලාංකේය සමාජයට යහපතක් වනු ඇත. වඩාත්ම වැදගත් වන්නේ පක්ෂයේ නායකයන් සහ සාමාජිකයන් සියල්ල රහසිගත වැඩ ශෛලියෙන් මිදී මහජන තලයේ ප්‍රසිද්ධියේ පෙනී සිට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නිරත වීමයි. සමාජය පිළිබඳ වෛරයෙන් හෝ ඉහළට නැඟ ගැනීමේ සහ ස්වාර්ථ සාධනයේ බූර්ෂුවා අපේක්ෂාවෙන් මිදුණු ‘ 71 ජීව ගුණය යළි මෙරට තරුණ පරපුර තුළ අවධි කිරීම තුළින් මෙරට සමාජයට යහපතක් කිරීමට අවස්ථාව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ට ලැබී තිබේ.

ලාංකේය සමාජය ජය ගන්නට වැර දරමින් සිටින මෙම අවස්ථාව මූලිකවම අපගේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් රැකගෙන තහවුරු කර ගැනීමේ අවස්ථාවකි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීම සඳහා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ක්‍රියාත්මක කළ ව්‍යාපාරය හේතුවෙන් සහ පසුගිය වසර තිහක් තිස්සේ ප්‍රධාන කොටම යුද්ධය හේතුවෙන් උතුරු-නැගෙනහිර ජනතාව ප්‍රමුඛ ලාංකේය ජනතාවට අහිමි වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යළි ස්ථාපිත කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය දී ඇති පොරොන්දුව ඉටු කරවා ගැනීම‍ට ජනතා උද්යෝගය වැඩි වැඩියෙන් අවදි වනු පෙනෙයි. මේ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මූලික වැඩ කොටසක් ඉටුකළ හැකිය.

මෙම ලිපියේ අරමුණ අප සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් රැක ගැනීමේ කටයුත්තට කැප වීමේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයට තම සංවිධානය අභ්‍යන්තරයේ කර ගත යුතු නිවැරදි කිරීමක් කෙරෙහි අවධානය යොමු කිරීම යි. මෙම නිවැරදි කිරීම කළ යුතු වන්නේ සරසවි නවක වධය පිළිබඳ ය. එයට අදාළ මගේ අදහස් ඉදිරිපත් කිරීමට ප්‍රවිශ්ඨයක් වශයෙන් නවක වධය පිළිබඳ කතා බහට සම්බන්ධ මා තරමක මෑත දී අත්දුටු සිදුවීම් තුනක් පළමුව සඳහන් කරනු කැමැත්තෙමි.

සරසවි නවක වධය: සිදුවීම් තුනක්

පළමුවැන්න, සරසවි නවක වධය පිළිබඳ විශ්ව විද්‍යාලයක පැවැති රැස්වීමක දී හෙළිදරවු කැරුණු කරුණක් පිළිබඳ ය. ඉන් කියැවුණේ වෙනත් කරුණු අතර, නවක ශිෂ්‍යයන් මත තම නායකත්වය පවත්වා ගෙන යාමට ඇති අවශ්‍යතාව සහ තමන් නවක වධය ක්‍රියාත්මක නොකළහොත් වෙනත් විශ්ව විද්‍යාල වල සිසුන් තමන් ‘අලයන්‘ යැයි තමනට චෝදනා එල්ල කරණු ඇති හෙයින් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් නවක වධය පවත්වා ගෙන යන බව ඔවුන් කියා සිටින බවයි. (තමන් නවක වධයේ යෙදෙන්නේය යන්න පිළිගැනීම දැන් ප්‍රතික්ෂේප කරන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් මෙම කටයුත්තට දෙන කෝමල වදන ‘පරිවාස කාලය‘ යන්නයි. ) අලයන් යනු සම්ප්‍රදායිකව ඊනියා දක්ෂිණාංශික නැතහොත් බූර්ෂුවා දිශානතියක් ඇති ශිෂ්‍යයන් හැඳින්වීමට යෙදූ පදයයි. මෙම පදය උකහා ගන්නේ ‘ජෙප්පන්‘ එනම් ජවිපෙ ට සම්බන්ධ ශිෂ්‍යයන්ට ප්‍රතිපක්ෂ වය.

පළමුවැන්න ට ආසන්න පසු කාලයකදී සිදුවූ දෙවැනි සිදුවීම, කොළඹ සාමයික කේන්ද්‍ර යේදී ‘විරුද්ධ පක්ෂ මොකටද?‘ යන මැයෙන් පැවැත්වූ මහජන රැස්වීමකදී සිදුවූ අදහස් හුවමාරුවක් හා සම්බන්ධය. මා ද සහභාගී වූ එම රැස්වීමේ මගේ මැදිහත්වීමේදී, එහි සිටි තවත් ආරාධිත කථිකයෙකු වූ ජන අරගල කණ්ඩායමේ නායකයකු වන සහ ජවිපෙ ශිෂ්‍ය සංවිධානයක් ලෙස පොදුවේ පිළිගැනෙන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරුවෙකුව සිටි චමීර කොස්වත්ත ගෙන් මා ඉල්ලා සිටියේ ඔවුන් සැබෑ ලෙසම මානුෂීය සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නම් තමන් සරසවි නවක වධයට විරුද්ධ බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරන ලෙසයි. ඉන් පසුව සිදුවූ අදහස් හුවමාරුවේදී එහි සිටි තවත් ආරාධිත කථිකයෙකු වූ ශිරාල් ලක්තිලක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තම දේශපාලන ව්‍යාපාරයට කාඩර් වරුන් බඳවා ගැනීම සඳහා නවක වධය ක්‍රියාත්මක කරන හෙයින් නවක වධයට එරෙහි වීමට ඔවුනට නොහැකි යැයි චමීර කොස්වත්තට යෝජනා කළ විට ඊට චමීර ගේ පිළිතුර වූයේ එය භාරගන්නා බව ඇඟවෙන මඳ සිනහවකි.

දෙවැන්නට ආසන්නව පසු කළෙක සිදුවූ තෙවැනි සිදුවීම, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ වත්මන් කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහජන සභාවකදී කළ පැවසීමක් හා සම්බන්ධ ය. උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කොළඹ වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ මූලස්ථානයේ දී පැවැත්වුණු මහජන සාකච්ඡාවේදී සභාවෙන් මතු කෙරුණු ප්‍රශ්නයකට ආරාධිත කථිකයකු ලෙස පිළිතුරු දෙමින් සංජීව බණ්ඩාර කියා සිටියේ තම සංවිධානය විශ්ව විද්‍යාලවල නවක වදය පැවැත්වීම අනුමත නොකරන බවත් අනාගතයේදී නවක වදය ලංකාවේ විශ්ව විද්‍යාලවල වලින් තුරන් කිරීමට කටයුතු කරන බවත් ය.

සංජීව බණ්ඩාරට සභාවෙන් මතු කෙරුණු ප්‍රශ්නය පහත සඳහන් ආකාරයේ එකකි: “වර්ථමානයේ උසස් අධ්‍යාපන ඇමති, රජය සහ ඇතැම් උපකුලපතිවරු විශ්ව විද්‍යාල සම්බන්ධව ප්‍රතිපත්ති අනුගමනය කිරීමේදී නවක වධය සම්බන්ධ ගැටලුව විශාල වාසියක් බවට පත්කරගෙන තිබෙනවා. උදාහරණයක් දැක්වුවොත් නායකත්ව පුහුණුව පවා උසස් අධ්‍යාපන ඇමති සමාජගත කරන්නේ නවක වධයෙන් සිසුන් ආරක්ෂා කිරීමේ ක්‍රමයක් ලෙසයි. මේ නිසා නවක වධය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස ඔබේ ස්ථාවරය කුමක් ද?“

ඊට සංජීව බණ්ඩාරගේ පිළිතුර වූයේ මෙවැන්නකි: “අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ නවක වධය අතර කිසිදු සම්බන්ධයක් නැහැ. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ආරම්භ වීමට ප්‍රථම නවක වධය ලංකාවේ විශ්ව විද්‍යාලවල ආරම්භ වෙලා තිබුණෙ. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නවක වධය අනුමත කරන්නේ නැහැ. ඇතැම් සුළු සිද්ධීන් විශ්ව විද්‍යාලවල සිදුවෙනවා. එම සිදුවීම් නවක වධය කියා මාධ්‍ය මගින් විශාල සිදුවීම් ලෙස ප්‍රචාරය කරනවා. ඇත්තටම දැන් නවක වධය කියලා දෙයක් නැහැ. අපි පිළිගන්නවා යම් යම් සුළු සිදුවීම් තිබෙන බව. එම සිදුවීම් අවම කිරීමට අපි ශිෂ්‍ය සංවිධානයක් ලෙස කටයුතු කරමින් සිටිනවා.“

ඉහත සිදුවීම් තුන අතුරෙන් පළමු සිදුවීම වාර්තා වූයේ තම පීඨයෙන් නවක වධය නමැති අශෝභන භාවිතාව අහෝසි කොට ඇතැයි මීට වසර කිහිපයකට පෙර වන තුරුත් ආචාර්යවරුත් ශිෂ්‍යයනුත් සාඩම්බරයෙන් යුතුව එක සේ ප්‍රකාශ කොට සිටි විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨයකිනි. ඊට පෙර මෙම පීඨයේ නවක වධය බහුලව ක්‍රියාත්මක වූ විට සාමාන්‍යයෙන් එයට වගකීම පැවරුණේ ‘ජෙප්පන්‘ට නැතහොත් ජවිපෙට ය. නමුත් මෑත කාලයේදී විවිධ හේතු මත මෙම පීඨයෙන් ජවිපෙ දේශපාලනය අතුගා දමනු ලැබ ඇතැයි සළකණු ලැබිණි. ඉතින්, එවැනි තත්වයක් යටතේ, තම ශිෂ්‍ය නායකත්වය රඳවා ගැනීමට සහ වෙනත් විශ්ව විද්‍යාල වලින් එල්ල වන බලපෑම් හමුවේ නවක වධය ක්‍රියාත්මක කරන්නට මෙම පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පෙළඹෙන්නේ නම් ඉන් කියැවෙන්නේ කුමක් ද?

නවක වධය තුරන් කිරීම

මේ වන විට දිවයිනේ දෙකක් හැරුණු කොට අන් සියළු විශ්ව විද්‍යාල වලින් නවක වධය තුරන් කොට ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කොට තිබේ. ඇමතිවරයා මේ කියන්නේ ඔහු සඳහන් කරන විශ්ව විද්‍යාලවල ජවිපෙ නායකත්වය ලත් ශිෂ්‍ය කණ්ඩායම් තව දුරටත් ක්‍රියාත්මක නොවන්නේය යන්න යැයි සිතමි. නමුත් ජවිපෙ බලපෑම් අහෝසි කළේ යැයි සැළැකෙන එම විශ්ව විද්‍යාල පීඨ වල යලිත් නවක වධය ක්‍රියාත්මක වන්නේ නම් ඉන් කියැවෙන්නේ පීඨයක දෘශ්‍යමාන ජවිපෙ බලපෑම් ඉවත් කිරීමෙන් ම එහි නවක වධය අහෝසි නොවන බව නොවේද? ජවිපෙ බලපෑම් තාවකාලිකව ඉවත් කරනු ලැබුවත් එය නැවත විශ්ව විද්‍යාල තුළ පැණ නැඟීම වළක්වා ලිය නොහැකි බව නොවේද?

දෙන ලද විශ්ව විද්‍යාල පීඨයක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ජාතික ශිෂ්‍ය ප්‍රජාවක සාමාජිකයෝ වෙති. තම පාසැල සහ ගම හරහා ඔවුහු මෙම ජාතික ප්‍රජාවේ කොටස් කරුවෝ වෙති, එසේ අයිතිවීමෙන් වැදගත් පොදු අනන්‍යතාවක් ලබති. ඔවුනට මෙම අවස්ථාව ලබා දෙමින් මෙම ප්‍රජාව යටින් දිවෙන හුය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යි. ඒ අනුව කිසියම් විශ්ව විද්‍යාලයක හෝ පීඨයක ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් අලයන් යැයි යන චෝදනාව මත දේශපාලන තෙරපුමක් ගෙන ආ හැක්කේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයටයි. එම තෙරපුම සාර්ථක වන්නේ අලයන් යැයි චෝදනා ලබන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ට ශිෂ්‍ය ප්‍රජාව අතර ශක්තිමත් පදනමක් නැති විටය. එසේ නොමැතිව ඔවුන් සැබෑ අලයන්ව ශිෂ්‍ය බහුතරයකගේ කැමැත්තෙන් ශිෂ්‍ය නායකයන්ව සිටින්නේ නම් ඔවුනට මෙම තෙරපුම ගැටළුවක් නොවනු ඇත.

ඉතින්, ඉහත පළමු සිදුවීම කියන්නේ ජවිපෙට, පසුව ජන අරගල කණ්ඩායමට සහ ඉදිරියට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට ඉමහත් බලපෑමක් කිරීමේ හැකියාව තිබෙන බවයි. නමුත් ඉහත දෙවන සිදුවීම ආශ්‍රිතව චමීර කොස්වත්ත ඉදිරි පෙළේ නායකයකු වන පෙරටුගාමී පක්ෂයට මා ඉදිරිපත් කිරීමට කැමැති ප්‍රශ්නය ‘පක්ෂයට කාඩර්වරුන් බඳවා ගැනීමේ ක්‍රමය වශයෙන් අතිශයින් ප්‍රජාතන්ත්‍රවිරෝධී වන සහ අමානුෂික ද වන නවක වධය තව දුරටත් යොදාගැනීමට කටයුතු කරන්නේද?‘ යන්නයි. එසේ වන්නේ නම් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනාගැනීමට ඇති මහඟු අවස්ථාවක් මඟ හැරී යනු ඇත.

‘අලයන්‘ සහ ‘ජෙප්පන්‘ අතර ගැටුම

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් අතර පසුගිය කාලයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරුවන් ලෙස ඊට නායකත්වය දුන් කිහිප දෙනෙකුම සිටිති. පසුගිය කාලයක් තිස්සේ විශ්ව විද්‍යාල වල ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීමට ප්‍රධාන හේතුව වශයෙන් පොදුවේ රටම ඇඟිල්ල දිගු කරණ සාධකය නම් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යි. විශ්ව විද්‍යාල තුළ අතීතයේදී මෙන්ම මෑතකදීත් ‘අලයන්‘ සහ ‘ජෙප්පන්‘ අතර නිරතුරුව ප්‍රචණ්ඩ ගැටුම් ඇති වීය. මුලදී අලයන් යැයි සාමාන්‍යයෙන් හැඳින්වුණේ රාජ්‍ය බලය හිමි දේශපාලන තන්ත්‍රයට – සාමාන්‍යයෙන් ගත් කළ එක්කෝ එක්සත් ජාතික පක්ෂ නැතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවකට – අයත් යැයි හඳුනාගත් ශිෂ්‍ය කණ්ඩායම් වලටය. රාජ්‍ය බලය අනුග්‍රහයෙන් ශිෂ්‍ය සංගම්වල බලය අලයන් විසින් තමන් අතට ගනු ලැබීම වැළැක්වීමට ‘ජෙප්පන්‘ විසින් ප්‍රචණ්ඩත්වය යොදා ගනු ලැබුණි. අවසානයේදී මෙම දිග් ගැස්සුණු සටනින් ඇතැම් විශ්ව විද්‍යාල වල ජෙප්පන් පරදා අලයන් ජය ගත් විට අලයන් එක් නිශ්චිත දේශපාලන මතවාදයකට අයත් නොවන මට්ටමට ලංකාවේ ජාතික දේශපාලනය වෙනස් වී තිබුණි. අලයන් කණ්ඩායමේ සිටි අය – එජාප, ශ්‍රීලනිප යනාදී – කුමන හෝ දේශපාලන පක්ෂයකට පක්ෂපාතී විය හැකි වූ අතර අලයන් ලෙස ඔවුන් එක්සත් කළේ තම ස්වාර්ථ සාධනයට ශිෂ්‍ය දේශපාලනය යොදා ගැනීමට ඔවුන් කටයුතු කිරීම සහ ජෙප්පන්ට ඔවුන් තුළ වූ පොදු විරෝධය යි. දෙන ලද අවස්ථාවේ බලයේ සිටින පාලනතන්ත්‍රයෙන් රැකියා සහ තනතුරු යනාදී පෞද්ගලික වාසි ලබා ගැනීම මෙම අලයන්ගේ ශිෂ්‍ය දේශපාලනයේ මූලික අරමුණ වීය. මෙම තත්වය මේ වනවිට ජාතික දේශපාලනයේද වර්ධනය වී තිබුණු දේශපාලන මතවාද පසෙක ලා පෞද්ගලික වාසි තකා දේශපාලකයන් බලයට පත්වන ආණ්ඩු අතර එහා මෙහා යාමේ පිලිබිඹුවක් වීය. මේ වන විට ස්වයං ඵල ප්‍රයෝජනයේ දේශපාලනය සමාජයේ හැම තැනෙකම ජය ගෙන ඇත.

මෙලෙස ජෙප්පන් මර්ධනය කෙරුනු විශ්ව විද්‍යාල පීඨ වල රජයට පක්ෂ ශිෂ්‍ය කණ්ඩායම් බිහි වී ඇති අතර ඔවුහු වාමාංශික දේශපාලනය කෙරෙහි උනන්දුවක් නොදක්වති. බලයේ සිටින දේශපාලනඥයන්ගේ ඇතුළු කව වලට පිවිසීමට සහ එමගින් රජයේ ගුරු පත්වීම හෝ සංවර්ධන සහකාර තනතුර වැනි රැකියා වලට ඉහලින් වඩා උසස් මට්ටමේ රජයේ රැකියා ලබා ගැනීමට තිබිය හැකි ඉඩ කඩට ආකර්ෂණය වී මෙම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කණඩායම් තමන් සබැඳි දේශපාලනඥයන් සතුටු කොට තම අපේක්ෂාවන් ඉටු කරගැනීමේ අරමුණින් ශිෂ්‍ය ප්‍රජාව තමන්ගේ ග්‍රහණය යටතේ තබා ගැනීමට හැකි හැම වෙරම දරති.

මා දකින පරිදි ජන අරගල කණ්ඩායම යටතේ ඇති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තම ජාතික මට්ටමේ ජාලය හරහා පීඨ මට්ටමට පිවිස ඉහත කී රජයට පක්ෂ ශිෂ්‍ය කණ්ඩායම් නවක වධයේ නොයෙදෙන්නේ නම් අලයන් යැයි චෝදනා කරමින් බලපෑම් කරන්නේ ක්‍රමයෙන් මෙම පීඨවල දේශපාලන බලය යළි තමන් අතට ගැනීම සඳහා ය. මෑත කාලයේදී ඉහත සඳහන් කළ පරිදි ජවිපෙ බලපෑම ඉවත් කළේ යැයි සැළකුණු විශ්ව විද්‍යාල පීඨවලට යලිත් බලපෑම් කිරීමට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට මෙලෙස ගැම්මක් ලබා ගැනීමට හැකිවන හේතුව යෝජිත පෞද්ගලික විශ්ව විද්‍යාල පණත යි. සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන ග්‍රාමීය හෝ නාගරික ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ ඇති බියක් නම් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට රජයේ නිල පිළි ගැනීම ලැබුණ හොත් සිංහල මාධ්‍යයෙන් උපාධිය සමත් වන ඉංග්‍රීසි නොහැකි තමන් රැකියා සඳහා වන තරඟයේදී පෞද්ගලික විශ්ව විද්‍යාල වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුනට පරදිනු ඇති බවයි. ඔවුන් දකින්නේ මෙය තමන්ට වන බලවත් අසාධාරණයක් බවයි. මෙම සිසුන් මෙලෙස යළි තමන් වටා එක් කරගන්නට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හැකි වීමට ඉඩ තිබේ. ඒ සඳහා වෙනත් කිසි ශිෂ්‍ය කණ්ඩායමකට පීඪ තුළ හිස එසවිය නොහැකි වනසේ නවක වධය මගින් සියලු විසම්මුතික අදහස් මර්ධනය කිරීම මෙහි ලා යොදා ගැණෙන උපාය යි. මා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් අසන ප්‍රශ්නය නම් මෙලෙස ‘නවක වධය මගින් අනෙකාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සහ විසම්මුතිය මර්ධනය කිරීමෙන් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ තම බලය ගොඩ නංවා ගැනීම මෙරට සමාජය මානුෂීයකරණය සහ ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමේ ඔබේ ප්‍රකාශිත අරමුණත් සමග කොතෙක් දුරට පෑහේද?‘ යන්නයි. මගේ පිළිතුර නම් ‘කොහෙත්ම නැත‘ යන්නයි.

අභියෝගය ප්‍රජාතන්ත්‍රීකරණය යි

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ මොහොතේ කළ යුත්තේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය දේශපාලනය සහමුලින්ම ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම සඳහා කැපවීම මගින් ශිෂ්‍ය ප්‍රජාව තමන් වෙත දිනා ගැනීම යි. ඒ සඳහා ඔවුන් ගත යුතු මූලික පියවර තමන් කුමන ආකාරයක හෝ නවක වධයට සහමුලින්ම විරුද්ධ බව පක්ෂය විසින් නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබීම යි.

මේ යෝජනාව පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂය දැනටමත් සළකා බලමින් සිටින බව අප මුලදී සඳහන් කළ තුන්වැනි සිදුවීමෙන් පෙනෙයි. සංජීව බණ්ඩාර කළ “අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නවක වධය අනුමත කරන්නේ නැහැ“ යන්න සාධනීය ප්‍රකාශයකි. නමුත් ඒ සමඟ ඔහු කරන අනෙකුත් ප්‍රකාශ, ඔහුගේ මුල් ප්‍රකාශයේ අවංක භාවය පිළිබඳ සැක පහළ කරවන සුළුය. සරසවි නවක වධයට තමන්ගේ දායකත්වය දේශපාලන හේතු මත ප්‍රසිද්ධියේ පිළිගැනීම තමන්ට දේශපාලනිකව අවාසි වන්නට හැකි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිතන්නට ඉඩ තිබේ. නමුත් ඊට වඩා අවාසි වන්නේ ‘ඇත්තටම දැන් නවක වධය කියලා දෙයක් නැහැ‘ වැනි ප්‍රකාශ ය. නවක වධය පවතින තැනක එය නැතැයි කීම අලියා පොල්කට්ටෙන් වැසීමට ගන්නා උත්සාහයක් වැනිය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය නව දේශපාලන සම්ප්‍රදායකට මුල පුරණු ඇතැයි අපේක්ෂා කෙරෙන මෙම අවස්ථාවේ ජන මාධ්‍ය ඉලක්ක කරගත් ව්‍යාජ බූර්ෂුවා දේශපාලන භාවිතාවන්ගෙන් මිදී ඔවුන් සත්‍යවාදීව දේශපාලනය කථා කරනු ඇතැයි සහ අව්‍යාජව කටයුතු කරනු ඇතැයි අපේක්ෂාකිරීම හුදු සර්ව සුභවාදී ආකල්පයක් වැළඳ ගැනීමක් වනු ඇත්ද?

– කුමුදු

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )