ආගමික සහජීවනය දඹුල්ලේදී පරීක්ෂාවට ලක්වීම

ආගමික සහජීවනය දඹුල්ලේදී පරීක්ෂාවට ලක්වීම
– නිර්මාල් රංජිත් දේවසිරි

බොරලැස්ගමුවේ පිහිටි සුප‍්‍රසිද්ධ පිල්ලෑව පූජා ස්ථානය ඉදිරිපිට හොරණ පාරේ පිහිටුවා ඇති විශාල දැන්වීම් පුවරුවක අපූරු පාඨයක් දක්නට තිබේ. ඒ මෙසේය: ‘‘සියලූ ජාති ආගම් භේද වලින් තොර ශ‍්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් වේවා’’. බැලූ බැල්මට ම මෙම ප‍්‍රකාශයේ එන සංඝඨක දෙක එකිනෙකට පරස්පර වේ. කෙසේ වෙතත් එය පරස්පර නොවන ප‍්‍රකාශයක් ලෙස කියවීමටද හැකියාව තිබේ. එක් ආකාරයක් නම් ‘‘සියලූ ජාති ආගම් භේද වලින් තොර’’ යන්න නිෂේධාත්මක ප‍්‍රකාශයක් ලෙස ගැනීමෙනි. ඒ හරියට ‘‘අපරාධ වලින් පිරි ලංකාව අපරාධ වලින් තොර දේශයක් වේවා’’ යන ප‍්‍රකාශයේ ‘‘අපරාධ වලින් පිරි ලංකාව’’ මෙනි. එසේ වුව ද මෙම ප‍්‍රකාශයේ ‘‘සියලූ ජාති ආගම් භේද වලින් තොර’’ යන්න එවැනි නිෂේධාත්මක අරුතක් දෙන්නක් ලෙස ගැනීම දුෂ්කරය. මගේ යෝජනාව වන්නේ මෙම ප‍්‍රකාශය තුළ සිංහල බෞද්ධ මනස තුළ ලංකාවේ ආගමික විවිධත්වය සහ බෞද්ධකමට හිමිවිය යුතු ස්ථානය සම්බන්ධ මනඃ සෘෂ්ටියේ (Fantasy) විරුද්ධාභාසී (paradoxical) තත්වය නිරූපනයවන බවයි.

සිංහල බෞද්ධ අධිපති දෘෂ්ටිවාදය තුළ ස්ථාපිත අදහසක් වන්නේ ලංකාවේ සුජාත උරුමය පවතින්නේ සිංහල බෞද්ධයාට බවයි. සෙසු ආගමික හා වාර්ගික කණ්ඩායම් වල පැවැතීම මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරනු ලබන්නේ නොමැති වුවත් සිංහල බෞද්ධයාගේ ප‍්‍රමුඛත්වය පිළිගැනීමක් අපේක්ෂා කරනු ලැබේ. මහාචාර්ය නලින් ද සිල්වා වැනි ප‍්‍රකාශකයින් මේ ආකල්පය සෘජුවම ප‍්‍රකාශ කරනු ලබයි. මේ දිනවල රට පුරාම ප‍්‍රදර්ශනය කෙරෙනු දක්නට ලැබෙන ‘‘මේ ගෞතම බුදුන්ගේ රාජ්‍යයයි’’ යන ප‍්‍රකාශය මගින් මේ ආකල්පය කදිමට නිරූපනය වේ.

මේ පසුබිම තුළ තබා පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩුදුන් දඹුල්ලේ මුස්ලිම් පල්ලිය පිළිබඳ සිදුවීම අපට තේරුම් ගත හැක්කේ කෙසේ ද? මතභේදයට තුඩු දුන් මුස්ලිම් පල්ලිය සම්බන්ධ විරෝධය ප‍්‍රකාශ කල බෞද්ධයින්ගේ මතය වූයේ මෙය බෞද්ධ පූජා භූමියක් තුළ අනවසරයෙන් ඉඳිකළ ආගමික ගොඩනැගිල්ලක් ඉවත් කිරීම පිළිබඳ ප‍්‍රශ්නයක් පමණක් බවයි. කෙසේ වෙතත් සිද්ධිය දිගහැරී ගිය ආකාරය දෙය පරීක්ෂාවෙන් බලාසිටි අයෙකුට පෙනීයාමට ඉඩ තිබුනේ ඒ තුළ ඊට වඩා ගැඹුරක් තිබෙන බවයි. මගේ අදහස වන්නේ මෙහිදී සාධක දෙකක් දෙස පරීක්ෂාවෙන් බැලීම උචිත බවයි.

පළමුවැන්න නම් බෞද්ධ හා මුස්ලිම් ප‍්‍රජාවන් අතර සබඳතා වල පවත්නා දැඩි බිඳෙනසුළු ස්වභාවයයි. විශේෂයෙන්ම මුස්ලිම් ජනයා සම්බන්ධව සිංහල බෞද්ධ ජනයා තුළ ඇත්තේ බෙහෙවින් නිෂේධාත්මක සංජානනයකි. මෙම සංජානනය ගැන කදිම අවබෝධයක් විමල් වීරවංශ මහතා විසින් පවත්වාගෙන යන බවට සැලකෙන ලංකා සී නිව්ස් යන වෙබ් අඩවියේ මුස්ලිම් ජනයාට අදාලව පළවන ප‍්‍රවෘත්ති හා සෙසු වාර්තා වලට ඉදිරිපත්වන පාඨක ප‍්‍රතිචාර වලින් පැහැදිළි වේ. මෙම සංජානයේ සිංහල පාර්ශවයේ ප‍්‍රධාන චරිත ලක්ෂණය වන්නේ සිංහල බෞද්ධ ජනයාට අහිතකර ආකාරයේ මුස්ලිම් ව්‍යාප්තවාදයක් සියුම් ලෙස ක‍්‍රියාත්මක වන බවට බෞද්ධ ජනයා අතර ඇති විශ්වාසයයි. කලකට පෙර ගංගොඩවිල සෝම හිමි විසින් මේ මතය ඉතාම ප‍්‍රසිද්ධියේ සමාජගත කරන ලදි.

කෙසේ වෙතත් මෙම සිංහල-මුස්ලිම් විභවාත්මක ගැටුමට උඩින් ප‍්‍රධාන ධාරාවේ සිංහල දේශපාලනය හා මුස්ලිම් දේශපාලනය අතර දීර්ඝ කාලීන සංධානයක් පවතී. නැගෙනහිර මුස්ලිම් දේශපාලනයේ නැගීමත් සමඟ මෙම සංධානයේ ඇතැම් නව නැමියාවන් සිදුවී තිබෙන නමුදු මෙම සංධානය තවමත් ප‍්‍රධාන ධාරාවේ දේශපාලනයේ මූලික අංගයක්ව පවතී.

කෙසේ වෙතත් මගේ නිරීක්ෂනයට ලක්වන දෙවන සාධකය මෙම සංධානයට බරපතල හානි කිරීමේ විභවයකින් යුක්තය. එනම් පසුගිය දශක එකහමාරක පමණ කාලයක සිට සිදුවන සිංහල අන්ත ජාතිවාදයේ නැගීම හා බෙහෙවින් ආක‍්‍රමණකාරී ස්වරූපයකින් යුක්ත ‘‘බෞද්ධ ප‍්‍රබෝධයයි’’. ඉතාම වැදගත් සංසිද්ධිය වන්නේ මෙම ප‍්‍රවනතා දෙකම පසුගිය දශකය තුළ ක‍්‍රමානුකූලව ප‍්‍රධාන ධාරාවේ දේශපාලනයේ ඉතාමත් සැලකියයුතු කොටස් කරුවන් වීමයි.

මගේ අදහසේ හැටියට දඹුල්ලේ සිද්ධිය තුළ රඟදැක්වුනේ දිගුකාලීන සිංහල මුස්ලිම් දේශපාලන සංධානය හා මෑතකාලීන සිංහල අන්ත ජාතිවාදයේ නැගීම හා ආක‍්‍රමණකාරී ‘‘බෞද්ධ ප‍්‍රබෝධය’’ අතර පවත්නා ආතතියයි. සිංහල-මුස්ලිම් දේශපාලන සංධානයේ උපක‍්‍රමික වුවමනා ගින්න තාවකාලිකව නිමා දැමීමට සමත් වූ නමුදු ගිනි පුළිගු තවමත් නො නිවී පවතිනු දැකිය හැකිය. මුස්ලිම් ලෝකයේ ප‍්‍රබල රටවල් ආණ්ඩුවේ ප‍්‍රධාන ජාත්‍යන්තර සහායකයින් වී තිබෙන තත්වයක් තුළ මෙම සංධානයට හානි කරගැනීම ආණඩුව පැත්තෙන් කොහොමත් මාරාන්තිකය.

පසුගිය දශක එකහමාර තුළ වර්ධනය වන අන්ත ජාතිවාදය සමඟ කිට්ටුවෙන් බැඳී ඇති ආක‍්‍රමණශීළී බෞද්ධ ප‍්‍රබෝධයේ මූලික ලක්ෂනයක් වන්නේ සිංහල-බෞද්ධ නොවන ජනකොටස් සම්බන්ධයෙන් ඒ මගින් ඉදිරිපත්වන අතිශය නොඉවසන සුළු ප‍්‍රවේශයයි. මෙම සංසිද්ධියේ දක්නට ලැබෙන මූලික අංගයක් වන්නේ බෞද්ධ ක‍්‍රියාකාරකම් මගින් ඉතා සීඝ‍්‍රයෙන් ප‍්‍රසිද්ධ සමාජ අවකාශය ආක‍්‍රමණය කරනු ලබන අතර වෙනත් ආගමික අවකාශයන්හී පැවැත්ම ඉතාම ප‍්‍රචණ්ඩකාරී ලෙස අභියෝගයට ලක්කිරීමයි. දඹුල්ලේ සිද්ධිය තුළ මෙම තත්වය ඉතා කදිමට දැකගැනීමට පුළුවන් විය.

ඉතාම කැපීපෙනෙන සුළු තත්වයක් වන්නේ මෙම ආක‍්‍රමණකාරී බෞද්ධ කි‍්‍රයාකාරකම් සඳහා බලමුළු ගන්වනු ලබන්නේ විශේෂයෙන්ම නාගරික ප‍්‍රදේශ වල වාසය කරන බෙහෙවින් නොහික්මුණු ජනකණ්ඩායම් වීමයි. සමාජ හා සංස්කෘතික වශයෙන් බෙහෙවින් ආන්තික කරනු පිරිස් වන මෙම ජන කොටස් සමාජයේ අනන්‍යතාවයක් අපේක්ෂාකරයි. මෙම ‘‘‘බෞද්ධ ප‍්‍රබෝධයේ’’ නියමුවන් විසින් මේ පිරිස් බලමුළු ගන්වනු ලැබූ කල්හී එය ඔවුන් සමාජයීය වශයෙන් බෙහෙවින් බලසතු කරනු ලබන ව්‍යාපෘතියකි. පසුගිය යුධ සමයේදී ද විශේෂයෙන් නාගරික ප‍්‍රදේශවල ආරක්ෂාව සඳහා මෙම පිරිස් මේ ආකාරයටම බලමුළු ගන්වන ලදි. මගේ අදහස වන්නේ විචාරශීලීත්වයෙන් බෙහෙවින් හීන මෙවැනි නොහික්මුනු පිරිස් බලමුළු ගන්වමින් සහ පැහැදිලි අන්ත ජාතිවාදී න්‍යායපත‍්‍ර ඇතිව කෙරෙන මෙවැනි ආක‍්‍රමණශීලී ආගමික ක‍්‍රියාකාරකම් ලංකාවේ විවිධ ආගමික කණ්ඩායම් අතර අන්‍යොන්‍ය සහයෝගී පැවැත්ම සම්බන්ධයෙන් ඉතාම අනතුරුදායක බවයි. එමනිසා මේ සම්බන්ධයෙන් තියුණු සාකච්ඡුාවක් සමාජය තුළ ඇතිවීම අත්‍යවශ්‍ය ය.

nrdewasiri@gmail.com

Advertisements

2 thoughts on “ආගමික සහජීවනය දඹුල්ලේදී පරීක්ෂාවට ලක්වීම”

  1. ethakota oya kiyanne one akek awith tamanta one hatiyata me lankawe one tanaka pne deyak karanakam api uda balagena enna kiyalada. oya nikamata hoyala balanna ada thailanthe tatwe , lankawatath a eranama athwenna dennada kiyanne. deyak wenna lakin aka nati karana akata anthawadaya kiyanawanam oya mokada mada peradika rata wala wena akam walata nithi panawala tiyenne kiyalath tikaka hoyala balanna, oya godak lagin muslim ayawa asuru karanawanam oyata mehema hitena aka hari. mokada ayala pana denna wage enne, ahema newei durin edan awadanen balan enna mokada karane kiyala. ayalata one kohoma hari lokayama muslim karanna . allah deviyan kiyala tiyenawa taman hara wena kisima sasthruwarayek me loke naha kiyala akenma penawa neda ayage tiyena arthmarthakami bawa, mama kiyanawata newei me gana adyanaya karapu loku widwatek kiyala tiyena dewal oyama kiyawala balannako. ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් රචිත Slavery, Terrorism & Islam: The Historical Roots and Contemporary Threat නම් ග්‍රන්තය අද ලෝකයේ බෞද්ධයන්ගේ තත්වය ඉතාම නිවැරදිව ප්‍රකාශ කර තිබේ. ඒ අනෙක් සියලු පෙර බෞද්ධ රටවල් මුහුණ පානා ලද ඉරණම අධ්‍යයනය කිරීමෙනි. oyath menna me potha donwload karagena kiyawala balannako. ethakota therei.

    http://barenakedislam.com/
    http://www.scribd.com/bkandaayama/d/51357789-Muslim-Violence-Against-Buddhists-thailand
    http://www.scribd.com/bkandaayama/d/53415697-loka-bauddha-sanhaaraya

    mewa hodata balanna mulinma. meka jathiwadaya newei thamange urumayan thama janathawagr anagathe araksha kirimak muslim agama kawadawat awaboda karagena a agamata yanne naha kauruth, aka nisa rawatagena agamata ganimak tamai metana tiyenne

  2. ඉදුරාම ධ්‍රැවීකරණය වූ ලිපියක්, ලේකකයා අපක්ෂපාතීව ලිවීමට කෙසේ වෙතත් සිතීමටත් අසමත් බවය් පෙනී යන්නේ ,
    1)පළමුවැන්න නම් බෞද්ධ හා මුස්ලිම් ප‍්‍රජාවන් අතර සබඳතා වල පවත්නා දැඩි බිඳෙනසුළු ස්වභාවයයි. විශේෂයෙන්ම මුස්ලිම් ජනයා සම්බන්ධව සිංහල බෞද්ධ ජනයා තුළ ඇත්තේ බෙහෙවින් නිෂේධාත්මක සංජානනයකි.
    කෝ මේකේ අනික් පැත්ත ?
    2)පසුගිය දශක එකහමාර තුළ වර්ධනය වන අන්ත ජාතිවාදය සමඟ කිට්ටුවෙන් බැඳී ඇති ආක‍්‍රමණශීළී බෞද්ධ ප‍්‍රබෝධයේ මූලික ලක්ෂනයක් වන්නේ සිංහල-බෞද්ධ නොවන ජනකොටස් සම්බන්ධයෙන් ඒ මගින් ඉදිරිපත්වන අතිශය නොඉවසන සුළු ප‍්‍රවේශයයි.
    ආක‍්‍රමණශීළී බෞද්ධ?
    එතකොට බෞද්ධ මිනිස්සුද වෙන රටකට ගිහින් ව්‍යප්තිවාදයක් ගැන කතා කරන්නේ ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )